Sunday, October 28, 2018

නූතනවාදය නොදුටු පැරණි සාහිත්‍යයෙහි අදාළත්වය

නූතනවාදය(Modernism) යන සාහිත්‍ය ප්‍රවණතාවේ ආවේණික ලක්ෂණ අතර, සාම්ප්‍රදායිකත්වයෙන් බැහැරවීම, ඒක පුද්ගල මනෝභාවයක වූ සංකීර්ණතාව හුවා දැක්වීම, ආත්ම පරාජය හා ලිංගික සහජාසය ආදිය කැපී පෙනේ. ජෝර්ජ් ලුකාශ් ගේ The meaning of contemporary Realism” (1972) නම් කෘතිය උපුටා දක්වමින් මහාචාර්ය ඒ.වී.සුරවීර නූතනවාදයේ ලක්ෂණ වැඩිදුරටත් පැහැදිලි කරයි. “නූතනවාදී ලේඛකයන් විසින් හඳුන්වා දෙනු ලබන මිනිසා ස්වභාවයෙන්ම හුදෙකලා වූ සමාජ ආශ්‍රය ප්‍රිය නොකරන්නා වූ අන්‍යයන් හා සමාජ සබඳතා පැවැත්වීමට අපොහොසත් වූ පුද්ගලයෙකි.”

අපේ නවීන සාහිත්‍ය සේවීන් හා උගතුන් සිතනුයේ, පැරණි සාහිත්‍යය හුදු ආගමික හා සදාචාර උපදේශ මාර්ගයක් පමණකි’යි කියා ය. එහෙත් පැරණි සාහිත්‍යයේ වූ ඇතැම් සුගැඹුරු මනුෂ්‍ය චරිතාදර්ශ තවත් යුග ගණනාවකට වලංගු වෙයි. ඉහත මා ගෙනහැර දැක්වූ මහාචාර්ය ඒ.වී.සුරවීර කළ විවරණයට ඉතා සමීප ව ගමන් කරන ජාතක කතාවකි, අසනඟ ජාතකය.

එහි එන අසනඟ කුමරා ද හුදෙකලාව ප්‍රියකරන, සමාජ සබඳතා අප්‍රිය කරන අයෙකි. එසේම නූතන වාදයේ දී නිතර අවධාරණය වන ලිංගික ග්‍රස්තියකින් (දැඩි ග්‍රහණයකින්) (Sexual obsession) පෙළෙන්නෙකි. අසනඟ ජාතකයේ මනෝ විද්‍යාත්මක පැතිකඩ විවරණය කරන වෛද්‍ය රුවන් ජයතුංග දක්වන අන්දමට අසනඟ චරිතයේ Gynecophobia නම් මනෝමය භීතිය දක්නට ඇත.

නූතනවාදයේ ආරම්භකයකු වූ ප්‍රංශ සාහිත්‍යධර ෆලෝබෙයා වරක් “A book of nothingness”හෙවත් ශුන්‍යතාව පිළිබඳ ග්‍රන්ථයක් ලිවීම ගැන සඳහන් කළේ ය. මේ කියන ශුන්‍යත්වය පැරණි සාහිත්‍යයේත් නූතන සාහිත්‍යයේත් පරමාර්ථයන්හි වෙනස වේ. නූතන සාහිත්‍යකරුවා තම පාඨක ජනයාගේ සදාචාර ජීවිතය ගැන වග නොකියයි. එහෙත් පැරණි සාහිත්‍ය කරුවා තුළ එකී වගකීම තිබිණි.

මේ පිළිබඳ ව අමුතු කතාව නම් කෘතියේ අදහස් දක්වන ආචාර්ය අමරකීර්ති ලියනගේ කියනුයේ යුරෝපයෙහි වූ මහා බුද්ධි ප්‍රබෝධයෙන් පසු පැරණි සාහිත්‍යයෙහි වූ පුරාණෝක්තිමය චින්තන ක්‍රමයට නූතන තර්ක වාදයෙන් බරපතල ප්‍රහාර එල්ල වූ බවයි. නූතන ධනවාදයේත් විද්‍යාවේත් ක්‍රමය හෝ න්‍යාය වන්නේ දත්ත රැස්කිරීම හා විශ්ලේෂණයයි. මේ ක්‍රමයට සමාන්තර ප්‍රතිනිර්මාණය විධිය වන්නේ යථාර්ථවාදය මිස පුරාණෝක්තිමය චින්තාව නොවේ.

“Dialect of Enlightenment”කෘතිය ලියූ “තියඩෝර්අඩෝනෝ සහ මැක්ස් හෝර්කෙමියර් නවීන සංස්කෘතියෙහි ඇති මේ නරුම ලක්ෂණය හඳුන්වන්නේ “සාපරාධී සංස්කෘතික අශුභවාදය “(Cultural Pessimism Through crime)ලෙසිනි. නූතනවාදය තුළ අවංක පුද්ගල ආත්ම ප්‍රකාශනයක් ගැබ් ව ඇතැයි ද එනිසා එය සාම්ප්‍රදායිකත්වයේ කුහක වැටකොටු බිඳ දැමූවකැයි ද නූතනවාදීන් කියතත්, මේ බිඳ වැටෙන වැට, අප ආරක්ෂා කළ යුතු වටිනා සාරධර්මයක් වීමට ඉඩ තිබේ.

වරක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පැවැති ආචාර්ය මණ්ඩල සංවර්ධන (Staff development Programme) වැඩසටහනකදී, සතුන් වුවද කරුණාව ආදරය හා මෘදු බව ප්‍රියකරතැයි සඳහන් කළ නන්දිවිසාල ජාතකයේ කියැවෙන වෘෂභයා රළු වචනයට කීකරු නොවී මෘදු වචනයට කීකරු වූ බව කීවෙමි. ඊට එරෙහි වූ ඉංජිනේරු මහතෙක් ගවයා යනු ප්‍රෝටීන්, කැල්සියම්, පොස්පරස් ඇතුළු රසායන ද්‍රව්‍ය රැසකින් සෑදුණු ජීවියකු බවත්, මනුෂ්‍ය මානසික තත්ත්ව සතුන්ට ආරෝපණය කිරීම විහිළුවක් බවත් කීවේ ය.

ඒ අවස්ථාව කලකට පසු මට සිහිවන්නේ, මේ මෑතක සමාජ විමසුම සඟරාව දොරට වඩින උත්සවයේදී අදහස් පළකළ ඉංජිනේරු මහාචාර්යවරයකු වන උපකුලපති තැන්පත් සරත් අබේකෝන් මහතාගේ සාහිත්‍ය ඥානය සමඟ සංසන්දනාත්මක ලෙසයි. “පිපි තඹරන නඳ බඹරන පියරැව් දෙන ලිය කිඳුරන” ආදී ගී පාදය ඔස්සේ පාරිසරික සෞන්දර්යය පිළිබඳ භාව කථනයක යෙදුණු ඔහු “අත් පසුරින් තුරු පෙම්බරයන්ගේ මන බන්ධනය කරන්නා වූ ලියවැල් තුළ වූ ජීව ප්‍රබෝධය අවධාරණය කළේය. භෞතික ඉංජිනේරුවන්ට මේ අධ්‍යාත්මික ඉංජිනේරුවරයා ආදර්ශයකි.

එකලා චරිතයක ඔද්දල් ව ගිය, ජීව භක්තියක් නොවූ කාම චේෂ්ටා ආකෘතික උත්කර්ෂණ තුළ ප්‍රබන්ධ බවට පත්වීම කාම ප්‍රබන්ධ කලාව (Fiction of Sexualism) නමින් ගැනේ. ඉපැරැණි ලෝක ජනශ්‍රැතියේ ද කාමයට හා ලිංගිකත්වයට සම්බන්ධ සංසිද්ධීන් ඇතුළත් වුවද අවසානයේ ඒවා ඔස්සේ, මානව ජීවිතයෙහි වූ නැඟීම් වැටීම් හා ඛේදයන් පිළිබඳ ව කියවන්නා තුළ අනුවේදනීය හැඟීම්, ඇතිකරන ලදී.

මත්ස්‍යපුරාණයේ දැක්වෙන අන්දමට, මනූ නම් වූ ලෝකයේ පළමු පුරුෂයාට දෙවියන් විසින් දියණියක් මවා දෙන ලදී. මනූගේ දැරිය නොහැකි හුදෙකලාව, නිසා ඔහු දියණිය හා කාම සේවනය කළේ ය. මරාඨි ජනකතාවක දැක්වෙන්නේ, අනියම් ක්‍රමයකින් ගැබ්ගත් තරුණියක, කලකට පසු සිය පුත්‍රයා සමඟ විවාහ වූ පුවතකි. නූතනවාදී පරාසයට එක් කළ හැකි ගුණදාස අමරසේකරගේ යළි උපන්නෙමි කෘතියේ එන රණතුංග සිය මව ස්නානය කරන විට පෙනෙන ඇගේ ශරීරය දෙස රාගයෙන් බලයි.

මේ කෘතියට බලපෑවේ යයි සිතිය හැකි ආන්ද්‍රෙජිද්ගේ”The immoralist”  කෘතියේ එන මයිකල්ගේ හැසිරීම මීට වඩා සංයමයෙන් නිරූපණය වී යැයි ද අමරසේකර තරම් පහත් තත්ත්වයට ජිද් වැටී නැතැයි ද මහාචාර්ය යූ.පී.මැද්දේගම සඳහන් කරයි. පෙර සඳහන් කළ මත්ස්‍ය පුරාණයේ සිදුවීම හෝ මරාඨි ජනකතාවේ සිදුවීම මඟින් පාඨකයාට ඉඟි කරනුයේ අසම්මත ව්‍යභිචාරයට  (incest) ඇතුළු වූ විට සොබාදහමේ කටුක හා දුක්ඛදායක ප්‍රතිඵල හඹා එන බව ය. ඒත් ගුණදාස අමරසේකරගේ ප්‍රබන්ධය කියවන විට පාඨකයාට උමතු ආස්වාදයක් දැනේ.

නූතනවාදී ප්‍රබන්ධයේ පරමාර්ථය ඒ අනුව ඉපැරැණි පුරා කතාකරුවා තරම් සදාචාරසම්පන්න නොවේ. ඛුද්දක නිකායේ පේත වත්ථු පාලියේ දැක්වෙන විවිධ ප්‍රේතයන් පිළිබඳ වෘත්තාන්ත කියවද්දී, ජීවිතයත් සසරත් අරබයා කෙනෙකු තුළ මහා සංවේගයක් උපදී.

පුත්තඛාදක ප්‍රේතියගේ වස්තුව, නූතන සමාජයේ අඳුරු පාතාල ජීවිතයේ දැනටත් සිදුවන සිද්ධියක් අපට සිහිකැඳවයි. ඈත අතීතයේ එක් තරුණියක්, කාමයට ගිජුවී විවිධ පෙම්වතුන් හා රති සුව වින්දා ය. අවසන ඇය ගැබ්බර වූවා ය. ඇගේ ගැබ විනාශ කරන ලෙස ඈට උපදෙස් දී එයට අවශ්‍ය විෂ බේත් ඇයට ලබා දෙන්නේ ඇගේ මිතුරියකි. ගැබ විනාශ වූ විට ඊට එරෙහිවූ පුද්ගලයෙක් “එසේ ගැබ විනාශ කළේ ඇයි දැයි මිතුරියගෙන් විමසයි. තමා එසේ නොකළ බවත්, එසේ කළේ නම් අපායට යා යුතු බවත් කියා ඇය දිවුරයි.

කී පරිදිම ඇය අපායේ ඉපිද උදේ දරුවන් පස්දෙනකු වදා අධික කුසගින්න නිසා ඒ පස්දෙනා ම අනුභව කරයි. සවස ද එය ම කරයි. ඇතිවූ ගැබක් විනාශ කිරීම, දරුවන්ට ක්‍රෑරකම් කිරීම ආදී ක්‍රියාවනට පෙළඹෙන කාන්තාවන් තුළ Munchausen syndrome by proxy  නම් සින්ඩ්‍රොමය   ඇතැයි වෛද්‍ය රුවන් ජයතුංග සිය “ජාතක කතා මනෝ විද්‍යාත්මක ඇසින්” (2006) කෘතියේ දක්වයි.

ඉවාන් බුනිත්ගේ ආරාධනා නම් කෙටිකතාවේ, නැවකින් ගමනක් යමින් සිටි පුරුෂයෙක් හා කාන්තාවක් දවසක් වැනි කෙටි කලක් තුළ හඳුනාගෙන උනුන්ගේ ජීවිතවල වූ නිසරු බව පහකර ගැනීමට ලිංගික සතුටක් විඳිති. ලිංගික එක්වීමෙන් පැය දෙකකට පසු වෙන්ව යති. මෙවැනි ම ලිංගික එක්වීමක් විස්තර කරන පන්සිය පණස් ජාතකයේ නලිනි ජාතකය, ඒ එක්වීම නිසා තරුණ තව්සාගේ ශීලයට වූ අන්තරාය පිළිබඳ පාඨක සිතට සංවේගයක් ඇතුළු කරයි.

ලංකාද්වීපයේ ඈත කාලයක සුරට්ඨ නම් ජනපදයක් විය. පිණ්ඩපාතික භික්ෂුවක් සිඟාගෙන ආ දානයක්, මහ රෑ ලෙනට ඇතුළු වූ කුසගිනිපත් සොරෙකු විසින් අනුභව කරන ලදී. භික්ෂුව ඒ දැක, සොරා අමතා මෙසේ කීවේය. “අතට හසුවන හැමදේම හොරකම් නොකර, කුමක් හෝ එක් පිළිවෙතක් රකින්න” සොරා එය පිළිගෙන කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීමේ පිළිවෙත රකින බවට ප්‍රතිඥා දුන්නේ ය.

වරක් ඔහු නිවසකට ඇතුළු ව සොරකම් කිරීමට සැරසෙද්දී, රාගාන්විත ස්ත්‍රියකගේ ග්‍රහණයට හසුවිය. ඇය තම අඟ පසඟ සොරාට පෙන්වා තම කාම පිපාසය සන්සිඳවුවහොත් ගෙය ම වුව කොල්ල කෑමට ඉඩ දෙමි”යි කීවා ය. සොරා ඒ අසා “මම කාමයේ නොහැසිරෙමි. ඒත් සොරකම් කරමි”යි කීයේ ය. මේ පුරාණ කතාවේ අවංකත්වයක් නැතැයි නූතනවාදියකුට තර්ක කළ නොහැකි ය. සොරා තම සොරකම් කිරීමේ උවමනාව කියන්නේ අවංකව ය. ඒ සමඟම ඔහු රකින ප්‍රතිඥාව ඔස්සේ පාඨකයාට ස්ථිර සාර ජීවිත පරමාදර්ශයක් තිළිණ කෙරේ.

ඒත් තුර්ගිනියෙව්ගේ රුඪිත්, ඩී.එච්.ලෝරන්ස් ගේ “Sons and lovers”, ඇල්බට් කැමුගේ පිටස්තරයා ආදී කෘතිවල එන ප්‍රධාන චරිත, අස්ථාවර, අවිනිශ්චිත හා කාංසාබර චරිත වෙති. ඔවුන් අතින් සිදුවන දෙයට වඩා නොසිදුවන දෙය කුමක්දැයි කිසිවකුට කිව නොහැකි ය.

ප්‍රාන්ස් කෆ්කා ගේ “The Judjement, The metamophosis, The penil Coloney ආදී කෙටිකතාවල එන චරිත සාපරාධී හෝ, ග්‍රස්තිමය තත්ත්වයන් අනුව සිහිනෙන් මෙන් ක්‍රියාකරන්නෝ වෙති’යි ඇන්ජල් ප්ලෝරස් හා හෝමර් ස්වැන්ඩර් කියති. මහාචාර්ය පියරේ ජෙනට් දක්වා ඇති පරිදි වගකීම් රහිත චර්යා තත්ත්ව නිසා ග්‍රස්තිමය චර්යා  (Obsessive compulsive behaviour) වැඩෙයි. නූතන සාහිත්‍යයේ ඒවා හුවා දක්වනවා පමණි. ඒත් පැරැණි සාහිත්‍යයේ ඒවායේ ආදීනව දක්වයි.

ආචාර්‍ය සාලිය කුලරත්න


1 comment:

  1. What a beautiful article. I appreciate the global knowledge and wisdom of the author.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook