Sunday, March 22, 2015

කහ කුරුල්ලා



කහ කුරුල්ලා තම රංචුව අනුකරණය කරමින් උසැති තට්ටු නිවාසයේ වහලය මතවූ විශාල හරස් කණුව උඩ වැසුවේ අසීරුවෙනි. සිය ගණනක් වූ කුරුල්ලන් විශාල දැවමය හරස් කණුවේද, කොන්ක්‍රීට් වහලය මතද වැසුවේ, හිස් බස් රථයකට කඩා වැදී, එහි වූ ආසන මත තරගකාරීව වාඩිවන මගීන් මෙනි. 

කහ කුරුල්ලා මළානික වූ දෑසින් තම රංචුව දෙස බැලීය. සෑම කුරුල්ලෙකුම පාහේ තම තමන්ගේ "කිචි බිචි" කතා බහ වල නිරතව සිටියහ. ඇතමෙක් වහලය මත සිටි කෘමීන් අහුලා ගිල දැමූහ. සමහරු තම හොටෙන් පැර‚ පියාපත් උගුල්ලා දැමූහ. එහෙත් කහ කුරුල්ලා පමණක් නිසලව සිටියේ උගේ උදරයෙන් එන වේදනාව නිසාවෙනි. 

සෑම කුරුල්ලෙකුම වාගේ තමා අවට දක්නට ලැබුණු කෘමීන්ට ගැලවී යාමට ඉඩ දුන්නේ නැති තරම්ය. කළු පැහැති කෘමීන් බහුලව සිටි වහලය ඔවුන්ට භෝජනාගාරයක් වූවාට සැක නැත. උදරයෙන් නැගෙන වේදනාව හා ශාරීරික අප්‍රාණිකත්වය නිසා කහකුරුල්ලා පමණක් තම කුරුළු පාද අතර සැරි සරන කළු මහත කෘමියාට නිදහසේ සැරිසැරීමට ඉඩ දුන්නේය. කෘමියා කහ කුරුල්ලාගේ ඇත් දළ පැහැති නියපොත්ත අසල දැවටී සිටි තම සගයන්ට අත් වන ඉරණම නුදුටුවා මෙනි. එහෙත් කෘමියාගේ අයිතිවාසිකම උදුරා ගනිමින් කහ කුරුල්ලා අසල සිටි වෙනත් තරුණ කුරුල්ලෙක් කෘමියා තම හොටෙන් ග්‍රහණය කර ගත්තේය. එසේ කළේ කහ කුරුල්ලාගේ පාද තම ගෙලෙන් තල්ලු කරන ගමන් ය. 

කහ කුරුල්ලා වට පිට බැලුවේ පුරුද්දට මෙනි. මෙම ස්ථානය පක්ෂීන්ට ආරක්ෂක ස්ථානයකි. උකුස්සන් හෝ රාජාලින් දක්නට නොලැබෙන මෙම ප්‍රදේශයේ වඩාත්ම සුරක්ෂිත ස්ථානය වූයේ අඩි සිය ගණනක් උස් වූ මෙම ගොඩනැගිල්ලයි. කොන්ක්‍රීට්, යකඩ හා ලී වලින් තනා ඇති වහලය මත කුරුළු අසූචි තට්ටුගණන් එක්කාසු වී තිබීමෙන් ප්‍රකාශ කළේ මෙම ස්ථානය කුරුල්ලන්ටම උරුම වූ තැනක් ලෙසටය. කුරුළු අසූචි මත පෝෂණය වූ කෘමීන් කුරුල්ලන්ටම බිලි වූයේ ආහාර බිල ගෙවීමක් ලෙසය. මෙම අසූචි තට්ටුව ස්වාභාවිකව පිරිසිදු කරන ලද්දේ ශීත සෘතුව සමග එන සුදු පැහැති හිම විසිනි. ශීත කාලය අවසන් වීමත් සමඟම වහළය යළි කුරුළු අසූචි වලින් පිරී යයි. 

ඉඳහිට වහළය මත කුඩා මීයෝ දිවූහ. කුරුල්ලන් උන්ට බිය නොවූ නමුදු බිත්තර දමන කිරිල්ලියන්ගේ බිත්තර බිඳ කෑම නිසා මීයන් සතුරු කොටසක් ලෙස සලකන ලදී. ගොඩනැගිලි වලින් හා දුමෙන් පිරී ගිය මෙම ප්‍රදේශයේ උකුසු අනතුරක් නොවූවද ඉතා ඈත කොල පැහැති වනාන්තර ප්‍රදේශයේ අහස් කුස තුළ රවුමට පියාඹන උකුස්සන් ඉඳහිට දැක ගැනීමට හැකිය. උකුස්සන් වඩාත්ම කුරුමානම් ඇල්ලුවේ වනාන්තරයේ ගස්මත සිටි පක්ෂීන්ට හා බිම දිව යන කුඩා හාවුන්ට හා මීයන්ට නිසා තට්ටු නිවාසයේ වහළය මත සිටි කුරුල්ලන්ට උකුස්සන්ගෙන් හිරිහැරයක් නොවූ තරම්ය. 

කහ කුරුල්ලා මඳක් ඈතින් පෙඳි ඉවත් කරමින් සිටි කිරිල්ලිය දෙස බැලුවේය. ඇය සිය හොටෙන් ඇගේ අලංකාර පිහාටු පීරුවාය. ඇගේ රූප ස්වභාව දෙස කහ කුරුල්ලා ආසාවෙන් බලා සිටියේය. උගේ උදර වේදනාව මඳකට අමතක වූවා මෙන් විය. 

උතුරු දෙසින් හැමූ සුළඟින් වෙනදා මෙන් නොව ශීතලක් හා ලුණු සහිත තෙතමනයක් දැනුණි. 

"ශීතකාලය ඉක්මනට එන හැඩයි" කහකුරුල්ලා තමා අසල සිටි මහළු කුරුල්ලෙකුට කීවේය. මහළු කුරුල්ලා කහකුරුල්ලා දෙස බැලුවේ කාළගුණ විද්‍යාඥයකු මෙනි. "මට හිතෙනවා නැගෙනහිරට පියෑඹීමට කාලය හරි කියලා " මහළු කුරුල්ලා කහ කුරුල්ලාට කිවේය. කහ කුරුල්ලාගෙන් කිසිම පිළිතුරක් නොලැබුණ බැවින් මහළු කුරුල්ලා කහ කුරුල්ලාගේ හොට හා දෙනෙත් දෙස සෝදිසියෙන් බැලුවේය. 

"මොකද, උඹ අසනීපයෙන් වගේ" මහළු කුරුල්ලා ඇසීය. "නෑ, මගේ බඩේ අජීරණයක්. දැන් දවස් දෙක තුනකට උඩදි මම පැණි රස තලපයක් කෑවා. ඒක බඩේ ඇලවිලා වගේ. පිටවෙන්නේ නෑ. බඩ රිදෙනවා." කහ කුරුල්ලා උත්තර දුන්නේ නොරිස්සුම් හඬකිනි. 

"මෝඩයා, උඹ කෑවේ සමහර ජනෙල් පඩි උඩ අලවලා තියෙන රෝස පාට පොහොට්ටු වගේ තලප කෑල්ලක්ද?"

මහළු කුරුල්ලා ඇසුවේ සමච්චල් හඬකිනි. සමච්චල් සහගත හඬ නිසා කහ කුරුල්ලාට තරහ ආවේය. "මගේ බඩ පිපිලා , උඹ මට හිනා වෙනවා, උඹට මගේ බඩේ තියෙන රුදාව තේරෙනවා නම් උඹ ඔය හෑලි කථා කියන්නේ නෑ නාකියෝ" කහ කුරුල්ලා කීවේ අමිත්‍ර හඬකිනි. 

මෙවර මහළු කුරුල්ලා ගාම්භීර හඬකින් කථා කළේය. පෙර තිබූ සරදම් ස්වභාවය ඌ යටපත් කර ගත්තේය. "උඹ කාලා තියෙන්නේ මනු සත්ව පැටව් නිතර හපන තලප කෑල්ලක්. සමහර පැටව් අපේ කුරුළු පැටවු වගේ නොමනා වැඩ කරනවා. උන් බිත්ති වල, ජනෙල්පඩි වල හපපු තලප කෑලි අලවනවා. ඒවා හරිම සුවදයි. කන්නටමයි හිතෙන්නේ. ඒවා කාලා අපේ කුරුල්ලන් ලෙඩ වෙනවා."

ඇත්තෙන්ම සිදු වූයේ එයයි. මීට දින කීපයකට පෙර දී කහ කුරුල්ලා දහ අටවන මහලේ නිවෙසක ජනෙල් පඩියේ අලවා තිබූ රෝස පැහැති චුවින්ගම් කැබැල්ලක් හොටෙන් කඩා ගෙන කෑවේය. එහි සුවද හා රස ඌව කුල්මත් කළ ද, බඩට ගිය තලපය ඇබයක් ගැසුවා මෙන් ආහාර මාර්ගය සිර කළේය. කුරුල්ලාගේ බඩ පිපුණු අතර අසූචි පිට වීමද නැවතිනි. කිසිම ආහාරයක් ගැනීමට කුරුල්ලාට ප්‍රිය නොවීය. 

"උඹ හරි නාකියෝ, ඒක තමයි උනේ. මට දැන් වතුර ටිකක්වත් හොටෙන් ගන්න බැහැ. කෑම නැතිව දැන් වරු දෙක තුනක් වෙනවා." කහ කුරුල්ලා මහළු කුරුල්ලාට කීවේ බොල් හඬකිනි. මහළු කුරුල්ලා කහ කුරුල්ලාගේ මලානික වූ දෑස දෙස බැලීය. 

"ගොයියෝ මෙදා පොටේ උඹ කම්මුතුයි. හෙට අනිද්දා ශීත කාලය එනවා. උඹ කෙහොමද රංචුව එක්ක නැගෙනහිරට පියාඹන්නේ. ඔට්ටුයි උඹට අර ඈත පෙනෙන තිරිඟු කුඹුරුයාය ළඟටවත් පියාඹන්න බැහැ. පියාඹන ගමන් උඹ දුර්වල වෙලා බිමට ඇද වැටෙයි. පහළ ඉන්න පූසෙක් හරි, බල්ලෙක් හරි උඹව පිහාටු පිටින්ම තළුමර මර කයි." 

කහ කුරුල්ලාට මරණ බිය දැනුනි. ඌ ලී කණුව මැදට පැමිණියේ ක්ලාන්තව අඩි සිය ගණනක් පහළට ඇද වැටේය යන බියෙනි. පහත මායිමේ ගමන් කරන වාහන ඌ දුටුවේ ඒ මේ අත ඇදී යන කෘමීන් පේළියක් මෙනි. 

"මාමේ මම සීත කාලයේ රංචුව එක්ක පියාඹන්නේ නැතුව මේ වහළය උඩම ඉන්නවා." කහ කුරුල්ලා කීවේ ස්ථීර හඬකිනි. 

"උඹ කොහොම වහළය උඩ ඉන්නද?" මහළු කුරුල්ලා පණ්ඩිතයෙකු මෙන් හොට ඇද කොට කථා කළේය. 

"තව දවස් දෙක තුනකින් සීත හුලං හමනවා. ඊට පස්සේ හිම වැටෙනවා. මුළු වහලයම හිම තට්ටු වලින් වැසී යනවා. කෘමීන් ලී අස්සට යාවි. උඹට හිම උඩ පෙන්ගුයින් කුරුල්ලෙකු වගේ බකල ගහ ගහ ඇවිදින්න වේවි. ඒත් වැඩි දවසක් උඹට ඇවිදින්න වෙන්නේ නැහැ. ගොයියෝ උඹේ දෙපා ගල්වෙලා උඹ හිම උඩ ඇද වැටෙයි. මල්පියලි වගේ ඇද හැලෙන හිම වලට උඹේ මළකුණ යටවෙලා ගලක් වගේ තද වෙයි. හිම දියවෙලා ගිහිල්ලා උණුසුම් කාලය ආවාට පස්සෙයි උඹේ මළකුණ කුනුවෙලා පණුවෝ ගහන්නේ."

කහ කුරුල්ලාට දැනුනේ විශාල බියකි. තම සිරුර පණුවන් කන්නාක් මෙන් ඌට දැනුනි. මහළු කුරුල්ලා නොනවත්වාම කථා කලේය. 

"සීත කාලය එනකොට අපි මෙහෙන් පිට වෙලා ක්ෂිතිජය පැත්තට පියාඹන්න ඕනෑ. රෑ දහවල් නැතිව සුමාන ගණනක් පියාඹලා තමයි අපි උණුසුම් කන්දට යන්නේ. හිම කාලෙට මෙහේ ගේ කුරුල්ලෙක්වත් දකින්න නැහැ. මම කොල්ලා කාලයේ දැකලා තියෙනවා සීත නිසා අහසේ පියාඹන කුරුල්ලන් ගල්වෙලා බිමට වැටෙන හැටි."

මහළු කුරුල්ලා නොකඩවාම කථා කළේ රැස්වීමක් අමතන්නාක් මෙනි. අවට සිටි කුරුල්ලෝ ද ඌට සවන් දුන්හ. පෙඳී සෙමෙන් සෙමෙන් කහ කුරුල්ලා අසලට පැමිණියාය. ඇය අනුකම්පා සහිත දෙනෙත් වලින් ඔහු දෙස බැලුවාය. 

"ඔයා අසනීපෙන්ද?"

කහ කුරුල්ලා නිහඬව හිස සැලීය. 

"මට බඩේ අමාරුවක්. බඩේ තලපයක් හිර වෙලා."

කහ කුරුල්ලාට පසුගිය සමයේ උණුසුම් කන්ද බලා ගිය චාරිකාව සිහිපත් විය. සිය ගණනක් වූ කුරුල්ලන් අතරට මැදිව කහ කුරුල්ලා පියාසර කළේ ප්‍රීති නාද නගමිනි. නිතරම පෙඳී අසලින් පියෑඹීමට කහ කුරුල්ලා වගබලා ගත්තේය. ඇය පියෑඹුවේ පා වෙන්නාක් මෙන්ය. කුරුළු රංචුව ක්ෂිතිජය බලා පියෑඹුයේ මහ සාගරය පතුලේ සිට ඉහළට එන හිරු අල්ලා ගැනීමට මෙන්ය. ඉදිරියෙන්ම පියෑඹුයේ රංචුවේ නායකයා වූ රතු වල්ගකාරයාය. රතු වල්ගකාරයා නිතර කිපෙන සුළු, ඕනෑම පක්ෂියෙකුට හොටෙන් පහර දීමට සූදානම් වූ ශක්තිමත් කුරුල්ලෙකි. තමා පසු කොට පියෑඹීමට ඌ කිසිම කුරුල්ලෙකුට ඉඩ දුන්නේ නැත. අමතක වීමෙන් රතු වල්ගකාරයා පසුකර පියෑඹීමට යෑම නිසා කහ කුරුල්ලා වරක් නායකයාගේ හොටෙන් පහරක් කෑවේය. ඉන් පසු කහ කුරුල්ලා පියෑඹුයේ රංචුව මැදට වන්නටය. එහෙත් නිතරම උගේ නෙත් පෙඳී දෙස යොමු වී තිබුණි. 

කහ කුරුල්ලාට පෙඳී සමඟ කථා කිරීමට ඉඩ ලැබුණේ උණුසුම් කන්දේ දී ය. ඇය ඉදුණු පළතුරක රස බලමින් සිටියාය. කහ කුරුල්ලා ඇය සිටි අත්ත උඩට පියෑඹුයේ ගැහෙන හදවතිනි. ඇය සිටි අත්තට බර දුන් කහ කුරුල්ලා පෙඳී ට ඉඟි බිඟි පෑවේය. ඇය විලියෙන් බිම බලා ගත්තාය. 

කහ කුරුල්ලා සෙමෙන් සෙමෙන් පෙඳී අසලට ආවේය. "මාත් කෑල්ලක් කන්නද?" කහ කුරුල්ලා පෙඳීගෙන් ඇසුවේ විනීත ලෙසිනි. 
"කන්න" ඇය මඳක් පසෙකට වූවාය. 

ඉඳුණු පළතුරට හොටෙන් අනිමින් ඔහු ඇය සමඟ කථා කළේය. සති ගණනක දීර්ඝ පියෑඹීම නිසා කුරුළු රංචුව සිටියේ අධික වෙහෙසෙන් හා දැඩි කුසගින්නකිනි. උණුසුම් කන්දේ ගස් උඩ වසා සිටිමින් ඔවුහු ගිමන් නිවූහ. 

කොණ්ඩය අවුල්වූ තවත් තරුණ කුරුල්ලෙක් පෙඳී අසලට ආවේය. ඌ කහකුරුල්ලා කෙරෙහි තැකීමක් නොකොට පෙඳීගේ ගෙල තම හොටෙන් පිරිමැදීය. පෙඳී ඔහුගෙන් ඉවත් වූයේ අමනාපයෙනි. කහ කුරුල්ලාට තරහ ආවේය. 

"උඹට පේන්නේ නැද්ද මොට්ටයෝ අපි මෙතන කථා කර කර සිටින වග?"කහ කුරුල්ලා කේන්තියෙන් කීවේය. 

කොණ්ඩය අවුල් වූ කුරුල්ලා කහ කුරුල්ලා දෙස බැලුවේ අභියෝගාත්මක දෙනෙතිනි. 

"කොහොමද, කහ ගුලිය, උඹ නායකයාගෙන් කෑවා නේද බඩපුරා, අයාලේ පියාඹන්න ගිහිල්ලා."

කහ කුරුල්ලාට ලැජ්ජාවක් ඇති විය. රතු වල්ගකාරයා පසු කොට පියෑඹීමට තැත් කිරීම නිසා තමාට උගේ හොටෙන් පහරක් වැදුණු බව පෙඳී ඉදිරියේ කීම නිසා, කොණ්ඩ අවුල්කාරයා කෙරෙහි ඇති වූයේ තද කෝපයකි, 

"උඹ මෙතනින් යනවද? නැත්නම් මම යවන්නද?" කහ කුරුල්ලා කෑගැසීය. 

"මේක උඹේ ගහක් කියල මම දැනගන හිටියෙ නැහැනේ කහ ගුල්ලෝ" අවුල් කොණ්ඩයා බෙරිහන් දුන්නේය. 

"මම උඹට අන්තිම පාර කියන්නේ." කහ කුරුල්ලා කීවේය. 

"අපි මෙතනින් යමු." පෙඳී කහ කුරුල්ලාට කිවාය.

"මොකද, උඹ උකුසු පාට් දාන්නද?" කහ කුරුල්ලා කොන්ඩ අවුලාගෙන් ඇසීය.

"ඇයි දාන්න බැරිද?" කොණ්ඩ අවුලා කෑගැසීය. කොණ්ඩ අවුලා මෙසේ නොකීවා නම් හොඳය. කෝප වූ කහ කුරුල්ලා තම ගෙලෙහි වූ පිහාටු පුම්බා කොණ්ඩ අවුලාට කෙටුවේය. පහරේ වේගය නිසා කොණ්ඩ අවුලා අඩි දහයක් පමණ පහතට ඇද වැටිණි. එහෙත් පොළොවට පතිත වීමට මත්තෙන් ඌ පියාපත් ගසා පඳුරක් මතට පැන ගත්තේය. පඳුර මත ලැග සිටිමින්, කහ කුරුල්ලාගේ හොටේ පහරින් තුවාල වූ තම හිස පඳුරේ වූ පිණිමත ඇතිල්ලීය.

"අපි මෙතැනින් යමු."පෙඳී යළිත් වරක් කහ කුරුල්ලාගෙන් ඇයැද සිටියාය.

"හොඳයි යමු." කියමින් කහ කුරුල්ලා පෙඳී සමග විශාල ගසකට පියෑඹූවේය. කහ කුරුල්ලා උණුසුම් කන්දේ ගතකළ කාලය පුරාම පෙඳී අසළ දැවටෙමින් සිටියේය. ඔවුන්ට කරදර කිරීමට කොණ්ඩ අවුලා යළි නොපැමිණියේය. කහ කුරුල්ලා කොණ්ඩ අවුලාට තුවාල කළ බව දැනගත් අනෙකුත් තරුණ කුරුල්ලෝ කහකුරුල්ලා සහ පෙඳී අතර ඇති සම්බන්ධයට බාධා නොකළෝය.

වැසි සමය එළඹීමත් සමග උණුසුම් කන්දෙන් යායුතු කාලය පැමිණ ඇති බව නායක කුරුල්ලා තීරණය කළේය. උණුසුම් කන්දේ ගත කළ අවසන් දිනයේ දී කහ කුරුල්ලා පෙඳීගේ දෙනෙත දෙස බලා කථා කළේය.

"අපි කූඩු වෙමුද?"

ඇය එක්වරම උත්තර නොදුන්නාය. "පෙඳී මම කැමතියි ඔයත් එක්ක කූඩුවක් තනන්න." මෙසේ කියන ගමන් කහ කුරුල්ලා තම හොටයෙන් පෙඳීගේ හොටය පිරිමැදීය. පෙඳී හිස ඔසවා කහ කුරුල්ලා දෙස බැලූවාය.

"ලබන වාරයේ උණුසුම් කන්දට ආවාම බලමු." පෙඳී ප‍්‍රකාශ කළාය.

උද්දාමයට පත් වූ කහ කුරුල්ලා පී‍්‍රති නාද නඟමින් උණුසුම් කන්ද වටා පියෑඹීය. ඌ දෙවැනි රවුම නිම කරන විට කුරුලූ රංචුව යළි ගමන් ආරම්භ කිරීමට සූදානමින් සිටියහ.

පෙඳී සහ කහ කුරුල්ලා කුරුලු රංචුව මැදට පැමිණ පියෑඹීහ. හිසේ තුවාලය සුව වූ නමුදු හදවතේ වේදනාව තවමත් සුව නොවූ බව කොණ්ඩ අවුලාට තදින්ම දැනෙමින් තිබිණි. ඌ කහ කරුල්ලාට සහ පෙඳීට බොහෝ ඈතින් පියාසර කළ නමුදු කහ කුරුල්ලා දෙස වෛරයෙන්ද, පෙඳී දෙස ආශාවෙන්ද බැලූවේය.

උණුසුම් කන්දේදී උපත ලැබූ, තවමත් නොමේරු පියාපත් ඇති ළමා වයසේ සිටි කුරුල්ලෝ තම මව්පිය දෙදෙනා මග ඇරේදෝ හෝ බිය හා සංකාවෙන් යුතුව පියෑඹූහ. කුරුලු රංචුව සමග ශරි හරියට පියෑඹීමට නොහැකිවූ මහලු කුරුල්ලෝ අතර මගදී බිම ඇද වැටුණාහ. සමහරු වෙහෙස නිසා මගහැරිණි. කිසිවෙකු ගැන තැකීමක් නොකළ රතුවල්ගකාර කරුල්ලා කිරිල්ලියන් පිරිවරාගෙන ඉදිරියෙන්ම පියඹා ගියේය.

ඛහ කුරුල්ලාට තමාගේ පියෑඹීම පිළිබඳ ප‍්‍රථම අත්දැකීම සිහිපත්විය. එදා කුඩා කුරුල්ලෙක්ව සිටි කහ කුරුලු පැටියා මවගේ විධානය අනුව අත්තෙන් අත්තට පියෑඹීය. තමා ඇද වැටේය යන බිය උගේ සිත තුළ තිබුණි. එහෙත් අහසේ පියාඹන විට බඩවතේ වදින සිහිල් සුළඟ නිසා බිය අඩුවිය. අහස් කුස ජයගැනීම නිසා උද්දාමයෙන් යුතුව ඌ මවටත් වඩා වේගයෙන් පියාඹන්නට පටන්ගත්තේය. මව ඔහු පැසසුවාය. පියා කහ කුරුල්ලා දෙස බැලූවේ උගේ හපන්කම අගයන්නාක් මෙනි. දෙපා කොරව උපන් සොහොයුරා පමණක් තනිවිය. කූඩුවේ තනිව සිටින සොහොයුරාට මව වරින් වර හොටෙන් කැම ගෙනවිත් කැවුවාය. එක් දිනෙක උදෑසන බලන විට කොර සොහොයුරා කූඩුවෙන් බිමට වැටී ගස අසල පාමුල සිටියේය. උගේ සිරුර පුරා කුහුඹියන් පිරී සිටි බව දුටු මව ශෝකයෙන් කෑ මොර දුන්නාය. පියා පුතුගේ දේහය දෙස බලා සිටියේ ය.

තව දුරටත් කූඩුවේ වාසය කිරීම කහ කුරුල්ලාට එපා විය. ඌ නිදහස සොයා කූඩුවෙන් පිටවී ගියේය. ඉන් පසු ඌ සිය මව හා පියා දුටුවේ කළාතුරකිනි. ඌට මව අවසන් වරට මුණ ගැසුණේ පසු ගිය සීත සමයේදීය. ඇය මහලුව අබළ දුබළව සිටියාය. කහ කුරුල්ලා හොටෙන් ගෙන ගිය දළඹුවා ඇය කෑවේ සෙමින්ය. පියා වෙනත් කිරිල්ලියක් සමඟ කූඩු වූ බව ඇය කීවාය. ඉන් පසු කහ කුරුල්ලා යළි තම පියා ගැන විමසුවේ නැත.

"මම උණුසුම් කාලය එනතුරු ඉන්න එකක් නැහැ." මව කීවාය. ඇත්තෙන්ම ඇයට සීත කාලය මග හැරීම සඳහා නැගෙනහිරට රංචුව සමඟ පියෑඹීමට නොහැකි වූවාය. අබල දුබලව ගිය ඇය හිමෙන් වැසී ගිය කොළ රහිත විශාල ගසක් මත සිටියාය. කුසගින්න හා ශක්තිය හීන වූ ඇය බිම ඇද වැටුණාය. රතු පැහැති බූසි වලිගයක් සහිත නරියෙක් විසින් ඇය ගොදුරු කරගන්නා ලදී.

සීත කාලය අවසන් වූ පසු පැමිණි පුතා ඊට පසු තම මව දුටුවේ නැත. මේ නිසා යම් ශෝකයක් උගේ ළයේ ඇවිලෙමින් තිබිණි. එහෙත් එම ශෝකය තුනීවූයේ පෙඳීගේ හමුවීමත් සමගය.

කහ කුරුල්ලා තම රංචුව සමඟ දිරිය වඩවමින් පියෑඹීය. ඔවුහු ඉදහිට අතරමඟ නැවතී ගිමන් හැරියහ. ඒ අතරතුර ආහාරද අනුභව කළහ. පෙඳී හා කහ කුරුල්ලා නිතරම සිටියේ එකටය. එම නිසා රංචුවේ ඇතැම් කුරුල්ලෝ ඔවුන්ට විහිළු කළහ.

යළි ඔවුහු සුපුරුදු ප‍්‍රදේශයට පැමිණියේය. ඒ වන විට හිම දියවී සීත කාලය නිම වෙමින් තිබිණි. සුළගේ උණුසුම නිසා කුරුලු රංචුව පියාසර කළේ සෙමින්ය. අන්තිමේදී ඔවුන් පියාසර කරමින් පැමිණියේ වසර ගණනාවක් පුරා ඔවුන් අත්පත් කරගෙන තිබුණු, දිවි ගෙවු, උස් වූද, විශාල වූද, තට්ටු නිවාසයේ වහළය මතටය. යලිත් සීතකාලය පැමිණෙන තුරු ඔවුන් මෙම කොන්කී‍්‍රට් වහළය මත කොන්කී‍්‍රට් වනාන්තරයේ දිවි ගෙවනු ඇත.

කහ කුරුල්ලා කවදත් නගරය පි‍්‍රය කළේ නැත. දිවා රෑ ඇති ශබ්ද, දුම, තද හිරු රැස් පහත සිට කෑදර දෙනෙතින් බලා සිටින පූසන්, ඔහුට අපි‍්‍රය විය. ඉඳ හිට ගල් කැබලි දමා ගසා අනෙකුත් සතුන් එළවන මනු සතුන්ද කහ කුරුල්ලා අපි‍්‍රය කළේය, කහ කුරුල්ලා කවදත් උණුසුම් කන්දට ඇළුම් කළේය. ලබන වාරයේ පෙඳී සමග උණුසුම් කන්දේ අලුත් කූඩුවක් තැනීමට ඌ පුල පුලා බලා සිටියේය.

කහ කුරුල්ලාගේ පැතුම පුස්සක් වන බව දැන් ඌට වැටහෙයි. ආගන්තුක තලපය බඩේ ඇලවී ඇත. එය වැමෑරීමට හෝ වර්චස් පිඩක් මෙන් පිටකිරීමට හෝ නොහැකිය. කහ කුරුල්ලාට ජීවිත ආශාව තදින්ම දැනුනි. "මාමේ, මම දැන් මොකද කරන්නේ" යනුවෙන් මහලු කුරුල්ලාගෙන් ඇසුවේ යම්කිසි උපදෙසක් බලාපොරොත්තුවෙමින්ය. "මොනවා කරන්නද පුතේ, උඹ කම්මුතුයි" මහලු කුරුල්ලා කිවේ ස්ථීර හඬකිනි.

"නෑ එහෙම වෙන්නේ නෑ" මහලු කුරුල්ලා තල්ලූකරමින් පෙඳී එසේ කියමින් ඉදිරියට ආවාය. "ඔයා වතුර ටිකක් ගිලින්න, එතකොට ඕක පිටවෙයි"කහකුරුල්ලාට පෙඳීගේ වචනය ශක්තියක් විය. ඌ වහලය මත රැඳී තිබෙන වතුර දුබල ලෙසින් හොටෙන් ගෙන ගිල්ලේය. එවිට උදර වේදනාව වඩා දැනිනි.

"ඉලන්දාරියා," මහලු කුරුල්ලා කහ කුරුල්ලා ඇමතීය. "උඹ දැන් වරු ගණනක් කාල නැහැ. තව ටික දවසකින් රංචුව උණුසුම් කන්දට පියාඹනවා. උඹට රංචුව එක්ක යන්න ශක්තියක් නැහැ. අතරමඟ පරඬැලක් වගේ බිම ඇද වැටේවි."

කහ කුරුල්ලා හිතට ශක්තිය ගත්තේය. "ඒක එහෙම වෙන්නේ නෑ නාකියෝ, මම කොහොම හරි රංචුව එක්ක පියාඹනවා." කහ කුරුල්ලා කීය.

"හොඳයි, උඹට පියාඹන්න ශක්තිය තියෙනවා කියලා මට පෙන්නාපන්."මහලු කුරුල්ලා කහ කුරුල්ලාට අභියෝග කළේය. තවද මහලු කුරුල්ලා කහ කුරුල්ලාට මෙසේ කීවේය.

"උඹට අර වළාකුළු අතරින් ඈත පෙනෙන යකඩ ගහ පේනවා නේද? අර මුදුනේ රතු දිස්නේ දෙන මලක් තියෙන්නේ. උඹ එතෙන්ට පියඹපං. යළි එතන ඉඳලා මෙතනට වරෙන්. මෙහෙම වාර සීයක් ඒක කරන්න පුළුවන් උනොත් උඹට උණුසුම් කන්දට යන්න ශක්තිය තියෙන බව මම පිළිගන්නවා."

කහ කුරුල්ලා මහළු කුරුල්ලා දෙස බැලුවේ මෙම අභියෝගය බාර ගන්නවාද නොගන්නවාද යන සැකයෙනි. උණුසුම් කන්දේ පෙඳී අලුතෙන් තැනීමට යන කූඩුව ඌ තුළ ඇති කළේ ගැඹුරු බලාපොරොත්තුවකි. කහ කුරුල්ලා ඉලක්කය දෙස බැලීය. ඈත වළා අතරින් සීඩර් ගසක් මෙන් කළු යකඩ ගසක් පෙනේ. එහි අග්ගිස්සේ රතු පැහැති දිලිසෙන බෝලයකි. "සිය වාරයක්" ඔහු තොල්මැතිරීය. "ඔව්, සිය වාරයක්" මහළු කුරුල්ලා කඩිනමින් කෘමියකු ගිල දැමීය. ගමරාළ කෙනෙකු මෙන් බිම පහුරු ගෑ ඌ කහ කුරුල්ලාට දැණමුතුකම් දුන්නේය. 

"උඹ යකඩ ගහ පැත්තට පියාඹපන්, හැබැයි බැරි වෙලාවත් උතුරු පැත්තට යන්න එපා. එහේ නිතර ගින්දර විහිදුවන යකඩ කුරුල්ලෙක් පියාඹනවා. යකඩ කුරුල්ලෙකුගේ ඇඟේ වැදුනොත් උඹ කීතු කීතු වෙනවා. ඒ නිසා නිතරම අර රතු මල දිහා බලාගෙන පියාඹපං. වාර සීයක් කළොත් උඹට උණුසුම් කන්දට යන්න පුළුවන්."

කහ කුරුල්ලා හිතට ශක්තිය ගත්තේය. පෙඳීගේ දෑස දෙස බැලූ කහ කුරුල්ලා උදරයෙන් එන වේදනාව යටපත් කරගෙන ඈත ඉලක්කය කරා පියාඹීය. තටු ගසන විට උදර වේදනාව වඩ වඩා දැනේ, වෙහෙස හා ආහාර අහේනිය නිසා උගේ ශක්තිය ක්ෂය වී තිබි‚. එහෙත් පෙඳී කෙරෙහි ඇති ආදරය ඌට ගෙන ආවේ ශක්තියකි. රතු ගෝලය ඉලක්ක කරගත් නිසා කහ කුරුල්ලා අපහසුවෙන් වුවද පියෑඹුවේය. 

පැය බාගයක් පමණ පියෑඹීමෙන් පසු යකඩ ගස දෙසට ළංවීමට ඌට හැකි විය. දැන් යකඩ ගස දැවැන්ත ලෙස පෙනේ. එය ඉතා උසය. පත්‍ර නොමැති නමුදු අතු පිරී තිබේ. ගස උඩ රතු පැහැති බෝලය නිවි නිවී පත්තු වෙයි. එය හරියට යෝද උකුසු ඇසක් මෙන් විය. යකඩ ගසේ හරස් අත්තක වැසූ කහ කුරුල්ලා ගිමන් හැරියේය. කටේ කෙළ සිඳී ඇත. උදරය වේදනාව ගෙන දෙයි. තව අනූනව වාරයක් මෙම අභ්‍යාසය කිරීමට ඌට සිදුවී ඇත. කහකුරුල්ලා පෙඳී සිටින ඈත ගොඩනැගිල්ල දෙස බැලීය. එය දැන් තෝරා බේරා ගැනීමට පවා අමාරුය. බිම්මල් සමූහයක් ලෙස ගොඩනැගිලි දිස් වේ. 

යළිත් සිතට ධෛර්යය ගත් කහකුරුල්ලා තම කුරුළු රංචුව සිටින දිශාවට පියෑඹීය. තරමක් දුර පියෑඹීමෙන් පසු උදර වේදනාව උග්‍ර විය. තවදුරටත් තටු ගැසීමට පවා ඌට ශක්තියක් නොවීය. තමා පහළට ඇද වැටෙන බවක් ඌට දැනින. පහළ විශාල ජලාශයක්. ඊට ඇද වැටුනොත් නම් මරණය නියතයි. කහ කුරුල්ලා උතුරු දිශාව බලා තටු ගැසීය. ජලාශය නිසා උතුරු දිශාවේ වූ අන්තරාව ඌට අමතක විය. වෙහෙස හා වේදනාව නිසා අප්‍රාණිකව ජලාශයට ඇද නොවැටී ඉන් වෙන් වූ පක්ෂියා උතුරු දිශාව දෙසට පියාසර කරමින් සිටියේය. 

තම දකුණු පාර්ශවයේ විශාල ශබ්දයක් හා දෙදරුමක් කහ කුරුල්ලාට දැනුණි. ඒ දෙස බැලූ කහ කුරුල්ලාගේ ගත සීතල වී ගියේය. යෝධ පක්ෂියෙකු ඌ වෙත එයි. එවැනි විශාල කුරුල්ලකු කහ කුරුල්ලා කවදාවත් දැක නැත. ඌ විශාල නාදයක් හා දුම් වලාවක් පිට කරමින් ඉදිරියටම පැමි‚යේය. යෝධ පක්ෂියාගේ පියාපත්වල ' නෙක්රාස් ' කුරුල්ලාගේ පසුපස කරකැවෙන පියාපත් මෙන් පිහාටු තිබුණේය. ඒවා කරකැවෙන විට මුලු ප්‍රදේශයම ගිගුම් දෙමින් තද සුළං කුණාටුවක් ඇති කළේය. 

සුළං කුණාටුව නිසා කහ කුරුල්ලා යෝධ පක්ෂියාගේ කරකැවෙන පියාපත් කරා ඇදෙමින් සිටියේය. එම පියාපත් වල වැදුනේ නම් කහ කුරුල්ලා කීතු කීතු ඉරී යනු නියතය. ඌට මරණ බිය සහතික ලෙසම දැණුනේය. පෙඳී, කූඩුව සහ උණුසුම් කන්ද සිහි විය. මරණයෙන් ගැලවීමක් නොමැති බව වැටහුණු නිසාදෝ කහ කුරුල්ලා දැස් වසා ගත්තේය. වාසනාවකට මෙන් යකඩ කුරුල්ලා තමා පියාඹන දිසාව වෙනස් කළේය. අංශක 120 පමණ වම් පැත්තට හැරුණු යකඩ පක්ෂියා වඩා ඉහලට පියෑඹුවේය. එමනිසා සුළං කුණාටුවේ බලපෑම ඉවත් විය. කහකුරුල්ලා පහළට ඇද වැටෙන්නට විය. 

කහ කුරුල්ලාට පොළව පෙනුනේ බොදවී ගිය දර්ශනයක් මෙන්ය. ගෙවල් සහ ගස් භ්‍රමණය වෙමින් වඩ වඩාත් විශාලව පෙනෙන්නට විය. බිමට පතිත නොවිමට ඌ පියාපත් බදන්නට වූ හෙයින් කහ කුරුල්ලා බිම ඇද වැටීමේ වේගය අඩුවී ඌ ගුවනේ පා වෙන්ට පටන් ගත්තේය. ඒ අතර වාරයේ වැසීම සඳහා සුදුසු ස්ථානයක් තම දුබල දෙනෙත් වලින් ග්‍රහණය කරගනිමින් කහ කුරුල්ලා පසුවිය. 

කොළ සහිත ගසක් ආරක්ෂක ස්ථානයක් ලෙස ඉලක්ක කරගැනීමට නොහැකි වූ නිසා ඌ දෙමහල් නිවසක ඉහළ මාලයේ ජනෙල් පඩියක් මත වැසුවේය. එකෙණෙහිම ක්ලාන්ත ගතියක් දැනුන හෙයින් කහ කුරුල්ලා කවුළුව තුළින් පියාපත් ගසා පොත් රාක්කයක වැසුවේය. වෙහෙස, බිය, උදර වේදනාව නිසා උගේ දෑස් මලානික විය. කහ කුරුල්ලා හුස්ම ගත්තේ අසීරුවෙනි. 

දෙනෙත් වසාගෙන පොත් රාක්කයේ පොතක් මත වසා සිටි කහ කුරුල්ලා තමා දෙසට එන විශාල ඡායාව නොදිටීය. එම චායාව මොහොතක් කහ කුරුල්ලා දෙස බලා සිටිමින් සිහින් හඬකින් කථා කරන්නට විය. 

"අම්මේ ඉක්මණට එන්න, කුරුල්ලෙක් පොත් රාක්කයේ වහලා." 

මිනිස් කටහඬක් ඇසුණු බැවින් කහ කුරුල්ලා අසීරුවෙන් වුවද තම දෙනෙත් විවර කළේය. කුරුල්ලා ඉදිරියේ මිනිස් ළමයෙකි. ඌට විශාල බියක් දැණුනි. පියාපත් විහිදුවා කවුළුවෙන් පිටතට පියෑඹීමට උත්සාහ කළ නමුදු, උගේ ශක්තිය සහමුලින්ම ක්ෂයවී තිබුණු බැවින් ඌට හැකිවූයේ පොත් රාක්කයේ එහාට මෙහාට දුබල ලෙස පැනීම පමණකි. 

"අම්මේ, කුරුල්ලාට පියාඹන්න බැහැ. ඌට තුවාල වෙලා වගේ"

එකෙනෙහිම තවත් මිනිස් සත්වයෙක් කුරුල්ලා ඉදිරියේ පෙනී සිටියේය. 

"ලස්සන කහ කුරුල්ලෙක් දුවේ, කොහොමද මූ කාමරයට ආවේ ?"

කුඩා දැරිය ඇර තිබූ ජනේලය තම ළදරු ඇඟිල්ලෙන් පෙන්වූවාය. 

"අම්මේ, ඌ ලෙඩවෙලා වගේ, පව්"
දැරිය කීවාය. 

"ඌ හොඳටම බය වෙලා. පියාඹන්න බැරුව ආපසු කවුළුවෙන් එළියට ගියොත් ඌව පූසෙක් හරි, කාක්කෙක් හරි කාල දායි, අපි ජනේලය වහමු."මෙසේ කියා කාන්තාව ජනේලය වැසුවාය. 

"ඌව කලබල කරන්න එපා දුවේ. මම ඌට වතුරයි බාර්ලි ඇටයි ගේන්නම්"

මෙසේ කිවු කාන්තාව කාමරයේ දොර වසා පහත මාලයට ගියා ය. 

දැරිය තම සිඟිති අතින් කුරුල්ලාගේ හොටය මෘදු ලෙස අත ගෑවාය. බියට පත් වූ කුරුල්ලා පසුපසට ගියේය. බියට පත් වී සිටි කුරුල්ලා දැරියගේ අතට කෙටුවේය. දුර්වලව සිටි පක්ෂියාගේ කෙටීම දැරියට දැණුනේ කිතිකැවීමක් බදු සංවේදනයකි. මේ අතර වාරයේ මව බාර්ලි ඇට ටිකක්, කෙසෙල් ගෙඩියක්, සහ කුඩා පියනකට දැමූ වතුර ටිකක්ද ගෙන ආවේය. 

"මාෂා අපි මේ කෑම සහ වතුර ඌ ලඟ තියලා පස්සට වෙලා ඉමු." මව කීවේ කහ කුරුල්ලාගේ බිය පහව යනු සඳහාය. මනුසතුන් දෙදෙනා ඈතට ගියපසු කහකුරුල්ලා මදක් සන්සුන් විය. උගේ හොට අද්දර තිබූ බාර්ලි ඇට හොටෙන් ඈත් මෑත් කළ ඌ පියනේ වූ ජලය බිඳක් පානය කළේය. උදරයේ මතුව එන වේදනාව නිසා ඌ බාර්ලි ඇට හෝ කෙසෙල් ගෙඩිය දෙස බැලුවේවත් නැත. 

"ඌ අසනීප වෙලා වගේ දුව, මම කීවේ අපි යුරා මාමාට කියමු" මෙසේ කියමින් මව දියණියගේ හිස අත ගෑවාය. 

එදින රාත්‍රියේ කහ කුරුල්ලා නිදා ගත්තේ ලොකු පොත් දෙකක් අතර තිබූ දෙබොක්කාවක් වැනි ආවරණයක් ඇතුළය. කුසගින්න නිසා ඌ බාර්ලි ඇට දෙක තුනක් ගිල දැමූ නමුත් උදරයේ එන වේදනාව ආහාර රුචිය අඩුකර දැම්මේය. පෙඳී ගැන සිතමින් සිටි කහකුරුල්ලා ක්ලාන්තව පොත් අතර වැදහොත්තේය. 

කහ කුරුල්ලා උදේ අවදි වූයේ මයිල් පිරුණු විශාල මිනිස් හස්තයක් උගේ ගත වටා දැවටීමත් සමගය. බියෙන් වෙව්ලූ කහකුරුල්ලා නොකඩවා මිනිස් හස්තයට කෙටීය. කුරුල්ලාගේ කළබලය ගණනකට නොගත් මනුසත්වයා ගිනිකූරක් ගෙන උගේ හොට ඇරිය. 

"මුගේ බඩේ කෑම හිර වෙනවා. කෑම දිරවා ගන්න අමාරුයි, බඩත් ඉදිමිලා."දුඹුරු පැහැති කබායක් ඇද සිටි මිනිසා කාන්තාව සහ දැරිය දෙස බලා පැවසීය.

"අනේ, යුරා මාමේ ඌ මැරෙයිද?" දැරිය දුක්මුසු සවරයෙන් ඇසුවාය."කියන්න දන්නේ නැහැ." මිනිසා ගොරෝසු හඩින් පිළිතුරු දී කුරුල්ලාගේ බඩවත පරීක්ෂා කළේය. 

"මුගේ බඩ හොඳටම ඉදිමිලා." මිනිසා තම යෝධ ඇඟිලි වලින් කුරුල්ලාගේ බඩ සෙමෙන් තද කළේය. කහ කුරුල්ලාට දැනුණේ අධික වේදනාවකි. මිනිසා යළි කුරුල්ලා පොත් අතර තැබූවේය. ඌ සෙමින් සෙමින් පොත් අතර වූ දෙබොක්කාවට රිංගා ගත්තේය. 

මිනිසා තමාගේ සාක්කුවට අත දමා සුදු පැහැති කුඩා පෙත්තක් අතට ගත්තේය. එය හතරට කඩා එක් කැබැල්ලක් මේස හැන්දකට දමා ඊට වතුර ස්වල්පයක් දමා දිය කළේය. ඉන් පසුව ගිණිකූරක අගිස්සට දිය කරන ලද බෙහෙත් ස්වල්පයක් ගත්තේය. ඉන්පසුව තම වම් අත දෙබොක්කාව තුළට දමා කුරුල්ලාව ග්‍රහණය කරගත් මිනිසා උගේ හොට ඇර ගිණිකූරු තුඩුවේ තිබුණ බෙහෙත් උගේ මුව තුළට දැමුවේය. ඉන් නොනැවතුණු ඔහු ගිණිකූරු තුඩ කුරුල්ලාගේ හොට ඇතුළට දමා බෙහෙත් උගුර දෙසට තල්ලු කළේය. 

පක්ෂියා හුස්ම ගත්තේ අසීරුවෙනි. උගුරට තල්ලුකරන ලද බෙහෙත ආමාෂයට ගියේ දාහයක්ද ඇති කරවමිනි. මිනිසාගේ අතින් මිදුනු පක්ෂියා අසීරුවෙන් තම කෙට්ටු පාද වලින් බඩ ගාන්නක් මෙන් ශරිරය ඉදිරියට තල්ලුකරමින් යළි දෙබුක්කාව ඇතුළට ගියේය. 

"අනේ යුරා මාමේ, කුරුල්ලා ජීවත් වෙයිද?" දැරිය මිනිසාගේ කබායේ අතින් අල්ලාගෙන ඇසුවාය. 

"දෙයියෝ තමයි දන්නේ" මිනිසා මහත දෙවුර ගස්සමින් කිවේය. 

"මට පරක්කු වෙනවා, මම යනවා." මෙසේ කියමින් මිනිසා පහත මාලයට ගියේය. කාන්තාවද මිනිසා පසුපසින් ගියාය. "මාෂා කුරුල්ලව අල්ලන්න එපා." කාන්තාව තරප්පු පෙළ බසින ගමන් කීවාය. 

ආගන්තුක ද්‍රව්‍ය ආමාෂයට යෑම නිසා කහ කුරුල්ලාට බඩ පෙරලෙන්නාක් මෙන් දැණුනේය. ඌ මලාක් මෙන් බිම වැතිරුණු අතර උදර වේදනාව උග්‍ර වන්නට විය. උදරයෙන් එන පීඩනය නිසා උදරය පැළී යනු ඇතැයි කුරුල්ලාට හැඟුනි. ඵකවරම කුරුල්ලාගේ අධෝමුඛයෙන් කළු පැහැති දියරයක් සමග සිරවී තිබූ වසුරු හා දින ගණනාවක් පුරා උගේ බඩවැල තුළ රැදී තිබුණු තලපයද පිටවී ගියේය. කුරුළු වසුරු වලින් පොත් තෙමී ගියේය. 

වසුරු පහ වීමෙන් පසු කුරුල්ලාගේ උදර වේදනාව අඩු විය. ඌට දැන් දැනුනේ මහත් පහසුවකි. කහ කුරුල්ලා වතුර බිඳක් පානය කළේය. ඉන්පසුව බාර්ලි ඇට වලට කෙටුවේය. 

දැරිය යලි කාමරයට එන විට කුරුල්ලා සිටියේ මදක් ප්‍රාණවත් භාවයකිනි. ඇය කුරුල්ලා දෙස බොහෝ වේලාවක් බලා සිටියාය. පසුදින උදෑසන වනවිට කුරුල්ලා කාමරය පුරා පියාඹමින් සිටියේය. දැරියට දැණුනේ අපමණ සතුටකි."අම්මේ කුරුල්ලාට යුරා මාමාගේ බෙහෙතට සනීප වෙලා" ඇය මුර ගෑවාය. 

දැරියගේ කෑගැසීම අසා පැමිණි මවට දැකගත හැකි වූයේ කාමරය තුළ තටු ගසමින් පියාඹන කුරුල්ලාය. ඒ සමඟම කුරුළු වසුරුවලින් පෙඟී ගිය පොත් ඇයගේ අවධානයට ලක් විය. 

"මදෑ, පුෂ්කින්ගේ පොත් තුනක කුරුළු වසුරු, තාත්තාට හොදටම තරහ යයි."මෙසේ කියූ කාන්තාව අපවිත්‍රව තිබූ පොත් පවිත්‍ර කිරීම සඳහා පහත මාලයට ගෙන ගියාය. 

කාමරය පුරා පියාසර කරමින් සිටි කුරුල්ලාට කුසගින්නක් දැනිනි. ඌ මේසය මත තිබූ බාර්ලි ඇට අනුභව කළේය. වෙනදා මෙන් උදර වේදනාවක් දැණුනේ නැත. එම නිසා ඌ කෙසෙල් ගෙඩිය කෑවේය. බාර්ලි ඇට කෑවේය. වතුර බීවේය. ඌ වතුර බීවේ හොටෙන් ශබ්දයක්ද පිට කරමින්ය. 

කුරුල්ලා කෑම කන අයුරු දැරිය ඈතට වී බලා සිටියාය. ඇය අපමණ ප්‍රීතියට පත් වූවාය. සතුට වැඩි නිසා උද්දාමයට පත් වූ ඇය අත්පොලසන් දුන්නාය. එම හඬින් බියට පත් වූ කුරුල්ලා පොත් රාක්කයේ ඉහළ තට්ටුවටම පියඹා ගියේය. කුරුල්ලා බිය වූ බව දැනගත් දැරිය නිශ්ශබ්ද වූවාය. 

එදින රාත්‍රියේ කහකුරුල්ලා නිදාගත්තේ පොත් රාක්කයේ ඉහළ තට්ටුවක තිබුණු කාල් මාක්ස්ගේ 'ඩාස් කැපිටාල්' කෘතිය උඩය. 'ඩාස් කැපිටාල්' පොත මත තනි අන්ඩෙන් හිටගත් කුරුල්ලා නිදහස් පාදයෙන් පොත පහුරු ගෑවේය. ඉන් පසු ඌ නිදි කිරන්නට පටන් ගත්තේය. 

මව්පියන්ගේ නිදන කාමරයට ගිය දැරිය කුරුල්ලා සුවපත්වීම ගැන කථාකළේ සතුටිනි. පක්ෂියාට සනීප නිසා ඌ හෙට නිදහස් කළ යුතු බව මව හා පියා කී අතර දැරිය ඊට එකඟ වූයේ දුක්මුසු බැල්මකිනි. 

පසුදින උදෑසන මව කාමරයේ ජනේලය සම්පූර්ණයෙන් ඇර, ඇතට වී කුරුල්ලා දෙස බලා සිටියාය. කාමරය පුරා පියාසර කළ කුරුල්ලා විවෘත කර තිබූ කවුළුව තුළින් නිල් පැහැති අහස දිටීය. එකෙහින්ම ඌට පෙඳීව මතක් විය. ඇසිපිය හෙලන මොහොතකදී කහකුරුල්ලා ජනෙල් පඩිය උඩට පියෑඹීය. ඉක්බිති අහස දෙස බැලූ ඌ එළියට පියඹා ගියේය. ජනේලය අසලට පැමිණි දැරිය ඈත අහසේ පියාඹායන කුරුල්ලා දෙස බලා අතවනා ඌට සමුදුන්නාය. 

කුරුල්ලා දකුණු දෙසට පියඹා යලි වටයක් කැරකී තම කුරුඟ රංචුව ඉන්නා ඉසව්ව බලා පියඹා ගියේය. තෙතමනය සහිත සීත සුළං නිසා උගේ පියාපත් වෙවුලා ගියේය. 

කහ කුරුල්ලා තම රංචුව වෙත පියඹා යන විට කුරුළු රංචුව ළඟ එන සීත කාලය මග හැරීම පිණිස උණුසුම් කන්ද බලා පියාසර කිරීමට සූදානම් වෙමින් සිටියහ. රතු වල්ගකාරයා, හොට කබරයා, බඹර පිහාට්ටා වැනි ජ්‍යෙෂ්ඨ නායකයෝ පියාසර කළ යුතු දිසාව, කාල සටහන් පිළිබඳව වාදකරමින් සිටියෝය. අවශේෂ කුරුල්ලන් පියෑඹීම සඳහා සංඥාව ලැබෙන තුරු බලා සිටියේ මැරතන් තරගයක ආරම්භක වෙඩිල්ල ඇසෙන තුරු බලා සිටින ක්‍රීඩක පිරිසක් ලෙසිනි. 

කුරුල්ලන් අතරට පියඹාගිය කහ කුරුල්ලා පෙඳී සෙවීමට යුහුසුළු විය. දුක්මුසු විලාසයෙන් වහළයේ බාල්කයක් මත වසා සිටි පෙඳී දුටු කහ කුරුල්ලා අපමණ සතුටකින් යුතුව ඇය කරා පියඹා ගියේය. කහ කුරුල්ලා නිරෝගීව හා නිරුපද්‍රිතව ආපසු පැමිණි අයුරු දුටු පෙඳී තුටින් පිරුණ හදවතින් යුතුව මිහිරි නාද කළාය. 

"මම හිතුවේ ඔයා පියාසර කරද්දී බිම ඇද වැටුණා කියලා. මේ දවස් කිපය තුළ මම සිටියේ කොතරම් දුකකින්ද කියලා දන්නේ මම පමණයි." කියා කහ කුරුල්ලාගේ හොටයට තම හොටය තැබුවාය. 

රතුවල්ගකාර කුරුල්ලාගේ සංඥාව අනුව කුරුළු රංචුව උණුසුම් කන්ද දෙසට පියෑඹීම ඇරඹූහ. 

'කිචි බිචි ' නාද දස අත පැතිර ගියේය. මහත් වූ උද්යෝගයකින් යුතුව කුරුළු රංචුව පියඹා ගියෝය. කහ කුරුල්ලා පියෑඹුවේ පෙඳී සමගය. ඌ පියාඹන ගමන් කරණමක් ගැසුවේය. එය දුටු පෙඳී ද කහ කුරුල්ලා අනුගමනය කරමින් කරණමක් ගැසුවාය. හද පිරි සතුටින් ඉපිලී යන කුරුළු ජෝඩුව තම රංචුව සමග උණුසුම් කන්ද සොයා ක්ෂිතිජය දෙසටම පියාඹා ගියෝය.


වෛද්‍ය රුවන් එම් ජයතුංග




9 comments:

  1. උපරිම රස වින්දා. බෝම ස්තුතියි..

    ReplyDelete
  2. අති විශිෂ්ටයි. ස්තුතියි.

    ReplyDelete
  3. ඔබ දෙපළට මගේ ආචාරය

    ReplyDelete
  4. බොහොම ලස්සන සටහනක්.. ආසාවෙන් කියෙවුවේ..

    ReplyDelete
  5. දිනේශ් ඔබට මගේ ආචාරය

    ReplyDelete
  6. ලස්සනට ගලාගෙන යන කථාවක්, ස්තූතියි

    ReplyDelete
  7. හරිම ලස්සන කථාවක් සුපිරි ,ස්තූතිය

    ReplyDelete
  8. ලස්සන කතාවක්....
    ජීවිතේට ගන්න පුළුවන් දෙයක් තියනවා...
    බොහොම ස්තූතියි ඔබතුමාට 🙏

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook