Friday, February 9, 2018

පන්සලේ අලියා

 

පන්සලේ හාමුදුරුවන් ගේ අලියා  
පැටියා කාලේ දායකයෙක්  
අමතක කරලා ගිය නිසා 
 කන්න දීලා හදාගත්තා

පන්සල් වත්තේ අලියා බැඳලා
කකුල් හතර කිටි කිටියේ
හැරෙන්නවත් බෑ
හොඞය වනනවා 

යකඩ දම්වැලට
කකුල තුවාල වෙලා
දම් පාටින් බේතක් ගාලා 
තුවාල වල මැස්සෝ පිරිලා 

ලොකු හාමුදුරුවොත්
ලොකු හාමු කෙනෙක් වෙලා
අලි ඇත්තු තමන් සන්තක කරගෙන 
මහ රාජා කෙනෙක් වගේ 

ගමන් බිමන් යන්නෙත් පත වාහනයක 
නිතරම සෙල් එක කනේ
ඉන්නේ දේශපාලකයෝ පිරිවරාගෙන 
පිරිවර සමග සසරින් එතර වෙන්න 

අපට නම් කිව්වේ උන්නාන්සේ 
සියල්ල අත් අරින්න කියලයි  
කුසල් සිතින් අපි අත් ඇරියම 
උන්නාන්සේ ඒවා තදින් බදාගත්තා   

චිරාගත සංස්කෘතිය රකින්න ඕන නිසා 
අලි පැටියෙක් කැලයෙන් අල්ලන් එන්න 
කියලා උන්නාන්සේ අලි රොෂාන්ට කිව්වේ
ඇසෙන නෑසෙන ගානට 

මිසදුටුවෝ - බෞද්ධ විරෝධීන් 
එන්.ජී.ඕ කාරයෝ
බොරු සත්ව කරුණාව ඇත්තෝ
හමුදුරුවන්ව විවේචනය කරනවා 

කැලේ ඉන්න අලි අල්ලගෙන 
උන්ව දම්වැල් වලින් බැඳලා
කුම්බස්තලයට හෙණ්ඩුවෙන් ඇනලා
දසවද දෙනවා කියනවා 

උන් අහනවා මේවා බෞද්ධ වැඩද​
බුදුන් වහන්සේ දේශනා කලේ මේවද 
අරකද මේකද කියලා 
හාමුදුරුවන් ගෙන් 

හාමුදුරුවන් නම් කියන්නේ 
අලි කියන්නේ බෝසත්තු
උන් අපේ සංස්කෘතිය එක්ක බැඳිලා හිටියා
බෝසත් ඇතා පිට උඩ තමයි ධාතු කරඞුව වඩම්මන්නේ

මිසදුටුවෝ - බෞද්ධ විරෝධීන් 
එන්.ජී.ඕ කාරයෝ -බොරු සත්ව කරුණාව ඇත්තෝ
උන් කියන විදියට ධාතු කරඞුව වඩම්මන්නේ
මහ ඇමතිගේ ඩිෆෙන්ඩරයේද ?

මේවා මහ මෝඩ කතා
පන්සල් වල අලි එදත් හිටියා
අදත් ඉන්නවා
හෙටත් ඉන්නවා 

උන්ව හැමදාම දම්වැල් වලින් බැඳලා
හෙණ්ඩුවෙන් ඇනලා
මෙල්ල කරලා තමයි
ලොකු හාමුදුරුවන් ලඟ වන්දවන්නේ  

පන්සලේ  අලියෙක් ඉන්න එක 
කොච්චර නම්බුද 
මැති ඇමතිවරු අටපිරිකර අරගෙන එනකොට
පේන්න ගැට ගහල ඉන්නේ ආවාසේ ඉස්සරහම 

අලියා කියන්නේ සංකේතයක්
අපේ අනන්‍යතාවයක් 
සංස්කෘතික නිමිත්තක්
ඒ නිසා ඌ සතෙක් නෙවෙයි 
වෙන මොකක්ද එකක් 

15 comments:

  1. දායකයො නං කියන්නෙ
    මට නං කවදාවත්
    දිවියලෝකෙ යන්න බැරිලු
    මං ලොකු හාංදුරුවන්ව
    අපවත් කලාලු

    මං එදා හිටියෙ
    කකුලෙ තුවාල
    වේදනාවෙන්

    ඔලුව දෙපැත්තට වනලා
    කෑම එපා කිව්වා
    කෝ ඇහැව්වයෑ
    බලෙන්ම කටේ
    එබුවා

    බැරිම තැන හොඬවැලෙන්
    දෙකක් පතබෑව
    මට නං මතක
    එච්චරයි

    - මියන් කුමාර -

    ReplyDelete
  2. බෞද්ධ කාට කාටත් විමසා බලා තේරුම් ගන්නේ නම් මෙන්න ලියා ඇත. අලිත් අපි වගේම තමන්ගේ දෙමවුපියන් දරුවන් සමග නිදහසේ ජීවත් වෙන්න කැමති ඇති. ඒ නිසා ඔවුන්ට කැලේ ජීවත් වෙන්න ඉඩ හරින්න.
    සත්ව හිංසාව නැවැත්විය යුතු බව ගිහියන්ට කියා දිය යුතු පන්සල් වලට මේ බව නොවැටහෙන්නේ නම්, ගිහියන් විසින් වත් එය පෙන්වා දිය යුතුය.

    ReplyDelete
    Replies
    1. ගිහියන් විසින් සත්ව හිංසාව නැවැත්විය යුතු බව පෙන්වා දිය යුතුය

      Delete
  3. මගේ ඇඟේ තුවාලයක් උනාම,එය පැසෙව්වාම එන වේදනාව කොතරම්ද?කොහොමහරි ඉක්මනට සනීප කරගන්න බලන්නේ.මේ සතාටත් එලෙසම වේදනාව ඇති.දම්වැල් දා බැඳලා,තමන්ට උවමනා විදියට අත පය එහාට මෙහාට කරන්නත් බෑ.දුක,වේදනාව වෙනෙකුකට කියන්නත් බෑ.නුහුරු තැනක ජීවිත කාලයම දම්වැල් වලින් බැඳලා ගෙවන ජීවිතය....මට මතකයි ටික කාලයකට පෙර පන්සලක උත්සවයකදි අලියෙක් ගහල හාමුදුරු නමක් අපවත් උනා.වන ජීවී එකේ ඉහල දොස්තර මහතෙක් කීවා මේ මිනිස් පරිසරය ඌට දරා ගන්න බෑ කියලා.ඒ නිසා කේන්තියි කියලා.කිසිම ආගමක් නැතුවත් මනුස්සයෙකුට මේ දේවල් තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෑ.අනිත් දේ බුදු හාමුදුරුවෝ කියයිද තමන් වහන්සේ නමින් මෙවැනි වැඩ කරන්න?මාන්නයට,තමන්ගේ වාසියට හැමදේම හරවගෙන.බුදුනට ශබ්ද පූජා තියනව මැරුණු හෝ මරපු සතෙකුගේ ශරීර කොටසක් වේලලා අරන් බෙර හදලා.බුද්ධ ධර්මය,එහි අවසන් දෙය නිර්වාණය.සොබා දහමේ සරළ බවත් ගැඹුරත් අපූරුවට සංකලනයවී ඇති දර්ශනය.නමුත් අද බුදුන් වැඩ සිටියානම් සත්ව හිංසනය හා අන් වැරදි දේ වැරදියි කියාවි.එතකොට උන්වහන්සේ වගේම සිවුරු දා ගත් සමහරු කියාවි මේ බුදුන් නොවේ වෙනකෙනෙක් කියා.බලය තියෙන දේශපාලුවෝ එය අනුමත කරාවි,අපේ රට කන්න ආපු ඉන්දියන්කාරයෙක් කියාවි.නමුත් මිනිසුනි ස්වභාව ධර්මය රැවටිය නොහැක.ඔබ එහි කුඩා සාමාජිකයෙක් පමණි.

    ReplyDelete
    Replies
    1. මිනිසුනි ස්වභාව ධර්මය රැවටිය නොහැක.ඔබ එහි කුඩා සාමාජිකයෙක් පමණි//////++++++++++

      Delete

  4. "අපට නම් කිව්වේ උන්නාන්සේ
    සියල්ල අත් අරින්න කියලයි
    කුසල් සිතින් අපි අත් ඇරියම
    උන්නාන්සේ ඒවා තදින් බදාගත්තා"100% agree

    ReplyDelete
  5. ඔය අපවත්වුණා කියන මිස්ටර් හාමුදුරුවන් තුමා අපවත් කොරල තියෙන්නේ පන්සලේ ම අලිය අම්බානක නෙලල කියල ආරංචියක් යනව. සමහරක් විට ගෙදර ඇතිකරන බල්ල උනත් මළ පැන්නහම ගෙදර ස්වාමිය කියල බලන්නෙ නැහැ හපල කනව. ඔය කියන බෝසත් සත්ව කරුණා ගුණය සත්තු කියන (අලි මුගටි මොකෙක් හෝ වේවා) අය ළඟ තියෙනවනම් මම නම් කියන්නෙ පන්සල් කෝවිල් පල්ලි ගෙවල් දොරවල් ඇතුලෙ නෙමෙයි ඕන මළදානයක උනත් කමක් නැහැ නිදැල්ලෙ ඉන්න දෙනවනම්. නැතුව බෝසත් අලිය කියල දම්වැල් වලින් ගැටගහල හෙන්ඩුව අතින් ගත්ත නිල නොවන දාමරිකයෙක් එක්ක ගිහින් ලොකු හාමුදුරුවන්ට වන්දනව කියන්නෙ පට්ටම ජෝක් එකක්. හෙන්ඩුව අරගෙන ගිහින් දළදා කරඬුව ගන්න එකත් මේ වගේම පට්ට සොමි වැඩක්.

    ReplyDelete
  6. පන්සලේ තරම් පව්කාරයෝ වෙන කොහෙවත් ඉන්නවද කියන්න තරමටම අපේ පන්සල පිරිහිලා ඉවරයි.අතලොස්සක් ස්වාමීන් වහන්සේලා ශාසනය රැකගන්න උත්සාහ කලත් මේ පන්සල් වල ඉන්න සමහර සංඝ ව්‍යාපාරිකයන්ගේ ක්‍රියාවන් වල ප්‍රතිඵල තමයි මේ

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook