Wednesday, July 6, 2016

දඹාන ගමන


1996 කාලයේ මම මහියංගන දඹාන ආදිවාසී ජනතාව බැලීමට ප්ලෑන් ආයතනය හෙවත් ජාත්‍යන්තර සැලසුම් ආයතනයේ  ජයරත්න මහතා සමග ගියෙමි. එවකට මම මිනිපේ ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂකවරයා වූයෙමි. මේ කාලයේ වැදි නායක තිසාහාමිද ජීවතුන් අතර විය​. අප බුලත් දුම්කොළ සහ පුවක් මගදී මිලට ගත්තේ තිසාහාමිට දීමටය​. මේ ගමනේදී දඹානේ ගුනවර්ධන මුණ ගැසීමට මට අවශ්‍යතාවයක්ද තිබුනේය​. දඹානේ ගුනවර්ධන ප්‍රථම ආදිවාසී උපාධිධාරියා විය​. එසේම ඔහුගේ දඩබිමෙන් දඩබිමට කෘතියද මම කියවා තිබුණි. නමුත් අවාසනාවකට මෙන් අප ගිය දින දඹානේ ගුනවර්ධන සිටියේ නැත​. 

අපට වැදි නායක තිසාහාමි හමු විය​. ඔහු දුර්වළව සිටියේය. ​තිසාහාමි අසල සිටි වර්තමාන ආදිවාසී නායක උරුවරිගේ වන්නියලැ ඇත්තෝ තිසාහාමි වැදි භාෂාවෙන් කියන දෙය ඉතා හොඳ වියත් සිංහලට පෙරලා කීවේය​. 

මම උරුවරිගේ වන්නියලැ ඇත්තෝ සමග කතා කලෙමි. ඉතා චතුර ලෙස සිංහල කතා කල ඔහු මගේ ප්‍රශ්න වලට පිලිතුරු දුන්නේය​. මම ආර් එල් ස්පිට්ල් මහතාගේ මැකී ගිය දඩමං පොතේ එන වැද්දන් වූ පොරමලා, ගාමා , කයිරා ,  ගෝඹා,  පොරමලා සකා , යනාදීන් ගැන ඇසුවෙමි. උරුවරිගේ වන්නියලැ ඇත්තෝ මේ වැද්දන් දන්නවාක් මෙන් කරුණු කීවද ඔහු පවසන්නේ සත්‍යක් නොවන බවත් ඔහු ආර් එල් ස්පිට්ල් මහතාගේ මැකී ගිය දඩමං පොත කියවා නැති බවත් මට වැටහුණි. 

අප දඹානෙන් පිටත ඒමට හදන විට වැදි කොල්ලන් රැලක් අප වට කරගෙන දුනු හී , මීපැණි හා වේලපු දඩමස් විකිනීමට උත්සහ කලහ​. අප මීපැණි හා වේලපු දඩමස් මිලට ගත් නමුත් මීපැණි යනු සීනි උණුකර වතුර දමා සැදූ පැණියක් ද වේලපු දඩමස් යනු මහියංගන හන්දියේ හරක් මස් කඩයෙන් මිලට ගත් හරක් මස් තීරු කපා වේලා ගත් ඒවාත් බවත් කියා පසුව ප්‍රත්‍යක්‍ෂ විය​. මේ වැදි ගැටව් සරම් කැහැපොට ගසාගෙන සිටියද සමහරුන් ගේ සරම් යටින් රනිං ශෝට් පවා පෙනුනේය​. 

ඔවුන් සිංහල වචන මැදට පොජ්ජ , මංගච්චනවා , පාහිනවා වැනි වැදි භාෂාවේ යොදා අප සමග කතා කලහ​. නමුත් මේ අය කරන්නේ රඟපෑමක් බව මට තේරුණි. මම ඔවුන් ගෙන් කළුදැවා කියන වැදි භාෂාවේ වචනයේ තේරුම ඇසුවෙමි. ඔවුන් එක් අයෙකුවත් එය දැන සිටියේ නැත​. පසුව මමත් ජයරත්නත් සිනාසෙමින් දඹානෙන් පිටත් වී  ආවෙමු. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Tuesday, July 5, 2016

ලාස් වේගාස්




ලාස් වේගාස් වල කරක් ගසමින් 




ලාස් වේගාස් වෙත යාමට මට කිහිප වතාවක්ම අවස්ථාව ලැබුනද මම එම අවස්ථා සියල්ලම පාහේ අතපසු කලෙමි. නමුත් අවසානයේදී මම ලාස් වේගාස් වෙත ගියෙමි.  

1905 ස්ථාපිත කරන ලද  ලාස් වේගාස් නගරය පිහිටා තිබෙන්නේ නෙවාඩා ජනපදයේ ය​. මරියෝ පූzසෝ ගේ ගෝඩ් ෆාදර් නවකතාව අනුව ලාස් වේගාස් නගරය නිර්මානය කරන්නේ මොවු ග්‍රීන් නම් පාතාල ව්‍යයාපාරිකයාය​.  මයිකල් කොර්ලියෝනි විසින් අවසානයේදී මොවු ග්‍රීන්ව මරා දමවයි. මේ කතාව කෙතරම් සත්‍යද කියා නොදනිමි. නමුත් ලාස් වේගාස් නගරය ස්ථාපිත කරන ලද්දේ ඇමරිකානු ජී.අයි වරුන් ගේ සුව පහසුව පිණිසය​. 

මෙම නගරයේ මත්පැන් , සූදු සහ වැඩිහිටි විනෝදාස්වාදය ප්‍රවර්ධනය කෙරේ. නීති රීති සහ සංස්කෘතික බැමි නිසා මිරිකී ගිය මිනිසුන් ලාස් වේගාස් නගරයට පැමිණ කායික මානසික විරේකයක් ලබති. එක් අතකට ආවේග හිර කරගෙන අසහනකාරීව එරියස් සමාජ හිංසක ආකාරයෙන් ලබාගන්නා ඊනියා ධර්මයක්  ගැන කටමැත දොඩවන  ලාංකික සුචරිතවාදීන්ට ලාස් වේගාස් නගරය ප්‍රතිකාර මධ්‍යස්ථානයකි. මෙම නගරයේ දී මිනිසුන් ප්‍රීතිමත්ව ආතතියෙන් තොරව විනයගරුකව හැසිරෙනු මම දුටුවෙමි.  

බුදුන් කාලයේද මෙවැනි නගර සහ සැණකෙළි තිබුනේය​. ඉතා හොඳින් ඉන්ද්‍රියන් පිනවූ මිනිසුන් පසුව එහි නිස්සාරත්වය දැක ලෝකෝත්තර දහම කෙරෙහි ලං වූහ​. නමුත් අපගේ ලෝකෝතරයන් එක්කෝ රහසෙන් ආතල් ගනිති එසේ නැත්නම් අනෙකා ගන්නා ආතල් කෙරෙහි ඉරිසියාවෙන් ඔහුව හෙලා දකිති. මෙවැනි දෙබිඩ්ඩන්ට ලාස් වේගාස් නගරය  තේරුම් ගැනීමට දුෂ්කර භූමියකි. 

ලාස් වේගාස් නගරයට යන බොහෝ දෙනා කැසිනෝ සූදුවේ යෙදෙති.  කැසිනෝ යන නමටත් බිය වන අපගේ මිනිසුන් එහි තිබන සංචාරක ආකර්ශනීය ස්වභාවය වෙනුවට මනසට නඟා ගන්නේ සයිමාගේ ගෝරි පිරුණු බූරු පොළකි.


    ලාස් වේගාස් නගරය රාත්‍රියට අලංකාරය​. නියොන් එලියෙන් පිරිපුන් මෙම නගර ආලකමන්දාවක් මෙන් රාත්‍රියට දිස් වෙයි. 




Sunday, July 3, 2016

කඳන් තුවක්කු



මම ග්‍රාමීය ප්‍රදේශ වල රෝහල් වල සේවය කල කාලයේදී කඳන් තුවක්කු හෙවත් ට්‍රැප් ගන් නිසා තුවාල ලැබූ බොහෝ දෙනෙකුට ප්‍රතිකාර කලෙමි. කඳන් තුවක්කු බඳින්නේ සතුන් දඩයම් කිරීමටය​.  මුවා, ගෝනා, ඌරා යනාදී සතුන් දඩයම් කර ගැනීමට විවිධ වර්ග වල කඳන් තුවක්කු තිබේ. මෙම තුවක්කු වලට යකඩ බට  යොදා ගන්නා අතර අහස් කූරු වෙඩි බෙහෙත්  (සමහරක් විට ගිණිකූරු පෙට්ටි දහයක පමණ ගිණිකූරු හිස් සූරා වෙඩි බෙහෙත් එකතු කරනු ලැබේ) සහ යකඩ ඇණ කැබලි යොදා වෙඩිල්ල සකස් කරයි. ඉන්පසු සතුන් යන මාර්ගයක මේ කඳන් තුවක්කුව සකසා තබයි. 

කඳන් තුවක්කු නිසා මෙම පලාත් වල මිනිසුන් ආබාධිත වී තිබේ. එසේම සමහරු මිය ගොස් ඇත​. කඳන් බැඳීම නිසා සිදුවුන පාද අහිමිවීම් හා මරණ සංඛ්‍යාව යුද්ධය නිසා උතුරු නැගෙනහිර ආබාධිතයන් බවට පත්වීම්වලට මුහුණ දුන් අයට වඩා වැඩි බව වාර්තා වී තිබේ. 

කඳන් තුවක්කුවක් පත්තු වීම නිසා දණහිස තුවාල වූ ගොවියෙකුට මම මාතලේ රෝහලේදී ප්‍රතිකාර කලෙමි. තුවක්කුවේ තිබූ සියුම් යකඩ කෑලි ඔහුගේ අස්ථි තුලට කාවැදී තිබීම නිසා වරින් වර ඔහු කකුලේ අස්ථි ඇටමිදුළු ආසාදනය වන ඔස්ටියෝමයලයිටිස් තත්වයෙන් පෙළුනේය​. මේ නිසා ඔහු ජීවිත කාලයටම ආබාධිතයෙක් විය​. 

තවත් ගොවියෙකු කඳන් තුවක්කුවකට ගොදුරු වන ලද්දේ ඔහුගේ හරක් සොයා කැලෑ වැදීමෙනි. වෙඩි පහර ඔහුගේ දණහිස කුඩු කරගෙන ගොස් තිබුනි. මෙම පුද්ගලයාගේ ජීවිතය බේර ගැනීම සඳහා ඔහුගේ කකුල දණහිසෙන් ඉහලින් කපා දැමීමට සිදු විය​. තවත් වරෙක කඳන් තුවක්කුවක් පත්තු වීම නිසා තුවාල ලබා තිබුනේ පාසල් දරුවෙකි. ඔහු වසරකට ආසන්න කාලයක් රෝහල් ගතවී ප්‍රතිකාර ලැබුවේය​. මේ තුවාල හේතුවෙන් ඔහුගේ අධ්‍යාපනයද අඩාල විය. 

ග්‍රාමීය ප්‍රදේශ වල  සේවය කල කාලයේදී අප සමහරක් විට කැලෑ ප්‍රදේශ වල අැවිදීමට ගියෙමු. ඒ යන විට රිටක් අතින් ගෙන මාර්ගය පාදාගෙන යාමට අප පුරුදුව සිටියෙමු. ඒ මන්ද යත් කඳන් තුවක්කු තිබුනේ නම් ඊට ගොදුරු නොවීම සඳහාය​. 

වරක් මම නෙළුවේ පවත්වන ලද කඳවුරක සෞඛ්‍යය සේවයට ගියෙමි. නෙළුවේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කඳවුරට පැමිණි හමුදා නිලධාරීන් සාදරයෙන් පිලිගෙන ඔහු විසින් දඩයම් කරන ලද වල් ඌරෙකුගේ ගාතයක් රාත්‍රී ආහාර සඳහා දුන්නේය​. ඌරු- කණ් මහත්තයා ලෙස හඳුන්වනු ලැබූ මෙම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා දක්‍ෂ දඩයම්කරුවෙකු විය​. පසුකාලයක ඔහු දඩයමේ යද්දී ගෝනෙකුට සකස් කරන ලද කඳන් තුවක්කුවක් පත්තු වී මරණයට  පත් වූ බව අපට ආරංචි විය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Saturday, July 2, 2016

ජය මාවත

 


ජය මාවතෙන් පනින කොල්ලෝ 

නාලන්දේ තාප්පයක් පිපිරී හිඩැසක් සෑදී තිබුනේය​. පසුව මෙම හිඩැස කොල්ලන් විසින් හාරා තාප්පයෙන් කොටසක් කඩා වැටුනේය​. මෙම කොටස කටුකම්බි ගසා ආරක්‍ෂා කෙරුවද කොල්ලන් මේ ආරක්‍ෂක වැටවල් කඩා පොඩි මාර්ගයක් විවෘත කර ගන්නා ලදි. මෙම මාර්ගය ජය මාවත ලෙස හඳුන්වන ලදි. 

කොල්ලන් පාසලෙන් කට්ටි පැනීමට ජය මාවත යොදා ගත් හ​. ජය මාවතෙන් පනින කොල්ලන් යාබද සයිමන් අයියාගේ සැලූන් එකට හෝ නැතහොත්  කුප්පියාවත්ත හෝටලයට ගොස් වල්පල් කතා කරමින් ( සමහරු සිගරට් උරමින්ද කාලය කති) පසුව ශිෂ්‍ය නායකයන් කැලෑ පනින කොල්ලන් ඇල්ලීමට යොදවා ගත් නිසා ළමුන් මරදාන , කැම්බල් පිටිය වැනි දුර ස්ථාන කරා ගොස් පච හැලූහ​. ශිෂ්‍ය නායකයන්ට නියමිත වූ ශිෂ්‍ය නායක කාමරයක් තිබූ නිසා බොහොමයක් ශිෂ්‍ය නායකයන් පන්ති කට් කොට ශිෂ්‍ය නායක කාමරයේ වල්පල් කතා කරමින් උන්හ​. 

අට වසරේ සිටියදී මමත් රුෂාන්තත් , ලාල් රූපතුංගත් අවසන් පීරියඩ් දෙකට පෙර ජය මාවතෙන් පැනීම සඳහා ඒ දෙසට ගියෙමු. රුෂාන්තත් , ලාල් රූපතුංගත් මට පෙර ගිය අතර මම ජය මාවතෙන් පැනීමට යන විට අපගේ පන්ති භාර ගුරුවරිය වූ රොද්‍රිගූ ටීච ආවාය​. මම එකෙහින්ම අසල තිබූ පණිට්ටුවක් ගෙන රොද්‍රිගූ ටීච වවන ඇන්තූරියම් වගාව වෙත ගියේ මල් වලට වතුර දමන බවක් පෙන්වීමටය​. 

මගේ රඟපෑම සාර්ථක වූ නමුත් මට එදින පැනීමට නොහැකි විය​. රොද්‍රිගූ ටීච මා අතට රේක්කයක් ද දුන් හෙයින් මම පාසල අවසන් වන තෙක් බැන බැන රේක්ක ගෑවෙමි.   

තවත් දිනෙක මමත් කපිල විදාණරාළත් උදෑසනක ජය මාවතෙන් පැන්න අතර ශිෂ්‍ය නායකයන් අප පසුපස දිව ආවේය​. අප දෙදෙනා දෙපසකට දිව ගියෙමු. මා පසුපසින් ආ ඌචා නම් ශිෂ්‍ය නායකයා මාව අල්ලාගෙන විදුහල්පතිවරයා  වෙත ගෙන ගියේය​. මම ඌචාට නොවඳිනා වැඳුම් වඳිමින් මාව අත හරින ලෙස කීවෙමි. එසේම ඔහුගේ නිවස අසල සිටින තරිඳු පෙරේරා නම් ආනන්දීයාද මගේ මිතුරෙකු බව කීවෙමි.  මාව විදුහල්පතිතුමාගේ කාර්‍යාලය අසලටම කොලර් එකෙන් අල්ලාගෙන ගිය ඌචා අවසානයේදී මා අත හැරියේය​. මම ඌචාට ස්තූති කරමින් පන්තියට දිව්වෙමි. 

එදින අමරසිංහ හෙවත් මැස්සාද ජය මාවතෙන් පනින විට ශිෂ්‍ය නායක සෝභිත රාජකරුනා සහ තවත් පිපෙට් කෙනෙක් ඔහුව අල්ලගෙන ආවෝය​. අතරමගදී කැන්ටිමට බීම ගේන එන වෑන් රථය ආවෙන් ශිෂ්‍ය නායකයන් දෙදෙනා පාර අද්දරට ගියහ​. මැස්සා පාරේ අනෙක් පසට ගොස් එකහින්ම වෑන් රථයේ පසුපස එල්ලුනේය​. ඉන්පසුව වෑන් රථයේ පළුවක් ඇර බීම බෝතල් අස්සේ සැඟ විය​. බෝතල්  තොගයක්  බෑමෙන් පසු රියැදුරා විදුහල් ගේට්ටුවෙන් ඉවතට වාහනය ධාවනය කරන ලද අතර මගක් දුරදී මැස්සා වාහනයේ බඳට තට්ටු කොට වෑන් රථය නවතා ඉන් බැස්සේය​. මේ අතර අතට හසුවූ සැකකරු අන්තර්ධානවීම නිසා සිසු නායකයන් දෙදෙනා අන්දමන්ද වූහ​. පසුදින් ඔවුන් මැස්සා වෙත ගොස් ඔහු අන්තර්ධාන වූයේ කෙසේදැයි අසා තිබුනි. 

මෙසේ කොල්ලන් නිතරම ජය මාවතෙන් පැනීම ගැන ආරංචි වූ විදුහල්පති ධර්ම ගුණසිංහ මහතා වරක් රැස්වීමකදී මේ ගැන කියමින් එය ජය මාවත නොව පරාජයේ මාවත යැයි කීවේය​. ඉන්පසු මම කිසි දිනෙක ජය මාවතෙන් කට්ටි පැන්නේ නැත​. පසුව තාප්පය අලුතින් සාදමින් ජය මාවත සදහටම  වසා දමන ලදි.




Friday, July 1, 2016

ඩීමන් ආනන්ද ගේ පොත්


පාසල් යන කාලයේදී ඩීමන් ආනන්ද  ගේ පොත් කියවීමට අප උනන්දුවක් දැක්වූයෙමු. ජේම්ස් බණ්ඩා 009 නඩු නැත උසාවි නැත ; නීතිය ඇසට ඇසක් , උණ්ඩයට උණ්ඩයක් යන වැකි සහ ඔහුගේ මුවග රැඳුනේ චේරූට් වර්ගයේ සුරුට්ටුවකි යන විස්තර වර්ණනා අප සිත් ගත්තේය​. 

කෙසේ නමුත් මම මේ පොත් බැලුවේ හොරෙනි. මරදානේ දුමින්ද එරන්ද කලෙයිමගල් සමාගමෙන් රුපියලට එකයි පණහට ගන්නා මෙම පොත් අතිනත යයි. එසේම අනෙකුත් ළමුන් සමගද මාරු කොට අප ඩීමන් ගේ පොත් බැළුවෙමු. සමහර විට පාසල අසල ප්‍රභාත් කඩේද ඩීමන් ආනන්ද  ගේ පොත් මෙන්ම ධර්ම ශ්‍රී කල්දේරාගේ  ලන්දේසි හටන , සුසිල් ප්‍රේමරත්න ගේ මරු පිම්ම , වැනි පොත් තිබේ. දහවල් ආහාරය සඳහා දෙන මුදල් ඉතිරිකොට අප මේ පොත් ගන්නෙමු. 

වරක් සෞඛ්‍යය පාඩමේදී මම පාඩමට සවන් දෙන බව පෙන්වමින් කළවා උඩ ඩීමන් ආනන්ද ගේ ඔපරේෂන් ටයිගර් යන ජේම්ස් බණ්ඩා පොත රඳවාගෙන හිස පහත් කරගෙන කියවූයෙමි. අපට සෞඛ්‍යය ඉගැන්වූ ශ්‍යාමා ටීච හෙවත් ශ්‍යාමා ධර්මරත්න මහත්මිය මගේ අමුතු හැසිරීම දැක බඩුත් එක්ක හොරු අල්ලා ගත්තාය​. ඉන්පසුව ජේම්ස් බණ්ඩා පොත රාජසන්තක කරන ලදි. 

මම දින ගනනාවක් ශ්‍යාමා ටීච ගේ පුතා වූ සිදත් ධර්මරත්න වෙත ගොස් ඔපරේෂන් ටයිගර් යන ජේම්ස් බණ්ඩා පොත යළි ලබා ගැනීමට අසාර්ථක උත්සහයකද නිරත වූයෙමි. ඉන් පසුව මම ඩීමන් ගේ පොත් කියවූයේ ආරක්‍ෂක විධි විධාන යොදා ගනිමිනි. 

අපගේ නිවස ආසන්නයේ ජීවත් වූ චන්දන ජයවර්ධන ඉහල පංතියක සිටි ආනන්දේ  සිසුවෙකි. ඔහු ලඟ ඩීමන් ගේ පොත් ගනනාවක් තිබූ අතර වරක් ඔහු ඒවා මට දුන්නේය​. මම මේ නිධානය රැගෙන ගෙදර ආවෙමි ඉක්බිතිව ඒවා දෙමාපියන් ගෙන සඟවා තියාගෙන එකින් එක වැසිකිලියේදී කියවූයෙමි. (චන්දන ජයවර්ධන ගම්පෙරලිය චිත්‍රපටයේ තිස්සගේ ළමා කාලය නිරූපනය කල නළුවා විය.​ ඉන්පසුව ගල්කිස්ස හෝටලයේ විධායකයෙකු වූ ඔහු වර්තමානයේදී කැනඩාවේ ජෝජ් බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ හෝටල් කළමනාකරණය පිළිබඳව මහාචාර්‍යවරයෙකි )

චන්දන ජයවර්ධන මට දුන් පොත් අතර   ඩීමන් ගේ වවුලා නම් කතා පොතක් ද විය​. ඩ්‍රැකියුලා ආශ්‍රයෙන් ලියා තිබූ මෙම පොතේ ඉන්ස්පෙක්ටර් ඩිකී වීරකෝන් ජොනතන් හාකර් මෙන් වවුලා යන ලේ උරා බොන අමනුශ්‍යයා හඹාගෙන යයි. මෙම පොත කියවීමේදීමට භීතියක් ආවේය​. වඩාත්ම බිය දැනුනේ මිය ගිය අනුරුද්ධිකා මිනී වලෙන් නැගිට එන විස්තරයටය​. 

ඩීමන් ගේ ගොපළු කතාද මට ප්‍රිය විය​. ඩීමන් ලියූ  හොඳ නරක සහ කැත මිනිසුන් පොත ක්ලින්ට් ඊස්ට්වුඩ් රඟපෑ ගුඩ් බෑඩ් ඇන්ඩ් ද අග්ලි යන චිත්‍රපටය අනුසාරයෙන් බව මම දැනගත්තේ  පොත කියවීමෙන් පසු කාලයකට පසුවය​. 
ඩීමන් ගේ පොත් කියවීමෙන් පසුව අප පුස්ථකාලයේ තිබූ ජී.බී සේනානායකගේ, කුලසේන ෆොන්සේකාගේ පොත්  කියවූයෙමු. ඒවාට තහංචි නොවීය​. 

2002 වසරේදී මම අධ්‍යාපන ප්‍රතිකාර නමින් පරියේශන පොතක් ලියූවෙමි. මෙම පොතෙන් ළමුන් ගේ අධ්‍යාපන ගැටළු වලට බලපාන වෛද්‍ය   විද්‍යාත්මක මනෝ විද්‍යාත්මක කරුණු මම සාකච්ඡා කලෙමි. මේ සඳහා   අධ්‍යාපන ගැටළු පෙන්වූ ළමුන් 600  අධික ප්‍රමාණයක් මම පරික්‍ෂා කලෙමි. මට පෙනී ගිය  පරිදි කියවීමේ   දුබලතා කියවීමේ ඌණතා බොහෝ අධ්‍යාපන ගැටළු ඇති කරන ලදි. 

මගේ අදහස අනුව අපගේ පරම්පරාවේ කියවීමේ දුබලතා කියවීමේ ඌණතා මග හරවාගැනීමට ඩීමන් ආනන්දගේ පොත් ඉවහල් විය​. 2002 - 2003 අතර කාලයේදී මම ඩීමන් ආනන්ද මහතාට දුරකථනයෙන් කතා  කොට මේ බව කීවෙමි. බොහෝ විචාරකයන් අතින් විවේචනයට ලක් වූ   තමන් සාහිත්‍ය සේවයක් කර තිබෙන බව දැනගන්නට ලැබීම සතුටක් බව එතුමා මට කීවේය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Find Us On Facebook