Monday, May 11, 2015

ගුප්ත ආගන්තුකයා




බොබ් ඩිලන්ගේ ගීතයක් සිහින් හඬින් වාදනය වෙයි. මෙම ගීතයට සවන් දෙමින් දකුණු ලන්ඩනයේ අවන්හලක  නියොන් එළිය යට මේසයක හිඳ සන්සුන්ව තම රාත්‍රි ආහාරය ගන්නා මැදිවියේ පුද්ගලයෙකු අවන්හලේ වූ අනෙකුත් අමුතතන්ගෙන් කැපී පෙනිණි. බාහිර පෙනුම අනුව ඔහු ඉංග්‍රීසි ජාතිකයෙකු නොවන බව පැහැදිළිය. එහෙත් වචන උච්චාරණයේ දී ඔහු ඉංග්‍රීසි ජාතිකයන්ට නොදෙවැනි ලෙස භාෂාව හැසිරවිය. යම් හෙයකිින් මෙම පුද්ගලයා දුරකථනයෙන් කථා කරනු ඇසූ  නාඳුනන්නෙක් මේ තැනැත්තා සරේ හෝ බර්මිංහැම් වලින් පැමිණි‚ අයෙකු යැයි සිතනු නිසැකය.

අමුත්තා ඉංග්‍රීසි ජාතිකයෙකු නොවූ බව සැබෑය. කළු පැහැති කොණ්ඩය, රන් පැහැති ඡවි වර්ණය, දුඹුරු දෑස් පෙන්නුම් කළේ  මධ්‍යධර​ණී ප්‍රදේශයේ උපත ලැබූවෙකුගේ දේහ ලක්ෂණයයි. බොහෝ කාලයක් එංගලන්තයේ ගතකිරීම නිසා මෙතෙම මධ්‍යධර​ණී ලක්ෂණ පෙන්නුම් කළේ ශාරීරික වශයෙන් පමණි‚.

මොහුගේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ගුප්තය. ඔහුගේ සම්භවය ගැන දැන සිටියේ ඉතා සුළු පිරිසකි. ඒ අතරින් බහුතරයක් ජීවතුන් අතර නොසිටි නිසා මේ පුද්ගලයා පිළිබඳව පැහැදිළි විවරණයක් ලබා ගැනීම අතිශයින් දුෂ්කර විය. ඇතැමෙක් මොහු ටෙහෙරාන් විශ්ව විද්‍යාලයයේ හිටපු කථීකාචාර්යවරයෙක්යැයි පැවසූහ. එසේම ෂා රජුගේ පාලන සමයේ රජයට එරෙහිව විරෝධතා දියත් කළ අයෙකු බවත්, දේශපාලන රැකවරණ සොයා එංගලන්තයට පැමිණි‚ අයෙකු ලෙසත් හැඳින්වූහ. ඒ සඳහා පාදකවූයේ වරක් ඔහුගෙන් යම් පුද්ගලයෙකු ෂා රජ පිළිබඳව විමසූවිට ඔහු දුන් පිළිතුර පදනම් කොට ගෙනය.

ෂා රජු යනු රජ කෙනකු නොවන බවත්, රජ පෙලපතකට අයත් නොවූ ගැමි පවුලකින් ආ කපටියෙකු, ඒකාධිපතියෙකු බවට පත්වී, තමන් රජෙකු බවට ප්‍රකාශයට පත්කළ පුද්ගලයෙකු බවත් හෙතෙම පිළිතුරු ලෙස කියා තිබේ. මේ නිසා මෙම තැනැත්තා ෂා රජු පිළිකුල් කළ බව පෙනේ. එහෙත් ඔහු ෂා රජුට විරුද්ධව දේශපාලන උද්ඝෝෂණ කළ බවට සාක්ෂි කෙලෙස සොයා ගන්තේද යන්න ගැටළුවකි.

මේ සඳහා හේතු වූ එක් සාක‍ෂ්‍යයක් වන්නට ඇත්තේ ඉරාණයෙන් පැමිණි‚ සිසුවෙකු මොහු ගැන ප්‍රකාශකළ  කරුණක් පදනම් කොට වන්නට ඇත. එහෙත් මේ සිසුවා සත්‍යය පැවසුවේ කලාතුරකින් බවට මතයක් තිබේ.

ධනවතෙකු වූ මේ අමුත්තා වාසය කළේ දෙමහල් නිවසකය. මෙම නිවෙස ඔහු මිළට ගනු ලැබුවේ මීට දෙවසරකට පෙරය. ඔහු මේ ගෙය සඳහා  පවුම් එක්ලක්ෂ පන්දහසකට වඩා වැඩි මුදලක් වියදම් කිරිම ඔහුට ප්‍රශ්ණයක් වූයේ නැත. ඔහු සතුව අගනා මෝටර් රථ දෙකක් තිබි‚. එහෙත් ඔහු වඩාම ප්‍රියකලේ නිල්පැහැති ජගුවර් වර්ගයේ මෝටර් රථය පැදවීමටයි. තනිකඩයෙකු වූ අමුත්තාගේ නිවසේ ඇතැම් දිනවල අමුත්තියක ලෙස කාන්තාවක් දැකිය හැකි වූ අතර ඇයගේ රන් හිසකේ නිසා ඇය ඉංග්‍රීසි ජාතික කාන්තාවක බව අසල්වැසියෝ අනුමාන කළහ.

මෙම කාන්තාව ඔහුගේ පෙම්වතිය බව මෙම ගෙදරට කිරිගෙන එන්නා සිතුවේය. ඔහුට එසේ සිතීමට හේතුවූයේ වරක් හිමිදිරියේ ඔහුගේ නිවසට කිරිබෝතල් දෙකක් ගෙන ආ කිරිකාරයාට දොර​ හැර ඔහුට    " සුබ උදෑසනක් වේවා" යයි මැය ප්‍රාර්ථනා කළ බැවින්ය. ඉන්පසු ඇය කිරි බෝතල් දෙක දෑතට ගෙන ගෙතුළට ගියාය. ඒ ඇසිල්ලේ නිවසේ සාලයේ රුපවාහිනිය නරඹමින් සිටි ගුප්ත අමුත්තා දැක ගැනීමට කිරිකාරයා සමත් විය.

අමුත්තා නිවසින් බැහැර ගියේ කලාතුරකිනි.රාත්‍රි ආහාර ගැනීම සඳහා මසකට වරක් දෙවරක් නුදුරේ පිහිටි ඇල්ජියානු අවන්හලට යන ඔහු ටිකින් ටික ඇල්ජියානු ආහාර වලට ලොබ බැන්දේය. විශේෂයෙන්  ඇල්ජියානු කුස් කුස් නම් ආහාරයටය. එම නිසා මෙම අවන්හලට ගොඩවදින ඔහු කුස් කුස් පිඟානක රස බැලීමට අමතක නොකරයි.

අවන්හලේ දී ඔහු කථා කළේ ස්කොට් ජාතිකයෙකු සමග පම‚. මෙම ස්කොට් ජාතිකයා මහළු පුද්ගලයෙකු වූ අතර අමුත්තාගේ සමාගම ප්‍රිය කළේය. 

" ඉතින් හසන් මහත්මයා˜ (ස්කොට් ජාතිකයා අමුත්තා  හැඳින්වූයේ හසන් යන නමිනි.) ඔබගේ යහපත් සෞඛ්‍යය පතා අපි මේ බීර ඔඩම පානය කරමු " මෙසේ කියමින් ස්කොට් ජාතිකයා පුරවා තිබූ බීර වීදුරු අතට ගත්තේය. අමුත්තාද ඊට ප්‍රතිචාර වශයෙන් තම පිඟාන අසල වූ බීර වීදුරුව එසවීය.

බීර පානයෙන් පසු ස්කොට් ජාතික මහල්ලා යළි දොඩම​ළු විය. මාග්‍රට් තැචර් ගේ ආර්ථීක ප්‍රතිපත්ති ඔහුගේ දෝෂ දර්ශනයට හසු විය. හැරල්ඩ් මැක්මිලන් සමයේ මෙතරම් ලාභයට තිබූ චීස් වලට වැඩි මිළක් දැන් අය කරන්නේ මන්ද? ඔහු අමුත්තාගෙන් ප්‍රශ්න කළේය.

අමුත්තා ප්‍රිය කළේ මහළු සුද්දාට සවන්දීම මිසක තම අදහස් එළියට දැමීම නොවේ. 

" දැන් බලන්න බ්‍රිතාන්‍ය පවුම කොපමණ අවතක්සේරු වෙලාද?˜ මහල්ලා තදින් පැවසුවේ අමුත්තාගෙන් වචනයක් ගැනීම සඳහාය. එහෙත් ඔහුගේ බලාපෙරොත්තුව ඉටු නොවීය. අමුත්තා ආර්ථීක විශේෂඥයෙකු නොවූ නිසාද, හෙතෙම ඒ පිළිබඳව කථා නොකළේ?

බළාපොරොත්තු කඩවුවද තව දුරටත් මාග්‍රට් තැචර් හා ඇයගේ දේශපාලන ප්‍රතිපත්ති පතුරු ගැසූ ස්කොට් ජාතික මහල්ලා අවසානයේ දී අමුත්තාගෙන් සමුගෙන වැනෙමින් අවන් හලෙන් පිටවීය. රාත්‍රී ආහාර කිස නිමවා අමුත්තා අවන්හලෙන් පිටවූයේ මධ්‍යම රාත්‍රිය ආසන්න වෙත්මය.                     

ඔහු අවන්හලෙන් පිටවී  ගිය වහාම, යාබද මේසයේ ආහාර ගනිමින් සිටි පුද්ගලයන් දෙදෙනා අමුත්තා පානය කළ බීර වීදුරුව ලේන්සුවක දවටා පොලිතින් කවරයක දමා  ගත්තේ සමහර විට ඇගිලි සළකුණු සාම්පලයක් ලබා ගැනීම සඳහා විය හැකිය. අනතුරුව ඔවුන් දෙදෙනා අමුත්තා අවන්හලෙන් පිටවී ගිය බවට කෙටි තරංග මගින් මූලස්ථානයට පණිවිඩයක් දුන්නේ ඔහු කුමන ස්ථානයකට දැන් යන්නේ දැයි නිශ්චිතව සොයා බැලීම සඳහාය. අමුත්තාගේ රියට නුදුරින් නවතා තිබූ වැන්රථය ඒ රාජකාරිය ඉටුකරනු වස් නිල් පැහැති ජගුවර් මෝටර් රථය පසුපස ගියේ වාහන දෙක අතර සැහෙන පරතයක් තබා ගනිමිනි. එසේම අමුත්තා පැදවූ ජගුවර් රථය දර්ශණ පථයෙන් ගිලිහී නොයෑමට වැන් රථයේ රියදුරා සියළු පියවර ගත්තේය. අවන්හලින් පිට වූ අමුත්නා කෙළින්ම ගියේ තම ගෘහය වෙතටය. ඒ නිසා වෑන්රිය ඔහුගේ ගෘහය ආසන්නයේ මහා මාර්ගය අසල නැවැත්විය. වැන් රියේ අඳුරු පැහැති වීදුරු අතරින් කුඩා කැමරාවක් ගෘහය දෙසට එල්ල කළ රියදුරු සහයක ගෘහයේ ඡායාරූප කිහිපයක් ගත්තේය.

" කෙන් " රියදුරු තම සහායකයා ඇමතීය.  "තව කොපමණ වේලාවක් අපි මෙහි සිටිය යුතුද?˜ 

කෙන් රියදුරා  දෙස  බැලූවේ  අමනාපයෙනි. " ආදිපාද තුමාගෙන් ප‚ණිවුඩය එන තුරු අපි මෙහි සිටිය යුතුයි.˜ කෙන් ආදිපාද තුමා යනුවෙන් හැඳින්වූයේ අමුත්තා සම්බන්ධයෙන් පරීක්ෂණය පැවැත්වූ ජ්‍යෙෂ්ඨ පරීක්ෂක ඉන්ග්‍රම් මහතාය.

ආදිපාද තුමාගෙන් ඇමතීමක් නොවූයෙන් රියදුරු සහ සහයකයා අමුත්තාගේ නිවස අසන්නයේ තව දෙපැයක් පමණ රැදී සිටියහ. ඔවුන් නිදහස් කෙරුණේ මධ්‍යම රාත්‍රිය පසු වී තුන් පැයක් ගතවූ පසුය.

පසුදින උදෑසන ඉන්ග්‍රම් මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවති තොරතුරු විශ්ලේෂණය කිරීමේ රැස්වීමට පුද්ගලයන් අටදෙනෙක් රැස්ව සිට්යහ. ඔවුන් අතරින් කිරිකාරයා , ස්කොට් ජාතික මහල්ලා (මෙම මහල්ලා MI5  බුද්ධි අංශයේ සේවය කොට විශ්‍රාම ගිය නිළධාරියෙකි) හා කෙන් සමග තව තිදෙනෙක් සිටියහ. 

"කොහොම නමුත් මෙහිදී අප වඩාත් තීක‍ෂ්ණ විය යුතුයි " කිරිකාරයා තම අදහස් ගැඹුරු හඬින් පළකළේය. හසන් අතරමැදියෙකු බව සිතනවා. එහෙත් අපට ප්‍රමාණවත් සාක‍ෂ්‍ය නැහැ. එකම සාක්‍ෂිය බැංකු ගිණුම පමණයි. එහෙත් එය ඔහුට විරුද්ධව යොදා ගත හැකිද යන්න සොයා බැලිය යුතුයි "කිරිකාරයා තම කථාව අවසන් කළේ පරාජිත හඬිනි. 

ඉන්ග්‍රම් මහතා තම උඩු රැවුල අතගෑවේය. 

" බැංකු ගිණුම ප්‍රමාණවත් සාක‍ෂ්‍යයක් නොවේ. ඔහු ඒවා තම ව්‍යාපාර වලින්  උපයාගත්  මුදල්  බව  සහතික කරාවි. එවිට අපි ජෝකරයන් රැළක් මෙන් දිස්වෙනවා නොවේද?˜ ඔහු ගරු සභාවෙන් ඇසීය.

පරාජය පිළිගැනීමට අකමැති වූ මහළු ස්කොට් ජාතිකයා මෙහිදි නැගිට සිටියේය. 

" දැනට මාස අටකට වඩා කාලයක් මම හසන්ගේ නගුට පසු පස යනවා. ඔහුට මේ මුදල් ලැබී ඇත්තේ ඇමරිකාවෙන්. ඔහුගේ හා ඇමරිකාවේ අයිරිෂ්වරුන්ගේ සම්බන්ධය අපට තහවුරු කළ හැකියි "  මහල්ලා කීවේ දැඩි ස්වරයකිනි. 

" පසුගිය වසරේ ඔහු බෙල්ෆාස්ට් නගරයට දෙවරක් ගොස්  තියෙනවා.˜ ඔහු තව දුරටත් පැවසිය.

ඉන්ග්‍රම් මහතා කිසිදු වෙනසක් පෙන්වූයේ නැත. මෙම බෙල්ෆාස්ට් ගමන පිළිබඳවමීට පෙරද ඔහු අසා තිබුණි‚. 

" ඔහු බෙල්ෆාස්ට් වෙත ගියේ ඔහුගේ යෙහෙළිය හමුවීමටයි. ඇය ඔහු සමඟ නැවත ලන්ඩනයට පැමි‚යා. ඇය විසින් ලබාදුන් විස්තර අනුව හසන් අයර්ලන්ත ගරිල්ලන් සමග සබඳතා පවත්වා නැහැ.˜ 

මෙහිදී ස්කොට්ලන්ත මහල්ලා ඉන්ග්‍රම්ට බාධා කළේය. 

" ඇය ලබාදුන්නේ  සත්‍ය තොරතුරු යැයි විශ්වාස කරනවද?  ඉන්ග්‍රම් මහතා මොහොතක්  මහල්ලා දෙස බැලීය. 

" ඇය මට විශ්වාසයි. මීට පෙර අපගේ වැඩසටහන් දෙකකදී ඇය සේවය ලබා දුන්නා. ගරිල්ලන්ගේ දකුණූ යෝක්ෂයරයේ සම්බන්ධතා ජාලය අනාවරණය කර ගැනීමට මූලිකව උපකාරවූනේ ඇයගේ තොරතුරු. ඇය අවිශ්වාස කිරීමට හේතු මම දකින්නේ නැහැ "

ඉන්ග්‍රම් මහතාගේ මෙම පිළිතුර නිසා මහල්ලා පසු බැස්ස නමුදු සම්පූර්‍ණයෙන්ම නොවේ. 

" එහෙත් හසන් හරහා සංසරණය වන මුදල් ගැන ඔබ කියන්නේ කුමක්ද?˜ 

ඒක අනාගතයට බාරයි. ඒත් ඕනෑම ව්‍යාපාරිකයෙකුගේ ගිණුම් අතර වෙනසක් මා දකින්නේ නැහැ. ඕනෑම ව්‍යාපාරිකයෙක් මුදල් එක් කොණකින් ගන්නවා. අනිත් අතින් ඒක පිටකරනවා.˜

කෙන් මෙහිදී මුව විවෘත කළේය. 

" හොඳයි, අපට හසන් සහ අයි. ආර්. ඒ. සබඳතා පිළිබඳව සාක්කිි නොමැති වුවත් හසන් යම් මත්ද්‍රව්‍ය ජාලයක කොටස් කරුවෙක් විය නොහැකිද?˜ 

" කෙන් ...කෙන්,˜ ඉන්ග්‍රම් මහතා  නොඉවසිලිමත්  වෙමින්  නැඟිට්ටේය.  "ඔබලා මුලින්ම ආයි. ආර්. ඒ. කථාවක් සමග හසන්ව අපට හඳුන්වා දුන්නා. දැන් මත්ද්‍රව්‍ය ජාලය සමඟ සම්බන්ධ කරනවා. හෙට කේ. ජී. බී. සංවිධානය සමඟ සම්බන්ධ කරයි. ඔබ රහස් පරීක්ෂක සේවයට වඩා සුදුසු ටැබිලොයිඩ් පුවත් පත් කලාවටයි.˜

නිරුත්තර වූ කෙන් මහල්ලා දෙස බැලූවේ මහල්ලාගෙන් යම් පිළිතුරක් ලැබේද යන බලාපොරොත්තුවෙනි. කෙන්ගේ බලාපොරොත්තුව ඉටු වූයේ අර්ධ වශයෙනි. 

" හොඳයි එසේ නම් අප හසන් සම්බන්ධයෙන් ඉදිරියේ දී කරන්නේ කුමක්ද?˜ මහල්ලා යම් විසඳුමක් බලාපොරොත්තු වන ස්වරයෙන් ඉන්ග්‍රම් මහතාගෙන් විමසිය.

ඉන්ග්‍රම් මහතා රාජකාරි ස්වරයෙන් නොව මදක් ලෙන්ගතු ස්වරයෙන් "මහත්වරුනි˜ යැයි පිරිස ඇමතීය. හසන්ගේ ලිපිගොනුව මා අද වසා දමනවා. අපට ප්‍රමාණවත් සාක්කිි නැහැ. ඔහු නීති ගරුක පුරවැසියෙක්. මෙතෙක් ඔබලා මට ලබාදුන් සේවයට මා ස්තූති කරනවා "

ඉක්බිති සභාතමෝ සතුටින් විසිර ගියහ.


වෛද්‍ය රුවන් එම් ජයතුංග​

20 comments:

  1. Checkmate averted. Long live the King!
    -Duke

    ඒ එදා මධ්‍යම රාත්‍රියේ සුරක්ෂිත පණිවිඩ ජාලයක් හරහා සම්ප්‍රේෂණය වුනු පණිවිඩයකි.

    ReplyDelete
  2. ඇත්තෙන්ම 'මහත්වරුන්' පිරිසක් කරනලද මහත්මා පරීක්ෂණයක, මහත්මා අවසානයක්...

    නිහඬ යහපත් මිනිසුන් දෙස වැඩිදෙනෙක් බලන්නේ මේ වගේ සැකෙන්. ලස්සනට ලියලා තියෙනවා, කුතුහලය සහ වින්දනය දෙකම හොඳින් එකතු වෙන විදියට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උපේක්ෂා

      Delete
  3. සැක්, මං හිතුවෙ ජිහාඩි ජෝන් වගේ එකෙක් අන්තිමට අහුවෙයි කියල. අපූරුවට කුතුහලය අන්තිම වෙනකල්ම පවත්වාගෙන යන විදියට ලියල තියනවා.. ජයවේවා...

    ReplyDelete
    Replies
    1. සජ්ජාගේ ජිහාඩි ජෝන්කෙනෙක් මතු වීමේ අවිඥානික කැමැත්තත් හේතුවක් වෙන්නෙ පුළුවන්

      Delete
    2. හෑ... ඒ කියන්නෙ යුද්දෙ නැතුව පාළුයි වගේ සීන් එකක්ද??

      Delete
    3. එහෙමත් නෑ අපි වෙම්පයර්ලට බය උනත් වෙම්පයර් ෆිල්ම් බලන්න කැමැත්තක් තියනවනේ

      Delete
  4. ගමකට අලුතින් එන කෙනෙක් ගැන ගමේ මිනිස්සුත් මේ වගේම හොයනවා මම දැකල තියෙනවා. ඇත්තටම සමාජ ආශ්‍රෙයන් ඈත් වෙලා හුදෙකලාව ඉන්න මිනිස්සු ගැන ගොඩ දෙනෙක් සැකෙන් බලනවා. අපේ ගෙවල් ගාවත් හිටියා පෙරේරා (ආදේශක නමකි) කියල කෙනෙක්. මිනිහගෙ නමත් පෙරේරා ගමත් පෙරේරා උපන්දිනෙත් පෙරේරා කියල තමයි ගමේ අය කිව්වේ. මට ඒ අතීතය මතක් උනා. කතාව මාර ලස්සනයි හිතට වැදුනා

    ReplyDelete
  5. අපූරු ගුප්ත කතාවක්...:)

    ReplyDelete
    Replies
    1. මෙහි xenophobia තත්වය තමයි යටින් දෙවෙන මාතෘකාව

      Delete
  6. සැක සහිත පුද්ගලයෙකු ගැන සෙවිල්ලෙන් සිටීම ජාතික ආරක්ෂාවෙත් කොටසක්. ඒ සඳහා යොදවන්න මුදල් යහමින් තියෙන රටවල ආරක්ෂක අංශ බදු ගෙවන්නන්ගේ මුදලට නියම සේවයක් ලබාදෙන්න උත්සාහ කරනවා වෙන්නැති. නමුත් මේක රජය සාමාන්‍ය පුරවැසියන් ගැන ඔත්තු බැලීමේ තත්වයට පත් වෙන්න පෙර නවතාගන්න එක බලාගන්න වෙනම සංවිධාන ඇතිවෙනවා. කෙසේ හෝ හරිම රසවත් කතාවක් රුවන්.

    වචන දෙකක් විතර අන්තිම අකුර වෙනුවට කොමාවක් වැදිලා තියෙනවා දැක්කා.

    තව අතුරු ප්‍රශ්ණයක්. මානවයන් පිළිබඳව. ප්‍රධාන කතාව ගැන නොවේ. මධ්‍යධරනී කිව්වාම මට සාමාන්‍යයෙන් මතක් වෙන්නේඉතාලි, ග්‍රීක සයිප්‍රස් වගේ රටවල් මිසක් අරාබි සම්භවයක් ඇති රටවල් නෙවෙයි. ඉරානය කොහොමත් තියෙන්නේ මධ්‍යධරණියට එපිටින් (මෙපිටින්) නේද? අනික රන්වන් පැහැ හිසකෙස් නම් ඉංග්‍රීසි ජාතික වියයුතු යැයි අසල්වැසියෝ අනුමාන කලේ ඇයි කියා මට පොඩි කුකුසක් ඇතිවුනා.

    ReplyDelete
    Replies
    1. Dude ඉරාන ජාතිකයන් ඉන්නවා සුද්දන් වෙගේ බ්ලොන්ඩ් කොටසක් මෙඩිටරේනියන් සම්භවය සමග

      Delete
  7. //ඉක්බිති සභාතමෝ සතුටින් විසිර ගියහ.// බොහෝම සාධාරණ අවසානයක්.. කුතුහලය පිරිලා ආසාවෙන් කියෙව්ව.

    ReplyDelete
  8. තුති කල්‍යාණ මිත්‍ර

    ReplyDelete
  9. මේ xenophobia තත්වය පෙන්වන සිංහල ටෙලි නාට්‍යයක් කලකට ඉහතදී විකාශනය කෙරුනා. මහාචාර්ය නිමල් සේනානායකක වෙන්න ඇති කතාව ලිව්වේ.

    මෙය ඔබේ බොහොම රසවත් නිර්මාණයක්. ඉහලින්ම අගය කරනවා.

    ReplyDelete
  10. අපටත් එහෙම හිතනවා සමහර වෙලාවට ගුප්ත අසල්වැසියෙක් ආවහම.

    ReplyDelete
    Replies
    1. ගුප්ත අසල්වැසියෙක් ආවහම එහෙම ගතියක් තිබෙනවා අජිත්

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook