Friday, March 2, 2018

ලියනගේ සමග

 

මාදම්පේ නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා කාර්‍යාලයේ රියැදුරෙකු ලෙස සේවය කල ලියනගේ මට අමතක නොවන චරිතයකි. ඔහු අයත් වන්නේ සෞඛ්‍ය සේවා රියැදුරන් ගේ තරුණ පරම්පරාවටය​. ඔහුට කලින් සිටි පරම්පරාවේ සෞඛ්‍ය සේවා රියැදුරන් ගෙන් සමහරක් වගකීම් විරහිත ලෙස මත්පැන් පානය කරමින් තමා පදවන වාහනයට කිසිදු ආදරයක් නොදක්වමින් තමන් ගේත් අන්‍යන් ගේත් ජීවිත පරදුවට තබමින් කිසි හික්මීමක් නොමැතිව වාහන පදවන්නන් වූහ​. මම මේ වැඩිහිටි පරම්පරාවේ රියැදුරන් සමගද ගනුදෙනු කොට තිබේ. එම නිසා ශික්‍ෂණයක් සහිතව නව පරම්පරාවේ  සෞඛ්‍ය සේවා රියැදුරු මහතෙක් ලෙස මම ලියනගේව දුටුවෙමි. 

ලියනගේ සමග වැඩ කිරීම විනෝදජනකය​. ඒ කාලයේ මම ලියනගේ සමග පුත්තලම් දිස්ත්‍රික්කයේ රෝහල් සහ සායන ගනනාවකටම ගියෙමි. වාහනයේ යන විට මම ලියනගේ සමග කතා කරමි. එම ප්‍රදේශ වල ජනයන් ගේ ජීවන තතු , ඔවුන් විඳින සමාජ ආර්ථික ගැටළු , ඔවුන් ගේ  දේශපාලන මති මතාන්තර ආදිය පිලිබඳ හසල දැණුමක් ඔහුට තිබේ. සෑම විටම ජීවිතය ගැන යමක් මම ඔහුගෙන් ඉගන ගන්නෙමි. 

පුත්තලම් දිස්තික්කයේ තිබෙන පාරවල් , ජනාවස වූ ස්ථාන , ගම් , නගර මේ සියල්ලම ඔහු දන්නේය​. අප කල්පිටිය​, කරුවලගස් වැව , තලවිල , මුන්දල්, ආනමඩුව , නවගත්තේගම , නොරොච්චෝලේ, ඉරණවිල , මාරවිල ආදී ප්‍රදේශ වලට ගොස් මානසික සෞඛ්‍ය වැඩසටහන් කලෙමු.  ලියනගේ රියැදුරු කාර්‍යට අමතරව අවශ්‍ය ඕනෑම විටදී ඕනෑම සහයක් අප වෙත ලබා දීමට පසුබට නොවීය​. එම නිසා බොහෝ සෞඛ්‍ය වැඩසටහන් වලදී මම  රියැදුරු ලෙස ලියනගේව ලබා දෙන ලෙස අපගේ පරිපාලන නිලධාරියාගෙන් ඉල්ලා සිටියෙමි. 

කොලඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැස්වීම් තිබෙන විට ලියනගේ  ඉතා උදෑසනින්ම එවකට මා නැවතී සිටි නිල නිවාසයට එයි. ඉන්පසු අප කෙලින්ම එන්නේ කොලඹය​. කොලඹ එන විට උදෑසන අට පමණ වෙයි.  රැස්වීම ආරම්භ වන්නේ උදෑසන නවයට නිසා මම ලියනගේවත් රැගෙන මරදානේ අපගේ අමාත්‍යාංශය අසල තිබෙන තෝසේ කඩයට යන්නෙමි. අපගේ උදෑසන ආහාරය තොසේ ,  අල බෝඞ , සහ වඩේ‍ය​. ඉන්පසු සයිවර් කඩයේ සුමිහිරි කිරි තේ එක පානය කරන අප නවය වන විට අමාත්‍යාංශයට යන්නෙමු. මම රැස්වීමට යන විට ලියනගේ රථ ගාලේ වාහනය නවතා තබා මා විසින් නියම කරන ලද අනෙකුත් වැඩ එනම් සෞඛ්‍ය අධ්‍යාපන අංශයෙන් පොත් පත් සහ පත්‍රිකාද , අපගේ මානසික සෞඛ්‍ය වැඩසටහන් වලට අවශ්‍ය කෙරෙන බඩු භාණ්ඩ ආදාල ඒකක වලින් ලබා ගැනීම ආදී වැඩ වල නිරත වෙයි. රැස්වීම අවසන් වීමට විනාඩි 10 ප්‍රථම මම ලියනගේට එස් එම් එස් එකක් යවමි. මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ද්වාරය අසලට එන විට ලියනගේ අපගේ ඩබල් කැබ් එක සමග එතනය​. 
ලියනගේ ගේ පී ආර් එක හොඳ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මිස්ලා සහ ලිපිකරුවන් කිසිදු ප්‍රමාදයකින් තොරව අපගේ වැඩසටහන් වලට අවශ්‍ය කෙරෙන බඩු භාණ්ඩ ලබාදී තිබේ. මේ භාණ්ඩ සමග අප යලි මාදම්පේ නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා කාර්‍යාලයට එන්නෙමු. 

දැයට කිරුළ වැඩසටහනේදී ලියනගේ ඇතුළු අපගේ කාර්‍යාලයේ කනිෂ්ඨ සේවකයෝ ඉමහත් සහයෝගයක් දුන්හ​. අප ප්‍රදර්ශන භාණ්ඩ  වාහන වල පටවාගෙන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ගෙන ගොස් ඒවා විධිමත්ව සකස් කොට ප්‍රදර්ශනය කලෙමු. මේ කාලය වෙහෙසකර වූවද අප බොහෝ විනෝදයෙන් විහිළු තහළු කරමින් වැඩ කලෙමු. අපගේ නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වූ වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතා තුල ඉතා හොඳ නායකත්ව ගුණාංග තිබූ නිසා කාර්‍යමණ්ඩලයේ සියළු දෙනා එකාවන්ව සහයෝගයෙන් වැඩ කළහ​. 

සමහරක් විට මට වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට මානසික සෞඛ්‍ය පිළිබඳ දේශන කිරීමට අනෙකුත් දිස්ත්‍රික් වලටද යාමට සිදු විය​. මෙලෙස වරක් බණ්ඩාරවෙල ගිය අවස්ථාවක් මට මතක් වෙයි. දින දෙකක් පුරා තිබූ මෙම මානසික සෞඛ්‍ය වැඩසටහනට මම ගියේ ලියනගේ සමගිනි. අප නැවතී සිටියේ බණ්ඩාරවෙල හෝටලයකය​. එම හෝටලයට ගිය විට මා මුලින්ම හෝටලයේ කළමනාකරුගෙන් ඇසුවේ මගේ රියැදුරාගේ නවාතැන් සහ කෑම පිළිබඳවය​. ඔවුන් ඒවා මනා සේ සංවිධානය කොට තිබුනේය​. මෙම ගමනේදී වෙහෙසක් නොදැනුනේ ලියනගේ සමග සංවාදයේ යෙදෙමින් යාම නිසාය​. ඔහු ඉතා සුපරික්‍ෂාකාරී ලෙස රිය පදවන්නෙකි. එසේම උද්ගතවන ඕනෑම අනපේක්‍ෂිත  ගැටළුවකදී සහාය දෙන්නෙකි. 

සෞඛ්‍ය අමාත්‍යාංශය යනු හුදු වෛද්‍යවරුන් ගේ නියෝජනයක් පමණක් නොවේ. සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමේදී ලියනගේලා වැනි අප්‍රකට එහෙත් ඉතා ප්‍රශස්ථ සේවාවන් කරන පුද්ගලයෝ සිටිති. ඔවුන් කිසිම අතිකාල දීමනාවක්, වෙනත් අතිරේක වාසියක් නොබලා ඉතා කැප වීමෙන් තමන් ගේ පූර්ණ සහාය අදාල නිලධාරීන්ට ලබා දෙති. මේ කොට්ඨාශය අපගේ සෞඛ්‍ය සේවාවන්හිදී අගය කිරීමට ලක් නොවන තරම් ය​. එහෙත් ඒ පිලිබඳව ඔවුනට කම්පාවක් නැත​. ඔවුන් තමන් ගේ උපරිම සේවය සෞඛ්‍ය අංශ සඳහා ලබා දෙති. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

8 comments:

  1. මිනිස්සු සමග හිතවත්ව,බුද්ධිමත්ව සිටිනවිට ලැබෙන දේ අතිමහත්.ඒ අයගේ සිත් තුල අපව සදහට තැන්පත් වෙනවා. සරළ,නිහතමානි මහත්වරුනගේ අඩුව ලංකාවට දැනෙනවා.ලියනගේ මහත්මයා සමාජයට,රටට සම්පතක්.රුවන් ඔබ,ලියනගේ වැනි මානව හිතවාදී අය තමයි මේ මහපොළොවට ඕනෑ.යහපත් සමාජයක අත්තිවාරම එයයි.

    ReplyDelete
  2. සම හරක් රියදුරන් ඉන්නවා එයාලට වඩා ලොක්කෙක් නෑ කියල වගේ ඉන්න 😁😁😁

    ReplyDelete
  3. එහෙම අය හරි අඩුයි

    ReplyDelete
  4. Salute for Liyanage and others like that

    ReplyDelete
  5. සැඟවුණු මිණිකැට....

    ReplyDelete
  6. අනිත් මිනිසුන් ගැන දැනෙන සෞඛ්‍ය අය අඩුම අඩුයි නේ

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook