Wednesday, January 6, 2016

ප්‍රගීත් එක්‌නැලිගොඩට ඇත්තටම මොකද වුනේ?-



මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස්‌ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් දෙවන ලුතිනන් චමින්ද කුමාර අබේරත්න, ලූතිනන් කර්නල්වරුන් වන ශම්මි අර්ජුන කුමාරරත්න, ටොෂිගා ප්‍රබෝධ සිරිවර්ධන මාණ්‌ඩලික සැරයන් රාජපක්‍ෂ මුදියන්සේලාගේ ප්‍රියන්ත කුමාර, විශ්‍රාමික හමුදා නිලධාරි ප්‍රියන්ත ඩිලන්ජය උපසේන හෙවත් සුරේස්‌ හා හමුදා සේවයෙන් ඉවත් කළ නිලධාරියෙකු වන රවීන්ද්‍ර රූපසේන හෙවත් රංජි නමැති සැකකරුවන් 6 මේ වන විට අත් අඩංගුවට ගෙන තිබේ. පහත දැක්වෙන්නේ සී. ඒ. චන්ද්‍රප්‍රේම විසින් ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ලියන ලද ලිපියකි. සී. ඒ. චන්ද්‍රප්‍රේම  විශ්වාස කල පරිදි එක්‌නැලිගොඩ අතුරුදහන් වීම මිත්‍යාවකි. නමුත් දැන් සත්‍ය එළි වෙමින් පවතියි. 




ප්‍රගීත් එක්‌නැලිගොඩට ඇත්තටම මොකද වුනේ?- සී. ඒ. චන්ද්‍රප්‍රේම

පසුගිය මාස කීපය තුළ ප්‍රගීත් එක්‌නැලිගොඩ නමැති මාධ්‍යවේදියකුගේ අතුරුදන් වීමක්‌ ගැන මහත් ආන්දෝලනයක්‌ පැවතුණි. මේ වනතෙක්‌ මම මේ කාරණය ගැන එක වචනයක්‌ වත් ප්‍රසිද්ධියේ පවසා නැත. මේ සම්බන්ධයෙන් මා නිහඬ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළේ එක්‌තරා කාරණයක්‌ සිතේ තබා ගෙනයි. නමුත් ඉකුත් සතියට කලින් සතියේ රාවය පුවත්පතේ සුනන්ද දේශප්‍රිය ලියන තීරු ලිපියේ ප්‍රගීත් එක්‌නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා උපුටා දක්‌වමින් ඔහු කියා ඇත්තේ 2009 අගෝස්‌තු වලදී පමණ ප්‍රගීත්ව මුල් වතාවට පැහැරගෙන ගිය අවස්‌ථාවේදී ඔහු බේරා ගත්තේ මම බවය. සුනන්ද මාගේ නම එහි සඳහන් කර නොතිබුණ ද "ඉංගී්‍රසි පුවත්පතක මාධ්‍යවේදියකු" ඔහුව බේරාගත් බව කියමින් කර තිබූ සඳහන මා ගැනය. මීට සති කීපයකට පෙර සන්ධ්‍යා එක්‌නැලිගොඩ මට දුරකථනයෙන් කතා කරමින් පැවැසුවේ ගුණදාස ජයලත් නමැති ප්‍රගීත්ගේ සමීප මිතුරකු ප්‍රගීත් මුල් වතාවේ පැහැර ගනු ලැබූ විට ඔහුව බේරා ගත්තේ මම යෑයි ඇයට පැවැසූ බවයි. මෙකී ගුණදාස ජයලත් වමේ පැරැණි ක්‍රියාකාරිකයෙකි. ඔහු දැන් සේවය කරන්නේ සාලින්ද දිසානායක නියෝජ්‍ය ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු හැටියටය.

මෙතනදී පුදුමයකට තිබුණේ ප්‍රගීත් සහ සන්ධ්‍යා යන දෙදෙනාම මම ඉතා හොඳින් හැඳිනීමයි. මම මෙතෙක්‌ මේ ප්‍රශ්නය ගැන මගේ පෞද්ගලික අදහස්‌ කිසිවක්‌ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ නැතුව නිහඬ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළේ අවශ්‍ය වූ තැන පැරැණි මිතුරකුට උදව් කිරීමට මැදිහත්කරුවකු වශයෙන් ඉදිරිපත් වීමට ඉඩකඩ තබා ගැනීම සඳහාය. පසුගිය අගෝස්‌තු මාසයේ ඔහු පැහැරගෙන ගිය පසු ඔහු බේරා ගත්තේ මම නම් ඒ පුවත සන්ධ්‍යාට ආරංචි වීමට තිබුණේ තුන් වැනි පාර්ශ්වයකින් නොව ප්‍රගීත්ගෙන්මය. එපමණක්‌ නොව ඔවුන් මට ගෙදර කෑම වේලක්‌ද දී තමන්ගේ පුතුන් දෙදෙනාට තාත්තාගේ ජීවිතය බේරා දුන් අංකල් යෑයි හඳුන්වා දීමට ද යුතුමක්‌ තිබිණි. නමුත් එවැන්නක්‌ සිදුවූයේ නැත.

ඔහු උස්‌සාගෙන ගිය මුල් අවස්‌ථාවේ ඔහු බේරුවේ මම යෑයි ප්‍රගීත් විසින් සන්ධ්‍යාට නොකීම සන්ධ්‍යා අමුතු දෙයක්‌ ලෙස පිළිගන්නා බවට පෙනෙන්නට නැත. ප්‍රගීත් එක්‌නැලිගොඩගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් මේ කරගෙන යන ව්‍යාපාරයේ ස්‌වභාවය පිළිබඳ යමක්‌ එයින්ම ගම්‍ය වනු ඇත. මම ප්‍රගීත් අවුරුදු 20 කට වඩා වැඩි කාලයක්‌ හඳුනමි. 1997 දී මගේ "කොළ පාට සමාජය" නමැති පොතේ පිට කවරය නිර්මාණය කළේ ප්‍රගීත්ය. එය යතුරු ලියනය කරන ලද්දේ ද ඔහු හඳුනන ව්‍යාපාරික ස්‌ථානයකය. ඔහුගේ අතුරුදන් වීම පිළිබඳ මගේ පෞද්ගලික අදහස්‌ කිසිවක්‌ ප්‍රසිද්ධියේ නොකියා සිටියේත් එය ඔහුගේ වාසියට ඉවහල් නොවන නිසාය. නමුත් ප්‍රගීත් පැහැරගත් මුල් අවස්‌ථාවේදී ඔහුට උදව් කළ පුද්ගලයා හැටියට දැන් මට ද මේ ජවනිකාවේ තැනක්‌ ලැබී තිබෙන නිසා මේ ගැන තව දුරටත් නිහඬව සිටිය යුතු නැතැයි මම සිතමි.

මුලින්ම විස¹ගත යුත්තේ ප්‍රගීත් එක්‌නැලිගොඩ යනු කවුද යන්නයි. ඔහු මාධ්‍යවේදියකු යෑයි කීව ද මුළු උපාලි පුවත්පත් සමාගමේම ඔහු කවුදැයි දන්නා එකම පුද්ගලයා මමය. ලංකාදීප, ඩේලි මිරර් හා සන්ඩේ ටයිම්ස්‌ පළකරන විජය පුවත්පත් සමාගමේ ද ඔහු හඳුනන එකම පුද්ගලයා වන්නේ සී. ඡේ. අමරතුංගය. දුෂ්‍යන්ත සමරසිංහ සමහරවිට ඔහු හඳුනනවා විය හැක. සිරස, ස්‌වර්ණවාහිනි හෝ දෙරණ ආයතන වල ඔහු ගැන අසා ඇති කිසිවෙක්‌ සිටී දැයි මට සැක සහිතය. මෙයට හේතුව ඔහු මාධ්‍යවේදියකු හෝ පුවත්පත් කලාවේදියකු නොවීමයි. මේ රටේ සිටින සාමාන්‍ය ජනතාව පමණක්‌ නොව මාධ්‍යවේදීන් ද මුල් වරට ප්‍රගීත් එක්‌නැලිගොඩ කෙනෙක්‌ ගැන ඇසුවේ ඔහු අතුරුදන් වූ පසුවය. ලංකාදීපයේ සී. ඡේ. අමරතුංග සහ මම ඔහු හඳුනන්නේ මාධ්‍යවේදියකු හැටියට නොව වාමාංශික දේශපාලන ක්‍රියාකාරියකු හැටියටය. ප්‍රගීත් යනු මාධ්‍යවේදියකු නොව "ග්‍රැෆික්‌ ආටිස්‌ට්‌" කෙනෙකි. ඔහු මුද්‍රණ කර්මාන්තයට සහ වෙළෙඳ ප්‍රචාරණයට සම්බන්ධ සුළු ව්‍යාපාර කරගෙන ගිය අයෙකි. ප්‍රගීත්ට බුද්ධිමය නැඹුරුවක්‌ ද තිබිණි. 

මා ඔහු මුලින් හඳුනා ගත්තේ 1980 ගණන් වල දේශපාලන ක්‍රියාකාරිකයකු හැටියටය. ඔහු ආචාර්ය නිවිටන් ගුණසිංහ මහතා සමග සමාජ විද්‍යාත්මක පර්යේෂණ වලට ද සහභාගි වී තිබිණි. දේශපාලනය ගැන ඔහුට නොයෙක්‌ මතිමතාන්තර තිබිණි. කලාතුරකින් ඔහුගේ ලිපි ද තැන් තැන් වල පළවී තිබිණි. ඉඳහිට පුවත්පතක ලිපියක්‌ පළකරන අයෙක්‌ පුවත්පත් කලාවේදියකු වන්නේ නම් කර්තෘට ලියුම් ලියන අය ද මාධ්‍යවේදීහු වෙති. සති පතා තීරු ලිපි ලියන අය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු විය යුත්තාහ.

ඔහුට අවශ්‍යතාවක්‌ තිබුණත්, ප්‍රගීත්ට කිසිදාක පුවත්පත් කලාවේදියකු හෝ මාධ්‍යවේදියකු විය නොහැක්‌කේ ඔහු ලියන කිසිවක්‌ මිනිසුන්ට නොතේරුණු නිසාය. ඔහුට තිබුණේ වාමාංශික බුද්ධිමතකුගේ ලේඛන ශෛලියකි. ඔහු කතා කරන විට සාමාන්‍ය විදියට කතා කළත් ලියන්න ගියවිට ලියන්නේ අපබ්‍රංසය. ඔහු ලියන දෙය අපටවත් තේරෙන්නේ නැත. ඔහු පුවත්පත් කලාවේදියකුය යන අදහස ප්‍රචලිත වන්නේ ඔහු ලංකා ඊ නිවුස්‌ නමැති වෙබ් අඩවිය සමග සම්බන්ධයක්‌ තිබේය යන පදනම මතය. නමුත් ලංකා ඊ නිවුස්‌ කර්තෘ බෙනට්‌ රූපසිංහ මහතාගෙන් මම අසා දැනගත් පරිදි ඔහු ඉඳහිට ලිපියක්‌ සැපයුවද දිගටම ලිපි සැපයූ අයෙක්‌ නොවන බවයි. ප්‍රගීත් ලියන දේශපාලන විචාර ලංකා ඊ නිවුස්‌ වෙබ් අඩවිය විසින් පළකරනු ලැබුවේ නම් ඒ වෙබ් අඩවිය වසා දැමීමට සිදුවනු ඇත. ඒ ඔහු කියන දේ කිසිවකුටත් නොතේරෙන නිසාය.

මේ රටේ සිටින ජනමාධ්‍යවේදීන් බොහෝ දෙනෙක්‌ ප්‍රගීත් එක්‌නැලිගොඩ ගැන අසා නැත්තේ මන්ද යන ප්‍රශ්නයට මෙයින් පිළිතුරු ලැබෙනු ඇතැයි මම සිතමි. ඊළඟට අපි බැලිය යුත්තේ ප්‍රගීත්ගේ අතුරුදන් වීම පිළිබඳ ප්‍රශ්නයයි. ප්‍රගීත් පැහැරගත්තා යෑයි කියන පළමු අවස්‌ථාව මෙය නොවේ. 2009 අගෝස්‌තු මාසයේදී ද තමන් පැහැරගෙන නිදහස්‌ කළ බවද ප්‍රගීත් විසින්ම තම මිතුරන්ට කියන ලදී. නෙල්aසන් එදිරිසිංහ යනු පැරැණි වාමාංශික ක්‍රියාකාරියකු මෙන්ම ප්‍රගීත්ගේ සමීප හිතවතෙකි. නෙල්සන් දැන් සේවය කරන්නේ ඩග්ලස්‌ දේවානන්ද ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් හැටියටය. ගිය වසරේ අගෝස්‌තු වලින් පසු ප්‍රගීත් නෙල්සන් හමුවීමට ගොස්‌ තමන් යම් පිරිසක්‌ විසින් පැහැරගත් ආකාරය විස්‌තර කර තිබිණි. ඔහු දඹුල්ලේ සිට කොළඹ ඔහුගේ නිවසට එමින් සිටින විට පිටකොටුව බස්‌ නැවතුම්පළෙන් ඔහු ගෙදර යැම සඳහා හොමගම පැත්තට යන බස්‌ රථයක නැඟී ඇත. ඒ අවස්‌ථාවේදී යම් සැක සහිත පුද්ගලයකු තමන් පසුපසින් එන බව ඔහුට දැනී ඇත. ඔහුගේ නිවසට යන පාර අසල බස්‌ නැවතුම්පළෙන් ඔහු බැසගත් විට ඔහු සමග මේ සැක සහිත පුද්ගලයා ද බැස ඇත.

ප්‍රගීත්ගේ නිවසට යන පාරේ සුදු වෑන් රථයක්‌ නවතා තිබිණි. එහි සිටි පුද්ගලයන් ඔහු වෑන් රථයට දමා අත්වලට මාංචු දමා ඇස්‌ බැඳ යම් තැනකට රැගෙන ගොස්‌ තිබේ. ඇස්‌ බැඳ තිබූ නිසා රැගෙන ගියේ කොහේටදැයි ප්‍රගීත් දන්නේ නැත. රැගෙන ගිය නිවසේ පොලොවට සවි කරන ලද කොක්‌කක ඔහු මාංචු දමා බැඳ තිබිණි. මුළු රාත්‍රියේම ඔහු මේ ආකාරයට පොලොවේ වැතිර සිට ඇත. ඒ අතරතුර නොයෙක්‌ සද්දබද්ධ සහිත හඬ පටියක්‌ ද වාදනය කෙරෙමින් තිබිණි. (ඒ ඔහු නිදාගැනීමෙන් වැලැක්‌වීමට විය හැක.) පසුදා උදෑසන ඔහුගේ ඇස්‌ බැඳුම ගලවා ඔහුට මූණ සෝදන්න යෑයි කියා ඔහු උස්‌සගෙන ආවේ වැරදීමකින් බවත් කියමින් ඔහු වෑන් රථයේ දමාගෙන ගොස්‌ මාලබේ අතුරුගිරිය පැත්තේ ගල් වලක්‌ අසලදී නිදහස්‌ කොට ගොස්‌ ඇත. ඔහුගෙන් කිසිම ප්‍රශ්න කිරීමක්‌ ද කර තිබූ බවක්‌ ප්‍රගීත් නෙල්සන්ට කීවේ නැත.

නෙල්සන් එදිරිසිංහ මේ එක්‌ වචනයක්‌වත් විශ්වාස කොට නැත. මේ කතාව ඇසූ වෙන කිසිවෙක්‌ද එය විශ්වාස නොකරන්නට ඇත. ඒ මන්ද යත් දඹුල්ලේදී ප්‍රගීත් ගැන සෝදිසියෙන් සිට ඔහු පසුපස ඒමට පිටකොටුව බස්‌ නැවතුම්පළේ මිනිසෙක්‌ යොදවා ඔහුගේ නිවසට යන පාරේ සුදු වෑන් රථයක්‌ නවතා තිබීම යන කාරණා වලින් වැටහෙන්නේ ඔහු දින ගණනක්‌ හෝ සති ගණනක්‌ තිස්‌සේ පැහැරගත් කණ්‌ඩායම නිරීක්‍ෂණය කොට ඇති බවයි. මේ ආකාරයට කාලයක්‌ මුළුල්ලේ නිරීක්‍ෂණය කරන අයකු සම්බන්ධයෙන් කිසිදු වැරැදීමක්‌ සිදුවිය නොහැක. ඒ ආකායරට පසුපසින් පන්නන්නේ ඉතාම අත්‍යවශ්‍ය පුද්ගලයන් පමණි. පසුගිය වකවානුවේ අවශ්‍ය වී සිටින පුද්ගලයන් ගැන තොරතුරු ලබාගැනීමට ඇතැම් අය උස්‌සගෙන ගොස්‌ තිබුණත් ඒ තොරතුරු ලබා ගත්පසු ඔවුන් නිදහස්‌ කොට තිබුණු බවට වාර්තා ඇත. මෙවැනි පැහැරගැනීම් වුවමනාවෙන්ම කරන ඒවා මිස වැරැදීමෙන් කරන ඒවා නොවේ. පසුගිය අවුරුදු ගණනාව තුළම වැරැදීමකින් උස්‌සගෙන ගියාය කියන එකම පුද්ගලයා ප්‍රගීත්ය. මෙය සිදුවිය හැක්‌කක්‌ නොවේ. එපමණක්‌ නොව පසුගිය වකවානුව පුරාම උස්‌සගෙන ගියා යෑයි කියන සියලුම පුද්ගලයන් පාහේ දෙමළ ජාතිකයෝය. ප්‍රගීත් සිංහලය. සිංහලයෙක්‌ උස්‌සන් යන විරල අවස්‌ථාවක වැරැදීමක්‌ සිදුවේ යෑයි සිතිය හැකිද?

ප්‍රගීත්ගේ සමීපතම මිතුරන් වුවත් ඔහු ඉස්‌සුවා යෑයි කියන කථාව විශ්වාස කළේ නැත. උස්‌සන විට දැකපු කෙනෙක්‌ නැත. නිදහස්‌ කරන විට දැකපු කෙනෙක්‌ද නැත. තමන් ඉස්‌සූ බව දන්නේ ප්‍රගීත් පමණි. පසුව ප්‍රගීත් ඔහුගේ පැරැණි මිතුරකු වන සාලින්ද දිසානායක නියෝජ්‍ය ඇමැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්, ගුණදාස ජයලත් හමුවීමට ගොස්‌ ඇත. ප්‍රගීත් ජයලත්ටද මේ පැහැරගැනීමේ සිද්ධිය විස්‌තර කොට තිබිණි. මෙහිදී ජයලත් ඔහුගෙන් අසා තිබුණේ ඔහු වැනි අයෙක්‌ උස්‌සන්න ආණ්‌ඩුවට ඇති වුවමනාව කුමක්‌ද යන්නයි. ප්‍රගීත් පවසා තිබුණේ යුද්ධයේ අවසන් දිනවල කොටි සංවිධානය මෙන්ම හමුදාවද රසායනික අවි භාවිත කර තිබූ බව ඔහු එක්‌තරා තැනක පවසා ඇති බවත්, ආණ්‌ඩුව ඒ ගැන උරණ වී සිටියා විය හැකි බවත්ය. එවැනි දේකට ඔහු උස්‌සන් ගියා නම් ඔහු බේරුණේ කොහොම දැයි ජයලත් ප්‍රගීත්ගෙන් අසා ඇත.

මෙයට ප්‍රගීත්ගේ පිළිතුර වී ඇත්තේ යම් බලපෑමක්‌ කළ හැකි චන්ද්‍රප්‍රේම වැනි ඔහුගේ මිතුරෙක්‌ ඔහුව මුදාහරින මෙන් ආණ්‌ඩුවට බලපෑම් කළා විය හැකි බවයි. ඔහු මෙය සඳහන් කොට තිබුණේ නිශ්චිත දෙයක්‌ හැටියට නොව සැකයක්‌ හැටියටය. ජයලත් ප්‍රගීත්ගේ බිරිඳ වන සන්ධ්‍යාට ඔහුට ප්‍රගීත්ව හමුවූ ඒ අවස්‌ථාවේදී සාකච්ඡා කළ දේ කියා ඇත. ප්‍රගීත් පැහැරගත් මුල් අවස්‌ථාවේදී මා ඔහුව බේරාගත් බව ජයලත් ඇයට පැවසූ බව කියමින් සන්ධ්‍යා මට දුරකථන ඇමතුමක්‌ දුන්නේ ඉන්පසුව විය හැක. මෙහිදී තොරතුරු වටේට වටේට යන බවක්‌ පෙනේ. එනම් පැහැරගත් මුල් අවස්‌ථාවේදී බේරා ගත්තේ චන්ද්‍රප්‍රේම විය හැකි යෑයි ප්‍රගීත් ජයලත්ට කියයි. ජයලත් ප්‍රගීත් කී දෙය සන්ධ්‍යාට කියයි. ඉන්පසු සන්ධ්‍යාත් ඒ ගැන මගෙන් අසයි. නමුත් මේ සියලු තොරතුරුවල මුල ප්‍රගීත්ය.

මෙහි සත්‍ය කාරණය වන්නේ 2009 අගෝස්‌aතු මාසයේදී ප්‍රගීත්ගේ මේ ඉස්‌සීමේ පුවත මට අසන්නට ලැබුණේ ඊට කාලයකට පසු නෙල්සන් එදිරිසිංහගෙනි. ප්‍රගීත් ඉස්‌සුවා යෑයි කියන මුල් අවස්‌ථාවේදී ඒ ගැන මම දැන සිටියේ නම් සහ එය ආණ්‌ඩුවෙන් කරන ලද්දක්‌ යෑයි මම දැනගෙන සිටියේ නම් මම කරන්නේ කොටුව දුම්රියපළ ඉදිරිපිට මැස්‌සක්‌ ගසාගෙන උපවාසයක්‌ ආරම්භ කිරීමයි. ඒ ප්‍රගීත්ව නිදහස්‌ කර ගැනීමට නොව මෙතරම් බලගතු හා ජනප්‍රිය ආණ්‌ඩුවක්‌ ප්‍රගීත් එක්‌නැලිගොඩ වැනි කිසිවකු නොදන්නා කිසිවකුටත් හානියක්‌ කළ නොහැකි අහිංසක නිකමෙකු උස්‌සාගෙන යැමට තරම් පහත් තතත්වයකට වැටීම ගැන විරෝධය පෑමටය. ප්‍රගීත් රාජපක්‌ෂ ආණ්‌ඩුවට විරුද්ධ වූ අයෙක්‌ බව සත්‍යයක්‌ වුවත් ඔහුගෙන් ආණ්‌ඩුවට වන හානියක්‌ නොවීය. ඔහු කවදත් පවතින ආණ්‌ඩුවට විරුද්ධව සිටි අයෙකි. ඔහු රට පාලනය කරන හැමෝටම විරුද්ධය.

1994 ට පෙර යූ.ඇන්.පී. යටත් ඉන්පසු චන්ද්‍රිකාටත් ඉන්පසු මහින්දටත් ඔහු විරුද්ධ විය. නමුත් ඔහු මොනම ආණ්‌ඩුවකටවත් හානියක්‌ කළ හැකි පුද්ගලයෙක්‌ නොවීය. ඔහු ආණ්‌ඩුවට විරුද්ධ ලිපි දිනපතා පළකළත් ඒවා කිසිවකුටත් කියවිය නොහැක. 1980 ගණන්වල අය තරුණ කාලයේ රටේ විප්ලවයක්‌ ගැන කතා කළ කම්කරු මාවත නමැති මාක්‌ස්‌වාදී සංවිධානයක්‌ විය. මොවුන් සන්නද්ධ අරගල ගැන එළිපිටම කථා කළද වාම විරෝධී ආණ්‌ඩුවක්‌ වූ ඡේ. ආර්. ජයවර්ධන පවා ඔවුන්ව තුට්‌ටුවකටවත් ගණන් ගත්තේ නැත. ප්‍රගීත්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වයද ඒ ජාතියේම දේශපාලන ක්‍රියාකාරීත්වයක්‌ විය. ප්‍රගීත් කිසිදාක මොනම ක්‍රියාකාරකමකවත් ප්‍රධාන චරිතයක්‌ රඟපෑ අයෙක්‌ නොවේ.

2009 අගෝස්‌තු මාසයේදී ඔහු පැහැරගෙන ගිය කථාව ඔහුගේ සමීපතම මිතුරන් වත් කිසිවෙක්‌ විශ්වාස කළේ නැත. මම විශ්වාස කරන්නේද නැත. සුනන්ද දේශප්‍රිය, රාවයේ ලියා තිබුණේ සන්ධ්‍යා ඔහුට කියපු දෙයයි. ඒ ලිපියට අනුව ගුණදාස ජයලත් හා නෙල්සන් එදිරිසිංහ යන දෙදෙනාම ප්‍රගීත් පැහැරගත් මුල් අවස්‌ථාවේදී ඔහු ව බේරුවේ මම යෑයි සන්ධ්‍යාට කියා ඇතැයි සඳහන් වෙයි. මම මේ ගැන නෙල්සන් එදිරිසිංහගෙන් ඇසූ විට ඔහු එවැනි කිසිවක්‌ සන්ධ්‍යාට නොකී බව පවසා සිටියේය. මම ගුණදාස ජයලත්ගෙන් අසන විටද ඔහු මට කියා සිටියේ ඔහු සන්ධ්‍යාට එවැනි කිසිවක්‌ නොකී බවත් ඔහු ඇයට කීවේ ප්‍රගීත් ඔහුට කී කථාව පමණක්‌ බවත්ය.

මේ දෙදෙනාම පසෙක තබමු. සන්ධ්‍යා යනු මාද අඳුනන නිසා මා ඇයට කීවේ ඔහු පැහැරගත්තා යෑයි කියන මුල් අවස්‌ථාවේදී මා එම පුවත නොදන්නා බවත්, මට ප්‍රගීත්ව අවසන් වරට මුණගැසුණේ මීට අවුරුදු නමයකට පමණ පෙර බවත්ය. ඒ මා විදේශගතව සිට නැවත රටට පැමිණුන පසු ප්‍රගීත් මට වරක්‌ දෙවරක්‌ දුරකථනයෙන් කථා කළද 2006 අවසානයෙන් පසු ඔහු මා සමග දුරකථනයෙන් වත් කථා කර නැති බවත්ය. මේ නිසා පසුගිය අවුරුදු තුනහමාරක පමණ කාලයක්‌ තුළ ප්‍රගීතුත් මමත් අතර කිසිදු සම්බන්ධතාවක්‌ නොපැවතිණි. 

මේ සියලු විස්‌තර මවිසින්ම සන්ධ්‍යාට කියා තිබියදීත් ඇය සුනන්ද දේශප්‍රියට දී ඇති විස්‌තරය වන්නේ ප්‍රගීත් පැහැරගත් මුල් අවස්‌ථාවේදී ඔහු බේරා ගත්තේ මා බවයි. මෙහිදී මට පෙනෙන්නේ මගේ නම භාවිත කර නැත්තක්‌ ඇත්තක්‌ බවට හැරවීමට උවමනාවෙන්ම ගත් උත්සාහයකි. මා ඔහු බේරා ගත්තා නම් කවුරුන් විසින් හෝ ප්‍රගීත්ව උස්‌සා තිබිය යුතුය. ඉස්‌සීමක්‌ නොමැතිව බේරා ගැනීමක්‌ සිදුවිය නොහැකි නිසාය. මා මෙතෙක්‌ කල් මේ ගැන නිහඬ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළේ ප්‍රගීත් ගැන සිතාය. නමුත් මේ ප්‍රොaඩාව ඉදිරියට ගෙන යැමට මගේ නම උපයෝගී කර ගැනීම ගැන මගේ කිසිම පැහැදීමක්‌ නැත. මේ නිසා සන්ධ්‍යා එක්‌නැලිගොඩ උපාලි පුවත්පත් සමාගමට ඇවිත් මා හමුවූ අවස්‌ථාවේදී මා ඇයට පෞද්ගලිකව මේ කාරණය පිළිබඳව මගේ ඇති මතය කියා සිටියේය. ඇයට පෞද්ගලිකව කී දේ මට දැන් ප්‍රසිද්ධියේත් කීමට සිදුවනු ඇත.

 
සී. ඒ. චන්ද්‍රප්‍රේම

Tuesday, January 5, 2016

රූපවාහිනියේ දෙබිඩි බව



 
එක් චැනලයකින් – ඇටකටු ගැසුණු ළමයින්
නියඟයට වියළීගිය මිනිසුන්
පෙන්වන අතර – අනෙක් චැනලයෙන්
අධිපෝෂණය නිසා
කළගෙඩි වැනි බඩවල් අඩුකර ගන්නට
එකතැන බයිසිකල් පදින
ගැහැණු මිනිසුන් පෙන්වයි


Sunday, January 3, 2016

මොහොමඩ් රාෆි


ලෝකයේ නිපුණතම ගායකයන් තිදෙනා ලෙස මා නම් කරන්නේ (1) ෆ්‍රෙඩී මර්කරි , (2) ජෝජ් බෙන්සන් සහ (3) මොහොමඩ් රාෆිය​. 1924 උපත ලැබූ මොහොමඩ් රාෆි ගීත 23,000 අධික ප්‍රමාණයක් ගයා තිබේ.  1980 වසරේ ඔහු මිය ගියද මොහොමඩ් රාෆිගේ ගීත රාවය සදාකාලිකය​.

Saturday, January 2, 2016

වෛද්‍ය සන්දිරසේකරන්


වෛද්‍ය සන්දිරසේකරන් මට හමු වූයේ 2008 වසරේදීය​. ඒ කාලයේ ඔහු කල්පිටිය රෝහලේ ඩී.එම්.ඕ ලෙස සේවය කලේය​. මම පුත්තලම දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය සම්බන්ධිකරණ නිලධාරී (Focal Point Mental Health) ලෙස සේවය  කලෙමි.   

වරක් මුස්ලිම් අනාතයන් ජීවත් වන ආලන්කුඩා ප්‍රදේශයේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩ සටහනක් කල යුත් බව බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක  වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතා මට දැණුම් දුන් හෙයින් එම වැඩසටහනේ  සාධ්‍යතාව සොයා බැලීමට මම ආලන්කුඩා වෙත ගියෙමි. ආලන්කුඩා ප්‍රදේශයේ අනාත කඳවුරු වල ජීවත් වූයේ එල්. ටී.ටී.ඊ සංවිධානය විසින් උතුරු ප්‍රදේශයෙන් පලවා හරින ලද මුස්ලිම් ජනතාවය​. ඔවුන් ඉතා අසීරුකම් මැද ජීවත් වූවෝය​. ආලන්කුඩා වෙත යාමේදී දෙමල දන්නා භාෂා පරිවර්තකයෙකු මට අවශ්‍ය විය​. එම නිසා මම කල්පිටිය රෝහලට ගියේ දෙමල සහ සිංහල භාෂා දන්නා කම්කරුවෙකු  ආයතන භාර නිලධාරියාගෙන් ඉල්ලා ගැනීම සඳහාය​.    

මම කල්පිටිය රෝහලට යන විට රෝහලේ ඩී.එම්.ඕ වෛද්‍ය සන්දිරසේකරන් හෙදියන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට  රැස්වීමක් පවත්වමින් සිටියේය​. එම නිසා මම ඔවුනට බාධා නොකර පසුපස අසුනක වාඩිවී සිටියෙමි. වෛද්‍ය සන්දිරසේකරන් රැස්වීම පැවැත්වූයේ තල් අත්තට බොරළු ගසන්නක් මෙනි. දෙමල උරුවට ඔහු සිංහල කථා කල අතර ඔහු තම කාර්‍ය මණ්ඩලයට බනිනවාද කියා මට වටහා ගැනීමට නොහැකි විය​. රැස්වීම අවසානයේදී මා ඔහු වෙත ගොස් මා කවරෙක් ද කියා හඳුන්වා මගේ අවශ්‍යතාවය ගැන කීවෙමි. වෛද්‍ය සන්දිරසේකරන් වහාම මගේ ඉල්ලීම ඉටු කරමින් ද්වී භාෂා හැකියාව ඇති කම්කරුවෙකු මගේ සහයට එවීය​. එය අපගේ පළමු හමු වීමයි. ඉන් පසු මා හා වෛද්‍ය සන්දිරසේකරන් අතර මිත්‍රත්වයක් වර්ධනය වූ අතර ඔහු මා විසින් සංවිධානය කරන ලද මානසික සෞඛ්‍ය වැඩසටහන් වලටද ආවේය​.   

වෛද්‍ය සන්දිරසේකරන් බොහෝ පත පොත කියවන්නෙකි. රාජකාරී වෙලාවෙන්  පසු පුද්ගලික සේවයේ යෙදීම වෙනුවට  ඔහු බොහෝ විට කලේ පොත් පත්තර කියවීමයි. මධ්‍යම රාත්‍රිය වන තෙක් පොත් පත්තර කියවීම ඔහු නිති පතා කලේය​. එසේම ඒඩ්ස් රෝගය පිලිබඳව ඉංග්‍රීසි භාෂාවෙන් ඔහු පොතක් ලියුවේය​. එම පොතෙන් එක් පිටපතක් වෛද්‍ය  සන්දිරසේකරන් මටද පරිත්‍යාග කලේය​.   

බොහෝ පොතපත කියවන වෛද්‍ය සන්දිරසේකරන් පොත් මිලදී ගැනීම සඳහා බොහෝ මුදල් වැය කලේය​. එසේම වසරකට වරක් පරණ පොත් ඉවතලෑම ඔහු විසින් කරන ලදි.   වරක් ඔහු තම නිල නිවාසයෙන් ඉවතලන ලද පරණ පොත් තොගයක් කල්පිටිය රෝහලේ බෙහෙත් ශාලාවේ ඖෂධවේදියා ඉල්ලා ගත්තේය​. ඔහු එසේ පරණ පොත් ඉල්ලා ගත්තේ රෝගීන්ට බෙහෙත් දෙන කවර අවසන් වී තිබීම නිසා පරණ පොත් වලින් ඉරාගත් පිටු වලින් ඖෂධ ඔතා රෝගීන්ට දීමටය​.  

දිනක් මෙසේ පරණ පොතකින් ඉරාගත් පිටුවක එතූ ඖෂධ ලබා ගත් රෝගියෙකු උරණ වී ඖෂධවේදියාට බැණ වැදුනේය​. පසුව බලන විට ඖෂධවේදියා ඖෂධ ඔතා තිබුනේ කුරානයෙන් කඩා ගන්නා ලද පිටුවකය​. පැය කීපයක් යන විට තත්වය තවත් නරක් විය​. ආගම්වාදී ගැටුමක් යන්නට තරමට තත්වය ආතතිජනක වූයේය​​. කුරානයට අපහාස කලා යන්න ඔවුන් ගේ චෝදනාව වූ අතර ගැටුම්කාරී පිරිස් කල්පිටිය රෝහල වට කොට ඖෂධවේදියා ඔවුගේ අතට පත් කරන ලෙසට බල කළහ​. තැතිගත් ඖෂධවේදියා ඩී.එම්.ඕ නිල නිවසේ සැඟවිනි. ​

තත්වය පාළනය කිරීම සඳහා පොලිසිය පැමිණි අතර යාබද නාවික කඳවුරේ නැවියන් රෝහල ආරක්‍ෂා කලහ​. ඒ අතරවාරයේ පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක  වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතා සහ වෛද්‍ය සන්දිරසේකරන්  ප්‍රදේශවාසීන් හමුවී කරුණු පැහැදිලි කොට තත්වය සමනය කරන ලදි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 



Friday, January 1, 2016

Ali Bumaye




He who looks like a butterfly
Stings like a bee
No scares in his face
He is the champion of champions

When he was drafted
He refused to kill the yellow man
He said they did not call me a nigger
So I will not go to Nam

He defeated many boxers
Also fought against injustice
Mohamed Ali is still fighting
This time may be Parkinsonism

No matter how long it will take
He has not given up the fight
Still got courage and spirit
To face any type of opponents

Dr Ruwan M Jayatunge 

Find Us On Facebook