Thursday, August 29, 2019

වෛද්‍ය ආනන්ද සමරසේකර පිළිබඳව




වෛද්‍ය ආනන්ද සමරසේකර මට හමු වන්නේ 1993 වසරේදීය. ඔහු අපට අධිකරණ වෛද්‍ය වෛද්‍යාව පිළිබඳව දේශනයක් කලේය. ඒ කාලයේ වෛද්‍ය ලලන්ත අල්විස් මෙන්ම මැඩම් කාරියවසම් ද අපට දේශන පැවැත්වූහ. 1995 වසරේ මම ග්‍රාමීය රෝහලක ස්ථාන භාර වෛද්‍ය නිලධාරියාව සිටියදී  වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාව සෞඛ්‍යය අමාත්‍යාංශයේදී හමුවී මරණ පරීක්‍ෂණ පැවැත්වීමේදී උද්ගත වන තාක්‍ෂණික ගැටළු පිලිබඳව යමක් විමසුවෙමි. ඒ කාලයේදී ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ උසස් නිලයක්ද හෙබවීය. වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා මට පිළිතුරු දුන්නේ එතරම් ගරු සැලකිල්ලකින් නොවේ. අප වැනි ග්‍රාමීය රෝහල් වල MOIC  ලා හාල් කෑලි ලෙස ඔහු දකින්නට ඇති. නමුත් අපට ඔහු සුවිසල් පුද්ගලයෙකු විය 

වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධව සාක්‍ෂි වසන් කිරීමට කටයුතු කිරීමේ චෝදනාවට කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව පසුගියදා (අගෝස්තු 27) කටයුතු කරන ලදී. ඒ කාලයේ අඩි දෙක තුනක් උඩින් ගිය වෛද්‍ය ආනන්ද සමරසේකර මේ වන විට ජීවිතය පිලිබඳව බොහෝ යථාර්ථයන් ඉගෙන ගෙන ඇති බව මම සිතමි. 

ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ මා ඉගෙන ගත් යූක්‍රයිනයේ විනිට්සා වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලැබූ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මේ වන විට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාය. වෛද්‍ය අජිත් තෙන්නකෝන් ආනන්ද සමරසේකර එදා ඉඳගත් පුටුවේ සිටින අතර ඔහු වෘත්තීමය ගරුත්වයකින් වැඩ කරයි. 

ආනන්ද සමරසේකර වෘත්තීමය වශයෙන් අවමානයට ලක්වී අපරාධ නඩුවකට මුහුණ දීමට සූදානම් වන මේ අවස්ථාවේදී මට ඔහු පිලිබඳව ඇත්තේ දුකකි. කෙසේ නමුත් වෛද්‍ය ආනන්ද සමරසේකර ගෙන් මම එක් පාඩමක් ඉගෙන ගත්තෙමි. ඔබ කෙතරම් උසස් වෛද්‍යවරයෙකු  වූවද කනිෂ්ඨ වෛද්‍යවරයෙකුට යම් කිසි ගරුත්වයකින් සැලකිය යුතුය. ඒ මන්ද යත් ජීවිතයේ එක් වරදකින් ඔබ මහ පොළවට පාත් විය හැකිය. එවිට ලොකු කම් උසස්කම් හුලං ගිය බැළුන් බෝලයක් වෙයි. තනතුරු , මුදල් , බලය මේ සියල්ලම තාවකාලික දෙවල් ය.  

මම නම් මාගේ උපකාරය හෝ යමක් විමසන වෛද්‍ය සිසුවෙකුට වූවද ගරුත්වයකින් සලකමි.  එය මට ඉගැන්වූයේ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකරය  


10 comments:

  1. වෛද්‍ය‍ය වරුන්ට/සිසුන්ට විතරක් නෙමේ සියළු මනුස්සයෝ අනෙක් මනුස්සයන්ට ගරුත්වයෙන් සළකන්න ඕනා. වෛද්‍යවරු සහ හෙදියෝ රෝගීන්ට සළකන විධිහත් ඔය විධිහම ( ආනන්ද සමරසේකර විධිහ) තමා. මේක අනිත් ක්ශේත්‍ර වලත් නොඅඩුව දකින්න පුළුවන් තත්ත්වයක්..
    පීළිගත් තැනකට ආපුවම හිතන්නෙ මම තමා පොර අනිත් උන් හාල් කෑලි කියලා..

    ReplyDelete
  2. //වෛද්‍ය සිසුවෙකුට වූවද ගරුත්වයෙන් සලකමි// මෙවැනි වාක්‍යයක ව්‍යංගාර්ථයෙන් ඇගවෙන්නේ වෛද්‍යවරයෙක් සිසුවෙකුට ගරුත්වයෙන් සැලකීම යම් විශේෂ දෙයක් බවයි. නමුත් මිතුර එය නොවෙයි විය යුතු. ඕනෑම මනුශ්‍යයෙකුට ගරුත්වයෙන් සැලකීම සාමාන්‍ය දෙය බවටත්, එසේ නොවීම අසාමාන්‍ය දෙයක් බවටත් පත් විය යුතුයි. මේ ලියන මම නම් ඕනෑම කෙනෙකුට ගරුත්වයෙන් සලකමි.

    ReplyDelete
    Replies
    1. හේතුව නම් බොහෝ වෛද්‍යවරු, විශේෂයෙන්ම ජේෂ්ඨ වෛද්‍යවරු වෛද්‍ය ශිෂ්‍යයන්ට/ කණිෂ්ඨ ශිෂ්‍යයන්ට කිසි ගරුත්වයකින් සලකන්නේ නැති බැවින් ය.

      Delete
  3. කියා ඇති පරිදිම මෙය සමාජයේ සෑමතැනකම දැකියහැකි තත්වයකි. මෙය තමන් ලාංකීය උපාධිදරයෙක්ද නැතිද, තමා උගතෙක්ද නැතිද, තමාගේ වෘත්තීය, සමාජ ස්ථරය, වයස ආදී කිසිම භාහිර කාරණයක් මත පදනම් නොවේ. මෙයට හේතුව අප රටේ බහුතරයක් සුහදශීලී නොවීමේ දුභලතාවයෙන් පෙලීමයි. පදික වෙළෙන්දගේ සිට කුළීකරුවාගේ සිට රටේ ඉහළම නිලයන් දක්වා බහුතරයක් ජනයා කුහකයින් සේ දැනෙන්නේ එනිසායි. ඇතුලින් ඔවුන් බොහෝදෙනා හොඳ වියහැක.

    ReplyDelete
  4. ඔහුද අවසානේ මුදලට බලයට රාඡපක්ෂ වභෙලක් වී කීර්ති නාමය විනාස විය.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook