Tuesday, December 4, 2018

1971 කැරැල්ල කෘතිය පිළිබඳ කෙටි සටහනක්




1971 වසරේ, අප්‍රේල් මස ජනතා විමුක්ති පෙරමුණේ මෙහෙයවීම යටතේ ලංකාවේ දකුණු පළාත මුල් කරගෙන දියත් කෙරුණු, රාජ්‍ය විරෝධී ආයුධ සන්නද්ධ තරුණ කැරැල්ල ශ්‍රි ලංකාව 1948 නිදහස ලැබීමෙන් පසු රට තුළ ඇතිවූ ප්‍රථම දේශපාලන අර්බුදය සනිටුහන් කළේය. දින ගණනාවක් තිස්සේ සිදුවු ප්‍රචන්ඩ ක්‍රියා රටතුළ හදිසි තත්වයක්, දේශපාලන අස්ථාවරභාවයක් හා සමාජ ආර්ථික වශයෙන් වියවුල් බවක් ඇති කිරීමට සමත් විය. 

මෙම තරුණ නැගිටීම අහඔු සිදු වීමක් නොවුයේ ඊට පසුබිම දශක දෙකක පමණ කාලයක් තුළ නිර්මාණය වූ නිසාය. තරුණයින් මෙම ප්‍රචන්ඩකාරී කැරැල්ලට යොමු කිරීමට හේතු සාධක වූ කරුණු පිළිබඳව පැවති රජයේ අවදානයට යොමු වූ අතර යම් යම් ප්‍රතිපත්තීමය ප්‍රතිචාරයන් රාජ්‍ය පාර්ෂවයෙන් ඉදිරි වසර කිහිපය තුළ දැක ගත හැකි විය. කැරැල්ල ආයුධ සන්නද්ධ රාජ්‍ය විරෝධී තරුණ නැගිටීමක් වූ බැවින් වහා නිතිමය හා ආරක්ෂක පියවර ගත් අතර, සැලකිව යුතු තරුණ පිරිසකගේ ජීවිත හානි ඉතා කෙටි කාලයකින් සිදුවූ අතර, සම්බන්ද වූ පිරිස අත් අඩංගුවට ගැනීම හා නිතිමය පියවර ඒ අය සඳහා ගැනීමද වේගවත්ව සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස, සෘජුවම සම්බන්ද බොහෝ පිරිසක් සඳහා සිර දඩුවම් නියම කෙරිණ. බොහෝ අය පුනරුත්ථාපන ක්‍රියාවලියක් තුළින් නැවත සමාජගත කරණු ලැබීය. සිරගෙට නියම වූ පිරිස වසර හතකට පසු පොදු සමාවක් යටතේ නිදහස් කරනු ලැබීය.

ඉහත සඳහන් රාජ්‍ය විරෝධී තරුණ කැරැල්ල, මෙරට පසුව සිදුවූ ප්‍රචන්ඩ ක්‍රියාවල ආරම්භයක් සනිටුහන් කළේය. මන්ද, ඉදිරි දශක කිහිපයම රටතුල 1971 කැරැල්ලටත් වඩා බිහිසුණු දේශපාලන ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය වීමක් දැකිය හැකිව ඇති නිසාය. මේ සියල්ල 1980 දශකයේ මුල් කාලයේ ආරම්භ වූ උතුරු නැගෙනහිර මුල් කොටගත් ජනවාර්ගික යුද්ධය රටේ ආනාගතය කෙරෙහි දැඩිලෙසම බලපෑ සිවිල් ගැටුම වූ අතර, එහි බලපෑම අදටත් පැහැදිලිව දුෂ්‍යමාන වේ. මේ සියළු කැරලි හා යුධමය තත්වයන් කෙරෙහි බලපෑ පොදු සාධක හදුනා ගැනීම මෑත ඉතිහාසය දෙස සුපරික්ෂාකාරීව බලනවිට අපහසු නොවන අතර ඒවාට බලපෑ සුවිශේෂ තත්වයන්ද හදුනාගත ගැනීම අපහසු නොවේ. 

1971 කැරැල්ල සුවිශේෂිව සලකා බලනවිට, ඒ පිළිබඳව මේ වන විට සැලකිය යුතු ලිඛිත සාහිත්‍යයක් දැකිය හැකිය. රුවන් ජයතුංග විසින් රචිත මෙම ග්‍රන්ථය ඊට එක්කළ තවත් සැලකිය යුතු ප්‍රකාශනයක් වන අතර, 1971 කැරැල්ල පිළබඳව පාඨකයාට ඒ මගින් සැලකිය යුතු අවබෝධයක් ලබා දෙනවාට සැක නැත.

මෙම ග්‍රන්ථයේ සුවිශේෂත්වය වන්නේ, කැරැල්ලට සම්බන්ද සැලකිව යුතු නායකයින් රැසක්ද සමග කරන ලඳ සම්මුඛ සාකච්ඡා එකතුවක් ඊට ඇතුළු කර තිබීමය. මේ ප්‍රත්‍යෙකයන් ඉතා සවිස්තරාත්මක තොරතුරු පාඨකයාට ලබා දෙන අතර,ඒ මගින් 1971 කැරැල්ල පිළිබඳව යම් යම් ගැඔුරු තොරතුරු රැසක් ඒක රාශී කර ඇත. මෙම ප්‍රත්‍යෙකයන් පිළිබඳ පුළුල් විග්‍රහයක් ග්‍රන්ථයේ ඇතුළත් නොවූවත්, උනන්දුවක් දක්වන පාඨකයාට ඒ සඳහා අවස්ථාව කතුවරයා විසින් ලබා දී ඇත.

තරුණ කැරලි, ප්‍රචණ්ඩකාරී තරුණ නැගිටීම් ආදිය පිළිබඳව රටතුල පවතින සමාජ හා දේශපාලන කථිකාවන් විවිධය. ඒ විවිධත්වය සඳහා බලපාන සාධක අතර, දේශපාලන මතවාදයන් ප්‍රධාන වශයෙන් වැදගත් වූවත්, මෙම සංසිද්ධිය පිළිබඳව විවිධ පුද්ගලයින් හා කණ්ඩායම් දරණ මතය කෙරෙහි සමාජ කථීකාවන්ද ඉතා වැදගත් වේ. මෙම සමාජ කථිකාවන් පෝෂණය විය යුත්තේ, හුදු පුද්ගල නිශ්චිත අදහස් මත නොවිය යුතු අතර, ඒ සඳහා තරුණ කැරලි හා ප්‍රචණ්ඩත්වයට බලපාන සමාජ, ආර්ථික හා සංස්කෘතික සාධක පිළිබඳව කෙරෙන බෙහෙවින් අපක්ෂපාති හා වාස්ථවික විග්‍රහයන් ඉතා වැදගත් වේ. 

සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් රුවන් ජයතුංගගේ ප්‍රකාශනය මෙහිදී වැදගත් වේ. සටහන අවසන් කිරීම සදහාත්, පාඨකයාගේ කුතුහලය ඇවිස්සීම සදහාත්, යමක් කිය යුතුය. මෙම ග්‍රන්ථයේ විස්තර සපයන පුද්ගලයින් විශාල පිරිසක් දෙස බලන විට, පසු කාලීනව ඔවුන් සමාජයේ විවිධ ක්‍ෂෙත්‍ර වලට අවතිර්ණ වී කටයුතු කළ හා කරන බව මෙරට බොහෝ අය දන්නා සත්‍යයකි. මෙයින් ඇතැමුන්, සමාජයේ ඉතාම ප්‍රභූත්වයට පත් විය. මෙම තරුණ කැරලි පිළිබඳව උනන්දුවක් දක්වන සෑම කෙනෙක්ගේම අවදානය යොමු වි යුතු වැදගත් සංසිද්ධියකි. පසුව සිදුූ වූ තරුණ ගැටුම් පිළිබඳ අපගේ අත්දැකීම් 1971 කැරැල්ලට වඩා බෙහෙවින් වෙනස් වූයේ, ඒවායේ ස්වරූපය වෙනස්වීම පමණක් නිසා නොව, ඒවා කෙරෙහි බලධාරීන් දක්වූ ප්‍රතිචාරයේ ස්භාවය නිසා බවද සඳහන් කළ යුතුය.

මහාචාර්ය සිරි හෙට්ටිගේ
සමාජ විද්‍යාව පිළිබද සම්මානිත මහාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook