Wednesday, February 14, 2018

කාර්පේතියානු කඳුකරයේ වීණා වාදකයා



කාර්පේතියානු කඳුකරයේ වීණා වාදකයා
අසමසම වීණා වාදකයෙකු විය 
ඔහුගේ වාදනය දෙව්ලොවින් ආ ගීතයක් මෙනි 
සියළු දෙනා ඔහුගේ වාදනයට මන්මත්ව 
ඔහුගේ වාදනය පැසසූහ​

කාර්පේතියානු කඳුකරයේ වීණා වාදකයාගේ
යසස සිව් දෙස පැතිරුනේය​
ඔහුගේ වාදනය ඇසීමට රජවරු පවා ආහ​
ඔහුගේ වාදනයට සවන් දෙන විට දෙව්ලොව 
මිහිරක් සියළුදෙනාටම දැනෙන්නේය 

කාර්පේතියානු කඳුකරයේ වීණා වාදකයා
පිළිබඳව ඇසූ යක්‍ෂයාට වීණා වාදකයාට 
අභියෝග කරන්නට සිත් දුන්නේය  
යක්‍ෂයා මිනිස් වෙසක් මවාගෙන 
ඔහු ඉදිරියේ පෙනී සිටියේය 

වීණා වාදකය මම යක්‍ෂයා වෙමි 
තොප මා සමග වීණා වාදනය කොට
මා පැරදුවේ නම් මම තොපට රනින් නිම කල 
වටිනාකම කිව නොහැකි අනර්ඝ වීණාවක්
දෙන්නමි කියා යක්‍ෂයා කීවේය 

එහෙත් වීණා වාදකය යම් ලෙසකින් 
තොප මා සමග වීණා වාදන තරඟයෙන්
පැරදුනහොත් තගේ ආත්මය මා සතු වන්නේය 
කියා යක්‍ෂයා කීවේය​

කාර්පේතියානු කඳුකරයේ වීණා වාදකයා
යක්‍ෂයාගේ අභියෝගය භාර ගත්තේය 
ඔහු යක්‍ෂයාට බිය නොවීය​
තමාගේ දස්කම් ගැන ඔහු දන්නේය 

කාර්පේතියානු කඳුකරයේ වීණා වාදකයා
මුලින්ම කන්කළු වීණා වාදනයක් ඉදිරිපත් කලේය 
එම සිත් ගන්නා නාදය ඇසූ සියතුන් 
කාර්පේතියානු කඳුකරයේ වීණා වාදකයා
වටා පියාසර කළහ 

කාර්පේතියානු කඳුකරයේ වීණා වාදකයාට
නොදෙවෙනි වනු වස් යක්‍ෂයා තම බිහිසුණු
ඇඟිලි වීණාවේ තත් අතර යවමින් යක්‍ෂ රාවයක්
වාදනය කලේය 

යක්‍ෂයා වාදනය කල නිරයේ නාදය ඇසූ
සියොතුන් වහාම පළා ගියහ 
මිනිසුන් දෑත් වලින් තම කන් වසා ගත්හ 

මෙවර කාර්පේතියානු කඳුකරයේ වීණා වාදකයා
ආදරණීය ස්වරයක් වාදනය කලේය 
ආදරවන්තයෝ මොහොතක් නිසොල්මන් වූහ 

ඊට පිළිතුරු වස් යක්‍ෂයා 
අවමංගල්‍යය නාදයක් වාදනය කලේය​
එය ඇසූ මිනිසුන් ශෝකයෙන් භරිත වූහ 
පයින් ගස් වලින් පත්‍ර කඩා හැළුනේය  

මෙලෙස කාර්පේතියානු කඳුකරයේ වීණා වාදකයාත්
යක්‍ෂයාත් බොහෝ වේලාවක් යන තෙක් වීණා වාදනය කළහ 
හිරු බැස ගියේය රාත්‍රිය එලැඹුනේය 
එහෙත් තරඟය නැවතුනේ නැත 

අවසානයේදී කාර්පේතියානු කඳුකරයේ වීණා වාදකයා
යක්‍ෂයා දේවදූතයෙකු වූ කාලයේදී ඇළුම් කල 
පරාදීසයේ ගීතය නම් තනුව වාදනය කලේය 
එම තනුව ඇසූ යක්‍ෂයා තම අතීතය සිහිවී 
දුකින් පීඩිතව තව දුරටත් වීණා වාදනය කරනු නොහැකිව 
තරඟයෙන් පළා ගියේය 

කාර්පේතියානු කඳුකරයේ වීණා වාදකයා
අවසානයේදී යක්‍ෂයා පරාජය කොට 
තරඟයෙන් ජය ගත්තේය 

යක්‍ෂයා පොරොන්දු වූ පරිදි 
රනින් නිම කල වීණාවක් 
කාර්පේතියානු කඳුකරයේ වීණා වාදකයාට
තිළින කොට දුමක් සේ අන්තර්ධාන විය 

කාර්පේතියානු කඳුකරයේ වීණා වාදකයා
යක්‍ෂයා දුන් රනින් නිම කල වීණාව විකුණා 
සිටුවරයෙකු බවට පත් විය​
බොහෝ ඉසුරුමත් දිවියක් ඔහු ගත කලේය 
එහෙත් ධනවතෙකු වූ පසු ඔහු කිසි දින
තම වීණාව වාදනය කලේ නැත 

Tuesday, February 13, 2018

වැලැන්ටයින් සමරන්නට ගිය නංගියේ


වැලැන්ටයින් සමරන්නට 
ජයටම  ලස්සන මල් ගවුමක් ඇඳ  
කැසනෝවා සමග අතිනත ගෙන   
රූම් ගිය  මගේ පොඩි නංගියේ   

ආදරය වෙනුවට කාමය ආදේශ කල  
නුඹ දුන් රෝස මල එකතින් තලා 
ඈත් කරපු නුඹගේ දෙපා මැදින්  
සෙල්ලක්කාර ගමනක් ගිය කූටයා 
නැවත නොඑන නිසා ඉකි ගසන  
මගේ පොඩි නංගියේ මේ අසන්  

අම්මා මියෑදූන පසු  නාය ගිය පවුල​ 
එකට බැඳ තබන්නට මම ගත් වෙහෙස​ 
උඹ දන්නේ නැතුව ඇති නංගියේ  

තාත්තත් මතින් නිදාගෙන  
ඉස්සරහ දොරින්ම ආ බඩගින්න  
අපි ඔක්කොම යට කරගෙන   
අම්මා නැති උඹට පොඩි අම්මා වී  
මගේ වැලැන්ටයින් සිතෙන් අමතක කර  
අරුමෝසම්   දිලිසෙන ව්‍යාජ ජීවිතය ඉවතලා 
පොළවේ පය ගැටෙන  කාෂ්ඨ ජීවිතය 
දෝතින් බදාගෙන 

උඹවත් මල්ලිවත් ජීවත් කරවන්නට 
උදේ රෑ නොතකා  ඇඳුම් මසන්නට 
ජුකී සන්නාලියක වූ බව  
රට්ටුන්ට නොකියන් 
මගේ පොඩි නංගියේ

Sunday, February 11, 2018

පෘතුගීසි ජාතික බ්‍රිටෝ සහ මම



1989 වසරේදී පෘතුගීසි ජාතික බ්‍රිටෝ සහ මම එක ම දුම්රිය මැදිරියේ බල්ගේරියාව දක්වා ගමන් කරමින් සිටියෙමු. දින දෙකකට ආසන්න කාලයක් ගත වන මේ චාරිකාවේ ඔහු මාගේ තාවකාලික ගමන් සගයා විය. අපි එකට ආහාර ගතිමු. ඔහු ගේ විශාල වතුර බෝතලය අපි දෙදෙනා ම සහයෝගයෙන් ඛෙදාගත්තෙමු. එසේ ම මෝල්දෝවාහී කිෂනෝව් නගරයේ මා මිලට ගත් විශාල පලතුරු මල්ල අපට ඛෙහෙවින් ම ප්‍රයෝජනවත් විය.  

බ්‍රිටෝ සහ මම නොයෙකුත් විෂයයන් ගැන කතා කළෙමු. ඔහු ජීවත් වන්නේ ලිස්බන් නගරයේ ය. දැනට මොස්කව් රාජ්‍ය විශේවවිද්‍යාලයේ භාෂා අංශයේ උපාධිය හදාරයි. කිෂනොව් පසු වූ වහා ම අපි කාඩ් ගැසුවෙමු. ඔහු කාඩ් ක්‍රීඩාවේ දක්ෂයෙකි. නමුත් චෙස් ක්‍රීඩාවෙන් ඔහු ව පරදවා ලීමට මට හැකි විය.  අපි උදෑසන ආහාරය සඳහා දුම්රියපළක දී මිලට ගත් ක්ෂිර ආහාරය, ඇපල් සහ බදින ලද කුකුලෙකු අනුභව කළෙමු. බ්‍රිටෝ ළඟ තිබූ කළු පාන් ගෙඩියක් ද මෙහි දී එළියට ආවේ ය. කළු පාන් ඇඹුල් රසයෙන් යුක්ත වූව ද කුකුල් මස් සමඟ ප්‍රණීත  රසයක් ගෙන දෙයි. ක්ෂීර ආහාරය යෝගට් වැනි ය. එය වැඩිපුර නො ගැනීමට අප වග බලා ගත්තේ දුර ගමන් යන විට වැසිකිළි භාවිතය අවම කළ යුතු නිසා ය. අප ගේ දහවල ආහාරය සමන්විත වූයේ සොසේජස් සහ චීස්වලිනි. සවස තේ පානය කරන විට පැණී‚ රස විස්කෝතු කෑ අප රාත්‍රි ආහාරය සඳහා ගත්තේ පලතුරු පමණී‚.  

රාත්‍රිය එළැඹ තිබේ. දුම්රිය නොනවත්වා ම ගමනේ යෙදෙයි. බ්‍රිටෝ  තද නින්දේ ය. මට අප දෙදෙනා ගැන සිතීමෙන් සිනා ආවේ ය. එකම මැදිරියේ බල්ගේරියාව කරා යන පෘතුගීසි සහ සිංහල  තරුණයෝ දෙදෙනෙක් වූහ. මීට ශත වර්ෂ පහකට පමණ පෙර අප ගේ මුතුන් මිත්තෝ එකිනෙකා පිළිකුල් කළහ. එකිනෙකා සමඟ යුද වැදුණහ. ජෙනරාල් අසවේදෝ මට සිහිපත් විය. ඔහු ඇතැම් විට බ්‍රිටෝ  ගේ මී මුත්තෙකු වන්නට ඇත. ඔහු සිංහල දරුවන් කිඹුලන්ට දැමීය. ඉන් ශත වර්ෂ පහකට පමණ පසු අපි සාමකාමී ව එකට කමින් බොමින් ගමනේ යෙදෙමු.   

ලෝකය ගම්මානයක් ව තිබේ. තවත් වසර සිය ගණනක දී සිංහල තරුණයෙකු පෘතුගීසි තරුණයෙකු සමග අඟහරු ලොවට චන්ද්‍රිකාවකින් යනු ඇත. එවිට සිංහල තරුණයාට ද මට දැනුණු හැගීම් සමුදාය ම දැනෙනු ඇත. ලෝකයේ මිනිසුන්ට මෙවැනි අන්දමට එකිනෙකා සමඟ ආභාසයේ යෙදෙන්නට හැකියාව ලැඛෙයි නම් අප අතර පවතින පටු ජාතිවාදී ආකල්ප පහ වනු ඇත. සෑම ජාතියකට ම බඩගින්න, වේදනාව, සතුට යන ආවේගයන් තිඛෙන බව ඔවුහු වටහා ගනිති. තම වර්ගයා උසස් යන පටු හැගීම පැන නගින්නේ සන්නිවේදන අවහිරකම් ඇති වූ විට දී ය. සොෆියා නගරයේ දී අපි එකිනෙකා ගෙන් වෙන් වූයෙමු. එහෙත් බ්‍රිටෝ  යන පෘතුගීසි තරුණයා මාගේ සිතේ තවමත් ජීවත් වෙයි.


වෛද්‍ය රුවන් එම් ජයතුංග​

Saturday, February 10, 2018

මගේ රෝගියාට පහර දුන්නේ කවුරුන්ද ?

පහත සිදුවීම මා දුටුවේ දිවයින පුවත්පතිනි. මෙම සිදුවීමට සබැඳි ඩයස් යනු යුද හමුදා රෝහලේදී (2002 - 2006 ) කාලයේදී මා විසින් ප්‍රතිකාරක කරන ලද රෝගියෙකි. ඔහු ක්‍ෂිතිමය ක්‍රියාන්විත සිදුවීම වල නියැලීම නිසා පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවයට (PTSD) ගොදුරු වූ සොල්දාදුවෙකි. මෙම සොල්දාදුවා මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු සහ මා යටතේ කොලඹ යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලැබීය​. එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් තමන් ගේ කායික මානසික සුවය කැප කල මෙවැනි ආබාධිත සොල්දාදුවන් සමාජයේ හිංසනයට ලක් වන්නේ නම් එය ඉතාම අවාසනාවන්ත තත්වයකි.

පහත විස්තරය 2018 පෙබරවාරි 11 දින දිවයින පුවත්පතෙනි.   

 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 



කෝප්‍රල් ලසන්ත ඩයස්‌ 


විශ්‍රාම ලැබූ බුද්ධි අංශ සෙබළාට නුවරඑළියේදී එළව එළවා පහර දුන්නේ ඇයි...?



මේ වනවිට හතළිස්‌ හත් හැවිරිදි වියේ පසුවන ලසන්ත ඩයස්‌ යුද හමුදා සෙබළකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී ඇත්තේ මීට වසර විසි දෙකකට පමණ පෙරදීය.යාපනය, ඌරලුව, මනිපායි ආදී ප්‍රදේශවල ක්‍රියාන්විත රාජකාරි කටයුතුවල නියෑළුණු ඔහුගේ උපන් ගම වන්නේ නුවරඑළිය වජිරපුර ගම්මානයයි.



 වැඩිමහල් සහෝදරියන් දෙදෙනකු වැඩිමහල් සහෝදරයකු හා එක්‌ බාල සහෝදරයකුගෙන් යුත් පවුලක ඔහු හතර වැන්නාය.


නුවරඑළිය බීර නිෂ්පාදන කම්හලේ සේවය කළ ඔහුගේ පියා මේ වනවිට ජීවතුන් අතර නොමැති අතර මව ජීවත්වන්නේය.

දැනට වසර හතකට පමණ පෙරදී පිළියන්දල රේණුකා ද සිල්වා සමඟ විවාහ දිවියට පිවිසි ඔහු සිඟිති දියණියකගේ පියකු ද වන්නේය.
 උතුර නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරියේ නියෑළි සමයේ ඌරලුව මංසන්ධියේදී ඔහු ගමන්ගත් මෝටර් බයිසිකලය අනතුරකට ලක්‌වීමෙන් ඔලුවට සිදු වූ හානි හේතුවෙන් යුද හමුදා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට ඔහුට සිදු විය.
 ඉන්පසුව යුද හමුදාව සුළු රාජකාරි සඳහා යොදවා ඇති මොහු සේවය කොට ඇත්තේ යුද හමුදා බුද්ධි අංශයේය.
 සිය උපන් ගම වූ නුවරඑළියේ වරින් වර ඔහු බුද්ධි අංශ රාජකාරියේ නිරත වී ඇත. 
 වසර විසි දෙකක හමුදා සේවාවෙන් පසුව විශ්‍රාම යැම සඳහා ඔහු විශ්‍රාම නිවාඩු (පෙන්ෂන් නිවාඩු) ලබාගත්තේ මීට දින කිහිපයකට පෙරදීය.
 ඉකුත් තුන්වැනිදා සවස ඔහු නුවරඑළිය වජිර පුරයේ සිය නිවසින් පිටව ගොස්‌ ඇත්තේ ගමේ පැවති දේශපාලන රැස්‌වීමකට ද සහභාගි වී අනතුරුව ද්‍රවිඩ ජාතික හිතවතකුගේ අවමංගල්‍ය නිවසකට ද යැම සඳහාය.
 සියල්ලක්‌ අවසානයේ සිය මිතුරකු ද සමඟ ත්‍රීවීල් රථයකින් නිවස වෙත පිටත් වනවිට මැදියම් රාත්‍රිය ඉකුත් වී තිබුණි.
 තම නිවසට නුදුරු මාර්ගයේ මැදියම් රෑ කෑ ගසමින් සිටි පිරිසක්‌ අසල ත්‍රීවීල් රථය නතර වී ඇත.
 ඉන් පසුව ඇති වූ ආරවුලකින් පසුව මේ දෙදෙනාටම ත්‍රීවීල් රථය ද දමා දෙපැත්තකට දිවයැමට සිදු විය.
 පොලු, මුගුරු අතැතිව ලසන්ත ඩයස්‌ පසුපස හඹා ආ ඔවුන් ඒවායින් ඔහුට ඉතාමත් අමානුෂික ලෙස වරින් වර පහර දුන්නේය.
 පහළොස්‌ දෙනකුට අධික පිරිසක්‌ ඔවුන් අතර විය. ඒ සියලු දෙනාම ද්‍රවිඩ ජාතිකයෝ වෙති.
 මැදියම් රෑ අඳුරේ වුව ද මේ සියල්ලක්‌ ඒ අසල 
 පිහිටි ලැගුම් හලක සී. සී. ටී. වී. කැමරාවක සටහන් විය.
 මොහුට පහරදීමෙන් පසුව ත්‍රීවීල් රථය ද එම ස්‌ථානයේ දමා පහර දුන් පිරිස ඉවත්ව ගියහ.


පෙර වාසනා මහිමයකට දෝ ඔහුගේ බාල සොහොයුරු සංජය ලාල් ඩයස්‌ කිසියම් ගමනක්‌ ගොස්‌ මෝටර් රථයකින් නිවස වෙත ගමන් කරමින් සිටියදී ත්‍රීවීල් රථයක්‌ හා ඒ අසල වැටී සිටි පුද්ගලයකු දුටුවේය.



 මෝටර් රථයෙන් බැස බැලූ විට ඔහු දුටුවේ තම සොයුරා ලේ විලක්‌ මැද වැටී සිටින අයුරුය.


 ඒ සමඟම ලසන්ත ඩයස්‌ සමඟින් ත්‍රීවීල් රථයේ පැමිණි මිතුරාද එම ස්‌ථානයට පැමිණ ඇත.

 වහා ලසන්ත නුවරඑළිය දිස්‌ත්‍රික්‌ මහ රෝහලට රැගෙන ගිය ඔවුන් මේ බව නුවරඑළිය පොලිසියට ද දැනුම් දුන්නේය.
 සී. සී. ටී. වී. කැමරා දර්ශන හා ලසන්ත ඩයස්‌ සමඟින් සිටි මිතුරාගෙන් ලබාගත් තොරතුරු අනුව මේ වනවිට පොලිස්‌ අත්අඩංගුවට පත් ප්‍රධාන ගනයේ සැකකරුවන් හතර දෙනකු ලබන 19 දා දක්‌වා රිමාන්ඩ් සිර භාරයට පත්කොට ඇත.
 මීට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක්‌ සිටින අතර කිහිප දෙනකු තම පවුලේ උදවිය ද සමඟ නිවෙස්‌ හැරදමා සැඟවී සිටින බව නුවරඑළිය මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂක චන්දන බස්‌නායක මහතා පැවසීය.
 ලසන්ත ඩයස්‌ගේ බාල සොයුරු සංජය ලාල් ඩයස්‌ 'දිවයින'ට කියා සිටියේ මේ සිද්ධියට පෙර දෙවතාවක්‌ යම් යම් ද්‍රවිඩ පිරිස්‌ 'ආමිකාරයා', 'ආමිකාරය' කියමින් තම සොයුරාට පහරදී ඇති බවය.
 මෙය තුන්වැනි සිද්ධිය බවත් යුද හමුදා බුද්ධි අංශයේ සේවය කළ නිසා එයින් වෙනත් ගැටලුවක්‌ මතුවිය හැකි බවට ඇති වූ සැකය හේතුවෙන් තම සොහොයුරා ඒ සම්බන්ධව කිසිවකුට පැමිණිලි නොකළ බවත් සංජය ලාල් ඩයස්‌ කියා සිටියේය.
 මුහුණට ඔලුවට කොඳු පෙදෙසට හා දෙපාවලට දැඩි ලෙස පහර කෑමට ලක්‌වූ ලසන්ත ඩයස්‌ට තවමත් කතා කිරීමේ හැකියාවක්‌ නොමැත.

 ඩග්ලස්‌ නානායක්‌කාර - නුවරඑළිය විශේෂ


Friday, February 9, 2018

පන්සලේ අලියා

 

පන්සලේ හාමුදුරුවන් ගේ අලියා  
පැටියා කාලේ දායකයෙක්  
අමතක කරලා ගිය නිසා 
 කන්න දීලා හදාගත්තා

පන්සල් වත්තේ අලියා බැඳලා
කකුල් හතර කිටි කිටියේ
හැරෙන්නවත් බෑ
හොඞය වනනවා 

යකඩ දම්වැලට
කකුල තුවාල වෙලා
දම් පාටින් බේතක් ගාලා 
තුවාල වල මැස්සෝ පිරිලා 

ලොකු හාමුදුරුවොත්
ලොකු හාමු කෙනෙක් වෙලා
අලි ඇත්තු තමන් සන්තක කරගෙන 
මහ රාජා කෙනෙක් වගේ 

ගමන් බිමන් යන්නෙත් පත වාහනයක 
නිතරම සෙල් එක කනේ
ඉන්නේ දේශපාලකයෝ පිරිවරාගෙන 
පිරිවර සමග සසරින් එතර වෙන්න 

අපට නම් කිව්වේ උන්නාන්සේ 
සියල්ල අත් අරින්න කියලයි  
කුසල් සිතින් අපි අත් ඇරියම 
උන්නාන්සේ ඒවා තදින් බදාගත්තා   

චිරාගත සංස්කෘතිය රකින්න ඕන නිසා 
අලි පැටියෙක් කැලයෙන් අල්ලන් එන්න 
කියලා උන්නාන්සේ අලි රොෂාන්ට කිව්වේ
ඇසෙන නෑසෙන ගානට 

මිසදුටුවෝ - බෞද්ධ විරෝධීන් 
එන්.ජී.ඕ කාරයෝ
බොරු සත්ව කරුණාව ඇත්තෝ
හමුදුරුවන්ව විවේචනය කරනවා 

කැලේ ඉන්න අලි අල්ලගෙන 
උන්ව දම්වැල් වලින් බැඳලා
කුම්බස්තලයට හෙණ්ඩුවෙන් ඇනලා
දසවද දෙනවා කියනවා 

උන් අහනවා මේවා බෞද්ධ වැඩද​
බුදුන් වහන්සේ දේශනා කලේ මේවද 
අරකද මේකද කියලා 
හාමුදුරුවන් ගෙන් 

හාමුදුරුවන් නම් කියන්නේ 
අලි කියන්නේ බෝසත්තු
උන් අපේ සංස්කෘතිය එක්ක බැඳිලා හිටියා
බෝසත් ඇතා පිට උඩ තමයි ධාතු කරඞුව වඩම්මන්නේ

මිසදුටුවෝ - බෞද්ධ විරෝධීන් 
එන්.ජී.ඕ කාරයෝ -බොරු සත්ව කරුණාව ඇත්තෝ
උන් කියන විදියට ධාතු කරඞුව වඩම්මන්නේ
මහ ඇමතිගේ ඩිෆෙන්ඩරයේද ?

මේවා මහ මෝඩ කතා
පන්සල් වල අලි එදත් හිටියා
අදත් ඉන්නවා
හෙටත් ඉන්නවා 

උන්ව හැමදාම දම්වැල් වලින් බැඳලා
හෙණ්ඩුවෙන් ඇනලා
මෙල්ල කරලා තමයි
ලොකු හාමුදුරුවන් ලඟ වන්දවන්නේ  

පන්සලේ  අලියෙක් ඉන්න එක 
කොච්චර නම්බුද 
මැති ඇමතිවරු අටපිරිකර අරගෙන එනකොට
පේන්න ගැට ගහල ඉන්නේ ආවාසේ ඉස්සරහම 

අලියා කියන්නේ සංකේතයක්
අපේ අනන්‍යතාවයක් 
සංස්කෘතික නිමිත්තක්
ඒ නිසා ඌ සතෙක් නෙවෙයි 
වෙන මොකක්ද එකක් 

Find Us On Facebook