Monday, October 26, 2015

සර් ඔලිවර්ට අභියෝග කළ පුවත්පත් කතුවරිය තේජා ගුණවර්ධන



ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ට යටත්වීමෙන් පසුව සුද්දන් ලවා තමන්ට අවශ්‍ය දේ අවශ්‍ය අන්දමට කරවාගත් එමෙන්ම ශ්‍රී ලංකාව තුළ කිසිම ලේ සෙලවීමකින් තොරව නිදහස ලබා ගැනීමටත් ජාතියේ නායකත්වයට එන්නට මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මැතිතුමාට මගපෙන්වූ පුද්ගලයන් අතරින් මුලටම සිටින පුද්ගලයා මෙන්ම ඒ සඳහා අවශ්‍ය වන කටයුතු කළ පුද්ගලයෙක්‌ද වේ නම් ඔහු හැඳින්විය හැක්‌කේ ශ්‍රීමත් ඔලිවර් අර්නස්‌ට්‌ ගුණතිලක යන නාමයෙනි. අපි ඉතිහාසය ගැන කොතරම් කතා කළත් අපට නිදහස ලබා ගැනීමට අවස්‌ථාව උදාවූයේ 1936 දී මේ රටේ ස්‌ථාපන වූ ඩොනමෝර් ආණ්‌ඩු ක්‍රමය නිසාය. එයින් පසුව අපේ නායකයන්ගේ ඉල්ලීම හා උද්ඝෝෂණය මත 1944 දී හර්වල්ඩ් රැම්ස්‌ බොතම් හෙවත් සෝල්බරි සාමි ගේ මූලිකත්වයෙන් පත්කරන ලද සෝල්බරි කොමිසම ලංකාවට නොපැමිණියේ නම් අපට නිදහස ලබා ගැනීමට තවත් කල් යනු ඇත.

ශ්‍රී ලංකාවේ නිදහස්‌ සටන තුළ තිරයෙන් එහා සිටි මහා පුරුෂයෙක්‌ වූයේ ලේක්‌හවුස්‌ ආයතනයේ නිර්මාතෘවරයා වූ ඩී. ආර්. විඡේවර්ධන මැතිතුමාය. ඒ සඳහා එතුමාගෙන් සිදු සේවාව මෙතෙක්‌ යෑයි අගය කළ නොහැකිය. අද වනවිටත් පක්‍ෂය තුළ බල අරගලයක්‌ පවතින එක්‌සත් ජාතික පක්‍ෂය ආරම්භ කිරීමේ පුරෝගාමීන් අතර ද ඩී. ආර්. විඡේවර්ධන මහතාට ලැබෙන්නේද මුල් තැනකි.

ජීවත්වනතුරුම එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රබලයෙක්‌ වූ එතුමා කිසිම අවස්‌ථාවක දී අධිරාජ්‍යවාදීන් ගෙන් නම්බුනාම ආදිය ලබා ගැනීමට ආශා නොකළ අභිමානවත් මහා පුරුෂයෙක්‌ විය. ඩී. ආර්. විජයවර්ධන මැතිතුමා විසින් එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකතුමාට සොයාදුන් ප්‍රබලතම පුද්ගලයා වූයේද ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා බව වැඩිදෙනෙක්‌ නොදන්නා කරුණකි. ඩී. ආර්. විඡේවර්ධන මහතාට ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා හමුවන්නේ ඔහු ලේක්‌හවුස්‌ ආයතනයේ සේවයට පැමිණීමෙන් පසුවය. තම පවුල හා සම්බන්ධ ඥාතිවරයෙක්‌වූ ඩී, ඇස්‌. සේනානායක මැතිතුමා ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා හඳුනා ගන්නේ මේ අන්දමින් වූ අතර එතුමා ජාතික නායකත්වය කරා ගෙන යැමේ මූලිකයා වූයේද සර් ඔලිවර්ම විය.

ඩී. ඇස්‌. සේනානායකට වඩා ජ්‍යෙෂ්ඨයෙක්‌වූ ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මැතිතුමාට ඉන්දියාවේ මහ කොමසාරිස්‌ පදවියත්, ඩී. ආර්. විජයවර්ධන මහතාගේ ළඟම ඥාතියෙක්‌ වූ ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමාට කැලණිය ආසනයේ සංවිධායක ධුරයත්, ඒ සමඟම මන්ත්‍රී ධුරය ලැබීමත් මෙහි මුල්ම ප්‍රතිඵලය විය. ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතාගේ ජීවන තොරතුරු අධ්‍යයනය කිරීමේදී අපට වැටහී යන එක්‌ කරුණක්‌ වන්නේ එතුමා තමාට හිමි ස්‌ථානය තමා විසින්ම නිර්මාණය කර ගැනීමට තරම් ඉහළ බුද්ධි මට්‌ටමක සිටි පුද්ගලයෙක්‌ බවය. එමනිසාම ඉංග්‍රීසි ආණ්‌ඩුවේ ඉහළම නිලයන් ඔහු සොයා පැමිණි අතර ඉංග්‍රීසි ආණ්‌ඩුව තුළින් තම අභිප්‍රායයන් ඉටු කරවා ගැනීමට හැකි පුද්ගලයා ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක බව ඩී. එස්‌. සේනානායක මහතා ද හොඳින් දැන සිටියේය.

1945 වර්ෂයේ මුල් භාගයේ ලංකාවට පැමිණි සෝල්බරි සාමි ඇතුළු කොමිසමේ සාමාජිකයන් සමග රටවටා ගිය පිරිස අතර මුලින්ම සිටි තැනැත්තා වූයේ සර් ඔලිවර් ගුණතිලකය. උපායෙහි දක්‍ෂයෙක්‌ වූ සර් ඔලිවර් ගුණතිලක කොමිසම ගමන් ගන්නා මාර්ගයේ සමහර ස්‌ථානයක ගොවීන්, ගෙවිලියන් ලෙස වෙස්‌ගන්වන ලද විශ්වවිද්‍යාල සිසුන්, සිසුවියන් පෙන්වා ලංකාවේ ගොවීන් පවා උගත් බුද්ධිමත් අය බවට කොමිසමට ඒත්තු ගැන්වීමට තරම් බුද්ධිමත් භාවයක්‌ ඔහු සතුවිය. ඔහුගේ බුද්ධිමත් බව කොතරම් උසස්‌ වීද යත් ලංකාවට අදාළ වන ආණ්‌ඩුක්‍රම ව්‍යස්‌ථාව සකස්‌ කිරීමේදී ශ්‍රීමත් අයිවර් ජෙනින්ස්‌ මහතාට සහාය වූ ශ්‍රී ලංකාවේ බුද්ධිමතා වූයේ ද සර් ඔලිවර්ය. සෝල්බරි කොමිසමේ නිර්දේශ මත ලංකාවට නිදහස ලබාදීමේ මුල් පියවර ලෙස 1947 ජුලි මාසයේ සිට අගෝස්‌තු මාසයේ 20 වෙනි දින දක්‌වාම නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලයට මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සඳහා මැතිවරණ පැවැත්වූ අතර එම අවධිය වනවිට ද රාජ්‍ය නිලධාරියකු ලෙස සේවයේ යෙදී සිටි ඔහු 1947 සැප්තැම්බර් 26 වැනිදා ඉන් ඉවත්ව ඩී, ඇස්‌. සේනානායක රජයේ ස්‌වදේශ කටයුතු භාර ඇමැති ධුරයට පත්වූ අතර යෝජිත සෙනෙට්‌ සභාවේ මන්ත්‍රී ධුරයකට පත්විය. ශ්‍රී ලංකාවේ නිදහස්‌ උත්සවය පවත්වා වැඩි කලක්‌ යන්නට පළමුව එම තනතුරුවලින් ඉල්ලා අස්‌වූ ඔහු එංගලන්තයේ මහා කොමසාරිස්‌ පදවියට පත්වී පළමු වරට එංගලන්තයේ හයවැනි ජෝර්ඡ් රජතුමා සහ බිසවුන් වහන්සේ ඇතුළු එංගලන්තයේ සියලුම සම්භාවනීය අමුත්තන් සහභාගි වන ලංකාවේ අගමැති ඩී. එස්‌. එස්‌නානායක මැතිතුමා පිළිගැනීමේ උත්සවයක්‌ සංවිධානය කළේය. එම අවස්‌ථාවෙන් පසුව එතුමා යළිත් ලංකාවට ආවේ අගමැති ඩී. එස්‌. සේනානායක මැතිතුමාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමට වුවත් ඩඩ්ලි සේනානායක රජයේ මුදල් අමාත්‍ය ධුරයට පත්වී අගමැති පොරය නිසා විරසකව සිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා සහ අගමැති ඩඩ්ලි සේනානායක මැතිතුමාත් සමාදාන කර යළිත් රජයට ගැනීමේ පුරෝගාමියා වූයේද සර් ඔලිවර්ය. මේ අවධිය වන විට ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා සහ සෝල්බරි සාමිවරයා අතර තිබූ විරසකභාවය අවසන්වූයේ ඩඩ්ලි සේනානායක මහතා අගමැති ධුරය අත්හැරීමත් ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා අගමැති වීමත්, සෝල්බරි සාමිගේ සේවා කාලය අවසන්ව එංගලන්තය බලා යැමත් නිසාය.

ලංකාවේ නව ආණ්‌ඩුකාර ධුරය සඳහා සර් ජෝන් ගේ තෝරා ගැනීම වූයේ පළපුරුද්ද උගත්කම හා බුද්ධිමත්භාවය ආදී සියලුම අංගයන්ගෙන් සම්පූර්ණ වූ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක විය. අදවනතුරුත් සර් ඔලිවර් ගුණතිලක මහතා තරම් රාජ්‍ය සේවයෙන් දේශපාලනයෙන් තනතුරු දරණ ලද අයෙක්‌ තවත් නැති තරම්ය. ඔහු ඒතරමටම කාර්යශූර බුද්ධිමතෙක්‌ වුවත් ඔහුගේ පුද්ගලික ජීවිතය එතරම් ගෞරවණීය නොවූ අතර සමහර අවස්‌ථාවලදී එම ක්‍රියාවන් විවේචනයට ගොදුරු නොවූයේ ඔහු විසින් දරන ලද පදවි තානාන්තර නිසාය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ හැම සිරිතක්‌ම විරිතක්‌ම අනුගමනය කළ ඔහු දැඩි අධිරාජ්‍යවාදී මතධාරියෙක්‌ වූවාක්‌ මෙන්ම ඉංග්‍රීසීන්ගේ චර්යා ධර්මයනවලටද දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු විය. එංගලන්තයේ සුදු ජාතිකයන්ගේ ප්‍රධානතම විනෝදාංශය වූ අශ්ව රේස්‌ තරග සඳහාද මහත් රුචියක්‌ දැක්‌වූ ඔහු සාමාන්‍ය ජනතාවද අතරද ප්‍රචලිතව සිටියේය. ක්‍රියාපටිපාටිය අතින් කළු සුද්දන් බවට පත්ව සිටි ඔහු ඉංග්‍රීසි ජාතීන්ගේ හැම දුසිරිතකටම පුරුදුවී සිටි අයෙක්‌ බවට පත්ව සිටියත් ඔහු විසින් දරණ ලද තනතුරු නිසාම ඔහුගේ මෙම ක්‍රියාවන් ගැන කතා කිරීමට හැම අයෙක්‌ තුලම තිබුණේ අනියත බියකි. මේ නිසාම ඔලිවර් ගුණතිලකගේ පත්වීම හැම දෙනාගේම අභියෝගවලට හේතු විය. එක්‌සත් ජාතික පක්‍ෂය තුළ සිටින අවධියේදී ගරු ඇස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මැතිතුමාගේ ඉදිරි ගමනට බාධා පැමිණවූ අයගෙන්ද කෙනෙක්‌ වූ සර් ඔලිවර් ගුණතිලක ගැන එතුමා තුළ වූයේද බලවත් අප්‍රසාදයකි.

උග්‍ර වාමාංශික විරෝධියෙක්‌වූ ඔලිවර් ගැන සම සමාජ, කොමියුනිස්‌ට්‌ පක්‍ෂවලින්ද තිබුණේ දැඩි විරෝධයකි. සර් ඔලිවර්ගේ පත්වීම ගැන එම පක්‍ෂවල පුවත්පත්වලින්ද විරෝධතා එල්ල වූවත්. සර් ඔලිවර් දැඩි ලෙස විවේචනයට ලක්‌කොට ඔහුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳවත් පසුගිය කාලයේ ජීවිතයත් දැඩි ලෙස විවේචනය කරමින් ඔහුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව ද විශාල වශයෙන් විරෝධතා මතුකරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සම්බන්ධ ප්‍රිෙµ්‍රස්‌ සමාගම විසින් පළකරන ලද "ට්‍රයින්" නමැති ඉංග්‍රීසි පුවත්පතේ පළකරන ලද ලිපි සම්බන්ධයෙනි. මෙම පුවත්පතේ කතුවරිය වූයේ ජාත්‍යන්තර කීර්තියට පත්ව සිටි පුවත්පත් කලාවේදිනියක්‌වූ "තේජා ගුණවර්ධන" මහත්මිය වූවාය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සිංහල නිල පුවත්පත "සිංහලේ" පත්‍රය වූ අතර ඉංග්‍රීසි පුවත්පත වූයේ "ට්‍රයින්" පුවත්පත විය.

හැම වාමාංශික පුවත්පතක්‌ම ඔලිවර් ගුණතිලක මහතා අග්‍රාණ්‌ඩුකාර ධුරයට පත්වීම ගැන දැඩි ලෙස විරෝධය දක්‌වා තිබුණත්, ඔලිවර් ගුණතිලක මහතාගේ පෞද්ගලික ජීවිතය ගැන දැඩි ලෙස විවේචනය කරමින් විරෝධය දක්‌වා තිබුණත් අනුකම්පා විරහිතව "ට්‍රයින්" පුවත්පත ඔහුගේ පෞද්ගලික ජීවන තොරතුරු අළලා ලියන ලද ලිපිය පළවීමත් සමඟම කලබලයට පත්වූ රාජ්‍ය තන්ත්‍රය ලිපියේත්, පුවත්පතේත් කතුවරිය වූ තේජා ගුණවර්ධන මහත්මිය විසින් අග්‍රාණ්‌ඩුකාර ධුරයට නිර්දේශිත ඔලිවර් ගුණතිලක මහතා සාපරාධි ලෙස විවේචනයට ලක්‌ කිරීමෙන් අපහාසයක්‌ සිදුවන බවට රජය මගින් තේජා ගුණවර්ධන මහත්මියට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමෙන් ජාත්‍යන්තරට පවා ගිය මෙම නීති සටන ආරම්භ විය. නීති සටන ආරම්භ වීමත් සමඟම ඔලිවර් ගුණතිලක මහතා හඳුනා ගැනීමට වඩා ජනතාවට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාවේ සිටි මහමොළ කාරයාට අභියෝග කළ මෙම කාන්තාව ගැන දැනගැනීමටය.

1917 ජුලි මස 20 වැනිදා කොළඹදී උපත ලැබූ ඇය දිවයිනේ ප්‍රධානතම ඉඩම් හිමි වැවිලිකරුවකුගේ එකම දියණිය වූ අතර විශාල බූදලයක එකම හිමිකාරිය වූවාය. ක්‌ලිප්ටන් බාලිකා විදුහලේ සහ කොළඹ කාන්තා විද්‍යාලයේද ආදි ශිෂ්‍යාවක්‌වූ එතුමිය ලංකා විශ්වවිද්‍යාලය තුළින් ගෞරව උපාධියක්‌ද හිමිකරගත් කාන්තාවක්‌ වූවාය. එම අවධිය වන විට කාන්තාවන්ගේ සුබසිද්ධිය සඳහා ආරම්භ කරන ලද මහිලා සමිති ව්‍යාපාරයේද ක්‍රියාකාරිනියක වූ ඇය සියලුම වාමාංශික බලවේගයන් සමඟ ද සම්බන්ධකම් පැවැත්වූ අභීතව තමාගේ පෑන මෙහෙයවූ පුවත්පත් කලාවේදිනියක ද වූවාය. ඇමෙරිකා එක්‌සත් ජනපදයේ "µqල්බ්‍රයිට්‌" ශිෂ්‍යත්වයකින්ද අධ්‍යාපනය හදාරා සිටි ඇය ඇමරිකා එක්‌සත් ජනපදය තුළ කටයුතු කරද්දී කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම නිසා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක්‌ තිබූ කාන්තාවක්‌ වූවාය. කොතරම් බාධා මධ්‍යයේ වුවද අධ්‍යාපනය අවසන් කර ලංකාවට පැමිණි ඇය ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ සුබසිද්ධිය සඳහා "මහිලා" නමින් පුවත්පතක්‌ද ආරම්භ කළාය.

මෙම අවධිය වනවිට ද ශ්‍රී ලංකාවේ දේශපාලනය ඉතා දැඩි ලෙස අභියෝගයට ලක්‌වූ කාලයක්‌ විය. කිසිවකින් නොසැලෙන පුද්ගලයෙකු වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා අගමැති ධුරයට පත්වූ අතර හර්තාලය ජයග්‍රහණය කිරීමෙන් සම සමාජ පක්‍ෂය ප්‍රධානකොට විපක්‍ෂයේ බලයද වර්ධනය වෙමින් තිබුණු අවධියක්‌ විය. එමෙන්ම ඇස්‌. ඩබ්ලිව්. ආර්. බණ්‌ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයද ක්‍රමවත්ව ජනාදරයට පත්වෙමින් තිබිණි. ලංකාවේ දේශපාලනය සඳහා ක්‍රියාවෙන් දායකවූ තේජා ගුණවර්ධන මහත්මියද ප්‍රිපෙස්‌ සමාගමට සම්බන්ධ වෙමින් එම සමාගම මගින් මුද්‍රණය කරනු ලබන "ට්‍රයින්" පත්‍රයේ කතුවරිය වූවාය. එම පත්‍රය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඉංග්‍රීසි නිල පුවත්පත ද විය. ට්‍රයින් පත්‍රයේ කර්තෘ වාක්‍ය මගින් ආණ්‌ඩුකාර පදවිය සඳහා නිර්දේශිත සර් ඔලිවර් ගුණතිලක මහතාට අපහාස වන අන්දමින් කතුවැකියක්‌ ලියන ලදැයි යන චෝදනාව මත තේජා ගුණවර්ධන මහත්මියට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්‌ පැවරුවේය. මෙම නඩු නිමිත්ත කෙතරම් බරපතළ වීද යත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායක හා විරුද්ධ පක්‍ෂයේ නායක වූ ගරු ඇස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මැතිතුමාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. පී. ජයසූරිය මහතාටත් මෙම නඩුව වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ යේa පෙනී සිටීමටද සිදුවිය.

මෙම නඩුව මුළු මහත් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ සිටි හැම තරාතිරමකම ලේඛකයන්ට පුවත්පත් කතුවරයින් පමණක්‌ නොව වෙනත් ජනමාධ්‍ය ආයතනයන්ට මාධ්‍ය හසුරුවන වෙනත් ආයතන ප්‍රධානීන්ට පවා අභියෝගයක්‌ විය. එපමණක්‌ නොව කිසියම් අන්දමකින් නඩුව ඔප්පු වුවහොත් තේජා ගුණවර්ධන මහත්මියට සිරබත් කෑමට පවා සිදුවන අභියෝගයක්‌ විය. මොනම බලවේගයකටවත් මෙල්ල කළ නොහැකි දැඩි අදහස්‌ ඇති කාන්තාවක්‌වූ එතුමිය නීතිය ඉදිරියට යැමට බිය නොවූවාය. අග්‍ර විනිශ්චයකාර සර් ඇලන් රෝස්‌ මහතා ඉදිරියේ විභාගවීමට නියමිතව තිබූ නඩුව සඳහා ඉදිරිපත්වූ ඇය තමා නිදොස්‌ බවත් එය ඔප්පු කිරීමට සූදානම් බවත් ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව තුළ පමණක්‌ නොව මුළු මහත් ආසියා මහාද්වීපය තුළම මාධ්‍ය නිදහස වෙනුවෙන් ඉදිරිපත් කරන ලද මෙම නඩුව ජාත්‍යන්තර වශයෙන් ද මහත් ආන්දෝලනයකට පාත්‍රවූ නඩුවක්‌ විය. විශාල බූදලයක හිමිකාරියවූ තේජා ගුණවර්ධන මහත්මිය මුදල් ගැන නොබලා තමාගේ නඩුව වෙනුවෙන් පෙනී සිටීම සඳහා තෝරා ගත්තේ ජාත්‍යන්තර වශයෙන් ද මහත් කීර්තියක්‌ දරා සිටි නීති විශාරදයෙක්‌වූ එංගලන්තයේ විලියම් පිට්‌ මහතාවය. කෙන්යාවේ ජනාධිපති ලෙස පත්වූ ජෙමෝa කිනියාටා මහතා බ්‍රිතාන්‍ය රජය මගින් කැරලි නායක ලෙස හිරබාරයට ගත් අවස්‌ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිට නිදහස ලබා දුන් විලියම් පිට්‌ මහතාද ජාත්‍යන්තර කීර්තියට පත් නීති විශාරදයෙක්‌ විය. මේ නඩුව පිළිබඳ කෙතරම් ජනතා අවබෝධයක්‌ වීද යත් ඈත ගම්දනව්වල පවා එම අවධිය වන විට මුද්‍රණයවූ පුවත්පත් මගින් තොරතුරු දැන ගැනීමට මහත් උනන්දුවක්‌ දැක්‌වීය. ජනතාව එම නඩුව ගැන එතරම් අවධානයක්‌ යොමු කළේ ඒවන විට ලංකාව තුළ මහත් නමක්‌ දරා සිටි ඔලිවර් ගුණතිලක මහතා වැනි අයෙකුට පුවත්පත් කලාවේදිනියක්‌ කරන ලද අභියෝගය ගැන ඔවුන් වැඩි අවධානයක්‌ යොමු කළ නිසාය.

අවසානයේ තේජා ගුණවර්ධන නම්වූ මෙම එඩිතර කාන්තාව සියලුම චෝදනාවලින් ගෞරවන්විතව නිදහස්‌ වූ අතර ඔලිවර් ගුණතිලක මහතාගේ මෙම පරාජය එක්‌සත් ජාතික පක්‍ෂයේ සමහර නායකයන්ගේ මහත් ප්‍රසාදයට හේතු වූ බව වැටහී යන්නේ එවකට මන්ත්‍රණ සභාවේ සභානායකව සිටි පසුව ශ්‍රී ලංකාවේ පළමුවන විධායක ජනාධිපති ධුරයට පත්වූ හිටපු ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා විසින් කරන ලද පිරිමින් දහසකට වඩා එක තේජා වටිනවා යෑයි කරන ලද ප්‍රකාශය නිසාය. මුළු මහත් මාධ්‍ය ලෝකයටම තිබුණු අභියෝගය වෙනුවෙන් මුවහත ඇති අසිපතක්‌ මෙන් මුහුණ දුන් මෙම කාන්තාව පුවත්පත් කලාවේදිනයක්‌ මෙන්ම ප්‍රසිද්ධ ගත්කතුවරියක්‌ද වූවාය. ඇය විසින් ලියන ලද "කෘෂෙප්වාදය" නමැති ග්‍රන්ථය ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රිය වූ අතර ගරු සිරිමාවෝ බණ්‌ඩාරනායක අගමැතිතුමිය විසින් ඉරානයේ ලංකා තානාපති ලෙස පත්කර යෑවීමෙන් ඇයට ලබා දිය හැකි උපරිම ගෞරවය ලබාදුන් අතර තේජා ගුණවර්ධන නම් වූ මෙම අයෝමය කාන්තාව මෙම නඩුව ජයග්‍රහණය කිරීමෙන් මාධ්‍ය නිදහස යනුවෙන් ලබා දෙන ලද දායකත්වය අතිවිශාලය. එසේ නොවන්නට පසුගිය කාලවකවානුව තුළ දේශපාලන නායකයන්ට අභියෝග කොට ලියන ලද ලිපි හා පොත්පත් නිසා බොහෝ විට සිරගෙවල් මාධ්‍යවේදීන් ගෙන් පිරෙන්නටද බැරිකමක්‌ නැත.



විල්සන් මුණසිංහ



5 comments:

  1. ලංකා දේශපාලන ඉතිහාසයේ වැදගත් තොරතුරු රැසක් මෙන්ම මේ ශ්‍රේෂ්ඨ කාන්තාව පිළිබඳව නොදත් කරුණු රැසක් මේ ලිපිය මගින් දැනගත්තා. ඊයේ පෙරේදා ඇය අභාවප්‍රාප්ත වූ බව දැනගන්නට ලැබුණා.

    ReplyDelete
  2. ලංකාවෙ දැනගතයුතු චරිත ගැන අපි කොතරම් නොදැනුවත්ද කියල අපිටම පෙන්වන සටහනක්. තේජා ගුණවර්ධන මහත්මිය, ට්‍රයින් පුවත්පත සහ සර් ඔලිවර් සම්බන්ධ මේ නඩුව පිළිබඳව මම මේ ඇහුවෙ පළමු වරට. ස්තූතියි රුවන්...:)

    ReplyDelete
  3. මමත් නොදන්නා කරුණු ‍රැසක් දැනගත්තා.

    ReplyDelete
  4. මා මිත්‍රවරුනි තේජා ගුණවර්ධන මියට මගේ ඤාතීත්වයක් තිබෙනවා. ඒ නිසයි මේ ලිපිය මගේ බ්ලොගයේ පළ කලේ. ඇය ඉතා ධනවත් කාන්තාවක්. විශ්වාස කරන්න ඇය සතුව නිවාස 150 අධික සංඛාවක් තිබුණා. මිල මුදල් තිබුණා. ඒ සියල්ල ඇය වියදම් කලේ දේශපාලනය වෙනුවෙන්. ඇය මිය යන විට ඈ සතුව ධනයක් තිබුනේ නැහැ.

    ReplyDelete
  5. I want to know more information about this If you can help me please sent your phone number,,,,
    this is my email dilpriyauok@gmail.com



    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook