බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද දුක්ඛ සත්‍ය හෙවත් ලෝකය ඇසුරු කරගෙන දුක පවතින බව කිය සංකල්පය බොහෝ බෞද්ධන් විසින් වරදවා වටහාගෙන තිබෙන බව පෙනී යයි. සිදුහත් කුමරාට ලෝකයේ පවත්නා දූක පිලිබඳ යම් අවබෝධයක් කුඩා කාලයේ සිට ලැබෙන්නට ඇත. කුඩා කාලයේ සිට මාතෘ වියෝගය, තමන් සහ ඥාතීන් වියපත් වනවා දැකීම, මිනිසුන් ගේ මරණ දැකීම (එම කාලයේ ළදරු මරණ අනුපාතය ඉහල අගයක් ගත් අතර වයිරස් රෝග නිසා ගම් පිටින් විනාශ විය. මිනිසුන් බොහෝ ගනනක් මරු දුටුහ). මෙකී කාලයේ යුද්ධ බොහෝ සිදුවූ අතර යුද ආතතිය යුද ක්ලමථය සමාජය පුරා පැතිර ගියේය. නිසි ප්‍රතිකාර ක්‍රමයන් නොතිබූ නිසා මිනිසුන් බොහෝ දෙනෙකු ලෙඩ රෝග නිසා දුක් වින්දහ. මෙම සමාජ ව්‍යසන සිදුහත් කුමරාට අවබෝධ කර ගැනීමට සතර පෙර නිමිති අවශ්‍යම වූයේ නැත. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද දුක්ඛ සත්‍ය යනු විශ්වය දුකින් පිරුණු ආස්ථිත්‍යයක් බව සිතීම දෝෂ සහිතය. බුදුන් විසින් වදාළ දුක්ඛ යන වචනය ඉතා ගැඹුරු දර්ශනයකි. පහත දැක්වෙන්නේ දුක්ඛ යන බෞද්ධ සංකල්පය පිලිබඳ මා විසින් ලියන ලද ලිපියකි. එහි සිංහල පරිවර්තනයද දැක්වේ.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
The Concept of “Dukkha” in Buddhist Philosophy
by Dr Ruwan M Jayatunge M.D. PhD
ඉංග්‍රීසි ලිපිය සඳහා ලින්කුව ; https://transyl2014.blogspot.com/2023/12/the-concept-of-dukkha-in-buddhist.html
දුක්ඛ යන බෞද්ධ සංකල්පයෙන් පැවසෙන්නේ කුමක් ද ?
**************************************************************
( වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද The Concept of “Dukkha” in Buddhist Philosophy ලිපියේ සිංහල පරිවර්තනය. පරිවර්තනය හර්ෂිනී ජයසුන්දර )
දුක්ඛ" යන බෞද්ධ සංකල්පය මගින් පැවැත්මේ (existence) සැබෑ ස්වභාවය විස්තර කරයි. එහි ගැඹුරු දාර්ශනික අර්ථයක් ඇත. "දුක්ඛ" යන වචනය බොහො විට වරදවා වටහාගෙන ඇතිවා මෙන්ම වරදවා භාවිත කරද ඇත. "දුක්ඛ" යන වචනයේ අර්ථ්‍ය හුදෙක් "දුක්වීම " හෝ "දුක් විදීම" නොවේ. දුක්විදීම යන්නෙහි අර්ථය කායික, මානසික, සාමාජයීය, ආධ්‍යාත්මික සහ මනෝ ව්‍යාධිමය විඳවීමයි. එය කායික, චිත්තවේගීය, සහ මානසික වේදනා ඇතුලත් අත්දකීමක් විය හැක. මෙවැනි ආකාර විදවීම් චිකිත්සක හෝ සමාජ - ආර්ථික මැදිහත් වීම හරහා අවම කරගත හැක. එහෙත් දුක්ඛ" යන බෞද්ධ සංකල්පය එසේ චිකිත්සක මැදිහත් වීමෙන් හෝ සමාජ ආර්ථික ක්‍රම වේදයන් මගින් ඉවත් කර ගත නොහැක.
බුදු දහමේ එන "දුක්ඛ" යන වචනය කායික ආත්මීය දුක්වේදනා අභිබවා යන සවිඥ්ඥානික අත්දැකීමකි. එය වචන වලට සෘජුව පෙරලිය නොහැකි සංකල්පයකි. එය දුසාධ්‍ය විඳවීමක් නොවේ. දුක්ඛ යනු විඳවීම් , බලාපොරොත්තු සුන්වීම්, වේදනා, අවාසනාවන්තකම් හෝ අධෛර්‍ය නොවේ. එනම් සම්පූර්ණ අශුභවාදයද නොවේ. එය බහුමාන සංකල්පයක් වන අතර භාෂාමය අර්ථයක් දිය නොහැකි සංකීර්ණ සංකල්පයකි.
දුක්ඛ යනු මනුශ්‍ය ශරීරයේ මනුශ්‍ය පැවැත්මේ , ලෝකයේ යථා ස්වරූපය මත පදනම් වූ විඥ්ඥානමය සහ විශ්වීය අත්දැකීමකි. එනම් "දුක්ඛ" යනු සැබෑ මනුශ්‍ය තත්වය පෙන්වා දෙන විශ්වීය සංකල්පයකි. බොහෝ බෞද්ධ භික්‍ෂූන් ද මෙම දුක්ඛ යන සංකල්පය වරදවා වටහා ගෙන ජීවිතය දුක් වේදනා කම් කටොළු පිරි අවාසනාවන්ත තත්වයක් ලෙසට හුවා දක්වමින් දේශනා පවත්වති. එම නිසා බොහෝ බෞද්ධයන් ජීවිතය අශුභවාදයක් ලෙස දකිති. ඔවුන් වර්තමාන ජීවිතය පිලිබඳ මන්දෝත්සාහී වී මරණින් පසු ලෝකයක් පිලිබඳව උනන්දු වෙති.
බොහෝ බටහිර උගතුන් පවා දුක්ඛ යන බෞද්ධ සංකල්පය අර්ථකතනය කලේ පොදුවේ දුක් විදීම / විඳවීම යන අර්ථයෙනි. මෙයට හේතු වූයේ ප්‍රංශ දාර්ශනිකයෙකු වූ ඇනටෝල් ෆ්‍රාන්ස් විසින් එය වැරදි ලෙස පරිවර්ථනය කිරීමයි. ඔහු මේ "දුක්ඛ" යන්න souffrance ලෙස ප්‍රංශ භාශාවට පරිවර්ථනය කල අතර පසුව එය suffering ලෙස ඉංග්‍රීසියට පරිවර්තනය කෙරිනි. එතැන් පටන් බටහිර විද්වතුන් "දුක්ඛ" යනු අශුභවාදයෙන් සහ බලාපොරොත්තු සුන්වීමෙන් පිරුනු මිනිස් පැවැත්මේ අඳුරු පාර්ශවය සංකේත්වත් වන බව සිතූහ.
මිනිස් ජීවිතය දරාගත නොහැකි දුක් පීඩා වලින් පිරී තිබේද? මම සෝවියට් සංගමයේ ගුලාග් සිරකරුවන් , හෝලකෝස්ට් වින්දිතයන් වූ යුදෙව් ජාතිකයන් සහ යුද සිරකරුවන් (POW) මෙන්ම දරාගත නොහැකි වදහිංසා වලට මුහුණ දුන් පුද්ගලයන් සමග කතා කර ඇත්තෙමි. ඔවුන් ගේ ශාරීරික මානසික දුක් වේදනා සැබෑවන් වූවද බොහෝ දෙනෙක් එකඟ වූ කරුණක් වන්නේ මෙසේ දුක් වේදනා හෝ වහල් භාවය තිබියදීත් ඔවුන්ගේ ජීවිතයේ ප්‍රීතිමත් වූද තෘප්තිමත් වූද අවස්ථා තිබූ බවයි. ඔවුන්ගේ දුක් වේදනා , විදවීම් නොතකා ඔවුන්ට තම ජීවිත වල අභ්‍යන්තරයේ තෘප්තිමත් අවස්ථා (self-content) තිබුණි. මෙය පරිනාමය හරහා මිනිසුන් විසින් ඇති කරගත් සහජ පැවැත්මේ යාන්ත්‍රණයක් විය හැක.
ස්මිත් මහතා වසර 84 ක් ඵලදායී ජීවිතයක් ගත කලේය. ඔහුට ප්‍රීතිමත් ළමා කාලයක්, හොද අධ්‍යාපනයක්, ගෞරවනීය වෘත්තියක් සහ ඵලදායී වැඩිහිටි ජීවිතයක් තිබුණි. ඔහුගේ ජීවිතයෙන් වැඩි කාලයක් ඔහුට ප්‍රීතිය තිබුනි. ඔහුගේ ජීවිතයේ ආතතිය, නිශේධනාත්මක බව සහ බලාපොරොත්තු සුන්වීම යනාදිය නොසලකා ඔහු ධනාත්මක දෘශ්ඨියක් දැරීය. වයස 84 දී මහළු වියේ සිදුවන දුක් විදීමකින් තොරව ස්මිත් මහතා නින්දේදීම මිය ගියේය. ස්මිත් මහතා යනු කල්පිත චරිතයක් වූවද ස්මිත් මහතාට සමාන ජීවිත ගතකල බොහෝ දෙනා අප දකිමු. ජීවිතය දුක් කම්කටොලු වලින් පිරී ඇති බව ඔවුන් කවදා හෝ පැමිණිලි කර තිබේද?
දුක් වේදනා බාහිර සාධක විය හැක. මානසික අවපීඩනයෙන් (depression) පෙලෙන පුද්ගලයෙකු ඔහුගේ වැරදි දෘශ්ඨිය, සෘණාත්මක ජීවන දර්ශණය සහ හානිකර සංජානන හේතුවෙන් දුක් විදිය හැක. යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශයක මිනිසෙකු එහි පවතින භූ - දේශපාලණික හේතු නිසා දුක් විදිය හැක. මොළයේ රසායනික සමතුලිතතාවය වෙනස් වීම නිසා පුද්ගලයෙකු (අභ්‍යන්තර හේතූන් නිසා) දුක් විදිය හැක. මොළයේ රසායණික සමතුලිතතාවය වෙනස් හට ගන්න විශාදය හෝ මනෝ ව්‍යාධික රෝග තත්වයෙන් පෙලෙන පුද්ගලයෙකු ගැන සිතන්න. ඔවුන්ට ඖෂධ මගින් මොළයේ රසායණික තත්වයන් යාමනය කොට ඔවුන් ගේ දුක් සහිත විඳවීමට සමාප්තියක් ලබා දිය හැකිය. "දුක්ඛ" යනු සියදිවි නසා ගැනීමේ චේතනාවන් සමග සම්බන්ධ වූ සායනික, මානසික අවපීඩනය, ලෞකික දුක් වේදනා, විරසක වීම් හෝ ජීවිතයේ වේදනාව නොවේ. මෙම තත්වයන් සදහා මානසික අවපීඩන සදහා භාවිතා කරන ඖෂධ මනෝ චිකිත්සාව මගින් ප්‍රථිකාර කල හැක. තවත් සමහරෙක් තමන් දුක් විදින බව නොදනී. නිදසුනක් ලෙස, ඇල්සයිමර් රෝගයෙන් පෙළෙන රෝගියෙකු උදාහරණයට ගන්න. ඔහුට තම ජීවිතයේ විඳවීම පිලිබඳව අදහසක් නොමැත. මේ අනුව දුක්ඛ යනු එදිනෙදා ජීවිතය සමග බැඳී තිබෙන අප්‍රසන්නතා නොවේ. දුක්ඛ" යනු ජීවිතයේ විශ්වීය රෝග පිළිබද යථාර්ථයයි. .
අතීතයේ සිටි මිනිසුන් වසූරිය, පෝලියෝ, සරම්ප සහ රුබෙල්ලා වැනි රෝග වලින් පීඩා වින්දහ. වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග මෙකී රෝග ආශ්‍රිත දුක් විදීම් තුරන් කරන ලදි. ඒ හේතුවෙන් අප මේ බෝවන රෝගවලින් තව දුරටත් පීඩා නොවිදින්නෙමු.
වයසට යෑම වේදනාව සහ අසහනය සමග සම්බන්ධ විශ්වීය සාධකයකි. මෙය මහළු විය හා සම්බන්ධ දුක් වේදනාවයි. වියපත් වීමත් සමග කායික සහ මානසික පරිහානිය නිසා දුක් වේදනා ඇතිවේ. වයස් ගත වීම දුකකි. කෙසේ වෙතත් නවීන විද්‍යාත්මක තාක්ෂණය, විශේෂයෙන් ජාන ප්‍රථිකාර මගින් වයසට යෑමේ ක්‍රියාවලිය මන්දගාමී වේ. සමහර විට ඉදිරි වසර 100 සිට 200 අතර කාලය තුළ වෛද්‍ය විද්‍යාව විසින් වයස්ගතවීම පමා කිරීමේ ප්‍රථිකාර දියුණු කරනු ඇති අතර මිනිසුන්ට අවුරුදු 250- 300 දක්වා වූ කාලයක් ජීවත් වීමට හැකිවනු ඇත. එහෙත් මෙමගින් පවා "දුක්ඛ" යන්න නොවිසදේ. මක් නිසාද යත් වයසට යෑම සහ අභාවය නොවැලැක්විය හැකි අතර අවසානයේ මිනිසාට මරණය නම් විශ්වීය වේදනා අත්දැකිමට මුහුණ දීමට සිදුවන බැවිනි.
වෛද්‍ය විද්‍යාව බොහෝ රෝග සදහා ප්‍රථිකාර සොයාගෙන ඇත. සමහර විට තවත් වසර 200 - 300 ක් අතර කාලයේදී, පිලිකා ඇතුලු බෝ නොවන සහ බෝවන රෝගවලින් 95% ක් මානවයාගෙන් තුරන් වනු ඇත. එවිට ලෙඩ දුක් යනු මිනිසාට දුක් වේදනා ගෙන දෙන සාධකයක් ලෙස නොසැලකනු ඇත.
සත්‍ය වශයෙන්ම මරණය දුකකි. වෛද්‍ය විද්‍යාවට මිනිසාගේ ආයු කාලය දීර්ඝ කල හැක. ජෛව - මුද්‍රණ තාක්ෂණය මගින් සහ අනිකුත් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ප්‍රකෘතිමත් කල හැක. මෙම පියවරෙන් දීර්ඝායු ලබාදිය හැකි අතර මරණය වැලැක්විය නොහැක. එබැවින් මරණය මිනිස් පැවැත්මේ කොටසක් වනු ඇත. "දුක්ඛ" යන්න මරණයේ සාංකාව සමග බැදී පවතී.
දුක් පීඩා විදීම පුද්ගලික මෙන්ම පොදු කාරනයකි. විශ්වීය දුක් වේදනා යන්න පුළුල් පරාසයක් ඇති මිනිස් අත්දැකීම් ආවරණය කරයි. එයට මානසික, භෞතික, සාමාජීය මානයන් ඇත. මෙම විශ්වීය ලක්ශන සෑම මිනිසෙකුටම පොදු වේ. මෙහි ප්‍රථිපලයක් ලෙස මෙම විශ්වීය ලක්ශන මගින් සවිඥ්ඥානික අවබෝධයක් ගෙන දෙයි. ජීවිතය තව දුරටත් අර්ථවත් නොවන බව (lack of meaning) ඔවුන්ට හැගී යයි. මෙය පැවැත්ම සමග එන සාන්දෘෂ්ඨික කාංසාවේ (existential anxiety) ප්‍රතිඑලයකි. මේ සාන්දෘෂ්ඨික කාංසාව "දුක්ඛ" වේ.
ජීවිතයේ අරමුණක් නොමැති කම දුකට හේතු විය හැක. මිනිසාට සෑම පහසුකමක්ම සහ ද්‍රව්‍යමය දේ තිබුනද ඔවුන් බොහෝ විට ජීවිතයේ අරථ විරහිත භාවයට ගොදුරු වෙති.ඔවුන්ට ඔවුන්ගේ ජීවිතයේ අරමුණ පිලිබඳ පැහැදිලි හැගීමක් නැත. වික්ටර් ෆැරන්ක්ල්ට අනුව මිනිසුන් සාන්දෘෂ්ඨිකහිස් බව පුරවන්නේ සුඛ විහරණය, බලය, ද්‍රව්‍ය වාදය , වෛරය, කම්මැලිකම, ස්නායු උමතුවෙන් සහ බලකිරීමෙනි. ජීවිතයේ අරමුණක් නොමැති කම නිසා " දුක්ඛ" ඇති වෙයි.
සමහර බෞද්ධ ග්‍රන්ථ වල සදහන් වන්නේ උපත යනු දුකක් බවයි. නමුත් ඒ සාමාන්‍ය දරු උපතක් ගැන නොවේ. දරු ප්‍රසූතියක් යනු දෙමාපියන්ට ප්‍රීතිමත් අවස්ථාවකි. බෞද්ධ සන්දර්භය තුල උපත යනුවෙන් අදහස් වන්නේ මමත්වයේ (ego) උපතයි. මමත්වයේ උපත සහ එහි පැවත්ම විශ්වීය දුක්ඛිත තත්වයට හේතුවේ. මෙමගින් මිනිසා තමා පිළිබද ව්‍යාජ හැගීමකට පත්වෙයි. ඔහුගේ විශ්වාසයන් වෙනස් වූ විට හෝ අභියෝගයට ලක්වූ විට ඔහු ඔහුගේ ව්‍යාජ මමත්වය නිසා අසහනකාරී සහ සාංකාමය තත්වයට පත්වෙයි.
දුක්ඛ" යනු ලෞකික දුක් වේදනා, සාමාන්‍ය වශයෙන් වූ අසතුටුදායක බව නොසන්සුන් කම හෝ දැඩි මානසික වේදනාව නොවේ. දුක්ඛ යනු ලෞකික දුක් විඳීම නම් එයද තාවකාලික වූවකි. එයද සදාකාලික නොවන දෙයකි. නමුත් "දුක්ඛ" යන්නට ඇත්තේ ගැඹුරු විශ්වීය අර්ථයකි. "දුක්ඛ" යන්නෙන් සංඛේතවත් කරන්නේ බියෙන් හා දුක්ඛිතභාවයෙන් පිරුනු මිනිස් පැවැත්මේ අඳුරු ස්වභාවය නොවේ. එය එම පැවැත්මේ අව්‍යාජ ස්භාවයය ඉස්මතු කරයි. "දුක්ඛ"යනු මමත්වයේ අනිත්‍ය ස්වභාවයයි. "දුක්ඛ" යනු අශුභවාදී හෝ ශුන්‍යවාදී සංකල්පයක් නොවේ. එයින් සතුටේ සිට බලාපොරොත්තු සුන්වීම දක්වා වූ චිත්තවේග මාලාවක් නියෝජනය වේ.
දුක්ඛ" යන්නෙන් පැවැත්මේ සත්‍ය වූද නිවැරදිවූද ස්වභාවය විස්තර කරයි. පැවැත්ම රැඳී තිබෙන්නේ අනිත්‍යතාවය, දුක්ඛ සහ අනාත්මභාවය පදනම් කර ගෙනය. මේ ත්‍රිත්වය එකිනෙක මත රඳා පවතින අතර අන්තර්සම්බන්ධිත සාධක වෙති.
අනිත්‍ය යනු ස්ථිර සහ අඛන්ඩ පැවැත්මෙන් තොර වීමයි. අනිත්‍ය බව විසින් ස්ථිර මිනිස් ආත්ම සංකල්පය ප්‍රතික්ශේප කරයි. විශ්වය වනාහි ඇදහිය නොහැකි තරම් විශාල වූද සංකීර්ණ වූද නිරන්තරයෙන් වෙනස් වන්නා වූද ප්‍රපංචයකි. විශ්වයේ ස්ථිර භෞතික හෝ මානසික පැවැත්මක් නොමැත. පුද්ගල මට්ටමෙන් මෙන්ම පොදු මට්ටමෙන්ද ලෝකය නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතී.
බුදු දහමට අනුව හැගීම්, සහ සංජානනයන් ද අනිත්‍ය වේ. එමෙන්ම විඥ්ඥානයද (consciousness) අනිත්‍ය වේ. යමෙක් මෙම අනිත්‍ය වූ ලෝකයේ යථා ස්වභාවය තේරුම් නොගෙන එයට ප්‍රථිරෝධය දැක්වීමට උත්සාහ කරන විට දුක උපදී. ඔහුට වෙනස් වීමට උවමනා නැත. නමුත් ඔහු වටා ඇති සියල්ල නිරන්තරයෙන් වෙනස් වීමට භාජනය වේ. ඔහුට නැවත කිසි විටෙක කලින් සිටි මොහොත හෝ අත්දැකීම වෙත ආපසු යා නොහැක. පුද්ගලයා වයස්ගත වේ. ඔහුට සදහටම තරුණ වී සිටිය නොහැක. මෙම ක්‍රියාවලිය පුද්ගලයා තුල දුකක් ඇති කරයි. පුද්ගලයාට තමාට සහ තම ආදරණීයයන් සදහා ලෝකයක් අවශ්‍ය වේ. නමුත් මරණය වැලැක්විය නොහැක. කිසිවෙකුට එයින් ගැලවිය නොහැකිය. මරණයට ඇති බිය සහ එම ක්‍රියාවලිය මෙම "දුක්ඛ" සංකල්පය සමග බැඳී පවතී.
ලෝකය මායාවන්ගෙන් පිරී ඇත. මිනිසා තමා විසින්, මවා ගත් බොහෝ මනෝ සංකල්ප සැබෑ ලෙස පිලිගනී. ශාරික සහ මානසික මමත්වය සැබෑ ලෙස ඔහු පිලිගනියි. ආත්මය යනු විචිත්‍ර වූ සවිඥ්ඥානික වස්තුවක් ලෙස වටහා ගත්තද එහි ඇත්තේද "මම" යන මායාවය. මොලයේ ස්නායු ක්‍රියාකාරිත්වය හරහා මෙම මායාවන් විසින් මමත්වය නිර්මානය කරයි. මොලයේ ස්නායු ක්‍රියාකාරිත්වය හරහා මෙම මායාවන් විසින් මායාමය අනන්‍යතාවයක් නිර්මාණය කරයි. තමා පිලිබද මායාමය හැගීමක් ඇතිකිරීම සදහා මොලය එහි අත්දැකීම්, සිතුවිලි සහ හැසිරීම් යොදාගනියි. සමහර ස්නායු විශේසඥයන්ට අනුව මොලය නිර්මාණශීලී යන්ත්‍රයකි. මම යනු තනි වස්තුවක් නොවන අතර එය සංවේදනයන්, සංජානන සහ සිතුවිලි වල එකතුවකි. සියලුම භෞතික සහ මානසික තත්වයන් පාරභෞතික වශයෙන් සත්‍ය නොවේ. මම යනු මොහොතින් මොහොත ගලායන ස්වභාවයක් වන අතර මම යනු ස්ථිර ගතිකයක් බව සිතන තැනැත්තා මෙම මායාවට හසුවූ විට "දුක" උපදී.
"දුක්ඛ" යනු පැවැත්මේ සැබෑ ස්වරූපය තේරුම් ගැනීමට නොහැකි වීමයි. එය ජීවිතයේ විවිධ අවස්ථා නිසා ඇතිවන ආතතිය, ගැටුම්, බාධා, වෙනස්වීම්, නිසා ඇති වන වෙනස් වීමයි. එයසෑම මිනිසෙකුම අත්විදින, අධ්‍යාත්මික වූ අර්බුදයක් වන අතර සමහරු එය අර්ථ විරහිත ලෙස දකිති. දුක්ඛ යනු තාර්කික මිනිසෙකු හා අතාර්කික ලෝකය අතර ගැටුමයි. "දුක්ඛ" ලෝකයේ සමස්ථ පැවැත්ම හා බැදී පවතී.
ලෞකික පුද්ගලයෙකු දුක් වර්ග දෙකක් අත්විදියි. පලමුවැන්න සෞඛ්‍ය ගැටළු සහ සමාජ - ආර්ථික ගැටළු නිසා ඇතිවන දුක්ඛිත ජීවන තත්වයයි. මෙවැනි ගැටළු ලෞකික මැදිහත්වීම් මගින් නිවැරදි බවට පත්කරගත හැක. දෙවැනි දුක් වර්ගය වන්නේ "දුක්ඛ" ලෙස හැදින්වෙන දුක් වේ. "දුක්ඛ" යන්න ලෞකික දුක් විදීම අභිබවා යන්නකි. ලෞකික මැදිහත්වීමකින් මෙය නිවැරදි කල හෝ සහනය ලබා ගත නොහැක.
"දුක්ඛ" යනු අශුභවාදය හෝ නරුමභාවය නොවේ. " දුක්ඛ" යන්න මානව ස්වභාවයට විශ්වයේ යථාර්ථයට සම්බන්ධ දෙයකි. "දුක්ඛ" යනු පිළිතුරක් නැති ප්‍රහේලිකාවක් නොවේ. බුදුන් වහන්සේ " දුක්ඛ" යෙහි ඇති විස්තීරණ ස්වභාවය සහ දුකින් මිදීම විස්තර කරන ලද අතර මුලින්ම දුක්ඛ සංකල්පය නිවැරදිව අවබෝධ කළ යුතු ය. එසේම දුක්ඛ නිරෝධයට තුඩු දෙන ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කල යුතුය.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments