Monday, October 12, 2015

එළියකන්ද වද කඳවුරේ සේවය කරන ලද මගේ රෝගියා


                                   

වෛද්‍ය රුවන් එම්. ජයතුංග

වධහිංසනය යනු මානව හිමිකම් උල්ලංඝණය කෙරෙන ඉතාම දරුණු අවස්ථාවලින් එකකි. සාමාන්‍යයෙන් වධහිංසනය යන්න හඳුන්වනු ලබනුයේ, පාපෝව්චාරණයක් ලබාගැනීම වැනි අරමුණක් සඳහා දඬුවමක්, තැතිගැන්වීමක් හෝ බලහත්කාර කමක් හෝ ඕනෑම ආකාරයක වෙනස්කමි කිරීමක් පදනමි කරගත් ශාරිරික හෝ මානසික අන්දමින් කිසිවෙකුහට දුකක් හෝ වේදනාවක්, වේතනාත්මකව පමුණුවන ඕනෑම ක්‍රියාවක් වශයෙනි.

වධහිංසනය යනු වින්දිතයාට පමණක් නොව අපරාධකරුට ද අනර්ථයක් සිදුකරන දෙපැත්තම කැපෙන අසිපතකි. වධහිංසනය පමුණුවන බොහෝ අය විවිධ මානසික අපගමනයන්ගෙන් පෙළෙන අය වන අතර, බොහෝවිට ඔවුහු පරපීඩාකාමී තෘප්තියක් ලබති. පමුණුවන්නාගේ චිත්තවේගී අවශ්‍යතාවයන් වධහිංසනය මගින් එක්තරා දුරකට සන්තර්පනය වන අතර, ඔහු සිය කැමැත්තෙන්ම මෙම ක්‍රියාකාරකම්වල යෙදේ. ඔවුන් සහවේදීතාවයෙන් ඌණවන අතර, වින්දිතයාගේ දුක්බර වේදනාත්මක ප්‍රතික්‍රියා, විලාප හා ආයාචනා ඔවුනට බලාධිකාරී හැඟීමක් හා උචිචභාවයේ වින්දනයක් ලබාදේ.

රෝහිත මුණසිංහ විසින් රචිත එළියකන්ද  වද කඳවුර නම් කෘතියෙහි එලියකන්ද වධකාගාරයේ (කේ පොයින්ට්) ප්‍රශ්ණ විචාරක විසින් සියැසින් දුටු සාක්ෂි තුලින් දකුණු සිරිලක තුල 1988-89 කාලසීමාව තුලදී උපයෝගී කරගත් වධහිංසන ක්‍රම ගැන ප්‍රත්‍යක්ෂ රචනයක් ඉදිරිපත් කර තිබේ. රැඳවියන්ව නිතර දෙවේලේ ශාරීරික පීඩාවලට හා අවමානයට පාත්‍රකරන ලද අතර, බොහෝ අයගේ මිත්‍රයින්ව මරාදමා ඇත්තේ ඔවුන් ඉදිරියේම ය. ‛කේ පොයින්ට්’ වධකාගාරයෙන් පලාගිය හෝ නිදහස ලැබූ අය තවමත් අනේක මානසික ව්‍යාධිවලින් පෙළෙති.

 මනෝ ප්‍රතිකාර සඳහා 2002 වසරේදී විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් මා වෙත යොමු කරන ලද සාමාන්‍ය සෙබල XX2 88/89 කැරලි සමයේදී   එළියකන්ද -කේ පොයින්ට් කඳවුරේ රැඳවියන් ගෙන් ප්‍රශ්න කිරීම් කරන්නෙකු මෙන්ම වදකයෙකු  වශයෙන් සේවය කලේය. රැඳවියන්ට ශාරීරිකව පහරදීම, දැල්වෙන දුම්වැටිවලින් ඔවුන්ව පිලිස්සීම, දරුණු වේදනා ඇතිකරන අයුරින් ඔවුන්ගේ ලිංගේන්ද්‍රය ලාච්චුව තුලට දමා වැසීම සහ සමහර අවස්ථාවලදී මරණ දඞුවම්  ක්‍රියාත්මක කිරීමට ඔහු විසින් සිදුකර තිබේ.


වසර එකහමාරක් පමණ මෙම කඳවුරේ සේවය කල මොහුට උතුරේ පිහිටි හමුදා කඳවුරකට ස්ථාන මාරුවක් ලැබී තිබේ. 1992-1993 කාලසීමාව තුලදී ඔහුගේ මානසික සෞඛ්‍යය මැලවන්නට පටන් ගෙන තිබේ. තමා වධ බන්ධනවලට ලක් කල අය වේදනාවෙන් කෑගසනවා ඔහුට ඇසෙන්නට පටන් ගැනුනි. සාමාන්‍ය සෙබළ XX2 දරුණු කෝපයෙන් පෙලුන අතර, නිරන්තරයෙන් සිදුවන ශාරිරික පරිභව නිසා ඔහුගේ බිරිය හා දරුවන් ඔහුව හැර ගියහ. ඔහු කීප වරක්ම සියදිවි නසා ගැනීමට තැත් කලේය. 

2002 වසරේදී පවත්වන ලද මනෝවිද්‍යාත්මක  වෛද්‍ය පරීක්ෂණ හා විස්තරාත්මක සායනික පිලිවිසීම් වලින් පසු ඔහු ‛පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් (PTSD) පෙලෙන බවට විනිශ්චය විය.  සාමාන්‍ය සෙබළ XX2 ආක්‍රාන්තිය, සිහිනෙන් බියවීම, භීතිකා, සමුද්දේශ පිලිබඳ අදහස්, මායාදර්ශණ හා කම්පනයට අදාළ විවිධ රෝග ලක්ෂණවලින් පෙලුනි. කේ පොයින්ට් කඳවුරේ සිද්ධීන් අමතක කර දැමීම සඳහා ඔහු තදින් මත්පැන්වලට ඇබ්බැහිව සිටියේ ය.  


රෝහිත මුණසිංහ විසින් ලියන ලද ‛ එළියකන්ද  වද කඳවුර’ නම් කෘතියෙහි සඳහන් බොහෝ විස්තර මෙම සෙබළාගේ මතකයට සමගාමි විය. මලකඳන් බැහැර කිරීම සඳහා යොදාගන්නා ලද ඩබල් කැබ් රථයේ වර්ණය ගැන විමසූ විට සාමාන්‍ය සෙබල XX2 නිවැරදි පරිදි පිළිතුරු   දුන්නේය​. (එය කහ වර්ණයෙන් යුතු ඩබල් කැබ් රියක් බව ඔහු කීවේය​) 



පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් සහ සයිකෝසියාවෙන් ( මෙම තත්වය Kessler's Phenomena ලෙස හැඳින්වේ) පෙළුණු මෙම රෝගියා තුල පැවති දිවි තොර කර ගැනීමේ යොමුව නිශේදනයට සහ සහ පශ්චාත් ව්‍යසන ක්ලමථ ලක්‍ෂණ අවම කර ගැනීමට ඖෂධ සහ මනෝ ප්‍රතිකාරයන් යොදා ගැනිනි. 

(මෙම කථාව මා පවසන්නේ කැරළි සමයන්හි දරුණුු ක්‍රියා සඳහා   යොදා ගන්නා දුප්පත් සහ අඩු අධ්‍යාපනයක් ඇති සමාජමය වශයෙන් කිසිම පිළිසරණක් නොමැති සෙබළුන්  අපවිත්‍ර වැඩ  කර ගැනීමෙන් පසුව දැහැටි කූරු මෙන් නොසලකා හරින  පාලකයන් සිටින රටක ඔවුන්ට පසු කාලීනව අත් වන ඉරණම පිළිබඳව පාඨකයන් දැනුවත් කිරීමටය​. වද බන්ධයට ලක් වූ සැකකරුවන් මෙන්ම මොවුන් ද වින්දිතයෝ වෙති)

ප.ලි ; මේ කාලයකට ඉහතදී   රසික සූරියආරච්චි විසින් කතන්දර බ්ලොග් අඩවියේ එළියකන්ද වද කඳවුර පිළිබඳව ලියන ලද සටහනකි 

 ඊරියක් සේ ඇඬුවෙමි (දුබල සිත් ඇත්තෝ මෙය නොබලත්වා!) - Eliyakanda Torture Camp
  (http://kathandara.blogspot.ca/2012/05/eliyakanda-torture-camp.html) 

සමහරවිට ඌරොත් අඬනවා ඇති.  ඒත් මට මට හිතුණා මට එදා ඇඬුණු හැටි විස්තර කන්න හොඳම විශේෂණ පදය ඊරියෙක් වගේ කියා ලියන එකය කියලා.  වැලපුණෙමි කියලා ලිව්වා නං මං මෙතන ලියන්නේ වැළහින්නක් සේ කියලයි.  එහෙම ස්ත්‍රී ලිංගික පදයක් දාන්නේ ඊරියන්ට, වැළහින්නන්ට අපහාසෙකට හෙම නෙවෙයි. මට කොච්චර තදින් ඇඬුණාද කියලා ටක්කෙටම තේරෙන්න ලියන්න ඕනෑ හින්දයි.  මම ඊරියක් සේ ඇඬුවෙමි.  මට එලෙස ඇඬුණේ රෝහිත මුණසිංහ ලියූ "එළියකන්ද වද කඳවුර" පොත කියවද්දීය.  

එළියකන්ද වද කඳවුර වනාහී 1989-90 කාලයේ මාතර ප්‍රදේශයේ තිබූ කූප්‍රකට වධකාගාරයකි. ජවිපෙ යැයි සැක කළ අය රඳවා තබාගෙන දෙතිස් වධයට ලක් කළ, මැරූ, නොමරා මැරූ හිර කඳවුරකි.  ඇමෙරිකානුවන් පවත්වාගෙන ගිය අබූග්‍රේ සහ ගන්තනමෝ වධ කඳවුරු ගැන විවිධ මාධ්‍ය ඔස්සේ අප අසා ඇති වුවද, ඊජිප්තුවේ පවත්වාගෙන ගිය වධකාගාර ගැන අප බොහෝ දෙනෙකු තවමත් නොදන්නවා විය හැක. ඒ ආකාරයටම, බටලන්ද සහ සූරියකන්ද වැනි වධකාගාර ගැන මා මාධ්‍ය ඔස්සේ අසා තිබුණද, එළියකන්ද ගැන මුලින්ම දැන ගත්තේ රෝහිත මුණසිංහ ගේ පොත කියවද්දීය.  
එළියකන්ද වද කඳවුර පොත කියවා මා ඉගෙනගත් අනෙකුත් දේ මෙසේය.  

1. පොල්ලකින් ඔළුවට ගසා මිනිසෙකු මරා දමන විට අවසාන පහර කා ඔහු බිම ඇද වැටෙන්නේ බ්‍රේක් ඩාන්ස් එකක් දමමින් ය.  
2. ගෝනියක් තුල දමා කට බැඳ එම ගෝනයි උස්සා පොළවේ ගැසීමෙන් මිනිසෙකු මරා දැමිය හැක.  
3. පුතා වෙනුවට අල්ලාගෙනවුත් වධකාගාරයේ රඳවා ගන්නා පියෙකු මරා දැමීමට හොඳම ක්‍රමය උදැල්ලකින් පහර දීමයි.  
4. කෙසඟ සිරුරක් ඇති රුඳවියෙකු උස්සා අන් අයට පහර දීම සඳහා මුගුරක් ලෙස භාවිතා කළ හැක. එයින් මුගුර මිය ගියොත් සොරි ඩොට් කොම්ය.  
5. ඒ දවස්වල ඩිජිටල් කැමරා, කැමරා ෆෝන් යනාදිය තිබුණා නම් චැනල් ෆෝ කාරයින්ට ඕ.ටී. කරන්නට වෙනවා ඇත.  කණ කපා කන්න දීම, එස්ලෝන් බට සහ කටුකම්බි ඔපරේෂන් යනාදී නූතන දෙතිස් වධ ගැන මම අසා තිබුණා වුවත් ඒ සියල්ල සැබෑ ඇසින් දැක ලියූ සටහන් කියවන විට එක්වරම සිහිය විකල් වේ.  ඊරියක සේ ඇඬෙන්නේ ඉන් පසුවය.  

තමන්ගේම මරණාසන්න අත්දැකීම් කියන්නට මේ පොත ලියන්නට වාසනාව තිබුණු රෝහිත මුණසිංහ, ඒ එළියකන්ද වධකාගාර නරකාදියට වැටෙන්නේ ඔහුව සුදු වෑන් එකකින් පැහැරගත්තායින් පසුවයි. ඒ 1989 නොවැම්බරයේ විජේවීර ද, අර ආයුධ පෙන්නන හොරා-පොලිස් සෙල්ලම කරන්නට ගොස් මැරුම් කෑවායින් පසුවය.  එළියකන්දේ දී තුන්වරක් ම මරණය පෙනි පෙනී බේරුණු රෝහිත මුණසිංහ මේ පොත ලියා ඇත්තේ, එලියකන්දෙන් පසු බූස්සේ ද කාලයක් ගතකොට ඉන් 1990 දී නිදහස් වූ පසු ප්‍රංශයට පළා ගොස් එහි කල් ගතකරන අතරතුර වසර 2000 දී යි.  දැන් ඇති තුන්වන මුද්‍රණය (2011) සරසවි මුද්‍රණයකි. මිල රුපියල් 350 යි.  -කතන්දරකාරයා

44 comments:

  1. //අමතක කර දැමීම සඳහා ඔහු තදින් මත්පැන්වලට ඇබ්බැහිව සිටියේ ය.//
    ඇත්තටම මෙහෙම දෙයක් වෙනවද නැත්නම් තමන්වම රවටා ගැනීමක්ද වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මත්පැන් ගෙන ඔහු නින්දට යනවා එවිට ඔහුගේ මනසට අතීත අත්දැකීම් එන්නේ නැහැ. නමුත් මේක කාලයක් කරන විට ඔහුගේ මානසික / කායික සෞඛ්‍යය පිරිහෙනවා

      Delete
  2. වධයට පත් වුන තැනැත්තා මෙන්ම වධකයාද වින්දිතයෙක් වෙන බව මට වැටහුනේ මේ සටහනෙන්. ඒකෙන් වෙනස් විදිහට බලන්න පෙළඹුනා.

    ReplyDelete
    Replies
    1. වධහිංසනය දෙපැත්තම කැපෙන අසිපතකි.

      Delete
  3. රෝහිත මුණසිංහ ගේ පොත කියවූ පසු අපේත් මනෝභාවය වෙනස් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ කැමරා පෝන් එහෙම තිබුනානම් චැනල් ෆෝ කාරයන්ට ඕ ටී කරන්න වෙන බව ඔබ කියා තිබෙනවා. ඇත්ත තමයි .
      ඔබ එයින් ඉගෙනගත් කරුණු පහක් සටහන් කර තිබුනා. අනෙක් අයටත් මතක් වෙන්න උපුටා පළ කරන්නම්

      // එළියකන්ද වද කඳවුර පොත කියවා මා ඉගෙනගත් අනෙකුත් දේ මෙසේය.

      1. පොල්ලකින් ඔළුවට ගසා මිනිසෙකු මරා දමන විට අවසාන පහර කා ඔහු බිම ඇද වැටෙන්නේ බ්‍රේක් ඩාන්ස් එකක් දමමින් ය.

      2. ගෝනියක් තුල දමා කට බැඳ එම ගෝනයි උස්සා පොළවේ ගැසීමෙන් මිනිසෙකු මරා දැමිය හැක.

      3. පුතා වෙනුවට අල්ලාගෙනවුත් වධකාගාරයේ රඳවා ගන්නා පියෙකු මරා දැමීමට හොඳම ක්‍රමය උදැල්ලකින් පහර දීමයි.

      4. කෙසඟ සිරුරක් ඇති රුඳවියෙකු උස්සා අන් අයට පහර දීම සඳහා මුගුරක් ලෙස භාවිතා කළ හැක. එයින් මුගුර මිය ගියොත් සොරි ඩොට් කොම්ය.

      5. ඒ දවස්වල ඩිජිටල් කැමරා, කැමරා ෆෝන් යනාදිය තිබුණා නම් චැනල් ෆෝ කාරයින්ට ඕ.ටී. කරන්නට වෙනවා ඇත.

      කණ කපා කන්න දීම, එස්ලෝන් බට සහ කටුකම්බි ඔපරේෂන් යනාදී නූතන දෙතිස් වධ ගැන මම අසා තිබුණා වුවත් ඒ සියල්ල සැබෑ ඇසින් දැක ලියූ සටහන් කියවන විට එක්වරම සිහිය විකල් වේ.//

      ඇත්තටම සිහිය විකල් වෙනව තමයි.

      Delete
    2. තව දෙයක් නම් හිසට කුළු ගෙඩියකින් පහර දී හිස චප්ප කිරීම

      Delete
  4. ජාතියක් ලෙස අපට බයිසිකලයක් වත් හදාගන්නට බැරි යයි සරදමට කියන අය මට හමුවී ඇත. අප නිර්මාණශීලී නැත කියා එයින් කියවේ. ඒ අයට මා කියන්නෙ අන්න අපේ පොලීසිය හමුදාව මොනතරම් වධක ක්‍රම සොයාගෙන තිබෙනවාද අන්‍ය ජාතීන් ලැජ්ජාවට පත් කරන තරම් කියාය.

    ධර්ම චක්‍ර වධය - පොලීසිය
    ලී කුලුගෙඩියෙන් ලිංගය තලා චප්ප කිරීම _ හමුදාව
    පී වී සී බලට ගුදයට දමා කටුකම්බි යැවීම - හමුදාව
    සිරුර අයන් කිරීම - හමුදාව

    තව අප නොදන්නා ක්‍රමද තිබෙන්නට ඇත.
    බලන්න නිර්මානශීලීත්වය

    ReplyDelete
    Replies
    1. තව නොදන්නා ක්‍රම තිබේ

      Delete
  5. 88/89 සිදුවීම් ගැන ලියවුන ඒව කියවනකොට මෙහෙම දරුණු පොලිස්කාරයන් හමුදාකාරයන් කොයි ලෝකෙන් පහල වුනාද කියල හිතෙනවා. ඒ කාලෙ හැම හමුදා කදවුරකම පොලීසියකම වධකාගාර පැවතියත් කරුණු සමාජයට ලීක් වුනේ දෙතුන් පොලක විතරයි. මා බෙහෙවින් කම්පනයට පත් කළේ කුලරත්න කුරුකුලසූරිය විසින් ලියූ ඇඹිලිපිටිය ඛේදවාචකය සමබන්ධ පුවතිනුයි. ඇඹිලිපිටිය සෙවන කදවුර ගැන ඔහු අගනා විස්තරයක් කර තිබෙනවා. එහි වධකාගාරය හදුන්වා ඇත්තේ මස් මඩුව කියායි. වධදීමට විශේෂයෙන් සකස් කළ උපකරන ගැන විස්තරය කියන විට සිහිවන්නෙ නාසි කදවුරුයි.ඒ කාලෙ හබයාස් කෝපුස් වගෙ ප්‍රතිකර්මවත් තිබ්බෙ නැද්ද කියල හිතෙනවා.සැකකරුවන් උසාවියට ඉදිරිපත් කරන ලෙස හමුදාවට නියෝග කිරීමට.

    මෙම ම්ලේච්ඡයන් ( සැර මදි වුවද වෙන වචනයක් නැති නිසා එය දැම්මෙමි ) භයානක යුධ අපරාධ කළ අය. නමුත් මොවුන්ට එරෙහිව නිසි විමර්ශනයක් සිදුවුනේ නෑ. කදවුර භාර කර්නල්වරයා කිසිම නඩුවක චුදිතයෙක් වුනේත් නෑ. ප්‍රමානාත්මකව කුඩා වුනත් ඇඹිලිපිටිය සෙවන කදවුර අවුශ්විට්ස් ,ට්‍රෙබ්ලින්කා වැනි නාසි කදවුරක්මයි. නාසීන් මළසිරුරු මහමග නොදමා ගෑස් කුටිවල පිලිස්සුවා.එයයි එකම වෙනස.

    මෙවැනි භයානක හමුදාකාරයන් බිහිවන පසුබිම අධ්‍යනය කළ යුතුයි නේද?
    කැරලිකරුවන් බිහිවන සමාජ පසුබිම ගැනනම් අධ්‍යනයන් කෙරෙනවා. නමුත් මේ හමුදාකාරයන් ගැන එහෙම නෑ නේද
    පරපීඩාකාමුකයන් කෙලින්ම හමුදාවට බැදෙනවාද නැත්නම් රාජකාරිය නිසා ඒ තත්වයට පත්වෙනවාද

    මම බල්ලෙකුටවත් පයින් පාරක් ගහන්නෙ නැති කෙනෙක්. වධදීම හා මැරීම සිය දෛනික රාජකාරිය බවට පත්කරගත් මේ මිනිසුන් මට පුදුමයක්. අනුකම්පාව ඉල්ලා වේදනාවෙන් මරලතෝනි දෙන ලේ වගුරුවන සිරකරුවන් දෙස බලා මහ හඩින් සිනාසෙමින් වධ දෙන හමුදා නිළධාරියා මටනම් පුදුමයක්.

    ReplyDelete
    Replies
    1. මටනම් බල්ලන්ට පයින් ගහන මිනිස්සුන්ට පයින් ගහන්න හිතෙනවා.

      ජෝක් එකක්ම නොවේ. මොන හේතුවක් නිසාද මංද කතා නොකල හැකි සතුන් ගැන කතා කල හැකි මිනිසුන්ගැනට වඩා මට දුක හිතෙනව. සමහර මිනිසුන්ට වෙනදේ ගැන දුක හිතෙන්නේ නෑ. හොඳ වැඩේ කියල හිතෙනව.
      Am I misanthropic, Doc? (Free diagnosis for a reader, heh )

      Delete
    2. ඇඹිලිපිටිය සෙවන කදවුර කේස් එකට අසුවූ එක් හමුදා නිලධාරියෙකුගේ සොහොයුරා මට හමුවී තිබෙනවා. ඔහු ඉතා අහිංසක අයෙක්. නමුත් පරිසරය සහ circumstances විසින් එම පවුලේ හමුදා පුතා වෙනස් පුද්ගලයෙකු බවට පත් කොට තිබුණා. දැන් ඔහු හිරෙන් නිදහස්, ඉතා නිහඞ ජීවිතයක් ගත කරනවා

      Delete
  6. දකුණේ සිංහල අපිට දකුණේම ආමි කාරයෝ දුන්න වධ මෙහෙමනම් උතුරේ දෙමළ මිනිස්සුන්ට කොහොම වධ දෙන්ඩ ඇත්ද?
    සිංහල බ්ලොග්ගල

    ReplyDelete
    Replies
    1. උතුරෙ එහෙම දෙයක් කරන්න අවස්ථාවක් ලැබුනෙ නෑ.උතුරෙ සිදුවුනේ හමුදාවන් දෙකක් අතර යුද්ධයක්. හැබැ‍යි අසූ ගනන් වල සුළුවෙන් මෙහෙම දේවල් වෙන්න ඇති.එහෙම කියන්නෙ ඒ වෙනකොට හමුදාව වධකාගාර සංස්කෘතියකට අවතීර්න වෙලා නොසිටි නිසා. නමුත් 89 දි දකුනෙ සංවිධානාත්මකව පැහැරගැනීම් හා ඝාතනයන් සිදුවුනා. උතුරෙ සිදුවීම් වලට ජාත්‍යාන්තරය හා ඉන්දියාව ඇහැගහගෙන සිටි නිසා ඒව ලේසි වුනේ නෑ.

      දකුණෙ අපි මුහුනදීපු භීෂනය ලෝකෙ කිසිම ජාතියක් මුහුන දුන්නද කියන එක මට සැකයි. ගෙවල් වලට ඇවිත් පැහැරගෙන ගිහින් වධ දීල මරල පාරෙ පුච්චනව. මේක අවුරුදු දෙකක්ම තිබුන කියන්නෙ භයානක දෙයක්. ලෝකෙ වෙන රටක මෙහෙම පැහැරගන්නා යුගයක් තිබුනද කියල මම නම් දන්නෙ නෑ.

      Delete
    2. දකුණේ සිංහල අපිට දකුණේම ආමි කාරයෝ දුන්න වධ මෙහෙමනම් උතුරේ දෙමළ මිනිස්සුන්ට කොහොම වධ දෙන්ඩ ඇත්ද? ///////////////////////// සාමාන්‍යයෙන් මිනිසුන් වඩාත් කුරිරු වන්නේ තමන් ගේ ජාතියේ අයටය​. කොටි විසින් අල්ලාගත් යුද හිරකරුවන් කීප දෙනෙකුට මම ප්‍රතිකර කල​. ඔවුන් කිය්න පරිදි කොටි වඩාත් වද දුන්නේ සිංහල හිරකරුවන්ට වඩා දෙමල හිරකරුවන්ට

      Delete
  7. 1988-89 බිහිසුණු යුගයේදී අප රටේ වදකාගාර පවත්වාගෙන ගොස් ඇති බව ඔබ බොහෝ දෙනෙක් අසා ඇති බව විශ්වාස කරමි. "එළියකන්ද" හෙවත් "K-Point" යනු මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙවැනි එක් වදකාගාරයකි. K-Point (Kill Point) යනු මෙම වදකාගාරය පවත්වාගෙන යනු ලැබු පුද්ගලයින් විසින් (කතුවරයාට අනුව එවකට ලංකාවේ හමුදාව) එය හදුන්වන ලද නාමයයි. එළියකන්ද වද කදවුර නමැති කෘතියෙන් එහි කතුවරයා වූ රෝහිත මුණසිංහ , එම වද කදවුරේදී ඔහු ලද අත්දැකීම් විස්තර කරයි. නවකතාවක් ශෛලියෙන් ඉදිරිපත් කර ඇති මෙම කෘතිය කියවනවිට ඔබගේ ශරීරය කිලිපොලා යනු නොඅනුමානය. මක් නිසාද යත් එහි විස්තර කර ඇති ඇතැම් කරැණු මා අසා ඇත්තේ "අවීච මහා නරකාදිය" ගැන කියවන විටයි. මෙම පොත කියවූ මට ඇතිවූ එක් ගැටළුවක් නම්, මෙම වදකාගාර වල සිටි සිරකරුවන් (JVP කාරයින් හා කතුවරයාට අනුව JVP එකට කිසි සම්බන්ධයක් නැති අයවලුන්) කතුවරයා විස්තර කරන ලද නොයෙකුත් වද බන්ධන කෙසේ ඉවසා සිටියේද යන්නයි. මා මෙම කෘතියෙහි දකින විශේෂිත කරුණක් නම් මෙහි කතුවරයා මෙම කෘතිය රචනා කිරීමේදී බොහෝවිට කිසිවෙකුටත් කඩේ නොයා (විශේෂයෙන් JVP එකට) ද්වේශයෙන් තොරව මැදහත් භාවයකින්මෙම කෘතිය රචනා කර තිබීමයි. කතුවරයා සිය පෙරවදනෙහිද ඒ පිළිබඳව සටහන් කර ඇත. ත්‍රාසය, භීතිය පිරි නවකතා කියවවීමට හෝ එම වදකාගාර පිළිබඳව දැනගැනීමට කැමති නම්, සත්‍ය සිද්දීන් මත පදනම්ව රචනා කර ඇති සරසවි ප්‍රකාශනයක් වන එලිකන්ද වද කදවුර නම් වූ මෙම පොත කියවන්න.

    ReplyDelete
  8. එවකට එනම් මීට අවුරුදු විසි පහකට පෙර ගන්ධබ්බයා (එකල වෙනත් නමක් භාවිතා උවද පහසුව සඳහා ගන්ධබ්බයා ලෙසම නම් කෙරීමි) දාහත් හැවිරිදි වියේ පසුවිය. ඔහු ගේ පියා උළු ෆැක්ටරියේ කම්කරුවෙකු විය. අම්මා රැකියාවක් නොකල අතර ඇය අක්කරයක පමණ වූ ගෙවත්තේ එළවලු වගාකර ඉරිදා පොලට එන මුදලාලිලාට විකුණා ඔහුගේත් නංගීගේත් වියදම් ගැන බැළුවාය. පාසැලේ එකොලොස්වන ශ්‍රේණියේ ඉගැනුම ලැබූ ගන්ධබ්බයා පාසලේ දීප්තිමත් ශිෂ්‍යයකු නොවූවද ඉගැනුමෙහි හා බාහිර ක්‍රියාකාරකම් වලදී දක්ෂතා දැක්වූ ශිෂ්‍යයකු විය. පාසැල් අවසන් වී සවස් කාලයේදී මවගේ එලවලු වගාවට උදව් පදව් කිරීම ගන්ධබ්බයා විනෝදාංශයක් කොටගත්තේ ඉන් තමන්ටත් දොළොස් හැවිරිදිවූ නැගණියටත් උගැණුමට අත්වැලක් වන නිසාමය. එක්තරා දිනෙක සියල්ල වෙනස් කල දිදුවීම සිදුවිය. නිමල් යනු ගන්ධබ්බයාගේ පන්තියේම ඉගෙනගත් ඔහුගේ මිතුරෙකි. ටික දිනක පටන් නිමල් ගේ හැසිරීමෙහි වෙනසක් ගන්ධබ්බයාට නොදැනුනා නොවේ එහෙත් එය ඔහුගෙන් අසන්නට තරම් අවශ්‍යතාවයක් ගන්ධබ්බයාට නොතිබිණ. එදා පාසැල ඇරී නිවසට එන ගමන් නිමල් රහසින් මෙන් ගන්ධබ්බයාට පැපසූ දෙය සියල්ල කණපිට පෙරලන්නට තරම් විය. “මචං අද පොඩි වැඩක් තියෙනව අද හවස පුළුවන්නම් වරෙන්” “මොනව ගැනද?” “රටේ දැං සිද්දවෙන දේවල් ගැන තමයි, විස්තර ආවම කියන්නම් හවස හතර වෙන කොට තොටුපොල ගාවට වරෙන් මම එතැන ඉන්නවා, නොවැරදීම වරෙන්” නිමල් කලේ ඉල්ලීමක් ද නියෝගයක් දැයි එකවරම ගන්ධබ්බයාට වෙන්කරගත නොහැකි උවත් ඔහුට එරෙහි විය නොහැකි ලෙස තමා අවනත කරගැනීමට මිතුරා සමත්ව ඇතිබව ඔහුට වැටහින. නිවසට පැමිණි ගන්ධබ්බයා දෙවරක් නොසිතාම මිතුරා කියූ වේලාවට නාන තොටුපොල වෙත ගියේය. ඒ වන විටත් නිමල් සහ තමාගේ පන්තියේ උන් තවත් සගයන් හතර දෙනෙකුත් එම ස්ථානයට පැමිණ සිටියහ. නිමල් ඔවන් සියළු දෙනාටම තමා පසුපස පැමිණෙන ලෙස දන්වා සිටී අතර ගන්ධබ්බයා සහ අනෙක් සියළු දෙනා කිසි කථාබහකින් තොරව නිමල් පසුපස යන්නට විය. ලඳු කැලය තුල විනාඩි විස්සක පමණ ගමනකින් පසු ඔවුන් ගල්තලාවකට සේන්දු වූ අතර එහි කෙළවරක වූ විශාල නුග ගස යට තවත් හත් අට දෙනෙකුගෙන් යුත් පිරිසක් විය. ඔවුන්ද තමන්ගේ වයස හා සමාන වයස් වල උන් පිරිසක් බව ගන්ධබ්බයාට නිරීක්ෂණය විය. මේ දෙපිරිසම එක්වූ පසු එතැන දොළොස් දෙනෙකුගෙන් සමන්විත විය, ඔවුනොවුන් අතර වැඩි කථාබහක් නොවුන අතර යමකුගේ අතෙහි පොත් පත් කිහිපයක් තිබෙනු ගන්ධබ්බයාට දැක ගන්නට හැකිවිය. කාලය මිනිත්තු කිහිපයක් ගතවන විට ලඳු කැලය අතරින් තවත් දෙදෙනෙකුගේ රුව මතු විය. තමන්ට වඩා අවු 8 ක් 10 ක් පමණ වැඩිමහළු යැයි කිව හැකි මොවුන් සැබෑ වයසට වඩා පෙනුමින් වයස්ගත අයවලුන් විය. මුහුණ පුරා අපිලිවලට වැවු රැවුල, කාලෙකින් පනාවක නොගැටුනු හිසකෙස් සහ අන්ඩ දමා තිබූ කලිසම සහ කමීසය මෙම පෙනුම ඇති කරන්නට ඇතිබව ගන්ධබ්බයාට වැටහිණ. සියල්ල කෙසේ අපිලිවෙල උවත් ඔවුන්ගේ තීක්ෂණ බැල්ම මොවුන් සියළුදෙනා තිගැස්මට ලක්කරන්නක් විය. පසුව පැමිණි අමුත්තන් දෙදෙනාගෙන් අයෙකු මුලින්ම කථාකරන්නට විය. “සහෝදරවරුණි, අප සමග එකතුවන්නට පැමිණි ඔබ සියලුදෙනා සාදරයෙන් පිලිගනිමු. එදා අප අතීත සහෝදරයන් අතින් සිදුවු ඒ අයිතිහාසික වැරැද්ද නිවරදි කරලීම අප සියළු දෙනා උරමත පැටවූ දැඩි වගකීමක්. මක්නිසා ද යත් මේ අධම පාලන පැලැන්තිය විසින් පීඩනයට පත්කර සිටින නිර්ධන පංතිය වෙනුවෙන් ........... ......................................................................................................................................................................................................... ඉතින් මේ භාරදූර වගකීම මේ සහෝදරවරු සතුයි. අප දිවි දෙවනුකොට මාතෘභූමිය රැකගත යුතුයි” ආකර්ෂණීය ලෙස විනාඩි හතලිස්පහක් පමණ කාලයක් සිදුකල ඔහුගේ දෙසුම ගන්ධබ්බයා අසා සිටියේ ධ්‍යානයකට සමවැදී සේය. එය ඒ තරම්ම සිත්ගන්නාසුළු විය. අවසානයේ තම දිවි දෙවනු කොට මව්බිම රැකගනිමු යන අදහස සියලුදෙනාගේ සිත්තුලට කාවද්දන්නට මේ අසිරිමත් දේශකයා සමත්ව තිබිණ. ඉන්පසු පැමිණ සිටී අයවලුන් අත තිබූ පොත්පත් කිහිපය එකිනෙකා අතර හුවමාරු කරගත් අතර ගන්ධබ්බයාට ද ඉන් එක් පොතක් ලැබිණ.

    ReplyDelete
    Replies
    1. නිවසට පැමිණි ගන්ධබ්බයා තමන්ට ලැබුණු රුසියානු නවකථාවක සිංහල පරිවර්ථනයක් වූ එම පොත එක හුස්මට කියවාගෙන ගිය අතර මද දුරක් කියවද්දී එහි ප්‍රධාන චරිතය තමන්ට ආරූඩ කරගන්නට විය. තම දෙමව්පියන්, සොයුරු සොයුරින්, පෙම්වතිය යන සියළු දේ අතහැර විප්ලවය වෙනුවෙන් පෙනීසිටින තම අරමුණ වෙනස් නොකරමින් ඒ වෙනුවෙන්ම කැපවී අවසන විප්ලවය වෙනුවෙන්ම දිවිපුදන චරිතයක් ඇතුලත් කථා පුවතක් එම පොතෙහි විය. දැන් තමා නව පනක් ලද්දකු බව ගන්ධබ්බයාට වැටහිණ මේ සියල්ලට වඩා මාතෘභූමිය බේරාගත යුතුයි. අසිරිමත් දේශකයාගේ වදන් ඔහුහේ සිතේ රැව් පිළිරැව් දෙන්නට විය. දැන් ගන්ධබ්බයා එළවලු කොරටුවට යන්නේ කලාතුරකිනි. වැඩි සිනහවක් නොමැති ඔහුගේ මුහුණ නිතරම බැරෑරුම් ස්වරූපයක් දිස් වන්නට විය. එහෙන් මෙහන් වැවුනු දැලි රැවුල කපාගනින් යැයි තාත්තා විටින් විට කීවද ඔහු එය නෑසූ කන්ව හිදි. පාසැලේ අධ්‍යයන කටයුතු ආවාට ගියාට සිදුකරන ඔහු තම සගයන් සමග රහසින් හුවමාරු කරගත් පොත් පත් පරිශීලනය කිරීමත්, සතියට වරක් පවත්වන ගල්තලාවේ දේශණයට සහභාගී වීමත් ඉතා උනන්දුවෙන් සිදුකරන ලදී. කාලය දෙමසක් පමන ගතවන්නට ඇත. දිනක ගල්තලාවේ දේශණය අවසානයේ ගොනි පඩංගුවකින් ඔතන ලද පත්‍රිකා ඔවුන් වෙත දී, එදින රාත්‍රී කාලයේ කඩමණ්ඩියෙත් පාසැලෙත් පංසල අවටත් ඒවා සූක්ෂම ලෙස අලවන ලෙස දේශකයන් වූ සහෝදරවරුන් විසින් මොවුන්වෙත උපදෙස් දෙන ලදී. එම පත්‍රිකාවල සඳහන් වූයේ පාලක පන්තියට එහිව ලියන ලද සටන්පාඨයන්ය. එදින රාත්‍රියේ ඉතා පරීක්ෂාවෙන් යුක්තව සහෝදරයන් විසින් පවරන ලද කාර්යය ගන්ධබ්බයා සහ පිරිස ඉතා සාර්ථකව ඉටුකරන ලදී. ටික දිනකින් පාසැලේ සිසුන් සහභාගී කර ගෙන උද්ගෝෂණ ව්‍යාපාරයක් ද, “කොළඹට කිරි අපිට කැකිරි”, “මවුබිම නැතිනම් මරණය”, “ මිණීමරු -- ගෙදර පල” වැනි සටන්පඨ වලින් පාසැලේ බිත්ති සරසන්නටද මොවුන් පිරිසට හැකිවිය. මේ කරුණු කටයුතු හේතු කොටගෙන තමන්ද මව්බිම දුෂ්ඨ පාලක පන්තියෙන් ගලවාගැනීම වෙනුවෙන් සටන්කරන සටන්කරුවකුයි යන හැඟීමක් ගන්ධබ්බයාට විය. “සහෝදරවරු හෙට උදේ හතට මෙතැනට එන්න ඕන සතියක වැඩමුළුවක්” දිනක් ගල්තලාවේ දේශණය අවසන් වූ විට ගන්ධබ්බයා ඇතුළු තවත් කිහිපදෙනකුට සහෝදරවරු පැවසීය. දැං දෙමව්පියන්ගේ කීමට අවනත නොවන ගන්ධබ්බයාට ඒ කුමටදැයි අසන්ට අවශ්‍ය නොවීය පසුදා පාන්දර හත වන විට සතියකට අවශ්‍ය කරන කලමනා සහිතව සියළු දෙනා ගල්තලාව මතවිය. ඔවුන් කැටිව යන්නට පැමිණි සහෝදරයාගේ මග පෙන්වීම මත ඔවුන් තවත් පැය එකහමාරක පමණ කාලයක් කැළය තුලටම ගමන් කරන්නට විය, ඉන්පසු එලැඹියේ වනය තුල වූ එලිමහනකටය. එතැන ගන්ධබ්බයාට නැවුම් අද්දැකීම් ගෙන එන තෝතැන්කක් විය, ඇත්තෙන්ම එතැන සටන් පුහුණු භුමියක් විය. සගැවී සිට යමක් නිරීක්ෂණය කරන ආකාරයත්, කටු අකුල් වගුරුබිම් ආදිය තරණය කරණ අයුරුත් කම්බි වැටවල් කිසිවෙකුට හසු නොවන සේ කපාදමන අයුරුත්. සගවී සිට සතුරු ඉලක්ක වලට පහර දෙන අයුරුත්, දිගු වේලාවක් ජලය යට හුස්ම අල්ලා සිටින්නටත්, පුහුණු කරණු ලැබීය. දින දෙකක වෙහෙසකර පුහුණුවකින් පසු එළැඹි තුන්වන දිනය අවි පුහුණුව සඳහා වෙන්විය. ජීවිතයේ පලමුවරට ගිණිඅවියක් අතගෑ ගන්ධබ්බයා ඉලක්කයට වෙඩිතබන්නට පුහුණුවිය. සතිය අවසානයේ ඔවුන් සියඵ දෙනා නැවතත් නිවෙස් බලා ආවේ ඕනෑම හදීසි කැඳවීමකදී ඹවුන්හා එක්වන බලාපොරොත්තුවෙනි.

      Delete
    2. මෙසේ සති කීපයක් ගත විය. ගන්ධබ්බයා දැන් පාසැල් යන්නේ සංවිධානයේ තොරතුරු දැනගැනීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත්ය. පාලක පන්තියේ මර්ධනයද මේ වන විට උත්සන්න වෙමින් පැවතිණ, කෙසේ උවත් තම සංවිධානය මහින් කරනලද පහරදීම් ගැන නිතර ගුවන්විදුලියෙන් අසන්නට ලැබූ ගන්ධබ්බයාගේ සිතට සිහින් සතුටක් එක්විය. දිනක් හවස කඩමණ්ඩියට ගොස් නිවසට පැමිනෙන ගන්ධබ්බයාට නිවස අසල කිසිවකු රැදී සිටිනා බව දක්නට ලැබීය. කවුරුන්දැයි හදුනාගන්නට නොහැකි ලෙස ඔහුගේ මහුණ සහ ශරීරය ගෝනියකින් ආවරණය කරතිබිණ. තමා නිවසෙහි කඩුල්ල ලගට පැමිණෙන විට මේ ගෝනියක් පැළඳි මිනිසා හිස ඉහලටත් පහලටත් වනන්නට විය. ගතවූයේ නිමේශයකි අවට ගස් සහ පඳුරු අතර මුවාවීසිටී කිහිපදෙනෙක් පැන එකවරම ගන්ධබ්බයා ග්‍රහණයට ගත්තේය. ගන්ධබ්බයාගේ කාමරය දෙවනත් කල ඔවුනට සංවිධානය විසින් දෙන ලද පොත් පත් කිහිපයක්ද රාත්‍රියේදී අලවන්ට දුන් පත්‍රිකා මිටියක් ද හසුවිය. ගන්ධබ්බයාගේ දෑත් පිටුපසට කර ගැටගැසූ ඔවුන් ජීප් රථය තුලට ඔහුව දමා රැගෙන යන ලදී. තම මවත් නැගණියත් විලාප දෙනවා ගන්ධබ්බයාට ඇසිණ. එහෙත් ඒ හඬ ඔවුන්ගේ දෙසවන් වලට නොවැකුණා මෙන් විය. ජීප් රථය තුල දී ඇති පදම් පහර කෑ ගන්ධබ්යා ඉන්පසු පාළු ඉඩමක මැද තිබූ ගොඩනැගිල්ලක් තුලට ගෙන එනු ලැබීය. ඉන්පසු එළැඹියේ ප්‍රශ්නෝත්තර වටයයි. තමන්ගේ සංවිදායේ මේ දිනවල සැලසුම් කරන්නේ මොනවාද? සංවිධානයේ නායකයින් කවුද? අවි ආයුද තිබෙන්නේ කොහිද? මේ පොත්පත් ලබාදුන්නේ කවුද? පත්‍රිකා ලියන්නේ කවුද? ඒවා අලවන්නේ කුමකටද? මෙකී නොකී බොහෝ ප්‍රශ්ණ ඔහුගෙන් අසනු ලැබීය. පිළිතුරු නොදෙන වාරයක් වාරයක් පාස එල්ලවූයේ පොලු ප්‍රහාරයන්ය. නැත්තම් කස ප්‍රහාරයක්ය. ඒ බොහෝ ප්‍රශ්ණවලට පිළිතුරු ගන්ධබ්බයා නොදැන සිටී අතර දන්නා ඒවාටද පිළිතුරු නොදී මුණිවත රකිනුයේ තම සගයන් පවා නොදීමේ උදාරතර හැඟීම පෙරදැරි කරගෙනය. පහරකෑම් වලින් අනතුරුව පිළිතුරු ලබානොදුන් බැවින් ගන්ධබ්බයා ඊලග කාමරය වෙත ගෙනයනු ලැබීය. සීතල සිමින්ති පොවේ වැතිර සිටී ගන්ධබ්බයාගේ සියොලගම රිදුම් දෙන්නට විය තමන්ගේ අතපය තමන්ට වාරු නැතිවග ඔහුට දැනේනට විය. පිපාසය ඔහු කරා ආ අතර නින්ද අහලකටවත් නොවීය. පසුදිනට පහන් විය මුලින්ම ජල ප්‍රහාරයකින් දිනය ඇරඹිණ, ගන්ධබ්බයාගේ කකුල් වලට පිටුපසින් පොලුකැබැල්ලක් තබා දෑත් එම පොළු කැබැල්ලට පිටුපසින් ගෙන කකුල්වල වලලුකර අත්වල මැණික් කටුත් එකට එක් කර තදින් ගටගසනු ලැබීය. දැන් ඒ පොලු කැබැල්ල දෑත් සහ දෙපා අතර සිරවී ඇත. ඉන්පසු හැඩිදැඩි උන් දෙදෙනෙකු විසින් එම පොලු කැබැල්ල ඔසවා දෙපසින් බාල්ක දෙකක එල්ලල ලදී. දැන් ගන්ධබ්බයා වවුලෙකු මේන් එල්ලී ඇත. ඔහුට එකවරම හැඩුම් ආයේය. ඇතිවන වේදනාව නිසා කෑගන්නට විය, නමුත් ගැලවීමක් නොවින. එක පිට එක එල්ලවූ කස පහරවල් ඔහුගේ පිට පුපුරුවා රත්පැහැ කරන්නට විය. පැයක පමණ සංග්‍රයකින් පසු නරුමනයන් නැවත ප්‍රශ්ණකරන්නට විය. එහෙත් ගන්ධබ්බයාගෙන් සුභවාදී පිළිතුරක් නොලැබිණ. තවත් දිනක් උදාවිය එදින තම කුටියට ආ නරුම රැල ඔහු නිරුවත් කලේය. දන ගසාගෙන හිස බිමට තබාගන්නට අණකළේය අණට කීකරු වනවා හැර විකල්පයක් නැත. දැන් ඔහුගේ පශ්චාත් භාගය ඉහලය හිසත් දණහිසත් පොලව මතය. නරුමයකු අතවූයේ අඟල් අටක් පමණ දිග තුන්කාලේ පීවීසී බටයකි හේ එම බටය ඔහුගේ අධෝ මාර්ගයෙන් අතුල් කරන්නට විය. ගන්ධබ්බයාට මහත් වේදනාවක් දැනිණ ඔහු කෑගසන්නට විය. එහෙත් ඔවුන්ගෙන් ලැබුනේ වියරු සිනහවක් පමණී. තවත් නරුමයකු අත කටුකම්බියක් විය ඔහු එම කටුකම්බිය බටය තුලින් ඇතුල් කර එකවරම බටය ඉවතට ඇද්දේය. වයස අවුරුදු දාහතක් වූ ගන්ධබ්බයාට බිව් මවිකිරි සිහිවිණ. දැසින් කඳුලු වැගිරිණ. ඔහු හිස පොලෙවෙහි ගසමින් වේදනාව පිටකරන්නට විය. නරුමයා සිනහසෙමින් කටුකම්බිය කරකවන්නට විය. ගන්ධබ්බයා සිහි සුන්වී සිමෙන්ති පොවමත ඇද වැටිණ. දින කීයක් මෙතැන ගතකලාදැයි ගන්ධබ්බයාට මතක නැත. දිනක් රාතියේ තමන් ලොරියකට නංවාගන්නවා ගන්ධබ්බයාට අසිහියෙන් මෙන් මතකය ගල් ගොඩැලි වංගු සහිත මාර්ගයක් දිගේ ලොරිය ගමන්කරයි වදකාගාරයේ වූ අධික රස්නය වෙනුවට දැඩි සීතලක් දැනෙන්නට විය. “බැහැපියව්” ලොරියෙහි තමා පමණක් නොව තව බොහෝ පිරිසක් ඇතිබව දුටුවේ එවිටය. සියළුදෙනාගේම දෑත් ලණුවකින් එකිනෙකට ගැටගසා තිබිණ. “යමව්” ඉදිරියේන් ගමන්ගත් නරුමයාගේ පසුපසින් ඔවුන් ඇදෙන්නට විය වධක බන්ධනයන්ගෙන් හෙම්බත්ව සිටී ඔවුන් ඇද වැටෙමින් කඳුකර අඩිපාරක ගමන් කරන්නටවිය.

      Delete
    3. පැයක පමන කාලයක ගමනකින් පසු ඔවුන් කඳු මුඳුනට ලඟා විය. ළඳු කැලෑ පෙදෙසක් වූ මේ බිම තැනක හාරන ලද විශාල වලක් විය ඔවුන් සියළු දෙනා වල අසලට රැගෙන ගොස් වලට මුහුණලා දනගස්වන ලදී තමාගේ ගෙල පිටුපස සීතල යකඩ බටයක් වදිනවා ගන්ධබ්බයාට දැනිණ. තමා මුහුණදුන් වද වේදනා සියල්ලහි වේදනාව හදට දැනෙන්නට විය සීතල රාත්‍රියේ නිරුවත් සිරුරින් දහඩිය පිටවන්නට විය. ඉබේම පිටවූ මුත්‍රා තම දෙපාදිගේ බේරෙනවා ගන්ධබ්යාට දැනිණ. නරුමයාගේ අතඇති අවියේ කොකා ගැස්සෙනවා ඇසින. සියල්ල නිමාවිය, ඒ සමගම දැඩි සහැල්ලුවක් දැනෙන්නට විය. සැබෑ ගන්ධබ්බයා ඉපැදින. වසර විසිපහක්ම ඔඹමොඹ සැරිසැරූ ගන්ධබ්බයා නැවතත් තමන් මරා දැමූ තැනට පැමිණ ඇත. ගන්ධබ්බයාගේ නෙතට කඳුලක් නැගිණ. රූපවාහිණි කුළුනෙන් නික්මුණු ගන්ධබ්බයා ඈතට පාවියන්නට විය. “මේ පාදඩ භූමියෙහි යලි කිසිදිනක නූපදීවා..” ඒ ගන්ධබ්බයාගේ අවසන් පැතුම විය.

      Delete
    4. විශිෂ්ට නිර්මානයක්. මට ජේවීපී එක පේන්න බැරි දැවැන්ත හමුදා යාන්ත්‍රනයකට එරෙහිව කටේ කිරි සුවද නොගිය නිරායුධ මුග්ධ තරුණයන් යෙදවීමයි. මොවුන්ට සැබවින්ම අවශ්‍ය වුනේ කැපී පෙනීමත් කන්ඩායමක් අතරින් තමන් තෝරාගැනීමේ ආඩම්බරයත්ය. උදේට ඉස්කෝලෙ ගොස් රෑට ගෙදරට බොරු කියා කල්ලියට එක්වී රාත්‍රී කාලයේ මුරසංචාරයේ යෙදෙමින් පෝස්ටර් අලවමින් ජනතාව බිය වද්දමින් ඔබ මොබ යන පාසල් සිසුවා මවුකිරි සිහිවන්නෙ කටුකම්බිය ගුද මාර්ගය දිගේ යනවිටය.පී වී සී බලට එලියට ගන්න විට කටුකම්බිය අග මසට තදින් කා වැදේ. බොහෝ විට වේදනාවෙන්ම මියයයි.

      ජවිපෙ නායකයෝ මේවා දැන නොසිටියා නොවේ. ඔවුන්ට අවශ්‍ය වුනේ මේ මිනීත් වෙන්දේසි කිරීමටය.මේ සිසුන් සන්නද්ධ හමුදා ඉදිරියට තල්ලු කළ ජවිපෙ නායකයන් වධකාගාරවල වධ දුන් නරුමයන්ටත් වඩා නරුමයන්ය.එල් ටී ටී ඊ යේ මෙන්ම ජේ වී පී යේද පෙරමුනු බලකාය කිරිබොන එවුන්ය. ප්‍රේමදාස බේත ලොකු පොඩි හැමෝටම අඩු නැතිව දුන්නේය. සිරිම බල්ල බැදල දැම්ම. ජේ ආර් බල්ල ලෙහෙල දැම්ම. ප්‍රේමදාස බල්ල මරල දැම්ම කියා කියමනක් ඇත. ඇත්තටම ජේ ආර් එදා බල්ල ලෙහුවෙ නැත්නම් මේ කතාවෙ එන ගන්ධබ්බයා වැනි මුග්ධයන් කී දෙනෙක් අදත් ජීවත් වෙනවාද


      ඉන්දියන් හමුදාව දකුනට ගෙන්වාගෙන ඔවුන් ලවා අපරාධ කරවාගෙන එකම විකල්පය බවට පත්වීමේ සිහිනයක් විය. එහෙත් ජනතාවට ඉන්දියාවටත් ප්‍රේමදාසටත් වඩා ජවිපෙ එපා වී තිබිණි. ඒ ජවිපෙ ආන්ඩුවක් ආවොත් ඇතිවන අන්තනෝමතික පාලනය ගන සවිඥානක වී නොවේ. කෙලවරක් නැති ජවිපෙ මිනීමැරුම් හා දේපොල විනාශය නිසාය.

      Delete
    5. පී වී සී බටය එලියට ගන්න විට කටුකම්බිය ඇග මසට තදින් කා වැදේ // ලෙස නිවැරදි විය යුතුය. මේ වධයට ලක්වූවකුට බේරී ගියත් දවස් දෙක තුනකට වඩා ජීවත්වීමට නොහැක.

      Delete
    6. ඒ "ගන්ධබ්බයකුගේ පෙළ මතක් කිරීම" නම් කෙටිකතාව ලියුවේ විදානේ ය.

      මෙන්න එතැනට පාර-
      http://cvpsur.blogspot.com/2014/03/blog-post_31.html

      Delete
    7. පුදුමේ කියන්නේ මේ ගන්ධබ්බ කතාව වෙන තැනක කියෙව්වා ටික කාලෙකට කලින්. විදානේගේ බ්ලොගයෙන් ගත්ත කියල දන්නේ නැහැ. මිනිස්සු එම වගේ නිර්මාණත් හොරකම් කරන්නේ මොකද කියල තේරෙන්නේ නැහැ.

      Delete
  9. මේ ලඟදි ජනාධිපති ආරක්ෂක සේවයේ ජීප් එකක් බස් එකක හැපුනා කිව්වාම අවංකවම දුක හිතුනු අය අත උස්සමු බලන්න.

    ReplyDelete
  10. අත්අඩංගුවට ගත් ජවිපෙ සැකකරුවන් 200ක් පමණ රඳවා සිටි කඳවුරක් පාලනය කලෙමි. එකෙකුවත් නොමැරුවෙමි. කම්මුලට ගැසුවෙමි. මිටමොලවා බඩට ඇන්නෙමි. තරුණියන් 20 ක් පමණ සිටි අතර ඒ අය වෙනුවෙන් කාන්තා නිලධාරිනියක් සහ සෙබලියන් යෙදෙව්වෙමි. කිසිදිනක අත් පා බැඳ තලා ලේ නොසෙල්වුයෙමි. දෙදෙනෙක් අතුරුදන් කළ බවට චෝදනා නගා මා හතරවැනි තට්ටුවට ගෙනගියත්, එම දෙදෙනා පොලීසියට භාරදුන් බව පොලිස් පොතෙන්ම ඔප්පු කලෙමි. මේ සියල්ල සත්‍ය බව අද වුවද මගේ දරුවන්ගේ, බිරිඳගේ හිස අත තබා, මා කියන්නේ බොරුවක් නම් ඔවුන්ගේ ඇස් ඉදිරිපිට මා තිරිසනකු මෙන් මියයෙවා කියා දිව්රුම් දිය හැකිය.

    ReplyDelete
    Replies
    1. 88-89 භීෂණය රජ කල ... අරාජික කාල වකවානුවේ, ඔබ වන් (දෙවියන් වන් නිලධරුවන්) සිටි බව, සියසින්ම දුටු සහ අවන්කවම ..... එවැන්නෙකුගෙන් ජීවිත දානය ලැබුවෙකු ලෙස ඔබ වෙත මාගේ ප්‍රනාමය..... විචාරක මහතානෙනි.

      Delete
    2. විචාරක මහතානෙනි ඔබලා වැනි සංවේදී යහපත් නිලධාරීන් වැඩිපුර නොසිටි නිසා තමයි ආමි ජිනේලා , ආමි සම්පත්ලා හමුදාව තුලින්ම බිහි උනේ. ඔබ තුල තිබෙන ආධ්‍යත්මික ගුණය සහ සාහිත්‍යකාමීත්වය විසින් ඔබව හරි පාරේ යැව්වා. නමුත් සමහරුන්ට ඒ වාසනාව තිබුනේ නැහැ

      Delete
    3. ඔබ මේ කතාව නොකිව්වත් කාලයක් ඔබව සයිබරයේ ඇසුරු කර ඇති අපට ඔබගේ සොභාවය ඉවෙන් මෙන් දැනේ.ඔබ සාහිත්‍යකරුවෙක් හොඳ රසිකයෙක් මෙන්ම යම් මට්ටමක ප්‍රාඥයෙකි. ඔබට මිනීමරන්න බැරි බව අප දනිමු.
      ඔබ වැනි උදාර නිළධාරීන් අතලොස්සක් එදා සිටියහ. සමහරු මිනීමැරිල්ලෙන් බේරුනේ ඉතා අමාරුවෙනි. මන්ද දේශපාලන හා හමුදා නායකත්වය ලේම ඉල්ලා සිටි බැවිනි.

      Delete
    4. මුළු හමුදාවක්ම මිනීමරු කියල නම් කරන්න බැරි එකයි. එසේම ඔය වධකයෝ පවා අප අතරින් පැමිණ අප අතර ජිවත් වන උදවිය බව හිතෙන කොට භය හිතෙන්නේ නැත්ද?

      Delete
    5. සෑම හමුදාවකම වීරයන් මෙන්ම පරපීඩක ඝාතකයන් සිටිති

      Delete
  11. 88/89 භීශන සමය ගැන මගේ අදහස් මෙබදුය. මෙම කැරැල්ලේ මූල බීජ වැටුනේ ජවිපෙ 1985 වන විට ආයුධ සන්නද්ධ වීමට ගත් තීරණය නිසාය. ජේ ආර් විසින් ජවිපෙ කැලයට තල්ලුකළ බව මෙහි ජනප්‍රිය තර්කයයි. එහෙත් 1983 කලු ජූලියේදී බොරු චෝදනා නගා තහනම් කළේ ජවිපෙ පමනක් නොවේ. තවත් වාමාංශික පක්ෂ තුනක් තහනම් විය. එහෙත් රජයේ අවශ්‍යතාවය වුනේ ජවිපෙ තහනම් කිරීම බවත් ඔවුහු කියති.මෙම තර්ක වල පදනම යම් අනාගත ප්‍රතිපලයක් උදෙසා හේතු නිර්මාණය කිරීමයි. ජවිපෙට කැරලි ගැසීමේ අවශ්‍යතාවය විය. එජාප රජයේ ක්‍රියාකලාපය ඉබ්බා දියට දැමූ විට ඇන්නෑවේ කීමකි. බුද්ධිමත් අයනම් කළ යුත්තේ රජය තමන් මර්ධනය කරන අදහසින් කැලයට තල්ලුකරන විට හැකි වෙර දරා කැලයෙන් එළියට ඒමයි.1994 දී ජවිපෙ කැලයෙන් එළියට ආවේද මෙසේය.නමුත් ජවිපෙ තවතවත් කැලයේම බින්න බහින්නට විය. ජවිපෙ කැලෑ රුචිය මුල සිටම විය. එහෙත් දිගුකාලීන ගරිල්ලා සටනකට අවශ්‍ය ඇමේසන් වනය වැනි කැලෑ ලංකාවේ නැත. ලංකාවේ ගරිල්ලා සටනක් කිරීමට සිතන්නේ ඉතාම මුග්ධ පටු කල්පනා ඇති අයයි. අවුරුදු 16 ,17, 18 නොමග යන අවයසේ කොල්ලන් රැවටීමට ජනප්‍රිය තර්ක කිහිපයක් වෙයි. කියුබාවේ විප්ලයවය කළේ 60 දෙනෙකුගෙනි .අපට 61 ක් සිටී ඉතන් අපට විප්ලව තොග සහ සිල්ලාරට කළ හැක. සැන්සිබාරයේ කරුමේ සහෝදරයා මාත් සමග ලුමුම්බා විශ්ව විද්‍යාලයේ උගත් ආය්කේ. ඔහු ගෙදර යන ගමන විප්ලවයක් කළේය. මේ කතා ඇත්තද. කියුබාවේ බැටිස්ටා යටතේ ශක්තිමත් හමුදාවක් නොවීය. දකුණු ඇමරිකාවේ සිය ගැත්තන්ගේ දුර්වලකමත් කොමියුනිස්ට් රැල්ලත් දුටු ඇමරිකාව ලහි ලහියේ ඔවුන්ගේ හමුදා පුහුණු කරන්නට විය. කස්ත්‍රෝ ඉස්සර විය. ඇත්තෙන්ම කස්ත්‍රෝ සටන් කළේ දුර්වල හමුදාවක් සමගය. සැන්සිබාරයේ තත්වය ඊටත් වෙනස්ය. එහි තිබුනේ කුඩා පොලිස් හමුදාවකි. කරුමේට රාජ්‍ය බලය අල්ලා ගැනීම කජ්ජක් නොවීය. ඒ හැර විදේශ සහාය නැතිව ලොව කිසිම රටක විප්ලව සිදුවී නැත. වියට්නාමය ,කාම්බෝජය ,ලාඕසය ට චීන සහායද මධ්‍යැ ආසියානු සහ නැගෙනහිර යුරෝපා රටවලට රුසියානු සහායද ලැබුනි. ඇත්තටම නැගෙනහිර යුරෝපයේ රටවල් හිට්ලර්ගෙන් මිදුනේ රුසියානු ග්‍රහනයටය. රුසියාව එම සියළු රටවල සිය රූකඩ කොමියුනිස් රාජ්‍ය පිහිටවීය. චීනයට පවා රුසියානු සහය ලැබුනි. චියැං කායි ශෙක්ට ඇමරිකානු සහය හිමිවිය. මාවෝ චියැං ට වඩා සාර්ථක විය. පාසල් සිසුන් ට කොක්ක ගැසීම පහසු ඔවුන් සිටින්නේ කැරළිකාර වයසේ නිසාය. ඔවුන්ට ආව්ශ්‍ය නිදහස සංවිධානය තුලින් ලැබේ. නිදහස මතු නොව බලයක්ද ලැබේ.සැබෑවටම ඔවුන් කල්ලියේ ඉහළ නායකත්වයේ අතකොළුය.තමන් බ්‍රේන් වොෂ් කිරීමකට ලක්වන බව ඔවුහු නොදනිති. (පරීක්ෂන නිරීක්ෂන නිගමන)

    ReplyDelete
    Replies
    1. මෝඩ ආතල් සමග ගොන්කතා.
      මහින්දගේ ගූ රස කරකර කාපු සට්ටo රළලා.......දෑන් විප්ලව කල නොකල යුතු ආකාරය ගෑන ටියුශන් දෙනවා.
      හීනමානය අයිබෝo

      මහින්දයට හොරාකියාගන්න කට පනනෑතිව හිටපු පොන්නපෑටව් නේද මේ දේශපාලන විප්ලව ගෑන ටියුශන් දෙන්නේ....අනේ හුකේ.....

      Delete
  12. හමුදාවල සිටින පරපීඩක කාමුකයන්ට ක්‍රියාත්මක වීමට /ඉස්මතුවීමට හැකි පසුබිමක් නිර්මාණය වීම වැළැක්වීම සියළු ශිෂ්ට මිනිසුන්ගේ වගකීමයි.

    ReplyDelete
  13. කොමෙන්ට් ටිකත් එක්ක ඔක්කොම කියවනකොට 'පිස්සු හැදෙනවා'..

    ReplyDelete
  14. මම ප්‍රමාදයි .සංවාදය ගිහින්.
    ඇඹිලිපිටිය සිදුවීම් දාමයේ ප්‍රධානම චරිතය රඟපෑ කැප්ටන්වරයා බුකියෙ ඉන්නවා. ඔහු විදුහල්පතිවරයා හැරුන විට මෙම මහා විනාශයට වැඩිම දායකත්වයක් දැක්වූ තැනැත්තායි.ඔහුගෙ නම මෙම නාටකයෙ මුල සිට අගටම කියවෙනවා. භීෂනය ගැන ඇතිවූ සංවාදයකදී ඔහු කොමෙන්ට් එකක් දමා තිබුන 1989 නොව 2015 ගැන සිතා ඡන්දය දෙන ලෙස ඔහුගේ කොමෙන්ට් එකත් එක්ක සංවාදය වෙනස්ම අතකට පෙරලුනා.සමහරු ඔහුගේ නම හදුනාගත් නිසා.

    පුද්ගලයන් දරුණු අපරාධවලට පෙළබෙන්නෙ සාක්ෂි සගවන්නයි.පවුල් පිටින් මරාදමන අවස්ථාවල මෙය දැකිය හැකියි. ඇඹිලිපිටිය සිද්ධියෙදි සිසුන් තිදෙනෙක් වධ බන්ධන වලට ලක්වීමේදී මිය ගොස් තිබෙනවා. මෙම සාක්ෂිය සගවන්න තමයි ඉතිරි සිසුන් 25 මරල තියෙන්නෙ.උඩුගම්පොල කළුබලල්ලු ගැන ඉදිරිපත් කළ ප්‍රකාශයෙ එසේ සදහන්.

    මේක අපූරුයි. වින්දිතයො ,නරඹන්නො ,අලුගෝසුවො හැමෝම එෆ් බී ඉන්නව. ඉස්සරත් එෆ් බී තිබුනනම් බොහෝ ප්‍රශ්න සාකච්ඡාවෙන් විසදගන්න තිබුන නේද කියල හිතෙනවා

    -අනුර සත්‍යජිත්

    ReplyDelete
  15. අනුර සත්‍යජිත් එකඟයි

    ReplyDelete
  16. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/1146-2015-10-14-19-58-39

    ReplyDelete
  17. It has been a long time since this thread has been active, but just to add my 2 cents to what Wicharaka said above, I was told by a former army officer that most of the army officers who fought fearlessly against the LTTE in the North never participated in these 3rd degree acts of toturing JVP suspects (I have no doubt Wicharaka is such an officer). Mostly those who were 'bayagullas' who wanted to become heroes by treating the JVP suspects in such manner. May be Wicharaka can elaborate on this.

    ReplyDelete
  18. It reminds me the Franz Kafka's short story "In the penal colony" I have read the sinhala translation by T G Karunathilaka in his book "Dandana kandhaura" long time ago.

    ReplyDelete
  19. 88-89 භීෂණ කාලෙ ගැන ළියවුන ‌‌දෙවල් Web අවකාශයේ ඉතාම අවුයි ඒ් සිදුවීම් පින්තූර තියනවනම් Web ඒකට ඒකතුකිරීම ඉතාම වටිනවා. අලුත් පරපුරට දැන ගන්න මට හිතෙන්නෙ හිතාමතාම ඒ්ව අයින් කරලද ‌කොහෙද

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook