Friday, October 30, 2015

අබේබී බිකිලා -අදටත් ඔහු වීරයෙකි








"මට කිරීමට හෝ තෝරා ගැනීමට කිසිවක්‌ ඉතිරිව තිබුනේ නැහැ. අඳුරු මහද්වීපයේ දුප්පත් මගේ මව්බිම වෙනුවෙන් පෞරාණික රෝමයේදී මට ලැබුණු වරම මම ලබා ගත්තා. දුක්‌විඳින ඉතියෝපියානුවන්ගේ ධෛර්යය හා වික්‍රමාන්තික බව ලොවට කීමට මම මෙය අවස්‌ථාව කර ගත්තා."

ඔලිම්පික්‌ උළෙලකදී රනින් ගෙල සරසා ගත් බටහිර අප්‍රිකානු සහරා උප මහාද්වීපයේ [West african Sahara sub continenl] පළමු ධාවකයා බවට පත් වූ කෙසග අබේබී බිකිලා (Abebi Bikila] 1960 ගිම්හාන රෝම ඔලිම්පික්‌ උළලේ දුෂ්කර මැරතන් ඉසව්වේ ජයග්‍රාහකයා වෙමින් එසේ පවසා සිටියේය. ඔහුට එසේ පැවසීමට පාදකවුණු කරුණු කීපයකි. මෙම මැරතන් ඉසව්වට ඉතියෝපියාව වෙනුවෙන් තරග කිරීමට නියමිතව සිටියේ ඔහු නොව වාමි බිරාටු [Wamy Biraatu] නම් ක්‍රීඩකයාය. නමුත් පාපන්දු ක්‍රීඩා කිරීමට යැමේදී ඇතිවූ දරුණු වළලුකර ආබාධය නිසා ඔලිම්පික්‌ සහභාගිත්වය අවසන් මොහොතේදී ඔහුට අහිමි වූ බැවින්, බිරාටුගේ ආදේශකයා වීමට, රෝමයට යැමට සිහිනෙන් වත් නොසිතූ ධෛර්යයමත් අබේබී බිකිලාට හැකි විය. ඔහු අවසන් මොහොතේ ඉතාලිය බලා පියාසර කළේ සමස්‌ත අප්‍රිකානු ක්‍රීඩා ඉතිහාසයටම ලොවට ඉහළින් පියාසර කිරීමේ මාවත විවර කරමිනි. 

රෝමයට පැමිණි අනෙකුත් ක්‍රීඩකයන් හා එකතු වූ නමුත් ධාවන තරග සඳහා භාවිතකරන පාවහන් යුගලක්‌ ඔහු සතු නොවීය. එවර ඔලිම්පික්‌ පැමිණි සියලුම තරග කරුවන්ට ධාවකයන්ගේ කීර්තිමත් පාවහන් වෙළඳ නාමය වන අඩිඩාස්‌ [ Adidas] වර්ගයේ පාවහන් එම සමාගමෙන් හිමි වෙද්දී අවසාන මොහොතේ තරග බිමට පැමිණි බිකිලා වෙනුවෙන් ඔහුගේ පාද හා සැසඳෙන, යෝග්යාය එකදු පාවහන් යුගලක්‌වත් ඒ අතර නොතිබිණි. කුඩා කල තම පියාගේ ගව පට්‌ටියේ නාඹර වස්‌සන් හා කටු අකුල්, ගල් තලා මතින් හා තම උපන් ගම්මානය වූ ජාටෝ හි [Jato] දූවිලි පිරුණු ග්‍රාමීය මාර්ග හරහා දිව ගොස්‌ ඇති ඔහුට සැතපුම් විසිහයක්‌ සහ යාර තුන්සිය අසූපහක්‌ රෝමයේ මග දිගේ තම මව් බිමේ අභිමානය වෙනුවෙන් ධාවනයේ යෙදීමේ අභියෝගය භාර ගැනීමට සිත් විය. 


ඉතිහාසයේ පළමු වරට සියල්ලන් මවිත කරමින් ඔලිම්පික්‌ ධාවකයෙක්‌ පාවහන් නොමැතිව මැරතන් තරගයේ දිව යැම සිදු වූයේ එසේය. එවර ඔලිම්පික්‌ මැරතන් තරගයේ සංවිධානයද සිදුවූයේද අපූරු අයුරකිනි. තරගය පළමු වරට සම්පූර්ණයෙන්ම ප්‍රධාන ඔලිම්පික්‌ ක්‍රීඩා භූමියෙන් පිටත පැවැත්වූ අතරම පෞඪ ඉතිහාසයක්‌ ඇති පෞරාණික රෝමයේ ගෘහ නිර්මාණ ශිල්පය හා ශේ්‍රෂ්ඨත්වය පිළිබිඹු වන නගර ප්‍රතිමා උද්‍යායන අතරින් දිව යැමට තරග කරුවන්ට මාර්ගය නියම විය. මැරතන් තරගය ආරම්භ වූයේ ඉතාලියේ මහා සිත්තරා හා ගෘහනිජමාණ ශිල්පියා වන මයිකල් ආන්ර්ලෝ [MichelAngelo] විසින් නිර්මාණය කළ කොම්පිඩෝගිලෝ චතුරශ්‍රය [Campidoglio Squre] අසලිනි. 


අඳුර බේරෙන හැන්දෑවක පළමු වරට මැරතන් තරගකරුවන් දිවගියේ රෝමයේදීය. මින් පෙර සෑම අවස්‌ථාවකදීම මැරතන් තරගය උදෑසන හෝ දිවා කාලයේදී පවත්වා ඇත. බිකිලේ හා කරට කර තරගයක නියෑළීමෙන් පසු තවත් අප්‍රිකානුවෙකු වූ මොරොක්‌කෝවේ රාදී බෙන් අබ්ඩෙස්‌සෙලාම් [Rhadi Ben Abdesselam] රිදී පදක්‌කම සමගින් තරගය අවසන් කළේය. මෙහිදී බිකිලේ මැරතන් තරග ඉසව්වේ ලෝක වාර්තාව හා ඔලිම්පික්‌ වාර්තාවද පාවහන් නොමැතිව දිගු දුර ධාවනයේ යෙදුන තමුන් නමින්ම ලියා ගත්තේය. සුප්‍රසිද්ධ කොලොසියම් [Colosseum]  ගොඩනැඟිල්ල අසලදී තම ඉසව්වේ සමාප්තිය සටහන් කළ බිකිලා රෝමයේ ඓතිහාසික මැරතන් ගමන් මගට අමතර අගයක්‌ එකතු කළ බව ඔහුව ඉහළින් අගය කරමින් රෝම නගරාධිපතිවරයා පැවසුවේය. නිරුවත් දෙපයින් දිව ගොස්‌ මෙම සිහින් කළු මිනිසා කළ හපන්කම නිසාවෙන් යාබඳ රාජ්‍යයන්ගෙන් හුදකලාවී, තම ජීවිත දුගී භාවයෙන් වැළලී තිබූ ඉතියෝපියාවේ වැසියන්ට ජීවිතයේ පළමු වරට ප්‍රීතියෙන් උදම් වීමට කාරණයක්‌ ඇතිවිය. එමෙන්ම මෙතැන් සිට දුර ධාවන ඉසව්වන්ගේ වැඩි ගණනක ජයග්‍රාහී හිමිකාරිත්වය, නිරතුරුවම තමන්ගේ කර ගැනීම අප්‍රිකානු කල්ලන් විසින් පුරුද්දක්‌ බවට පත්කර ගන්නා ලදී. එමෙන්ම සියලු අප්‍රිකානු මලල ක්‍රීඩකයන්ගේම ප්‍රති මූර්තිය බවටද මේ සමගම ඔහු පත් වූයේය. මීට පෙර ඉතියෝපියානු රජුගේ ආරක්‌ෂක භටයකු වී සිටි ඔහු ඉතාලිය රෝමය පමණක්‌ නොව මුළු ලොවේම පෙරළිකාර චරිතයක්‌ බවට පත් වූයේ අධිෂ්ඨානය, ක්‍රීඩාවට අවංක වීම හා නොපසුබසිනා ධෛර්ය මිශ්‍රතා රුධිරය ඔහුගේ සිහින් උස ශක්‌තිමත් සිරුර පුරාම සංසරණය වූ නිසාවෙනි.

ජපානයේ ටෝකියෝහිදී 1964 දී පැවති ඔලිම්පික්‌ උළෙලට හරියටම දින හතළිහට පෙර ඔහුට අනුබද්ධ ප්‍රදාහය හෙවත් [Appendicitis] ශල්‍ය කර්මයකට මුහුණ දීමට සිදු විය. මේ සමගින් ඔහුගේ දෙවන ඔලිම්පික්‌ මැරතන් සහභාගිත්වය අස්‌ථිර වී තිබූ නමුදු අවසාන මොහොතේදී කෙසේ හෝ ඔහු මේ සඳහා සහභාගි විය. මෙය විචාරකන් හඳුන්වනු ලබන්නේ නැවත වරක්‌ ඉතියෝපියානුවාගේ සිතේ වීර්ය හා දරා ගැනීමේ ශක්‌තිය උරගා බැලූ අවස්‌ථාවක්‌ ලෙසය. මෙවර පාවහන් පැලඳ තරග බිමට පැමිණි ඔහු ගියවර මෙන්ම තම ස්‌වීඩන් ජාතික තම ගුරු දෙවියා වන වන ඔන්නි නිස්‌කනෙන්ගේ [Onni Niskanen] උපක්‍රමශීලි උපදෙස්‌ සමගින් ධාවනයේ නියුතු විය. පළමු සැතපුම් දොළහ තුළ අනෙකුත් තරග කරුවන් හා එක පෙළට යමින්, අවසාන කොටසේදී කෙමෙන් පෙරට පැමිණි ඔහු නරඹන්නන් හැත්තෑ දහසක්‌ පමණ රැස්‌ වී සිටි ක්‍රීඩාංගණයෙදී තරග අවසානය සටහන් කලේ ඔවුන්ගේ ඉහළ ප්‍රතිචාර සමගිනි. එවරද රනින් තම ගෙල සරසා ගත් බිකිලේ මැරතන් රන් පදක්‌කම් දෙකක්‌ හිමි කර ගත් ප්‍රථමයා බවට ඉතිහාසගත විය. තරගය නිමවීමෙන් අනතුරුව ඔහු ව්‍යායාම කරමින් සැහැල්ලුවෙන් සිටි අයුරු දුටුවන් පැවසුවේ, තවත් සැතපුම් දහයක්‌ පමණ ඔහුට අපහසුවකින් තොරව දිව යැමට හැකි බවක්‌ දිස්‌ වන බවයි. ටෝකියෝ ඔලිම්පියාඩ් [Tokyo Olympiad] නමින් එකල නිර්මාණය වූ වාර්තා චිත්‍රපටයක ඔහුගේ මෙම ජයග්‍රහණයද ඇතුළත් විය. මේ අතර ඔහුගේ පුහුණුකරු වන නිස්‌කනෙන් ගෙන් [Niskanen] තරග අවසානයේදී මාධ්‍යවේදීන් විමසා සිටියේ ඔබ බිකිලේගේ සාර්ථකත්වය පිළිබඳ පුදුම වෙනවාද යන්නයි. නමුත් නිස්‌කනෙන් පැවසුයේ.

"කොහෙත්ම නැහැ. මම පොඩ්ඩක්‌වත් පුදුම වෙන්නේ නැහැ. මොකද අනිත් කව්රුත්, මම දන්නා තරම් ඔහු ගැන දන්නේ නැහැ, ඔහු ප්‍රතිවාදීන්ට බය නැහැ. ඔහු අධිෂ්ඨන ශක්‌තියෙන් හා කැපවීමෙන් ඉහළම තැනක ඉන්න කෙනක්‌. මම කවදාවත් ඔහු වගේ කොනක්‌ දැකලා නැහැ. ඔහුව අද සිටින තැනට ගෙන ආවේ මම හෝ වෙන කවුරු හෝ නොවෙයි. මේ ඉන්න අබේබි බිකිලා බවට පත් වුණේ ඔහු විසින්මයි."

ඉන් සිව් වසරකට පසු 1968 ගිම්හාන ඔලිම්පික්‌ උළෙල ඇමරිකානු මහද්වීපයේ මෙක්‌සිකෝවේදී [Mexico] පැවැත්විණි. එවරද ලොව අසහාය දිගු දුර ධාවකයා ලෙස බිකිලේ එයට සහභාගි විය. ඔහු සමග ඔහුගේ ඉතියෝපියානු මිතුරා වන මමෝ වොල්ඩේ [Mamo walde] ද මැක්‌සිකෝ මැරතන් ඉසව්වට තරග වැදීමට සුදුසුකම් ලබා තිබිණි. තරගයේ සැතපුම් දහසයක්‌ පමණ ධාවනයේ යෙදුන පසු බිකිලේගේ පාදයේ මතුවූ ආබාධය තුන්වන රන් පදක්‌කම ගෙල පැළඳීමේ වරම ඔහුට අහිමි කළේය. නමුත් මමෝ ඔහුගෙන් ගිලිහුන රන් පදක්‌කම හිමි කර ගැනීමත් සමගම ඔහු ප්‍රීතියට පත් විය. තුන්වන වරටත් එය ඉතියෝපියාවටම හිමිවිය. 

ඔහු විස්‌වාස කළ පරිදිම ඔහුට දෙවියන් වාසනාව සෑම විටම ගෙන දුන්නේය. අඳුරු මහාද්වීපයේ සදාතනික වීරයෙක්‌ වීමට වාසනාව හිමිවූ ඔහුට යහපත් බිරිඳක්‌ මෙන්ම දරු දැරියන් සතර දෙනක්‌ද හිමි කර දීමට දෙවියන් කාරුණික වූ නමුත් දෙවියන් තවත් දරුවන් දෙදෙනකු තමා වෙතට කැඳවා ගෙන ඇත්තේය. වාසනාවට වඩා අවාසනාව බිකිලේ වෙත පැමිණීමට වැඩි රුචිකත්වයක්‌ දක්‌වා ඇත්තේ මැක්‌සිකෝ ඔලිම්පික්‌ උළෙලේ සිටයි. 1969 වසරේදී ඔහුට තම මෝටර් රථය පදවාගෙන පැමිණෙන විට දරුණු අනතුරකට මුහුණ දීමට සිදුවූ අතර එහි ප්‍රතිඵලය ලෙස ඉතියෝපියාවේ ගෞරවයවූ නිහතමානී බිකිලේ පුර්ණකාලින ආබාධිත තත්ත්වයකට පත් වූයේය. ඉතියෝපියාවේ අධිරාජයා ඔහුට ප්‍රතිකාර සඳහා යොමු කළද අප්‍රිකාව රනින් සැරසූ සිහින් දිගු පාද සුව කර ගැනීමට වාසනාවක්‌ දෙවියන් විසින් නැවත ඔහුට කිසිදා ලබා දුන්නේ නැත. මැරතන් වීරයාට රෝද පුටුවක සරණ ලබා ගැනීමට සිදු වුවද නොපසුබස්‌නා වීර්යකින් යුතු බිකිලේ රෝහලේ සිට එංගලන්තයේ පැවති ආබාධිත වූවන්ගේ ක්‍රීඩා උළෙලකටද සහභාගි විය. ඒ දුනු විදීමේ තරග ඉසව්වක්‌ වෙනුවෙනි. 

ආන්දෝලනාත්මක සිදුවීම්ද සමගින් 1972 ජර්මනියේ මියුනිච් ගිම්හාන ඔලිම්පික්‌ උළෙල පැමිණියේය. රෝයල් ක්‍රීඩකයින් එකොළොස්‌දෙනෙක්‌ පලස්‌තීන කළු සැප්තැම්බර් [Black september Terrorist] ත්‍රස්‌තවාදීන් විසින් ඔලිම්පික්‌ ගම්මානය තුළදීම ඝාතනය කර දැමීම නිසා සමස්‌ත ක්‍රීඩා උළෙලම කම්පනයට පත්ව සිටි අතරදී ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටුව විසින් අබේබි බිකිලේ විශේෂ ආරාධිතයෙකු ලෙස මියුනිච් වෙත කැඳවන ලදී. ඔහු වෙත ගෞරවනීය හා ආදරණීය පිළිගැනීමක්‌ ක්‍රීඩකයන් හා සියලුම නිලධාරීන් වෙතින් හිමි විය. අනෙකුත් සුවිශේෂී සිදුවීම වූයේ ඔහුගේ හතළිස්‌ වන උපන්දිනයද මේ අතර යෙදී තිබීමයි. ඔලිම්පික්‌ ගම්මානයේදී සියලුම දෙනාගේ සහභාගිත්වයෙන් එම වසරේ අගෝස්‌තු මස 07 වැනිදා දිගු දුර දිවූ ඉතියෝපියානුවාගේ උපත ඉහළින්ම සැමරීය. සියලුම දෙනාගේ ආදරය දිනූ බිකිලේ වැනි මලල ක්‍රීඩකයෙකු එකල නොසිටි බව එම උපන්දින සාදය සාක්‌ෂි සැපයීය. 

"දෙවියන්ගේ කැමැත්ත අනුව මට ඔලිම්පික්‌ ජයග්‍රාහකයෙක්‌ වීමට හැකි වුණා. මට ගොඩක්‌ දේවල් ලැබුණා. මම ඒ ගැන ගොඩාක්‌ සතුටු වෙනවා. ඒ වගේම දෙවියන්ගේ කැමැත්තට අනුව අපිට ෙ€දාන්තත් ලැබෙනවා. අපිට ලැබුණු සතුට වගේම ඔහුගේ කැමැත්තට ලැබෙන දුක්‌ කරදරත් අපි සතුටු සිතින් පිළිගන්න ඕනේ. මම මගේ දෙපා නිසා ලෝකෙම ඇවිද්දා. ඒ වගේමයි දැන් මගේ දෙපා නිසා මම එක තැන. එත් මට කිසිම කනගාටුවක්‌ නැහැ." මෙසේ සතුටින් අදහස්‌ දැක්‌වූ නිහතමානි, කෙසඟ දිගු දුර ධාවකයාට ඉන් වසරකට පසු නොඑන තරම් දිගු දුරකට යැමට සිදු වූයේ මොළයේ ඇතිවූ රුධිරය වහන වීමක්‌ නිසාය. එදින සමස්‌ත ඉතියෝපියාවම තමන්ගේ රටෙන් බිහිවූ වටිනාම මිනිසා වෙනුවෙන් දුක්‌ වූහ. හැත්තෑ පන්දහසකට අධික ජනතාවක්‌ අප්‍රිකාවේ දිගු දුර ධාවනයේ පුරාවෘත්තයට සමු දීමට පැමිණ සිටියහ.

(අප්‍රිකාවේ මුල්ම රන් දෙපය-   ප්‍රවීණ සේනාධීර) 

 



 Abebe Bikila wins marathon in 1960 Rome Olympics...  

12 comments:

  1. මෙවන් අය ගැන දැනගන්න ලැබීම සතුටක්.

    ReplyDelete
  2. ඔක්කොම වෙලා තියෙන්නේ දෙයියන්ගේ කැමැත්තට

    ReplyDelete
    Replies
    1. එක අතකට එය වෙනත් ආකාරයකට අටලෝ දහම පිළි ගැනීමක්

      Delete
  3. අපි පාසල් යන කාලේ මේ වීරයා ගැන කියෙව්වා පුවත්පත් මගින්.(රූපවාහිනී තිබුනේ නැහැ) 1964 ටෝකියෝ ඔලිම්පික් උළෙල ගැන වාර්තා චිත්‍රපටියක් ලංකාවේ ප්‍රදර්ශනය කළා Tokyo Olympiad නමින්. මේ තියෙන්නේ ලින්ක් එක.

    https://www.youtube.com/watch?v=WHt0eAdCCns

    ReplyDelete
    Replies
    1. ඔහු සමග නේද ලංකාවේ කරුණානායක දිව්වේ ? කරුණානායක අන්තිමයා වූවත් මුළු රවුන්ඩ් එකම අවසන් කළා

      Delete
  4. අබේබෙ බිකිලා ගැන අහල තිවුනට මේ වගේ සවිස්තරාත්මකව කියෙව්වෙ අද... ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. මෙය ප්‍රවීණ සේනාධීරගේ හොඳ ලිපියක්. අබේබී බිකිලා ගැන හොඳ විස්තරයක් දෙනවා

      Delete
  5. බිකිලා කිව්වම ඒ කාලේ ලෝකේ ඕ නකෙනෙක් දන්නවා. මේවා නැවත මතක් කිරීම වටිනවා.. ස්තුතියි

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook