විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් සමායෝගී ආබාධයකින් පෙලෙන බවට රෝග නිර්නය කල සොල්දාදුවා වැඩි කතාබහක් නොමැතිව වාට්ටුවේ සිටියේය. එහෙත් හිටි හැටියේ ඔහු අප වෙත පැමිණ පාපොච්චාරණයක් කලේය.
" සර් මගේ ගම පොලොන්නරුවේ. මම ගම් පලාතේ ගෑණු ළමයෙක් එක්ක යාළු වෙලා හිටියා. පස්සේ එයා වෙනස් වෙන්න ගත්තා. මම අන්තිමට ගමේ ගියාම එයා කිව්වා එයාට මාව බඳින්න බැහැ කියලා. එයා වෙනත් කෙනෙක් බඳිනවා කියලා කිවා. ඒ නිසා මට ලොකු දුකක් තරහක් ආවා. මම එයාගෙන් බැගෑපත්ව ඉල්ලා හිටියා එහෙම කරන්න එපා කියලා. ඒත් එයා කියා හිටියා අපේ සම්බන්දේ අවසන් කියලා. මට ඉවසන්න බැරුව ගියා. මම එයාගෙ බෙල්ල මිරිකුවා. එයා මැරුණා. මම මිනිය ඇඳ රෙද්දක පොරවලා මගේ යාලුවෙක් ගේ ත්‍රීවීල් එකක දාගෙන පොලොන්නරුවේ පාළු පාරක් ලඟ තියෙන වැවක් ලඟට ගෙනිහිල්ලා කුඹුක් ගහක් යට වලක් හාරලා මිනිය වැලලුවා. ඒත් මට දැන් නිතර එයාගේ මුහුණ පේනවා "
සොල්දාදුවාගේ මෙම ප්‍රකාශය ඇසීමෙන් පසුව අප ආකූල වූයෙමු. වහාම සී .සී. එම්. පී. හෙවත් යුද හමුදා පොලිසියට මේ පිලිබඳව දැන්වූයෙමු. යුද හමුදා පොලිසියේ සාජන් කෙනෙකු පැමිණ ඔහුගෙන් කට උත්තරයක් ගත්තේය. ඔහු යුද හමුදා පොලිසියටද කීවේ අපට කියූ දෙයයි. මේ අතර යුද හමුදා පොලිසිය කොම්පඤඥ වීදිය පොලිසියට දැනුම් දීම නිසා කොම්පඤඥ වීදිය පොලිසියේ නිලධාරීන් ද පැමින ඔහුගෙන් කට උත්තර ගත්තේය.
ඔහු පොලිස් නිලධාරීන් ඉදිරි පිටදීද කීවේ එකම කතාවය. එම ගැහැණු ළමයාගේ නම , ලිපිනය කීවේය. එසේම ඇයව මරා වළ දැමූ ස්ථානයද හෙළි කලේය.
කොම්පඤඥ වීදිය පොලිසියේ නිලධාරීන් මෙම ඝාතනය ගැන පොලොන්නරුව පොලිසියට මැසේජ් කලේය. සැකකාර සොල්දාදුවා යුද හමුදා පොලිසිය භාරයට ගන්නා ලදි. පොලොන්නරුව පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙකු මිනිය ගොඩ ගැනීම සඳහා අදාල ස්ථානය වෙත ගියෝය. එහෙත් මෘත ශරීරය සොයා ගැනීමට ඔවුන් අපොහොසත් වූහ.
පසුව සොයා බැලීමේදී මරා දැමුවා කියූ යුවතිය දීගෙක ගොස් තිබෙන බව පොලොන්නරුව පොලිසිය සොයා ගත්තේය. පොලිසිය ඇයගෙන් ද කට උත්තරයක් ගන්නා ලදි.
එම සොල්දාදුවා තමා විසින් පෙම්වතිය මරා දැමුවා කියා සිතාගෙන සිටියේය. එය ඔහුගේ සිතේ ඇතිවූ ඝාතන අභිලාෂයකි. එහෙත් ඔහුට ඇයව ශාරීරිකව මරා දැමීමට නොහැකි විය. මෙම අවිඥාණික මානසික ගැටුම නිසා ඔහු සංරක්‍ෂණ ප්‍රයෝගයකට යොමු විය. ඇය මා අත හැර ගියා , මම ඇයගේ ගෙල මිරිකා මරා දමා වැවක් අද්දර කුඹුක් ගහක් යට වළලුවෙමි යන සංරක්‍ෂණ ප්‍රයෝගය ඔහු තදින් විශ්වාස කලේය. මේ නිසා පසුව ඔහුට වරදකාරී හැඟීම් මතුවී පාපොච්චාරණයක් කලේය. එය ව්‍යාජ පාපොච්චාරණයකි. එහෙත් උක්ත සොල්දාදුවා සිතාගෙන සිටියේ එය සත්‍ය පාපොච්චාරණයක් කියාය.
ඔහුගේ ක්ලමථ තත්වය අඩුවී ගිය පසු ඔහුට සත්‍ය පවසනු ලැබීය. මිනීමරුවෙකු නොවීම නිසා ඔහු සතුටට පත් විය. ඔහු ගේ රෝගී තත්වය යහපත් අතට වර්ධනය වූයේය. ඉන් වසර කීපයකට පසුව මෙම සොල්දාදුවා වෙනත් කාන්තාවක් සරණපාවා ගත් බව අපට ආරංචි විය.




