Tuesday, February 9, 2016

1973 -1974 ලංකාවේ ආංශික සාගතය






1973 -1974 කාලයේ ලංකාවේ ආංශික සාගතයක් තිබුනේය​. ලෝක ආහාර අර්බුධය මෙන්ම 1970 සමගි පෙරමුණු රජයේ ආර්ථික ප්‍රතිපත්ති නිසාද ආහාර හිඟයක් බලපැවැත්විනි. හාල් පොලු මිරිස් පොලු නිසා හාල් ප්‍රවාහනය තහනම් කොට තිබුනේය​. සතියට දින දෙකක් බත් කෑම තහනම් කරන ලදි. මගුල් ගෙදරකට ආරාධනා කල හැකිව තිබුනේ සීමිත පිරිසකට විය​. පාන් ඇතුළු වෙනත් අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින ලද්දේ සලාක ක්‍රමයකටය​. මයියොක්කා , බතල පරිභෝජනයට බල කෙරුනි. සීනි හිඟය නිසා බොහෝ දෙනෙකු තේ බීමට හුඹස් මැටි සහිත හකුරු හෝ සක්කර යොදා ගත්හ​. ග්‍රාමීය ප්‍රදේශ වල මෙන්ම නාගරික ප්‍රදේශ වල දුප්පත් ජනයා අතර මන්ද පෝෂණය බහුල වූයේය​.  

1973 -1974 සාගත කාලය ගැන ලියවෙන්නේ බොහෝ අඩුවෙනි. අපගේ වර්තමාන Y , Z පරම්පරාව මෙම කාලය ගැන දන්නේම නැත​. මෙකී සාගත කාලය ගැන මෑතකදී  ලියවෙන ලද්දේ සන්නස්ගලගේ අම්මා චරිතාපදානයේ පමණි. 

ඒ කාලයේදී හිඟන පවුල් බොහෝ සෙයින් දක්නට ලැබුණි. එසේම නගර පුරවා හිඟන කොල්ලන් බෝවී තිබුනේය​. මේ හිඟන කොල්ලන් අතර ඉතා උග්‍ර ලෙස මන්දපෝෂණය පැතිර තිබුනේය​. කෝටු වැනි අතපය , කලගෙඩි වන් නෙරා ගිය බඩවල්, ගිලී ගිය ඇස් සහිත හිඟන කොල්ලන් කුණු බක්කි අවුස්සමින් කෑම සෙව්වෝය​. පසු කාලයක වෛද්‍ය පීඨයේදී මැරැස්මස් , ක්වොෂියර්කෝර් , බෙරි බෙරි රෝග පිළිබඳව රූප සටහන් මගින් ඉගෙන ගනිද්දී මට ලංකාවේ ආංශික සාගත කාලයේ කොලඹ නගරයේ සිටි මේ සෝපාකලා මතක් විය​. මොවුන් කිසිවෙකු තම 13 වන උපන් දිනය පසු කලේ නැත​. බොහෝ දෙනෙකු අකාලයේ මරු දුටුහ​. 

එහෙත් දිවි බේරා ගැනීමට වාසනාවන්ත වූ එක් හිටපු මන්දපෝෂී හිඟන කොල්ලෙක් මගේ මතකයට නැගේ. ඔහු මේ කාලයේ බම්බලපිටිය ප්‍රදේශයේ කඩයක අත් උදව් වැඩ කලේය​. ඒ නිසා වැටුප් වෙනුවට ඔහුට ආහාර ලැබුණි. මේ නිසා ඔහු පණ නළ ගැට ගහ ගත්තේය​.  2008 පමණ කාලයේ මම මේ පුද්ගලයා යළි දුටුවෙමි. වයස 38 පමණ වූවද ළමා කාලයේදී මන්ද පෝෂණයට ලක් වීම නිසා ඔහුගේ සිරුර 16 වියැති ළමයෙකුගේ මෙනි. ඔහු 1973 -1974 කාලයේ ලංකාවේ පැවති ආංශික  සාගතයේ ජීවමාන සලකුණකි. 

මෙම ආංශික  සාගත කාලයේ ලංකාවේ මධ්‍යම පාන්තිකයන්ට පවා ආහාර හිඟයට මුහුණ දෙන්නට සිදු වූහ​. සලාක ක්‍රමයට ආහාර බෙදා හැරීම නිසා බොහෝ දෙනෙකු සමුපකාර මැනේජර්ලා මිතුරු කර ගන්නට වෑයම් දැරූහ​. ඒ කාලයේ ළමුන් සවස සෙල්ලම් කරමින් සිටියද පාන්කාරයා ආ විගස පෝලිම් වලට දිව ගියේ පාන් ගැනීමටය​. එක් අයෙකුට එක් පාන් ගෙඩියකි. එම නිසා නිවසේ සිටින කොල්ලා බල්ලා පවා පාන් පෝලිමේය​. 

මිනිසුන් කුණු බක්කි අවුස්සා කෑම සොයනවා මම දුටුවෙමි. එසේම  සරස්වතී තෝසේ කඩය ඉදිරි පස තිබූ කුණු බක්කියේ තිබූ කෙසෙල් ලෙලි අනුභව කරන මිනිසුන් මම දුටුවෙමි. සතියකට වරක් එක් සිඟන කොල්ලෙක් අපේ නිවසට ඒමට පුරුදුව සිටියේය​. ඔහු නිවසේ ඉතිරි වන ආහාර , පරණ ඇඳුම් එකතු කරගෙන යයි. ඔහු සිටියේ කැළනි පාලම යට පැල්පතකය​. පියා අංශභාගයෙන් පෙලෙන්නෙකි. සතියකට වරක් ඔහු පයින්ම කොලඹ එයි. ගෝනියක් පුරා පරණ කඩදාසි , ආහාර ද්‍රව්‍ය , පරණ ඇඳුම් එකතු කරගන්නා ඔහු පයින්ම කැළනියට යයි. ආර් ආර් සමර්කෝන් මහතා කැළනි පාලම නාට්‍ය සදන්නේ මෙම සත්‍ය ජීවිත දැකීමෙනි. 

වරක් නවසීලන්තයට ගිය අපගේ ඥාතියෙක් අනගි තෑග්ගක් එවා තිබුනේය​. එය කුඩා ප්‍රමාණයේ ක්‍රාෆ්ට්ස් චීස් පෙට්ටියකි.  ඇපල් , මිදි , චීස් , බටර් , බේකන් දකින්නටවත් නොලැබුණු යුගයක අප ඥාතියාගේ කුඩා  ක්‍රාෆ්ට්ස් චීස් පෙට්ටිය අතිශයින්  අගය කලෙමු. අරලියගහ මන්දිරයේ සහ ඔබරෝයි හෝටලයේ ඇරුණු කොට කොලඹ තිබූ එකම ක්‍රාෆ්ට්ස් චීස් පෙට්ටිය එය විය​. එම චීස් කෑල්ල සම සමව පවුලේ සැම දෙනාටම කපා දෙන ලදි. මගේ චීස් කෑල්ල කෑමට පෙර මම බොහෝ වේලාවක් සුවඳ බැලුවෙමි. වර්තමානයේ කෑමට අතපසුවීම නිසා නිසා ශීතකරණයටම පරණ වන චීස් ඉවතලන විට මට උක්ත අතීත සිද්ධිය මතක් වේ. 

ලංකාවේ පෙර පැවති සාගත තත්වය මම මගේ පුතා ඇතුළු ඤාතී පුතුන්ට කියා දෙමි. ඔවුන්ට එවැනි කාලයක් ගැන සිතා ගැනීමටවත් නොහැකිය​. ශීතකරණය ඇරිය විට ආහාර තොග ඔවුන් ගේ දෙනෙත් ඉදිරිපිටය​. දුරකතනයෙන් ඇණවුම් කිරීමෙන් විනාඩි 15 - 20 ඇතුලත පිත්සා හෝ ඉන්දියානු හෝ චීන කෑම ඔවුන්ට දොරකොඩටම ගෙන්වා ගත හැක​. අවන්හලකට ගොස් අවශ්‍යා ඕනෑම කෑමක් ඇණවුම් කල හැක​. සුපිරි වෙළඳ සැලකට ගිය විට චීස් වර්ග විසි තිස් ගනනකි. ඔවුන් ඇතැම් විට මගේ කතා අතිශයෝක්තියක්ද කියා සිතති. 

1973 -1974 කාලයේ ලංකාවේ ආංශික සාගතය සියැසින් දුටු අප වඩාත් ප්‍රත්‍යාස්ථ බව මට සිතේ. ඒ මන්ද යත් 2013 වසරේ දෙසැම්බර් මාසයේ ඔන්ටේ‍රියෝව හරහා ගිය අයිස් කුණාටුව නිසා දින කීපයක් විදුළිය රහිතව කල් ගෙවීමට සිදු විය​. වෙළඳසැල් වසා තිබුණි. ශීතකරණ වල තිබූ ආහාර නරක්ව ඉවතලන ලදි. එහෙත් මේ කාලය මට ආතතියක් ගෙන දුන්නේ නැත​. පාන් රාත්තල් දෙකකින් සහ රුසියානු වෙළඳසැලකින් මිලට ගත් කුඩා සාලා - ඌරුමස් මේදස් තෙල්  කෑල්ලකින් මම දින දෙකක් ගත කලෙමි.  අනෙකුත් පුද්ගලයන් සහන සේවා මධ්‍යස්ථාන සොයාගෙන යන විට මම බ්ලැන්කට් පෙරවාගෙන දිවා කාලයේ එළියෙන්  දොස්තොයොව්ස්කි ගේ කරමසෝ සහෝදරයෝ පොත කියවූයෙමි. 

කෙසේ නමුත් 1973 -1974 කාලයේ ලංකාවේ ආංශික සාගතය ගෙනදුන් අභාවවාචකයන් බොහෝ වෙති. සාගතයට අසුව ළමුන් 3000- 5000 අතර ප්‍රමාණයක් අකාලයේ මරු දුටු බව මම සිතමි. වීදි දරුවන් වූ ඔවුන් ගැන කිසිම ආයතනයක් සංඛ්‍යාලේඛන තබා ගත්තේ නැත​. විනාශව ගිය මෙම මනුෂ්‍ය කසළ ගැන අද දිනයේ කිසිවෙකු කතා නොකරති.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

28 comments:

  1. මේ සාගතය ඇතිවීමට බලපෑ ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දුන්නේ එවකට මුදල් ඇමතිව සිටි ආචාර්ය එන්.එම්.පෙරේරා මහතායි. එම ප්‍රතිපත්තිය අයහපත් බලපෑම් ඇතිකළේ අර්ධ නාගරික සහ නාගරික සමාජයටති. ගම්වල කොස් දෙල් අල බතල තිබුන නිසා මිනිස්සු සාගතයට හසුවුනේ නැහැ. අර්ධ නාගරික ප්‍රදේශවල මල්පෝච්චි වල තිබුණු මල්ගස් ඉවත්කොට ආහාර බෝග වවන්න පටන්ගත්තා. හුදෙක් වෙළඳපොලෙන් යැපෙන නාගරික සමාජය දැඩි දුෂ්කරත්වයට පත්වුණා.

    මට මතකයි අම්මා පාන්දර 5.30 ට මාව නින්දෙන් ඇහැරවා පාන් පෝලිමට යවනවා. එක පාන් ගෙඩියයි ගන්න පුළුවන්. නමුත් මමත් මල්ලිත් පෝලිමේ එකිනෙකාට ඈතින් සිට පාන්ගෙඩි දෙකක් අරන් එනවා. නැත්නම් ගෙදර ඔක්කොටම කන්න මදි.

    බයිසිකල් ටයර් එකක් ගන්න පරණ ටයර් එක දෙන්න ඕනේ. බැටරි කෑල්ලක් ගන්න බැහැපු බැටරිය දෙන්න ඕනේ, ලාම්පු මැන්ටල් එකක් ගන්න කැඩුණු මැන්ටල් එක දෙන්න ඕනේ, අඟහරුවාදා සහ සිකුරාදා හෝටල් වල බත් ඉවීම තහනම්. මංගල්‍ය උත්සවයකට ආරාධනා කලහැක්කේ අමුත්තන් 100 කට පමණයි. රටපුරා, හාල් පොලු සහ මිරිස් පොලු යනුවෙන් හැඳින්වුන මාර්ග බාධක යොදා සහල් සහ වියලි මිරිස් ප්‍රවාහනය දැඩිව සීමාකර තිබුණා. අපි තේ බිව්වේ රට ඉඳි එක්ක.

    දේශීය නිෂ්පාදන කෘෂිකර්මය වර්ධනය කිරීමේ උත්සාහයක් ලෙස මේ වැඩපිළිවෙල දියත් කලත්, එය සාර්ථක වුනේ නැහැ. අවසානයේදී ලංකා සමසමාජ පක්ෂය සමගි පෙරමුණු ආණ්ඩුවෙන් වෙන්වූ අතර 1977 දී ඒ ආණ්ඩුව පරාජයට පත්වුනා. ඊට පස්සේ අද අපි මේ බඩ පිනුම් ගහන විවෘත ආර්ථිකය ආවා.

    ReplyDelete
    Replies
    1. මගේ දුරස්ත මතකය නම්, පාන් සලාක පතක් තිබුණු බවත්, එක් අයෙකුට එක් දිනකට ලැබුණේ පාන් ගෙඩියකින් කාලක් බවත් ය.

      Delete
  2. //දොස්තොයොව්ස්කි ගේ කරමසෝ සහෝදරයෝ පොත කියවූයෙමි.//සිටුවර මොන්තික්රිස්තෝ, කොර්සිකානු සොහොයුරෝ, මේ පොතුත් හරිම රසවත්.
    සිටුවර මොන්තික්රිස්තෝ, කොර්සිකානු සොහොයුරෝ, මේ පොතුත් හරිම රසවත්.
    විචාරකතුමෝ ඔය පෙරේරා අපේ ගමේ(යටියන්තොට) .මිනිස්සු තවමත් හරියට ගරු කරනවා.

    ReplyDelete
    Replies
    1. එතුමා විශිෂ්ඨ දේශපානඥයෙක් එය අවිවාදිතයි. 1972 සිට 81 ඇක්වා මා සිටියේ දෙහිඕවිට. 81 සිට 2000 වනතුරු සිටියේ රුවන්වැල්ලේ. එතුමා ගැන අත්දැකීම් රාශියක් මට තිබෙනවා. එතුමා කරන එක කතාවක් ඇහුවම අද ඉන්න රූකඩ පප්පලා මොන පුස්සොද කියලා හිතෙනවා. එතුමා මෙරට නිල නොලත් අගමැතිවරයා කියලයි මිනිස්සු කිව්වේ. මම එතුමා පමණක් නෙවෙයි යටියන්තොට වින්සන්ට් පෙරේරා මහත්තයා වගේම ඩොක්ටර් ෆොන්සේකාත් ලඟින් ආශ්‍රය කළා.

      Delete
    2. අයියෝ අසුතුනේ මාව අම්මයි තාත්තයි ටල් අම්මලැ ගෙදර ගෙනත් දාල කනිස්ටෙට දාල , අන්දෝ සංසාරයි අර අපේ අක්කා විතරයි මට ඒ මහ ගෙදර දිරවන්නේ , මාමලාගේ ආදරේ අදුරගන්ඩ සැහෙන කාලයක් ගියා , කලබල දවස්වල ( කවදද හරියටම දන්නේ නැ) , ටල් අම්මයි මායි චූටි මාමයි , චූටී පුංචියි ආවා ටවුමට , V T කඩේ ගිනි තියල ඒ ඉස්සරහ ලොරියක් පෙරලල දාල තිබුනා , සමහරක් කඩ ගිණි තියල , ඒත් රංජි මාම හෝටලය ඇරල , පාලමට ලගින්ම තියන කඩයෙන් ( බුලත් කඩය ඉස්සරහ තිබුන , අදටත් ඒ කඩය තියනවා ඒ ගොඩනැගිල්ලම තමා , ) බඩු ඇරගන අපි එලියට බැස්සා , පත්තරයක ඔතලා ගෝනි නුලකින් බැන්ද ලොකු මාරි විස්කෝතු සීයකුත් මට ලැබුනා , ( අපේ දෝනිලට ඒකාලේ මාරි මෙච්චර ලොකුයි කියුවහම දැං හිනැහෙනවා ) කඩෙන් එලියට බැහැල අර ලස්සන ආරුක්කු පාලම පැත්තට හැරෙනකොටම මං හිටියේ ටවුම පැත්ත බලාගන , ඩෝං ගාල වීටි කඩේ ඉස්සරහ පිච්චි පිච්චි තිබුන ලොරිය උඩ ගිහින් බිමට වැටුනා
      , ගෙදර එනකං මං අහපු එක පුරස්නයකටවත් හරි උත්තරයක් ලැබුනේ නැ , මං හැම දාම අහන්නේ මරි මෝඩ ප්‍රශ්නද කොහෙද.

      Delete
    3. VT කඩේ මුදලාලි පවුලම පැනලා ගිහින් බේරුණා. නමුත් දැරණියගල බාලරත්නම් මුදලාලිව පණපිටින් ගිනිගොඩකට දාලා මැරුවා. දැනට මේජර් ජෙනරල් නිලයේ ඉන්න නිලධාරියකු තමයි ලුතිතන් වරයකු වශයෙන් ආවේ ඔය තත්වය මැඩපවත්වන්න. ඔහු එය සාර්ථකව කළා. තවත් කඩ ගිනිතියන්න නොදී. ඒ කාලයේ අඟුරුවැල්ල, රුවන්වැල්ල,කරවනැල්ල,යටියන්තොට,දෙහිඕවිට,දැරණියගල, ප්‍රදේශ භාරව සිටි නිලධාරියා බ්‍රිගේඩියර් නිලය දක්වා ගොස් විශ්‍රාමිකව සිටියදී මියගියා. ඔහු ඉතා විශිෂ්ට සේවයක් කළා වතු ද්‍රවිඩ ජනතාව බේරා ගැනීමට.

      Delete
    4. දැරණියගල බාලරත්නම් මුදලාලිව පණපිටින් ගිනිගොඩකට දාලා මැරුවා /////////////////////අපි සහ රුවන්ඩාවේ ගෝත්‍රිකයෝ අයිසිස්ලා අතර එතරම් ලොකු වෙනසක් නැහැ වගේ

      Delete
    5. අදටත් අපේ ගෝත්‍රික ලක්ෂණ පෙනෙන අවස්ථා බොහොමයි.

      Delete
    6. එතකොට ඔය කියන ඒවා බටහිර රටක් කෙනෙක් කලොත් එයත් ගෝත්‍රිකයිද?

      මම එහෙම අහන්නේ ලංකාවේ තිබුනු බොහෝ වධ (උදාහරනයක් ලෙස ගුදයට කටු කම්බි ඇතුල් කිරීම, විදුලි බිමට දැමූ කාමර වලට දැමීම, යටි පතුලට පහරදීම ආදිය ) ලංකාවේ " සොයා ගත් ක්‍රම " නොවන නිසා. බොහෝ ඒවා බ්‍රිතාන්‍ය වැනි රටවල නිශ්පාදන.

      Delete
  3. ජනවාරි 8 වෙනිදා නොවෙන්න මාර්තු වල ආර්ථික සම්භාධක වැටුනනම් මේ වගේ වෙනවා. වෙනසකට තියෙන්නේ ඒ කාලේ සවුදි අරාබිය වගේ රටවල් අපිට තෙල් දුන්නා, අනික තෙල් 1974 විතර වෙනකං හරි ලාබයි. අපට රට ඉඳි ආවේ අපේ තේ වෙනුවට ගෙවීම හැටියට. මාර්තු 2015 දී අර දේ වුනානම් SWIFT ආදිය බ්ලොක් කරන නිසා තෙල් වුත් නෑ

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඇන් ඇම් කොරන්ඩ කියල මැතිනි කොරපු දේ විතරක්ම නෙමෙයි , ඒ කාලේ ලෝකෙටම ආහාර අර්බුදයක් තිබුනද

      Delete
    2. ඒ කාලේ ලෝකේ ආහාර අර්බුධයක් තිබුණේ නැහැ. 1973 විතර ඇතිවුණේ තෙල් අර්බුධය. ඒක වුණේ ඊස්‍රායල පලස්තීන ප්‍රශ්ණෙ සම්භන්ධ ලරගෙන. විදේශයන්ගෙන් රටට ආහාර ගෙන්වීම නැවැත්වීම තමයි අර්බුධයට හේතුව. ඒවගේ එකක් කරන්න ඕන ක්‍රම ක්‍රමයෙන්. ඒ කියන්නේ ටික ටික ආහාර ආනයන බදු වැඩි කලා නම් එක මට්ටමකදී දේශීය නිශ්පාදනය ලාභදායී වෙනවා. එහෙම කරලා නිශ්පාදනය වැඩි වුණාම ගෙන්වීම නවත්වන්න පුළුවන්. එක පාරටම කලාම රටේ නිශ්පාදනය වැඩි වෙනකන් හිඟයක් එනවා. ඒ වුණත් තිරිඟු පිටි ආනයනය සීමා කිරීම තමයි පාන් පෝලිම් වලට් හේතුව. රටේ තිරිඟු නිශ්පාදනයක් නැතිකොට ආනයනය සීමා කරාම ප්‍රශ්ණ ඇතිවෙනවා. මිනිස්සු පුරුදුවෙලා ඉන්න කෑම ගැන එහෙම තීරණ ගැනීම ප්‍රශ්ණ සහගතයි.

      Delete
  4. //කෙසේ නමුත් 1973 -1974 කාලයේ ලංකාවේ ආංශික සාගතය ගෙනදුන් අභාවවාචකයන් බොහෝ වෙති. සාගතයට අසුව ළමුන් 3000- 5000 අතර ප්‍රමාණයක් අකාලයේ මරු දුටු බව මම සිතමි. වීදි දරුවන් වූ ඔවුන් ගැන කිසිම ආයතනයක් සංඛ්‍යාලේඛන තබා ගත්තේ නැත​. විනාශව ගිය මෙම මනුෂ්‍ය කසළ ගැන අද දිනයේ කිසිවෙකු කතා නොකරති.//
    මේ කාලය ගැන සිදුවුණු මොනවා හෝ දන්න පර්යේෂණ තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කියන්න දන්නේ නැහැ

      Delete
  5. හාල් පොලු මිරිස් පොලු කතා අම්ම කියලදීල තියෙනව. අහල තියන විස්තර වලට අනුව ඔය කියන ක්‍රමවේදය සාධාරණව ක්‍රියාත්මක උනේ නැහැ කියල තමයි අහල තියෙන්නේ.. ලංකාවේ ඉතිහාසය පුරාම ආණ්ඩු පෙරලුවේ කුස්සියෙන් කියන එක ඇත්තක්.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඉතිහාසය පුරාම ආණ්ඩු පෙරලුවේ කුස්සියෙන් කියන එක ඇත්තක්. +++++++++++++++++

      Delete
  6. ඒ කාලේ පැවති ආහාර අර්බුදය ගැන 1977 ගම්පහ ඡන්ද රැස්වීම්වල පණ්ඩිත ප්‍රේමදාස නම් කවියෙකු ගායනා කළ කවියක් මෙසේය.

    අම්මා තාත්තා අයියා ලොකු අක්කී
    මල්ලී නංගිලා සමගින් බලු කුක්කී
    අදිනා බව කන්න හොයමින් කුණු බක්කී
    දන්නේ නැහැලු තව හොරගොල්ලේ ලොක්කී!

    ReplyDelete
    Replies
    1. ඇයි පොල් බෑ දෙකක් අරගෙනත් ආව නේද ?

      Delete
  7. I had the bad taste of that era, as one of the commenter wrote , people those who lived in urban areas suffered badly than the people who lived in rural areas. We lived in a rural area where self sufficient with variety of food stuff such as Kos,Dell Bathala & manioc etc. and rice too. Even though we do not have paddy fields, most of our relatives are paddy cultivators and we helped them for meals. Though, my farther didn't like his kids doing those kind of petty jobs, I am sure my mother relieved vastly managing her lean kitchen. One positive side of the Waga sangramaya was most people tend to utilize their land for food production. this eventually saved big chunk of foreign exchange we spend for food stuffs. However, our politicians try to plant soviet type socialist economic policies in this land ignoring peoples freedom of choice for better commodity or service.

    ReplyDelete
  8. "ඔවුන්ට එවැනි කාලයක් ගැන සිතා ගැනීමටවත් නොහැකිය​. ශීතකරණය ඇරිය විට ආහාර තොග ඔවුන් ගේ දෙනෙත් ඉදිරිපිටය​".

    ඒක ඇත්ත. මට ලඟදි Aussie එක්කෙනෙක් කිව්වා ගෙදර fridge එකේ දොරේ ගැහුවා කියලා African රටක මඩ වතුර වලකින් වතුර බොන ළමයෙකුගේ පින්තුරයක්. එදා ඉඳල එයාගේ teenage son fridge එකේ අරක නෑ මේක නෑ කියල complaint කරන්නේ නැතිලු.

    ReplyDelete
    Replies
    1. ළමයින්ට ඉතිහාසය කියා දීම වැදගත්

      Delete
  9. අපේ පරම්පරාවෙ උදවිය යාන්තමට හරි මේ ඉතිහාසය ඇහුවෙ දෙමව්පියන්ගෙන් පමණයි !

    ReplyDelete
  10. මෝඩ සිරිමාගේ ගොන් ආණ්ඩුව නිසා අපේ පව්ලේ ළමයි පස්දෙනාම අපමණ දුක් වින්දා...සිරිමා චීස් බටර් හැම් බේකන් ගිලලා ඊරි වගේ මහත් වෙද්දී...ඈ මුළු රටටම බත් වෙනුවට මයියොක්කා ගිල්ලෙව්වා. සමූපෙන් හාල් වෙනුවට දුන්නේ ඉන්නල. සිරිමාගේ ජනතා කොමිටි කාරයෝ උන්ගේ නෑයින්ට විතරක් පාන් දුන්නා. අපි ධර්මාශෝකේ මිදුලේ මයියොක්කා වැව්වා. අම්මා ඉස්කෝලේ (කරන්දෙණිය මධ්‍යමහා විද්යාලය) ඉඳලා එනකොට පර්ස් එකේ හාල් හංගා ගෙන ඇවිත් අපිට බත් උයලා දුන්නා. හාල් පොල්ලේ ඉන්න පොලිස් කාරයින්ටයි ජනතා කොමිටි කාරයින්ටයි අහුඋනොත් කම්මුතුයි. මිරිස් හාල් ගන්න සතොසේ කිලෝමීටර් බාගයක් විතර දිග පෝලිම් තිබුනා පාන්දර හතරට විතර නැගිටලා ගිහිං මන් පෝලිමට එකතු උනා. එදාට ඉස්කෝලේ ගියේ නෑ. බාල නයිලෙක්ස් සාරියක්, ජිල් කලිසමක් ගන්න ගෑණු පිරිමි ළමයි කට්ට අව්වේ සතොසේ දඟර පෝලිමේ හිටියා. ඉස්තිරික්කයක් වැනි අත්‍යාවශ්‍ය විදුලි උපකරණයක් වත් කොහෙවත් ගන්න තිබුනේ නෑ. ගුරුවරුන්ගේ දරුවන් නිසා අපි නොමැරී බේරුනා. අපි ඇට කෝටු වෙලා හරි බේරුනේ ලොකු අම්මා කොස් සහ මයියොක්කා බටපොලේ ඉඳලා ගෙනත් කැව්ව නිසා. හරි විදියට නම්...සැප්තැම්බර් 26 වෙනිදට...බණ්ඩාටයි (අපිට තිබුණු වීශිෂ්ඨ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපන ක්‍රමය නැති කලාට ) රට අර්ධ කොමියුනිස්ට් රාජ්‍යයක් කල...උගේ මෝඩ ගෑණිටයි ඇන් ඇම්ටයි වලෙන් ආයෙත් ගොඩට අරගෙන වෙඩි තියන්න ඕනේ. මේ හරක් ජාතික වීරයෝ විදියට සලකලා සමරණ කොට ඇඟේ මාළු ගඟේ නටනවා.

    ReplyDelete
    Replies
    1. ඒ මඩ ඒ විදියටම කාපු කෙනෙක් හැටියට මමත් සම්පු්‍රනයෙන්ම ඒකගයි මේ කතාවට. බන්ඩාගේ තාත්තා ඉංගීරීසීන්ට කත් අැදලා හොයා ගත්ත සල්ලිවලින් බන්ඩාව ඒන්ගලන්තේ අැරලා උගන්නලා ගෙන්නලා අපට අැරියා. තාම ඒ අැරපු අැරිල්ල හොදා ගන්න දෙන්නේ නැහැ. බන්ඩාගේ තාත්තාගේ ඉදලා බන්ඩයි සිරිමයි, උන්ගේ මෝඩ පුතයි, උද්දච්ච දෙවෙනි දුවයි ඔක්කොම ඒකයි.

      Delete
  11. ඇන් ඇම් ගෙන් වූ සේවය වගේ ම වූ වැරදි දෙකක් තියෙනවා. පළමු වැන්න බැංකු සේවකයන් වර්ජනය කරන විට ඒවාට සේවකයන් නම් කරන්න කියලා මන්ත්‍රිවරුන්ට කීම. මහජන නියෝජිතයන් වසයෙන් එය යහපත් පරමාර්ථයෙන් කළ දෙයක් වන්න පුඵවන්. ඒත් ඒක නැවතුණේ "රෙස්ට් හවුස් පත්වීම්" දීම දක්වා දුරදිග ගිහින්'. 1972 ඔස්මන්ඩ් ජයරත්න වාර්තාව අනුව විහ්වවිද්‍යාලයවල පටන් ගත් පාඨමාලා ඉවර වූ පසු සැමට අනිවාර්යෙන් රුකියා ලැබුනා. ඒ රැකියා ගත්ත හාරිස්පත්තුවේ කෙනකුගේ ගෙදරට ඇවිත් රස්සාව නැති කරනවා කියලා අල්ලස් ගත් (මන්ත්‍රිගේ මල්ලියෙක්) අවස්ථාවක් ගැන මම දන්නවා. වර්තමානය දක්වා තිබෙන රුකියා ගැනීමේ දී මන්ත්‍රිවරැන්ට අල්ලස් දීමේ ක්‍රමයේ මූලාරම්භක බීජ වැපුරුවේ ඇන් ඇම් බවයි මගේ කල්පිතය. දෙවැන්න මන්ත්‍රිවරුන්ට විශ්‍රාම වැටුපේ නිරමාතෘ ලෙස ඔහුගේ යෝජනාව හොද වෙන්න ඇති. කැප වී වැඩ කරන මන්ත්‍රිවරුන් සිටි ඒ කාලෙට. එහෙත් අද?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook