Friday, May 27, 2016

රතු ඉන්දියානුවන්

 

මුල් වරට මට රතු ඉන්දියානුවෙකු මුණ ගැසෙන්නේ යූක්‍රයීනයේ වෛද්‍ය පීඨයේදීය​. ඔහු පැනමාවෙන් පැමිණි සිසුවෙකි. එහෙත් අනෙකුත් ලතින් ඇමරිකානු සිසු සිසුවියන් මෙන් ඔහුට ස්පාඤ්ඤ සංකලනයක් නොතිබුනු බව මම සිතමි. ඔහු පැනමාවේ ආදි වාසියෙකු විය හැක​. ඔහුගේ මුහුණ දකින විට මට මතක් වූයේ ප්‍රිස්නස් ඔෆ් ද සන් නම් ටින් ටින් පොතේ එන ඉන්කා රජුය​. ඔහු සමහර විට ඉන්කා ජාතිකයන් ගෙන් පැවතගෙන එන්නෙකු වන්නට පුළුවන​. 

කුඩා කාලයේදී අප අසල්වැසි ළමුන් සමග  රතු ඉන්දියානුවන් සහ කව්බෝයි සෙල්ලම කෙරුවෙමු. කව්බෝයිස්ලා වීරයන් ය​. රතු ඉන්දියානුවන් ක්‍රෑරය​. එම නිසා නිතරම  කව්බෝයි කෙනෙකු වීමට මම උත්සුක වූයෙමි. තවද කුඩා කාලයේ මට  කුඩා ප්ලාස්ටික් සෙල්ලම් කව්බෝයිස් සහ රතු ඉන්දියානුවන්  තොගයක් තිබුනේය​. කව්බෝයිස්ලා නිල් පාටය​. රතු ඉන්දියානුවන් රතු පාටය​. ඔවුන් ගේ අශ්වයන් ද ඒ ඒ පාටින් විය​. මේ ප්ලාස්ටික් කව්බෝයිස් සහ රතු ඉන්දියානුවන් සටන් කර ගනිති. මා රතු ඉන්දියානුවන් එක පෙලට සිටුවා මාබල් එකක් විසි කරමි. මාබල්  එක වැදී රතු ඉන්දියානුවන් අසුන් සමග ඇද වැටෙති. මේ සටන් වලින් නිතරම දිනන්නේ මගේ ලෝකයේ වීරයන් වූ නිල් පැහැති කව්බෝයිස්ලාය​. 

පසුකාලයක මට අවබෝධ වූයේ රතු ඉන්දියානුවන් ස්වභාව ධර්මය සමග ජීවත් උසස් ශිෂ්ටාචාරයක් තිබූ මිනිසුන් බවයි. ඔවුන්ව සුදු මිනිසුන් විසින් ජන ඝාතනයකට ලක් කරන ලදි. මුල් කාලයේදී ක්‍රෑර රතු ඉන්දියානුවන් පිලිබඳ ගොතන ලද කතා ඇතුලත් Mackenna's Gold වැනි හොලිවුඩ් චිත්‍රපට ආශාවෙන් නැරඹූ මා පසු කාලයක කෙවින් කොස්නර් රඟපෑ Dances With Wolves වැනි චිත්‍රපට වලට ආශක්තවී රතු ඉන්දියානුවන් පිලිබඳව අධ්‍යනය කලෙමි. 

යෝක් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරියක වන ටාන්‍යා ශුල්ට්ස් හරහා මට හමුවූ මීරියම් ඇමරිකාවේ ආදිවාසී ජනතාව හෙවත් රතු ඉන්දියානුවන් ගෙන් පැවතගෙන එන කාන්තාවකි. ඇය මට ඇමරිකාවේ ආදිවාසී ජනතාව ගැන බොහෝ කතා කියා දුන්නාය​.රතු ඉන්දියානුවන් අතර බොහෝ ජන කතා තිබේ. එම කතා වල සතුන් සහ මිනිසුන් අතර වෙනසක් නැත​. සතුන් කතා කරති. එසේම පර්වත කඳු වලටද පණ තිබේ. ස්වභාව ධර්මයට ඔවුන් ගරු කරති. දඩයමකට සතෙකු මරා ගත් පසු එම සතාගේ ආත්මයට ඔවුන් යාඥා කරති. එම සතාගේ මස් ඔවුන් ගේ බඩගින්න නිවීමට දීම පිලිබඳව ස්තූති කරති. 

ආචාර්‍ය මායන් කැනේඩියානු ආදී වාසීන් ගෙන් පැවතගෙන එන උගත් කාන්තාවකි. ඇය ඔවුන් ගේ මව් බසින් ගීත ගැයීමේ හැකියාවෙන් ද යුක්තය​. යුරොපියානුවන් විසින් ඇමරිකා මහද්වීපයේ ආදිවාසී ජනතාව ජන ඝාතන වලට ලක් කොට ළමුන් සංස්කෘතික වහලුන් කරගත් අන්දම වරක් ආචාර්‍ය මායන් අපට කීවාය​. මේ ළමුන් පල්ලියේ ආගමික නායකයකයන් නායිකාවන් අතින් බරපතල කායික මානසික ලිංගික අපයෝජනයන්ට ලක් වූහ​. 

මේ ක්‍ෂිතිමය පරම්පරාවේ කිහිප දෙනෙකුට මා මනෝ ප්‍රතිකාර ලබා දී තිබේ. එක් පුද්ගලයෙකු එන්නේ වැන්කුවර් නගරයෙනි. ඔහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙකි. තවත් පුද්ගලයෙකු මධු ලෝලියෙකි. ඔහු කුඩා කාලයේ ලිංගික අපයෝජනයන්ට ලක්වී තිබේ. ඔහු කිසිම සුදු මිනිසෙකු විශ්වාස නොකරයි. ඔහු මාවද මුල් කාලයේ විශ්වාස කලේ අඩ වශයෙනි. 

රතු ඉන්දියානු ජාතිකයෙකු සමග දුම්කොළ හුවමාරු කර ගන්නා ටුබැකෝ පැක්ට් නම් චාරිත්‍රයක් තිබේ. මේ චාරිත්‍රය ගැන මට කීවේ  ටාන්‍යා ශුල්ට්ස්‍ ය​. රතු ඉන්දියානු ජාතිකයන්ට දුම්කොළ ගස අපට බෝ ගස මෙන් ශුද්ධ පූජනීය ගසකි. රතු ඉන්දියානු ජාතිකයෙකු සමග දුම්කොළ හුවමාරු කර ගත් විට ඔහු හෝ ඇය සදාකාලික මිතුරෙක් බවට පත් වේ. 

මම ෆර්ස්ට් නේෂන් නමින් හඳුන්වන රතු ඉන්දියානු ජාතික කෙන් සමග දුම්කොළ හුවමාරු කර ගත්තෙමි. දැන් අප දෙදෙනා සදාකාලික මිත්‍රයන් වෙති. ඔහු ඉනුඉට් ජාතිකයෙකි. උස මහතින් සහ දිගු කොණ්ඩයකින් යුක්තය. ​කෙන් වන් ෆ්ලිව් ඕවද කුකුස් නෙස්ට් චිත්‍රපටයේ ඉන්නා රතු ඉන්දියානු ජාතිකයා මෙනි. ඔහු එය වරදවා වටහාගනී කියා මා එය මෙතෙක් ඔහුට කීවේ නැත​. 

කෙන් නැචුරල් හීලිං හෙවත් ආදීවාසීන් ගේ චාරිත්‍ර ක්‍රම මගින් මිනිසුන්ට ප්‍රතිකාර කරයි. වරක් ඔහු මට ඔහුගේ හීලිං සෙෂන් එකකට ආරාධනා කලේය​. ඔහු දුම්කොළ ධූමය සහ රාජාලි පිහාටුවක් ගෙන ප්‍රතිකාර වටය කලේය​. එසේම රබානක් වැනි බෙරයක් ද වැයුවේය​.මේ ප්‍රතිකාර ක්‍රමය වසර දහස් ගනනක් පැරණි ස්වභාව ධර්මය සමග මුසු  කල ශරීරයේ ස්වාභාවික  සුව කිරීමේ යාන්ත්‍රණය පණ ගන්වන ප්‍රතිකාර ක්‍රමයකි. මෙවැනි ප්‍රතිකාර ක්‍රම ලංකාවේද තිබෙන බව මම කෙන්ට කීවෙමි.

( වරක් මා නිව් යෝක් සිට කැනඩාවේ නයගරා දක්වා රිය ධාවනය කලෙමි. මගේ ජී.පී.එස් එකේ වැරදීමකින් මුදල් අය කර ගන්නා ටෝල් රෝඩ්ස් මඟ හරින්න කියා නියෝගය දී තිබුනි. මේ නිසා මා විශාල වටයක් ගොස් කැනඩාවේ නයගරා වෙනුවට මතු වූයේ  ඇමරිකා -කැනඩා බෝඩරයේ කුබෙක් ප්‍රාන්තයට අයත් කුඩා දේශසීමා කපොල්ලකිනි. මේ ගමනේදී මා රතු ඉන්දියානුවන් ජීවත් වන රෙසවේෂන් එකක් මැදින් ගියෙමි. එය ගෝස්ට් ටවුන් එකක් විය​. නිව් යෝක් හි සුවිසල් අහස උසට නැගි ගොඩනැගිලි වෙනුවට මෙහි තිබුනේ 1800 ගනන් වල මෙන් ලී වලින් සාදන ලද ජරා ජීර්ණ වූ ගොඩනැගිලිය​. පාරවල් වල සමහර පහන් කනු වල බල්බ් නොතිබූ නිසා නගරය අඳුරු මූසල ස්වරූපයක් දැරීය​. මාර්ගය දෙපස බීමත් වූ සහ දුප්පත් ඇඳුමින් සැරසුනු රතු ඉන්දියානුවන් සිටියහ​. එම නගරයේ අලංකාරම නවීනතම ගොඩනැගිල්ල වූයේ කැසිනෝවකි. නමුත් එම කැසිනෝවට සුදු ඇමරිකානුවන් ආවේ නැත​. කැසිනෝව වටා දිරා ගිය පරණ වාහන වලින් ආ රතු ඉන්දියානුවන් නම් සිටි බව මතකය​. මේ 2018 වසර විය යුතුය​. එය රෙසවේශන් එකක් සියැසින් දුටු අවස්ථාව විය​.  බලාපොරොත්තු රහිත බව , දුගී බව , කාලකන්නි බව  මේ රෙසවේශන් එකේදී මා දුටුවෙමි) 


වෛද්‍ය රුවන් එම්. ජයතුංග

Thursday, May 26, 2016

පී.එම්.සී




පී.එම්.සී හෙවත් රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරනු ලැබුවේ 1980 දශකයේ මැද භාගයේ පමණය​1985 වසරේ දී මා සමග උසස් පෙළ විභාගය ලියූ හිරාන් චන්ද්‍රසේකර , චන්දික ( බිංජූරා)  උසස් පෙළ ප්‍රතිඑල ඒමත් සමග රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට ගියහ​. අපගේ පන්තියේ සිටි රවී විජේසේකර , හෙයියන්තුඩුව ,සම්පත් රණවීර , සුමුදු හේවාවසම් දේශීය වෛද්‍ය විද්‍යාලවලට තේරුණහ​. මා මෙන්ම මංජුල පතිරාජ වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස විදේශ ගතවූහ​. 

අප විදේශ ගතවී වසරක් පමණ යන විට රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට කොලඹ , පේරාදෙනිය , රුහුණ රජයේ වෛද්‍ය පීඨවල සිසුන් මෙන්ම අනෙකුත් රාජ්‍ය විශ්ව විද්‍යාල වල සිසුන්ද විරෝධතා දියත් කරන බව අපට ආරංචි විය​. අප පළවන වසර භාෂා අධ්‍යන පාඨමාලාව කරන විට අපගේ වෛද්‍ය පීඨයේ සිටි ජේෂ්ඨ සිසුවෙකු වූ ලක්සිරි ධනංජය වෛද්‍යරත්න රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කරන සටනේදී අප රජයේ වෛද්‍ය පීඨවල සිසුන්ට සහාය දිය යුතු බව කියා විරෝධතා පෙත්සමකට අත්සන් ගත්තේය​. අපද රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පෙත්සම අත්සන් කොට ලංකාවේ වෛද්‍ය පීඨවල සිසුන්ට අපගේ සහයෝගිතාව පෙන්වූයෙමු. 

මේ අතර සටන දිගින් දිගටම ඇවිලී ගිය අතර වෛද්‍ය පීඨවල සිසුන් කිහිප දෙනෙකු මරු දැකීමෙන් සහ රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමෙන් සටන අවසන් වූ බව පසුව වාර්තා විය​. මේ විරෝධතා වලින් දශක කීපයකට පසුව මට රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ හිටපු සිසුන් මෙන්ම ඒ කාලයේ රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් කල අතීත සිසු නායකයන් හමුවී තිබේ. එදා මෙදා අතර කාලය තුල බොහෝ දේවල් වෙනස්වී තිබේ. නමුත් මම අපක්‍ෂපාතීව මගේ නීරීක්‍ෂණයන් සඳහන් කරමි. 

රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අපගේ විනිට්සා වෛද්‍ය පීඨයේ පළමු වෙඩි මුරය පත්තු කල ජේෂ්ඨ සිසුවෙකු වූ ලක්සිරි ධනංජය වෛද්‍යරත්න වර්තමානයේදී විශේසඥ අධිකරණ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි. එකල රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් කල දේශීය වෛද්‍ය පීඨ වල ඉගෙන ගත් අතීත සිසු නායකයන් කීප දෙනෙකු මට ලංකාවේ විවිධ රෝහල් වල හමු වී තිබේ. පේරාදෙනිය වෛද්‍ය පීඨය නිම කල එක්  සිසු  නායකයෙකුගේ වෛද්‍ය වෘත්තික ක්‍රියා කලාපය මම මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල කාලයේ දුටුවෙමි. දුප්පත් රෝගීන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මිනී පෙට්ටි ඔසවාගෙන උද්ඝෝෂණ වල ගිය ඔහු වෛද්‍යවරයෙකු වූ පසු  රාජකාරී වේලාවේ තම නිල නිවසේදී පුද්ගලිකව රෝගීන් මුදලට බැලීය​. එසේම තම පීපී එකට නාව දුප්පත් රෝගීන්ට රෝහලේදී ඇඳක් දුන්නේවත් ඔවුන්ව නිසියාකාරව බැලුවේත් නැත​. අසීමිත ලෙස පුද්ගලික සේවයේ යෙදෙමින් අනෙකුත් වෛද්‍යවරුන් ගේ ප්‍රතිකාර රෝගීන් ඉදිරියේ මෙන්ම කාර්‍ය මණ්ඩලය ඉදිරියේ විවේචනය කල ඔහු  රෝහලේ කම්කරුවන් දෙදෙනෙකු යොදා ගනිමින් අනෙකුත් වෛද්‍යවරුන්ට එරෙහිව මඩ ප්‍රචාර ගෙන ගියේ තම වියාපාරය තව තවත් දියුණු කර ගැනීමේ අභිලාශයෙනි. 

අරණායක ප්‍රදේශයෙන් පැමිණි මොහු මේ සා පිස්සුවෙන් මෙන් මුදල් පසුපස ලුහුබැන්දේ අළුත් මෝටර් රථයක් ගැනීමටත් නව නිවසක් තනා ගැනීමේ මූලික අභිලාශයෙන් බව මට වැටහුණි. පුද්ගලික සේවය වෙනුවෙන් බොහෝ වෛද්‍ය ආචාර ධර්ම කඩ කල මේ අතීත සිසු නායකයා කරන ලද එක් අගතිගාමී ක්‍රියාවක් මම සඳහන් කරමි. ඒ කාලයේ මම පීපී නොකලෙමි. එම නිසා මෙම පුද්ගලයා සහ මා අතර කිසිදු ගැටුමක් නොවීය​. ඔහු මට කිසිදු වරදක් කොට නොමැත​. එහෙත් ඔහු නරුම මිනිසෙකි. 

කොලොන්ගොඩ ප්‍රදේශයේ සණස බැංකුවේ සේවය කල යසා නම් කාන්තාවගේ දියණියට ඩෙංගු රෝගය වැළඳුන විට ඇය දියණිය ගෙන යන්නේ මේ වෛද්‍යවරයා  සේවය කල හසලක රෝහලටය​. පීපී ගැටුම් ගැන කිසිවක් නොදත් යසා මුලින්ම යන්නේ හසලක රෝහලේ ආර් එම් ඕ හෙවත් සහකාර වෛද්‍ය නිලධාරියාගේ පුද්ගලික චැනල් මධ්‍යස්ථානයටය​. එහිදී සහකාර වෛද්‍ය නිලධාරියා රෝගී දැරිය ඩෙංගු රෝගයෙන් පෙලෙන බව අනුමාන කොට  හසලක රෝහලට ඇතුලත් කරයි. නමුත් තම පීපී එකට නාව මහා පාපකර්මය නිසා උක්ත වෛද්‍ය නිලධාරියා දැරියව තම වාට්ටුවේදී නොසලකා හරියි. ඇයට අවශ්‍ය ප්‍රතිකාර නිසි ලෙස ලබා නොදේ. අවසානයේදී දැරිය ඩෙංගු රක්තපාත තත්වය නිසා අසාධ්‍යව මිය යන්නීය​. 

මෙය ප්‍රබන්ධයක් නොව සත්‍ය කතාවකි. කොලොන්ගොඩ ග්‍රාමයේ යසා මහත්මියගේ දියණිය මිය යන්නේ මෙවැනි නරුම තත්වයකදීය​. දුගී බවත් නීතිය ගැන නොදැනීමත් නිසා ඔවුන් තම ආදරණීය දියණිය වළ දමා කර්මය වෙත ඇගේ මරණය බැර කරති. නිදහස් සෞඛ්‍යය සේවය වෙනුවෙන් පාරවල් දිගේ මරා ගැනීමට ගිය මේ වෛද්‍යවරයාටද දියණියක් සිටි නමුදු යසා ගේ දියණිය වෙනුවෙන් ඔහු සංවේදී වූයේ නැත​.

නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා උග්‍ර පී.එම්.සී විරෝධතාවක යෙදුනු මාතලේ රෝහලේ සිටි තවත් වෛද්‍යවරයෙකු මට සිහිපත් වේ. ඔහු රෝහලේ සේවය කරන විට බෙහෙත් ගැනීමට පැමිණි දුප්පත් නමුත් රූමත් තරුණියක් දපනේ දමා ගත්තේය​. ඇයව තම නිල නිවාසයට ගෙන්වා ගත් ඔහු ඇය සමග අඹු සැමියන් ලෙස හැසිරුනේ ඇයව විවහා කර ගන්නා බවට පොරොන්දු දීමෙනි අවසානයේදී තම අශාවන් ඉෂ්ඨ කර ගැනීමෙන් පසුව ඔහු ඇයව නිල නිවාසයෙන් පළවා හැරියේය​. අතරමං වූ තරුණිය වස පානය කොට දිවි නසාගත්තාය​. ඇයගේ දුගී දෙමාපියන් මෙය එකල මාතලේ ඩී.එම්.ඕ වූ වෛද්‍ය සිරිමල් ජයසිංහට පැමිණිලි කලද ඔහු මේ කේස් එක යට ගසා චූදිත වෛද්‍යවරයා බේරා ගත්තේය​. පසු කාලයක වෛද්‍ය සිරිමල් ජයසිංහද පුද්ගලික හේතුවක් මත පී.එච්.අයි වරයෙකු විසින් මිරිස් ගලකින් පහර දීම නිසා මිය යන ලදි. 

පීඑම්සී විරෝධී මෙන්ම නිදහස් සෞඛ්‍යය සේවාව වෙනුවෙන් පෙලපාලි ගිය උද්ඝෝෂණය කල අංකුර වෛද්‍යවරුන් පසු කාලයක දුප්පත් මිනිසුන් බෙහෙත් ගැනීමට පැමිණි විට ඔවුන් ගේ මුහුණ දෙසවත් නොබලා බෙහෙත් තුංඩුව දෙන අන්දම මම දුටුවෙමි. එසේම ඔවුන් ශල්‍යකර්ම සඳහා බොහෝ මුදල් අය කොට දුගීන් ගේ රීරී මාංශය වූවද හූරා ගැනීමේ සමතුන් වූහ​. මෙසේ පරිනාමය වූ බොහෝ දෙනෙකු අතීතයේ සටන් කලේ පී එම් සී නම් යක්‍ෂයාගෙන් මෙරට ජනතාව බේරා ගැනීමටය​. 

රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධතාව වෙනුවෙන් ත්‍රීමා විතාණ , වෙනුර , කොල්ලූරේ යන සිසුන් අකාලයේ මිය ගියහ​. කොලඹ වෛද්‍ය පීඨයේ ත්‍රීමා විතාණ සමග එක කාමරයේ සිටි  පීඑම්සී විරෝධතා කල එකල වෛද්‍ය සිසුවෙකු වූ අයෙක් අද වෛද්‍ය කළු කඩ මුදලාලි කෙනෙකි. තවද මෙසේ මිය ගිය සිසුවෙකුගේ ඥාතී වෛද්‍යවරයෙක් මට පසුකාලයක හමු විය. ඔහු මට පැවසුවේ තම ඥාතී වෛද්‍ය සිසුවාව කපටීන් විසින් ෆෝම්  කරවා වෘකයන්ට ආහාර පිණිස විසි කල බවයි. මේ සටන් පසුපස සිටි අවස්ථාවාදී දේශපාලකයෙක්  පසු කාලයක මිලියන ගනන් ජනතා මුදල් හොරකම් කොට තම දරුවවා විදෙස් රටක   පුද්ගලික විශ්ව විද්‍යාලයකට යැව්වේය​. 

රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය කෙරෙහි විවේචන තිබුණි. සමහර විට උසස් පෙල හෝම් සයන්ස් කල සිසුවියන් ද සිටි බවට කටකතා තිබුන බව මතකය​. නමුත් පොදුවේ බැලීමේදී රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය විසින් බිහි කරන ලද වෛද්‍යවරු බොහෝ දෙනෙකු අද විශේෂඥ වෛද්‍යවරු ලෙස ලංකාවේ සේවය කරති. එසේම තවත් බොහෝ දෙනෙකු සාර්ථකව විදෙස් රට වල සේවයේ යෙදේ. රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට ගිය සිසු සිසුවියන් තුල ඉංග්‍රීසි භාෂා හැකියාවේ ප්‍රවීණත්වය නිසා ඔවුන්ට අපහසුවකින් තොරව පශ්චාත් උපාධි අධ්‍යනයේ යෙදීමට හැකිවූ බව මම අනුමාන කරමි. එසේම මට හමුවී ඇති පීඑම්සී වෛද්‍යවරු බොහෝ දෙනෙකු වෘත්තීය කුහකත්වයෙන් ,වෛද්‍ය ආචාර ධර්ම කඩ කිරීමෙන්,  හීනමානතා සංකීර්ණයෙන් තොරය​. ඔවුන් තුල ලෝකය පිලිබඳ පෘථුල අදහස් පවතින්නේ ඔවුන් ලෝකයේ බොහෝ රටවල සංචාරය කොට තිබීම නිසා බව මම සිතමි.  

මේ ලියවිල්ල පීඑම්සී එකේ වෛද්‍යවරුන් ඉතා ඉස්තරම්  බව කියවෙන ලියවිල්ලක් නොවේ. මා මෙහිදී පෙන්වා දෙන්නට අදහස් කලේ එදා අපගේ විරෝධතාවන් සාධනීයද කියාය​.  අප කල යුත්තේ කුමක්ද ? රාගම   පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වැනි පුද්ගලික වෛද්‍ය විද්‍යාල විනාශ කොට යසාගේ දියණිය මිය යාමට ඉඩ දුන් නරුම වෛද්‍යවරු මේ ක්‍රමය යටතේ ඇතිකිරීමද නැතහොත් මේ ක්‍රමය වඩාත් මානුශිකවාදී කිරීමද ? 


වෛද්‍ය රුවන් එම්. ජයතුංග

Wednesday, May 25, 2016

බල්ගේරියාව





විශාලත්වය අතින්  බල්ගේරියාව යුරෝපා මහද්වීපයේ 16 වන ස්ථානය දරයි. බල්ගේරියාවේ එක පාර්ශවයකින් කළු මුහුදය​. අනෙක් පාර්ශවයෙන් රුමේනියාව , සර්බියාව ග්‍රීසිය සහ තුර්කිය යන රටවලින් වටවී තිබේ.

මා බල්ගේරියාවට ගියේ අසූව දශකයේ අග භාගයේදීය. ඒ කාලයේ පෙරෙස්ත්‍රොයිකා ක්‍රියාදාමය නිසා වෙලඳ ආර්ථික ක්‍රමය බල්ගේරියාව වැනි වර්සෝ පාර්ශවයේ රටවලද වියාප්තව තිබුනේය​. මේ හැර සෝවියට් න්‍යෂ්ටික වැඩසටහන් නවතා දමා තිබූ නිසාද න්‍යෂ්ටික බලාගාර වල ආරක්‍ෂාව නොතකා හැරීම නිසාද න්‍යෂ්ටික ද්‍රව්‍ය හොර පාරේ සිට බල්ගේරියාව හරහා මැද පෙරදිගට ගියේය​. සදාම් හුසේන් විසින් බොහෝ මිල ගෙවා මේ න්‍යෂ්ටික ද්‍රව්‍ය මිලට ගත් බව පසුව හෙලි විය​. 

මා බල්ගේරියාවට යන විට එක් ගුරුසියානු ජාතිකයෙක් ක්‍රාස්නය රුතූත් හෙවත් රතු රසදිය අඩංගු භාජනයක් තම බඩු බාහිරාදිය සමග ගෙන ගියේය​. මේ රතු රසදිය න්‍යෂ්ටික බලාගාර වල යොදා ගන්නා රසායණිකයකි. එහෙත් බල්ගේරියානු බලධාරීන් මේ ද්‍රව්‍ය වලට වඩා විමසිලිමත් වූයේ ඩෙනිම් කලිසම් , ජර්මනියේ නිෂ්පාදිත සපත්තු , තුර්කි ලෙදර් ජැකට්, ජපන් ඔරලෝසු පිළිබඳවය​. 

මේ කාලයේ ලංකාවේ ජාවරම්කරුවන් මිනිසුන් හොරෙන් රට පැටවීම හෙවත්  හියුමන් ට්‍රැෆිකින් අරඹා තිබුන අතර සෝවියට් දේශයේ ඉගෙනුබ ලැබූ සමහර් සිසුන් ද මේ නීති විරෝධී ජාවාරමේ කොටස්කරුවෝ වූහ​. බොහෝ ද්‍රවිඩ තරුණයෝ මේ ආකාරයෙන් යුරෝපයට ආ අතර මොවුන් ගෙම්බන් ලෙස හඳුන්වන ලදි. හියුමන් ට්‍රැෆිකින් කල පුද්ගලයන් ගෙම්බෝ පන්නන්නන්  ලෙස නම් වූයේය​. මෙලෙස ගෙම්බෝ පන්නා විශාල ධනයක් උපයන ලද පුද්ගලයන් වර්තමානයේ තම හියුමන් ට්‍රැෆිකින් ක්‍රිමිනල් අතීතය වළදා ඒ ධනය නීත්‍යනුකූල වියාපාර වල ආයෝජනය කොට වැදගතුන් සේ වර්තමාන ලාංකික සමාජය ඉදිරියේ  පෙනී සිටිති. 

ගෙම්බෝ පන්නන වියාපාරයේ බොහෝ අපරාධ තිබුනේය​.කොටි සංවිධානය යුරෝපය පුරා වියාප්ත වී ඊලාම් යුද්දයට මුදල් පොම්ප කිරීම ඇරඹුනේ මේ ගෙඹි වියාපාර මගිනි.  එසේම ඉතාලි යවන බව කියා මුදල් ගෙන  සමහර විට මිනිසුන් බල්ගේරියාවේ රුමේනියාවේ  අතරමං කරන ලද අවස්ථා විය​. සමහර තරුණයන් ශීතට අසුවී මිය ගියහ​. සමහරු තවමත් සිර ගෙවල් වලය​. තවද  කියෙව් නගරයේ එක් සිසු ගෙම්බෝ පන්නනෙක් සහ ඔහුගේ මිතුරෙක් ඉතාලි යාමට ආ දෙයුවලකගෙන් මුලින්  කොල්ලන් දෙදෙනා බල්ගේරියාවට යවා කෙල්ලන් දෙදෙනා කියෙව් නගරයේ මහල් නිවාසක රඳවාගෙන පුරා මාස ගනනක් ඔවුන්ව දූෂණය​ කලෝය​. මින් එක් දූෂකයෙක් ලංකාවේ වෛද්‍ය වෘත්තියේද නිරත වේ.  

ගෙම්බන් නිසා ලාංකිකයන් දෙස බල්ගේරියාවේ කස්ටම් නිලධාරීන් බැලුවේ සැකයෙනි. මා සතුව  වෛද්‍ය පීඨය විසින් නිකුත් කරන ලද සිසු හැඳුනුම් පත්‍රය තිබූ නිසා මට ගැටළුවක් නොවීය​. දේශසීමාව තරණය කිරීමෙන් පසුව මම බල්ගේරියාවට ඇතුළු වූයෙමි. 

බල්ගේරියාවේ සොෆියා නගරය පැරණි යුරෝපීය තේජස දක්නට ඇති නගරයකි. එහි වූ විශාල ගොඩනැගිලි අතිශයින්ම මනහරය​. ගෘහ නිර්මාණ ශිල්පය ඉගෙන ගන්නා සෑම දෙනෙකුටම මම දෙන ඔවදනක් නම් බල්ගේරියාවේ සොෆියා නගරයට ගොස් එහි ගොඩනැගිලි ස්වරූපය අධ්‍යනය කරන ලෙසටය​. 

බල්ගේරියාවේ මාවත් පුරා පොඩි පොඩි කඩ හතු පිපෙන්නා සේ බිහි වී තිබේ. මේ කඩ වල විවිධ දේ මිලදී ගැනීමට පුලුවන . එසේම භාණ්ඩ හුවමාරුවද සිදුවේ. ආහාර ගැනීමට අවන්හලක් වෙත මම ගියෙමි. ගම්මිරිස් සහ අනෙකුත් කුළුබඩු යොදා තම්බා පසුව බදින ලද විශාල කුකුලෙක් මේසයට ගෙන එන ලදි. කුකුලා වටා තක්කාලි පෙති සහ අර්තාපල් පෙති තිබුනේය. එසේම කළු ඇඹුල් පාන් පෙති ගසා මේසය මත තිබුනි. මේ ආහාරයට ඔවුන් ගත්තේ ඉතා සාධාරණ මුදලකි. 

සොෆියා නගරයේ ඇවිදින විට මට ඉතාලි ජාතික යුවලක් මුණ ගැසුනි. ඔවුන් මා සමග සුහදව කථා කලෝය​. ඒ කාලයේ බටහිර ලෝකයේ ජනයා බල්ගේරියාවට ආවේ සුළු වශයෙනි. මම රුසියානු , යූක්‍රයීන සහ ඉංග්‍රීසි භාෂා දැන සිටි නිසා මොවුන් දෙදෙනාට මාව සම්පතක් විය​. මම බල්ගේරියානු ඉන්ටුවරිස්ට් කාර්‍යාලයට ඔවුන් සමග ගොස් ඔවුන් ගේ විසා සහ ප්‍රවේශ පත්‍ර ගැන තිබූ ගැටළුවක් නිරාකරණය කිරීම සඳහා භාෂා පරිවර්තකයා ලෙස සහය වූයෙමි. ඔවුන් ඉංග්‍රීසියෙන් කියූ දෙය මම රුසියන් බසින් බල්ගේරියානු නිලධාරීන්ට පැහැදිලි කලෙමි. මෙම ගැටළුව විසඳා දීමෙන් පසු අප තිදෙනා දුම්රිය පළට ගියෙමු. 

මා මෙතෙක් වෙලා සිතාගෙන සිටියේ මොවුන් ඉතලියානු යුවළක් බවය​. එහෙත් පසුව මට  තේරුම් ගියේ දෙදෙනාම පිරිමින් බවය​. එක් අයෙකුගේ සුරතේ දැවටී සිටියේ කාන්තාවක් බඳු පිරිමියෙකි. සමකාමී (Gay) කපල් එකක් සමග ගනුදෙනු කල මුල්ම අවස්ථාව එය විය​. නමුත් මම පසුකාලයක එල් ජී බී ටී (LGBT)  පුද්ගලයන් දෙස විනිශ්චයකින් තොරව  බැලීමට පුරුදු වූයෙමි. වර්තමානයේ මා සමග පර්‍යේෂණ ව්‍යාපෘති වල එල් ජී බී ටී පුද්ගලයන් කිහිපදෙනෙකු සිටින අතර මා ඔවුන්ට වෙනසකින් තොරව සලකමි. 

ලිංගික පාපය ප්‍රතික්ශේප කල බුදුදහම වැනි දහමක් කරේ තබාගෙන අදහන මේ බුදුන් ගේ දේශයයි කියන ලංකාවේ සමකාමී පුද්ගලයන් සමාජයෙන් පොන්නයන් ලෙස කොන් කිරීම සමහර විට මට විමතිය ගෙන දේ. ඒ අතින් බටහිර යුරෝපය සහ උතුරු ඇමරිකාව වඩාත් ඉදිරිගාමීය​.  බුද්ධ චරිතයේ දැක්වෙන බුදුන් ගේ රුවට ඇළුම් කල වක්කලී භික්‍ෂුව සමකාමී පුද්ගලයෙකු බව මට සිතේ. බුදුන් වක්කලී භික්‍ෂුවට මා දෙස නොව මගේ දහම දෙස බලන්න කියා ඔවදන් දුන්නේය​.වක්කලී  පාපී පුද්ගලයෙකු කියා ගල් ගසා මරන්නට බුදුන් කීවේ නැත.  

සමකාමී අයිතිවාසිකම් ගැන සිතීමට ලංකාව වැනි සමාජයක්  තවමත් ආකල්පමය සහ සංස්කෘතිමය වශයෙන් දියුණු නොමැත. එසේම සමකාමී විරෝධය දක්වන්නන් බොහෝ දෙදෙනෙකු අවිඥානිකව සමලිංගිකත්වය කෙරෙහි ඇළුණු පුද්ගලයෝය​. අවිඥානිකව මතුවන සමලිංගිකත්ව රුචිය ඔවුන් යටපත් කරන්නේ සමලිංගිකත්වය කෙරෙහි අඝාත විරෝධයෙනි. මේ සඳහා ඉතිහාසයේ දැක්විය හැකි නිදසුන වන්නේ හිට්ලර් ගේ සමලිංගිකත්ව විරෝධයයි. 

සොෆියා දුම්රිය පලේදී මම ඉතලියානුවන් ගෙන් සමුගත්තෙමි.  ඔවුන් ඇතන්ස් බලා ගියෝය​. මම  මට නියමිත  දුම්රිය එනතෙක් දුම්රිය පලේ  කාන්සියෙන් සිටියෙමි. මේ කාන්සිය භීතියක් බවට පත් වූයේ රංචු පිටින් දුම්රිය පළට  කඩා වැදුනු ජිප්සීන් නිසාය​. බාල මහළු ජිප්සීන් රොත්තක් කඩා වැද මහ හඞින් ශබ්ද නගන්නටත් මුදල් ඉල්ලා මගීන්ට කරදර කරන්නටත් වූහ​. සමහර තක්කඩි ජිප්සි කොල්ලෝ මගීන් ගේ මළු උදුරාගෙන දිවූහ​. මා මගේ හවසැක් එක තදින් අල්ලාගෙන සූදානම් පිට සිටියෙමි. එහෙත් ජිප්සීන් මට කරදරයක් නොකලේ මා ඉන්දියානුවෙකු බව සිතා විය හැක​. 

ජිප්සීන් තමන්ට ඉන්දියානු සම්භවයක් තිබෙන බව උජාරුවෙන් කියති. රුසියාවේ වූවද අප දකින් ජිප්සීන් සමහර විට නාශ පකලේනිය (අපේ පරම්පරාව​) කියා කියති. මේ නිසා තම වරිගයේ එකෙකුට අතවරයක් කිරීමට ඔවුනට සිත් නොදුන්නා විය හැක​. එහෙත් සුදු ජාතික බල්ගේරියානුවන් , රුසියානුවන් ජිප්සීන් ගේ අතවර වලට ලක් වූහ​. ආරක්‍ෂක නිලධාරීන් හෝ පොලිස්කරුවන් පළාතක නොවීය​. 

මේ අතර මගේ දුම්රිය ආවෙන් මම ජිප්සීන් ගෙන් නිදහස් වූයෙමි. දුම්රියේ සිටි බල්ගේරියානු ජාතික පොලිස් නිලධාරියා මා සමග කථාවට වැටුනේය​. ජිප්සීන් සමහරක් විට බලහත්කාරයෙන් කෝච්චි වලටද ගොඩ වන බව ඔහු කීය​. එම නිසා මේ දුම්රියේ ආරක්‍ෂාවට ඔහු අවියක් සහිතව ගමන් කරයි. මේ පොලිස්කරුවා මා සමග හිතවත් වීම නිසාදෝ ඔහුගේ සෝවියට් දේශයේ නිෂ්පාදිත​ පිස්තෝලයේ උණ්ඩ ඉවත් කොට එය මා අතට දුන්නේ  පිරික්සා බැලීම සඳහාය​. බටහිර නිෂ්පාදිත කෝල්ට් ,ස්මිත් ඇන්ඩ් වෙස්න් , පීපීකේ යන පිස්තෝල- රිවෝල්වර ගැනද ඔහු දැන සිටියේය​. 

බල්ගේරියා ජාතික මෙතෝදි මට හමුවන්නේ මේ ගමනේදීය​. අප බොහෝ දේවල් ගැන කථා කලෙමු. ඔහු බටහිර සංගීත රසිකයෙකි. අපගේ වෛද්‍ය පීඨයේ බල්ගේරියානු ජාතික සිසුවියක් සිටින බවද මම ඔහුට කීවෙමි. ඇත්ත වශයෙන්ම අපගේ වෛද්‍ය පීඨයේ බල්ගේරියානු ජාතික සිසුවියක් සිටි අතර ඇය මිතුරුව සිටියේ ඉන්දියානු ජාතික සිසුවෙකු සමගය​.  බල්ගේරියානු තරුණිය උස මහතින් යුතු වූ අතර ඉන්දියානු ජාතිකයා කුඩා ශරීරයකින් යුක්ත විය​. මේ නිසා අනෙකුත් සිසුන් ඔහුව හැඳින්වූයේ ඇත්ගොව්වා කියාය​.  


 වෛද්‍ය රුවන් එම්. ජයතුංග

Tuesday, May 24, 2016

හරාකිරි කාව්‍ය සංග‍්‍රහය පිළිබඳව…




සාහිත්‍යයට පිටුපෑම

ජීවන සටන නිසා
වල්මත් වී ගිය
පොතක් පතක් කියවන්නට
ගීතයක් අසන්නට
වෙලාවක් කලාවක් නැති
ගෙන්දගම් පොළොවට
ඇලූණු දෙපා නිදහස් කරගැනීමට
වෙර දරණ මැළවුණු මුහුණින් යුත්
දනන් හට සාහිත්‍ය්‍ය එපාවීද?



හරාකිරි කාව්‍ය සංග‍්‍රහය පිළිබඳව……

දෛනික ජීවිතයේදී මිනිසාගේ යහ පැවැත්මට එරෙහි බලවේග ංසිද්ධින් බොහොමයක් ඔහුගේ විෂය පථයට හසු වී ඇත.
මහාචාර්‍ය සෝමරත්න බාලසූරිය කැළණිය විශ්ව විද්‍යාලය

වෛද්‍ය රුවන් එම්. ජයතුංගගේ කවි බසෙහි ප‍්‍රකාශන ශෛලිය සෘජුය. නාටකීය ආකෘතියක් එ් කවි වල තිබේ.
තිඹිරියාගම බණ්ඩාර -මාධ්‍යවේදී

හරාකිරි කාව්‍ය සංග‍්‍රහය වර්තමාන මිනිස් සමාජයේ හරස්කඩ නිරූපනය කරයි.
ආචාර්‍ය එච්. එ්. පී. අභයවර්ධන -ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය


Monday, May 23, 2016

කහ​ පටි





ප්ලේමවුත්  පාරේ බානිගේ කල්ලියේ කොල්ලෙකුට වෙඩි තියලා කියලා  ලැරී දුවගෙන ඇවිල්ලා කිව්වා. දුවපු හතියට ලැරීට හුස්ම ගන්නත් බැහැ. ලැරී පිටි මුට්්ට් වගේ බරයි. ලැරී ඇවිදින වාට්ටුවක්. උප්පතියෙන්ම ගෙනාපු දියවැඩියාව​, ඇදුම , අසාත්මිකතා , ඔක්කොම තියනවා. ලැරී ඉන්හේලර් එක හොයන්න සාක්කුවට අත දානවා. ඔළුව නවාගෙන ආපහු හති ඇරලා කතාවේ ඉතුරු ටික කිව්වා. වෙඩි තියලා තියෙන්නේ මෙල්වින්ඩේල් ඉස්කෝලේ කොල්ලෙක්. 

මෙල්වින්ඩේල් එකට යන සත්තු ගැන කතා කරලා වැඩක් නැහැ. උන් ප්‍රාථමිකේ ඉඳන් ක්‍රැක් ගහගෙන ඉන්නේ. මෙල්වින්ඩේල් එකේ ඉගනගන්න එවුන් නවතින්නේ හිර ගෙදර නැත්නම් පුනරුථාපනේ. ඒකට යන කෙල්ලොත් එහෙමයි. උන්ටම හරියන ජාතියක්. අඳින විදිහෙන් සහ පාරේ ඇවිදින විදියෙන්  මෙල්වින්ඩේල් එකේ බැල්ලියෝ අඳුර ගන්න පුලුවන් . උන් අපේ පාරටත් එනවා. ජිමී කුක්කා ඇරුණු කොට අපේ පාරේ කිසිම කොල්ලෙක්  මෙල්වින්ඩේල් එකේ බැල්ලියෝ එක්ක ගනුදෙනුවක් නැහැ. 

ජිමී කුක්කා බොස්ටන් ටෙරියර් කෙනෙක් වගේ. ඌට බොස්ටන් ටෙරියර් කියන එක වැඩිපුර ගෞරවයක් නිසා අපේ පාරේ කොල්ලො කිව්වේ ජිමී කුක්කා කියලා. ඉස්සර කොල්ලෝ හැංගිලා ජිමී කුක්කා කියලා කෑගහනකොට ඌ හැරිලා ඇඟිල්ල පෙන්නනවා. 

ජිමී කුක්කා කාලෙකින් පේන්න හිටියේ නැහැ.  එක සැරයක්  ඇම්බැසඩර්   පාලමෙන් පැනලා සියදිවි නසාගන්න හැදුවා. ඊට පස්සේ ඉස්පිරිතාලෙට අරගන ගිහිල්ලා කරන්ට් ඇල්ලුවා. ඉස්පිරිතාලෙන් ආවම පස්සේ ජිමී කුක්කව දැක්කේ දෙතුන් සැරයක් විතරයි. කාලෙකින් කුක්ක පාරේ ගියේ නැහැ. ඔළුව තෝන්තු වෙලා කොහේ හරි යන්න ඇති.

ලැරී ගෙනාපු පණිවිඩයත් එක්ක කොල්ලෝ කට්ටිය වින්සිගේ බාබර් සාප්පුවට ගියා. වින්සි අනුන් ගේ කොන්ඩා කැපුවට තමන් ගේ කොණ්ඩය ඩොන් කිං වගේ උඩට විහිදුවාගෙන ඉන්නේ. ඩොන් කිං වගේ කිව්වට කොණ්ඩයෙන් විතරයි. වින්සි නාන්නේ සුමාන දෙකකට සැරයයි. එකම ඇඳුම දවස් දෙක තුන ඇඳගෙන ඉන්නවා. ලාබෙට මුලු ඩිට්‍රොයිට් වලම කොණ්ඩ කපන තැනක් තිබ්බනම් ඒ වින්සි ගේ බාබර් සාප්පුව විතරයි. මිනිස්සු ගඳ උහුලගෙන ලාබෙට කොණ්ඩ කපාගෙන වින්සිට බැන බැන යනවා. 

දවසක් දේවගැති රොබට් සොලමන් ගේ කණිෂ්ඨ පුතා රොබට් සොලමන් ජූනියර්  විහිළුවට  වින්සි ගේ බාබර් සාප්පුවට පල්ලියෙන් ගෙනාපු ශුද්ධ ජලය ඉස්සා එදා වින්සි කුණුහරප වැළක් කිව්වා. කොල්ලෝ ඔක්කොම බිම පෙරළි පෙරළි හිනා උණා. පස්සේ අපිට ආරංචි උණා දේවගැති රොබට් සොලමන් , රොබට් සොලමන් ජූනියර්ට තරවටු කළා කියලා. දේවගැති රොබට් සොලමන් ජේත්තුවට ඇඳලා කැඩිලැක් එකේ යනවා. රොබට් සොලමන් ජූනියර් අර්ලොන්දෝ ගේ බේස්මන්ට් එකේ දුම අදිනවා. රොබට් සොලමන් ජූනියර් කවදා හරි ප්ලේමවුත්  පාරේ හොඳ වැඩකාරයෙක් වෙයි නැත්නම් බෙලමි ක්‍රීක් චරිතශෝදනාගාරේ යාවජීව සාමාජිකයෙක් වෙයි.  

වින්සි ගේ බාබර් සාප්පුව පිරිලා මිනිස්සු. මිස්ටර් කූගර් මිනිස්සු සන්සුන් කරනවා. ප්‍රජා නායකයෙක්. ජෙසී ජැක්සන් වගේ තමන් ගැන හිතාගෙන ඉන්න කලබලයක් වෙනකොට එලියට බැහැලා කළු ප්‍රජාවට දේශනා තියන විහිලුකාරයෙක් කියලයි සමහරු මිනිහා ගැන කිව්වේ. මිනිස්සු මිස්ටර් කූගර්ව වැඩිය ගනං ගත්තේ නැහැ. ඒත් බොරුවට මූණට පේන්න ගරුත්වය පෙන්නුවා. එතකොට මිස්ටර් කූගර් තව තවත් නිහතමානී වෙනවා. 

ප්ලේමවුත්  පාරේ කට්ටිය මිස්ටර් කූගර්ට කිව්වේ පච කූගර් කියලා. මිනිහා මීට අවුරුදු දෙක තුනකට කලින් රෝස්මරි පාරේ ගණිකාවකට කාර් එක නවත්තලා නගින්න කියලා.  ගණිකාව වගේ ඇඳගෙන ඉඳලා තියෙන්නේ පොලිස් කෙල්ලෙක්. මිස්ටර් කූගර්ට පොලිසියෙන් නඩු දැම්මා. 

මිනිහා කිව්වේ හීතලේ වෙව්ල වෙව්ල හිටපු කළු සහෝදරියකට ගෙදර යන්න උදව් කරන්න හිතාගෙන කාර් එක නැවැත්තුව කියලා. එතකොට නඩුකාරයා ඇහුවලු ඒ කාන්තාවට ඩොලර් දහයේ නෝට්ටුවක් දික් කලේ ඇයි කියලා. එතකොට මිස්ට කූගර් කිව්වලු හාමතේ හිටපු කළු සහෝදරියකට බර්ගර් එකක් ගන්න උදව්වක් කරන්න හිතාගෙන සල්ලි දික් කළා කියලා. ඒත් නඩුකාරයා දඩයකුත් එක්ක පැය එකසිය හැටක ප්‍රජා සේවයේ යෙදවීමට තීන්දුව දීලා. නඩුවෙන් පස්සේ  මිස්ට කූගර් කිව්වේ තමන් වර්ණභේදවාදයේ ගොදුරක් උණා කියලා. හැබැයි මිස්ට කූගර්ව අත් අඩංගුවට ගත්ත පොලිස්කාරයත් නඩුව අහපු නඩුකාරයත් කළු ජාතිකයෝ. 

එකපාරටම​ සයිරන් ගහගෙන පොලිස් කාර් හතරක් විතර ගියා. ඉස්සර කොල්ලෝ බාර් එක ලඟ තිබ්බ දුරකථන කුටියට මුවා වෙලා පොලිස් කාර් වලට ගල් ගහනවා. වැඩිපුරම ගල් ගැහුවේ රොබට් සොලමන් ජූනියර්  . රොබට් සොලමන් ජූනියර්  හොඳ ඉලක්කකාරයා. එක සැරයක් පොලිස් කාර් එකක පිටිපස්ස වීදුරුව කඩාගෙන යන්න ගොල්ෆ් බෝලයකින් ගැහුවා. පොලිස්කාරයෝ වාහනය හරවගෙන දුරකථන කුටිය ලඟට එනකොට රොබට් සොලමන් ජූනියර්  පල්ලියේ අල්තාරය යට.

පස්සේ පස්සේ පොලිස් කාර් වලට ගල් ගහන එක නැවතුනා. රොබට් සොලමන් ජූනියර්  වෙන විනෝදාංශ වලට පුරුදු උනා. දැන් මේ පැත්තට එවන ඔක්කොම පොලිස් කාරයෝ කළු මුලාදෑනියෝ. ඒ නිසා දැන් පොලිස් කාර් වලට ගල් ගහන එක නැත්තටම​ නැවතිලා. 

මිනිස්සු පොලිස් කාර් ගිය දිහාවට දුවගෙන ගියා. බාබර් සාප්පුව අසල පේමන්ට් එක ලඟ වාඩි වෙලා හිටපු බේබදු මයික්ගේ කකුලත් පාගගෙන තමයි සමහරු දුවලා තියෙන්නෙ. මයික් හැම වෙලාවෙම කියන කුණුහර්පය කිව්වා කකුල පාගපු බැල්ලිගෙ පුත්තුන්ට. ඒ කියලා කඩදාසි බෑග් එකේ දාගෙන හිටපු විස්කි බාගෙන් උගුරක් බිව්වා.

බේබදු මයික්ගේ කකුලේ තුවාලයක් තියනවා. ඒ තුවාලේ වියට්නාමෙදි විස කවපු උණ පුරුකක් ඇනිලා සිදු උණ බවයි සමහරු කිව්වේ. කකුලේ තුවාලය පෑගුවහම බේබදු මයික් කුණුහරප නොකීව නම් තමයි පුදුමේ. මයික්ට ප්ලේමවුත්  පාරේ මොනවා සිදු උනත් ගානක් නැහැ. මිනිහා ඉන්නේ තමන්ගේම ලෝකයක​. විස්කි බිබී නැට් කිං කෝල් ගේ සිංදුවක් සෘතියෙන් පිට කියාගෙන​. කකුලක් පෑගුනොත් මිනිහා පියවි ලෝකෙට එනවා.

පොලිස් කාර් පිටිපස්සේ මිනිස්සු දිව්වේ දඩයම් බල්ලෝ වගේ. මුලින්ම දිව්වේ පිස්සු ජෝ.  පිස්සු ජෝ ඉස්සර බොක්සිංකාරයෙක්. ඔලුවට පාරවල් වැදිලා දැන් ඔල්මාදේ. පිස්සු ජෝ දුවනකොට කලිසම බාගෙට කඩා හැලෙනවා. ඒකත් උස්සගෙන පිස්සු ජෝ දුවනවා. මොනවා උනත් මිනිස්සු පිස්සු ජෝට සැලකුවා. සමහරු මිනිහාට මේයර් කියලා කතා කලේ.  පිස්සු ජෝ ඕනම ජගතෙකුට නිගර් කියලා කථා කලේ. බ්ලූම්ෆීල්ඩ් හිල්ස් වල සල්ලිකාර සුද්දන්ව උනත් ඇමතුවේ නිගර් කියලා. හැබැයි දවසක් කළු පොලිස්කාරයෙකුට පිස්සු ජෝ නිගර් කියලා ආමන්ත්‍රණය කරලා ඉස්සරහ දත් දෙක ගලවගත්තා. ඒත් මිනිහා මේ ගරු නම කියලා  ඕනම කෙනෙක් අමතන එක නැවතුනේ නැහැ. 

පොලිස් කාර් ටික ගර්සීනිලාගේ ගෙදර ලඟ නැවැත්තුවා. පාරේ හිටපු එකම ඉතාලි පවුල​. යමක් කමක් තිබ්බ මිනිස්සු. කොල්ලා වැටිලා හිටියේ ගර්සීනිලාගේ ගෙදර ඉඳන් අඩි දහයක් දුරින් මහ පාරේ. ගර්සීනි මහගේ පොලිස්කාරයෝ එක්ක කතාව​. 

ගර්සීනි මහගේ පාරේ ගියේ හරිම ආඩම්බරයෙන්. කිසිම කෙනෙක් ගනන් ගත්තේ නැහැ. ඒකට ගාර්සීනී නාකියා. හොඳ බේබද්දා. හැමෝගෙම හිත මිතුරා. ගාර්සීනී නාකියා කොහේ හරි ගිහිල්ලා වගේ. නැත්නම් මේ වෙලාවේ මෙතනට කඩා වැදිලා මළ විකාරයක් කරලා. එකත් එකටම​ බෝතලේ බදාගෙන කොහේ හරි මුල්ලක නිදි වෙන්න ඇති.

පොලිස්කාරයෝ අව් කන්නාඩි දාගෙන හිටියේ. පටි තුනක් ගහගෙන හිටපු පොලිස්කාරයෙක් මෙල්වින්ඩේල් එකේ කොල්ලෝ දෙන්නෙක්ගෙන් ප්‍රශ්න කරනවා. උන් බයේ උත්තර දෙනවා. කොල්ලට වෙඩි තිබ්බේ මේ පෙන්දෝ වෙන්න බැහැ. හැබැයි මේ වගේ පෙන්දෝ තමයි ඔත්තු බලන්නේ. මුන් ඔත්තු බලලා සිග්නල් එක දෙනවා. එතකොට ඝාතකයා හිමීට ඇවිත් මැග්නම් එකෙන් හිලක් විදලා යනවා.

කොල්ලා ඇඳගෙන හිටියේ රතු හුඩී එකක් ඒ නිසා මූණ වැහිලා. වෙඩි පාර පපුවට වැදිලා කියලයි කසුකුසුව ගියේ. කොල්ලා ඇඳගෙන හිටියේ කිළුටු ගැහුණු ඩෙනිම්  කලිසමක්. සපත්තු දෙක කළු පාටයි. බාස්කට් බෝල් ගහනකොට දාන දෙකක් වගේ.

කොල්ලගේ මූණ වැහිලා තිබුණ නිසා අඳුරගන්න අමාරුයි. විල්ෆ්‍රඩ් කිව්වේ කොල්ලා ප්ලේමවුත්  පාරේ පල්ලිය ලඟ ගෙදරක ජීවත් වෙච්ච කොල්ලෙක් කියලා. තාත්තා හිරේලු. කොල්ලට වයස දාහතයිලු. බානිලගේ කල්ලියේ හිටපු ඩිලිවරි කොල්ලෙක්ලු.

විල්ෆ්‍රිඩ් බානිගෙ කල්ලියේ නොවූනට බානිගේ කල්ලියේ එවුන් ගැන හොඳට දන්නවා. බානි යාළුවෙලා හිටියේ විල්ෆ්‍රඩ්ගේ අක්කා එක්ක​. 

විල්ෆ්‍රඩ්ගේ අක්කා තර්ම් ලස්සන කෙල්ලක් ප්ලේමවුත්  පාරේ හිටියේ නැහැ. හරියට ජෙනට් ජැක්සන් වගේ. විල්ෆ්‍රඩ්ගේ අක්කා පල්ලි යනකොට කොල්ලෝ බොරුවට පාරේ සයිකල් පදින්නයි වෙට්ටු දාන්නයි පටන් ගත්තා. කවදාවත් පල්ලි නොගිය කොල්ලෝ පල්ලියට ගිහිල්ලා විල්ෆ්‍රඩ්ගේ අක්කා ඉඳගත්ත පේලියට පිටිපස්සේ ඉඳගෙන කෙල්ල දිහා බලගෙන හිටියා. කෙල්ල දණ ගහනකොට කොල්ලෝ ඔක්කොම පස්ස දිහා බලලා හිමීට ඒවා මේවා කෙඳිරුවා. දේවගැති රොබට් සොලමන් බයිබලයලේ පාඨ ගීතිකා වගේ කියවනවා. පල්ලියේ ගීතිකා කණ්ඩායම සිංදු කියනකොට විල්ෆ්‍රඩ්ගේ අක්කා නට නටා භක්තියෙන් ගීත කිව්වා.

විල්ෆ්‍රවඩ්ගේ අක්කා මුලින්ම යාළු වෙලා හිටියේ  රොඩ්නි එක්ක​. රොඩ්නි තමයි මේ පැත්තේ හිටපු හොඳම බේස් බෝල් ක්‍රීඩකයා. පාරේ ඔක්කොම කිව්වේ රොඩ්නි කවදාහරි ඩිට්‍රොයිට් ටයිගර්ස්  කණ්ඩායමට යයි කියලා. ඒත් රොඩ්නි  ඒතරම් වාසනාවන්ත උනේ නැහැ.රොඩ්නි ඉක්මනට සල්ලි හොයන්න ගියා. මිනිහා ජේකබ්ලා එක්ක උකස් බඩු  කඩේ කොල්ලකන්න ගිහිල්ලා කැෂියර්ට වෙඩි තියලා තියනවා. කතාව ගියේ වෙඩි තිබ්බේ ජේකබ්, රොඩ්නි ගේ තුවක්කුවෙන් කියලා. ඒත්   නඩුවෙදී රොඩ්නිට අවාසි උනා. දෙන්නම අවුරුදු විස්සකට ගියා.

ගිලන්‍ රථ දෙකක්ම ඇවිල්ලා.  කොල්ලව ස්ට්‍රෙචර් එකට දාගන්න සූදානම​. ස්ට්‍රෙචර් එක පහත් කරලා කොල්ලව ඔසවලා ගත්තා. කොල්ලගේ අතක් කඩාගෙන වැටුණා. රතුපාට හුඩී එකේ දුඹුරු රතු හුරුවට ලේ. කලිසමත් ලේ වලින් තෙත් වෙලා. තාර පාරෙත් ලේ තැවරිලා.

පොලිස්කාරයෝ පාර හරහා කහ පටි ඇදලා. අපරධයක් වූ ස්ථානයක්. එහෙම බලන කොට මේ මුළු ප්ලේමවුත්  පාරේ අපරාධයක් නොවූ තැනක් තියනවද​? හරිනම් මුළු පාර පුරාවට කහ පටි එලන්න ඕනෑ.

මාසෙකට සැරයක් හෝ මේ පාරේ කහ පටි බලාගන්න පුලුවන්. කහ පටි තමයි මේ පාරේ ගෙවල් වල වෙලඳ වටිනාකම අඩු කලේ.  කහ පටිතමයි මේ පාරට පලාතේ මිනිසුන් ගේ තිබ්බ ගරුත්වය නැති කලේ. අපිවත් පිට ගිහිල්ලා ජීවත්වෙන්නේ මේ පාරේ කිව්වේ නැහැ.  කහ පටිනිසා රොසයිරෝ පවුල​, බෙලිස්මාන් පවුල , බියැන්චි පවුල මේ පාරෙන් යන්න ගියා. කහ පටි අපේ ජීවිත පාළනය කරා.  පාරේ සුදු  පවුල් අතලොස්සයි හිටියේ. ඒ පවුල් ටික මෙහෙන් ගිය දාට පාර තනිකරම කළුම කළුපාට වෙනවා.

තරබාරු ගෑණියෙක් කෑගහගෙන අඞාගෙන ආවා. පොලිස්කාරයෝ ගෑනිට කොල්ලා ලඟට යන්න දුන්නේ නැහැ. ගෑණිට කහ පටි වලින් පනින්න  නොදී මෑම් මෑම් කියලා තල්ලු කරලා දැම්මා. ගෑණි මහ හයියෙන් විලාප දෙනවා. ඒ අතරවාරේ කොට පොලිස්කාරයෙක් ගෑණිගෙන් ප්‍රශ්න අහනවා. ගෑණි පොලිස්කාරයාට උත්තර දෙන්නේ විලාප කිය කිය​. පොලිස්කාරයා ඒවා නෝට් පොතක ලියා ගන්නවා.

ගෑණි  ඇඳගෙන ඉන්නේ කළු පාට ඉරි වැටුණු ගවුමක්. කළුපාට ජර්සියක් ඇඳගෙන හිටපු නිසා අවස්ථාවට අනුචිත විදියට ඇඳගෙන හිටියා කියන්න පුලුවන්. ගෑණි  වචනයෙන් වචනයට ජීසස් කිය කියා මොර දෙනවා. එකත් එකටම ගෑණි පල්ලියේ යාතිකා කණ්ඩායමේ සාමාජිකාවක් වෙන්න ඇති.

බානි මාක්ලාගේ ගේ ලඟ ඉඳගෙන ඔක්කොම බලාගෙන ඉන්නවා. බානිගේ ඇස් බොරපාටයි. තරහා ගියාම බානිගේ ඇස් බොරපාට වෙනවා කියලයි මිනිස්සු කිව්වේ. එතන මාක්ගේ අයියා, ටී.ජේ , රැන්ඩි එහෙමත් හිටියා.

මාක්ගේ අයියා හෙරොයින් වලට හොඳටම ඇබ්බැහි වෙලා ඉන්නේ. කෙට්ටුම කෙට්ටුයි. ඇටසැකිල්ලක් වගේ. මිනිහා නිතරම කහිනවා. ටී.ජේ  කොටයි. ඒ උනාට හොඳට ගහගන්න පුලුවන්. පාරේ සල්ලි ඔට්ටුවට සමහර විට ගහගන්නවා. කළාතුරකින් හැරෙන්න පැරදිලා නැති තරම්. ඒ වගේම එල්.එල් කූල් ජේ ගේ සිංදු ලස්සනට කියනවා. රැන්ඩි බොඩි බිල්ඩර්. ප්‍රෝටීන් පවුඩර් තමයි බිව්වේ. බානිගේ කාර් එකේ නිතරම ආරක්‍ෂාවට යනවා. ලෙදර් ජැකට් එකක් තමයි අඳින්නේ. ඒ ජැකට් එක යට තුවක්කුව​. නිතරම සූදානම්. රැන්ඩිගේ ඇස් දිවියෙක් ගේ වගේ. රෑටත් දිලිසෙනවා.

බානිගේ කොල්ලට වෙඩි තියපු මෙල්වින්ඩේල් එකේ කොල්ල මෝඩයෙක්. මොකට වෙඩි තිබ්බද දන්නේ නැහැ. සමහර විට කෙල්ලෙක්ගේ කේස් එකක් වෙන්නත් පුලුවන්. මොනව උනත් වෙඩි තියපු මෙල්වින්ඩේල් එකේ කොල්ල හෙට වෙනකොට මාළු එක්ක මූදු පතුලේ නිදාගනී. 

බානිගේ කල්ලියේ කොල්ලෙක්ට අතක් තියලා කිසිම කෙනෙක් බේරිලා නැහැ. බානිලාට කරට කර හිටියේ ක්‍රිස් වෝකර් කල්ලිය විතරයි. නමුත් බානිලා ක්‍රිස් වෝකර් එක්ක මොකක් හරි යට ගනුදෙනුවක් තිබ්බා. කල්ලි දෙක සමාදාන උනෙත් පුදුම විදියට.

මුලින්ම කෙල්ලෙක් නිසා ක්‍රිස් වෝකර් කල්ලියේ පීටර්, බානිගේ කල්ලියේ ජෙරීට නත්තල් දවසේ එලිසා හොවෙල් පාක් එකේ ගහලා තිබ්බා. දවස් දෙකක් ඇතුලත ජෙරී තව කොල්ලෝ දෙන්නෙක් එක්ක ගිහිල්ලා පීටර්ට යකඩ පොළු වලින් ගහලා අත පය කැඩුවා. ඒකේ වාඩුව ගත්තේ අළුත් අවුරුද්ද දවසේ. ක්‍රිස් වෝකර් කල්ලියේ පිරිසක් ඇවිත් ජෙරීට වෙඩි තිබ්බා. ජෙරී එතනමයි. ඊට පස්සේ බානි ක්‍රිස් වෝකර් කල්ලියේ තෝම්ට වෙඩි තිබ්බා. තෝම් මාස තුනක් ඉස්පිරිතාලේ හිටියා. ආයෙත් බානි ක්‍රිස් වෝකර්ගේ දකුණු අත වගේ හිටපු චැතම්ට සයිරස් දම්මලා වෙඩි තිබ්බා. චැතම් දවස් දෙකයි ජීවත් උනේ.

ඊට පස්සේ යුද්දේ පටන් ගත්තා. මිනිස්සු පාරේ ගියේ මර බයේ. කොහෙන් බුලට් එකක් ඇඟට ඇවිත් වදීද කියලා බයේ හිටියේ. ඒ කාලේ කොකේන් බිස්නස් එක පාරවල් වල නැත්තටම නැතිවෙලා තිබ්බේ. කොකේන් බිස්නස් කලේ බානිගේ කොල්ලොයි ක්‍රිස් වෝකර් කල්ලියේ එවුනුයි තමයි. දෙගොල්ල පාරවල් වල මරා ගන්න ගියහම  බිස්නස් වැටුණා. ආපහු පුදුම විදියට දෙගොල්ල සමාදාන උනා.  කල්ලි දෙක සමාදාන උනාම පස්සේ පාරවල් දිගේ ආපහු කොකේන් ගලාගෙන ගියා.
බානිගේ කල්ලියේ කොල්ලෙක්ට බුලට් එකක් දාන්න තරම් හිතේ හයියක් මෙල්වින්ඩේල් එකේ කොල්ලෙක්ට තිබ්බ එක ගැන පුදුමත් හිතෙනවා. මෙල්වින්ඩේල් එකේ ඉන්න තරමක් හිටියේ අලුකුත්තේරුවෝ. සමහර විට බානිගේ කොල්ලෙක් කියලා දන්නෙ නැතිව තුවක්කුව පත්තු කරන්න ඇති. මෙල්වින්ඩේල් එකේ ප්‍රාථමිකේ එවුනුත් තුවක්කු ඉස්කෝලෙට ගේනවා. ඒත් තුවක්කුවක් පත්තු කරන්න තරම් අණ්ඩ කෝෂ තිබ්බේ එහෙමත් එකෙකුට.
කොල්ලව ගිලන් රථයකට දාගත්තා.. අවුරුදු දාහතෙන් මැවුම්කරු ලඟට කොල්ලා ගියා. මහත ගෑණි මොර දීලා ඇඞුවා. ගර්සීනී මහගේ තාමත් පොලිස්කාරයෙක් එක්ක කතාව​. පිස්සු ජෝ පොලිස්කාරයෙක් එක්ක වාද කරගන්නවා. මිස්ට කූගර් මිනිසුන්ව සන්සුන් කරනවා.රොබට් සොලමන් ජූනියර්  ලයිට් කණුවකට පිට දීගෙන ලැරී එක්ක කතාවක්. ලැරී වරින්වර ඉන්හේලරය අදිනවා. ඒ අතරවාරයේ බානි බොර පාට ඇස් වලින් වටපිට බලනවා. අනිවාර්‍යෙන්ම හෙට අනිද්දා පොලිසිය ආයෙත් මේ පාරේ තවත් කහ පටි අදියි. 
වෛද්‍ය  රුවන් එම් ජයතුංග

Find Us On Facebook