Thursday, August 20, 2015

සතුරු ඉසව්ව




හිම මත ඇද වැටුණු ආටිලරි උණ්ඩය පුපුරා ගියේ ලෝහ කැබලි දසත විහිදුවමිනි. සුදු පැහැති හිම මත වෙඩි බෙහෙත් වලින් පිලිස්සී ගිය  ක​ළු පැහැති විශාල ආවාටයක් මොහොතකින් දැකගත හැකි විය. අප ගරා වැටුණු ගොඩනැගිල්ල දෙසට දිව ගියේ තවත් ආටිලරි ප්‍රහාර අප සිටි දිශාවට එල්ල වීම අනිවාර්ය නිසාය. අපගේ අදහස සනාථ කරමින් ගොඩනැගිල්ලේ දකුණු කෙළවරට තවත් ආටිලරි උණ්ඩයක් ඇද වැටුණි.

සූ හඞ නගමින් එන ආටිලරි මාරයාගෙන් බේරීමට අපි බිම වැතිරුණෙමු. හිම සහ පස් මහා වර්ෂාවක් මෙන් අපගේ ශරීර මතට ඇද හැළුණි. ආටිලරි ශබ්දය නිසා කම්පනයට පත්වීම නිසාදෝ වේරා අඩ සිහියෙන් නැගිට ඉදිරියට දිව ගියාය. තෙවන ආටිලරි ප්‍රහාරය එනවිට අප හිස් පොලවට තදකර ගත්තෙමු.

හැකි ඉක්මනින් අපි ගරාවැටුණු ගොඩනැගිල්ල දෙසට බඩගා ගියෙමු. අපට යාර විස්සක් පමණ දුරින් වේරා වැටී සිටියාය. ඇයගේ දකුණු කකුළ දණහිස ළඟින් වෙන්ව ගොසිනි. කකුළෙන් ගැලු රුධිරය හිම මත රතු පැල්ලම් ඇති කළේය.

ලූතිනන් ඊගර් කිරිලවිච් වේරා දෙසට දිවගියේ ආටිලරි අනතුරු නොතකමිනි. ඒ අතරවාරයේ අප ගරා වැටුණු ගොඩනැගිල්ල තුළට වැදුණේ වැලි මීයන් මෙනි.

මහල් හයකින් යුත් ගොඩනැගිල්ල යුද්ධයට පෙර සපත්තු නිෂ්පාදනය කළ කම්හලකි. කාලතුවක්කු උණ්ඩ නිසා කඩාවැටී ඇති ගොඩනැගිල්ලේ විශාල කුහර අපට රක්ෂිත ස්ථාන වූ බව සැබවි. කඩා වැටී ඇති කොන්ක්‍රීට් බිත්ති, යකඩ බාල්ක අපව ආටිලරි ප්‍රහාරවලින් ආරක්ෂා කළේය. එහෙත් සෑම අටිලරි ප්‍රහාරයක් සමගම මුළු ගොඩනැගිල්ලම දෙදරුම් කෑවේ ධූලි හා පස්  නාස් පුඩු වලට යවමිනි.

ලූතිනන් ඊගර් කිරිලවිච් හතිලමින් වේරා ඔසවාගෙන අප සිටි දිශාවට පැමිණියේය. වේරාගේ දෙනෙත්   පියවී ඇත. ඇයගේ දකුණු කකුලේ දණහිස දෙස බැලීම පවා බිය ගෙනදේ. එල්ලෙන මස් වැදලි, සුදු පැහැති ස්නායු තන්තු සහ කලව අස්ථීයේ කොටස් පෙන්නුම් කළේ ෆැසිස්ට් සතුරාගේ මෘග භාවයයි.

හෙදි සහායිකාවක වූ යුල්යා වේරාගේ තුවාලයට ඉහළින් තිරිංගයක් දමා රුධිර වහනය  අඩු කළාය. ලේ වහනය නිසා ඇයගේ ලා දුඹුරු පැහැති නිළ ඇඳුම තද රතු පාටට හැරී තිබේ. ඇයට හුස්ම ගැනීම පහසු කරනු වස් ඊගර් කිරිලවිච් වේරාගේ නිළ ඇඳුමේ බඳ පටිය බුරුල් කළේය. 

මීළගට කළ යුත්ත කුමක්ද යන්න පිළිබඳව අප සියළු දෙනාටම හරි හැටි කල්පනාවක් නොවීය. රතු හමුදාවේ සෙබළුන් හය දෙනෙක්, හෙද සහායිකාවක් හා මරණීය තුවාල ලත් සෙබලියක් ජර්මානු ප්‍රහාරවලට කොටුවී සිටිති. ආටිලරි ප්‍රහාරය නැවතුණු වහාම ජර්මානු භටයන් ගරා වැටුණු ගොඩනැගිල්ල දෙසට එනු නිසැකය. ඔවුන් වළකාලීමට අපට ඇති සීමිත පතුරොම් ප්‍රමාණය සමත් නොවනු ඇත. ඇරත් ගැසොලීන් ටැංකි පිටේ බැඳගත් ගිණි  විහිදන්නන් කිහිප දෙනකු අප සිටි දිහාවට  ගිනි ප්‍රහාර එල්ලකළ හොත් අප සියළු දෙනා මෙම කොන්ක්‍රීට් ගුහාව තුළ  පණපිටින් පිලිස්සී යනු ඇත.   

ඊගර් කිරිලවිච් අපගේ කණ්ඩායමේ නායකයා මෙන්ම ඒකකයේ දේශපාලන කොමිසාර්වරයාද වෙයි.  ඔහු හා වේරා අතර ආදර සබඳතාවක් තිබූ බව මම දැනගෙන සිටියෙමි. පෙම්වතකු ලෙස ඔහුගේ හිතේ ඇවිලෙන වේදනාව මට සිතාගත හැක. ඔහු වේරාගේ හිස පිරි මැද්දේය. ඇය හුස්ම ගන්නේ අසීරුවෙනි. හෙද සහායිකාව වේරාගේ වේදනාව අඩුකරනු වස් ඇයට මෝෆීන් එන්නත් කළාය.

ආටිලරි ප්‍රහාරය නතරවූ අතර එළඹුණු නිහැඞියාව අපව තවත් ව්‍යාකූල කළේය. අපගේ ගොඩනැගිල්ලේ පසුපස දෙසින් කිලෝමීටරයක් පමණ දුරින් රතු හමුදා බංකර පෙලක් තිබේ. එම ස්ථානයට බඩ ගාගෙන ගියහොත් අපට අපගේ සගයන් මුණගැසිය හැකිය. එහෙත් ජර්මානු ස්නයිපර්වරුන්ගේ ඇස වසා යාමද ඉතා අසීරු කර්තව්‍යයකි. ඇරත් බරපතල තුවාල ලැබූ වේරා රැගෙන යා හැක්කේ කෙසේද?

 දිමිත්‍රි  අපගේ කණ්ඩායමේ ලාබාලයාය. ඔහුගේ වයස අවුරුදු 17 ක් පමණ වේ. වොල්ගා නදිය අසබඩ ඉපදී එහි හැදී වැඩී සිටි ඔහු කදිම ඉලක්කකරුවෙකි. ඔහු තම රයිෆලය ගෙන කොන්ක්‍රීට් ගුහාවේ කට මුර කළේය. මම සාෂා ,පාවෙල් හා නිකොලායි සමඟ අපට ඉතිරිවී තිඛෙන ආයුධ එක්රැස් කළෙමි. පතුරන් ඇරුණු කොට අපට තිබුණේ අත් බෝම්බ හයක් පමණි.

දෙපැයක් පමණ ගතවී ගියේය. වේරා වරක් දෑස් හැර යමක් කීවාය. එහෙත් ඇය කීවේ කුමක්ද යන්න පැහැදිලි නොවීය. ශීත හා කුසගින්න අපව තදින් පෙළීය. සාෂා තමා ළඟ තිබුණු අවසන් පාන් ගෙඩිය පෙති හයකට කැපීය. ඊගර් කිරිලිවිච් තම මල්ලට අත දමා කැකිරි ගෙඩි දෙකක් දුන්නේය. සාෂා තම සන්තකයේ තිබූ ඌරුමේදය තෙල් කැබැල්ලක් සමූහ ආහාර වේලට එක් කළේය. මම මගේ මල්ලේ තිබූ ඇපල් ගෙඩි කිහිපය ඊට එක් කළෙමි. 

ඉතා දිළිඳු හා සුළු ආහාරය කිසිසේත් ප්‍රමාණවත් නොවීය. එහෙත් දින එකහමාරක් පමණ කුසගින්නේ සිටි අපට එය දිව්‍ය භෝජනයක් විය. 

ජර්මානුන්ගේ පණිවිඩ හුවමාරු සබඳතා කපා දැමීම පිණිස අප කණ්ඩායම සතුරා ස්ථානගතවී ඇති ඉසව්වට පිටත් කළේ කපිතාන් කිර්ගීන් විසිනි. ඔහු අපට මෙම කර්තව්‍යයේ භයානක පාර්ශවයද නෙවලහා එළි කළේය. එහෙත් අප සියළු දෙනාම සිය කැමැත්තෙන්ම මෙම කටයුත්තට එක්වූයෙමු.

අප මුලින්ම කැඩීබිඳී ගිය ගොඩනැගිලි අතරින් බඩගාගෙන ගොස් ජර්මානු පැන්සර් ඩිවිෂනයේ මූලස්ථානය යාකරමින් එලාතිබූ ටෙලිෆෝන් කම්බි කපා දැමූවෙමු. ටෙලිෆෝන් කම්බි කැපීමේ ලා පාවෙල් ඉතා අනගි දක්ෂතාවයක් පෙන්වීය. උස් තැන්වලට  ඔහු බඩගෑවේ වඳුරෙකු මෙනි. ඇතැම් කම්බි පොළවේ වළලා තිබුණි. එවැනි ස්ථාන අප හඳුනා ගත්තේ පොළවට ඇණගසා තිබූ කම්බි කොකු මගිනි. සොයා ගත් සෑම ටෙලිෆෝන් කම්බියක්ම ඊගර්  කිරිලවිච් තම අත තිබූ යකඩ අඞුවෙන් කපා දැමීය.

අප ජර්මානුන්ගේ පණිවිඩ සබඳතා කපා දමන විට ඔවුහු කඩිනමින්ම ඒ  බව දැනගත්හ. යුද්ධයේ නිපුන ජර්මානුවෝ මෝඩයෝ නොවෙති. ඔවුන් තම දුරකථන කම්බි විදුලි පුවරුවක් හරහා ඇද තිබේ. අප දුරකථන කම්බි කපන විට ඔවුන්ගේ මූලස්ථානයේ පණිවුඩ පුවරුවේ විදුලි බුබුළු දැල්වේ. එමගින් ඔවුන් කඩාකප්පල්කාර ක්‍රියාව  සිදුවන ඉසව්ව දැන ගනිති. 

අප ජර්මානුන්ගේ පණිවුඩ ජාල රැසක් කපාදැමුවෙමු. මෙම සියල්ල යථා තත්වයට පත්කිරීමට ඔවුන්ට සති ගණනාවක් ගතවෙනු ඇත. ඒ  පිළිබඳව සිතනවිට විශාල ප්‍රීතියක් දැනේ. ජර්මානු සතුරා අපගේ භූමියෙන් පලවා හැරිය යුතුය.

අප කම්බි කපන විට දිමිත්‍රි  සහ සාෂා අවට නිරීක්ෂණය කළේ සතුරන් අප සිටි ඉසව්වට පැමිණේද යන්න බැලීමටය. ඔවුන් ඉතා ඉක්මනට අප සිටි දිශාවට එන බව අපි දැනගෙන සිටියෙමු.

හදිසියේම දිමිත්‍රි  ඈත එන ජර්මානු මුරභට කණ්ඩායමක් ගැන අනතුරු හැඟවීම නිසා අපි වහාම බිම දිගාවී පසුපසට බඩගෑවෙමු. ඔවුන් අප සිටින දිශාවට ඒම ප්‍රමාද කිරීම සඳහා හොඳහැටි ඉලක්කය ගත් දිමිත්‍රි කණ්ඩායම් නායකයාගේ හිසට රයිෆල් උණ්ඩයක්  යැවීය.

සෑම ජර්මානු භට කණ්ඩායමක නායකයා අත මවුසර් වර්ගයේ පිස්තෝලයක් තිබේ. එම නිසා අප සැම විටම පිස්තෝලයක් අතින් ගත් ජර්මානුවන්ව ඉලක්කයට ගත්තෙමු. කණ්ඩායම් නායකයා මැරී වැටෙත්ම සෙබළුන් සී සී කඩ දිව ගොස් සැඟවෙති. යළිත් දෙවන පෙළ නායකයකු අණ දෙන තෙක් ඔවුන් සිටි තැන්වලම සිටිති. එහෙත් ඇතැම් කණ්ඩායම් වඩාත් කල්පනාකාරීය. ඔවුන් බර අවි යොදා පහර එල්ල කරති. එසේම සෑම සෙබලෙක්ම නායකත්වය ගෙන ක්‍රියා කරති. 

ස්ටැලින්ග්‍රාද් ආක්‍රම​ණ  යුද්ධයට අණදෙන්නේ ජර්මානු හය වැනි හමුදාවේ ජෙනරාල් පවුලස් බව මා අසා තිබේ. ඔහුගේ හමුදාව ප්‍රංශය යටත් කර ගත්තේය. දැන් ඔවුන් අපගේ එළිපත්තටම පැමිණ ඇත.

ජර්මානුවන් අපගේ චිත්ත ධෛර්යය කඩනු වස් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් රතු හමුදා  සෙබලූන්ට යටත් වන ලෙස පවසති. අපගේ සදාදරණීය නායක ස්ටාර්ලින්ගේ නුගුණ කියති. යටත් වුවහොත් අපට උණුසුම්  අැඳුම්ද, උණුසුම් ආහාරද දෙන බවට පොරොන්දු වෙති. එහෙත් පැසිස්ට් සතුරා වොල්ගා නදිය අසබඩ ගම්මානවල අහිංසක ගම්මුන් මරා දැමූ හැටි අපට අමතක කළ නොහැකිය. ඔවුන් නිරායුධ වැසියන් එකට ගැටගසා ඔවුන්ව වොල්ගා නදියේ ගිල්වා මැරුවේ උණ්ඩ ඉතිරි කර ගැනීමටය.

දිමිත්‍රිගේ රයිෆලය දෙවන වරද පත්තු විය. ඒ පහරින්ද ජර්මානුවෙකු වැටුණු බව මම නිසැකවම දැන සිටියෙමි. ඔහු සුප්‍රක්‍රට ස්ටැලින්ග්‍රාද් වීරයෙකු වන වැසිලි සායිස්සොව් මෙනි. දිමිත්‍රිගේ  ඉලක්කය නිවැරදිවම ජර්මානුවන් නිසල කළේය.

රතු හමුදා ස්නයිපර්වරයා නිසා සැඟවුණු ජර්මානු භට පිරිස් අප සිටි දිශාව අනිවාර්යයෙන්ම කාලතුවක්කු ඛන්ඩයට දන්වන්නට ඇත. පසු පසට යන අප වෙතට ආටිලරි වර්ෂාවක් එන්නට විය. ආටිලරි ප්‍රහාරයෙන් ගැලවෙනු වස් අප ගරාවැටුණු ගොඩනැගිලි තුළට ගියමුත් දැන් අපට එළියට ඒමට නොහැකිය. 

තව හෝරාවක් ගතවී ගියේ සතුරන් පිළිබඳ කිසිම හෝඩුවාවක් නොමැතිවය. ඔවුන් ගොඩනැගිල්ල  වටලා ඇද්ද? ඔවුන් බලා සිටින්නේ මන්ද? අපව පණපිටින් පුලූස්සා දැමීමට ගිනි විහිදුවන භටයන් එනතෙක් ඔවුන් සිටින්නේද?

මම අත්බෝම්බයක් අතට ගත්තේමි. මෙය ජර්මනියේ නිෂ්පාදිත බෝම්බයකි. එහි අගට ලී මිටක් සවිකොට තිබෙන බැවින් ඉතා ඈතට එය විසි කළ හැක. යම් හෙයකින් ජර්මානු ගිනිජාලා විහිදුවන භටයන් අපගේ කොන්ක්‍රීට් ගුහාව අසලට පැමිණියහොත් මම මෙම අත් බෝම්බය ගසන බවට තීරණය කළෙමි. පණ පිටින් පිලිස්සීම ගැන සිතීමටත් අපහසුය.

යුධ ටැංකි නාශක උණ්ඩයක් ඇනතෝලි සින්චෙන්කෝ ගේ යුධ ටැංකියට වැදී ගිනි ජාලා මතුවන අයුරු මම වරක් දුටුවෙමි. යුක්රේන ජාතිකයකු වූ ඇනතෝලි සින්චෙන්කෝ උස මහත ශරීරයක් ඇත්තෙකි.  ඒ නිසා ගිනි ගන්නා යුධ ටැංකියෙන් බිමට පැනීමට ඔහු ප්‍රමාද විය. 

ඔහුගේ මුහුණ හා අතපය පිළිස්සී තිබුණ ආකාරය මම දුටුවෙමු. වේදනාව නිසා ඔහු හිම මත මුහුණ ඔබා ගත්තේය. එහෙත් ඉන් පැය දෙකකට පමණ පසු ඇනතොලි සින්චෙන්කෝ  මියගියේ වේදනාවෙන් කෑ ගසමිනි. එලෙස මිය යාමට මට කිසිසේත් අවශ්‍ය නැත. 

ජර්මානුන් අපට ප්‍රහාරයක්  එල්ල නොකළේ මන්ද? අපි කුහරය තුළ සුදානමින් සිටියෙමු. එහෙත් එළියේ සිදුවන්නේ කුමක්ද යන්න ප්‍රහේළිකාවකි. 

අප අටදෙනා සිටි කොන්ක්‍රීට් ගුහාව අපට ආරක්ෂිත ස්ථානයක් නොවේ. යම් ලෙසකින් යළි ගොඩනැගිල්ලට ආටිලරි උණ්ඩයක් වැටුනොත් අඩමානයට ඇති විශාල කොන්ක්‍රීට් බිත්ති කඩාවැටී කුහරයේ දොර වසා දමනු ඇත. එවිට අපට සිදුවන්නේ පණ පිටින් සිරවී මිය යාමටයි.

දැන් ක්‍රම ක්‍රමයෙන් අඳුර වැටීගෙන යයි. වේරාගේ මුහුණ මලානිකය. ඇය තවමත් අසීරුවෙන් හුස්ම ගනියි. කුහරය තුළට වැද සිටි නිසා  අප තුළ අනාරක්ෂිත බව වර්ධනය වෙයි. ලූතිනන් ඊගර් කිරිලවිච්ගේ  අනුමැතියෙන් දිමිත්‍රි හා මා කොන්ක්‍රීට් ගුහාවේ කටින් එළියට පැමිණියේ අපට පලා යාමට සුදුසු තත්වයක් තිබේදැයි බැලීමටය. අඳුර වැටී ඇති නිසා ජර්මානු ස්නයිපර්වරුන්ට අපට නොපෙනීම සහනයකි. 

ගොඩනැගිල්ල තුළට අප පැමිණි දොරටුවෙන් එළියට යනවා වෙනුවට ගොඩනැගිල්ලෙන් එළියට පැනයා හැකි වෙනත් මගක් තිබේදැයි මම සොයා බැලූවෙමි. ඉතා විශාල ගොඩනැගිලි සංකීර්ණයකට අප මැදිවී සිටින බව තේරුම් ගියේය. බෝම්බ ප්‍රහාරවලින් කැඩීගිය බිත්ති නිසා නිශ්චිත මාර්ගයක් දක්නට නොවීය. අපි සුන්බුන් ඉවත් කරමින් ගොඩනැගිල්ල තුළට ගියෙමු. 

සුන්බුන් පාදා ගැනීමෙන් පසු පඩි පෙලක් මතුවිය. මම දිමිත්‍රි සමග පඩිපෙළ ඔස්සේ පහළ මාලයට ගියෙමි. අප ගමන් කළේ සෙමිනි. සෑම මිනිත්තුවකදීම තුවක්කුව පත්තු කිරීමට අප සූදානමින් සිටියේ කොයි මොහොතේ හෝ සතුරා මුණගැසේ යැයි යන අනවරත සැකය නිසාය.

පියගැටපෙළ ඔස්සේ අපි පහත මාලයේ කාමරයකට පැමිණියෙමු. එහි තට්ටු දෙකේ ලී ඇඳ​කි. බිත්තිවල ජර්මානු බසින් යම් යම් දේවල් ලියා තිබු‚. මෙම ස්ථානය ෆැසිස්ට් භටයන් නැවතී සිටි ස්ථානයක් බවට සැක නැත. එහෙත් ඔවුන් දැන් මෙම ස්ථානයේ නොසිටීම පුදුමයකි. ඇතැම්විට මෙම ස්ථානය ඔවුන් තාවකාලිකව භාවිතා කළා විය හැක.

 දිමිත්‍රි   හා මම කාමරය හොඳින් පරීක්ෂා කර බැලූවෙමු. බිත්තිය අද්දර පිළිස්සුණු දුම්වැටි ගොඩකි. තේ සෑදීම සඳහා යොදා ගත් කේතලයක්ද, සීත පළවා හැරීමට භාවිත කළ උදුනක්ද විය. උදුන සාදා  තිබුණේ විශාල කාලතුවක්කු උණ්ඩයක කවරයකිනි. දර ලෙස ෆැසිස්ට් සොල්දාදුවන් භාවිත කරන ලද්දේ ගොඩනැගිල්ලේ තිබුණු මේස පුටුය.

මෙට්ටයක් යට තිබී මට ජර්මානු භටයකුගේ යකඩ කිණිස්සක් හමුවිය. එහි මිටේ ජර්මානු ස්වස්තිකය කොටා තිබු‚. මම කිණිස්ස මගේ සෙබල කබාය තුළ රුවා ගතිමි.

උදුන අසල තිබී වියලී ගිය අර්තාපල් තොගයක්ද, ජර්මානු හමුදාවට ඛෙදා දෙන හරක් මස් ටින් දෙකක්ද අපට හමුවිය. මෙය අගනා සොයා ගැනීමකි. යටත් පිරිසෙයින් අපට තව දින දෙකකටවත් යැපිය හැකි ආහාර මෙහි තිබේ.

බිම්මහලේ සිට පසුපස දොරටුවට යෑමට අපට අවකාශයක් නොවූයේ විශාල බිත්තියක් කඩා වැටී දොරටුව අවහිර වී තිබූ හෙයිනි. මෙම බිත්තිය ඉවත් කිරීමට මිනිසුන් දස දෙනකුට දින තුනක්වත් ගතවෙනු ඇත. එහෙත් ගල් ඉන්නක්වත් නැති අප මෙය කරන්නේ කෙසේද? අපි ආහාර තොගය සහ උදුන සගයන් සිටි කුහරයට ගෙන ගියෙමු.

අප දෙදෙනාගේ සොයාගැනීම්වලට ලූතිනන් ඊගර් කිරිලවිච් ප්‍රසාදය පළ කළේය. එහෙත් ඔහුගේ දෙනෙත්වල ඇති කඳුළු මම දුටුවෙමි. වේරාගේ තත්වය දැන් අඩමානය. අධික රුධිර වහනය නිසා ඇයගේ මුහුණ සුදු පැහැ හුණු ගෑ බිත්තියක් මෙන්විය. ඇය කඩින් කඩ හුස්ම ගත්තාය. කොන්ක්‍රීට් ගුහාවේ ශීත පළවා හරිනුවස් සාෂා අප ගෙනා උදුනට පුටු කකුල් කීපයක් දමා ගින්නක් මෙලවිය.

අපි මුළු රාත්‍රියම  කුහරයේ ගුලිවී සිටියෙමු. වේලූනු අර්තාපල් හා මස් ස්වල්පය අපි සම සමව බෙදා ගතිමු. එලිවෙන ජාමයේදී වේරාගේ හුස්ම ගැනීම ඉතා දුර්වලවී ගිය අතර ඇයගේ අවසානය එළඹී ඇති බව අපට තේරුම් ගියේය.

වේරා අවසන් හුස්ම හෙලූවේ ලූතිනන් ඊගර් කිරිලවිච්ගේ දෑත් මතය. අපි වේරාගේ මළසිරුර පොරෝනයක ඔතා පහත මාලයේ වූ කාමරයේ ඇඳක් මත තැන්පත් කෙළෙමු. මිනිය වළ දැමීමට අපට අවකාශයක් නොවීය. අප වේරාගේ අවසන් කටයුතු කරන තෙක් ඊගර් කිරිලවිච් හිස් බැල්මකින් යුතුව වේරාගේ නිසල සිරුර දෙස බලා සිටියේය.

වේරාගේ සිරුර පහතමාලයේ තැන්පත් කොට අප යලි කොන්ක්‍රීට් කුහරය තුළට පැමි‚යේ දුක, සන්තාපය සහ අවිනිශ්චිතතාව සිත්තුළ දරා ගනිමිනි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 


14 comments:

  1. ලංකාවෙත් අවුරුදු 30ක් යුද්ධයක් තිබුනලු... ඒ සොල්දාදුවන් කළ කැප කිරීම,වීරත්වය සහ යුද්ධයේ ඇති කැත අපුල බව පෙන්වන ලියවීම් ඇත්තටම නැති තරම්.. යුද්ධය කොහෙත් බිහිසුනුයි.. කැතයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. යුද්ධය කොහෙත් බිහිසුනුයි ++++++++++++++

      Delete
  2. යුද්ධයේ බිහසුණු බව ඇගටත් හදවතටත් දැනුනා

    ReplyDelete
    Replies
    1. එසේ නම් මගේ වෑයම සාර්ථකයි

      Delete
  3. රුසියන් යුද චිත්‍රපටියක් බැලුවා වගේ. බොහොම අගෙයි.

    මේ වගේ කතා අපේ රටේ පහුගිය කාලයේ යුද්ධයේ යෙදී සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගෙන් අහගන්න පුළුවන්. නමුත් කවුරුවත් උනන්දු වෙන්නේ නැහැ ඒ වගේ කතා හොයාබලන්න.

    ReplyDelete
    Replies
    1. ඔබට බැරිද එකී සොල්දාදුවන් හමුවී ඔවුන් ගේ නොකියවුණු සත්‍ය කතා ලේඛනගත කරන්න මෙය ජාතික සේවයක් වේ

      Delete
  4. ඉතා හොඳ කතාවක්. මේක පරිවර්තනයක්ද? මම කලින් කියවලා නැති එකක්. මට උනු හිම කියන නවකතාව මතකෙට එන්නේ. මේක ඒකේ කොපියක් කියන්න හදනවා නෙවෙයි. මේ දෙක වෙනස්. නමුත් මට මේක තමයි මතකෙට එන්නේ. ඒ නවකතාවත් යුද්දයේ කුරිරු බව කියන අපූරු නමුත් කේදනීය කතාන්දරයක්.
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. මේක මම ලියපු කෙටි කතාවක් පරිවර්තනයක් නොවේ

      Delete
    2. එසේනම් විශිෂ්ටයි. මෙය රුසියන් බව රැඳුනු කතාන්දරයක්. ඉතාම අගෙයි.

      Delete
  5. මැක්සිම් ඉවානවිච් කියා තවත් රුසියන් බව රැඳුනු කතාන්දරයක්
    http://transyl2014.blogspot.ca/2015/02/blog-post_13.html

    ReplyDelete
  6. අසම සමයි...!!ආරාධනා කරනවා ඔබට අපේ සොල්දාදුවකුගේ චරිතයක් මවන්නට..

    ReplyDelete
    Replies
    1. යුද්දයේ අතුරු කතාවක් කියවූවාද ?

      Delete
  7. කියන්න වචන නෑ. විශිෂ්ඨයි කියලා තමයි කියන්න වෙන්නේ..

    යුද්ධය කාට උනත් යහපත් හැඟීමක් නම් නෙමෙයි.. ඒක හොදට මේ අකුරු අතර කියවෙලා තියෙනවා..

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook