Friday, February 10, 2017

කරුණාසේන ජයලත් තනිස්කරණ ක්‍ෂිතිමය සින්ඩ්‍රෝමය හෙවත් Rape Trauma Syndrome (RTS) ගැන දැන සිටියේද ?

  

කරුණාසේන ජයලත් යොවුන් පේ‍්‍රමයේ අමරණීය නවකතාකරු ලෙස කිරුළ දිනාගත් සාහිත්‍යධරයෙකි. ඔහු විසින් ලියන ලද ගොළු හදවත ,බඹා කෙටූ හැටි,    ලස්සන ඇස් , ගැහැණු ළමයි , යහළු යෙහෙළි යන නවකතා පරම්පරා දෙකක යෞවනයන් විසින් ආශාවෙන් කියවන ලදි. යොවුන් නවකතාකරුවෙකු වූ කරුණාසේන ජයලත්  මිනිස් හැඟීම් ඉතා ව්‍යක්ත ලෙස හඳුනාගෙන සිටි බව ඔහුගේ නවකතා සනාත කරයි. මිනිස් මනසේ සශෝභන ආදර හැඟීම් මෙන්ම චිත්තාවේගීය ගැටළු වලදී මතු වන ව්‍යාධිජනක හැඟීම්ද නිරාවරණය කරමින් ඔහු චරිත ගොඩ නැගුවේය​. 

කරුණාසේන ජයලත් විසින් ලියන ලද හතුරු හිතක් කෘතියේ පද්මිනී යන චරිතය අව්‍යාපී චරිතයකි. එවැනි චරිතයක් මාර්ටින් වික්‍රමසිංහ , කේ ජයතිලක , ජී.බී සේනානායක යන ලේඛකයන් ගේ පොත් වලද දක්නට නොලැබේ.  පද්මිනී යනු වික්‍ෂේපණය වූ චරිතයකි. එවැනි චරිතයක් සිංහල සාහිත්‍යයේ අතිශයින්ම විරළය​. 

කරුණාසේන ජයලත් ගේ  හතුරු හිතක් කෘතියේ පද්මිනී යනු නිමල් හතුරුසිංහගේ සිසුවියකි. එසේම නිමල් හතුරුසිංහගේ පෙම්වතිය වූ කුසුම් ගේ යෙහෙළියකි.  දෙමාපියන් ගේ බලපෑම නිසා නිමල් හතුරුසිංහට කුසුම්ව අත් හැරීමට සිදුවේ. පසුව ඔහු ධනවත් පවුලක තරුණියක වූ පද්මිනී සමහ විවහා වේ. 

මංගල දිනයේදී පද්මිනී කුසුම්ට රහසින් පවසන්නේ "ඔයාට බැරි වූ දෙය මම කලා "  කියාය​. එහි අරුත වනාහී කුසුම්ට නොහැකිවූ පළි ගැනීම ඇය විසින් කල බවය​. පසුව පද්මිනී අනාචාරයේ හැසිරී නිමල් හතුරුසිංහගේ දිවිය අපායක් කලාය​. පද්මිනී මෙලෙස පුරුෂයෙකුගෙන් පළි ගත්තේ මන්ද ? පද්මිනී පවසන අන්දමට ඇය ලිංගික අපචාරයක ගොදුරක් වූවාය​. ඇය වරක් කුසුම්ට මෙසේ කීවාය  "මම ගෑනියෙක් වුනේ ලොකු ලමයෙක් වෙන්නත් කලින් කුසුම් . . . " "මට ඕන මේ ලෝකේ ඔක්කොම පිරිමින්ගෙන් පලිගන්න . . . "පද්මිනී තුල පළි ගැනීමේ චිත්තය වර්ධනය වූවාය​. ඇය පළි ගත්තේ ඩී.ආර්.ඕ නිමල් හතුරුසිංහ හෙවත් ඇයගේ වෛවාහික සැමියා ගෙනි. 

දූෂණයට ලක්වූ කතුන් තුල මතු වීමට ඉඩ තිබෙන  තනිස්කරණ ක්‍ෂිතිමය  සින්ඩ්‍රෝමය හෙවත් Rape Trauma Syndrome (RTS)  තත්වය ගැන ගත්කතුවර කරුණාසේන ජයලත් දැන සිටියාද කියා සිතෙන්නේ ඔහු විසින් පද්මිනීගේ චරිතය ගොඩ නගන ආකාරය අධ්‍යනය කිරීමෙනි. මනෝ විද්‍යාව පිළිබඳව ඇකඩමික් සුදුසුකමක් නොතිබුනද කරුණාසේන ජයලත් විචක්‍ෂණ අයුරින් මනෝ විද්‍යාණුකූලව පද්මිනීගේ චරිත ස්වභාවය පාඨකයා වෙත ඉදිරිපත් කරයි. මේ කරුණ අපගේ ග්‍රන්ථ විචාරකයන්ට මඟ හැරුණු ස්ථානයකි. 

තනිස්කරණ ක්‍ෂිතිමය  සින්ඩ්‍රෝමය හෙවත් Rape Trauma Syndrome (RTS) දූෂණයට ලක්වූ  වින්දිත කාන්තාවට මතු විය හැකි මානසික අක්‍රමතාවයකි. ඇතැම් විද්වතුන් අර්ථ දක්වන අන්දමට මෙය එක්තරා ආකාරයක පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයකි (PTSD). දූෂණය වැනි ක්‍ෂිතිමය තත්වයකට ලක් වූ කාන්තාවන් තුල විශාදය මෙන්ම පෞරුෂයේ වෙනස්වීම ද මතු විය හැකිය​. එසේම සමහර කාන්තාවන් තුල පද්මිනීට මෙන් පළිගැනීමේ වියරු ආශාවන් ද ඇති විය හැකි බව සිද්ධි අධ්‍යනයන් තුලින් පෙනී යයි.   

හතුරු හිතක් කෘතියේ පද්මිනී යනු Borderline Personality Disorder  යන පෞරුෂ අක්‍රමතාවයෙන් පෙලෙන තැනැත්තියක් බව සිතීමේ සාධක තිබේ. ඇය එම තත්වයට පත් වන්නේ ලිංගික දූෂණයට පත් වීමෙන් පසුවය. ​පද්මිනී කුසුම්ට වඩා අතිශයින්ම වෙනස්වූ තැනැත්තියකි. පද්මිනී තුල හීනවූ සහකම්පනීය අවබෝධය, හැඟීම් නිර්වින්දනය (emotional anesthesia) ​, විසන්දේහ චර්‍යා (risk taking behavior ) චිතාවේගී අසමතුලිතභාවය , වෛරබුද්ධිය පැහැදිලිවම දැකගත හැකිය​. 

තනිස්කරණ ක්‍ෂිතිමය  සින්ඩ්‍රෝමය ගැන කතා කිරීමේදී මට රෝගී කාන්තාවන් දෙදෙනෙකු මතක් වේ. එක් තැනැත්තියක් මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් මනෝ ප්‍රතිකාර සඳහා මා වෙත යොමු කරන ලද කාන්තාවකි. ඇයගේ සැමියා යුද හමුදාවේ සාජන්වරයෙකි. ඇයගේ සැමියා ක්‍රියාන්විත සේවයේ යෙදී සිටියදී තරුණයන් පස් දෙනෙකු විසින් රාත්‍රියක නිවසේ දොර කඩා ඇතුළුවී ඇයව සමූහ දූෂණයකට ලක් කරන ලදි. මෙකී වින්දිත කාන්තාව සමූහ දූෂණයෙන් පසු තනිස්කරණ ක්‍ෂිතිමය  සින්ඩ්‍රෝමයේ ලක්‍ෂණ පෙන්වූවාය​. ඇයට දීර්ඝ කාලයක් පුරා ඖෂධ ප්‍රතිකාර මෙන්ම EMDR (Eye Movement Desensitization and Reprocessing ) මනෝ ප්‍රතිකාරය ලබා දෙන ලදි. මෙම ප්‍රතිකාර වලින් පසු ඇයගේ මානසික තත්වය යහපත් වූවාය​. එහෙත් මෙම ලිංගික අතවරය විසින් ඇය තුල මානසික කැලැල් ඇති කරන ලදි. 

දෙවන කාන්තාව ස්විස් ජාතික කාන්තාවකි.  ඇය දිගු  කාලයක් පුරා ලංකාවේ පදිංචිව සිටි තැනැත්තියකි. තංගල්ල ප්‍රදේශයේ තමාගේ ගෘහයේදී මෙම ස්විස් ජාතික කාන්තාව කාමාතුරයන් පස් දෙනෙකු අතින් සමූහ දූෂණයට ලක්ව තනිස්කරණ ක්‍ෂිතිමය සින්ඩ්‍රෝමයට ගොදුරුව සිටියාය​. ඇය තුල දැඩි වරදකාරී හැඟීම් මෙන්ම පෞරුෂයේ වෙනස්වීම්ද මතු වූවාය​. මේ විදේශ කාන්තාව EMDR මනෝ ප්‍රතිකාර වට හයකින් පමණ යම් ප්‍රගතියක් අත් කර ගත්තද ලංකාවේ තව දුරටත් විසීමට බිය වූවාය​. ඉන් පසු මා ඇයව ස්විස්ටර්ලන්තයේ මනෝ චිකිත්සකයෙකු වෙත යොමු කලෙමි. 

කරුණාසේන ජයලත් හතුරු හිතක් කෘතියේ පමණක් නොව ගොලු හදවත කෘතියේද සුගත් ගේ චරිතය ගොඩ නගන ආකාරය විශිෂ්ඨය​. සුගත් දෙමාපියන් අහිමි වීම නිසා වියෝග කාන්සාවට ලක්වී සිටි යෞවනයෙකි. දෙමාපියන් මිය යන්නේ ඔහු ඉතා කුඩා දරුවෙකුව සිටියදී වූවද මෙම විහිනතාව නිසා ඔහු තුල Empty Space හෙවත් මෝඝ අවකාශයක් වර්ධනය වේ. මධු ලෝලීන් තුල වර්ධනය විය හැකි මෙම මෝඝ අවකාශය ගැන  සුප්‍රකට ආසක්ත චිකිත්සක මෙන්ම In the Realm of Hungry Ghosts" ග්‍රන්ථයේ කතෘ වෛද්‍ය ගබෝ මටේ පෙන්වා දෙයි.  මානසික වශයෙන් භංගුර චරිතයක් වන සුදත් දම්මි ගේ ප්‍රේමය අහිමි වීම නිසා මධු ලෝලියෙකු බවට පත්වේ. 

ඇතැම් සාහිත්‍ය විචාරකයන් විසින් බොලඳ ආදර කතා ලියන්නෙකු ලෙස පසෙකට තල්ලු කරන ලද කරුණාසේන ජයලත් ගැන නිරවද්‍ය ඇගයුමක් මේ දක්වා නොකිරීම අහේතුවකි. ඔහු මිනිස් මනසේ ගැඹුරු ස්ථාන විනිවිද දුටුවේය​. චිත්තාවේගීය ගැටළු වලදී යොවුන් මනස ක්‍රියා කරන ආකාරය ඔහු සවිස්තරව පෙන්වා දුන්නේ සාහිත්‍යමය රසය පාඨකයාට ලබා දෙමිනි. මේ නිසා  කරුණාසේන ජයලත්ගේ කෘති යළි විශ්ලේෂණාත්මකව කියවිය යුතුය. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

12 comments:

  1. රුවන්, දැව භාවිතයට ගෙන තනන ලද කරත්ත රෝදයකට යකඩ පට්ටමක් ගහන කම්මල් කාරයෙක් ප්‍රසාරණය හෝ සංකෝචනය ගැන කිසිවක් නොදන්නාසේ මේ කිසිවක් නොදැන ජයලත් ඔහුගේ කෘති නිර්මාණය කලා වෙන්න බැරිද?
    ජයලත් මතක් කලාට රුවන් ට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ///දැව භාවිතයට ගෙන තනන ලද කරත්ත රෝදයකට යකඩ පට්ටමක් ගහන කම්මල් කාරයෙක් ප්‍රසාරණය හෝ සංකෝචනය ගැන කිසිවක් නොදන්නාසේ///

      මේ කියමනට මමනම් එකඟ නැහැ, පරම්පරාවෙන් කම්මල් රැකියාව කරන බහුතරයකට ඔවුන් කරන කාර්යය ගැන හොඳ අවබෝධයක් තිබෙන බවයි මගේ අදහස...
      ප්‍රසාරණය සංකෝචනය වැනි සුළු දෙයක්වත් දන්නේ නැතිය කියා ඔවුන්ව ලඝු කල නොහැකි බවයි මම සිතන්නේ...

      Delete
    2. ප්‍රසාරණය, සංකෝචනය වගේ ලොකු වචන නොදැන හිටියට, රත් කලාම ලොකු වෙනවා, වතුර දැම්මම ආයේ ඇකිලෙනවා කියලා ඔවුන් හොඳටම දැනන් හිටි බවනම් පේනවා.. හැබැයි කරුණාසේන ජයලත් "තනිස්කරණ ක්ෂිතමය සින්ඩ්‍රෝමය" ගැන නොදැන හිටියා වෙන්ඩත් පුලුවන්...

      Delete
    3. ///හැබැයි කරුණාසේන ජයලත් "තනිස්කරණ ක්ෂිතමය සින්ඩ්‍රෝමය" ගැන නොදැන හිටියා වෙන්ඩත් පුලුවන්... ///
      ඒක හරි, ඒවා අපි දන්නෙත් නැහැනේ... ;)

      Delete
    4. මගේ අදහස නම් ඔහු විද්‍යාත්මක වචන නොදැන සිටියත් අදාල ක්‍ෂිතිමය තත්වයන් යටතේ මිනිස් මනස තුල සිදුවන ක්‍රියාවලිය ගැන දැන සිටියා කියලයි. ඒ දැණුම සමාජයෙන් පොතපත කියවීමෙන් ලබා ගන්න ඇති. ඒ දැණුම උපයෝගී කරගෙන තමයි ඔහු මේ චරිත විකසනය කරන්නේ

      Delete
    5. අප අවට සිදුවෙන දේවල් පිලිබඳ ගැඹුරෙන් නොදන්නා අය වුනත් මූලික පදනම තේරුම් ගන්නවා. අත්දැකීමෙන් හෝ ගලාඑන තොරතුරු මතින්. ගොවියෙක් , වෙලෙන්දෙක්, රියදුරෙක් ඔය කාටත් පොදු කතාවක්. කම්මල් කරුවන්ගේ පරම්පරාවට මේ මූලික දැණුම හොඳින් තියෙන්න ඇති. මොකද ඔවුන් නිර්මාණ කරුවන්. රත්තරන් කරුවොත් එහෙමයි. හිතට අරන් ලිව්වේ, මොකද අපේ මුල් පරම්පරාත් රත්තරන් කරුවෝ,,ස්වර්ණ කරුවෝ :D

      Delete
  2. සිද්ධාන්ත කියන්නේ තිබුන දේවල්.... ඒවට අර්ථකතනයක් දීම තමයි සිඳු වෙන්නේ...

    ReplyDelete
  3. කරුණාසේන ජයලත් මතක් කිරීම ඉතාමත් වැදගත්.

    ReplyDelete
  4. දොස්තර මහත්තයෝ..
    මෙහෙම සීන් එකක් ඇහුවාමයි...

    මේ වගේ දේවල් ලියන එක නම් බොහොම වටිනවා..

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook