Saturday, February 20, 2016

නෙල්සන් මෙන්ඩිස් සර්

 


නෙල්සන් මෙන්ඩිස් සර් නාලන්දේ ක්‍රිකට් ගුරුවරයා මෙන්ම අංශ කීපයක් භාරව ක්‍රියා කලේය​. මට මුලින්ම නෙල්සන් මෙන්ඩිස් සර් හමු වන්නේ 1977 වසරේදී ය . එවකට මම පහ වසරේ සිසුවෙක්මි. අපගේ පන්තියට පැමිණි ඒ මහතා ( මගේ මතකය අනුව​) මාර්තු මාසයත්  දෙසැම්බර් මාසයත් අතර කාල පරාසයේ ඉපදුණු සිසුන් ක්‍රිකට් කණ්ඩායමට බඳවා ගැනීමට සුදුසු දැයි බැලීම සඳහා පසු දින පාසල අවසන් වීමෙන් පසුව ක්‍රීඩා පිට්ටනිය අසලට එන ලෙස දැනුම් දුන්නේය​. 

ක්‍රිකට් කණ්ඩායමට බැඳීමට අාශා කල සිසුන් රොත්තක් පසුදා ක්‍රීඩා පිට්ටනිය අසල වූහ​. මේසා බඩගිනි හමුදාවක් අපේක්‍ෂා නොකල නෙල්සන් මෙන්ඩිස් මහතා සියළුම අපේක්‍ෂකයන්ට ක්‍රීඩා පිටිය වටා ෆ්‍රොග් ජම්ප් හෙවත් ගෙඹි පිමි වට පහක් දාන්නට කීවේය​. එසේ ගෙඹි පිමි වට පහක් දාන්නන් පූර්ව වටයට තේරේ. 

මෙසේ ගෙඹි පිමි වට දෙකක් පමණ යන විට බඩගිනි හමුදාවේ සියයට 75 පමණ හැලී ක්‍රිකට් උණ කාරයන් පමණක් ඉතිරි වූහ​. ඔවුන් අතරින් ද ලේවල ක්‍රිකට් අන්තර්ගතවූ ස්වල්ප දෙනෙක් නාලන්දා කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමට තේරුණහ​. ඔවුන් අතරින් සුනන්ත වික්‍රමසූරිය ( වර්තමානයේ ගලේවෙල ප්‍රදේශයේ වියාපාරිකයෙකි) කුෂාන්ත , පතිරගේ යන සිසුන් මේ කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කල බව මට මතකය​. 

වරක් නාලන්දාවට හය වසරට පැමිණි එක් සිසුවෙක් තමා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේදී ක්‍රිකට් සෙල්ලම් කර  තිබෙන බව නෙල්සන් මෙන්ඩිස් සර්ට කීවේය​. නෙල්සන් මෙන්ඩිස් මහතා ඔහුගෙන් රිච්මන්ඩ් විද්‍යාලය ගැන ප්‍රශ්න කීපයක් ඇසුවේය​. ඉන් ගොත ගැහුනු එම සිසුවා තමා ඉගන ගත්තේ ඇලෝසියස් විද්‍යාලයේ බව පසුව කීවේය​. ඉන් පසු කොල්ලන් මෙම සිසුවාට ඇලෝරිචා කියා නමක් පටබැන්දහ​. 

නෙල්සන් මෙන්ඩිස් මහතා මෙන්ම එතුමාගේ සොහොයුරු ලයනල් මෙන්ඩිස් මහතාද නාලන්දයේ ගුරුවරු වූහ​.  ලයනල් මෙන්ඩිස් මහතා ආනන්දයට ගිය කතාවද රසවත් එකකි. මේ කතාව මට කීවේ නාලන්දයේ ආදි සිසුවෙකු වූ සරත් අයියා හෙවත් සරත් මෙන්ඩිස්ය​. 

එක්දහස් නවසිය හැට ගනන් අවසන් භාගයේ හෝ හැත්තෑව මුල් කාලයේ මෙම සිද්ධිය සිදුවී තිබේ. නාලන්දාවේ එක් ගුරුවරයෙක්  ලයනල් මෙන්ඩිස් මහතාට බොහෝ බාල්දි පෙරලා තිබේ. මේ හිරිහැර උත්සන්න වූ අවස්ථාවක ලයනල් මෙන්ඩිස් මහතා අදාල ගුරුවරයාගේ දෙකන් රතු කොට ඇත​. මෙම සිද්ධිය වූයේ නාලන්දා විද්‍යාලයේ විශාල සීනුව යටදීය​. මේ ගැටුම නිසා ලයනල් මෙන්ඩිස් මහතා ආනන්ද විද්‍යාලයට මාරු කරන ලද අතර නෙල්සන් මෙන්ඩිස් මහතා නාලන්දාවේ  රැඳුනි. 

නෙල්සන් මෙන්ඩිස් මහතා ජීවිත කාලයම කැප කෙරුවේ ක්‍රිකට් වෙනුවෙනි. එතුමා  නාලන්දාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා මෙන්ම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා ප්‍රවර්ධනය සඳහා ඉමහත් සේවයක් කල පුද්ගලයෙකි. නෙල්සන් මෙන්ඩිස් මහතා නාලන්දාව වෙනුවෙන් කැප කල සේවය නිසා බොහෝ දෙනෙක් එතුමා ආදි නාලන්දීයෙක් බවටද සිතූහ​. 

නෙල්සන් මෙන්ඩිස් මහතා නාලන්දාවෙන් විශ්‍රාම ගිය දිනයද මට මතකය​. එදින විදුහලේ රැස්වීමක් පවත්වන ලදි. බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයෝ එතුමාගේ සේවය අගයා කතා කළහ​. අවසානයේදී  නැගී සිටි ලයනල් මෙන්ඩිස් මහතා රැස්වීම ඇමතූ අතර මගදී එතුමාගේ දෙනෙත් වලට කඳුළු ආවේය​. එසේම කතාව අවසනයේ ක්‍රිකට් පිට්ටනිය බාරව සිටි සුළු සේවකයන් දෙදෙනාවූ ඇඩ්ඩින්ටත් බෙනට්ටත් ඉස්තූති කලේය​. 

නෙල්සන් මෙන්ඩිස් මහතාගෙන් සිසුන් ඉගන ගත්තේ ක්‍රිකට් පමණක් නොවේ. එතුමාට දැවැන්ත පෞරුෂත්වයක් තිබුනේය​. අද කාලයේ දේශපාලුවන්  දෙපා මුල වැඳ වැටෙන  ගුරු නිවටයන් හා විදුහල්පතිවරු යැයි කියා ගන්නා  පගා ගහන මව්වරුන් ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන කවටයන් දකින විට  නෙල්සන් මෙන්ඩිස් වැනි අදීන පෞරුෂවයකින් යුතු ගුරුවරුන් ගේ සෙවනේ අධ්‍යාපනය ලැබීමට අප වාසනාවන්ත වූයෙමු. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

8 comments:

  1. ක්‍රිකට් කණ්ඩායමට නොතේරුනත් මේ ගුරුතුමා මම දන්නවා. ඇයි ඇඩ්ඩිං? හෙහ් හෙහ්.

    ReplyDelete
  2. මට මතකයි වරක් (1978?) බිග් මැච් එකට කලින් දවසක ආනන්ද-නාලන්ද ගුරුවරුන් ගේ මැච් එකක් තිබුණා. ඒක බලන්න මාත් ගියා නාලන්දා පිටියට. ඒ එෙහේ ගිය දෙවෙනි දවස.

    මේ මැච් එකේ මෙන්ඩිස් සොහොයුරන් දෙන්නා දෙපැත්තට ක්‍රීඩා කළා!

    ReplyDelete
    Replies
    1. ලයනල් මෙන්ඩිස් මහතා මෑතකදී මිය ගියා

      Delete
  3. 70-77 මැතිණිගෙ රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව උසස් පෙළ විභාගය වෙනුවට ආදේශ කරපු උසස් ජාතික අධ්‍යාපන සහතිකපත්‍ර (HNCE ) පංතියෙ මම මාස හයක් විතර නාලන්දයෙ ඉගෙන ගත්තා. එහි විෂය නිර්දේෂයට විෂයයන් හයක් හෝ හතක් තිබුණා. එකක් ඉංග්‍රීසි. අපිට ඉංග්‍රීසි විෂයය ඉගැන්නුවෙ නෙල්සන් මෙන්ඩිස් මහත්මයා. මම හිතන්නෙ හරියකට පෙළ පොතක් වත් නියම කරල තිබුනෙ නෑ ඉංග්‍රීසි විෂයට. එතුමා අපිට කිව්ව Living English Structure පොත මිලදී ගන්න, එතුමාලත් පාසල් යන කාලෙ භාවිතා කලේ ඒ පොතය ඉංග්‍රීසි ඉගෙන ගන්න ඒ පොත ඉතාම ප්‍රයෝජනවත් වෙයි කියල.

    ReplyDelete
    Replies
    1. ඔහුට හොඳ ඉංග්‍රීසි දැණුමක් තිබ්බා

      Delete
    2. Living English Structure by W. Stannard Allen අම්මෝ අපි ගොඩ ගියෙත් ඔය පොතෙන් ��

      Delete
  4. වලිය දැකපු අය අතර මමත් ඒක්කෙකෙක්. මම හිටියෙ සිනූව ලග උඩ පන්තියේ. අන්තිම පිරීයඩ් ඒකේ උනේ. ඊට පස්සේ දවසක නෙල්සන් මෙන්ඩිස් මහතා සමග තව ගුටි කෙලියක් ගියා ළමයෙකුත් ඒක්කත්. වලියෙ හිටපු ළමයා දැන් හෙන ලොකු දොස්තර කෙනෙක්

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook