Monday, February 13, 2017

කෑම හොරු

 



පාසලේ සමහර කොල්ලෝ අනුන් ගේ කෑම පාර්සල් වලට විද්දහ​. බාලාංශ පන්තියේදී ටිප්ටොප් හෙවත් සරත්නරත්න සුබසිංහ නොහොත් අලි කනා ගේ පෝටලෝ දමා තිබූ බීම බෝතලය ගල් කලේය​. ටිප්ටොප් ඉන් උගුර බැගින්  මටත් ලක්ස්මන් ද සේරම්ටත් දුන්නේය​. පසුව සුබසිංහ කෑගසමින් බෝතලය සොයා ආ නිසා මේ පෝටලෝ අලි කනාගේ බව මම දැනගත්තෙමි. සුබසිංහට දෑත් කන ලඟට ගෙන අලි කනා කියූ විට ඔහු කුලප්පු  වේ.  

ඉන්ටවල් එකට කෑමට අප බොහෝ විට ගෙන ගියේ ජෑම් හෝ බටර් (මාජරීන්) තැවරූ පාන් ය​.  සමහර දින වලදී ගෙදරින් සැමන් සහ බිත්තර මිශ්‍ර කල සෑදූ සැන්විච් ද දුන්නේය​. මේ සැමන් 1977 මහ මැතිවරණයට පෙර කූපන් වලට දුන් සැමන් ටින්‍ ය​. මසකට එක් පවුලකට සැමන් ටින් දෙකක් ද ඇලස්කා නම් ටින් කිරි ටින් දෙකක් ද දෙන ලදි. 

ඉහල පන්ති වලට යන විට ළමයි නිවෙස් වලින් බත් ගෙනාවෝය​. මේ බත් වල මාළු කෑල්ලක් ,බිත්තරයක් , තෙල් දමා හින්දන ලද පරිප්පු , බැදපු බටු යන කෑම බොහෝ විට තිබුණි. හොස්ටල් එකේ කොල්ලෝ සමහර විට ඉන්ටවල් එකට ගෙනෙන බත් එකෙන් අහුරක් දෙකක් හොරෙන් හෝ බලෙන් කති. ඒ නිසා හොස්ටල් එකේ කොල්ලෝ ඈතින් එන විට බත් පාර්සලය කටට දෙකට කෑමට ළමුන් පුරුදු වූහ​. 

උසස් පෙළ සමයේදී සමහර ළමයි බත් පාර්සල් දෙක බැගින් බැඳගෙන ආහ​. එකක් ඉන්ටවල් එකට කන ඔවුන් දෙවැන්න පාසල ඇරුනු පසු කා ටියුෂන් පන්තියට දුවති. අපගේ පන්තියේ සිටි අස්ථියා (නියම නම මතක නැත​) මෙසේ බත් ගෙඩි දෙකක් බැඳගෙන ආවා මතකය​. 

අපගේ සමාන්තර පන්ති වල සිටි ශාන්ත (ඔහුට කීවේ ගාන්ත කියාය​) සහ මංජුල කොල්ලන් ගේ බත් ගෙඩි වලට දිෂ්ටිය දැමීමට පුරුදුව සිටියහ​. මංජුල ධාවායෙකු මෙන් ඉස්කෝලය පුරා දුවන්නෙකි.  ගාන්ත අපගේ ස්කූල් බස් එකේ ආ  සිසුවෙකි. 

මංජුල සහ ගාන්ත කොල්ලන් රසායණික විද්‍යාව හෝ භෞතික විද්‍යාව පන්ති වලට සහභාගි වීමට ලැබ් වලට ගිය විට පන්ති වලට පැන කොල්ලන් ගේ බත් පාර්සල් ඇර බිත්තරය​, මාළු කෑල්ල , තෙල් දමා හින්දන ලද පරිප්පු , බැදපු බටු කති. ලැබ් ගිය කොල්ලන් විවේකයේදී බත් පාර්සලය අරින විට තිබෙන්නේ බත් පමණි. මේ නිසා ළමයින් මේ වසවර්තියන් දෙන්නාට බැන බැන නිකං බත් කති. එහෙත් කිසිවෙකු ඒ ගැන පැමිණිලි නොකරේ එය විහිළුවක් නිසාය​. එහෙත් සමහරු ඉන් පසු ලැබ් ගියේ බත් ගෙඩිය කිහිල්ලේ ගසාගෙනය​. 

වරක් ගාන්ත සහ මංජුල අස්ථියාගේ බත් එකේ තිබූ බිත්තරය සහ පරිප්පු කන ලදි. ඉන්ටවල් එකේදී බත් පාර්සලය ඇරි අස්ථියා තම බිත්තරය සහ පරිප්පු අන්තර්ධානව තිබූ නිසා මවිත විය​. ඉන්පසු අස්ථියා ගාන්තට සහ මංජුලට බැන බැන බත් විතරක් අනුභව කලේය​. 

වරක් මම ක්‍රීඩා පිටියේ ලකුණු පුවරුව අසල තිබූ අපගේ පන්ති ගොඩනැගිල්ලේ සිට නව විද්‍යාගාරය හරහා කස ගස් පෙළ දෙසට දුවමින් සිටියෙමි. මෙසේ වේගයෙන් දුවන මට කකුලක් හරහට දමා මංජුල වෙට්ටුවක් දැමීය​. මම අඩි දෙකක් පමණ උඩින් ගොස් වැටුනෙමි. වැඩ දන්නා නිසා මම අතක් පයක් නොකැඩී බේරුනෙමි. නමුත් අත මඳක් ලෙලි ගියේය​. 

මංජුල සහ ගාන්ත පැමිණ මා නැගිට්වාගෙන ඔවුන් ගේ පන්තියට ගෙන ගියහ​. ඉන්පසු ඔවුන් විශාල බත් පර්සලයක් දිග හැර මටද කෑමට ආරාධනා කළහ​. මුලින්ම මා සිතුවේ මොවුන් කාගේ හෝ බත් ගෙඩියකට වැඩක් දී කියාය​. පසුව ගාන්ත කීවේ එම විශාල බත් මුළ ගෝතමී විදුහලේ කෙල්ලෙක් විසින් දුන් බවයි. එය සත්‍යක් බව මට ප්‍රත්‍යක්‍ෂ විය​. වරක්  ගෝතමී එකේ කෙල්ලෙක් විසින් නලීන්දට දුන් ලැවරියා මුළක් අපි කොලඹ මහජන පුස්ථකාලයේ කැන්ටිමට ගෙන ගොස් කෑවෙමි. 

බත් මුළ දිව්‍යලෝක රහ විය​. මංජුලත් , ගාන්තත් මමත් බත් මුළ කෑවේ තළු මරමිනි. මෙවැනි රසවත් බත් මුලක් පසු කාලයක මම හලාවත රෝහලේ ඕපීඩී එකේ වෛද්‍ය විවේක කාමරයේදී කෑවෙමි. ඒ බත් මුළ ගෙනාවේ වෛද්‍ය වැනිස්ටා පෙරේරාය​. වැනිස්ටාත් , වැනිස්ටාගේ හබියත්, මමත් තව ඕපීඩී වෛද්‍යවරු දෙදෙනෙකුත් ඒ බත් මුළ එකට එක් වී කෑවෙමු. 

බත් මුළ කන විට ගාන්ත ගෝතමී එකේ කෙල්ල ගැන කතා කලේය​. මංජුල කීවේ කවදා හරි ඔහු බඳින්නේ කොන්වන්ට් එකක් තියන කෙල්ලෙක් කියාය​. කොන්වන්ට් එකක් තියන කෙල්ලෙක් ? ඒ මොකෙක්ද කියා මම ඇසුවෙමි. පසුව තේරුනේ කන්‍යාභාවය තිබෙන කෙල්ලෙක් කියාය​. කොන්වන්ට් යනු කන්‍යාරාමය නිසා කන්‍යාභාවයට කියන්නේ කොන්වන්ට් කියා මංජුල සිතුවා විය හැකිය​. එවිට ගාන්ත කීවේ කොන්වන්ට් එකක් තියන කෙල්ලෙක්ට වඩා හොඳ ගතිගුණ තිබෙන කෙල්ලෝ හොඳ බවය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

22 comments:

  1. ඔය බිත්තරේ,මාලු කෑල්ල වගේ ඒවා අරන් කන එවුන්ගෙන් බේරෙන්න අපිනම් කලේ බත්මුල ලෙහපු ගමන්ම බිත්තරේ හෝ මාලු කෑල්ල එහෙම පිටින්ම කටට දාගෙන හොඳට කෙල තවරලා ආපහු බත් මුලටම දාගෙන කන එක.

    ReplyDelete
    Replies
    1. එහෙම කෙළ නාවලා දැම්මත් අපිනං ඒවා කෑවා ....

      Delete
    2. ඔය වෙලාවට කට ඇතුලෙ තියන එකත් ඇදල කන උන් අපිත් එක්ක හිටියෙ

      Delete
  2. ඇයි කිමුහුම් ඇරියේ නැද්ද ?

    ReplyDelete
  3. ඉස්කෝලෙ කෑම කාපු හැටි මතක් වෙද්දි ආසත් හිතෙනවා පුදුමත් හිතෙනවා... අපේ පන්තියේ එහා පැත්තේ හිටියේ ඉංග්ලිශ් මීඩියම් එක... ඒ අයනන් ඉන්ටර්වල් එකට ෂෝක් එකට මේසෙ උඩ තියන් කෑවා... ඒකටත් එක්ක අපේ පන්තිය... ඉන්ටර්වල් එකට සිවිල් යුද්ධයක් වගේ... එක බත් පැකට් එකකට පහලවක් විස්සක් විතර අත දාගෙන කන්නේ... වෙලාවකට අත ඇතුලෙ බත් එක පේන්නෙත් නෑ... ගොඩක් වෙලාවට බත් පැකට් එක කාලා අහවර වෙලා බත් පැකට් එක දිහා බලද්දි බත් ඔතන කොලේ තැන් තැන් වල පත හිල්... ඒ කියන්නේ කාගෙ හරි බඩකට ගිහිල්ලා එව්වත්... සමහර එවුන් ඉන්ටර්වල් එකේ බෙල් එක ගහද්දිම කෑමපෙට්ටියත් එක්ක පන්තියෙන් පනිනවා... ඒත් බේරෙන්න බෑ... අපේ අය හොරෙක් පස්සෙන් පන්නනවා වගේ පන්නන්නේ...

    ReplyDelete
  4. මම දන්නේ නැහැ. අපි ඉස්කෝලේ කරන්න පුළුවන් හැම අතල් , කුප්ප වැඩ කරලා තියනවා. අපේ උන් බත් එක ලෙහුවේ ගමන් කපුටා රැල වගේ.

    ඇත්තම කියනවනම් මට නම් හෙනම අප්‍රිය සහගතයි එහෙම කන්න. මටනම් ඒකේ අතල් එකක් නැහැ. ගොඩක් වෙලාවට මම කෑම එක අරන් ගිහින් ඉස්කෝලේ ඉස්සරහ තියනවා තේ කඩයක්. ඕකෙන් තියලා ඉස්කෝලේ ඇරුනම ගිහින් කනවා

    ReplyDelete
  5. බත් නම් කාල නැහැ. ගෙනෙන පාන් කාල තියනවා. පව් ගේන එකාට.

    ReplyDelete
  6. ඔය කොන්වන්ට් එක තියෙන කෙල්ලෝ සමහරු ක්‍රිස්මස්. ඒ බව අඳුණා ගන්න පුළුවන් චර්ච් එකක් මාලෙකින් කරේ එල්ලන් ඉන්න නිසා!

    ReplyDelete
    Replies
    1. මධු සමයේදී කොන්වන්ට් එක පරික්‍ෂා කරනව නේද ?

      Delete
  7. අපේ එකෙක් හිටියා සවලා කියලා සවල් පාරවල් දෙකයි බත් මුලම ඉවරයි. බත් මුල දිග අරින්න විතරයි ඔනේ ඔක්කෝම ඉවරයි. මම නම් මුලින්ම කරන්නේ මගේ බත් එකේ මාලු කෑල්ල හරි බිත්තරය හරි කනඑක. පස්සේ කාලෙක මම කලේ බත් එක පොඩි කෑම පෙට්ටියක දාගෙන ගිහිල්ලා මුලින්ම ඔක්කෝම කලවං වෙනකම් හොදට හොල්ලනවා. පස්සේ ටිකෙන්ටික හැන්දෙන් කනවා. ඉන්ටවල් එනකොට බත් එක ඉවරයි.

    ReplyDelete
  8. අපේ එකෙක් හිටියා කන බොනයා. ඒකා හැම වෙලාවෙම කියන්නේ මොනවා හරි කමු බං කියලා. ඒකාටත් බත්මුල් පේන්න බෑ. හැබැයි මේ විදිහට බත්ටික කටට දෙකට කාලා බෝලෙයි බැට් එකයි අරන් දුවන්නේ පිට්ටනියට.

    ReplyDelete
    Replies
    1. ගාන්ත සහ මංජුලට ගහන්න කවුරුවත් හිටියේ නෑ

      Delete
  9. බත් කෑමට අදටත් එතරම් කැමත්තක් නැත...

    ReplyDelete
  10. ඉන්ටවල් එකට කලින් ෆ්‍රී පීරියඩ් එකක් තිබුන නම් අපේ බත් ටික ක්ශනයෙන් වාශ්ප වෙනවා.ඊලඟට ඉන්ටවල් බෙල් එක වදිනකොටම කඩා පනින්නෙ අනිත් පන්ති වලට.
    බොහොම සාධාරණව පොර කෑවා..
    ඒ හක්කට එකයි මේ හක්කට එකයි අතට එකයි සවල් ක්‍රමය තමයි ගස්ලබ්බා අනුගමනය කලේ.
    ජයවේවා..!!

    ReplyDelete
  11. බත් මුල වගේ ම රස ලිපියක්

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook