Monday, May 23, 2016

කහ​ පටි





ප්ලේමවුත්  පාරේ බානිගේ කල්ලියේ කොල්ලෙකුට වෙඩි තියලා කියලා  ලැරී දුවගෙන ඇවිල්ලා කිව්වා. දුවපු හතියට ලැරීට හුස්ම ගන්නත් බැහැ. ලැරී පිටි මුට්්ට් වගේ බරයි. ලැරී ඇවිදින වාට්ටුවක්. උප්පතියෙන්ම ගෙනාපු දියවැඩියාව​ඇදුම අසාත්මිකතා ඔක්කොම තියනවා. ලැරී ඉන්හේලර් එක හොයන්න සාක්කුවට අත දානවා. ඔළුව නවාගෙන ආපහු හති ඇරලා කතාවේ ඉතුරු ටික කිව්වා. වෙඩි තියලා තියෙන්නේ මෙල්වින්ඩේල් ඉස්කෝලේ කොල්ලෙක්. 

මෙල්වින්ඩේල් එකට යන සත්තු ගැන කතා කරලා වැඩක් නැහැ. උන් ප්‍රාථමිකේ ඉඳන් ක්‍රැක් ගහගෙන ඉන්නේ. මෙල්වින්ඩේල් එකේ ඉගනගන්න එවුන් නවතින්නේ හිර ගෙදර නැත්නම් පුනරුථාපනේ. ඒකට යන කෙල්ලොත් එහෙමයි. උන්ටම හරියන ජාතියක්. අඳින විදිහෙන් සහ පාරේ ඇවිදින විදියෙන්  මෙල්වින්ඩේල් එකේ බැල්ලියෝ අඳුර ගන්න පුලුවන් . උන් අපේ පාරටත් එනවා. ජිමී කුක්කා ඇරුණු කොට අපේ පාරේ කිසිම කොල්ලෙක්  මෙල්වින්ඩේල් එකේ බැල්ලියෝ එක්ක ගනුදෙනුවක් නැහැ. 

ජිමී කුක්කා බොස්ටන් ටෙරියර් කෙනෙක් වගේ. ඌට බොස්ටන් ටෙරියර් කියන එක වැඩිපුර ගෞරවයක් නිසා අපේ පාරේ කොල්ලො කිව්වේ ජිමී කුක්කා කියලා. ඉස්සර කොල්ලෝ හැංගිලා ජිමී කුක්කා කියලා කෑගහනකොට ඌ හැරිලා ඇඟිල්ල පෙන්නනවා. 

ජිමී කුක්කා කාලෙකින් පේන්න හිටියේ නැහැ.  එක සැරයක්  ඇම්බැසඩර්   පාලමෙන් පැනලා සියදිවි නසාගන්න හැදුවා. ඊට පස්සේ ඉස්පිරිතාලෙට අරගන ගිහිල්ලා කරන්ට් ඇල්ලුවා. ඉස්පිරිතාලෙන් ආවම පස්සේ ජිමී කුක්කව දැක්කේ දෙතුන් සැරයක් විතරයි. කාලෙකින් කුක්ක පාරේ ගියේ නැහැ. ඔළුව තෝන්තු වෙලා කොහේ හරි යන්න ඇති.

ලැරී ගෙනාපු පණිවිඩයත් එක්ක කොල්ලෝ කට්ටිය වින්සිගේ බාබර් සාප්පුවට ගියා. වින්සි අනුන් ගේ කොන්ඩා කැපුවට තමන් ගේ කොණ්ඩය ඩොන් කිං වගේ උඩට විහිදුවාගෙන ඉන්නේ. ඩොන් කිං වගේ කිව්වට කොණ්ඩයෙන් විතරයි. වින්සි නාන්නේ සුමාන දෙකකට සැරයයි. එකම ඇඳුම දවස් දෙක තුන ඇඳගෙන ඉන්නවා. ලාබෙට මුලු ඩිට්‍රොයිට් වලම කොණ්ඩ කපන තැනක් තිබ්බනම් ඒ වින්සි ගේ බාබර් සාප්පුව විතරයි. මිනිස්සු ගඳ උහුලගෙන ලාබෙට කොණ්ඩ කපාගෙන වින්සිට බැන බැන යනවා. 

දවසක් දේවගැති රොබට් සොලමන් ගේ කණිෂ්ඨ පුතා රොබට් සොලමන් ජූනියර්  විහිළුවට  වින්සි ගේ බාබර් සාප්පුවට පල්ලියෙන් ගෙනාපු ශුද්ධ ජලය ඉස්සා එදා වින්සි කුණුහරප වැළක් කිව්වා. කොල්ලෝ ඔක්කොම බිම පෙරළි පෙරළි හිනා උණා. පස්සේ අපිට ආරංචි උණා දේවගැති රොබට් සොලමන් රොබට් සොලමන් ජූනියර්ට තරවටු කළා කියලා. දේවගැති රොබට් සොලමන් ජේත්තුවට ඇඳලා කැඩිලැක් එකේ යනවා. රොබට් සොලමන් ජූනියර් අර්ලොන්දෝ ගේ බේස්මන්ට් එකේ දුම අදිනවා. රොබට් සොලමන් ජූනියර් කවදා හරි ප්ලේමවුත්  පාරේ හොඳ වැඩකාරයෙක් වෙයි නැත්නම් බෙලමි ක්‍රීක් චරිතශෝදනාගාරේ යාවජීව සාමාජිකයෙක් වෙයි.  

වින්සි ගේ බාබර් සාප්පුව පිරිලා මිනිස්සු. මිස්ටර් කූගර් මිනිස්සු සන්සුන් කරනවා. ප්‍රජා නායකයෙක්. ජෙසී ජැක්සන් වගේ තමන් ගැන හිතාගෙන ඉන්න කලබලයක් වෙනකොට එලියට බැහැලා කළු ප්‍රජාවට දේශනා තියන විහිලුකාරයෙක් කියලයි සමහරු මිනිහා ගැන කිව්වේ. මිනිස්සු මිස්ටර් කූගර්ව වැඩිය ගනං ගත්තේ නැහැ. ඒත් බොරුවට මූණට පේන්න ගරුත්වය පෙන්නුවා. එතකොට මිස්ටර් කූගර් තව තවත් නිහතමානී වෙනවා. 

ප්ලේමවුත්  පාරේ කට්ටිය මිස්ටර් කූගර්ට කිව්වේ පච කූගර් කියලා. මිනිහා මීට අවුරුදු දෙක තුනකට කලින් රෝස්මරි පාරේ ගණිකාවකට කාර් එක නවත්තලා නගින්න කියලා.  ගණිකාව වගේ ඇඳගෙන ඉඳලා තියෙන්නේ පොලිස් කෙල්ලෙක්. මිස්ටර් කූගර්ට පොලිසියෙන් නඩු දැම්මා. 

මිනිහා කිව්වේ හීතලේ වෙව්ල වෙව්ල හිටපු කළු සහෝදරියකට ගෙදර යන්න උදව් කරන්න හිතාගෙන කාර් එක නැවැත්තුව කියලා. එතකොට නඩුකාරයා ඇහුවලු ඒ කාන්තාවට ඩොලර් දහයේ නෝට්ටුවක් දික් කලේ ඇයි කියලා. එතකොට මිස්ට කූගර් කිව්වලු හාමතේ හිටපු කළු සහෝදරියකට බර්ගර් එකක් ගන්න උදව්වක් කරන්න හිතාගෙන සල්ලි දික් කළා කියලා. ඒත් නඩුකාරයා දඩයකුත් එක්ක පැය එකසිය හැටක ප්‍රජා සේවයේ යෙදවීමට තීන්දුව දීලා. නඩුවෙන් පස්සේ  මිස්ට කූගර් කිව්වේ තමන් වර්ණභේදවාදයේ ගොදුරක් උණා කියලා. හැබැයි මිස්ට කූගර්ව අත් අඩංගුවට ගත්ත පොලිස්කාරයත් නඩුව අහපු නඩුකාරයත් කළු ජාතිකයෝ. 

එකපාරටම​ සයිරන් ගහගෙන පොලිස් කාර් හතරක් විතර ගියා. ඉස්සර කොල්ලෝ බාර් එක ලඟ තිබ්බ දුරකථන කුටියට මුවා වෙලා පොලිස් කාර් වලට ගල් ගහනවා. වැඩිපුරම ගල් ගැහුවේ රොබට් සොලමන් ජූනියර්  . රොබට් සොලමන් ජූනියර්  හොඳ ඉලක්කකාරයා. එක සැරයක් පොලිස් කාර් එකක පිටිපස්ස වීදුරුව කඩාගෙන යන්න ගොල්ෆ් බෝලයකින් ගැහුවා. පොලිස්කාරයෝ වාහනය හරවගෙන දුරකථන කුටිය ලඟට එනකොට රොබට් සොලමන් ජූනියර්  පල්ලියේ අල්තාරය යට.

පස්සේ පස්සේ පොලිස් කාර් වලට ගල් ගහන එක නැවතුනා. රොබට් සොලමන් ජූනියර්  වෙන විනෝදාංශ වලට පුරුදු උනා. දැන් මේ පැත්තට එවන ඔක්කොම පොලිස් කාරයෝ කළු මුලාදෑනියෝ. ඒ නිසා දැන් පොලිස් කාර් වලට ගල් ගහන එක නැත්තටම​ නැවතිලා. 

මිනිස්සු පොලිස් කාර් ගිය දිහාවට දුවගෙන ගියා. බාබර් සාප්පුව අසල පේමන්ට් එක ලඟ වාඩි වෙලා හිටපු බේබදු මයික්ගේ කකුලත් පාගගෙන තමයි සමහරු දුවලා තියෙන්නෙ. මයික් හැම වෙලාවෙම කියන කුණුහර්පය කිව්වා කකුල පාගපු බැල්ලිගෙ පුත්තුන්ට. ඒ කියලා කඩදාසි බෑග් එකේ දාගෙන හිටපු විස්කි බාගෙන් උගුරක් බිව්වා.

බේබදු මයික්ගේ කකුලේ තුවාලයක් තියනවා. ඒ තුවාලේ වියට්නාමෙදි විස කවපු උණ පුරුකක් ඇනිලා සිදු උණ බවයි සමහරු කිව්වේ. කකුලේ තුවාලය පෑගුවහම බේබදු මයික් කුණුහරප නොකීව නම් තමයි පුදුමේ. මයික්ට ප්ලේමවුත්  පාරේ මොනවා සිදු උනත් ගානක් නැහැ. මිනිහා ඉන්නේ තමන්ගේම ලෝකයක​. විස්කි බිබී නැට් කිං කෝල් ගේ සිංදුවක් සෘතියෙන් පිට කියාගෙන​. කකුලක් පෑගුනොත් මිනිහා පියවි ලෝකෙට එනවා.

පොලිස් කාර් පිටිපස්සේ මිනිස්සු දිව්වේ දඩයම් බල්ලෝ වගේ. මුලින්ම දිව්වේ පිස්සු ජෝ.  පිස්සු ජෝ ඉස්සර බොක්සිංකාරයෙක්. ඔලුවට පාරවල් වැදිලා දැන් ඔල්මාදේ. පිස්සු ජෝ දුවනකොට කලිසම බාගෙට කඩා හැලෙනවා. ඒකත් උස්සගෙන පිස්සු ජෝ දුවනවා. මොනවා උනත් මිනිස්සු පිස්සු ජෝට සැලකුවා. සමහරු මිනිහාට මේයර් කියලා කතා කලේ.  පිස්සු ජෝ ඕනම ජගතෙකුට නිගර් කියලා කථා කලේ. බ්ලූම්ෆීල්ඩ් හිල්ස් වල සල්ලිකාර සුද්දන්ව උනත් ඇමතුවේ නිගර් කියලා. හැබැයි දවසක් කළු පොලිස්කාරයෙකුට පිස්සු ජෝ නිගර් කියලා ආමන්ත්‍රණය කරලා ඉස්සරහ දත් දෙක ගලවගත්තා. ඒත් මිනිහා මේ ගරු නම කියලා  ඕනම කෙනෙක් අමතන එක නැවතුනේ නැහැ. 

පොලිස් කාර් ටික ගර්සීනිලාගේ ගෙදර ලඟ නැවැත්තුවා. පාරේ හිටපු එකම ඉතාලි පවුල​. යමක් කමක් තිබ්බ මිනිස්සු. කොල්ලා වැටිලා හිටියේ ගර්සීනිලාගේ ගෙදර ඉඳන් අඩි දහයක් දුරින් මහ පාරේ. ගර්සීනි මහගේ පොලිස්කාරයෝ එක්ක කතාව​. 

ගර්සීනි මහගේ පාරේ ගියේ හරිම ආඩම්බරයෙන්. කිසිම කෙනෙක් ගනන් ගත්තේ නැහැ. ඒකට ගාර්සීනී නාකියා. හොඳ බේබද්දා. හැමෝගෙම හිත මිතුරා. ගාර්සීනී නාකියා කොහේ හරි ගිහිල්ලා වගේ. නැත්නම් මේ වෙලාවේ මෙතනට කඩා වැදිලා මළ විකාරයක් කරලා. එකත් එකටම​ බෝතලේ බදාගෙන කොහේ හරි මුල්ලක නිදි වෙන්න ඇති.

පොලිස්කාරයෝ අව් කන්නාඩි දාගෙන හිටියේ. පටි තුනක් ගහගෙන හිටපු පොලිස්කාරයෙක් මෙල්වින්ඩේල් එකේ කොල්ලෝ දෙන්නෙක්ගෙන් ප්‍රශ්න කරනවා. උන් බයේ උත්තර දෙනවා. කොල්ලට වෙඩි තිබ්බේ මේ පෙන්දෝ වෙන්න බැහැ. හැබැයි මේ වගේ පෙන්දෝ තමයි ඔත්තු බලන්නේ. මුන් ඔත්තු බලලා සිග්නල් එක දෙනවා. එතකොට ඝාතකයා හිමීට ඇවිත් මැග්නම් එකෙන් හිලක් විදලා යනවා.

කොල්ලා ඇඳගෙන හිටියේ රතු හුඩී එකක් ඒ නිසා මූණ වැහිලා. වෙඩි පාර පපුවට වැදිලා කියලයි කසුකුසුව ගියේ. කොල්ලා ඇඳගෙන හිටියේ කිළුටු ගැහුණු ඩෙනිම්  කලිසමක්. සපත්තු දෙක කළු පාටයි. බාස්කට් බෝල් ගහනකොට දාන දෙකක් වගේ.

කොල්ලගේ මූණ වැහිලා තිබුණ නිසා අඳුරගන්න අමාරුයි. විල්ෆ්‍රඩ් කිව්වේ කොල්ලා ප්ලේමවුත්  පාරේ පල්ලිය ලඟ ගෙදරක ජීවත් වෙච්ච කොල්ලෙක් කියලා. තාත්තා හිරේලු. කොල්ලට වයස දාහතයිලු. බානිලගේ කල්ලියේ හිටපු ඩිලිවරි කොල්ලෙක්ලු.

විල්ෆ්‍රිඩ් බානිගෙ කල්ලියේ නොවූනට බානිගේ කල්ලියේ එවුන් ගැන හොඳට දන්නවා. බානි යාළුවෙලා හිටියේ විල්ෆ්‍රඩ්ගේ අක්කා එක්ක​. 

විල්ෆ්‍රඩ්ගේ අක්කා තර්ම් ලස්සන කෙල්ලක් ප්ලේමවුත්  පාරේ හිටියේ නැහැ. හරියට ජෙනට් ජැක්සන් වගේ. විල්ෆ්‍රඩ්ගේ අක්කා පල්ලි යනකොට කොල්ලෝ බොරුවට පාරේ සයිකල් පදින්නයි වෙට්ටු දාන්නයි පටන් ගත්තා. කවදාවත් පල්ලි නොගිය කොල්ලෝ පල්ලියට ගිහිල්ලා විල්ෆ්‍රඩ්ගේ අක්කා ඉඳගත්ත පේලියට පිටිපස්සේ ඉඳගෙන කෙල්ල දිහා බලගෙන හිටියා. කෙල්ල දණ ගහනකොට කොල්ලෝ ඔක්කොම පස්ස දිහා බලලා හිමීට ඒවා මේවා කෙඳිරුවා. දේවගැති රොබට් සොලමන් බයිබලයලේ පාඨ ගීතිකා වගේ කියවනවා. පල්ලියේ ගීතිකා කණ්ඩායම සිංදු කියනකොට විල්ෆ්‍රඩ්ගේ අක්කා නට නටා භක්තියෙන් ගීත කිව්වා.

විල්ෆ්‍රවඩ්ගේ අක්කා මුලින්ම යාළු වෙලා හිටියේ  රොඩ්නි එක්ක​. රොඩ්නි තමයි මේ පැත්තේ හිටපු හොඳම බේස් බෝල් ක්‍රීඩකයා. පාරේ ඔක්කොම කිව්වේ රොඩ්නි කවදාහරි ඩිට්‍රොයිට් ටයිගර්ස්  කණ්ඩායමට යයි කියලා. ඒත් රොඩ්නි  ඒතරම් වාසනාවන්ත උනේ නැහැ.රොඩ්නි ඉක්මනට සල්ලි හොයන්න ගියා. මිනිහා ජේකබ්ලා එක්ක උකස් බඩු  කඩේ කොල්ලකන්න ගිහිල්ලා කැෂියර්ට වෙඩි තියලා තියනවා. කතාව ගියේ වෙඩි තිබ්බේ ජේකබ්, රොඩ්නි ගේ තුවක්කුවෙන් කියලා. ඒත්   නඩුවෙදී රොඩ්නිට අවාසි උනා. දෙන්නම අවුරුදු විස්සකට ගියා.

ගිලන්‍ රථ දෙකක්ම ඇවිල්ලා.  කොල්ලව ස්ට්‍රෙචර් එකට දාගන්න සූදානම​. ස්ට්‍රෙචර් එක පහත් කරලා කොල්ලව ඔසවලා ගත්තා. කොල්ලගේ අතක් කඩාගෙන වැටුණා. රතුපාට හුඩී එකේ දුඹුරු රතු හුරුවට ලේ. කලිසමත් ලේ වලින් තෙත් වෙලා. තාර පාරෙත් ලේ තැවරිලා.

පොලිස්කාරයෝ පාර හරහා කහ පටි ඇදලා. අපරධයක් වූ ස්ථානයක්. එහෙම බලන කොට මේ මුළු ප්ලේමවුත්  පාරේ අපරාධයක් නොවූ තැනක් තියනවද​හරිනම් මුළු පාර පුරාවට කහ පටි එලන්න ඕනෑ.

මාසෙකට සැරයක් හෝ මේ පාරේ කහ පටි බලාගන්න පුලුවන්. කහ පටි තමයි මේ පාරේ ගෙවල් වල වෙලඳ වටිනාකම අඩු කලේ.  කහ පටිතමයි මේ පාරට පලාතේ මිනිසුන් ගේ තිබ්බ ගරුත්වය නැති කලේ. අපිවත් පිට ගිහිල්ලා ජීවත්වෙන්නේ මේ පාරේ කිව්වේ නැහැ.  කහ පටිනිසා රොසයිරෝ පවුල​බෙලිස්මාන් පවුල බියැන්චි පවුල මේ පාරෙන් යන්න ගියා. කහ පටි අපේ ජීවිත පාළනය කරා.  පාරේ සුදු  පවුල් අතලොස්සයි හිටියේ. ඒ පවුල් ටික මෙහෙන් ගිය දාට පාර තනිකරම කළුම කළුපාට වෙනවා.

තරබාරු ගෑණියෙක් කෑගහගෙන අඞාගෙන ආවා. පොලිස්කාරයෝ ගෑනිට කොල්ලා ලඟට යන්න දුන්නේ නැහැ. ගෑණිට කහ පටි වලින් පනින්න  නොදී මෑම් මෑම් කියලා තල්ලු කරලා දැම්මා. ගෑණි මහ හයියෙන් විලාප දෙනවා. ඒ අතරවාරේ කොට පොලිස්කාරයෙක් ගෑණිගෙන් ප්‍රශ්න අහනවා. ගෑණි පොලිස්කාරයාට උත්තර දෙන්නේ විලාප කිය කිය​. පොලිස්කාරයා ඒවා නෝට් පොතක ලියා ගන්නවා.

ගෑණි  ඇඳගෙන ඉන්නේ කළු පාට ඉරි වැටුණු ගවුමක්. කළුපාට ජර්සියක් ඇඳගෙන හිටපු නිසා අවස්ථාවට අනුචිත විදියට ඇඳගෙන හිටියා කියන්න පුලුවන්. ගෑණි  වචනයෙන් වචනයට ජීසස් කිය කියා මොර දෙනවා. එකත් එකටම ගෑණි පල්ලියේ යාතිකා කණ්ඩායමේ සාමාජිකාවක් වෙන්න ඇති.

බානි මාක්ලාගේ ගේ ලඟ ඉඳගෙන ඔක්කොම බලාගෙන ඉන්නවා. බානිගේ ඇස් බොරපාටයි. තරහා ගියාම බානිගේ ඇස් බොරපාට වෙනවා කියලයි මිනිස්සු කිව්වේ. එතන මාක්ගේ අයියාටී.ජේ රැන්ඩි එහෙමත් හිටියා.

මාක්ගේ අයියා හෙරොයින් වලට හොඳටම ඇබ්බැහි වෙලා ඉන්නේ. කෙට්ටුම කෙට්ටුයි. ඇටසැකිල්ලක් වගේ. මිනිහා නිතරම කහිනවා. ටී.ජේ  කොටයි. ඒ උනාට හොඳට ගහගන්න පුලුවන්. පාරේ සල්ලි ඔට්ටුවට සමහර විට ගහගන්නවා. කළාතුරකින් හැරෙන්න පැරදිලා නැති තරම්. ඒ වගේම එල්.එල් කූල් ජේ ගේ සිංදු ලස්සනට කියනවා. රැන්ඩි බොඩි බිල්ඩර්. ප්‍රෝටීන් පවුඩර් තමයි බිව්වේ. බානිගේ කාර් එකේ නිතරම ආරක්‍ෂාවට යනවා. ලෙදර් ජැකට් එකක් තමයි අඳින්නේ. ඒ ජැකට් එක යට තුවක්කුව​. නිතරම සූදානම්. රැන්ඩිගේ ඇස් දිවියෙක් ගේ වගේ. රෑටත් දිලිසෙනවා.

බානිගේ කොල්ලට වෙඩි තියපු මෙල්වින්ඩේල් එකේ කොල්ල මෝඩයෙක්. මොකට වෙඩි තිබ්බද දන්නේ නැහැ. සමහර විට කෙල්ලෙක්ගේ කේස් එකක් වෙන්නත් පුලුවන්මොනව උනත් වෙඩි තියපු මෙල්වින්ඩේල් එකේ කොල්ල හෙට වෙනකොට මාළු එක්ක මූදු පතුලේ නිදාගනී. 

බානිගේ කල්ලියේ කොල්ලෙක්ට අතක් තියලා කිසිම කෙනෙක් බේරිලා නැහැ. බානිලාට කරට කර හිටියේ ක්‍රිස් වෝකර් කල්ලිය විතරයි. නමුත් බානිලා ක්‍රිස් වෝකර් එක්ක මොකක් හරි යට ගනුදෙනුවක් තිබ්බා. කල්ලි දෙක සමාදාන උනෙත් පුදුම විදියට.

මුලින්ම කෙල්ලෙක් නිසා ක්‍රිස් වෝකර් කල්ලියේ පීටර්බානිගේ කල්ලියේ ජෙරීට නත්තල් දවසේ එලිසා හොවෙල් පාක් එකේ ගහලා තිබ්බා. දවස් දෙකක් ඇතුලත ජෙරී තව කොල්ලෝ දෙන්නෙක් එක්ක ගිහිල්ලා පීටර්ට යකඩ පොළු වලින් ගහලා අත පය කැඩුවා. ඒකේ වාඩුව ගත්තේ අළුත් අවුරුද්ද දවසේ. ක්‍රිස් වෝකර් කල්ලියේ පිරිසක් ඇවිත් ජෙරීට වෙඩි තිබ්බා. ජෙරී එතනමයි. ඊට පස්සේ බානි ක්‍රිස් වෝකර් කල්ලියේ තෝම්ට වෙඩි තිබ්බා. තෝම් මාස තුනක් ඉස්පිරිතාලේ හිටියා. ආයෙත් බානි ක්‍රිස් වෝකර්ගේ දකුණු අත වගේ හිටපු චැතම්ට සයිරස් දම්මලා වෙඩි තිබ්බා. චැතම් දවස් දෙකයි ජීවත් උනේ.

ඊට පස්සේ යුද්දේ පටන් ගත්තා. මිනිස්සු පාරේ ගියේ මර බයේ. කොහෙන් බුලට් එකක් ඇඟට ඇවිත් වදීද කියලා බයේ හිටියේ. ඒ කාලේ කොකේන් බිස්නස් එක පාරවල් වල නැත්තටම නැතිවෙලා තිබ්බේ. කොකේන් බිස්නස් කලේ බානිගේ කොල්ලොයි ක්‍රිස් වෝකර් කල්ලියේ එවුනුයි තමයි. දෙගොල්ල පාරවල් වල මරා ගන්න ගියහම  බිස්නස් වැටුණා. ආපහු පුදුම විදියට දෙගොල්ල සමාදාන උනා.  කල්ලි දෙක සමාදාන උනාම පස්සේ පාරවල් දිගේ ආපහු කොකේන් ගලාගෙන ගියා.
බානිගේ කල්ලියේ කොල්ලෙක්ට බුලට් එකක් දාන්න තරම් හිතේ හයියක් මෙල්වින්ඩේල් එකේ කොල්ලෙක්ට තිබ්බ එක ගැන පුදුමත් හිතෙනවා. මෙල්වින්ඩේල් එකේ ඉන්න තරමක් හිටියේ අලුකුත්තේරුවෝ. සමහර විට බානිගේ කොල්ලෙක් කියලා දන්නෙ නැතිව තුවක්කුව පත්තු කරන්න ඇති. මෙල්වින්ඩේල් එකේ ප්‍රාථමිකේ එවුනුත් තුවක්කු ඉස්කෝලෙට ගේනවා. ඒත් තුවක්කුවක් පත්තු කරන්න තරම් අණ්ඩ කෝෂ තිබ්බේ එහෙමත් එකෙකුට.
කොල්ලව ගිලන් රථයකට දාගත්තා.. අවුරුදු දාහතෙන් මැවුම්කරු ලඟට කොල්ලා ගියා. මහත ගෑණි මොර දීලා ඇඞුවා. ගර්සීනී මහගේ තාමත් පොලිස්කාරයෙක් එක්ක කතාව​. පිස්සු ජෝ පොලිස්කාරයෙක් එක්ක වාද කරගන්නවා. මිස්ට කූගර් මිනිසුන් සන්සුන් කරනවා.රොබට් සොලමන් ජූනියර්  ලයිට් කණුවකට පිට දීගෙන ලැරී එක්ක කතාවක්. ලැරී වරින්වර ඉන්හේලරය අදිනවා. ඒ අතරවාරයේ බානි බොර පාට ඇස් වලින් වටපිට බලනවා. අනිවාර්‍යෙන්ම හෙට අනිද්දා පොලිසිය ආයෙත් මේ පාරේ තවත් කහ පටි අදියි. 
වෛද්‍ය  රුවන් එම් ජයතුංග

20 comments:

  1. http://www.ibtimes.co.uk/london-stabbings-haringey-road-revealed-capitals-bloodiest-knife-attacks-1529556

    http://www.citizensreportuk.org/reports/teenage-murder-london.html

    ReplyDelete
  2. මොකක්ද මේ , එක හුස්මට කියෙව්වා

    ReplyDelete
  3. මේක පරිවර්ථනයක්ද. කොහොම උනත් අසාවෙන් කියෙවුවේ.

    ReplyDelete
    Replies
    1. මේක පරිවර්තනයක් නොවේ මගේ නිර්මාණයක්

      Delete
  4. ලියන්නේ කුමක් වුවද බාෂාව කුමක් වුවද ඔබේ නිර්මනශිලීහ්වය පිළිබද කතා දෙකක් නැත...

    ReplyDelete
  5. මුළු පරිසරයමත්, චරිත සියල්ලත් ඇඟට දැනෙන තරමට ලියවුනු සිදුවීමක්.

    ReplyDelete
  6. ෆිල්ම් එකක් බැලුවා වගේ...
    ජයවේවා..!!

    ReplyDelete
  7. හෑ? කෝ මගෙ තුවක්කුව. කොයි වෙලාවෙද කියන්න බෑනෙ. කෝකටත් සූදානමෙන්.

    ReplyDelete
  8. හොලිවුඩ් ෆිල්ම් එකක කථාවක් වගේ,ඇමරිකන් රස්තියාදු භාෂාව අපුරුවට යොදාගෙන තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හිතේ මැවුනු අදහස්

      Delete
  9. මේක ඇත්ත වගේ. ඔය වගේ සිදුවීම් සහ පලාත් අතරේ ඉන්න වෙලත් තියෙනවා. මත්ද්‍රව්‍ය වැටලීම් ප්‍රධානියෙක්වූ Harry Keeble & Kris Hollington අත්දැකීම් ඇසුරෙන් ලියු Crack House කියවන්න. ඩ්‍රග්ස් ලෝකය කොතරම් දරුණුද කියා වැටහේවී. මේ සත්‍යකතා සිදුවන්නේ මා කලක් සේවය කෙරූ ප්‍රදේශයක.

    ReplyDelete
    Replies
    1. ඒක වෙනම ලෝකයක් නේද අරුණ

      Delete
  10. හරි අපුරු විදියට ඒ කලු පරිසරය චිත්‍රණය කර තිබෙනවා.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook