Sunday, April 30, 2017

පොල්පොට් ගේ ආගමනය


“කම්පුචියාව යන රට තිඛෙන්නේ කොතැනකද යන්න මම තවම නොදනිමි”, යන මේ ප්‍රකාශය කරන ලද්දේ සුප්‍රකට රාජ්‍යතාන්ත්‍රිකයෙකු වූ මෙන්ම ඉතිහාසඥයෙකු වන වින්සන්ට් චර්චිල් විසිනි.
අප්‍රකට කම්පුචියාව පසුකලෙකදී මුළුලෝකයේම ප්‍රසිද්ධියට පත් රටක් විය. ඒ පොල්පොට් හා “මරණයේ ගොවිබිම්” නිසාය. 1975 වර්ෂයේදී බලයට පැමිණි පොල්පොට්ගේ නායකත්වයෙන් යුත් කෙමරූජ්වරු (ණයපැර ඍදමටැ – රතු කම්පුචියානුවන්) කම්පුචියාව පාළනය කළේ මාස 44 වැනි කෙටිකාලයකි. ඒ කාලය ඇතුළත ශතවර්ෂ ගණනාවක් පවතින විනාශයක් ඔව්හු කම්පුචියාව තුළ සිදු කළහ.
අන්තවාදීන් සුළු පිරිසකට රටකට කළ හැකි උපරිම විනාශය පිළිබඳව පෙන්වා දියහැකි හොඳම උදාහරණය කම්පුචියාව මගිනි. ඔව්හු රටේ ආර්ථීකය, සංස්කෘතිය හා අනාගතය විනාශ කළහ. කෙමරූජ්වරු ගිය මගෙහි ඔවුන්ගේ ධ්‍රැවගත මනස් දුටුවේ ද්‍රෝහියන් පමණකි. ඔවුන් ද්‍රෝහියන් ලෙස නම්කොට මුළු ජනගහණයෙන් 1/3 විනාශ කර දමන ලදී. අවසානයේදී කම්පුචියාවේ ඉතිරිවූයේ ඇටසැකිළි හා හිස්කබල් පමණි. කෙමරූජ්වරු රටේ අධ්‍යාත්මය විනාශ කොට දමන ලදී. මේ වනවිට කම්පුචියාවේ ජනගහනයෙන් 43% ක් ජීවත් වනුයේ අන්ත, අසරණ, දුගී ජීවන මට්ටමකිනි. ඔවුන් කම්පුචියාවට කළ විනාශයේ දෝංකාරය තව ශතවර්ෂ ගණනාවකටත් වඩා පවතිනු ඇත.

කම්පුචියාවේ ඉතිහාසය
පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ක්‍රිස්තු පූර්ව 4200 යුගයේ සිට කම්පුචියාවේ ජනාවාස පැවතින. නියොලිතික යුගයට අයත්වූ මොවුන් සංක්‍රමණය වූයේ දකුණු චීනයෙනි. 9 වන සියවසේ සිට 13 වන සියවස දක්වා පැවති ණයපැර අධිරාජ්‍යය කම්පුචියාවේ ස්වර්ණ යුගයයි. හත්වන ජයවර්මන් රජු සමයේ කම්පුචියාව සුවිසල් දියුණුවක් ලැබීය. එසේම ඔව්හු අසල්වැසි රාජ්‍යයන්ද ආක්‍රමණය කළෝය.
ඇන්කෝර් ශිෂ්ඨාචාරය බිඳ වැටීමත් සමඟම කම්පුචියාවට උදාවූයේ අඳුරු සමයකි. 15 වන සියවසේ සිට 19 වන සියවස දක්වා කම්පුචියාවේ දේශසීමා අසල් වැසි රාජ්‍ය මගින් කොල්ලකනු ලැබීය. බුරුමය හා වියට්නාම් ආක්‍රමණ නිසා කම්පුචියාවේ අවනතියක් ඇතිවිය.
1863 දී නරෝඩොම් රජු ආක්‍රමණ වලින් බේරීමේ උපක්‍රමයක් ලෙස ප්‍රංශය සමඟ ගිවිසුමකට එළඹියේය. මෙම ගිවිසුම උපයෝගි කරගත් ප්‍රංශය කම්පුචියාව සිය යටත් විජිතයක් කරගනු ලැබීය. දෙවන ලෝක මහායුද්ධයෙන් පසුව ප්‍රංශ යටත් විජිත වාදයෙන් මිදෙනු වස් සිහනුක් රජු ජිනීවා සාකච්ඡා හරහා කම්පුචියාව නිදහස් කරගැනීමට මූලික පියවර ගත්තේය.
1953 ඔක්තෝම්බර් මාසයේ සිහනුක් රජු කම්පුචියාව නිදහස් රටක් බවට ඒකපාර්ශිකව ප්‍රකාශ කළේය. 1950 සිට 1960 දක්වා කම්පුචියාවේ පැවතියේ විදේශ මැදහත්වීම් වලින් තොර දශකයකි. එහෙත් කම්පුචියාවේ ඇතැම් ප්‍රාන්තවල උතුරු වියට්නාම් හමුදා මධ්‍යස්ථාන ඇතිකරන ලදී. මෙම මධ්‍යස්ථාන මගින් දකුණු වියට්නාම් හමුදාවලට එරෙහිව ප්‍රහාර දියත් කරන ලදින් 1969 දී දකුණු වියට්නාමයේ එක්සත් ජනපද අරක‍ෂාව සහිතව මාස 14 කාලයක් කම්පුචියාවේ උතුරු වියට්නාම් හමුදා මර්මස්ථානවලට ගුවන් ප්‍රහාර එල්ල කරන ලදී. මෙම ගුවන් ප්‍රහාර වලින් සිවිල් වැසියන් රැසක්ද මරු දුටුහ.
උතුරු හා දකුණු වියට්නාම් අර්බුදයට මැදිවීමට සිහනුක් රජු අකමැති වුවද භූගෝලීය සාධක මත උතුරු වියට්නාමයට කම්පුචියාවේ දේශසීමා අරක්ෂක භූමියක් විය. එම නිසා ඔවුහු වියට්නාම්, කම්පුචියා දේශසීමා පවා උල්ලංඝනය වන අකාරයෙන් තම හමුදා මෙහෙයුම දියත් කළහ, මේ හේතුවෙන් දකුණු වියට්නාමයේ හා එක්සත් ජනපදයේ ප්‍රහාර වලට කම්පුචියාව ද ලක්විය. එක්සත් ජනපදය දුටුවේ සිහනුක් රජු උතුරු වියට්නාම් රජයට සහය දෙන්නකු ලෙසට ය. එම නිසා ක්ෂමා සංවිධානය සිහනුක් රජු බලයෙන් පහ කිරිම සඳහා පිඹුරුපත් සැකසුහ.
මේ යුගයේ දී සොන් සෙන්, ඉයෙංසාරි පොල්පොට් වැන්නවුන් සිහනුක් රජයට එදිරිව ක්‍රියා කළහ. දෙස් විදෙස් මැදිහත් වීම නිසා සිහනුක් කුමරුගේ බලය පිරිහෙන්නට පටන් ගත්තේය. ජෙනරාල් ඛදබ භදක කම්පුචියාවේ නව රජයක් පිහිටුවිය. අවුල් වියවුල් වලින් ගහන වූ මෙම කාලය නිසා ජෙනරාල් ඛදබ භදක ගේ රජය පැවතියේ 1967 දක්වා පමණි. 1968 හා 1969 වසර වල රජයට එරෙහි ගරිල්ලා ප්‍රහාර දැඩිවිය. 1970 වන විට සිහනුක් රජු වෛද්‍යහේතූන් මත රටහැර ගියේය.
1970 දී ඇමෙරිකානු ක්ෂමා සංවිධානයේ ආධාර ඇතිව ජෙනරාල් ඛදබ භදක කුමන්ත්‍රණයක් දියත් කොට කම්පුචියාවේ බලය අල්ලා ගැනීමට ක්‍රියා කළේය. 1970 ඔක්තෝම්බර් 9 වන දින කම්පුචියාවේ රාජ වංශය අහෝසි කරනු ලැබීය. උතුරු වියට්නාමයේ බලය බිඳිනුවස් අමෙරිකාව කම්පුචියාවේ නව රජයට ආධාර කළේය. මෙම ආධාර සමන්විත වූයේ යුධ අවි හා යුධ තාක්ෂණයෙනි.
දකුණු වියට්නාම් හමුදා හා ඇමෙරිකානු යුධ උපදේශකයන් 1970 වන විට කම්පුචියාවේ රැඳී සිටිමින් උතුරු වියට්නාමයට එදිරිව සටන් කළහ. මෙය ජනාධිපති නික්සන් පවා පසුව පිළිගන්නා ලදී.
මෙම ගැටුම පවතින විට පොල්පොට් තම ගරිල්ලන් මගින් ඛදබ භදක ගේ රජයට එරෙහිව ප්‍රහාර වැලක් දියත් කළේය. 1973 වන විට පොල්පොට්ගේ නායකත්වයෙන් යුතු කැමරුජ් සංවිධානය කම්පුචියානු භූමියෙන් 60% ක් පාළනය කළහ. 1975 අප්‍රේල් 17 දින ඛදබ භදක ගේ රජය බිඳ වැටුන අතර කැමරුජ් සංවිධානය කම්පුචියාවේ බලය තහවුරු කර ගත්තේය. ඉන් පසුව එළඹුනේ තවත් අඳුරු යුගයකි. භීෂණයෙන් වෙළුන එම කාලයේ දී දහස් දහස් ගණන් ජනතාව වධ බන්ධනයන්ට පත් කරනු ලැබීය. බොහෝ දෙනෙකු මරු දුටුහ.

නරොඩම් සිහනුක් රජු
1945 සිට 1970 දක්වා කම්පුචියාවේ බලය තිබුනේ සිහනුක් රජුට ය. පසුගාමි අදහස් නිසා ද, වැඩ වසම් යුගය තවදුරටත් පවත්වා ගැනීමේ අභිලාශයන් නිසා ද, ජනතාව අතර ඔහු ජනප්‍රිය නායකයකු නොවීය. සිහනුක් කම්පුචියාව පාලනය කළ වකවානුව තුළදී ද රාජ්‍ය නිලධාරීන් හා හමුදා නිලධාරීන් විවිධාකාර දූෂණ වල යෙදුනහ. ජනතාව ජීවත් වූයේ දරිද්‍රතාවයේ ගිලෙමිනි.
කොමියුනිස්ට්වාදීන් කෙරෙහි සිහනුක් තුළ තිබූ බිය හා වෛරය නිසා ඔහුගේ රජය නිබඳව ම කොමියුනිස්ට්වාදීන් දඩයම් කළේය. මේ නිසා රහසිගත දේශපාලන ව්‍යාපාරවල යෙදුන පොල්පොට් වැන්නවුන් සිහනුක්ගේ පොලිසියට අසුනොවීම සඳහා නාගරික ප්‍රදේශ වලින් ඔබ්බට පලා ගියහ. සිහනුක්ගේ පාලනය නිසා අගතියට පත් වූ ජන කොටස් මුල් කාලයේ දී පොල්පොට් ට සහය පල කළ බව සැබෑය. ග්‍රාමීය ප්‍රදේශ වල සිට ගරිල්ලා යුද්ධයක නියැලූණු පොල්පොට්ට ගැමි ජනතාව සහය දෙන ලදී.

අසාර්ථක සිසුවා පැරිසියේ ඉබාගාතේ යයි
ඒ 1953 වසරයි. රේඩියෝ කාර්මික ශිල්පය ඉගෙන ගැනීමට පැරිසියට පැමිණි සලොත්සාර් (අනාගත පොල්පොට්) නම් තරුණයා සිටියේ ඉච්ඡාභංගත්වයට පත්විය. විභාග අසමත් වීම නිසා ඔහුගේ අනාගතය අඳුරුය. 1949 දී තරුණයෙකු ලෙස කම්පුචියාවේ (එකල කම්පුචියාව ප්‍රංශ ඉන්දුචීනයේ කොටසක් විය) පැරිසියට පැමිණ ඔහු තුළ අනාගත සිහින රැසක් තිබුණි. දැන් ඒ සෑම සිහිනයක් ම දියවී ගොසිනි. අවිනිශ්චිත අනාගයකට මුහුණ දෙනුවස් තව නොබෝ දිනකින් මවුරට බලා යාමට ඔහුට සිදුවේ.
සලොත් සාර් උපත ලැබුවේ 1925 වසරේදී ය. කුඩා කාලයේ බෞද්ධ ආරාමයක ඉගෙනුම ලැබූ ඔහු ද්විතියික අධ්‍යාපන ලැබුවේ රෝමානු කතෝලික පාසලකය. ඉගෙනීමට දක්ෂකම් දැක්වූ ඔහුට ශිෂ්‍යත්වයක් දිනා ගැනීමට හැකි විය. රේඩියෝ කාර්මික ශිල්පයට ඇළුම් කළ සලොත් සාර් ප්‍රංශයට පැමිණියේ රේඩියෝ කාර්මික ශිල්පය ප්‍රගුණ කරනු සඳහා වුවත් ඔහුට මුණ ගැසුණු මිතුරන් ඔහුව දේශපාලනය කරා කැන්දන් ගියහ. රේඩියෝ කාර්මික ශිල්පය වෙනුවට මාක්ස්වාදය හැදෑරූ ඔහු දේශන අතපසු කළේය. එහි ප්‍රතිඵල ලෙස ඔහු විභාගයෙන් අසමත් විය. එම නිසා ඔහුගේ ශිෂ්‍යත්වය අවලංගු කරනු ලැබීය.

පැරිසියේදී ඔහුට හමුවූ කම්පුචියානු ජාතිකයන් අතරින් ඉයෙං සාරි, කියු සම්පෙන්, කියු පොනරි සහ සොන්සෙං මුල් තැනක් ගත්තේ, ඔවුන් මාක්ස්වාදය කෙරෙහි දැක්වූ භක්තිය නිසාවෙනි. සලොත් සාර් ගේ පැරිසියේ නේවාසිකාගාරයට රැස්වන මෙම පිරිස රෑබෝවන තුරු විප්ලවීය සමාජවාදය ගැන සාකච්ඡා කළහ. කුඩා අඳුරු කාමරයේ එක්රැස් වූ මෙම පිරිස අනාගත කෙමරූජ් රජයේ නායකයන් වනු ඇත.
පැරිසියේදී අධ්‍යාපනය ලැබූ කාලයේ ද ඔහු ප්‍රංශ (ඡ-28) කොමියුනිස්ට්වාදීන් සමඟ ද සබඳතා පැවැත්විය. එහෙත් දැන් සියල්ල අවසන් ය. පැරිසිය තව දුරටත් ඔහුට ජීවත් වීමට සුදුසු භූමියක් නොවේ. ශිෂ්‍යත්වය අවලංගු කිරීම නිසා ඔහුගේ අතේ ඇත්තේ සීමිත මුදලකි. යළි උපන් දේශයට යනු මිසක අනු විකල්පයක් ඔහුට ඉතිරිව නැත.
සවස්වරුවේ ඒ මේ අත ඇවිද ගිය සලොත් සාර් කුඩා අවන්හලකට ගොඩවැදී කෝපි කෝප්පයක් පානය කළේය. ඔහුගේ හිස එක අරමුණක නොවීය. මනාව ඇඳ පැළඳගත් ප්‍රංශ ගැහැණු පිරිමි ඔහුගේ අවධානයට ලක් නොවූ අතර, ඔහුගේ මනස රැඳී තිබුනේ අනාගතයේ දී කළ යුතු කාර්යන් කෙරෙහි ය. එහෙත් ඔහුට නිශ්චිත ඉලක්කයක් නොවීය. තව නොබෝ දිනකින් මව් රට බලා යාමට ඔහු අදිටන් කර ගත්තේය.

ඉතිහාසය හා භූගෝල විද්‍යා ගුරුතුමා
1953 වසරේ පැරිසියේ සිට කම්පුච්යාවට පැමිණි සලොත් සාර් නොහොත් පොල්පොට් පුද්ගලික පාසලක ඉතිහාසය හා භූගෝලය ඉගැන්වීය. ඉගැන්වීමට අමතරව සිසුන්ට ග්‍රහණය කර ගැනීමට හැකි අන්දමේ පෞරුෂයක් ඔහුට හිමි විය. ඒ නිසා ඔහු නිතැතින්ම ජනප්‍රිය ගුරුවරයෙකු විය. 1953 වසරේ දී යටත් විජිත වාදයට හසු වී තිබුණ කම්පුචියාව නිදහස ලැබීය. රට පාලනය කරන ලද්දේ නරදම් සිහනුක් කුමරු විසිනි. රහසිගත දේශපාලනයට අවතීර්ණ වූ පොල්පොට් කාම්පුචියානු කොමියුනිස්ට් පක්ෂය බිහි කළේය. තවමත් කළල තත්වයේ පැවති කොමියුනිස්ට් පක්ෂය පාලකයන්ගේ අවධානයට යොමු වූ හෙයින් පොලිස් ඇසින් බේරෙනු වස් ඔහු ඇතුළු ඔහුගේ සහයකයන් කාම්පුචියාවේ ග්‍රාමීය පෙදෙස් කරා පලා ගියහ.
මෙම කාලයේදී ඔහු මාඕසේතුං හා ස්ටැන්ලි වාදය කෙරෙහි වඩාත් කිට්ටුවිය. එහෙත් ඔහු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වූයේ මාක්ස් හෝ ලෙනින් අනුගමනය කළ ක්‍රියා පටිපාටියට හාත්පසින්ම වෙනස් තමන්ට ආවේනික වූ ක්‍රමවේදයකි. එහි ප්‍රතිඵල ලෙස රටේ ජනතාවගෙන් 25% ක් මරු දකිනු ඇත.


නාගරික ජීවිතය පිරිහීමේ දොරටුවයි. 
පොල්පොට් විශ්වාස කළ පරිදි නාගරික ජීවිතය ප්‍රතිගාමීත්වයෙන් පිරුණු එකකි. මුදල් සංසරණය, භාණ්ඩ මිළඳී ගැනීම, සංස්කෘතිය යන මේ සියල්ලම ප්‍රතිගාමිත්වයේ ලක‍ෂණ ලෙස ඔහු සැලකීය. ජනතාවට විමුක්තිය දෙනුවස් ඔවුන් ග්‍රාමීය ප්‍රදේශවලට ගාල්කළ යුතුය යන සංකල්පය ඔහුට ඇති වූයේ මේ කාලයේ දීය. එය ජෝශප් ස්ටාලින් කලාක් මෙන් අවි බලයෙන් ජනයා සමූහ ගොවිපළවල් වලට පළවා හැරිය යුතුය. නැතහොත් කුබානයේ මෙන් කෘතිම සාගත ඇතිකළ යුතුය. කම්කරුවන් සටන්කාමි පන්තියක් ලෙස නුදුටු පොල්පොට්ගේ පූර්ණ අවධානය යොමුවූයේ ග්‍රාමීය ගොවීන් කෙරෙහිය. උගතුන් කෙරෙහි වෛරය, නාගරික ජිවන පිළිවෙත කෙරෙහි සතුරු ආකල්ප හා ජාතිවාදය ඔහුගේ මූලික ධර්මතා විය.


පැරිසියේ ශිෂ්‍ය කවය යළි සක්‍රීය වෙයි
පොල්පොට්ගේ පැරිසියේ මිතුරන් බොහෝ දෙනෙක් 1960 වන විට කම්පුචියාවට පැමිණ සිටියහ. පැරිසියේ ශිෂ්‍ය කවය ලෙස හැඳින්වුනු මෙම කණ්ඩායම අනාගත කම්පුචියාවේ විප්ලවය සඳහා කුමන මගක් ගත යුතුද, යන්න සාකච්ඡා කළහ. ඔවුන් ‘උඡණ’ හෙවත් උදරනැරි කමිටුවේ බලය තහවුරු කරගෙන සිටියහ. මෙම කමිටුවේ තෙවන ප්‍රධාන ස්ථානය හිමිවූයේ පොල්පොට්ටය. පොල්පොට් චීනය හා වියට්නාම් කොමියුනිස්ට්වරුන් සමගද සම්බන්දතා පැවැත්විය. නිරන්තරයෙන්ම කමිටුවේ උච්ච ස්ථානයකට යාමට වෙරදැරූ ඔහු 1963 වන විට උඡණ කමිටුවේ ප්‍රධාන ලේකම් ධුරයට පත්වීමට සමත් විය. මුඛරි බව හා සංවිධාන ශක්තිය මගින් කමිටුව තුළ තම බලය වර්ධනය කර ගැනීමට පොල්පොට්ට හැකි වූ බව පෙනී යයි.
වියට්නාම් කොමියුනිස්ට්වරුන් සමඟ පොල්පොට් සබඳතා පැවැත්වුවද, ඔවුන් පොල්පොට්ගේ ජාතිවාදී, ආකල්ප කෙරෙහි දැක්වූයේ විවේචනාත්මක බවකි. නරොදම් සිහනුක් කුමරුගේ පොලිස් මෙහෙයුම් නිසා යටිබිම්ගතව දේශපාලනයේ නියැළුණු පොල්පොට් හට වියට්නාම් සහයෝගය අවශ්‍ය විය. එහෙත් වියට්නාමයේ ඇමරිකානු මැදිහත්වීම් නිසා වියට්නාම කොමියුනිස්ට්වරුන්ට පොල්පොට්ගේ අභිලාෂයන්ට සහයෝගය දැක්වීම ප්‍රමාද වූයෙන් ඔහු මාඕසේතුංගේ සහය පැතීය.
1966 වසරේ පොල්පොට් ප්‍රථම වතාවට චීනයට ගොස් මාඕසේතුං හමුවිය. මේ සමය වන විට චිනයේ සංස්කෘතික විප්ලවය ආරම්භ වී තිබුණි. සංස්කෘතික විප්ලවය සියැසින් දුටු පොල්පොට් උද්ධාමයට පත්විය. කම්පුචියාවේද මෙවැනි ආකාරයේ සංස්කෘතික විප්ලවයක් කළයුතු බවට ඔහු ඉටාගත්තේය. චීනයේ ගතකළ කාලයේදී මාඕගේ ධර්මයට වශීවූ පොල්පොට් යළි කම්පුචියාවට පැමිණෙන විට ඔහුගේ වියට්නාම් සබඳතා ඉරිතලා තිබුණි. තවදුරටත් වියටිනාම් කොමියුනිස්ට් වරුන්ගෙන් සහයෝගය ලබා ගැනීමට වඩා චීනය දෙසට හැරීම සුදුසු බව ඔහු වටහා ගත්තේය.

කෙමරූජ් සංවිධානය බිහිවෙයි.
උඡණ හෙවත් උදරනැරි නියෝජනය කළේ කම්පුචියානු කොමියුනිස්ට් පක්ෂය විය. එහෙත් මෙම පක‍ෂය පිරිසිදු කිරීමට ඉටාගත් පොල්පොට් 1966 දී කෙමරූජ් සංවිධානය බිහි කළේය. කෙමරූජ් යව වචනයේ අරුත රතු කාම්පුචියානුවන් යන්නය. මෙම සංවිධානයේ අසහාය නායකයා වූයේ පොල්පොට්ය. ඔහු කෙමරූජ් සංවිධානය Aබටනදර (සංවිධානය) ලෙස හැඳින්විය.

කම්පුචියානු කොමියුනිස්ට් ජනරජය බිහිවීම
1976 දී පොල්පොට් ඉයෙං සාරි, නුඔන්චියා හා සොන්සෙන් යන කෙමරූජ් නායකයන්ගේ මූලිකත්වයෙන් කම්පුචියානු කොමියුනිස්ට් ජනරජය බිහිකරනු ලැබීය. සාමාජිකයන් 250 කින් සමන්විත වූ මෙම දේශපාලන බල බණ්ඩලයේ සුක්කානම හිමිවූයේ පොල්පොට්ට ය.
නව රජය කම්පුචියා සමාජය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කළේය. පැරණි සමාජයේ සියල්ලම හෙලා දුටු ඔවුන් බුදු දහම හා කතොලික දහම යටපත් කිරීමට ක්‍රියා කළහ. බැංකු හා මුදල් ගනුදෙනු අවලංගු කරනු ලැබිණ. කාර්මිකරණයට අකුල් හෙලු ඔවුන්ගේ මුළු අවධානය යොමුවූයේ සාමූහික ගොවිපලවල් ක්‍රමයටයි.
විදේශ භාෂා කතා කිරීම, උපැස් පැළඳීම, ආහාර ගබඩාකරගැනීම, මිය ගිය ඥාතීන් සිහිපත් කිරීම, අතීතය ගැන කල්පනා කිරීම සහ මුලින්ම තහනම්වූ අතර, මේ නීති කඩකිරීම් නිසා බොහෝ දෙනෙකු කෲර මරණයන්ට ගොදුරු වූහ.
හිටපු ව්‍යාපාරිකයන්, රජයේ නිලධාරීන් උගතුන්, පුවත්පත් කලාව්දීන්, තෝර තෝරා පවුල් පිටින් සමූලඝාතනය කෙරෙණි. එම නිසා ජනතාව තම ඇත්ත ජීවිත සැඟවූහ. යම් හෙයකින් ඔවුන්ව හඳුනාගනු ලැබුවේ නම් හෝ යමෙකු විසින් පාවාදෙනු ලැබුවේ නම් අත්වූ ඉරණම භයංකාර විය. ජනතා සතුරන් ලෙස නම් කරනු ලැබූ ඔවුන් වෙඩි තැබීමෙන්, පොලූපහර දීමෙන් හෝ පිහිවලින් ඇනීමෙන් හෝ මරා දමනු ලැබීය.
උගතුන් රටේ ඉතිරි කරනු ලැබුව හොත් ඔවුන් කෙමරූජ්වරුන්ට එදිරිව විප්ලවයක් කරුනු ඇතැයි පොල්පොට් බියවිය. එම නිසා නායකත්වය හා සංවිධානගත වීම වලකා දමනු පිණිස ඔහු කෙමරූජ් සංවිධානයට තර්ජනයක් වියහැකි යැයි සිතූ සෑම පුද්ගලයෙකුම මරාදැමීම සඳහා නියෝග දුන්නේය.
සංවිධානයේ නායකයන්ගේ අණ පිළිගත් කෙමරූජ් කණිෂ්ඨ නායකයන් තම රාජකාරිය අකුරටම ඉටුකළහ. ජනතා විරෝධීන් හඳුනාගෙන ඔවුන් මරාදැමීමට ප්‍රමාද වූ සමහර කෙමරූජ් ප්‍රාදේශීය නායකයන් සිරබාරයට ගන්නා ලදී. එසේම සමහරුන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.
1975 දී කාම්බෝජයේ ජනගහනය මිලියන 7.3 දක්වා පහළ බැස්සේය. 1975, 1979 කාලය අතරතුර මිලියන 3 ක කම්පුචියානු ජනතාව කෙලින්ම හෝ වක්‍රාකාර ලෙස ඝාතනයට ලක්වූ බව වාර්තාවේ. 600,000 කට වඩා අධික පිරිසක් අවතැන් වූහ.
නිදහස අහිමිකරන ලද කම්පුචියානු ජනතාව ජීවත්වූයේ මරණභයෙනි. පුවත්පත්, ගුවන්විදුලිය, වැනි මාධ්‍ය වාර්තාකරණයක් නොවීය. කෙමරූජ් රජය බාහිර ලෝකය සමඟ තිබූ ගනුදෙනු නතර කළහ. ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයටද කම්පුචියාවේ දොර වසා තිබුණි.
ජනජීවිතයේ සෑම අංශයක්ම පාලනය කරනු ලැබුවේ රජය විසිනි. නුඹලා ජීවත්කරවීම අපට පලක් නැත. නුඹලාගේ මරණය අපට පාඩුවක් නොවේ, යන්න නව රජයේ දර්ශනය විය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

ස්වර්ගය හා නරකාදිය



අහස උඩ  නැත දෙවියෝ 
පොළව යට නැත යමයෝ 
ස්වර්ගයද නරකාදියද 
ඇත්තේ ඔබගේ සිත තුලය 

Saturday, April 29, 2017

විචාරක සමු අරන්



දිනය අවසන් වෙලා 
රාත්‍රිය උදා වෙලා
බ්ලොග් ලෝකය 
සෝ සයුරක ගිල්වා 
විචාරක සමු අරන් 

වෙනදා දැණුම බෙදූ 
අසමි දකිමි සොයමි 
බ්ලොග් එක නිහඞයි 
අවසාන සටහන ලියා
විචාරක සමු අරන් 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මේජර් ගුණරත්න හෙවත් විචා තුමාගේ ක්‍රියාන්විත අත්දැකීම් ඇසුරෙන්



අභාවප්‍රාප්ත  මේජර් ගුණරත්න හෙවත් විචා තුමාට උපහාර පිණිස එතුමා විසින් ලියන ලද ලිපියක් පල කරමි. 

...මා ඇම්බුෂ් දෙකකින් අනූනවයෙන් බේරුනා, මගේ හමුදා සේවා කාලය තුළදී. පළමුවැන්න 1985 දී. එවකට මා සේවය කලේ පොළොන්නරුව – මඩකළපුව මාර්ගයේ පුනානි ප්‍රදේශයේ. මාස 4 කට පමණ පසුව මා ලද නිවාඩු දින පහ අවසන් වී, පාන්දරින්ම ආපසු පුනානි වෙත යන්න පිටත්වුනත්, බස් ප්‍රමාදය නිසා යන්නට නොහැකිවුනා. හවස්වනවිට මට පැහැදිළිව තේරුණා, ළඟම පිහිටි හමුදා කඳවුර වෙත යාම තමයි, වඩාත් ප්‍රඥාගෝචර වන්නේ කියා.
   ලොරි කබලක එල්ලුන මට, යන්තම් දිඹුලාගල මහා විහාරයේ පිහිටි කඳවුරට යාගත හැකිවුනා. එහි තිබුනේද මගේ රෙජිමේන්තුවේම කඳවුරක්. මා එහි සිට පුනානි අණදෙන නිලධාරි තුමාට ගුවන්විදුලි පණිවිඩයකින් දැන්වුවා, බස් නැති නිසා මා ප්‍රමාද වූ බවත්, ඒ නිසා දිඹුලාගල කඳවුරට පැමිණි බවත්, හෙට උදේම පුනානි වෙත එන බවත්. ඒ සඳහා අනුමැතිය ලැබුනා. (අනිවාර්යයෙන් අනුමැතිය දෙන්නට වෙනවා. මොකද, ඒ දිනවල ප්‍රධාන මාර්ගයේ මීටර් 500 න් 500 ට පමණ සෙබළුන් දෙතුන් දෙනා යොදවා මාර්ගයේ ආරක්ෂාව තහවුරු කරනවා. එයට කියන්නේ පිකට් picket කියලා. (මාර්ග ආරක්ෂක මුරය) (picquet නෙවෙයි) ඒ පිකට් එක සවස 5.00 ට පමණ ඉවත් කරනවා. මම ලොරියට නැග්ගේත් 5.30 ට විතර) පිකට් එක ඉවත් කල පසු ක්‍රියාන්විත රාජකාරි සඳහා යන විශාල සන්නද්ධ භට පිරිස් පමණක් පයින් යනවා හැර, හමුදා රථ ඒ මාර්ගයේ නොයවන්නේ, ඇම්බුෂ් වලට අසුවීමට හොඳටම ඉඩ තිබෙන නිසයි.  
   එදා රාත්‍රියේ පන්සලේ කඳවුරේ සහෝදර නිලධාරියාගෙන් ‘සියළු සත්කාර සංග්‍රහ’ විඳ, උදෙන්ම ගුවන් විදුලියෙන් කතාකර කිව්වා මාව රැගෙන යන්නට වාහනයක් එවන ලෙස. වාහනයක් එවන බව කිව්වත්, එය ප්‍රමාද වන බව පෙනී ගියා. මේ අතර, මගේ සහෝදර නිලධාරියා කිව්වා, ඔහුට රාජකාරි අවශ්‍යතාවක් තිබෙන නිසා, වැලිකන්ද කඳවුරට යන බැවින්, ඔහුගේ වාහනයෙන්, මා වැලිකන්ද දක්වා ගෙන යාහැකි බව. මම බොහොම කැමැත්තෙන් ඔහු සමග පිටත් වුනා. අපි වැලිකන්ද කඳවුරට ළඟා වෙමින් සිටියා. ඒ හරියේ පාර තනි කෙලින් පිහිටා තිබෙන්නේ.
  මේ වෙලාවේ අපි දුටුවා ඈතින් එන ජීප් රථයක්. මම අනුමාන කළා ඒ මා කැඳවාගෙන යන්නට එන ජීප් රථය කියා. මොහොතකින් මහා ‘බුම්ම්ම්ම්ම්ම්……’ හඬක් සමග ඒ ජීප් රථය පොළොවෙන් අඩි 10 ක් පමණ උඩට විසිවී ගිනි ගුලියක් වී පාරට වැටුනා. ඒ වනවිට අපේ රථයත් ඒ රථයත් අතර දුර මීටර් 500 ක් පමණ තිබුනේ. අපේ රථයේ රියදුරා ගැසූ බ්රේක් පාරට, මගේ ඔළුව රථයේ වා මුවාවේ වැදුණා. අපේ ආරක්ෂක මුරය වෙඩි තියාගෙනම එලියට පැන්නා. මමත් මගේ සහෝදර නිලධාරියාත් ආරක්ෂක මුරයේ හතර දෙනාව දෙදෙනා බැගින් යොදාගෙන, පාරේ දෙපස කැලය දිගේ වෙඩිතබමින් ඉදිරියට ගියා. නමුත් ඒ වනවිටත් ත්‍රස්තවාදීන් පැනගොස් තිබුණා.
  ඒ පැමිණ තිබුනේ මා රැගෙන යාමට පැමිණි රථයයි. එය සම්පුර්ණයෙන් කුඩුපට්ටම් වී තිබුණා. එහි සිටි සෙබළුන් පස්දෙනාගෙන් (රියැදුරු, ආරක්ෂක සෙබළු හතර දෙනා) තුන් දෙනෙකුගේ සිරුරු කැබලි වලට කැඩී තිබුණා. රියදුරු ගේ සිරුර කැඩී නොතිබුනත් මියගොස් සිටියා. එක සෙබළකු මරණාසන්න තත්වයේ සිටියා. අපි වහාම ගුවන්විදුලි මගින් තත්වය වාර්තා කල විගස, ඒ වනවිටත් සැක කටයුතු ශබ්දය ඇසුණු ආධාරක භට පිරිස් එහි ළඟා වෙමින් සිටියා.
  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් නියමුවකු එදා වීර ක්‍රියාවක් කළා. ඔබ දන්නවානේ පාර දෙපස සෙවන සඳහා වවා තිබෙන මාර ගස්. ඔහු මේ මාර ගස් දෙකක අතු වල යන්තමින් ගැටෙමින් (පුංචි රිකිලි හෙලිකොප්ටර් තලවල වැදී කැඩී වැටුනා) ඒ ගස් දෙකක් මැදින් හෙලිකොප්ටරය මහ පාරට බෑවා. ඒ නිසා අර මරණාසන්න සෙබළා පොළොන්නරුව රෝහල වෙත ගෙනගොස්, දිවි බේරාගන්නට හැකිවුණා.
  ඒ වෙලාවේ පැමිණි ආධාරක භට පිරිස් සමග අපි අවට පරීක්ෂා කළා. එහිදී හමුවුනා තවත් බිම්බෝම්බ වයරයක්. එය දිගේ පරීක්ෂා කිරීමේදී පෙනීගිය පුපුරා නොගිය තවත් බිම්බෝම්බයක් ඇති බව. පසුව බෝම්බ නිෂ්ක්‍රිය අංශයෙන් එය නිෂ්ක්‍රිය කළා. ඒ බෝම්බය සවි කර තිබුනේ පාරේ අපේ වාහනය ගමන් කළ තීරුවේ. ඒ කියන්නේ කොයි පැත්තෙන් හෝ එන හමුදා වාහනයකට පහර දෙන්නයි බෝම්බ දෙකක් යොදා තිබුනේ. අර වාහනය අපේ වාහනයට කලින් එතනට ආවා. තවදුරටත් පරීක්ෂා කරන විට මගේ කනට වතුර බින්දුවක් වැටුණා වගේ දැනුණා. උඩ බැලූවිට දැක්කේ, බෝම්බ පිපිරීමේදී, සිරුරෙන් වෙන්ව ගොස්, ගහක රැඳුණු, සොල්දාදුවකුගේ අතකින්, තවමත් ලේ බිඳු වැටෙන බවයි.
  දෙවැනි වතාවටත් මම ඇම්බුෂ් එකකින් ගැලවුනේ 1999 දී. එවකට ක්‍රියාත්මකව තිබුණු ජය සිකුරු ක්‍රියාන්විතයේදී(Operation Jayasikuru) වවුනියාවට උතුරෙන් පිහිටි අලුතෙන් අත්පත් කරගත් ප්‍රදේශයක ආරක්ෂාව තහවුරු කරගන්නට අපේ භට පිරිස් යොදවා තිබුනා. මා ඒ භටපිරිස් යෙදවීම පරීක්ෂාකර ආපසු පැමිණෙන්නට මගේ වාහනයට ගොඩ වෙද්දී මතක් වුනා එක්තරා ස්ථානයකට යොදවා සිටි භට පිරිස් ඊට වඩා මීටර් 100 ක් පමණ පසුපසින් සිටීම වඩාත් යෝග්‍ය බව. ඒ ප්‍රදේශයේ යොදවා සිටි කණ්ඩායම් භාර නිලධාරි වරයාට එය කියන්නට මා නැවතත් වාහනයෙන් බැස ගියා. මේ අවස්ථාවේදී හමුදා වාහනයක් යනවා මා දුටුවා. විනාඩි දෙකකින් පමණ මහා පිපිරුම් හඬක් ඇසුනා. අර වාහනය රැකසිට පහරදීමකට ලක්ව තිබුණා.
  අපේ ආරක්ෂක වළල්ල තුලට රිංගා ගත් තුන් දෙනෙකුගෙන් යුත් ත්‍රස්තවාදී කණ්ඩායමක් තමයි එය කර තිබුනේ. පැන යමින් සිටි ඔවුන්, එදාම සවස, වෙනත් ප්‍රදේශයකදී අපෙන් වෙඩිකා මියගියා.
  පහරදීමට හසුවූ වාහනයේ මා හඳුනන සොල්දාදුවකු සිටියා. මා එතනට යනවිට ඔහු පණ අදිමින් සිටියා. මම වහාම බිම වාඩිවී, ඔහුගේ හිස මගේ  මගේ  උකුලේ තබාගන්න විටයි දුටුවේ, ඔහුගේ ශරීරය දෙකට කැඩී ඇති බව. එළියට ඇවිත් තිබුණ ඔහුගේ හදවත, තවමත් ගැහෙමින් තිබුණා. ඔහු මා දෙසම බලා සිටියා. මාව හඳුනාගත් බවක් පෙනුණා. මා ඔහුට වතුර පොවන්නට උත්සාහ කළත්, ඔහු මඳ සිනහවක් පෙන්වමින්, මගෙන් සදහටම සමුගත්තා. එදා නම් මට හැඬුණා.

Friday, April 28, 2017

මේජර් ගුණරත්න හෙවත් විචා තුමාගෙන් සමු ගනිමි



කිසිදින අප හමු නොවූන ද ඊමේල් වලින් , මුහුණු පොතෙන්  අප මිතුරන් වූයෙමු. බ්ලොග් ලෝකයට ඒමට මට අත හිත දුන්නේය​. යහපත් මිනිසෙකු , හිත හොඳ මිතුරෙකු මෙන්ම හමුදා නිලධාරියෙකු වූ   මේජර් ගුණරත්න හෙවත් විචා තුමාගෙන් සමු ගනිමි. ඔබට නිවන් සුව. 

Thursday, April 27, 2017

දොස්තර ජී.පී.එම් චන්දනට මොකද උනේ ?


දොස්තර ජී.පී.එම් චන්දන සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය චාමින්ද විතාරණ සහ ඔහුගේ දරුපවුල මරා දැමීමේ අදහසින් නිල නිවසේ වතුර ටැංකියට වස (එම්.සී.පී.ඒ නම් වල් නාශකය ) රෝහල් සේවකයෙකු ලවා දැමුවේය. දොස්තර ජී.පී.එම් චන්දන  පසුව  නීතිඥවරයෙකු මාර්ගයෙන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදුව ඔහු රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි. පසුව ඔහු ඇප පිට මුදාහරින ලදි.  නිල නිවසේ වතුර ටැංකියට වස දැමූ සෙවනගල රෝහලේ  සුළු සේවකයකු වන ඇන්.ඒ. නිමල් රංජිත් නැමැත්තාට දීර්ඝ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටීමට සිදු විය​. එහෙත් මෙහි මහ මොළකරු වූ  දොස්තර ජී.පී.එම් චන්දනට  සිදු වූයේ කුමක්ද ? ඔහු දැන් සිටින්නේ කොහේද ? ඔහු තවමත් වෛද්‍යවරයෙකු ලෙස සේවය කරනවාද ? 

Wednesday, April 26, 2017

Electronic Civilization and Its Discontents

 
 


Electronically  plugged in life
Connected with invisible wires
Millions of fake connections
While surfing for true one  

Happily connected and being together   
While unhappily not being together
Connected but isolated
Attached but feels helpless

Who said ; No man is an island
Electronically separated in tiny islands
Live in a plugged universe
Being alone together

Falling in love with an online avatar  
Facing each other mechanically
But hiding from each other
Walking towards an unknown destiny

Eradicating the human touch
Eliminating  human relationships
Establishing robotic empathy
Lost souls in a cyber world

Expecting more from technology
Expecting less from each other
Becoming more and more isolated
Anyway I Share, Therefore I Am

Dr Ruwan M Jayatunge 

Tuesday, April 25, 2017

අනාගත ජනාධිපති අනුර කුමාර දිසානායක



1)  2020 මහ මැතිවරණයෙන් අනුර කුමාර දිසානායක විශිෂ්ඨ ජයක් අත් කරගෙන තිබේ. ලංකාවේ ප්‍රථම වරට ජනතා විමුක්ති පෙරමුණට චන්දයකින් බලයට ඒමට හැකි විය​. අනුර කුමාර දිසානායක ගේ ජයග්‍රහනය ලංකාවේ නව යුගයක් ඇති කරන බවට ලකුණු පහල වී තිබේ​.  මෙතෙක් ප්‍රධාන පක්‍ෂ දෙකේ හොරකම් , දූෂණය සහ නාස්තිය නිසා ප්‍රපාතයට වැටී සිටි ලංකාව බේරා ගැනීමට හැකි ගැලවුම්කරුවා ඔහු බව ජවිපෙ හිතවාදීන් පමණක් නොව මෙතෙක් කල් ප්‍රධාන පක්‍ෂ වලට චන්දය දුන් ජනයාද පවසති. 

2) අනුර කුමාර දිසානායක සරල නායකයෙකි. ඔහු නව රජයේ බොහෝ වියදම් කපා ඒවා ජනතා සුබසෙත සඳහා යොදවා තිබේ. පාර්ලිමේන්තු නියෝජිතයන්ට අධික මිලැති සුපිරි වාහන වෙනුවට ලාභ දායක ඩබල් කැබ් නිර්දේශ කොට ඇත​. 

3)  ජවිපෙ නව රජය යටතේ ආහාර ද්‍රව්‍ය සඳහා වූ මිල 75% අඩු කොට ඇත​. ජනතාව පෝලිම් ගැසී සහන මිලට දෙන භාණ්ඩ මිලදී ගනිති. ගොවීන් සඳහා පොහොර මෙන්ම අනෙකුත් නව සහනාධාර ලබා දෙයි. 

4)  ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක විසින් මෙතෙක් ව්‍යාජ ලෙසින් ජනතාව රවටමින් කල එෆ්.සී.අයි.ඩී නඩු ඇසීම් නාටක අවසන් බවත්  රාජ්‍ය දේපළ සොරකම් කල දේශපාලකයන්ට මෙන්ම උසස් රාජ්‍ය නිලධාරීන්ට ජනතා උසාවි මගින් දඞුවම් දීමත් ඔවුන් වංචනික ලෙස උපයාගත් දේපළ රාජ්‍ය සන්තක කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කීවේය​. 

5) ජනාධිපතිවරයා ශපථ  කල ලෙසින් දේශපාලකයන් බොහෝ දෙනෙකුට මෙන්ම රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසකට ජනතා උසාවි මගින් නඩු පවරා තිබේ. ප්‍රමාදයකින් තොරව ඇසෙන මෙම නඩු මගින් වරදකරුවන් සිරගත කිරීමටත් ඔවුන් ගේ දේපළ පවරා ගැනීමත් කෙරේ. 

6) ජනතා මුදල් සොරකම් කිරීමේ චෝදනාව මත බැසිල් රාජපක්‍ෂ, විමල් වීරවංශ , සරණ ගුනවර්ධන , රවී කරුණානායක යන දේශපාලකයන්ට සිර දඞුවම් නියම කොට ඇත​. ඔවුන් ගේ දේපළ රජයට පවරාගෙන තිබේ. තවත් බොහොමයක් දේශපාලකයන්ට විරුද්ධව නඩු ඇසෙමින් පවතියි. විමල් වීරවංශ ගේ සුපිරි නිවස රජයට පවරාගෙන එහි ඩේ කෙයාර් එකක් ආරම්භ කොට තිබේ. 

7) හිටපු දේශපාලකයන් බොහෝ දෙනෙකු දැන් සිරභාරයේය​. ඔවුන් විසින් වංචනිකව මිලට ගත් දේපළ ජනසතු කොට තිබේ. සමහර දේශපාලකයන් විසින් පිටරට  බැංකු වල සඟවා තිබෙන බිලියන ගනනක මුදල් යලි ලංකා රජය වෙත ලබා ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කලේය​. 

8)  ආහාර ද්‍රව්‍ය හිඟයක් වෙළඳ පොළ තුල පවතියි.  ආහාර ද්‍රව්‍ය මිල 75 % අඩු කිරීම නිසා කළු කඩ වෙළඳුන් බඩු සඟවාගෙන බව රජය කියයි. මධ්‍යස්ථ ආර්ථික විශ්ලේෂකයන් පවසන අන්දමට කිසිදු ආර්ථික තක්සේරුවකින් තොරව ආර්ථික විශේෂඥයන් ගේ නිර්දේශ නොතකා ආහාර ද්‍රව්‍ය මිළ 75 % අඩු කිරීම නිසා භාණ්ඩ ඌනයක් ඇතිවී තිබේ. කෙසේ නමුත් රජය විසින් පත් කරන ලද කළු කඩ වෙළඳුන් වැටලීමේ බලකාය විසින් සඟවන ලද ආහාර ද්‍රව්‍ය සොයා මෙහෙයුමක් අරඹා තිබේ. මේ බලකාය සමන්විත වන්නේ ජවිපෙ හිටපු කේඩර්වරයන් ගෙනි. 

9)  ආහාර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා සලාක පොත් නිකුත් කොට තිබේ.  සලාක පොත් වලට බඩු ගැනීමට ජනයා පෝලිම් ගැසී සිටිති. මේ අතර බොහොමයක් ජවිපෙ සාමාජිකයන් පෝලිම් වල නොසිට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම මිනිසුන් ගේ නොසතුටට හේතු වී තිබේ. 

10) ජනතා උසාවි මන්දගාමී බවත් පනවන ලද දඞුවම් කුඩා බවත් ජවිපෙ දැඩි මතධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායකට බලපෑම් කරති. ඔවුන්ට පොලිට් බියුරෝවේ සහයෝගය ලැබේ. සමාජවාදී රාජ්‍යක් ලංකාවේ ගොඩ නැගීම සඳහා අනුර කුමාර දිසානායක ප්‍රමාණවත් ලෙස කටයුතු නොකරන බව ඔවුන් ගේ චෝදනාවයි. 

11) අනුර කුමාර දිසානායක ගේ බල අභිබවමින් ජවිපෙ දැඩි මතධාරීන් ගේ බලය වර්ධනයව තිබේ. 1988-89 කාලයේ ඝාතන කොට රටින් පිටවී ගොස් සිටි සාමාජිකයන් ද දැන් ලංකාවට පැමිණ අනුර කුමාර දිසානායකට අභියෝගාත්මක ලෙස  ජවිපෙ දැඩි මතධාරීන්ට එක්වී ක්‍රියා කරති. ජනාධිපති මේ කල්ලියේ සිරකරුවෙක් බවත් ඔහු නාමික ජනාධිපතිවරයෙකු බවත් රාවයක් පවතියි. 

12 ) රජය විසින් නව වෙනස්කම් ගනනාවක් ඇති කොට තිබේ. පුද්ගලික දේපළ සීමා කොට ඇත​. මේ නිසා බොහෝ නිවාස සහ ඉඩම් මෙන්ම  වාහන  රජයට පවරාගෙන තිබේ. සෑම රජයේ ආයතනයක්ම අධීක්‍ෂනයට මෙන්ම පාලනයට රතු කොමිසාර්වරු පත් කොට තිබේ. මේ රතු කොමිසාර්වරු ජවිපෙ සිටි පූර්ණකාලීනයන්ව සිටි භක්තිමත් සාමාජිකයන් ය​. මේ අනුව පාසල් , බැංකු , රෝහල් , රජයේ කාර්‍යාල මෙකී සියල්ලම පාලනය වන්නේ  රතු කොමිසාර්වරු මගිනි.  හමුදාවේ එ්කකද රතු කොමිසාර්වරු යටතේ පාලනය වේ. වැඩ වර්ජන තහනම් ය​. පුද්ගලික වෛද්‍ය සේවා , ටියුෂන් තහනම් කොට තිබේ. රෝහල් වල වෛද්‍ය වැඩ වර්ජනයක් කිරීමට උත්සහ කල වෛද්‍ය පාදෙනියව නිවාස අඩස්සියට පත් කොට තිබේ. ජනතාවගේ සෞඛ්‍යය කඩාකප්පල් කිරීමට තැත් කිරීම යන චෝදනා යටතේ ඔහුට නඩු පවරා ඇත​. 

13) ධනවතුන් බොහෝ දෙනෙක් රට හැරයාම නිසා රජයේ නිර්දේශයකින් තොරව පිට රට යෑම තහනම් කොට තිබේ. තමා සේවය කරන කාර්‍යාලයේ රතු කොමිසාර්වරයාට තමන් ගේ ගමන් බලපත්‍රය භාර දෙන ලෙසට නියෝගයක් පනවා ඇත​. රතු කොමිසාර්වරයාගේ අවසරයකින් තොරව ගමන් බලපත්‍රයක් ලඟ තබා ගැනීම වසර 10 ක සිර දඞුවම් ලැබීමට හේතු වේ. තවද වෙරලාරක්‍ෂක බලකාය විසින් හොරෙන් මුහුදු මගින් ඉන්දියාවට , මාලදිවයිනට පලා යන මිනිසුන් අත් අඩංගුවට ගැනීමත් අනවසර බෝට්ටු වලට වෙඩි තබා ගිල්වීමත් කරයි. 

14) රෝහණ විජේවීරයන් ගේ උපන් දිනය නිවාඩු දවසක් බවට පත් කොට තිබේ. ඔහුගේ පින්තූරය සෑම කාර්‍යාලයකම මෙන්ම නිවසකම ප්‍රදර්ශනය කල යුතුය​. රෝහණ විජේවීරයන් ගේ උපන් දිනයට ගාළු මුවදොර පාසල් සිසුන් දස දහස් ගනනකගේ  සහභාගීත්වයෙන් විශාල පෙලපාලියක් පවත්වයි. ළමෝ ජාතික කොඩි සමග විජේවීර ගේ රුව රැගත් කොඩි අතින් ගෙන පෙලපාලියේ යති. පොලිට් බියුරෝවේ සාමාජිකයන් ජන සතු කරන ලද ගෝල්ෆේස් හෝටලය ඉදිරියේ සාදන ලද අට්ටාලක සිට පෙලපාලිය පිලිගනිති. ප්‍රධාන නගර වලද මෙම පෙලපාලි පැවැත්වේ. ඒවාට රජයේ නිලධාරීන් අනිවාර්‍යෙන් සහභාගී විය යුතුය​. මෙම වාර්ශික පෙලපාලියට නොපැමිනි අයගේ නම් ලැයිස්තු අදාල රතු කොමිසාර්වරුන් වෙත යැවීමට ආයතන ප්‍රධානීන්ට නියෝග කොට තිබේ. රෝහණ විජේවීරයන් ගැන ප්‍රාථමික පන්ති වල සිට ළමුන්ට උගන්වති. ඔහු ලංකාව බේරාගත් විරුවාය​. ඔහුගේ ප්‍රතිමා කොලඹ නුවර ගාල්ල යනාදී මහා නගර වල ඉදි කොට තිබේ. මෙයින් කොලඹ ඉදි කරන ලද ප්‍රතිමාව උසින් අඩි 200 ඉක්මවයි. 

15) රතු කොමිසාර්වරු හෙවත් පක්‍ෂ නියෝජිතයන් බොහෝ දෙනෙකු විසින් කරන දූෂිත ක්‍රියා නිසා ජනතාව රහසේ ජනාධිපතිවරයාට සහ රජයට දොස් කියති. රජයට පවරා ගත් සුපිරි නිවාස සහ වාහන මෙන්ම අනෙකුත් භාණ්ඩ රතු කොමිසාර් වරු පරිහරනය කරති. ඔවුන් හැසිරෙන්නේ අතීත ලංකාවේ අධිකාරම්ලා හැසිරුනු අහංකාර ලීලාවෙනි. රතු පොලිසිය පවා ඔවුනට යටත් ය​. සාමාන්‍ය ජනයා යටත් වැසියන් මෙන් නියාළුව ජීවත් වෙති. සාමාන්‍ය ජීවිත ගත කල රතු කොමිසාර්ලා බොහෝ දෙනෙකු දැන් උස්මුරුත්තාවට එන තෙක් සැප වලඳති. එක් රතු කොමිසාර්වරයෙක් කුමාර් සංගක්කාර ගේ ජනසතු කරන ලද නිවසේ පදිංචිව සිටි අතර එම නිවසේ පිහිනුම් තටාකයේ යුවතියන් සමග නිරුවතින් සාද දැමූ බව හෙලි විය​. මොහු හිටපු කාර්‍යාල කාර්‍ය සහායකවරයෙකි. නමුත් පක්‍ෂය සමග 1988 කාලයේ සිට හිටපු තැනැත්තෙකි. එම නිසා ඔහුට විරුද්ධව පියවර ගත්තේ නැත​. 

16) රජය අපකීර්තියට පත් කිරීම සඳහා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් දියත් කොට ඇති බව නියමුවා පුවත් සේවය වාර්තා කරයි. ලංකාවේ පුද්ගලික ජනමාධ්‍ය සහ පුද්ගලික පුවත්පත් අහෝසි කොට තෙවසරකි. මාධ්‍ය ඒකාධිකාරය රජය සතුය​. අන්තර්ජාලය සීමා සහිත කොට තිබේ. රජය විවේචනය කරන්නන් , කඩාකප්පල්කරුවන් සහ ද්‍රෝහියන් අත් අඩංගුවට ගැනීමට රතු ඔත්තු සේවය ක්‍රියාත්මක වේ. මෙහි සේවය කරන්නේ ජවිපෙ හිතවත් නිලධාරීන් වෙති. අතීතයේ ජවිපෙ විවේචනය කල පුද්ගලයන් ද අත් අඩංගුවට ගනිති. ඔවුන්ව විශාල එලිමහන් බන්ධනාගාර වල තාවකාලිකව රඳවා තිබේ. කිසිවෙකුටත් ඔවුන් බැලීමට යාමට ඉඩ දෙනු නොලැබේ. 

17) අහාර මිල අඩු වූවද සලාක ක්‍රමය මත භාණ්ඩ බෙදා හැරීම සිදුවේ. පෝලිම් බොහෝ දිගය​. මිනිසුන් ගේ කාලය වැය වන්නේ පෝලිමේ සිට ආහාර ලබා ගැනීමටය​. නමුත් මිනිසුන් රජය විවේචනය කිරීමට බිය වෙති. යම් වදනක් කීවේද එම පුද්ගලයා සොයා ඔහුගේ නිවසට රතු ඔත්තු සේවයේ නිලධාරීන් එති. ඉන් පසුව ඔහුට සිර දඞුවම් පැනවේ. මේ නිසා මිනිසුන් ජීවත් වන්නේ සැකයෙනි ඔවුන් අසල්වාසීන්ටද බිය වෙති. 

18) ජනාධිපති අනුර කුමාර දිසානායක යටපත් කරමින් පොලිට් බියුරෝවේ බලය අල්ලා ගත් ජවිපෙ දැඩි මතධාරීන් බරපතල තීරණ කීපයක් ගෙන තිබේ. දැනට රජය විවේචනය කිරීම , ජනතා සේවා කඩාකප්පල් කිරීම , කළු කඩ පවත්වාගෙන යාම , රටින් පිටවීමට තැත් කිරීම ,  රජයේ ප්‍රතිපත්ති වලට අනුගත නොවීම , යනාදී චෝදනා මත සිර දඞුවම් විඳින පුද්ගලයන් උතුරු මැද පලාත් වලට ප්‍රවාහනය කොට ඔවුන් ගේ ශ්‍රමය මගින් වාරිමාර්ග තැනීම සහ මැතිවරණ අහෝසි කොට ජවිපෙ පොලිට් බියුරෝව හරහා රට පාලනය කිරීමය​. මේ අනුව ජනාධිපතිවරයාව නාමික නායකයෙකු බවට පත් කොට තිබේ. 

19) රජය විසින් උතුරු මැද කලාපයේ ගුලාර්ග් ශ්‍රම කඳවුරු පිහිටුවා ඇති බවත් එම කඳවුරු වල ආහාර හිඟය​, පහරදීම් , වෛද්‍ය සේවා නොලැබීම , දැඩි වෙහෙසකාරී සේවා වල යෙදවීම යනාදී කරුණු නිසා දෛනිකව මිනිසුන් දහස් ගනනාවක් මිය යන බව විමුක්ති රේඩියෝව පවසයි. මෙම විමුක්ති රේඩියෝ සේවය පවත්වාගෙන යන්නේ මානුෂික දේශයක් නිර්මාණය කිරීමට වෙහෙසුනු ජවිපෙ සිටි යහපත් මිනිසුන් ගේ දායකත්වයෙනි. මෙම සේවය ඉන්දියාවේ සිට රහසින් පවත්වාගෙන යන අතර  මොවුන් ද්‍රෝහියන් බවත් අධිරාජවාදීන් ගේ කුලී හේවායන් බවත් නියමුවා පුවත් සේවය පවසයි.  

20) රජයේ ප්‍රතිපත්ති වලට අනුගත නොවන්නන් පුනරුත්ථාපන  කඳවුරු වලට යවනු ලැබේ. මේවා වධ කඳවුරු මෙනි. මෙකී කඳවුරු පාලනය කරන්නේ විශ්ව විද්‍යාල වල සිටි නවක වධකයන් ය​. ඔවුන් විසින් රැඳවියන්ව නොයෙකුත් කායික මානසික වධයන්ට ලක් කරති. නිරුවත් කිරීම , මිනිස් මළ මුත්‍ර පිරි ටැංකි වල  ගෙල තෙක් ගිල්වා තැබීම ,   පොලු වලින් පහර දීම , කරති. වධයන්ට ලක් කරවමින් රජයේ  ප්‍රතිපත්ති වලට එකඟ වීම සඳහා බල කරති. වසරක් ඇවෑමෙන් මෙම පුනරුත්ථාපන කඳවුරෙන් පිට වෙන රැඳවියා සෝම්බි කෙනෙකු මෙන් බියෙන් ගැහෙමින් ජීවත් වන අතර ඔහු රජයේ ඕනෑම රෙගුලාසියකට යටත් වෙයි. 

21) කළාව පාලනය කරන්නේ රජය විසිනි. රජයේ අනුමැතියෙන් තොරව පොත් එලි දැක්වීම​, නාට්‍ය , චිත්‍රපට ප්‍රදර්ශනය තහනම් ය​. ටෙලි නාට්‍ය මගින් වර්තමාන රජයේ සංවර්ධනයන් අතිශයෝක්තියෙන් හුවා දක්වයි. උතුරු මැද පලාත් වල ගුලාර්ග් ශ්‍රම කඳවුරු වල මැරෙන ජනයා , අහාර හිඟ කමෙන් පීඩා විඳින මිනිසුන් , මන්ද පෝෂණයට ලක්වූ ළමුන්, මර්ධනයට ලක් වූ මිනිසුන් ගැන නිර්මාණ පළ වෙන්නේ නැත​. සියළු නිර්මාණ සඳහා කළා කටයුතු සඳහා පත් කොට තිබෙන කොමිසාර්වරයාගේ අනුමැතිය ලබා ගත යුතුය​. 

22) රජය විසින් දියත් කරන ලද සැලසුම් , සංවර්ධන ක්‍රියාදාමයන් අඩාල වී තිබේ. මේ සඳහා එක් මූලික හේතුවක් නම් එකී විශයන් ගැන දන්නා විශේෂඥයන් වෙනුවට පක්‍ෂයේ හෙන්චයියන් ඒ ඒ තනතුරු වලට පත් කොට තිබීමය​. පක්‍ෂයේ හෙන්චයියන් විශේෂඥයන් මෙහෙයවති. ඔවුන්ට උපදෙස් දෙති. මේ නිසා අවසානයේදී සැලසුම් අඩාල වෙති. එහෙත් පොලිට් බියුරෝව පවසන්නේ අධිරාජවාදීන් විසින් කඩාකප්පල්කාරී මෙහෙයුම් දියත් කොට ඇති බවය​. 

23) මේ ගෙවෙන්නේ ජවිපෙ රජය යටතේ දස වැනි වසරයි. අනුර දිසානායකව බල රහිත කොට තිබේ. රට පාලනය වන්නේ පොලිට් බියුරෝවෙනි. පොලිට් බියුරෝව සමන්විතව ඇත්තේ ජවිපෙ දැඩි මතධාරීන් ගෙනි. මින් සමහරක් 1988-89 කාලයේ සිටි ඝාතකයන් ය​.  ඔවුන් ශ්‍රම කඳවුරු වල ඝාතන කිරීම අනුමත කරති. අඩු වයසැති රතු ගැටව් මෙම කඳවුරු වල සිරකරුවන්ට පොලු වලින් පහර දී මරා දමති. ඔවුන් අාගමක් සේ උමතුවෙන් විජේවීර ගේ දහම අදහති. මධ්‍යස්ථ මතධාරී ජවිපෙ සාමාජිකයන් මෙන්ම පක්‍ෂයේ සිටි මානුෂිකවාදී කොටස් දැඩි ලෙස කලකිරී සිටිති. යහපත් දේශයක්  වෙනුවට අමු සොහොනක් නිර්මාණය කොට ඇති බවට ඔවුන් රහසේ පවසති. රතු ඔත්තු සේවය විසින් පක්‍ෂයේ සිටි මානුෂිකවාදී පිරිස් බොහෝ දෙනෙකු ද්‍රෝහියන් සහ බටහිර ඔත්තුකරුවන් ලෙස නම්  කොට අත් අඩංගුවට ගෙන තිබේ. රතු ගැටවු මගින් ඔවුන්ව වධ බන්ධනයට ලක් කරති. 

24) සී .එන් .එන් සහ බීබීසී පුවත් සේවා අනුව ලංකාවේ උතුරු මැද පලාතේ ගුලාර්ග් කඳවුරු වල මිලියනයකට අධික ජනතාවක් මිය ගොස් තිබේ. බොහෝ දෙනෙකු ආහාර හිඟකම , ලෙඩ රෝග සහ වධ බන්ධන නිසා මිය ගිය බව සඳහන් වේ. එහෙත් රජය මෙම චෝදනා ප්‍රතික්ශේප කල අතර මේවා අධිරාජවාදීන් ගේ කුහක ප්‍රචාර බව කියයි.

25)  පොලිට් බියුරෝවේ බල අරගලයක් සිදු වූ බව වාර්තාවේ. දැඩි මතධාරී අන්තවාදීන් පරදවා ජවිපෙ තුල සිටි මානුෂිකවාදී පිරිස් එකා වන් නැගී සිට යලින් අනුර කුමාර දිසානායක වෙත බලය පවරා තිබේ. දැඩි මතධාරී අන්තවාදීන් විසින් සමජවාදය සඳහා කියමින් රටේ යටිතල සේවා පමණක් නොව මැජෙස්ටික් සිටි , ලිබර්ටි ප්ලාසා යන මධ්‍යස්ථානද ගිනි තබා විනාශ කල බව කී ජනාධිපති අනුර කුමාර දිසානායක යලිත් විනාශ කල සමාජ ආර්ථිකය ගොඩ නැගීමට කටයුතු කරන බව කීවේය​. 

(මෙය මා දුටු සිහිනයකි. මෙම සිහිනයේ ලෙසින් විනාශකාරීව කටයුතු සිදු නොවී අනුර කුමාර දිසානායක ජනාධිපතිව දැඩි මතධාරී අන්තවාදීන්ට යටත් නොවී  රට සමෘද්ධිය කරා ගෙන යාමට හැකි වේවා කියා පතමු) 

වෛද්‍ය රුවන් එම් ජයතුංග   

Monday, April 24, 2017

මිනී මස් කෑ ගැහැනිය

 

හිසේ සහ ශරීරයේ කැපුම් සහිතව අවුරුදු 16 පමණ ළමයෙකු වාට්ටුවට ගෙනැවිත් තිබුනේය​. ඔහුට බරපතල ලෙස කැත්තකින් කොටා තිබේ. ශරීරය පුරා ගැඹුරු කැපුම් තුවාලය​. 

මම රෝගියාගේ තුවාල ශුද්ද කොට ලේ වහනය නැවැත්වීම පිණිස මැසුවෙමි. තරුණ ළමයා වේදනාව නිසා කෑගසයි දඟලයි. ඇටෙන්ඩන්වරුන් වන වික්ටර් සහ ජෝතිපාල රෝගියාව අල්ලාගෙන සිටින්නේ මට මැහුම් දැමීම පහසු කිරීමටය​. 

" මොකද උනේ " ජෝතිපාල තරුණ ළමයාගෙන් අසයි. රෝගියාගේ වේදනාව අඩු කිරීමටත් ඔහුගේ අවධානය වෙනතක යොමු කිරීමටත් ජෝතිපාලගේ ප්‍රශ්නය උපකාරී වෙයි. 

" බාප්පා කෙටුවා " ඔහු උත්තර දෙයි. 

ඇයි බාප්පා කෙටුවේ ? වික්ටර් අසයි. 

" බාප්පා අම්මා එක්ක යාලු වෙලා තාත්තට හේනෙදි කොටලා තියනවා. තාත්තා එතනම මලා. ඊට පස්සේ අම්මයි බාප්පයි තාත්තගේ මස් උයාන කාලා. මම හේනට එන කොට දෙන්න එකතු වෙලා මාව අල්ලගත්තා. බාප්පා මට කැත්තෙන් කොටාන , කොටාන ගියා. මම කැති පාරවල් කාගෙන දිව්වා. අම්මා මගේ පස්සෙන් ආවා මාව අල්ල ගන්ට මම දුවලා පණ බේරගත්තා. මාව අල්ල ගත්තා නම් මාවත් මරනවා රෝගියා වේදනාවෙන් හුස්ම හෙලමින් කියයි. 

අරුම පුදුම ම්ලේච්ඡ සිදුවීමකි. ගැහැනියක් තම අනියම් සැමියා එනම් සැමියාගේ සොහොයුරා සමග එක්වී සැමියා මරා දමා ඔහුගේ මස් අනුභව කොට තිබේ. තවද තම පුතා අනියම් සැමියා ලවා මරා දැමීමටද තැත් කොට තිබේ. මෙවැනි සිදුවීමක් ජාතක කතා පොතේවත් සඳහන්ව තිබෙනවාද කියා මම සිතා බැලුවෙමි. 

ගම කොහේද ? ජෝතිපාල ඇසීය​. 

" වහකෝට්ටේ "  රෝගියා උත්තර දුන්නේ වේදනාව නිසා එන කෙඳිරිය සමගිනි. 

" වහකෝට්ටේ "  ජෝතිපාල එය ප්‍රතිරාව කලේය​. ඕගොල්ලෝ ආගමේද ? 

තරුණ ළමයා ඔව් කියන නියායෙන් හිස සෙලවීය​. 

 මෙම තරුණ ළමයාගේ මව තම අනියම් සැමියා සමග එක්වී නීත්‍යනුකූල සැමියා මරා දැම්මේ මන්ද ? එයිනුත් නොනැවතී මොවුන් දෙදෙනා ඔහුගේ මස් කෑවේ ඇයි ? නීත්‍යනුකූල සැමියා  බිරිඳට නිරන්තරයෙන්ම පහර දුන්නේද ? ඉහවහා ගිය කෝපය නිසා ඇය තම පුරුෂයා මරා දමා ඔහුගේ මස පිස සොර සැමියා සමග අනුභව කලේද​? අනියම් පුරුෂයා කැත්තෙන් කොටා තම සොහොයුරා මරා දැම්මේ කාන්තාවගේ ඉල්ලීම නිසාද ? තම සොහොයුරා මරා දැමීමටත් ඔහුගේ මස් කෑමටත් ඔහුට හැකි වූයේ කෙසේද ? කාන්තාවට තම පුතා සමග තිබූ ආරෝව කිම ? ඇය තම පුතාද මරා දැමීමට උත්සහ කලේ ඝාතනය වසන් කිරීමට? මවකට තම දරුවා මරා දැමිය හැකිද ? 
රෝගියාගේ තුවාල මසන ගමන් මේ ප්‍රශ්න මගේ  හිසේ හොල්මන් කලේය​.  

විනාඩි හතලිස් පහක් පමණ එක දිගට ඔහුගේ තුවාල මසා මම ලේ ගැලීම නවතා දැමුවෙමි. ඉන්පසු වික්ටර් තුවාල මත ප්ලාස්ටර් ඇලවීය​. ඉක්බිති ඔහුව වාට්ටුවේ ඇඳක් වෙත ගෙනියන ලදි. 

 දින දෙක තුනකට පසුව රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ලෙසටද කටයුතු කරන රෝහල් ඩී.එම්.ඕ වාට්ටුවට පැමින රෝගියා ගෙන් විස්තර විචාලේය​. ඔහු සිදුවූ බිහිසුණු සිද්ධිය විස්තර කලේය​.  මෙම සිදුවීමෙන් පසු පොලිසිය විසින් එම කාන්තාව සහ අනියම් සැමියා අත් අඩංගුවට ගෙන නඩු පවරන්නට ඇත​. එහෙත් අවසානයේ සිදු වූයේ කුමක් ද කියා මම නොදනිමි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Sunday, April 23, 2017

අණ්ඩ කෝෂයක් අහිමි වූ රෝගියා

 


මාතලේ රෝහලේ වාට්ටු අංක 14 ගෙන එන ලද තරුණයාගේ සරම ලේ වලින් නැහැවී තිබේ. එහෙත් ඔහුගේ මුහුනේ වේදනාවක හෝ බියක සේයාවක් නැත​. හෙද නිලධාරී ලොකු බණ්ඩාගේ සහායෙන් මම ඔහු සිටි ස්ට්‍රෙචරය මැහුම් දමන කාමරයට දමා තුවාලය පරික්‍ෂා කොට බැලුවෙමි. රෝගියාගේ එක් අණ්ඩ කෝෂයක් තියුණු පිහියකින් කපා දමලාය​. ලේ ගලා යයි. එහෙත් රෝගියා ස්ථායි ය​. එහෙත් මම රෝගියා ගේ දකුණු අතට කැනියුලාවක් දමා සේලයින් බෝතලයක් එයට සම්බන්ධ කලෙමි. එසේම ආටරි ෆෝර්සෙප් එකක් ගෙන අණ්ඩ කෝෂය කැපී තිබෙන ස්ථානයෙන් ලේ විදින රුධිර වාහිනිය තද කොට ලේ ගැලීම නැවැත්වූයෙමි. 

දැන් රුධිර වහනය නැවතී තිබේ. එහෙත් කැපුම් තුවාලය බරපතලය​. මම කැපී ගිය පටක යථා තත්වයට ගෙන ඒම සඳහා මැසුවෙමි. තරුණයා කිසිදු ශබ්දයක් නොකොට වේදනාව ජනනය කරන මැසීම ඉවසා සිටියේය​. එහෙත් මම ඔහුට පෙතඩීන් වේදනා නාශක මාත්‍රාවක් දුන්නෙමි. 

රෝගියාගේ තුවාලය මසා දමා මම ඔහුව වාට්ටුවට දැමුවෙමි. දැන් රෝගියාගේ ඇඳ ඉහ පත ලිවිය යුතුය​. එම නිසා මේ තුවාලය ඇති වූයේ කෙසේද කියා ඇසුවෙමි. එහෙත් ඔහු කිසිවක් කීවේ නැත​. මා දෙස අමුතු සිනහවක් දමා බලා සිටියා පමණි. 

මඳ වේලාවකින් ඔහුගේ ඥාතීන් රොත්තක් වාට්ටුවට කඩා වැදුනහ​. මේ වන විට ඇඳන් හිඟය නිසා රෝගියා සිටියේ බිම දමන ලද මෙට්ටයකය​. එය දුටු එක් මධ්‍යම වයසේ පුරුෂයෙකු වාට්ටුවේ හෙදියට දොස් කීවාය​. මේ පුරුෂයා තරුණයාගේ පියා බව අප පසුව දැන ගත්තෙමු. 

මේ අතර වාරයේ තවත් කෙනෙකු  රෝගියාගේ තත්වය කොහොමද කියා මගෙන් ඇසුවේය​. ඒ අවසරයෙන් සිදුවූයේ කුමක්ද කියා මම එකී පුද්ගලයාගෙන් ඇසුවෙමි. තරුණයාගේ මාමා කෙනෙකු වූ මේ පුද්ගලයා මට සත්‍ය සිද්ධිය කීවේය​. 

තරුණයා හමුදා සෙබලෙකි. ඔහු අසල්වැසි නිවසක වෛවාහක තරුණ කාන්තාවක් සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගියේය​. මේ තරුණ කාන්තාවගේ පුරුෂයා ප්‍රදේශයේ දාමරිකයෙකි. තරුණ හමුදා සෙබලා මෙම කාන්තාව සමග පෙම් සුව විඳිද්දී සැමියාගේ අතටම අසු විය​. තදින් කෝප ගත් සැමියා දැලි පිහියකින් හමුදා සෙබලාගේ වෘෂණ කෝෂයක් කපා දැම්මේය​. ඉන් පසුව දොර පොල්ලක් අතට ගත් ඔහු බිරිඳටද සොර සැමියාටද පහර දුන්නේය​. හමුදා සෙබලා ලේ පෙරාගෙන නිරුවතින් පැන දිවීය​. ඔහු ඤාතියෙකුගේ නිවසට ගොස් සැඟවුනේය​. ඉන්පසු එම ඤාතියා විසින් හමුදා සෙබලාව රෝහලට ගෙන එන ලදි. 

මේ කරුණු ගලපා මම ඇඳ ඉහ පත ලීවෙමි. එසේම පොලිස් මුර පොළටද දැණුම් දීමක් කලෙමි. තරුණ හමුදා සෙබලා අපගේ වාට්ටුවේ තව සතියක් දෙකක් පමණ සිටියේය​. තුවාලය සුව වූයෙන් ඔහුගේ ටිකට් කපන ලදි. එහෙත් සදහටම ඔහුට දැන් ඇත්තේ එක වෘෂණ කෝෂයකි. ඔහු තම අනාගත ජීවිතය කෙසේ ගත කරනු ඇද්ද කියා මට සිතුනි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Saturday, April 22, 2017

කසළ කවි

ඒ කන්දත් අපේ අපේ මේ කන්දත් අපේ අපේ කුණු කන්දත් අපේ අපේ කඩා වැටුණි අපේ හිසේ කුණු කන්දක් අපට ඇතේ ඒක වටා කොමිස් ගැසේ කුණු කඳු පෙරලුනත් හිසේ කොමිස් කෑම නතර නොවේ කුණු කන්දට යට වූවෝ යලි ගොඩ නොඑති කුණු කන්දෙන් හම්බ කල එවුන් ගොඩේ ගොඩය දහසක් මිනිසුන් යටවී මළත් උන් හොයති ගතමනාව මළ මිනී වලින් පවා වැඩ බැරි දේසපාලුවන් පාලනය කරන රටක් කසළ කළමනාකරනය කිරීමට නොදත් ජාතියක් හැබැයි උන්ගේ කතාව නම් මෙගා පොලිස් සයිටම් එකට විරාමයක් කුණු කන්දට ආරාධනාවක් ව සති දෙක තුනකින් තවත් ලොකු විකාරයක් නගින්න මීතොටමුල්ල කුණු කන්දේ සිරසට බලන්න නාසය වසාගෙන මෙගා පොලිස් ආශ්චර්‍ය අත් විඳින්න නිහඞව කුණු සාගරය පතුලේ මිහිදන් වූ අසරණයන්ගේ දුක්ඛිත මරණීය ස්වරය

Friday, April 21, 2017

කියුබාවක් හදමු



"අපි මේ ධනපති ක්‍රමය වෙනස් කරලා සමාජවාදී ක්‍රමයක් හදන්න ඕනේ කියුබාවේ උතුරු කොරියාවේ වගේ"

"ඇත්ත ධනපති ක්‍රමය අනිවාර්‍යෙන්ම වෙනස් කරන්න ඕනේ. හැබැයි සමාජවාදේ  ගෙනාවම මේ තියන ආර්ථික සමාජ ප්‍රශ්න විසඳෙයිද ? 

"නැතුව දැන් කියුබාවේ ඔක්කොම ආර්ථික සමාජ ප්‍රශ්න විසඳලා තියෙන්නේ සමාජවාදී ක්‍රමය ගෙනල්ලා"

"ඔබතුමා කියුබාවට ගිහිල්ලා තියනවද ?

"මම නම් ගිහිල්ලා නෑ ඒත්  සමුළුවකට සුමාන දෙකකට කියුබාවට ගිය අපේ නායක සහෝදරයෙක් කිව්වා කියුබාව ඉස්තරම් කියලා "

"මේ මහත්තයා කියුබාවට ගිහිල්ලා තියනවද ?

"ම්ම්ම්..... මමද ? මම එහෙ කාලයක් ජීවත් උනා"

" කියුබාවේ ජීවත් උනා ? මොනවද එහෙ කලේ ?

"මම ස්කැන්ඩිනේවියානු දානපතියන් එවපු ඇඳුම් , බෙහෙත් එහෙම දුප්පත් කියුබන් මිනිස්සුන්ට බෙදාහරින ආයතනයක වැඩ කලා "

පරිකල්පනික අතික්රමණය ) 

Thursday, April 20, 2017

දෙමළ වීම නිසාම දෙමළ ජනතාවට ඇති ප්‍රශ්න

 

දෙමළ වීම නිසාම දෙමළ ජනතාවට ඇති   ප්‍රශ්න ගැන කතා කිරීම දැලි පිහියෙන් කිරි කෑමකි. මේ ගැන අතිශයෝක්තියෙන් කතා කරන සමහරක් දෙමළ  ඩයස්පෝරාවෙන් පඩි ලබන කුලියට ලියන්නෝ වෙති.  මේ කුලී ලියන්නන්ට අනුව දෙමළ වීම නිසාම දෙමළ ජනතාවට දොට්ට පිලට යාමටද නිදහසක් නැත​. සිංහල ජාතිවාදීන්ට අනුව දෙමළ ජනතාවට දෙමළ වීම නිසා ලංකාවේ කිසිදු ප්‍රශ්නයක් නැත​. සමහරක් විට දෙමළ වීම නිසා ඔවුන් මහා ජාතියටත් වඩා වැඩිපුර වරප්‍රසාද ලබති. 

දෙමළ වීම නිසාම දෙමළ ජනතාවට ඇති ප්‍රශ්න ගැන සාධාරන කෝණයකින් කතා කරන්නෝ සිංහල ජාතිවාදීන් ගේ ප්‍රහාරයන්ට ලක් වෙති. මේ නිසා මෙම මාතෘකාව මඟ හැර යාම සුලබ තත්වයකි. එවැනි වාතාවරනයකදී දෙමළ වීම නිසාම දෙමළ ජනතාවට ඇති ප්‍රශ්න මොනවාද කියා සොයා බලමු. මා සඳහන් කරන්නේ මා විසින් දුටු සිද්ධීන් ය​. එම නිසා මෙය  මගේ අත්දැකීම් මත පාදක වූ ලිපියකි. 

කුඩා කාලයේදී අප කොල්ලන් සමග ක්‍රිකට් ගැසුවෙමු. මෙසේ ක්‍රිකට් ගසන විට වරක් බෝලය අසල්වැසි ද්‍රවිඩ ජාතිකයෙකුගේ වත්තට ගියේය​. එවිට කොළු නඩය ඔහුගේ වත්තට පැන ගෙවත්තේ පැළ පාගමින් බෝලය සෙව්වෝය​. මෙය දුටු ඔහු උරණව අපට තම වත්තෙන් පිටවී යන ලෙස අණ කලේය​. එවිට සමහර සිංහල කොල්ලන් වත්තෙන් පිටවී යන ගමන් ඔහුට පර දෙමලා කියාද යාපනේට පලයන් කියාද කීවෝය​. මේ 1976 වැනි කාලයක කොලඹ ජීවත් වූ මධ්‍යම පාන්තික ද්‍රවිඩ රජයේ නිලධාරියෙකු අවුරුදු දහයේ එකොලහේ සිංහල කොල්ලන් ගෙන් වාර්ගික අපහාස ඇසූ අවස්ථාවකි. 

1983 ජූලි කලබල වලදී මරදානේ තෝසේ කඩයක සේවය කල ද්‍රවිඩ මිනිසෙකුට මැරයන් විස්සක් පමණ වටවී පහර දෙනවා මම සියැසින් දුටුවෙමි. ඔහු අනිවාර්‍යෙන්ම මිය යන්නට ඇත​. 

ද්‍රවිඩ දන්ත වෛද්‍යවරයෙකු වූ එමර්සන් මහතා පදිංචිව සිටියේ කොලඹ ලිබර්ටි සිනමාහල පිටුපස ප්‍රදේශයේය​. 1983 දී ඔහුගේ නිවසට ගිනි තබන ලදි. වෛද්‍ය එමර්සන් මහතාගේ තරුණ දියනියත් පුතාත් ප්‍රවේසමට සිටියේ අපගේ නිවසේය​. මේ දෙදෙනා අපගේ නිවසේ සිටියදී දනින් වැටී යාඥා කරනවා මම දුටුවෙමි. ඔවුන් යාඥා කරන ලද්දේ ලේ සුවඳ සොයා ආ වෘකයන් ගෙන් බේරීමටය​. පසුව හමුදාවේ කපිතාන්වරයෙකුගේ ආරක්‍ෂාව සමග ඔවුන්ව කදිරේෂන් කෝවිලේ අනාථ කඳවුරට යවන ලදි. ඉන් පසු ඔවුන්  සරණාගතයන් ලෙස බ්‍රිතාන්‍යට ගියෝය​. 

මේ භීම සමයේදී රත්මලානේ සුකුමාරන් නම් තරුණයාගේ නිවසේ තිබූ භාණ්ඩ එලියට ඇද දමා ගිනි තබන ලදි. ජාතිවාදී ප්‍රහාරකයෝ සුකුමාරන් සිටි නිවස ගිනිබත් නොකලේ එහි හිමිකරු සිංහලයෙකු වූ නිසාය​. සුකුමාරන් එම නිවසේ සිටියේ කුලියටය​. මැරයන් විසින් ඔහුගේ සෝනි ටේප් රැකෝඩරයද පොලවේ ගසා ගිනි තබා තිබුනි. පසුව තමන් ගේ විනාශ කරන ලද භාණ්ඩ බැලීම සඳහා සුකුමාරන් පොලිස්කාරයන් දෙදෙනෙකු සමග එනවා මම සියැසින් දුටුවෙමි. පොලිස්කාරයන් කොල පුරවා යන්නට ඇත​. සුකුමාරන් ගේ මුහුනේ තිබූ වේදනාව මට තවමත් මතකය​. 

අපගේ වෛද්‍ය පීඨයේ සිටි ද්‍රවිඩ සිසුන් බොහෝ විට ප්‍රිය කලේ සිංහල සිසුන් ගෙන් වෙන්ව ජීවත් වීමටය​. සමහර ද්‍රවිඩ සිසුන් ශ්‍රී ලංකා හමුදාව යාපනේ ජන ඝාතන කරන බවට පත්‍රිකා සහ චායාරූප මගින් වෛද්‍ය පීඨයේ මහාචාර්‍යවරු දැනුවත් කලහ​. සමහරු කොටි සංවිධානය විසින් මරා දැමූ ඩොලර් ෆාම් කෙන්ට් ෆාම් සිංහල ගොවියන් ගේ   මෘත ශරීර වලද චායාරූප පෙන්වා ඒවා කලේ ශ්‍රී ලංකා හමුදාව බව කීහ​. මේ නිසා සිංහල සිසුන් සිටියේ අසතුටිනි. 

වෛද්‍ය පීඨයට යාපනයෙන් පැමිනි නේසානන්දර් නම් ද්‍රවිඩ සිසුවෙකු විය​. ඔහු ද්‍රවිඩ  සිසුන් අතර ප්‍රභාකරන් ගේ චායාරූප බෙදීම , පත්‍රිකා බෙදීම කලේය​. ඔහු දේශනද කට් කලේය​. තමා පාසල් යන විට තමාගේ පාසල් මිතුරන් හමුදාව විසින් මරා දමා තිබෙනු දැක තම සිත කම්පනයට පත්වූ බව ඔහු වෛද්‍ය පීඨයේ මහාචාර්‍යවරුන්ට කියා තිබුනි. මේ නිසා ඔවුන් නේසානන්දර්ට අනුකම්පා කලහ​. නේසානන්දර් කීවේ සත්‍යක් ද බොරුවක්ද කියා මම නොදනිමි. එහෙත් ඔහු මේ කතාව දිගින් දිගටම කියමින් දේශන අතපසු කලේය​. දේශන අතපසු කිරීමත් විභාග වලින් අසමත් වීමත් නිසා අවසානයේදී ඔහුව වෛද්‍ය පීඨයෙන් අස් කරන ලදි. ඉන්පසු ඔහු කැනඩාවට සරණාගතයෙකු ලෙස පැමින කොටි සංවිධානය වෙනුවෙන් වැඩ කලේය​. 2009 දී ස්කාබරෝ වලදී මම නේසානන්දර්ව දුටුවෙමි. ඔහු දැන් ආහාර පරික්‍ෂා කරන සෞඛ්‍ය පරීක්‍ෂකයෙකු ලෙස සේවය කරයි. 

මා සමග මීගමුව රෝහලේ සේවය කල රාම් මනෝහර් සහ සුදර්ශන් යාපනේ වෛද්‍ය පීඨයෙන් ඉගෙනුම ලබා තිබුනි. එල්.ටී.ටී.ඊ සංවිධානය සහ ශ්‍රී ලංකා හමුදා ගැටෙමින් තිබූ සමයක ජීවිත බේරාගෙන කුප්පි ලාම්පු එලියෙන් ඇනටමි සහ ෆිසියලොජි විශයන් පාඩම් කල අයුරු ගැන මට කීවේය​. රාම් මනෝහර් වර්තමානයේ බ්‍රිතාන්‍යයේ ජීවත් වන අතර ලංකාව හැර යාමට පෙර ඔහු මට ඩිනර් එකක් දුන්නේය​. 

ද්‍රවිඩ වෛද්‍යවරයෙකු වූ සුදෝකුමාර් වරක් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඔහු වෙත එවන ලද ලිපියක් රැගෙන මා වෙත ආවේය​. මේ ලිපිය ලියා තිබුනේ සිංහලෙනි. සිංහල කියවීමට නොදත් සුදෝකුමාර්ට ලිපිය මම පරිවර්තනය කොට දුන්නෙමි. 

උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ මා සමග සේවය කල වෛද්‍ය පද්මරාජ් මුලින්ම පාසල් ගියේ කොලඹ ඩී.එස් සේනානායක විදුහලටය​. අපොස සාමාන්‍ය පෙළ දක්වා සිංහල මාධ්‍යයයෙන් ඉගෙනුම ලැබූ ඔහුට කොලඹ හැරදා උතුරුකරයට යන්නට සිදු වන්නේ අනපේක්‍ෂිතවය​. ඒ 1983 මහෝඝය  නිසාය​. ඉන්පසු ඔහු උසස් පෙළට ඉගෙන ගන්නේ දෙමළ මාධ්‍යයෙනි. වෛද්‍යවරයෙකු වී වසර කීපයක් ලංකාවේ සේවය කල පද්මරාජ් පසුව ඇමරිකාවේ පදිංචියට ගියේය​. 

කැනඩාවේ මැකෙන්සි රෝහලේ මට හමුවූ වෛද්‍ය ක්‍රිෂ්ණා බාලචන්ද්‍රන් ඉතා නිහතමානී යහපත් මිනිසෙකි. ඔහු මනෝ වෛද්‍යවරයෙකි. දෙක වසර දක්වා ඔහු කොලඹ ඩී.එස් සේනානායක විදුහලේ සිංහල මාධ්‍යයයෙන් ඉගන ගත් අතර 1983 කළු ජූලියේදී ඔහුගේ නිවස ගිනි තබන ලදි. ඒ නිසා ඔහුගේ දෙමාපියන් කැනඩාවට සරණාගතයන් ලෙස ආහ​. ලංකාවේ වෛද්‍යවරයෙකු වූ ඔහුගේ පියා   වසර බොහෝ ගනනක්  වෛද්‍ය සීමාවාසිකය හෙවත්  රෙසිඩන්සිය ලබා ගැනීමට පෝලිමේ ඉඳ අවසානයේදී කැනඩාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය ඇරඹීය​. තමන් ගේ ජීවිත උඩු යටිකුරු කල 1983 පිලිබඳව වෛද්‍ය ක්‍රිෂ්ණා බාලචන්ද්‍රන්ට වෛරී අදහස් නැත​. ඔහු එදෙස බලන්නේ උපේක්‍ෂාවෙනි. මා විසින් ලියන ලද Shell Shock to Palali Syndrome පොත පිලිගන්වන්නේ මනෝ වෛද්‍ය ක්‍රිෂ්ණා බාලචන්ද්‍රන්ට ය​. මේ පොතේ සිංහල සහ ද්‍රවිඩ ජාතීන් අතර සිදුවූ ගැටුම් නිසා දෙපාර්ශවයේම   වින්දිතයන් ගැන ලියවී තිබේ.  වෛද්‍ය බාලචන්ද්‍රන් ද මෙම ගැටුමේ වින්දිතයෙකි. 

දෙමළ වීම නිසාම දෙමළ ජනතාවට  ප්‍රශ්න තිබුනාක්   මෙන්ම සිංහල වීම නිසා උතුරුකරයේ ජීවත් වූ සිංහලයන්ටද ප්‍රශ්න තිබුනේය​. වවුනියාවේ ජීවත් වූ කරුණාරත්න නම් සිංහල පවුලක් මගේ මතකයට නැගේ. 1975 වැනි කාලයක වවුනියාවේදී මෙම කරුණාරත්න පවුල අපට ඉතා හොඳින් සැලකූහ​. නමුත් ගැටුම් ආරම්භ  වීමත් සමගම ඔවුන් තම දේපළ හැර දමා දකුණට ආහ​. මෙයාකාරයෙන් උතුරේ ජීවත් වූ සිංහල ජාතිකයන් බොහෝ දෙනෙකුට සිංහල වීම නිසා ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු විය​. 

තමන් ගේ ජාතිකත්වය නිසා ජීවත් වන රටේදී ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වන්නේ නම් එය මානව ස්වීයත්වය පහල හෙලන තත්වයකි. බොහෝ රට වල විවිධ ජාතීන්ට විවිධ කාල වල තම ජාතිකත්වය නිසා හිංසනයන්ට මුහුණ දීමට සිදු විය​. දෙවන ලෝක යුද සමයේ යුරෝපයේ ජීවත් වූ යුදෙව් ජනයාත් ඇමරිකාවේ විසූ ජපන් ජාතිකයනුත්  කඳවුරු වලට  ගාල් කරන ලදි. වාසනාවකට මෙන් ජපන් ජාතිකයන් ගෑස් කාමර වලට නොයවන ලදි. 

ඇමරිකාවේ ජීවත් වන කළු ජාතිකයන්ට තම ජාතිකත්වය නිසා බ්ලැක් ලයිව්ස් මැටර් කියා බැනර් එල්ලීමට සිදු විය​. තම ජාතිකත්වය නිසා තමන් ප්‍රභේධකරණයට ලක් කරන බව ඕස්ට්‍රේලියාවේ මෙන්ම  කැනඩාවේ ආදිවාසිහු පවසති. ජර්මනියේ ජීවත් වන තුර්කි ජනයාත් , එංගලන්තයේ /ඇමරිකාවේ ජීවත් වන මුස්ලිම් ජනයාත්  තම තමන් ගේ ජාතිකත්වය අගම නිසා වියෝජනයන්ට ලක් කෙරෙන බව පෙන්වා දෙති. 

මිනිසුන් ගේ   ජාතිකත්වය නිසා ඒ මත පදනම් වී  ඔවුන්ව පරිපීඩනයට පත් කිරීම මිනිසත්කමට උචිත නැත​. මානවයා දියුණුවත්ම මෙවැනි අශිෂ්ට දුර්ගුණ සමාජයෙන් බැහැර කිරීම අනිවාර්‍ය වේ. ඒ සඳහා ආකල්පමය වෙනසක් සමාජය තුල ඇති කිරීම සඳහා ප්‍රජාපාලනයන් පෙරමුණ ගත යුතුය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Find Us On Facebook