Friday, June 3, 2016

යියා මාන්



මා සමග මිතුරු වූ ජැමෙයිකානුවන් කිහිප දෙනෙකු සිටිති. ඔවුන් මා දකින විට යියා මාන් කියති. මමද ඔවුනට යියා මාන් කියමි. යියා මාන් යනු ඉංග්‍රීසියෙන් යියස් මෑන් විය යුතුය​. මෑන් යන්න ඔවුන් කියන්නේ මාන් කියාය​. තවද බොහෝ ජැමෙයිකානුවන් තම බිරිඳට වූවද අමතන්නේ මාන් කියාය​. 

ජැමෙයිකානුවන් තුල අප්‍රිකානු ලක්‍ෂණ තිබුනද ඔවුන් අප්‍රිකානුවන් ගෙන් බොහෝ සෙයින් වෙනස් වෙති. එසේම ඔවුනට වෙනම සංස්කෘතික ලක්‍ෂණ තිබේ. ඔවුන් රෙගේ සංගීතයට ප්‍රියය​. මම බොබ් මාලේ , සිගි මාලේ , පීටර් ටොෂ් , ග්‍රෙගරි අයිසෙක් යන ගායකයන් ප්‍රිය කරන බව කියූ විට ජැමෙයිකානුවන් ප්‍රීතියෙන් ඉපිලෙති. 

 ජැමෙයිකාවට මුලින්ම ආවේ ක්‍රිස්ටෝෆර්  කොලම්බස් ය ඔහුගේ සහචරයන් ජැමෙයිකාවේ ආදිවාසීන් වූ අරවක් සහ ටයිනෝ ජාතිකයන් වඳ කලහ. ඔවුන් මෙම කැරිබියානු දිවයින සන්තියාගෝ ලෙස නම් කලහ​. පසුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් සන්තියාගෝ දිවයින ජැමෙයිකා කියා හැඳින්වූහ​. 

වරක් ජැමෙයිකානු රස්ටාෆාරියෙකු සමග මම කතා බස් කලෙමි. රස්ටාෆාරි යනු ආගමික නිකායකි. ඔවුන් ගංජා ධූමය අධ්‍යාත්මික සුවය සඳහා යොදා ගනිති. එසේම ද්‍රව්‍යාත්මක දේවල් පසුපස ලුහු නොබඳිති. ඔවුන් ගේ කොණ්ඩය හවරි මෙන් කඩා හැලේ. මෙම රස්තෆාරියා මා සමග පැය භාගයකට වඩා අධික කාලයක් කතා කරමින් ඔවුන් ගේ දර්ශනය ගැන මට කියා දුන්නේය​. 

සෙනෙකා කිං කැම්පස් හි සිටි ජැමෙයිකානු තරුණිය මට මතකය​. ඇය ගේ නම ටෙරිකාය​. ටෙරිකා කළු පැහැතිය​. එසේම කුඩා ශරීරයකින් යුක්ත වූවාය​. ටෙරිකා ජැමෙයිකාව ගැන බොහෝ කතා කීවාය​. ජැමෙයිකාව සුන්දර රටකි එහෙත් එහි ලංකාවේ මෙන් දූෂිත දේශපාලකයන් සමග අත්වැල් බැඳගත් පාතාලයක් තිබේ. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

Wednesday, June 1, 2016

ඇඩ්ඩිං සහ නාලන්දේ සුළු සේවකයෝ



නාලන්දේ සුළු සේවකයෝ කිහිප දෙනෙකු වූහ​. මෙයින් ගුණසේකර අයියා එකල ප්‍රයිමරියේ විදුහල්පති වූ ධර්ම ගුණසිංහ මහතාගේ කාර්‍යාලයේ වැඩ කලේය​. උප විදුහල්පති ධර්ම ගුණසිංහ මහතාගේ පණිවිඩ පන්ති වලට ගෙන යාමටත් ඔළු පලාගත් ළමයින්ට බෙහෙත් දැමීමත් ගුණසේකර අයියා කල බව මට මතකය​. ඔහු කාල වර්ණය​. සුදු ජාතික ඇඳුම ඇන්දේය​. පසු කාලයක ගුණසේකර අයියා නාලන්ද විද්‍යාලයේ පුස්ථකාලයේ සේවය කලේය​. 

ගුණසේකර අයියා ප්‍රයිමරියෙන් ගිය පසු රෙද්ද හැට්ටය ඇඳි ගැහැණියක් ප්‍රාථමිකයේ වැඩට ආවාය​. ඇයව අපේ කොල්ලන් විසින් හැඳින්වූයේ කැවුම් ආයා කියාය​. ඇයගේ මුහුණ කැවුමක් වගේය​. එසේම නිතරම කෝප ගන්නීය​. ඒ කාලයේ හය වසරේ සිටි අපට තවමත් ඔන්චිල්ලා පැදීම රුචි නිසා අප ප්‍රයිමරියේ ඔන්චිල්ලා වෙත ගියෙමු. එවිට කැවුම් ආයා පැමිණ අපට බැන වැද අපව එලවා දමන්නීය​. අපද කැවුම් ආයාට "කැවුම් ආයෝ" කියා  පසු නොබලා දුවන්නෙමු.   

ප්‍රයිමරියේ ගේට්ටුවේ චන්ද්‍රපාල නම් මුරකාරයෙකු විය​. ඔහු කොට කලිසම ඇඳ කමිසයේ උඩ බොත්තම නොපියවා සිටියි. මම 1996 කාල වකවානුවේ පාසලට ගිය විට චන්ද්‍රපාල දුටුවෙමි. ඔහු එදාත් සිටියේ කොට කලිසමෙනි. 

නවය වසරට පා තැබීමත් සමගම අපගේ පන්ති අපර්ස් ස්කූල් හෙවත් ජ්‍යෙෂ්ඨ පාසල් කලාපයට ගෙන යන ලදි. මේ කාලයේ කොල්ලන් ගේට්ටුවෙන් පැනීම උත්සන්න කොට තිබූ නිසා ගුණපාල හෙවත් සූකිරියා නිතරම ගේට්ටුවේ සිටියේය​. ඉංග්‍රීසියෙන් ලියුමක් (දෙමාපියන් ලියන ලෙසට) ලියාගෙන ගිය විට ගුණපාල ගේට්ටුව අරින බව කොල්ලන් කී නිසා මමද වරක් මේ සෙල්ලම අත් හදා බැලුවෙමි. එදින ගුණපාල අමාරුවෙන් අමාරුවෙන් වචන ගලපා ලියුම කියවා ඔයාට දතේ අමාරුවක් නිසා ආනන්දේ ඩෙන්ට්ල් එකට යන්න තියනවා නේද කියා  ගේට්ටුව ඇරියේය​. 

ගුණපාල ඉංග්‍රීසියට කැමතිය​. ගුණපාලට කොල්ලන් " දිස්වේ දිස්වේ" කියා නමක් දමා තිබුනෝය​. ඒකට නිධාන කතාව නම් මෙසේය​. වරක් සුද්දෙක් පැමිණ විදුහල්පති කාර්‍යාලය කොහේද කියා විමසීය​. විදුහල්පති කාර්‍යාලය දිශාව අතින් පෙන්වූ ගුණපාල " දිස්වේ දිස්වේ " කියා "ගෝ ගෝ ගෝ ගෝ හෝල්ට් (ඒ විදුහල්පති කාර්‍යාලය ඉදිරිපිට නවතින්න කීමයි) කීවේය​. මෙය ඇසූ කොල්ලන් කීප දෙනෙකු " දිස්වේ දිස්වේ " කතාව පාසලේ පැතිරුවෝය​. ඉන්පසු අප ගුණපාල යන විට  " දිස්වේ දිස්වේ " කීවෙමු. එවිට ඔහු අපට රැව්වේය​. ඒ කාලයේ "ඈත අතීතය දිස්වේ දිස්වේ " කියා සිංදුවක් ගුවන් විදුලියේ අරුණ කිරණින් නිතරම උදයට වාදනය විය​. වරක් එක් කොළුවෙක් ගුණපාල අසලින් යන ගමන් "ඈත අතීතය දිස්වේ දිස්වේ "කියා ගායනා කලේය​. මින් කිපුණු ගුණපාල "තොගෙ අම්මට" කියා කොළුවාට ටොක්කක් දීමට පැන්නේය​. කොළුවා පණ එපා කියා දිව්වේය​. පසුව ඔහු වෙත ගිය අප එම කොළුවාගේ පියා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලොක්කෙකු බව කීවෙමු. එවිට ගුණපාල " මළ කෙලියයි හෙට ගෙදෙට්ටම ප්‍රමෝසන් එකක් ලැබෙයි කියා මැතිරුවේය​. 

උස මහතින් යුතු කොල්ලන් සමහර විට ගුණපාලගේ සරම කඩති. ඔවුන් හමුවේ ගුණපාල දුවයි. සමහර විට අප හමුවේ ගුණපාල ඔහුගේ දුක කියයි. මාස කීපයකට වරක් ඔහුගේ මාමා ඔහු හමුවීමට එයි. එදිනට ගුණපාල ඉන්නේ මූඩ් ගසාය​. "අදත් මාමා බැන්නා ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්තේ නෑ"  කියලා මෙසේ කියමින් ගුණපාල අපට ඔහුගේ ජීවිත කතාව කියයි.  අප ඔහුට සවන් දෙන්නෙමු. 

නාලන්දේ තවත් සුළු සේවකයෙකු වූ සීබට් ද මෙහිදී මතක් කල යුතුමය​. සීබට් අපගේ පන්තියට එන විට රණසිංහ හෙවත් බිත්තරේ "සීබ , සීබෝ " කියා අමුතු හඞකින් කියයි . එවිට සීබට් ඔහු දෙස රවා බලයි. පසු කාලයක  රණසිංහ යුද හමුදාවට ගියේය​. 2004 පමණ කාලයේ ඔහු ඕමන්තේ සිටින විට මම රනේට දුරකථනයෙන් කතා කලෙමි. එහිදී මම ඒ කාලයේ මෙන් "සීබ " කියා අමුතු හඞකින් යලිත් වරක් ප්‍රතිරාව  කරන ලෙස ඉල්ලුවෙමි. මගේ ඉල්ලීම ඉටු කරමින් මේජර් රණසිංහ ඕමන්තේ සිට  "සීබ " කීවේය​.  

වරක් නවය වසරේ අපගේ සිංහල ගුරුවරිය වූ ගුණතුංග මහත්මිය පන්තියට එන විට කොල්ලන් නොයෙකුත් වැඩ කරමින් සිටි නිසා නැගිටීම ප්‍රමාද විය​. මෙහිදී ගුණතුංග ටීචර් පන්තියටම බැණ වැදී ගුරුවරයෙකු පැමිණි විට ගුරු ගෞරවය පෙන්වා පුටුවෙන් නැගිට ආයුබෝවන් කිව යුතු බව තරයේ කීවාය​. මේ අවස්ථාවේදී අංශ භාර ජයවර්ධන මයාගේ පණිවිඩයක් ගෙන සීබට් පන්තියට පැමිනියේය​. එවිට කොල්ලන් සියළුම දෙනා කලින් කතාකර ගත්තාක් මෙන් නැගිට  සීබට්ට ආයුබෝවන් සර් කීවෝය​. සීබට් අන්ද මන්ද විය​. 

ලක්‍ෂ්මන්  විදුහල්පතිවරයාගේ පියන් විය​. ඒ නිසා ලක්‍ෂ්මන් කොල්ලන්ව කෙයාර් කරේ නැත​. මේ නිසා කොල්ලන් ලක්‍ෂ්මන්ට වයිස් ප්‍රින්සිපල් කියති. එවිට කෝප වන ලක්‍ෂ්මන් සමහර විට කොල්ලන්ට පහර දීමට එයි. මෙසේ වරක් අපගේ උසස් පෙල පන්තියේ සිටි කොල්ලෙක් ලක්‍ෂ්මන්ව ප්‍රකෝප කලේය​. ලක්‍ෂ්මන්  ඔහුට පහර දීමට ආ විට ඔහු ලක්‍ෂ්මන්ට පහර දුන්නේය​. මේ කේස් එක ඇදී විදුහල්පති කොල්ලාට සිතාසි නිකුත් කලේය​. කොල්ලා එදාට පසු යලි පාසල් ආවේ නැත​. ඔහුගේ උසස් පෙළ අධ්‍යාපනය ඉන් නිම විය​. මේ විහිළු දුර  දිග ගිය අවස්ථාවකි.  

මේ සියළු සුළු සේවකයන් අතරින් ඇඩ්ඩින් හෙවත් ඇඩ්ඩිං ප්‍රකට චරිතයකි. ඔහු නාලන්දේ බොහෝ කාලයක් සේවය කලේය​. මම එක වසරේ (1973) සිටියදී පවා ඇඩ්ඩිං ට්‍රැක්ටරයක් වැනි තණකොල කපන යන්ත්‍රයකින් ක්‍රීඩා පිටියේ තණකොල කපනවා මතකය​. එ් කාලයේ මම නසරානි කොළුවෙකු වූ සරත්නරත්න නොහොත් සරත් හෙවත් ටිප්ටොප් සමග ක්‍රීඩා පිටියට ගොස් ඇඩ්ඩිං තණකොල කපනවා බලා සිට එකවරම කපන යන්ත්‍රයේ ෆෑන් එක යටට ගල් විසි කලෙමි. ( මට මෙසේ කරන ලෙස ඉගැන්වූයේ ටිප්ටොප් ය​) මා විසින් විසි කරන ලද ගල ෆෑන් එකේ වැදී විසිවන්නේ මහ හඞක් නගමිනි. එවිට ඇඩ්ඩිං තණකොල කපන යන්ත්‍රයෙන් බැස අප දෙදෙනා පසුපස එලවයි. අප දිවිල්ල නවත්වන්නේ ප්‍රයිමරියේ අපගේ එක ඩී පන්ති කාමරයට පැමිනීමෙන් පසුවය​. මේ දඟකාර වැඩ නිසා නිසා විශයමාලා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කල මගේ මව  අදිසි හස්ථයක් මගින් මාව එක ඩී පන්තියෙන් ගලවා ඊ අබේකෝන් මහත්මියගේ එක ඒ පන්තියට දමන ලදි.  ඉන් පසු මගෙන් ඇඩ්ඩිංට කරදරයක් නොවීය​. 

මම  පහ වසරේ සිටියදී මිතුරන් කිහිප දෙනෙකු සමග කතා කරමින් නොදැනුවත්වම ක්‍රීඩා පිටියේ පිච් එක උඩින් ගියෙමි. හිටි හැටියේම එක මිතුරෙක් "ඔන්න ඇඩ්ඩියා එනවා දුවපං "කියා දිව්වේය​. පසුපස බලන විට මම දුටුවේ සරම කැහැපොට ගසාගෙන මාරාවේශයෙන් මා වෙත දිව එන ඇඩ්ඩියාය. මම පවනට බඳු වේගයෙන් දිව ගොස් ඇඩ්ඩියා ගෙන් ගැලවුනෙමි.  ඉන් පසු බොහෝ කාලයක් යන තෙක්  මම  ක්‍රීඩා පිටියේ  ශුද්ධවූ පිච් එක නොපෑගුවෙමි.   

පසු කාලයක 1996 දී පමණ සීමාවාසික පුහුණුවෙන් පසුව මා පාසලට ගියෙමි. ක්‍රීඩා පිටිය අසලදී මට ඇඩ්ඩිං හමු විය​. " මොකද දැන් ලොකු මහත්තුරු උනාම  ඉස්කෝලේ පැත්තේ එන්නේත් නෑනේද ? ඔහු මා දුටු විගස නෝක්කාඩුවක් කීවේය​. නෑ ඇඩ්ඩිං දන්නේ නැද්ද මම පිටරට ගිහිල්ලා හිටියේ කියා නිදහසට කාරණා කීවෙමි. ඇඩ්ඩිං ඇත්ත වශයෙන්ම පාසලට ආදරේය​. අපගේ 1985 සිසු කණ්ඩායම මුදල් එකතු කොට විශ්‍රාමික ඇඩ්ඩිංට දුන් බව මට සෙන් පීටර්ස්බර්ග් නගරයේ ජීවත් වන සමන්ත ජයවීර වරක් කීවේය​. එසේම මුහුණු පොතේ 2016 ආනන්ද නාලන්ද ක්‍රිකට් තරඟය බැලීමට විශේෂ ආරාධිත කුටියේ සිටි ඇඩ්ඩිං ගේ චායාරූපය මම දුටුවෙමි. 

ඇඩ්ඩිං නාලන්ද විද්‍යාලයේ ක්‍රීඩා පිටියෙ භාරව සිටි සුළු සේවකයා විය​. සුළු සේවකයෙකු වූවද ඔහු සේවය කලේ තම වෘත්තිය කෙරෙහි ලැදියාවක්, කැපකිරීමක් මෙන්ම අභිමානයකිනි. මම මගේ වෘත්තීය ජීවිතය තුලදී විවිධ විශේසඥයන්, මහාචාර්‍යවරු , හමුදා ජෙනරාල්වරු යටතේ සේවය කොට තිබේ. එහෙත් ඔවුන් කිසිවෙකු ඇඩ්ඩිං මෙන් තම වෘත්තිය කෙරෙහි අභිමානයකින් යුතුව සේවය කරනවා මම නොදුටුවෙමි. සුළු සේවකයෙකු වූවද ඇඩ්ඩිං මට විශාල පාඩමක් නිහඞවම කියා දී තිබුනේය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

Tuesday, May 31, 2016

ඉන්දියානු මිතුරන්


මා සුමිතුරු කාෂ්මීරයේ ආර්. පී සිං

අපගේ වෛද්‍ය පීඨයේ ඉන්දියානුවන් බොහෝ දෙනෙකු වූහ​. ඔවුන් ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලින් පැමිනි නිසා ඔවුන් අතර අසමානතා බොහෝ තිබුනේය​. එහෙත් මොවුන් බොහෝ දෙනෙකු මා සමග මිතුදම් පැවැත්වීය​. මාගේ හොඳම ඉන්දියානු මිතුරන් වූයේ කාෂ්මීරයෙන් පැමිණි ආර් පී සිං , සුශිල් සහ ඔහුගේ සොයුරු අනිල් ය. ආර් පී සිං (රමින්දර් පෑල් සිං ) සික් ජාතිකයෙකු වූ අතර ඔහු මගේ කණ්ඩායමේ ඉගෙනුම ලැබීය​. ආර් පී සිං ජොලි ආකරයකි. ගුරුවරුන් ගේ දෝෂාරෝපණ වලින් මිදී  ආඳෙකු මෙන් ලිස්සා යන්නට දන්නෙකි.   සුශිල් මට වඩා වසරක් ජේෂ්ඨ සිසුවෙකි. අනිල් වෛද්‍ය සිසුවෙකු නොවීය. ඔහු ඉගෙනුම ලැබුවේ විනිට්සාහි පොලිටෙක්නිකල් ආයතනයේය​. මට ආර් පී සහ අනිල් නිතරම සුශිල් ගේ කාමරයේදී මුණ ගැසුනි. 

කාෂ්මීරයෙන් පැමිණි මේ ඉන්දියානුවන් බොම්බේ නගරයේ සිට පැමිණි නිනාද් ඩික්සිත් , කේරලයෙන් පැමිණි ශ්‍රී නාත් භරතන් සහ ආන්ද්‍රා ප්‍රදේශ් සිට පැමිණි කවිතා පරචූරි සමග එතරම් පයුරු පාසාන පැවැත්වූයේ නැත​. එහෙත් මම නිනාද් සහ ශ්‍රී නාත් භරතන් ගේ මිතුරෙකු වූයෙමි. නිනාද් ඩික්සිත් අපගේ වසරේ සිටි දක්‍ෂ සිසුවෙකි. ඔහුගේ පෙම්වතිය වූයේ කවිතායි. නමුත් පසුකාලයක  අධ්‍යාපනය හමාර කොට ඉන්දියාවට ගිය නිනාද්  කවිතා  අතහැර දමා ඇමරිකාවට ගොස් විවාහයක් කර ගත් බව මට සැලවිනි. කවිතා ගැන ආරංචියක් නැත​.  

ශ්‍රී නාත් භරතන් දක්‍ෂ ගිටාර් වාදකයෙකි. ඔහු ඊගල්ස් , හූ (WHO)  , බීට්ල්ස් , යන සංගීත කන්ඩායම් වල ගීත මිහිරි ලෙස ගායනා කරමින් ගිටාරය වැයුවේය​. ශ්‍රී නාත් ගීත ගයන විට රුසියානු යුවතියන්  ඔහුව වට කර ගනිති. වර්තමානයේ ශ්‍රී නාත් වකුගඩු විශේෂඥයෙකු ලෙස ඇමරිකාවේ සේවය කරයි.  

බිහාර් වලින් පැමිනි අකිලේශ් කුමාර් බොහෝ ඉන්දියානුවන් අප්‍රිය කලේ ඔහු සැමදෙනා සමගම ගෝරි දමා ගැනීම නිසාය​. පළවන වසරේදී ඔහු පන්ජාබයෙන් පැමිණි පරම්ජිත් සිං ට සුළු හේතුවක් නිසා පහර දුන්නේය​. අකිලේශ් ගේ පහර කෑ පරම්ජිත් සිං ගේ නාසයෙන් ලේ ආවේය​. කෙසේ නමුත් මෙය සමථයකට පත් විය​. ඉන් පසු වසර දෙකකට පමණ පසු ඔහු සුශිල් ගේ සොහොයුරු අනිල්ට පහර දුන්නේය​. එසේම නවක සිසුවෙකු වූ මධුශන්කර් එංගලන්තයට ගොස් එක් කනක කරාබුවක් දමාගෙන සිටි නිසා ඔහුටද පහර දෙනු ලැබීය​. 

අකිලේශ් කුමාර් මා දකින් විට මා දෙස නොබලා ගියේය​. එයට හේතුවක් වූයේ මම සුශිල් සහ අනිල් ගේ මිතුරෙකු වීමය​. එසේම වරක් කිසිදු හේතුවකින් තොරව ඔහු මට බැන වැද පහර දීමට ආවේය​. එම සිද්ධිය මෙසේය​. තෙවන වසරේදී  මම  පැතලොජිකල් ඇනටමි දේශනයකට කලින් ගොස් ඉදිරි පේලියේ වාඩිවී සිටියෙමි. දේශනය පැවැත්වූයේ මහාචාර්‍ය කස්ලෝව් ය​. කස්ලෝව් ගේ දේශන රසවත් නිසා මම එකී දේශන කිසිදා අතපසු නොකලෙමි. දේශනයට මහාචාර්‍ය කස්ලෝව් පැමිනීමට විනාඩි කීපයකට පෙර පැමිනි අකිලේශ් කුමාර් මා අසල ආසනයේ ඉඳගෙන ඔහුගේ ඩිප්ලොමැට් බෑගය මගේ දෙපා අසලින් තැබුවේය​. ඔහු මෙය කලේ සිතාමතා බව මට පසුව වැටහුනි. ඔහුට අවශ්‍ය වූයේ මා ප්‍රකෝප කොට මා සමග ගෝරියක් ඇද ගැනීමටයි. මේ බව නොදත් මම දේශනයට අවධනය යොමු කලෙමි. 

දේශනය අවසානයේදී මා ඉදිරියට පැමිනි අකිලේශ් කුමාර් මා ඔහුගේ ඩිප්ලොමැට් බෑගය මගේ පාද වලින් තල්ලු කොට තිබෙන බව කියා මට පහර දීමට අත මිට මොලවා ආවේය​. මේ අභූත චෝදනාව නිසා මම මොහොතක්  වික්ශිප්ත් වූයෙමි .ඒ අතර තවත් ඉන්දියානු සිසුවෙකු වූ රන් ජොත් සිං අප අතරට පැමින අකිලේශ් කුමාර් ගේ අත අල්ලා  ගත්තේය.  

අකිලේශ් කුමාර් කෝපයෙන් රන් ජොත් සිං පසෙකට තල්ලු කරමින් මා වෙත එන්නට තැත් කරයි. මම බිය නොවූයෙමි. එහෙත් වෛද්‍ය පීඨය තුලදී ගුටි ගසා ගැනීම මට නුහුරුය​. ඇරත් සෝවියට් සහ විදෙස් සිසුන් මේ ආරම්භ වීමට යන පොරය දෙස බලා සිටිති.

ඒ කාලයේ මම වයස අවුරුදු විසි තුනක විසි හතරක ශක්තිමත් තරුණයෙකු වූයෙමි. එසේම දිනපතා වියායාම කලෙමි. කිලෝ ග්‍රෑම් පණහක ඩම් බෙල් එසවූයෙමි. මස් , බිත්තර දිනපතා ආහාරයට ගත්තෙමි. තවද අප වෛද්‍ය පීඨයේ රුසියානු සිසුවෙකු වූ තට්ට ඔලෙග්  වෙතින් කරාටේ සහ කේ ජී බී රහස් සේවාව භාවිතා කල සටන් ක්‍රම පුහුණු වූයෙමි. එකල මගේ දෑත් වානේ මෙන් ශක්තිමත් විය​. වරක්  උස මහත රුසියානු සිසුවෙකුටවත් එහා මෙහා කල නොහැකි වූ පිට්ටනිය තලන යෝධ ගල් තලන රෝදය මම ඉදිරියට ඇද්දෙමි. මේ නිසා අකිලේශ් කුමාර්ට මම බිය නොවූයෙමි. මට තිබුනේ  වෛද්‍ය පීඨය තුලදී මෝඩයෙක් සමග ගුටි ගහගෙන දෙකාන් හෙවත් වෛද්‍ය පීඨයේ ඩීන් ලඟට යාමට වේදෝ යන බියයි. එම නිසා මම අකිලේශ් කුමාර්ට කතා කලෙමි. 

" නුඹ මම නුඹගේ ඩිප්ලොමැට් බෑගයට පා පහරක් දුන් බව කියයි. නමුත් මම එසේ කලේ නැත​. නමුත් මම එසේ කලා කියා උපකල්පනය කොට මම නුඹගෙන් සමාව ඉල්ලමි. නුඹ මේ සිසුන් ඉදිරියේ මට පහර දීමට ආවේය​. මට දේවස්ථානයක් බඳු මේ වෛද්‍ය පීඨය තුලදී රස්තියාදුකාරයෙකු මෙන් ගහ ගැනීමට නොහැක​. නමුත් මම නුඹට මා සමග ගහ ගැනීමට අවස්ථාව දෙමි. අප දෙදෙනා දැන් අංක හතර දරණ නේවාසිකාගාරයේ නව වන තට්ටුවට ගොස් පියස්ස හරහා වහලයට නගිමු . එම වහලයේ විශාල ඉඩ ප්‍රමානයක් තිබේ. කිසිවෙකු නැත​. එහිදී අප රිසි සේ සටන් කරමු.  රන් ජොත් සිං විනිසුරුවරයෙක් වනවා ඇත​.මම දැන් අංක හතර දරණ නේවාසිකාගාරයේ පියස්ස අසලට ගොස් නුඹ එන තෙක් බලා සිටිමි. යම් ලෙසකින් නුඹ මගේ අභියෝගය භාර නොගෙන නෑවිත් සිටියොත් මම නුඹ පාෂාණ්ඩයෙකු ලෙස මින් ඉදිරියට සලකන අතර සියලුම ඉන්දියානු සිසුන්ට නුඹගේ බියගුළුකම කියමි. " මෙසේ කියමින් මම අංක හතර දරණ නේවාසිකාගාරය වෙත පිය මැනුවෙමි. 

මම පියස්ස අසල පුරා පැයක් අකිලේශ් කුමාර් එන තෙක් සිටියද ඔහු ආවේ නැත​. මේ අතර හති දාගෙන පැමිණි රන් ජොත් සිං තරහා නොගෙන මේ සිද්ධිය අමතක කර දමන ලෙස මට කීවේය​. මම කෝපයෙන් නොසිටින බවත් අකිලේශ් කුමාර් සමග මුහුණට මුහුණලා සටන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් කීවෙමි. එවිට රන් ජොත් සිං කීවේ අකිලේශ් කුමාර් කිසි දින මා සමග සටන් කිරීමට නොඑන බවයි. 

මේ සිදුවීමෙන් පසු අකිලේශ් කුමාර් මාව මග හැරියේය​. මගේ අභියෝගය හමුවේ අකිලේශ් කුමාර් පසුබා ගිය බව දැනගත් අනෙකුත් ඉන්දියානුවන් අකිලේශ් කුමාර්ට සිනා සුනෝය​. ඔහු තව දුරටත් ඉන්දියානු සිසුන්ට වීරයෙකු නොවීය​. 

මෙසේ බොහෝ කාලයක් මා මඟ හැරිය අකිලේශ් කුමාර් අවසාන වසරේදී   මා වෙත පැමින ඉතා දුකින් පැමිනිල්ලක් ඉදිරිපත් කලේය​. ඔහු සමග කාමරයේ එකට සිටි ශ්‍රී ලාංකික සිසුවා වෛද්‍ය උපාධි අවසන් කොට යළි ලංකාවට යාමේදී ඔහුගේ ශීතකරණය අකිලේශ් කුමාර්ට විකුණන බව කියා මුදල් ගෙන තිබේ. එහෙත් මේ සිසුවා ශීතකරණය තවත් පුද්ගලයන් තිදෙනෙකුට මෙලෙස විකුණා ලංකාවට පළා ගොස් ඇත​. මේ කතාව අසා මට සිනා යන්නට ආවත් අපගේ ශ්‍රී ලාංකික සිසුවා කරන ලද නසරානි ක්‍රියාව නිසා ලැජ්ජාවක් ආවේය​. 

වෙනත් ඉන්දියානු සිසු සිසුවියන් අතර සිටි මයිසූර් දේශයෙන් පැමිණි සිසුවියක මගේ මතකයට නැගේ. ඇයට තිබුනේ අර්ධ චීන පෙනුමකි. එසේම තමිල්නාඩුවෙන් පැමිණි කාලවර්ණ ද්‍රවිඩ සිසුවෙකුද මට මතක් වේ. මොවුන් සියලුම දෙනා මා සමග මිත්‍රය​. 

ඉන්දියානු විරෝධය පවතින මේ කාලයේ මට මේ ඉන්දීය මිතුරන් මිතුරියන් මතක් වේ. ඔවුන් සුන්දර මිනිසුන් පිරිසකි. අපි එකිනෙකා කෙරෙහි ගරුත්වයෙන් බැඳීමෙන් සමගියෙන් ජීවත් වුවහොත් මේ කළාපය කොපමණ දියුණු වේද කියා මට සිතේ.



වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Monday, May 30, 2016

ඉංග්‍රීසි ඕඩය





ඉංග්‍රීසි ඕඩය හෙවත් ඉංග්ලිශ් චැනලය තරණය කිරීම නැපෝලියන් ගේත් හිට්ලර් ගේත් සිහිනය වූවද එය යතාර්ථයක් වූයේ නැත​. නැපෝලියන්ටත් හිට්ලර්ටත් කල නොහැකි වූ ඉංග්‍රීසි ඕඩය තරණය කිරීම මා කලෙමි. බෙල්ජියමේ ඔස්ටෙන්ඩ් සිට එංගලන්තයේ ඩෝවර් දක්වා මම මුහුදින් ගියෙමි. 

ඉංග්‍රීසි ඕඩය පළලින් කිලෝ මීටර් 250 පමණ වේ. ඉංග්‍රීසි ඕඩය තරණය කරනුයේ ෆෙරී හෙවත් විශේෂ මගී සහ ප්‍රවාහන නෞකා මගිනි. 

බෙල්ජියමේ ඔස්ටෙන්ඩ් නගරයේ  මා නියමිත ෆෙරී එක එන තෙක් සිටියෙමි. ඔස්ටෙන්ඩ් නගරයේ බිත්තියක විශාල ටින් ටින් රුවක් සහ ඔහුගේ බල්ලා ස්නොවී ගේ රුවක්  තිබුණි. ටින් ටින් නිර්මාතෘ  Georges Prosper Remi බෙල්ජියම් ජාතිකයෙකු බව මගේ මතකයට ආවේය.​

ෆෙරී එක ආවෙන් මම මිනිස් සමූහය සමග පෝලිමේ ගොස් ෆෙරී එකට ගොඩ වැදුනෙමි. එය ඩෙක් තට්ටු කීපයකින් යුක්තය. මම ඉහලම ඩෙක් එකට ගියේ ඉංග්‍රීසි ඕඩය හොඳින් නැරඹීමටය​. රාත්‍රිය එලඹ තිබුනද ජූලි මාසයේ  උණුසුම් සුලං ගතට සහනයක් විය​.  රාතී අහසේ තාරකා කීපයක් මා දුටුවෙමි. මේ අතර විශාල බස් සහ මෝටර් රථ ෆෙරී එකේ පහත මාලයට ඇතුළු කෙරුනි. සියල්ල අවසන් වූ පසු කපිතන්වරයා නාවික නළාව පිඹ යාත්‍රා කිරීම ඇරඹීය​. 

ඩෙක් තට්ටු පිරී තිබුනේ යුරෝපීය සංචාරකයන් ගෙනි. ඕලන්ද පාසල් ළමුන් කණ්ඩායමක් ද මම දුටිමි.  මගීන් ගමන් මළු දිග හැර රාත්‍රී ආහාරයට සූදානම් වූහ​. සමහරු යාත්‍රාවේ අවන්හලෙන් ආහාර මිලදී ගත්හ. මා බෙල්ජියමෙන් මිලට ගත් අඩක් කා තිබූ විශාල හොට් ඩෝග් එක එලියට ගත්තෙමි. ආහාරය නිම කිරීමෙන් පසු මා ලඟ තිබූ වතුර බෝතලයෙන් වතුර පානය කලෙමි. 

මා ඉහල මාලයේ හාන්සි පුටුවක ඇල වූයෙමි. ෆෙරී එක ඈත පෙනෙන ඉංග්‍රීසි දූපත් වෙත යාත්‍රා කරයි . ලයිට් එලියත් ඩෙක් එක පුරවා මිනිසුන් සිටි නිසාත් මට නිදිමත ආවේ නැත​. මට ඉංග්‍රීසි , ජර්මන් , ඩච් , නෝවේජියානු ඉතාලි ස්වීඩිෂ් භාෂා ඇසේ. එය නියම යුරොපියානු සලාදයකි. මා වැනි දුඹුරු මිනිසුන් ඇත්තේ ඉතා සුළු ප්‍රමානයකි. ඔවුන් බ්‍රිතාන්‍ය ගයනාවෙන් හෝ ඉන්දියාවෙන් විය හැකිය​.  එහෙත් දුඹුරු මිනිසුන් එකිනෙකා සමග කතාවට ගියේ නැත​. මම ඕලන්ද පාසල් ළමයෙකු සමගත් ජර්මන් සංචාරකයෙකු සමගත් සංවාදයේ යෙදුනෙමි. එසේම මිඩ්ලන්ඩ් වල ජීවත් වන ඉංග්‍රීසි ජාතික තරුණයෙකු සමගද කතා බස් කලෙමි. 

 රාත්‍රිය පුරාම ෆෙරි එක ඉංග්‍රීසි ඕඩය හරහා යාත්‍රා කලේය​. අළුයම් කාලයේදී එය කෙන්ට් හි ෆෙරී තොටුපලක් වන ඩෝවර් වෙත ලඟා විය​. ඩෝවර් වෙත ලඟා වීමෙන් පසු මගීන් පොදි පොදි වශයෙන්  ෆෙරි එකෙන් එලියට විත් ඉංග්‍රීසි රේගුව ඉදිරිපිට පෝලිම් ගැසුනහ​. 


 වෛද්‍ය රුවන් එම් ජයතුංග 


Sunday, May 29, 2016

වෛද්‍යවරුන් ගේ හාස්‍ය රස



දකුණු කොලඹ ශික්‍ෂණ රෝහලේ ප්‍රී ඉන්ටන්වරයෙකු ලෙස සේවය කල කාලයේදී   විශේෂඥ  වෛද්‍යවරු කිහිප දෙනෙකු යටතේ වැඩ කිරීමේ භාග්‍ය මට ලැබුණි. ඒ වෛද්‍යවරු අතරින් විශේෂඥ  කායික වෛද්‍ය එස් ඩී ෆොන්සේකා, විශේෂඥ ශල්‍ය වෛද්‍ය රාජන් නයිල්ස් , විශේෂඥ  නාරි හා ප්‍රසව වෛද්‍ය ඩී. එස් රාජපක්‍ෂ සහ විශේෂඥ  ළමා රෝග වෛද්‍ය බී ජේ සී පෙරේරා යන මහතුන් ප්‍රධාන වෙයි. මීට අමතරව විශේෂඥ  කායික වෛද්‍ය ගුනවර්ධන සහ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලූශන් පෙරේරා අපට දේශන පවත්වා තිබේ.   

විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලූශන් පෙරේරා හොඳ ගායකයෙකි වරක් එතුමා වෛද්‍යවරුන් ගේ සාදයකදී දන්ත වෛද්‍ය බොබී ප්‍රනාන්දු මහතා සමග ගීතයක් ගැයීය​. එසේම එතුමා හොඳ විහිළු කතා කියන්නෙකි. වරක් විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලූශන් පෙරේරා හමුවීමට රෝගියෙක් පැමිනියේය​. ඔහු ඩොක්ටර් මගේ කිඩ්නි ඉදිමිලා තියනවා කීවේය​. රෝගියා වකුගඩු සම්බන්දයෙන් පැමිණිළි කරනවා යැයි සිතූ වෛද්‍ය ලූශන් පෙරේරා රෝගියා පරික්‍ෂා කලේය​. ඔහුට හයිඩ්‍රෝසිල් හෙවත් වෘෂණ කෝෂ ඉදිමීමේ රෝගය තිබුණි. රෝගියා කිඩ්නි යැයි කියා තිබුනේ තම අණ්ඩ කෝෂ වලටය​.  

වෛද්‍ය එස් ඩී ෆොන්සේකා රෝගීන් පරික්‍ෂාවේදී රෝගීන්ව සහ කණිෂ්ඨ වෛද්‍යවරුන්ව නිතරම සිනා ගන්වයි. මේ නිසා රෝගීන් ආතතියකින් තොරව පරීක්‍ෂාවට සහාය වෙති. එතුමා සමග වෝඩ් රවුන්ඩ්ස් කිරීමෙන් ලේ පිරිසුදු වේ.  

1994 වසරේදී කොලඹ ෆ්රැන්සිස් මාවතේ මෘතශරීරාගාරයේ  විශේෂඥ අධිකරණ වෛද්‍ය එල් බී එල් අල්විස් මහතා අපට දේශන පැවැත්වීය​. වරක් දේශනයකට යාමට ප්‍රමාද වීම නිසා මම කොලඹ වෛද්‍ය පීඨයේ පුස්තකාලයේ සිට යාබද පරිශ්‍රමයේ පිහිටා තිබෙන මෘතශරීරාගාරයට වේගයෙන් අඩි තබමින් ගියෙමි. මෘතශරීරාගාරයේ ප්‍රධාන දොරටුව ආසන්නයට යත්ම එක් පුද්ගලයෙක් මාව නවත්වා ගත්තේය​. "  සර් කිසිම දේකට බය වෙන්න එපා අපි ඔක්කොම කරලා දෙන්නම්"  කීවේය​. වික්ශිප්ත වූ මා " මොනාද?  කියා ඔහුගෙන් ඇසුවෙමි. "කිසි ප්‍රශ්නයක් නෑ අපි එම්බාම් කරල ගෙදෙට්ටම ගෙනල්ලා දෙන්නම්" කියා ඔහු කීවේය​. එම පුද්ගලයා මිනී කාක්කෙක් බව මට වැටහුනේය​. "ඔහේට එම්බාම් කරල ගේන්න වෙන්න මාව තමයි"  කියා මම ඔහුගෙන් මිදී දේශනයට ගියෙමි. 

මාතලේ රෝහලේ එක් ඉන්ටන්වරයෙක් සිටියේය​. අප ඔහුට ප්‍රශාන් කියමු ( මේ නියම නම නොවේ) වෛද්‍ය ප්‍රශාන් සේවය කල වාට්ටුවේ හෙද සොහොයුරියට තම තරුණ දියණිය වෛද්‍ය ප්‍රශාන්ට සරණ පාවා දීමේ අදහසක් ඇතිවී වෛද්‍ය ප්‍රශාන් ඇතුළු තවත් ඉන්ටන්වරු කීප දෙනෙක්  රාත්‍රී කෑමකට නිවෙසට ආරාධනා කලේය​. හෙද සොහොයුරියට වෛද්‍ය ප්‍රශාන් කන්නට කැමති ආහාර ඔහුගෙන් ඇසීමට ධෛර්‍යයක් නොවූයෙන් අනෙකුත් ඉන්ටන්වරුන් ගෙන් ඇසූහ​. කොල්ලන්ද මේ ලැබෙන අවස්ථාව ගැන සිතා බලා ඔවුන් ආශා කරන ඌරු මස් මෙනූවක් හෙද සොහොයුරියට දුන්හ​. නියමිත දිනයේ වෛද්‍ය ප්‍රශාන් ඇතුළු ඉන්ටර්න්වරු රාත්‍රී භෝජන සංගහයට ගිය අතර වෙන්ඩ මනමාලිය වෛද්‍ය ප්‍රශාන්ට ඌරු මස් බෙදුවාය​. ඌරු මස් දැක කලබල වූ වෛද්‍ය ප්‍රශාන් "අනේ අනේ මට ඌරු මස් එපා යන්තරයකුත් දාලා තියනවා "කීවේය​. පසුව ඔහුට යන්තරය සර්විස් කර ගැනීමට සිදුවූ අතර  හෙද සොහොයුරිය අනෙකුත් ඉන්ටර්න්වරුන්ට හොඳ හැටි දෙහි කැපුවාය​. 

වරක් කොලොන්ගොඩ රෝහලට වෛද්‍ය සහතිකයක් ගෙන යාමට පැමිණි රෝගියෙකුගෙන් වැඩ කරන්නේ කොහේද කියා සහකාර වෛද්‍ය නිලධාරී ප්‍රේමරත්න මහතා ඇසීය​. " මෙව්වා එකේ " කියා රෝගියා උත්තර දුන්නේය​. මම එහෙනම් මෙඩිකල් එකේ සේවා ස්ථානය කියන එකට  " මෙව්වා එකේ " කියලා ලියන්නම් කියා ප්‍රේමරත්න මහතා කීවේය​. මම සිනහව තද කර ගත්තෙමි. 

මම මිනිපේ ප්‍රදේශයේ සේවය කරන විට කොලඹ රෝහලක සේවය කරන වෛද්‍ය මිතුරෙකු ආවේය​. ඔහු වල් ඌරු මස් සෙවූ නමුත් හමු නොවීය​. ඉන් පසු ඔහුට අප මෙවැනි ඔවදනක් දුන්නෙමු. ෆාම් ඌරෙකු මිලට ගෙන ඌට නිල් චිත්‍රපට පෙන්වන්න . ඉන් පසු ඌ වල් ඌරෙකු වේ. එවිට ඇති තරම් ඌරු මස් කත හැකිය​. 

මීගමුව රෝහලේ නාරි හා ප්‍රසව සායනයට එන රෝගීන් සඳහා අභ්‍යාස පොතක් ගෙන එන ලෙස නියමවී තිබුණි. අභ්‍යාස පොත අවශ්‍ය කෙරුනේ රෝගීන්ට දෙන බෙහෙත් වර්ග හා පරික්‍ෂන ගැන සටහන් කර ගැනීමටය​.   නාරි හා ප්‍රසව සායනයට එන රෝගීන් සඳහා අභ්‍යාස පොතක් ගෙන එන්න යන වැකිය සායනයේ බිත්තියේ සටහන් කර තිබුනේ මේ ලෙසටය. සායනයට එන රෝගීන් කරුණාකර අසභ්‍ය පොතක් රැගෙන එන්න. මේ වැරදියට ලියා ඇති වැකිය දුටු නාරි හා ප්‍රසව විශේශඥ වෛද්‍ය අජිත් සේමගේ මහතා එය මට පෙන්වා සිනාසුනේය​. 

උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රනිල් ප්‍රනාන්දු මහතාද හොඳ කවට කතා කියන්නෙකි. මම එතුමාගේ රෝගීන් නිර්වින්දනය කිරීමෙන් සහාය වී තිබේ. වෛද්‍ය රනිල් ප්‍රනාන්දු මහතා වෛද්‍ය සිසු සිසුවියන් ගෙන් ප්‍රශ්න අසයි. ප්‍රශ්න වලට පිළිතුරු දීමට අසමත් වන සිසු සිසුවියන් ගේ අත් වල ලොකු ඉලාස්ටික් ප්ලාස්ටරයක් අලවා එය සැනෙකින් ගලවා දමයි. මෙය උත්තේජනයකි. එම නිසා වෛද්‍ය සිසු සිසුවියන් අප්‍රමාදව වහා අකුරට එති.    

විශේෂඥ ශල්‍ය වෛද්‍ය බී. ජී.එන් රත්නසේන මහතා සමග වැඩ කිරීම විනෝදයකි. මම එතුමාගේ ශල්‍යකර්ම බොහොමයකට නිර්වින්දන වෛද්‍ය ලෙස සහභාගි වී තිබේ. රාජකරී ආතතියෙන් තොරව බොහෝ විනෝදයෙන් අප වෛද්‍ය බී. ජී.එන් රත්නසේන මහතා සමග වැඩ කලෙමු.  

විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය හල්පේ මහතා කටකාරයකි. ඔහුට තිබුනේ ෆෝක්ස්වැගන් රථයකි. වරක් ඔහු රෝහලට එන අතරමගදී හමුදා බැරියරයකදී වෛද්‍ය හල්පේ මහතාගේ මෝටර් රථය නවත්වනු ලැබීය​. රථයට කර පොවා බැලූ සොල්දාදුවෙක් මොකක්ද පිටිපස්සේ තියෙන්නේ කියා ඇසුවේය​. එන්ජින් එක කියා  වෛද්‍ය හල්පේ කීවේය​. 

විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා සමග මම වසර හතරක් වැඩ කර තිබේ. එතුමා තුලද හාස්‍යය දැකීමේ  හා ප්‍රකාශ කිරීමේ හැකියාව තිබේ. වරක් යුද හමුදා රෝහලේ සායනයකට බියුගල් පිඹින සොල්දාදුවෙකු ආවේය​. ඔහුගේ රාජකාරිය උදෑසන සහ රාත්‍රී ධජ ඔසවන සහ බාන විට බියුගල් පිඹීමයි. බියුගල් පිඹින විට බඩේ පීඩනය වැඩිවී තම අණ්ඩ කෝෂ ඉදිමේ  බියක් තියනවා යැයි ඔහු කීවේය​.   

මෙම  බියුගල් පිඹින්නා අණ්ඩයෙකු බවත් වරක් ප්‍රමාදවී නැගිටීම  නිසා ඔහු නිල අැඳුම නොඇඳ යන්තම් මුහුනේ කබ පිසදා   සොල්දාදු නිවස්නයේ ජනේලයක් තුලින් බියුගලය එලියට දමා පිඹ තිබෙන බව රෙජිමේන්තු සාජන් මේජර් අප සමග කීවේය​. මෙය ඇසීමෙන් අප දෙදෙනාටම සිනහව නවතා ගැනීමට නොහැකි විය​.   අවසානයේදී වෛද්‍ය නීල් ප්‍රනාන්දු බියුගල් පිඹින්නාට අවවාදයක් දුන්නේය​.  බියුගල් පිඹින විට බඩේ පීඩනය වැඩිවී තම අණ්ඩ කෝෂ ඉදිමේ  බියක් තිබෙනවා නම් ඔළුවෙන් හිටගෙන බියුගල් පිඹින්න කීවේය​. එය ඇසීමෙන් බියුගල් පිඹින්නාටද සිනා පහළ විය​. 


වරක් එංගලන්තයේ සේවය කරන ලාංකික දොස්තර කෙනෙක් ලංකාවට නිවාඩු ආවේය​. ඔහු මිතුරෙකුගේ වාහනයකින් අනුරාධපුරයට ගියේය​. කැකිරාව ආසන්නයේදී මිතුරාගේ වාහනය ලෙඩදී නැවතුණි. පාර දෙපසම හේන් ය . වාහනයක් පේන තෙක් මානයක නැත​. ඔහු  ඈතින් එන ගැමියෙකු දැක ගැමියා වෙත ගියේය​. මේ ලොකු උන්නැහේ මේ හරියේ රෙන්ට කාර් එකක් හොයා ගන්න පුලුවන් වෙයිද ඔහු ගැමියාගෙන් ඇසීය​. ගැමියා බුලත් කෙල පහරක් ගසා මෙසේ කීය​. : "අර මක්කටැයි මහත්තයා රෙන්ට කාර් එකක් ඔය අකුලකට රිංගුවා නං ඉවරයි නේ "


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Find Us On Facebook