Sunday, January 4, 2015

ජැක් ඇන්ඩ් ජිල්

                                   


 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

 දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයාගෙන් කට උත්තරයක්  ලබා ගැනීමට ගිය පොලිස් නිලධාරියාට  රෝහල්   බංකුවේ තරමක වේලාවක්   රැඳේ සිටින්නට විය. පොලිස්  නෝට් පොතට පැන්සලෙන් තට්ටු කරමින් සිටි ඔහු නොඉවසිල්ලෙන් ඒ මේ අත අඹරුනේය. පෙරදා රාත්‍රියේ සප්පායම් වූ අරක්කු සහ උරු මස් තවමත් කුස තුල දඟලයි. අධෝ වාතයක් යැවීමට අවශ්‍ය වුවද ඔහු එය අසීරුවෙන් වලකා ගත්තේය. අද සවසද පොඩි සාදයකට ඔහුට  අරාධනා ලැබී තිබේ.  එහෙත් ඊයේ රාත්‍රී සාදය වැනි සාදයක් ලැබුනේ කාලයකට පසුවය.  කෑම බීම දොරේ ගලා ගිය විල්මට් මුදලාලිගේ  සාදයට ඔහුට සහ සාජන් තිලකරත්න ට  ආරාධනා ලැබ තිබුණි. 

 විල්මට් මුදලාලි ප්‍රදේශයේ ධනවතෙකි. අසල්වැසියාගේ වත්තෙන් කොටසක් බලෙන් අත්පත් කරගෙන සිටි විල්මට් මුදලාලිට විරුද්දව අසල්වැසියා විසින් පොලිසියට  පැමිණිල්ලක් කොට තිබුණි. එය මුලින්ම විභාග කිරීමට ගියේ සාජන් තිලකරත්නය. විල්මට් මුදලාලිගෙන් කරුණු විමසීමට ගිය සාජන් තිලකරත්න පැමිණියේ බොහෝ ප්‍රමාදව මදුවිත සුවඳ හමමිනි. මෙවර විල්මට් මුදලාලිට අසල්වැසියා විසින් මරණ තර්ජන කොට තිබෙන බවත් තමා ඔහුගේ කන  පැලු බවත් සාජන් තිලකරත්න රපොර්තු කලේ වැනෙමිනි. විල්මට් මුදලාලිට මරණ තර්ජන කොට තිබෙන අසල්වැසියාව රිමාන්ඩ් කල යුතු බව ඔහු  තීරණය කළේය. අසල්වැසියා රිමාන්ඩ් භාරයට පත් කිරීමේ සතුට විල්මට් මුදලාලි බෙදා ගත්තේ පොලිස් මිතුරන් සමගින්ය. 

වාට්ටුවේ දොස්තර මහතා පැමිණි වහාම ඔහුට කැඳවීමක් ලැබුණි. තොප්පිය හිසලාගත් ඔහු වාට්ටුවට ගියේ සෙමෙනි. අධෝ වාතය පිටවේ දෝ යැයි ඔහු තැති ගත්තේය. හැකි තරම් වෙර යොදා ඔහු බඩ  හකුලා ගත්තේය.  

" එන්න එන්න රාළහාමි "  දොස්තර මහතා ඔහුව සාදරයෙන් පිලිගත්තේය. 

"රාලහාමි ? " මූට මම එස්  අයි කියලා   පේන්නැද්ද ? ඔහු සිතෙන් දොස්තරට බැන්නේය. මුලින් වෛද්‍යවරයාට සර් කියා ඇමතීමට සිතාගෙන  සිටියද රාළහාමි කතාව නිසා ඔහු දොස්තරව ඇමතුවේ ඩොක්ට කියාය. 

" ඩොක්ට අපිට මෑන් ගෙන් කට උත්තරයක් ගන්න අවශ්‍ය වෙලා තියනවා මොකද කරන්නේ ? දැන් ගන්නද ? " 

" මේකයි රාලහාමි  වැටුණු   පාර මිනිහගේ හිස් කබල තුවාල වෙලා තියනවා මිනිහගේ මතකය එච්චර  හොඳත්   නැහැ ඕනෙ නම් කතා කරලා බලන්න "  වෛද්‍යවරයා රෝගියාගෙන් කට උත්තරයක් ගැනීමට පොලිස් නිලධාරියාට අවසර දුන්නේය. ඒ අවසරයෙන්ම රෝගියාගේ ඇඳ අසලට ගිය පොලිස් නිලධාරියා රෝගියාට කතා කළේය. 

බැන්ඩේජ් වලින් හිස වෙලා සිටි තරුණ රෝගියා අසීරුවෙන්  ඇස් ඇරියේය. 

"මොකක්ද තමුසෙගෙ නම ? "   පොලිස් නිලධාරියා පික් පොකට්කාරයෙකුට කතා කරන ස්වරයෙන් ඇසීය. 

"කන්දෙගෙදර   ජැක් " රෝගියා අසීරුවෙන් උත්තර දුන්නේය 

" කොහොමද තුවාල උනේ "

"මතක නැහැ සෑර් "

"එහෙම මතක නැති වෙන්න බැහැනේ , මතක් කරගන්නවා කියනවා මොකද උනේ කියලා "

"අනේ සෑර් මට මතක බාල්දිය අරගෙන එයා එක්ක කන්ද උඩට ගිය බව විතරයි  . මම හිතන්නේ පය ලිස්සලා මම ඇදගෙන වැටුනා " 

  "කවූද   එයා කියන්නේ ?" 

"ජිල් , මම    බඳින්න  ඉන්න එක්කෙනා " 

"එයාගේ ගෙවල් කොහෙද? "

"සෑර් එයා ඉන්නෙත් කන්ද පාමුල "

  "එයා තමුන්ව තල්ලු   කරාද ? ඇත්ත කියනවා "

" අනේ නැහැ සෑර් මම හිතන්නේ මම පය පැටලිලා වැටුනා "

" හිතන්නේ ?   ඇයි තල්ලු   කරා කියලා කියලා හිතෙන්නේ  නැද්ද "

" අනේ නැහැ සෑර් "

රෝගියාගෙන් මීට   වඩා යමක් දැන ගැනීමට නොහැකි බව අවබෝධ  කරගත් පොලිස් නිලධාරියා අපේක්ෂා   භංගත්වයට  පත් විය. අපේක්ෂා   භංගත්වයට පත් වූ විට ඔහුට නොදැනුවත්වම අධෝ වාත  පිටවේ. මෙය ඔහු සිතා  මතා  කරන්නක් නොවන බව කිව යුතුය.  එම නිසා ඔහු මෙතෙක් තද කරගෙන සිටි   අධෝ  වාතය පිට විය. බඩවැල් වල  තිබු අසුචි ,  මද්‍යසාර , අර්ධ ලෙස ජීර්ණයට ලක් වූ  ඌරු  මස්  යනාදීන්ගෙන් සම්මිශ්‍රනයව  තිබු තදබල වායුවක් රෝගියාගේ   නාසයටද ගියේය. අසරණ රෝගියා අසීරුවෙන් දකුණු අත ඔසවා තම නාසය ආවරණය කර ගත්තේය.  රෝගියාගේ අහවරවී තිබු   සේලයින්  බෝතලය ගැලවීමට  පැමිණි හෙදියටද කුවිලය දැනුනෙන් රෝගියාට ඇඳෙහිම  මලපහ වුනු බවට ඇය තීරණය  කලාය. කරබාගෙන ඇය රෝගියා අසලින් ඉවත් වුයේ එම රෝගියා සුද්ද පවිත්‍ර කිරීමේ වැඩය තමාට පවරාවි යන බියෙනි. හෙදිය තවම උදයට කෑම කා  ද නොතිබිණි. 

මේ අතර පොලිස් නිලධාරියා වෛද්‍යවරයාට ස්තුතිවත්  නොකරම වාටුවෙන් පිටව ගියේ ජිල් නමැති තරුණියගෙන් කට උත්තරයක් ගැනීමේ අදිටනිනි. පොලිස් ස්ථානයට ගිය ඔහු ජිල් නමැති තරුණියට පොලිස් ස්ථානයට පැමිනෙන  ලෙසට පණිවිඩයක් යැව්වේ සරණපාල කොස්තාපල් අතේය. 

සරණපාල කොස්තාපල් පිටත් කිරීමෙන් පසුව ඔහු උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත විල්මට් මුදලාලිගේ අසල්වැසියා පිළිබඳව වාර්තාව සකස් කළේය. අසල්වැසියා කසිප්පු පෙරන බවත් , මෙම තැනැත්තා  ළඟ තිබී  ජේ . ආර්.  වර්ගයේ අත් බෝම්බයක්ද සොයා ගත් බවත් ඔහු මෙම වාර්තාවට ඇතුළු කල බව මෙහිදී කිව යුතුමය. අපගේ පොලිස් නිලධාරියා ළඟ ජේ . ආර්.  වර්ගයේ අත් බෝම්බ කිහිපයක් , කුඩු පැකට් පහක් , ගල් කටස් දෙකක් තිබේ. ඔහුගේ සිත් නොගත් පුද්ගලයන්ට මෙම  භාන්ඩ වල හිමිකාරත්වය පවරා උසාවි ඉදිරිපත් කිරීමට හෙතම පුරුදුව සිටියේය. නඩුකාරයාද නිතර  ( උසාවි රේජිස්ටාර්  සමග ) අඩි  ගසන නමුදු කසිප්පුකාරයන් අසාත්මිකතාවයෙන් පෙළුණු නිසා  විල්මට් මුදලාලිගේ අසල්වැසියාට උසාවියේදී  කිරි පැණි යහමින් ලැබෙන බව ඔහුට සනාථ විය. නඩු වාර්තාව සකස් කිරීමෙන් පසුව ඔහු වැසිකිලියට ගියේ බඩේ තෙරපෙන වායු පීඩනය අවම කර ගනු පිණිසය. 

පොලිස් නිලධාරියා වැසිකිලි ගොස් පැමිණි විගසම සරණපාල කොස්තාපල් ඔහුට තරුණියක් ඉදිරිපත් කළේය. රාජකාරී  පුටුවේ වාඩි  වීමටත් පෙර තරුණියගේ හිස් මුදුනේ සිට පාදාන්තය දක්වා හෙළුවේ අමුතු  බැල්මකි. තරුණියගේ ලපටි පියයුරු දෙස දෙපාරක් බැලූ ඔහු  ඇයගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කලේ ගාම්භීර හඬකිනි. 

"ඉතින් කියනවා මොනවාද උනේ "

තරුණිය බියෙන් සැලුනාය

" මොකද කටේ පිට්ටුද ?  

සත්‍ය වශයෙන්ම  ඇය උදයට කෑවේ පිට්ටු සහ කිරි හොදිය. තමා  උදේට කාපු කෑම පවා ඉවෙන් මෙන් දැන සිටි මෙවැනි කෘතහස්ත පොලිස් නිලධාරියෙකුට තමන් දන්නා සියලු දෙය පැවසිය යුතු බව තරුණිය තීරණය කළාය. 

" අනේ සෑර් අපි බණ්ඩක්කා පාත්තියක් කන්ද පාමුල දැම්මා ,පාත්තියට වතුර දාන්න  මෝටරයක් නැති නිසා බාල්දිය අරගෙන අපි දෙන්නා  කන්ද උඩ ලිඳට ගියා.  ලිඳෙන් වතුර බාල්දියක් ඇදලා ඒක අරගෙන බහිද්දි ජැක්  අයියගේ කකුල ලිස්සලා  එයා කන්දෙන් පෙරලිලා වැටුනා. ජැක්  අයියගේ  ඔලුව ගලක වැදිලා ලේ එන්න පටන් ගත්තා. බාල්දිය දෙකට කැඩුනා. මම අමාරුවෙන් ජැක් අයිය වත්තන් කරගෙන කන්ද පාමුලට ගේනාවා. ඒ කරලා හේතුහාමි මාමගේ හේන දිහාට හුවක් තිබ්බා. දෙයියන්ට පින්සිද්ද වෙන්න ඒ හුවට හේතුහාමි මාමයි , අගෝනිස් ලොක්කයි මයියොක්කා ගැලවිල්ල පස්සකින් තියලා අපි දිහාවට දුවගෙන අවා. අගෝනිස් ලොක්ක ලේ එන ඒක නවත්තන්න හීරළු කොළ මතුරලා පිම්බා. හේතුහාමි මාමා දුවලා ගිහිල්ලා සිමන් අප්පුගේ කරත්තේ අරගෙන ඇවිල්ල ජැක්  අයියව ඉස්පිරිතාලෙට ගෙනියැව්වා. මම මේ කියන්නේ සහතික ඇත්ත සෑර්.  "

තරුණිය නෙතට ඉනු කඳුළු අත්ලෙන් පිසදැමුවාය.  අනතුරුව " අපි හරි නැති බැරි අසරණ මිනිස්සු සෑර් "   යැයි කීවාය. 
 

අපගේ පොලිස් නිලධාරියාට  "අපි හරි නැති බැරි අසරණ මිනිස්සු සර් " යන වදන්   තරම් කේන්ති යන වචන යුගලක් නැති තරම්ය. මෙතෙක් වෙලා තරුණියගේ ලපටි පියයුරු දෙස බලමින් ඇයගේ කතාව සාවධානව  අසා සිටි ඔහුගේ හිසට හිසට වෙසමුනියා  ආරුඪ වුයේ "අපි හරි නැති බැරි අසරණ මිනිස්සු සෑර් " යන වදන් නිසාය. අත්  අඩංගුවට පත් වන සෑම  කුඩුකාරයෙක්ම, පොකට්කාරයෙක්ම ,  කසිප්පු පෙරන ගෑනියෙක්ම මෙම වදන් පවසති. 

"නවත්තගන්නවා ඔය බොරු සෙප්පඩ විජ්ජා , නැති බැරි අසරණ මිනිස්සු , අනේ මගේ කට " එනවා මෙතන අපිව තම්බන්න. උඹ අරුව කන්ද උඩට අරගෙන ගිහිල්ල හොර මිනිහෙක් එක්ක එකතු වෙලා  ඌව කන්දෙන් පහලට තල්ලු කරා නේද ?  පොලිස්   නිලධාරියා ගෙරෙව්වේය. එම ගෙරවීමත් සමගම ඔහුට හඬ සහ ගන්ධය සමග තව  අධෝ වාතයක් පිට විය. 

තැතිගත් තරුණිය අවට වාතයේ දුර්ගන්ධය ද නොසලකමින් පොලිස්   නිලධාරියා ඉදිරියේ දනින් වැටුනාය.

" අනේ සෑර් අපේ යකා ගහල මැරිච්ච අබරං අත්ත පල්ලා මම සහ සුද්දෙන් කිව්වේ ඇත්ත​. "

 තරුණියගේ කන්නලව්ව නිසාත් බඩ තෙරපන ලද පීඩනය අඩුවී ගිය නිසාත් පොලිස් නිලධාරියා මඳක් සන්සුන් විය​. 

" හරි හරි කියනවා බලන්න තමුන් මේ ජැක් කාරයා කොච්චර කාලයක් තිස්සේ ඉඳන් දන්නවද ? 

"අනේ සෑර් අපි පොඩි කාලේ ඉඳන් දන්නවා "

"තමුන් එයා එක්ක එහෙම හෝටල් කාමර වලට එහෙම ගියාද ? ඔහු කටහඞ මඳක් අඩු කොට ඇසුවේය​. 

"අනේ නෑ සෑර් අපිට එහෙම යන්නත් සල්ලි බාගේ නැහැ "

"ඒක මිසක් ඔහු මේසය මත තිබූ බැටන් පොල්ල අතට ගත්තේය​. මේ සමහරු ඉන්නවා කෙල්ලන්ව හෝටල් වලට අරගෙන ගිහිල්ලා කැමරා පෝන් වලින් එක එක ඉරියව් අරගෙන ඒවා අන්තර්ජාලේ දාන එවුන් , උන්ට එහෙම හව් වෙනවා නෙවෙයි "

 තරුණියට ඔහු කියූ අඳෝ සංසාරයක් තේරුනේ නැත​. ඒත් ඇය හිස වැනවාය​. 

 "ඉතින් දෙන්න එක්කලා සෝ එකක්වත් බලන්න ගියේ නැද්ද ? ඔහු තරුණිය දෙසට කය නවා ඇසුවේය 

" අනේ සෑර් එක දවසක් නං අපි දෙන්න ටවුමට ගිය වෙලාවේ හින් දි සෝ එකක් නම් බලන්න ගියා මතකයි "


 ඉතින් ඒ ගිහිල්ල ජැක් මොනාද කරේ ? ඔහු තම ස්වරය තවත් පහත දැමුවේය 

" මට පැන්ටා කුප්පියක් අරගෙන දුන්නා " තරුණිය කීවාය 


පොලිස් නිලධාරියාගේ ඔළුව තෝන්තු වී ගියේය​. ඔහු සරණපාල කොස්තාපල් කැඳවා ඇයගේ කට උත්තරය ලියා ගන්නා ලෙස ඔහුට දැන්වීය​. අණතුරුව බැට්න් පොල්ල අතට ගෙන තදින් මේසයට තට්ටු කීපයක් දැම්මේය​. 

" ෂිකේ හරිම වාත දවසක් එකෙක්ටවත් තාම මේකෙන් අද දවසේ පාරක් දෙන්න බැරි උනානේ " ඔහු සෙමෙන් කෙඳිරීය​. ඒ සමගම ඔහුට තවත් අධෝ වාතයක් පිටවිය​. 

19 comments:

  1. හාහා හා . නියම කතාව.

    ReplyDelete
  2. ඔබ ඉතාම සරල ශෛලියකට පැමිණ සිටින බව කදිමට නිරූපණය වන කතාවක්. එය ඉහලින්ම අගය කරනවා. සමාජ යථාර්ථය නිරූපණය කරන සිද්ධියක් අවශ්‍ය පමණට උපහාසයද යොදාගනිමින් ඉදිරිපත් කළ නිර්මාණයක් ලෙසද මෙහි වටිනාකම ඉහළයි.

    ReplyDelete
  3. මේක මාතලන්ට කියල ආයි ලියවගන්න වටිනව :V

    මට මතක් උනේ කේ ජයතිලකයි මහගමසේකරයි එකතුවෙලා ලියපු ව්‍යංගා පොතේ කුමාරතුංග මුණිදාස ගැන තියෙන ගද්‍ය.

    ReplyDelete
  4. ඔබලා මේ කතාවේ ව්‍යංගයත් වටහා ගන්න ඇති. පොලිස්කාරයා තුල පවතින පර පීඩක ආශාව . සැමටම තුති

    ReplyDelete
  5. නඟාට පැන්ටා කුප්පියක් ඇන්න දීලා!

    ReplyDelete
  6. උපහාසය යටින් තිත්ත ඇත්තක් .රසවත් !

    ReplyDelete
  7. ප්‍රබල ලිවීමේ ශෛලියක්! අගෙයි!! ඔබ ඉතා කදිමට හාස්‍ය රසය මතු කරනවා...

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook