Monday, March 16, 2015

සම්සුදීන් නානා


     
අඩක් විනාශ කරන ලද තම නිවෙස දෙස සම්සුදීන් බලාසිටියේ ශෝකයෙනි. දියණිය මුණපුරාට බෝතලයෙන් කිරි පොවමින් සිටියාය​. කිරි දරුවාගේ හිස ප්ලාස්ටරයකින් වෙලා තිබේ. නිවෙස විනාශ කිරීමට පැමිණි මැරයන් විසින් එල්ල කරන ලද ගල් පහරක් නිසා දරුවාගේ හිස තුවාල වූ අතර රෝහල් ගත කල දරුවා සහ මව ටිකට් කපාගෙන පැමිණියේ අද දහවලය​. තුවාලයේ වේදනාව නිසාදෝ දරුවා වරින් වර අඞයි. දරුවා අඞන වාරයක් පාසා සම්සුදීන් ගේ සිත ශෝකයෙන් බර වී යයි. සිය නෙතට ඉනූ කඳුලු දියණියගෙන් වසන් කරනු වස් ඔහු මුහුණ අනෙක් පසට හැරවීය​. එවිට ඔහුගේ නෙත ගැටුනේ කඩා බිඳ දමන ලද පැරණි සිංගර් මහන මැෂිමයි. වසර ගානක් පුරාසිත්තියාගේ දෑත් වල පහස ලැබූ මැෂිම දැන් නටබුන් ගොඩකි. 


නිවසට පහර දීමට පැමිණි මැරයන්ගෙන් කෙනෙක් සිංගර් මහන මැෂිමට පොරෝ පහරවල් කීපයක් එල්ල කොට එය නටබුන් කළේය​. ඔහු එය කරේ තබාගෙන නොගියේ මහන මැෂිම මළ කා තිබීම නිසාය​. නිවසින් කොල්ල කෑමට වටිනා දෙයක් සෙවූ ඔහුට දකින්නට ලැබුණේ මේස පංකාවකි. මේ පංකාව සම්සුදීන් සීරුවෙන් මුදල් එකතු කොට මිලට ගත්තේ රස්නය නිසා රෑට අඞන මුණපුරාගේ සුව පහසුව ගැන සිතාය​. පොරෝකරු මේස පංකාව සියතට ගැනීමට පෙර තවමත් දැළි රැවුලවත් නොවැඩුනු බෞද්ධ කොඩියක් සරමක් සේ කොට කලිසමට උඩින් දවටාගෙන සිටි ගැටවරයෙක් එය අතට ගත්තේ නිල් මැණිකක් අතට ගත් පතල්කරුවෙකුගේ විලාශයෙනි. නමුත් ගැටවරයාට කොල්ල කෑ වස්තුව භුක්ති විඳීමට හැකි වූයේ තත්පර කීපයකි. මේස පංකාව ග්‍රහනය කරගෙන සිටි ලාබාල මැරයාට පා පහරක් දුන් පොරෝකරු එය තමන් සන්තක කර ගත්තේය​. 

සම්සුදීන් ගේ නිවසේ දොරට සහ නිවසේ ඉදිරිපසට පහර දී විනාශ කල මැර සේනාව ඉන්පසු යාබ්ද නිවස කරා ගියහ​. මේස පංකාව සහ පොරව දෑතින් ගෙන සිටි මැරයා සෙස්සන් සමඟ ගමන් කළේ ජාතිවාදී උද්‍යෝග පාඨ මුර ගාමිනි. 

පැරණි සිංගර් මහන මැෂිමේ කෑලි එකතු කල සම්සුදීන් යළි එය එකලස් කිරීමට හැකිදැයි බැලීය​. පොරෝ පහර නිසා මැෂිම කැබලි වී ගොස් තිබේ. මැෂිමේ කෑලි අතගාන විට ඔහුට සිත්තියාගේ රුව සිතේ මැවිනි. 

සිත්තියා පයාගල දී කහඉර උඩ හප්පා දැමුවේ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයෙකුගේ තරුණ පුතෙකි. ලයිසන්වත් නොතිබූ තරුණයා පියාගේ අලුත්ම මොන්ටරෝවට හැපුණු මහළු ගැහැනිය ඉස්පිරිතාලයකටවත් ගෙන යාමට උත්සහ නොගත්තේය​. රිය අනතුර විභාග කිරීමට පැමිණි පොලිස්කරුවන් දේශපාලකයාගේ පුතාට ගෞරව පූර්වකව ආරක්‍ෂාව සපයමින් රිය අනතුර නිසා කපුටන් සමූහයක් මෙන් වට වූ ජනයා පළවා දැමූහ​. සිත්තියා රෝහලට රැගෙන යන ලද්දේ හංදියේ ත්‍ර්‍රීවීල්කරුවෙකි. රෝහලට ඇතුලත් කරන විටත් ඇයගේ ප්‍රාණය නිරුද්ද්ධ වී තිබුණේ ය. 

සිත්තියාගේ මරණයෙන් පසු දියණිය සමඟ තනි වූ සම්සුදීන් හරි හැටි කෑමක් බීමක් පවා ගත්තේ නැත​. ඔහු තවත් මහළුව ගියේය​. රිය අනතුර සමථයකට පත් කරගනු වස් දේශපාලකයා දුන් රුපියල් ලක්‍ෂය යොදා ව්‍යාපාරයක් අරඹන ලෙස අසල්වැසි නූර්දීන් දුන් අවවාද පවා ඔහු අසා සිටියේ හිස් බැල්මකින් යුතුවය​. එම මුදල් අවසානයේ වියදම් වූයේ ඉටිකොළ හා ලෑලි ගසා තිබූ නිවසේ ඉදිරිපස ඉදි කිරීමටය​. සිත්තියාගේ මරණය නිසා හදා ගැනීමට හැකි වූ නිවසද මැරයන් විසින් කඩා බිඳ දැමීම ඔහුගේ මහළු වයසට දරා ගත නොහැක​. එය යළිත් වරක් සිත්තියා අහිමිවීමක් මෙන් ඔහුට දැනේ. 

අද සවස සෞදි අරාබියේ සිටින බෑණාට දුරකථන ඇමතුමක් දිය යුතු බව සම්සුදීන් සිතුවේය​. මොහිදීන් ගේ කොමියුනිකේශන් එකද විනාශ කොට ඇති නිසා දුරකථන ඇමතුම ගැනීමට දැන් ටවුමටම යා යුතුය​. 

බෑනාට මේවා ආරංචි වෙලා කලබල වෙලා ඇති ඔහු සිතුවේය​. මොන විනාශය වූවත් පවුලේ උදවියගේ පණ බේරා ගැනීමට හැකි වූයේ අල්ලා දෙවියන් ගේ මහිමයෙන් බව සිතා ඔහු අහස දෙස බැලීය​. 

ප්‍රහාරය ඇරඹුනේ නොසිතූ මොහොතකදීය​. පල්ලිය හන්දියේ දී මැරයන් පිරිසක් මුගුරු අමෝරා ගෙන එනවා දුටු සම්සුදීන් රිෆයිඩීන් ගේ මස් කඩයේ කොට තාප්පය උඩින් පැන කුරුඳු වත්ත හරහා දිව ගියේය​. සම්සුදීන් මහල්ලෙකු වූවද තරුණයෙකු සේ ජවයන් යුතුව කොට තාප්පයෙන් පැනීමට හැකිවීම පුදුමයකි. නිවසේ තනිව සිටින දියණිය සහ කිරි දරුවා මතක් වීම නිසා ඔහුට විඩාවක් දැනුණේ නැත​. ඔහු එක හුස්මට නිවස වෙත දිව ගියේය​. හබරල ගාල අසල දී කිරි දරුවා වඩාගෙන සිටි දියණිය ඔහු දුටුවේය​. දරුවාගේ හිසින් ලේ ගලා යයි. මැරයන් පිරිසක් නිවසට ගල් පහරවල් එල්ල ක​ළ බවත් ඉන් එක් ගලක් ජනේලයේ වීදුරුව බිඳගෙන දරුවාගේ හිසට වැදුන බවත් දියණිය ඉකි ගසමින් පැවසුවාය​. 

දරුවා අතට ගත් සම්සුදීන් දියණිය සමග කුරුඳු කැලය ඔස්සේ මහ පාරට පැමින පාරේ යන ත්‍රීවීලයක් නවතා ගත්තේ අසීරුවෙනි. කිරිකැටියාගේ හිසේ තුවාලය දුටු රියැදුරා කිසිවක් නොදොඩා ඔවුන්ව රෝහල වෙත ගෙන ගියේය​. අතරමග දී කලබලයෙන් දිව යන මිනිසුන්, පොලිස් භටයන් දුටු සම්සුදීන් මහා විනාශයක් සිදුවී යන බව ඉවෙන් මෙන් වටහා ගත්තේය​. 

රෝහලට පැමිණි සම්සුදීන් ත්‍ර්‍රීවීලයට ගෙවීම සඳහා උඩ සාක්කුවට අත දැම්මද කිසිම මුදලක් නොගත් රියදුරා ඉක්මනට බාහිර රෝගී අංශය වෙත දරුවා ගෙන යන ලෙස පවසා යන්නට ගියේ ස්තූති කිරීමටවත් වේලාවක් නොතබමිනි. 

දරුවා රෝහලේ දින හතරක් නවතා ගන්නා ලදි. ඒ කාලය තුල සම්සුදීන් කාලය ගත කලේ රෝහල් වාට්ටුවේ සහ සාලිය​ මුදලාලිගේ කඩයේ පසුපස කොටසේ තිබූ දර මඩුවේය​. සාලිය​ මුදලාලිගේ හාමිනේ ඔහුට සහ දියණියට දිනපතාම ආහාර සකස් කර දුන් අතර ඒ සඳහා සතයක්වත් ගත්තේ නැත​. 

දරුවා සහ දියණිය රෝහලෙන් ටිකට් කප්පවාගෙන පැමිණි සම්සුදීන් දුටුවේ විනාශ කරන ලද තම ගෘහයයි. නිවස දෙස බලා දියණිය කඳුලු වගුරවද්දී සම්සුදීන් සුසුම් හෙලීය​. යන්තම් ඇතුළු කාමරයක් ප්‍රහාරයට අසු නොවී බේරී තිබේ. නමුත් එහි ජනේලය බිඳ දමා තිබේ. ඔහු කාඩ්බෝඩ් කැබැල්ලකින් වීදුරුව ආවරණය කලේය​. පැරණි මෙට්ටයක් කාමරයේ ගෙබිම එලා නිවසේ ඒමේ අත දමා තිබූ රෙදි අතුරා ඔහු දියණියට සහ දරුවාට නිදා ගැනීමට තැනක් පිලියෙල කලේය​. ඒ අතරවාරයේ අසල්වැසියන් කිහිප දෙනෙක් ඔහුගේ නිවෙස වෙත පැමිනියහ​. ඔවුන් බත් පාර්සල් කීපයක් ගෙන ආහ​. 

රිස්විට දුරකථන ඇමතුමක් දිය යුතු බව සම්සුදීන් දියණියට පැවසීය​. නමුත් පියා ටවුමට යාම පිළිබඳව ඇය බිය ගත්තාය​. 

දියණිය සහ මුණපුරා බලා ගන්නා ලෙස නූර්දීන් ගේ බිරියට ආයාචනාවක් කල සම්සුදීන් දියණියගේ විරුද්ධත්වයද නොතකා ටවුම වෙත පියමැනුවේය​. අතරමගදී ඔහුට මන්සූර් හමු විය​. මන්සූර් ගුරුවරයෙකි. ඔහු තැනින් තැන තරහෙන් සහ කළකිරීමෙන් යුතුව සිටි මිනිසුන් අස්වැසුවේය​. ටවුම වෙත යාම පසෙකලා ඔහු මන්සූර් සමඟ ගියේය​. 

පල්ලිය අසල දී තරුණයන් කණ්ඩායමක් ඔවුන් දෙදෙනාට හමු වූහ​. තරුණයන් කථා කළේ ආවේගයෙනි. 

"අපේ ගෙවල් ගිනි තියලා බඩු කොල්ලකාලා අපිව පාරට ඇදලා දැම්මා. අපි මරාගෙන මැරෙන්න උනත් දැන් ලෑස්තියි" කණ්ඩායමේ සිටි උස තරුණයෙකු කීවේය​. ඔහු තුවාන් ගේ පුතා බව සම්සුදීන් අඳුනා ගත්තේය​. 

මන්සූර් මහතා ඔවුන්ව අස්වැසීමට තැත් කලද ඔවුන් මන්සූර් මහතා සමගත් එකට එක කීහ​. 

"සර් ගහන්ඩ ගහන්ඩ වඳින එකත් මෝඩයා වඳින්ඩ වඳින්ඩ ගහන එකත් මෝඩයා. අපිටත් පුලුවන් මේවට රිටන් එක දෙන්න" 
තුවාන් ගේ පුතා මන්සූර් මහතා දෙස බලා තරහෙන් යුතුව පැවසීය​. මන්සූර් මහතා ද ඉන් මෙල්ල නොවූ බව පෙණුනි. 

"උඹලා අර මාළු ගුණපාල ගේ ගෙදරට රිටන් එක දුන්න කියලා මට ආරංචියි. උන් හැමදාම අපි අතර හිටපු අසරණයෝ. උඹලා අරුන් අපිට ගහන්න එනකොට හැංගිලා ඉඳලා උන් ගියාම පස්සේ මෙහෙ ඉන්න දුප්පත් මිනිස්සුන් ගේ ගෙවල් පිච්චුවා නේද? උඹලා වගේ එවුන් නිසා තමයි මේක කවදා හරි ලේ විලක් වෙන්නේ." මන්සූර් මහතා කෝපයෙන් යුතුව තරුණයන් අමතා පැවසීය​. ඉන් මෙල්ල වූ තරුණයන් තරහෙන් මුමුණමින් විසිර ගියහ​. 

"සම්සුදීන් නානා අපි යමු ගුණපාලගේ ගෙදර..." මන්සූර් මහතා කල ඉල්ලීම සම්සුදීන්හට ඉවත නොදැමිය හැක​. ඔහු මන්සූර් මහතා පසුපස ගියේය​. 

ගුණපාලගේ නිවස තිබූ තැන දැන් ඇත්තේ දා ගිය අඟුරුය​. වහලයට ගසා තිබූ ටකරං ගින්න නිසා ඇඹරී ගොස් තිබේ. ගුණපාල දුටු සම්සුදීන්ට විශාල කම්පාවක් මෙන්ම වරදකාරී බවක් දැනුනි. ඔහු ගුණපාල වෙත ගියේය​. 

"කුණපාල මොක්කුද උණා?" ඔහු අනුකම්පාවෙන් යුතුව විමසීය 

"මොනා වෙන්නද නානා, වෙන්න තියන හැම දෙයක්ම උනා. ඔහෙලගෙ වත්තට අරුන් ගහල ගියා අන්තිමට ගුටි කෑවෙ අහක හිටපු අපි. බලන්න උන් මගේ බයිසිකයට කරලා තියන දේ." 

ගින්නට අසු වූ ගුණපාලගේ බයිසිකලය අලින් පෑගූ යකඩ බට ගොඩක් මෙන් දිස් වේ. බයිසිකලයේ රබර් ටයර් පිලිස්සීම නිසා මතු වූ ගඳ තවමත් අවකාශයේ පැතිරී තිබේ. ගුණපාලගේ දරුවෙක් සුන්බුන් අතරින් තමන් ගේ පාසල් පොත් බෑගය සොයයි. 

"එහෙන් හැමදාම උදේ හවහා යකඩ කටවල් වලින් ආගම කියනවා. මෙහෙන් හැමදාම උදේ හවහා කඩ කටවල් වලින් පිරිත් කියනවා. අන්තිමේදී දෙගොල්ල සත්තු වගේ කා කොටා ගන්නවා." ගුණපාල වෙව්ලන ස්වරයෙන් යුතුව කීවේය​. 

මන්සූර් මහතා සහ සම්සුදීන් කිසිවක් කීවේ නැත​. ඔවුන් කම්පිතව ගුණපාල දෙස බලා සිටියා පම​ණි.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 



8 comments:

  1. මේක කියවනකොට මට තේරුනා මට සම්සුදීන් ගැන වගේම ගුණපාල ගැනත් එකම එකම විදියට ශෝකවෙන්න පුළුවන් බව.කවුරුවත් විශේෂ නැහැ. දුප්පත් මිනිස්සු එකිනෙකා මරාගැනීමක් වෙන්නෙ.
    බුකියෙ ජාතිවාදී පෝස්ට් කියවනකොට ඒව පට්ටපල් බොරු කියල මටනම් මුල ඉදලම තේරුනා. ඇත්තටම මම මුස්ලිම්වරු වෙනුවෙන් සයිබරයේ සටන් කළා. එහෙම කළේ එන්ජීඕ කාරයො එක්ක එක මල්ලෙ නොවැටී.
    මැදපෙරදිග රටවල මුස්ලිම් අන්තවාදීන් කරන දේවල්වලට මේ රටේ තමන්ගෙ දරුපවුල් රකින් අසරණ මුස්ලිම්කාරය පලි නෑ. කුරගල දෙවනගල අහිමිවෙලා හෙට මුළු රටම අල්ලගන්නව ඊට පස්සෙ අරකවෙයි මේක වෙයි කිය කිය කෑගහපු උන්ට තිබුනෙ ජාතිවාදය අවුස්සල දේශපාලන වාසි ගන්න. හැබැ‍යි ඒක උන්ට පාරාවලල්ලක් වුනා.

    ජාතිවාදය අවුස්සන්න නම් ඉඩ දෙන්නම හොඳ නෑ. එක් ජාතිවාදයක් සේවය කරන්නෙ එහි ප්‍රතිවාදීන්ට. මන්සූර්ගෙ ක්‍රියාමාර්ගය හරි.

    83 දි කලබල කළෙත් සංවිධානාත්මක මැරයො සිංහල ජනතාව නොවෙයි. අලුත්ගම සිද්ධිවල නම් බුකියෙ අපූරු පෝස්ට් තිබුන. මත්තලදි එජාප මන්ත්‍රීන්ට බිත්තර ගහපු එකත් අලුත්ගම. උගෙ මූණ රවුම් කරල තිබුන. ඔක්කොම අතේ කයිතන්. පසුගිය ආණ්ඩුවෙ මැරයො. වෙන කවුද

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ මතධාරියා මෙවැනි වැඩ වලින් අන්තවාදය පෝෂණය වෙනවා

      Delete
  2. ඉතා අගෙයි.. වැඩේ කියන්නේ මිනිසුසුන්ගේ ලේ ඩිංගක් කෝප් වෙච්චි ගමන් අනිත් අය මිනිස්සු නොවේ වගේ පේන එකයි..

    ReplyDelete
    Replies
    1. දේශකයා ඒකනේ යකා ආගම් අපිට දුන්නේ

      Delete
  3. සම්සුදීන්ලා,ගුණපාලලා,රාමන්ලා වගේම පීටර්ලත් හැමදාම මේ ලෝදිය හැලියේම පැහේවි මනුස්සකමට වඩා ආගමට,ජාතියට තැන දෙන චින්තනය වෙනස් වෙනකම්ම....
    වටින උත්සහයක් සහෝ....ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. කටුසු හාමි ස්තූතියි

      Delete
  4. හොඳ කතාවක් රුවන්. කාලීනයි

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබලාගේ අත්පුඩි වලින් තමයි ලේඛකයෙකුට මොරාල් එක එන්නේ තව ලියන්න

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook