ඇම්බුලන්ස් ඩ්‍රයිවර්ලා ඒ කාලයේ අපගේ රෝහල් ජීවිතයට සම්බන්ධ වූ කොටසක් විය. රෝගීන් කෙරෙහි ඉතා සංවේදී හොඳ ගිලන් රථ රියැදුරන් මාගේ වෘත්තීය දිවිය තුල මට හමුවී තිබේ.
මාතලේ රෝහලේ සේවය කල කාලයේදී කුප්පියා කියා අන්යන් විසින් හඳුන්වන ලද ගිලන් රථ රියැදුරා මාගේ මතකයට නැගේ. ඔහුගේ නියම නම මම නොදනිමි. මේ නිසා මමද ඔහුව ඇමතුවේ කුප්පියා කියාය. එහෙත් වෙනත් අයෙකු ඔහුට කුප්පියා කියූ විට ඔහු කුපිත වේ. වරක් රෝහලේ දුරකථන ක්‍රියාකරු වූ රත්නායක මහතා හිස් පෙනිසිලින් කුප්පියක් රෝහලට අළුතින් ආ ඇටෙන්ඩන්වරයෙකු අතට දී " මේක අර ඇම්බුලන්ස් එකේ ඇම්බුලන්ස් ඩ්‍රයිවර්ට දෙන්න " කීවේය. රත්නායක මහතාගේ සිතැඟි තේරුම් නොගත් අහිංසක ඇටෙන්ඩන් පෙනිසිලින් කුප්පිය ගෙන ගොස් කුප්පියා අතට දී කුණුහරප වැලක් අසා ගත්තේය. එහෙත් මා හෝ රත්නායක මහතා ඔහුට කුප්පියා කියා කතා කල විට ඔහු මඳ සිනහවකින් අප අසලට එයි. කුප්පියා දක්ෂ රියැදුරෙකු විය. අසාධ්‍ය රෝගීයෙකු ගිලන් රථයට දා ගන්නා ඔහු වරකාමුර හෝ කූඹියන් ගොඩ පාරවල් හරහා පේරාදෙනිය හෝ මහනුවර රෝහල් වලට යන්නේය. ඒ කාලයේ ඉන්ටන්වරුන්ට අසාධ්‍ය රෝගීන් මාරු කරන විට ඇම්බුලන්ස් එක පවා සූදානම්ව තිබේ දැයි බැලීමට සිදු විය. අසාධ්‍ය රෝගීන් සිටින විට කුප්පියා සිටින්නේ නම් අප සැනසුම් සුසුම් හෙළුවෙමු.
1995 වසරේ මාර්තු මාසයේදී ග්‍රාමීය රෝහලක ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස පත්වීම ගෙන ගිය විට මාගේ කාර්ය මණ්ඩලයේ ගිලන් රථ රියැදුරෙකුද විය. ඔහුගේ නම අබේරත්නය. අබේරත්න මට ඉතා කීකරුය. ඔහු දෙන නියෝගය පිලිපදියි. එහෙත් මධ්‍යසාර ගත් විට අබේරත්න වාතයකි. මේ සම්බන්ධයෙන් මම ඔහුට බනිනි විට මධ්‍යම වයසේ පුරුෂයෙකු වූ අබේරත්න අඞයි. ඒ කාලයේ වයස අවුරුදු 29 ක තරුණ වෛද්‍යවරයෙකු වූ මට අබේරත්න ගේ කඳුළු දකින විට හිත වෙඞරු පිඞක් සේ උනුවේ. මේ නිසා මම බැණුම නවත්වා බොරු ක්‍රෝධ මුහුණක් පෙන්වා අබේරත්නව මාගේ කාර්යාලයෙන් එලවා ගනිමි. එවිට ඔහු ඕපීඩී එකට ගොස් කඳුළු සලයි.
අපට ඒ කාලයේ තිබුනේ සුදු රුක්මනී මොඩ්ල් පෙට්‍රල් වලින් ධාවනය වන ගිලන් රථයකි. අබේරත්න මේ ගිලන් රථයට ආදරේය. එය හඳුන්වන්නේ " මගේ කිරි එලදෙන" කියාය. අබේරත්න ගිලන් රථයට කිරි එලදෙන කියා කියන්නේ මන්ද කියා මම ඉක්මනින්ම වටහා ගත්තෙමි. කොලොන්ගොඩ රෝහලේ සිට රෝගියෙකු රැගෙන දහ අට වංගුව හරහා මහනුවරට යන අබේරත්න පල්ලම් වලදී යන්නේ නියුට්‍රල් ගියර් එකේය. මෙම ගියර් එකට සංවර්ධන ගියර් එක කියා නමක් දමා තිබුනේය. කඩින් කඩ සංවර්ධන ගියර් එකෙන් කොලොන්ගොඩ රෝහලේ සිට මහනුවර රෝහලට යන අබේරත්න ආපසු එන ගමනේද සංවර්ධන ගියර් එක භාවිතා කරයි. මෙලෙස එක් ට්‍රිප් එකකදී අබේරත්න අතිරේක මුදලක් සොයා ගනී.
අබේරත්න නුවර සිට එන විට අතරමගදී ගමේ මිනිසෙකු දුටු විට ගිලන් රථයට නංවා ගනී. මෙය බරපතල නීති උල්ලංඝනයකි. වරක් මම මාගේ මෝටර් රථයෙන් පුද්ගලික උවමනාවකට කොලඹ ගොස් එන විට මැද මහනුවරදී අපගේ සුදු ගිලන් රථය දුටුවෙමි. මම අබේරත්නට නොතේරෙන සේ ගිලන් රථය ෆලෝ කලෙමි. අබේරත්න අතරමගදී මගීන් ගිලන් රථයට ගොඩ නංවා ගන්නවා මම සියැසින් දුටුවෙමි. අණතුරුව මාගේ මෝටර් රථය ගිලන් රථයට සමාන්තරව පදවා වීදුරුව පහත් කොට " මොකද මේක ලංගම බස් එකක්ද ? කියා අබේරත්න ගෙන් ඇසුවෙමි. මා දුටු අබේරත්න ගේ කළු මුහුණ සුදුවී ගියේය. පසුව මම රෝහලට ගොස් අබේරත්නව ගෙන්වා ගෙන ඔහුට තදින් බැණ වැදුනෙමි. මටත් වඩා දෙගුනයක් වයසැති අබේරත්න මට වැඳ " අනේ සෑර් ආපහු මම එහෙම කරන්නේ නෑ කීවේය. අබේරත්න ගේ වැඳිල්ල නිසා මගේ කෝපය අතුරුදහන් වී මම ඔහුව කාර්යාලයෙන් පිටත් කලෙමි. එහෙත් ඔහු යලිත් අපට හොරෙන් මගීන් ගිලන් රථයට ගොඩ කර ගන්නා බව මට තේරුම් ගියේය.
සමහර දින වල රෝහල් භූමියේ බීමත්ව සිටින අබේරත්නව සේවයෙන් පහ කිරීම මට සුළු වැඩක් විය. ඒ සඳහා ප්‍රමාණවත් වූයේ ලියුමක් ගැසීම පමණි. එහෙත් දීර්ඝ කාලයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඔද්දල් වූ මිනිසෙකු මට හැදිය නොහැක. එසේම දරුපවුල් කාරයෙකුගේ රැකියාව අහිමි කොට මට රාත්‍රියේ නින්දට යා නොහැක. මේ නිසා වෙනත් විකල්පයක් ලෙස අබේරත්නව වෙනත් රෝහලකට මාරු කිරීමට මම මධ්‍යම පළාත් සෞඛ්‍ය සේව අධ්‍යක්ෂක පිළපිටිය මහතාව හමු වූයෙමි. පිළපිටිය මහතා අබේරත්නව කොලොන්ගොඞ ග්‍රාමීය රෝහලට යාබද රෝහල වූ හෙට්ටිපොළ රෝහලට මාරු කොට හෙට්ටිපොළ ග්‍රාමීය රෝහලේ ගිලන් රථ රියැදුරු කොලොන්ගොඞට එවිය හැකි බව මට කීවේය. මේ ගැන කල්පනා කියන්නම් කියා මම මධ්‍යම පළාත් සෞඛ්‍ය සේව අධ්‍යක්ෂකවරයාගේ කාර්යාලයෙන් ආවෙමි.
පසුව මම හෙට්ටිපොළ ග්‍රාමීය රෝහලේ ගිලන් රථ රියැදුරු කොහොම අයෙක්ද කියා මොරයාය රෝහලේ මා මිත්‍ර වෛද්‍ය ධර්මසිරි හේරත් ගෙන් ඇසුවෙමි. " අපෝ ඌ වණයක් , ඌත් එක්ක බලන කොට අබයා හොඳයි. අබයට කණට එකක් දීලා හරි වැඩේ කර ගන්න පුලුවන්. ඌව ගත්තොත් වෙන්නෙ ඉඟුරු දීලා මිරිස් ගත්ත එකේ අනිත් එක කියා හේරත් කීවේය. මේ නිසා මට අබේරත්නව තව දුරටත් දරාගෙන සිටීමට සිදු විය.
අපගේ රෝහලේ කාර්යමණ්ඩලයට පඩි මුදල් ගෙන ඒම සඳහා මම මසකට වරක් අබේරත්න සමග හසලක මහජන බැංකුවට යමි. හසලක මහජන බැංකුවේ කළමණාකාර නියංගොඩ මහතා අපගේ මිතුරෙකි. ඒ නිසා ඉතා ඉක්මනින් චෙක් එක මුදල් කොට රුපියල් ලක්ෂයකට කිට්ටු වෙන්නට මුදල් සීයේ කොල වලින් ලබා දෙයි. මෙම මුදල් සුරක්ෂිතව අතට ගන්නා මා අබේරත්න සමග නැවත කොලොන්ගොඩට එමි. මා බැංකුවේ ගත කරන කාලය තුලදී අබේරත්නට බැංකුව අසලටමවී ඉන්නට කියන්නේ හිටි ගමන් ඔහු අන්තර්ධාන වන නිසාය.
වරක් මෙසේ අන්තර්ධාන වූ අබයා ආවේ කණමදයෙක් වගේ වැනෙමිනි. " මම බැංකුවට ගිය පරක්කුවට හොර පොට් එකකට ගියානේ කියමින් අබයාට බැණ වැදුනු මම වෙරි කාරයා ගිලන් රථය ඇතුලට දමා මුදල් පොදිය රියැදුරු සීට් එක මත තබා ඒ උඩ වාඩිවී ගිලන් රථය එලවූයෙමි. මෙහි ගියර් තිබුනේ සුක්කානම අසලය. මේ ගියර් ක්‍රමය මට නුහුරු නිසා ගියර් අබයාගෙන් අසා ඒවා දමමින් යලි රෝහලට ආවෙමි. රෝහලට විත් විනාඩි විස්සක් පමණ අබේරත්නට මම බැණ වැදුනෙමි. ඔහු ඉතා කීකරු සුනඛයෙක් මෙන් හිස පාත් කරගෙන මගේ කර්කශ බැණුම් අසා සිටියේය.
මෙසේ මාස කීපයක් ගත විය. දිනක් රෝහලේ සහකාර වෛද්‍ය නිලධාරී ප්‍රේමරත්න මහතා මගේ කාර්යාලයට විත් අබයාගේ තවත් වික්‍රමයක් කීවේය. අබේරත්න සප්පයම් වී ගිලන් රථය එලවා තිබේ. උඩත්තව කිට්ටුවදී ගල් ගොඩක් උඩ යාම නිසා රථයේ සම්ප් එක වැදී එන්ජින් ඔයිල් කාන්දු වී තිබේ. එහෙත් වෙරිය නිසා අබේරත්නට මෙය තේරී නැත හසලක කිට්ටු වන විට එන්ජින් ඔයිල් අවසන් වී එන්ජින් එක සීස් වී ඇත. දැන් වාහනය හසලක රෝහලේ ගාල් කොට තිබේ. අබේරත්න ගේ කිරි එලදෙන ඉවරය. මම වහාම මහනුවරට ගොස් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේව අධ්‍යක්ෂක පිළපිටිය මහතාව හමුවී සිද්ධිය ගැන කීවෙමි. පිළපිටිය මහතා මට වෙනත් ගිලන් රථයක් ලබා දෙන ලෙස ලියුමක් දුන්නේය. මම ගිලන් රථ යාඩ් එකට ගොස් ඩීසල් රථයක් තෝරා ගත්තෙමි. ඉන් පසු අබේරත්න ගේ සංවර්ධන ගිය ව්‍යාපෘතිය අවසන් විය. කිරි එලදෙන නැතිවීම අබේරත්නට දරා ගත නොහැකි විය. එය ඔහුට ලැබුණු දඞුවමක් විය.
කෙසේ නමුත් මම කොලොන්ගොඞ රෝහලෙන් එන විට අබේරත්න කඳුළු සැලුවේය. රෝහලේ කම්කරුවෙකු වූ විජේරත්න බණ්ඩා අබේරත්නට කතා කරමින් " අයියා උඹ අද රස්සාව කරන්නේ සර් නිසා වෙන සර් කෙනෙක් නම් මේ වෙන කොට උඹව රස්සාවෙනුත් එලවලා " කීවේය. එය ඇසූ අබේරත්න තවත් හයියෙන් ඇඞුවේය. මා රෝහලෙන් ආ පසු අබේරත්නට කුමක් වූයේද කියා මම නොදනිමි. ඔහු නරක මිනිසෙකු නොවේ. එහෙත් නිසි ලෙස රාජකාරී පුහුණුවක් නොලැබූ මදුවිත ගත් විට විකාර වැඩ කරන රස්සාවටම ක්‍රොනික් වූ අබේරත්නලා රැසක් පසු කාලයක මම දුටුවෙමි. එහෙත් අබේරත්නලාගෙන් පසුව ආ තරුණ පරම්පරාව වගකීම් ගනිමින් විනයාණුකූලව රාජකාරි කරන ලදි.
මීගමුව රෝහලේ සිටි ගිලන් රථ රියැදුරන් වූ ජෝතිපාල සහ අප්පුහාමි හොඳ සේවකයන් වූහ. ඔවුන් රෝගින් ගැන වගකීම් ගනිමින් ප්‍රවේසම් සහිතව රෝගීන් ප්‍රවාහනය කලහ. වරක් සේවා මුරය අවසන් වී මම කොලඹ දෙසට මාගේ වාහනය පදවමින් යන විට කුරණ ආසන්නයේදී මාගේ වාහනය පසු කරමින් සිටි ජෝතිපාල ගිලන් රථයේ ජනේලයෙන් අත දමා සර් අපි ලෙඩෙක් අරගෙන කොලඹ යනවා කීවේය. මමද ජෝතිපාල සමග සිනාසී ඔහුගේ ගිලන් රථයට ඉඩ දෙනු වස් වේගය මඳක් අඩු කලෙමි. ඒ අතරවාරයේ ගිලන් රථයටද වෙට්ටුවක් දමමින් වෑන් රථයක් වේගයෙන් ධාවනය විය. මෙම වෑන් රථය පාර පුරා ගිය අතර කිසිදු විනයකින් තොරව ධාවනය කරන ලදි. අප සීදූව ආසන්නයට එත්ම වෑන් රථය බස් රථයක හැපුනේය. එයින් පාර අවහිර වූ නිසා යලිත් මට ජෝතිපාල ගේ ගිලන් රථය දැකීමට හැකි විය. ගිලන් රථයෙන් හිස එලියට දැමූ ජෝතිපාල අණතුරට පත් වෑන් රථයේ රියැදුරා අමතා " කෙලව ගත්ත නේද අන්තිමට " කියා කීවේය. තම වාහනය බසයේ හැපුණු නිසා ආවේගශීලීව සිටි වෑන් රථ රියැදුරා මොනවාදෝ ප්‍රති උත්තර ලෙස කීවද ජෝතිපාල වේගය වැඩි කොට එම ස්ථානයෙන් ඉවත් වීම නිසා ඔහුගේ පිලිතුර වාතයට මුසු විය.
දිනක් ජෝතිපාල වියාකූල ගතියකින් මා හමු වීමට වාට්ටුවට ආවේය. " සර් නංගිව සීසර් කරනවා කියලා වීඕජී මහත්තයා කිව්වා දැන් මොකද කරන්නේ කියා ඇසීය. මම ජෝතිපාලට බිය නොවන ලෙස පවසා සීසර් ශල්‍යකර්මය වීඕජී මහතා හෝ මම කරන බව කීවෙමි. පසු දින මම සියළු ආරක්ෂාකාරී පියවර ගනිමින් ජෝතිපාල ගේ නංගීව සීසර් කලෙමි. ඉපදුනේ පුතෙකි. ඔහු නිරෝගී දරුවෙකි. දරුවා දුටු ජෝතිපාල ඉතා සතුටු විය. ඉන් පසු ජෝතිපාල මා දකින විට සර් කොල්ලා නියමෙට ඉන්නවා කියයි. මේ වන විට ජෝතිපාලගේ බෑනා වයස අවුරුදු 19ක පමණ තරුණයෙකු විය යුතුය.
ගිලන් රථ රියැදුරු අප්පුහාමි නිහඞ චරිතයකි. වරක් සාෆ් තරඟාවලියට සහභාගි වන විදෙස් ක්‍රීඩකයන් ගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතාවන් සඳහා වෛද්‍යවරයෙක් කටුනායක ගුවන් තොටුපළට යාමට සිදු විය. මම හෙදෙකු සමග ගුවන් තොටුපළට ගියෙමි. ගිලන් රථය ධාවනය කලේ අප්පුහාමිය. අප තිදෙනා වීඅයිපී පර්යන්තයට වී වරුවක්ම සිටි මුත් කිසිම හදිසි කේස් එකක් නාවේය. තවත් වරක් අමාත්‍ය ජී එල් පීරිස් මහතා සහභාගි වූ මීගමුව පොලිස් පුහුණු පාසලක රැස්වීමකටද මට අප්පුහාමි සමග යන්නට සිදු විය . අප අමාත්‍ය ජී එල් පීරිස් මහතා සිටි ආසන්නයේම ගිලන් රථය නවතාගෙන සිටියෙමු. මෙසේ පැය ගානක් සිටි අපට රස කැවිලි සහ තේ පොලිස් කොස්තාපල්වරයෙකු විසින් ගෙන එන ලදි.
හලාවත රෝහලේ සිටි ගිලන් රථ රියැදුරු හෙට්ටිආරච්චිට ඉලෙක්ට්‍රික් භාණ්ඩ රෙපෙයාර් කිරීමේ දස්කමක් තිබුනේය. 1989 දී පමණ මම මොස්කව් වලින් තේ උණු කරන කෝප්පයක් ගත්තෙමි. ප්ලාස්ටික් වලින් සාදා තිබෙන මෙය සාදන ලද්දේ ලැට්වියාවේය. වසර බොහෝ ගනනක් භාවිතා කල මේ තේ උණු කරන කෝප්පය 2001 වසරේදී ක්‍රියා විරහිත විය. මෙය මම හෙට්ටිආරච්චිට දුන්නෙමි. ජපන් භාණ්ඩ මිස ලැට්වියානු ඉලෙක්ට්ක් භාණ්ඩ රෙපෙයාර් කොට නොතිබුනු හෙට්ටිආරච්චි ඉතා බුහුටි ලෙස මෙම ඉලෙක්ට්‍රික් තේ කෝප්පය අළුත්වැඩියා කරන ලදි.
යුද හමුදා රෝහලේ ගිලන් රථ රියැදුරන් කෝප්‍රල්ලා වෙති. වරක් කොලඹ සිට නුවර දක්වා ගිය ගමනකදී යුද හමුදා ගිලන් රථ රියැදුරා ඉගිලුනේය. මේ නිසා ඔහුට නියමිත වේගයට පමණක් වාහනය ධාවනය කරන්නට කියා මම නියෝග කලෙමි.
ගිලන් රථ රියැදුරන් යනු සෞඛ්‍ය අංශයේ වැදගත් කාර්යභාරයක් කරන්නෝ වෙති. ඔවුනද ජීවිත ගලවා ගනිති. හොඳ ගිලන් රථ රියැදුරෙක් යනු රෝහලකට සම්පතකි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග