Friday, August 14, 2015

අප්‍රේල් මහ නඩුවේ 4 වන විත්තිකරු - අනුර කුරුකුලසූරිය

 


මහාචාර්ය ජයදේව උයන්ගොඩගෙන් සමුගත් මම අප්‍රේල් මහ නඩුවේ 4 වන විත්තිකරුවූ අනුර කුරුකුලසූරිය මුණගැසීමට ගියෙමි. දැනට සංචාරක ව්‍යාපාරයේ රැකියාවක් කරන ඔහු 1971 දී විසි හැවිරිදි තරුණයෙකි. ඔහු තමාගේ සහභාගිත්වය පිළිබඳව කරුණු දැක්වූයේ මෙලෙසටය.

මගේ තාත්තා ස්ටේෂන් මාස්ටර් කෙනෙක්. මම ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලැබුවේ උසස් පෙළ පන්තියේ. සුනන්ද දේශප්‍රිය පාසලේ සමකාලීනයෙක් සුනන්දගේ බලපෑම නිසා මම ව්‍යාපාරයට නැඹුරු උනා. 1969 මුල සුනන්දගේ ගෙදරදී විෙජ්වීර ප්‍රථම වතාවට මුණගැසුණා.

අපට සනත් බොරළුකැටිය තමයි අම්බලන්ගොඩදී දේශපාලන පන්ති පැවැත්තුවේ. අපිත් ව්‍යාපාරෙට අළුත් සාමාජිකයෝ බඳවාගන්න කොකු ගහනවා. අපට තණමල්විල කඳවුරක් තිබුණා. ඒ කඳවුර තිබ්ඛෙ කැලේ. අපි කට්ටිය 150 විතර හිටියා. කඹේ යන්න පුහුණු කළා. තුවක්කු පිළිබඳ හැඳින්වීමක් කළා. කඳවුරට තුවක්කු දෙකක් විතර තිබුණා. ඒ කඳවුරේදී මතකයි වඳුරෙක්ව මරලා කෑමට ඉව්වා.

මේ වගේ කෑම්ප් එකක් මිද්දෙනියෙත් තිබුණා. ඒක තිබුණේ ගෙදරක. 100 විතර හිටියා. අපි එළිපහලියට ගියේ නෑ. ගෙදරමයි  හිටියේ. රොටී හොදි එක්ක කෑවා. මේ පන්තියේදී වැඩිපුර කලේ තියරි. 

1969 අග වෙනකොට විෙජ්වීර ආව පෝරඹ අපේ ගෙදරට. විෙජ්වීරට පැරනොයිඩ බයක් තිබුණා. සීඅයිඩී එක එයාව ෆලෝ කරනවා කියලා. ඒ බයට අපේ ගෙදර මාස 5 විතර නැවතිලා හිටියා. විෙජ්වීරට අපේ ගෙදර කන්තෝරු කාමරය දුන්නා. මේ වෙනකොට අපේ තාත්තා මැරිලා. අම්ම විතරයි ගෙදර හිටියේ. විෙජ්වීර කැකුළු හාල් බත් කන්න කැමතියි. සමහර දවස්වලට අම්මා රෑට සුප් එකක් හදලා පාන් දෙනවා. ඒකට විෙජ්වීර විහිළුවට කියන්නේ සුප් සුළු ධනේශ්වර කෑමක් කියලා. දවල් කාලයේ විෙජ්වීර අපේ ගෙදර ඉඳගන ආර්ථීක අර්බුදය පොත ලිව්වා. විෙජ්වීර ළඟ පොත් පෙට්ටියක් තිබුණා. ඒ පොතුත් කියවනවා. රෑට එලියට ගිහිල්ලා කට්ටිය හමුවෙනවා.

සුනන්ද දේශප්‍රියගේ නංගී කමණී දේශපාලන වැඩවලට පූර්ණකාලීනව ගියා. ඒකට සුනන්දගේ තාත්තා කැමැත්තක් දැක්කුවේ නෑ. දවසක් සුනන්දගේ තාත්තා අපේ ගේ ලඟ පාරෙන් ගියා. මේක දැක්ක විෙජ්වීර අපේ ගෙදරින් වෙන තැනකට ගියා.

විෙජ්වීර ළඟ මේ අනිසි බය තිබුණා. ඛෙන්තොට හෝටලය හදනකොට ඒ හෝටලයේ තාප්පය කළුගල්වලින් බඳිනවා. මෙතන ඇමෙරිකන් බේස් එකක් හදන්නේ කියලා විෙජ්වීර කිව්වා. ඇල්ල වැල්ලවාය පාර පළල් කරනකොට කිව්වේ මේ ඇමෙරිකන් ප්ලේන් බස්සන්න ධාවන පථය සකස් කරනවා පාරක්වගේ පේන්න කියලා. විෙජ්වීර මටයි, සුනන්දටයි පූර්ණකාලීනයෝ වෙන්න කිව්වා. මාව ලයියා එක්ක පේරාදෙනියට යැව්වා. සුනන්දව බදුල්ලට. මම රජවත්තේ විශ්වවිද්‍යාල සුළු සේවක නිළ නිවාසයක නැවතිලා හිටියේ.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මේ වෙනකොට සරත් විෙජ්සිංහ ප්‍රබල චරිතයක්. විෙජ්වීර මාව පේරාදෙනි යැව්වේ සරත්ගේ බලය බිඳින්න. සරත් කට්ටිවාදියෙක්. කට්ටිවාදයෙන් වැඩකරනවා කියලා විෙජ්වීර කිව්වා. සරත් විෙජ්සිංහ කෙට්ටු ශරීර ප්‍රමාණයෙන් කුඩා පුද්ගලයෙක්. ඔහුට හොඳ කථීකත්වයක් තිබුණා. සරත් කැරැල්ලේදී අත්වැරදීමකින් පත්තුවෙච්ච තුවක්කු වෙඩි පහරකින් මළා.

මම ලයනල් බෝපගේ, කුමානායක, විජිත නානායක්කාර පේරාදෙනිය විශ්වවිද්‍යාල සිසුන්ට පන්ති කළා. 1970 මුල විතර දේශපාලන මණ්ඩල රැස්වීම අම්බලන්ගොඩ තිබ්බා. විෙජ්වීර නැවතිලා හිටියේ සිසිල්චන්ද්‍රලාගේ ගෙදර. මේ රැස්වීමට විෙජ්වීර, සනත් බොරළුකැටිය, පියතිලක, මම, සුනන්ද, ඉන්කම්ටැක්ස් කරු මාදුවගේ, සිසිල්චන්ද්‍ර, ධනපාල, ලොකු අතුල, බෝපගේ, උයන්ගොඩ එහෙම හිටියා.

විෙජ්වීර ඉක්මණට විප්ලවය කළයුතුබව අවධාරණය කළා. ආයුධ එකතු කරන්න කිව්වා. ආයුධ අංශය ලොකු අතුලට බාරදුන්නා. අපි ආයුධ එකතු කළා. කිංග්ස්වුඩ් එකේ ලැබ් එකෙන් කෙමිකල්ස් ලබාගෙන බෝම්බ හැදුවා. මාතලේ පැත්තෙ වත්තක සුපිරින්ටෙන්ඩන් කෙනෙක් ළඟ තුවක්කු කලේක්ෂන් එකක් තියෙනවා කියලා තොරතුරක් ලැබුණා. අපේ අය එතනින් තුවක්කු 5-6 විතර ගත්තා. ඒ තුවක්කු මාතලේ ඥාණතිලකලාගේ ගෙදර හැංගුවා. පිස්තෝල කීපයකුත් සල්ලිවලට ගත්තා.

අපට පැවරී තිබුනේ නුවර පොලිසියට පහර දෙන්න හා පනිවිඩ හුවමාරු  අඩපණ කරන්න. ප්‍රහාරයට 100 විතර හිටියා. පේරාදෙනිය විශ්වවිද්‍යාල සිසුන් 40 විතර එක්ක. අප්‍රේල් කැරැල්ලට කලින් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මාස් හෝල් එකේ සීලිමේ ගබඩා කරලා තිබ්බ බෝම්බයක් හදිසියේ පිපිරුවා. මාස් හෝල් එකේ උළු කැඩිලා ගියා. කට්ටිය වට උනා. පොලිසියෙන් ආවා. මම රජවත්තට ගියා.

අප්‍රේල් 2 දා සංඝාරාමයේ රැස්වීමක් තිබ්බා. ප්‍රහාර ගැන තීරණයක් ගන්න. මමයි, සුනන්දයි කිව්වා වහාම ප්‍රහාරය දියත් කරන්න කියලා. සනත් බොරළුකැටිය විරුද්ධ උනා. තවම සූදානම් නැහැ. කරන්න අමාරුයි කියලා. ඒත් අපි සාමූහික තීරණයකට ආවා, පහරදෙන්න.

අප්‍රෙAල් 5 වෙනිදා රෑ 11 ට අපි නුවර ස්ටේෂන් එක ළඟ හිටියා. වැල්ලවාය ප්‍රහාරය ටයිම් වරද්දලා කලින් සිදුකළ නිසා ආරක්ෂක අංශ සීරුවෙන් හිටියේ. නුවරත් ඇඳිරි නීතිය දාලා. අපේ පිරිසට එන්න බැරි උනා. ආයුධ අඩංගු වාහන පාරට දාන්න බැරි උනා. නුවර ප්‍රහාරය අසාර්ථක උනා. ජයතිස්ස ලීඩ් කරපු කට්ටිය කඩුගන්නාව පොලිසියට ගැහැව්වා.

මම අප්‍රේල් 6 වෙනිදා උදේ අළුත් ෂර්ට් එකක් මිලට ගත්තා. මගේ ඇඳුම් කිළුටු වෙලා. මට අවශ්‍ය උනේ නකල්ස් වලට යන්න. මම මුලින්ම පන්විල ගැර`ඩිඇල්ල එස්ටේට් එකට ගියා. පන්විලදී මම ගිය බස්එක පොලිසියෙන් චෙක්කළා. මට අළුත් ෂර්ට් එක ඇඳගන්න වෙලාවක් තිබුණේ නැහැ. මගේ කමිසය කිලූටු වෙලා නිසා මාව බැස්සුවා. මම කථා කළේ දකුණේ සිංහල. ඒ ප්‍රදේශයේ භාෂා ශෛලිය වෙනස්. මා ළඟ රු. 1700 ක්ි තිබුණා. මගෙන් ඇහැව්වා කොහේද යන්නේ කියලා. මම කිව්වා මම එනසාල් ගන්න අත්තනායක මුදලාලිගේ කඩයට යනවා කියලා. මම මීට කලින් පන්විල යනකොට අත්තනායක මුදලාලිගෙ එනසාල් කඩය දැකල තියෙනවා. ඒත් මම මුදලාලිව දන්නේ නැහැ. පොලිසිය මුදලාලිව ගෙන්නුවා. මුදලාලි කිව්වා මාව කවදාවත් දැකල නැහැ කියලා මේ මගේ ගැනුම්කායෙක් නෙමෙයි කියල ඉන්පසු මාව කූඩුවට දැම්මා.

ටික වේලාවක් යනකොට විල්බට්ව අත්අඩංගුවට අරගන ආවා. විල්බට් වත්තේගම පොලිසියට ගහන්න හිටියේ. අපි කැරළිකාරයෝ කියල සැකයට පොලිසිය අපි දෙන්නව පොලිසිය ඉදිරිපස තියෙන  පැපොල්ගහට තියල මාංචු දමල තිබ්බා. බැරි වෙලාවත් හරි පොලිසියට කැරළිකාරයෝ පහර දුන්නොත් අපිව ශරීර ඇපයට පෙන්වන්න. රෑ අපට කන්න රොටිය ගානේ දුන්නා. අපි දෙන්නා මුළු රෑම පැපොල් ගහ ළඟ මාංචු පිට. 

අප්‍රේල් 7 වෙනිදා පන්විල පොලිසියට ආපු වත්තේගම පොලිසියෙ පීසී කෙනෙක් විල්බට්ව හඳුනාගත්තා. පැය දෙක තුනක් යනකොට වත්තේගම පොලිසියෙන් කට්ටියක් ආවා. ඒ එක්කම වත්තේගම මන්තී ඒ. ෙජ්. ප්‍රනාන්දු ආවා. මන්ත්‍රී විල්බට්ට ගැහුවා. මාව පෙන්නලා ඇසුවා මූ කව්ද කියලා. මම එනසාල් ගන්න අත්තනායක මුදලාලි හමුබවෙන්න ආපු කෙනෙක් කියලා කිව්වහම ඒ. ෙජ්. ප්‍රනාන්දු මන්ත්‍රී අත්තනායක මුදලාලිවත් පොලිසියට ගෙන්න කියලා නියෝග කළා. අත්තනායක මුදලාලි විරුද්ධ පාක්ෂියෙක්. ඒ නිසා මන්ත්‍රී මිනිහා එක්ක තරහයි.

මාවයි, අත්තනායක මුදලාලිවයි, විල්බට්වයි අරගන වත්තේගම පොලිසියට ගියා. අත්තනායක මුදලාලි කිසිම දේකට සම්බන්ධ නැහැ. ඒත් අපිත් එක්ක මාංචු දමලා. වත්තේගම පොලිසියේදී අපට ෆුට්බෝලවලට ගහනව වගේ පොලිස්කාරයෝ පයින් ගැහැව්වා. යටිපතුලට බැටන් එකෙන් 50 ගානේ ලෙග් බේල් දුන්නා. යටිපතුල් පැළිලා ලේ එනවා. අතරින් පතර ලූණු වතුර පොවනවා. මම වැටිලා ඉන්නකොට වත්තේගම මන්ත්‍රී ඒ. ෙජ්. ප්‍රනාන්දු මගේ ඉළඇට වලට පයින් ගැහුවා.

අපිව අප්‍රේල් 12 දක්වා වත්තේගම පොලිසියේ තියාගත්තා. මට හිතෙන්නෙ ඇටෑක් එකක් ආවොත් කැරළිකරුවන්ට අපිව ඇපයට පෙන්වන්න. මේ කාලය තුළදී අපට ගහනවා හොඳටම. ඒ අතර වරින්වර හෝස්එක අල්ලලා නාවනවා. මේ අතර කාලෙදි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුයි, එයාගේ මාමා කෙනෙකුයි අත්අඩංගුවට ගෙන වත්තේගම පොලිසියට ගෙනාවා. මේ අයටත් හොඳටම ගැහුවා. එක පොලිස්කාරයෙක් විශ්වවිද්‍යාල සිසුවාට පයින් ගැහුවා යටි බඩට. එයාට ලේ එක්ක මූත්‍රා ගියා. පහුවදා ඔහු මැරුණා.

පොලිසියට අවශ්‍ය උනා මේ මරණය දැක්ක අපි හැම දෙනාවම නැතිකර දාන්න. අපිව ලොරියක දාගන නුවර ගෙනියන්න සැලසුම් කළා. ලොරියට අපිව දැම්මේ දෙපැත්තේ දෙන්නෙක් අල්ලලා පද්දලා විසිකරමින්. අපි දර කොටන් වගේ ලොරියේ පතුළට වැටුණා. ඇඟවල්වල ලේ. පහරදීම් නිසා අපිව තඩිස්සි වෙලා. මළමිනියත් එහෙමම පැටෙව්වා.

නුවර යනකොට රෑ 7-8 විතර ඇති. නුවර එස්. පී. නෑ. ප්‍රමාදයි. ඒඑස්පී ෂන්මුගම් ආවා. වත්තේගම පොලිස්කාරයෙක් කිවා මුන්ව පේරාදෙනිය ගඟට දාන්න ගෙනාවා කියල. ඒඑස්පී ෂන්මුගම්ට තරහ ගියා. අපිව ගෙනිච්ච පොලිස්කාරයන්ට බැන්නා. වහාම නුවර රිමාන්ඩ් කරන්න නියෝග කළා. ඒ නිසා අප මරණෙන් ගැලවුණා.

පොලිසියෙන් අපිව ලොරියේම දාගන බෝගම්බරට ගෙනිච්චා. ඒ අය මළමිනිය බාර ගත්තේ නෑ. අපිව රඳවා ගත්තා. බෝගම්බර මාස 1 1/2 විතර රඳවාගන උසාවි දැම්මා. මට විරුද්ධව චාජ් එකක් නැති නිසා මහේස්ත්‍රාත් මාව නිදහස් කළා. එතකොට සවස 2.45 විතර ඇති. 3 ට ඇඳිරි නීතිය දානවා. මට යන්න විදිහක් නෑ මහේස්ත්‍රාත් තුමා ගිය හැටියෙම කෝට් සාජන් මට මූණට එකක් ගැහැව්වා. මට සිහි නැති උනා. යළිත් මාව ජීප් එකේ දාගෙන නුවර පොලිසියට ගෙනාවා.

මගෙන් ප්‍රශ්න කළා. මම ව්‍යාපාරේ රංජිත් බව පොලිසියට සැකයි. මම නුවර පොලිසියට යනකොට කිංග්ස්වුඩ් එකේ විජිත, කීරවැල්ලව එහෙම අත්අඩංගුවට අරගන. අපට හාල්ගෝනියක් බදා ගන්න තියෙනවා. ඒ කියලා පිටට පයින් ගහනවා. මාව මාතලේ ගෙනිච්චා සඟවපු ආයුධ බලන්න. මොනවාවත් පොලිසියට සොයාගන්න බැරි උනා. මාතලේ පොලිසියේදී යළි මට පහර දුන්නා. නමුත් එදාම නුවර ගොනාවා. 

අපව මාස 1 1/2 විතර නුවර පොලිසියේ රඳවලා හිටියේ. සාජන් විෙජ්සිංහ මාව ප්‍රශ්න කළා. අපට පහර දෙන්න හදනකොට ඒඑස්පී ෂන්මුගම් වැලැක්වුවා. මා එක්ක බෝපගේ, විජිත නානායක්කාර, කීරවැල්ල, වීරකෝන් වෙදමහත්තයා එහෙම රඳවගන හිටියේ. අපෙන් කටඋත්තර අරගෙන බෝගම්බර ගෙනාවා. නඩුව පටන් ගත්තම වැලිකඩට දැම්මා. 

වැලිකඩදී අපිට නිදහස තිබුණා අධ්‍යාපන කටයුතු කරගන යාමට. මම යළිත් උසස් පෙළ හදාරන්න ගත්තා. නඩුවේදී මට අවුරුදු 7ක සිරද~ුවමක් දුන්නා. 1977 දී මම නිදහස ලබාගන යළි නිදහස් ලෝකයට ආවා. 1971 අග භාගයේ ඉඳන් මම ව්‍යපාරයෙන් අයින්වෙලා හිටියේ. ඒ නිසා නිදහස ලැබිල ආවාට පස්සේ යළි දේශපාලන කටයුතු වලට ගියේ නැහැ.

71 සිද්ධිය නිසා අධ්‍යාපනය කඩකප්පල්වීම ගැන පසුතැවිල්ලක් තියෙනවා. ඒත් ජීවිත අත්දැකීම් ලැබුවා. යම් දැනුමක් හිරේදී ලබාගත්තා. බුද්ධිය පළල් උනා. ආයුධ පිළිබඳව දැන් මා තුළ විශ්වාසයක් නැහැ. මට හිතෙන්නේ දේශපාලන අරමුණු සාක්ෂාත් කරන්න ආයුධ අතට ගැනීම නුසුදුසු දෙයක් හැටියට.


( වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය​ ඇසුරෙනි )

8 comments:

  1. මේ ලිපිය උපුටා ගත්ත පොත කඩේ ගන්න තියෙනවද?

    ReplyDelete
    Replies
    1. 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය පොත් සාප්පු වල තිබෙනවා

      Delete
  2. ආරක්ෂක අංශවල පුද්ගලයන් දරුණු අපරාධ කිරීමට පෙළඹෙන්නෙ සාක්ෂි සැඟවීමටයි. ඒ එස් පී ශන්මුගම් හිටියෙ නැත්නම් මේ සියළුම දෙනා අද මළවුන් අතර. 71 දි හමුදාවට වඩා පොලීසිය දරුණු වුන බව මා අසා තිබෙනවා.මොකද කැරළිකාරයො පොලීසි වලට පහර දුන් නිසා. මොවුන්ගේ වෘත්තීය ගෝත්‍රවාදය සිවිල් ජනතාවට හානිකරයි.පිකටින් එකකදි ගල් පාරක් වැදුනහම එලව එලව පාරෙ යන එවුන්ටත් එක්ක ගහන්නෙ මේ ගෝත්‍රවාදය නිසයි.

    ReplyDelete
  3. වෛද්‍ය රුවන්ගේ පොත නම් කියවා නැත.

    ReplyDelete
    Replies
    1. මෙම පොත පුස්තකාලවල තිබෙනවා

      Delete
  4. ඒ කාලේ විජේවීරගේ දේශන අහලා, පසු කාලයේ ටිකක් මොළය මෙරුවාම තමයි තේරුනේ, ඔහුගේ සමහර මතවාද, පදනමක් නැති, හුදු විරුද්ධකල්ප සහ ක්‍රෝධය මත පදනම්ව ඉදිරිපත්කර ඇති බව.

    ReplyDelete
    Replies
    1. පසුගාමී අදහස් තිබුණා තමයි

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook