Saturday, February 13, 2016

වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ :ස්ත්‍රී දූෂණය සහ මිනීමැරුම





වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ විසින් කරන ලද ස්ත්‍රී දූෂණය සහ මිනීමැරුම පිළිබඳව මම අධ්‍යනයක් කලෙමි. මේ සඳහා වෛද්‍ය   බාලගේ සමග මීගමුව රෝහලේ එකට සේවය කරන ලද වෛද්‍යවරු , හෙදියන් සහ ඔහුව දැන සිටි රෝහල් කාර්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ගෙන් දුරකථන සම්මුඛ සාකච්ඡා මම ලබා ගතිමි. ඔවුන් පවසන අන්දමට වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ සන්සුන් නමුත් ගුප්ත චරිතයකි. ඔහු රෝහලේ වැඩ හොඳින් කලේය​. ඔහුගේ වැඩ පිළිවෙලය​. අත් අකුරු ඉතා ලක්‍ෂණය​. එහෙත් ඔහු ප්‍රතිකාර සඳහා පැමිණි ගැහැණු ළමුන් කෙරෙහි  අනිසි බලපෑම් කරන බව සමහර වෛද්‍යවරු සහ හෙදියෝ ආවේදනය කොට තිබුණි. වරක් එක් තරුණ කාන්තාවකට රෝගී පරික්‍ෂාවේදී අනිසි අතවරයක් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනාවක් ආවද අනෙකුත් වෛද්‍යවරු එක්ව එය සමථයකට පත් කරනු ලැබීය​. ඔහු පිළිබඳ පරීක්‍ෂණ කල මීගමුව පොලිසිය සහ රහස් පොලිසිය තවමත් නොදැන සිටින කරුණක් නම් බාලගේ කරාටේ ශූරයෙකි. කොට පුද්ගලයෙකු  වූවද ඔහු ශක්තිමත් ය​. 

චමිලාට අපරාධයක් කිරීමට පෙර ඔහු කාන්තාවන් කීප දෙනෙකුට අතවර කොට තිබුණි. මේ අතවර කිසිම පොලිස් පොතක සඳහන් වන්නේ නැත​. එසේම වරක් රාගම රෝහලේ හෙදියක් විශක් එන්නත් කොට ගෙන දිවි නසා ගත්තාය​. මෙය දිවි නසා ගැනීමක් නොව බාලගේ විසින් අතවර කොට  විශක් එන්නත් කොට මරා දමන ලද කාන්තාවක් බවටත් මතයක් පවතී. මෙම හෙදිය ඔහුගේ බිරිඳ ගේ යෙහෙලියකි. කෙසේ නමුත් මේ මරණය සනිටුහන් වන්නේ දිවි නසා ගැන්මක් ලෙසටය​. 

මගේ අදහස අනුව සුදර්ශන බාලගේ සීරියල් දූෂකයෙකු මෙන්ම සීරියල් ඝාතකයෙකි. ඔහු චමිලා මුලා කරගෙන පාළු කොරිඩෝවට ගෙනියන ලදි. එහිදී අනපේක්‍ෂිත ලෙස ඔහු ඇයගේ මුහුණට පහර ගසා ඇයව බිම දමයි. බිම වැටෙන චමිලා ගේ හිස පොලවේ ගට්ඨවන බාලගේ ඇයව සිහිසුන් කරයි. ඔහු චමිලාව දූෂණය කරන්නේ ඉන් පසුවයි. දූෂණය කිරීමේදී  ඔහු කොන්ඩොමයක් පළඳියි. එම නිසා ඔහුගේ ශුක්‍රාණු යෝනි මාර්ගයෙන් සොයා ගැනීමට අධිකරන වෛද්‍යවරයා අසමත් වේ. ඇයව දූෂණය කිරීමෙන් පසු ඝන කාඩ්බෝඩ්  එකක තබා ඇදගෙන යන ඔහු ඉන් පසු චමිලාව ඉහළ මාලයේ ජනේලයකින් බිමට දමයි. චමිලා දූෂණයට ලක් වන අවස්ථාව දක්වා කන්‍යාවක් බව පසුව පශ්චාත් මරණ ප්‍රීක්‍ෂණයේදී හෙලිවේ. තවද ඇයගේ ශරීරයේ තුවාල හැට ගනනක් තිබුණි. සමහර තුවාල දූෂකයා විසින් පහර දීම නිසා ඇතිවූ ඒවාය​ (වෛද්‍ය රුවන් එම් ජයතුංග).



චමිලාගේ කතාව 
චමිලා සුරූපීය. පැහැපත්ය. අවුරුදු දහසය ලබන්නට කලින් ඇයට අතමිට හිඟකම මහමෙරක්‌ සේ දැනිණි. චමිලාගේ පවුලේ සාමාජික ගණන අටකි. චමිලා උන්නේ පවුලේ සිව්වැනි දරුවා ලෙසිනි. ඇයට වඩා බාල මල්ලිලා, නංගිලා සිවුදෙනෙකි.  මොණරාගල, දඹලුගල, කටුකූරමණ්‌ඩිය ගමේ උපන් ඔවුනගේ ජීවිත ගලාගෙන ගියේ දුක, කඳුළ හා සුසුම් මැදිනි. ඇයගේ ගම පිහිටියේ ශුෂ්ක, දුෂ්කර, කටුක පරිසරයක්‌ මැදය. ලඳු කැලෑ මැද ගෙවුණ ජීවිතේ මහ දුක්‌බර එකකි. නගරයට යැමට, පාසලට යැමට මහ දුරක්‌ පයින්ම යා යුතුය. කුසට හරිහමන් කෑමක්‌ බීමක්‌ නොමැතිව පාසල් ගිය වාර අපමණය. තවදුරටත් මට ස්‌කෝලේ යන්න බෑ. මම රස්‌සාවකට යනවා.” ඇය සාමාන්‍ය පෙළ දක්‌වා පමණක්‌ පාසල් ගොස්‌ පාසලට ආයුබෝවන් කීවේ නංගිලා, මල්ලිලාට ඒ දුක නොදී ඔවුන්ව මේ ජීවන දුකින් එතෙර කිරීමේ අදිටනිනි. 

 ඥති පුංචි අම්මා කෙනකු ඒ වනවිට කටුනායක ප්‍රදේශයේ ඇඟලුම්හලක සේවය කරමින් සිටින බව ඕ දැන සිටියාය.  ඒ අනුව පාසල් ගමන නතර කර දැමූ චමිලා, පුංචි අම්මා සමග කටුනායකට ආවේ 2004, 2005 වර්ෂවලදීය.  චමිලා මාසෙට උපයන සොච්චම් මුදල, නිවසට යෑව්වේ මහත් ආශාවෙනි.  අම්මේ මේ මුදල්වලින් නංගිලා මල්ලිලා පාසල් යවන්න. ඇඳුම් අරන් දෙන්න. කඩේ ණය පියවන්න ආදී දේ කියමින් චමිලා හැම සතේම නිවසට යෑව්වේ ඇය විඳි වේදනා පවුලේ අයට උරුමකර නොදීමේ දැඩි අදිටනිනි.  

චමිලාගේ පියා ගොවියෙකි. මව ගෙවිලියකි. පියා නමින් ඩී. එම්. අප්පුහාමිය. මව එන්. ඩබ්ලිව්. එම්. කරුණාවතී ය.  චමිලා කටුනායක ඇඟලුම් කම්හලට පැමිණි පසු නැවතුණේ මිතුරියන් සමග කුඩා නැවතුම්පළකය. එය ද අතිශය අවම පහසුකම්වලින් සමන්විත වූ කාමරය. කටුකූරමණ්‌ඩිය වැනි ගමක ඉපිද විඳි වේදනාවලට නොදෙවෙනි වේදනාවක්‌, දුකක්‌ විඳිමින් ඈ සියල්ල කැප කළේ නංගිලා මල්ලිලා, අයියලාගේ ජීවිත සැපවත් කරන්නටය.  

මේ අල්ල පනල්ලේ ඇයගේ එක තනපුඩුqවක පුංචි ගැටිත්තක්‌ අත ගැටිණි. ඇයට බියක්‌ දැනිණි. පියයුරු පිළිකා පිළිබඳ ඇයට සිහියට නැගිණි. ඇයගේ වැඩපළේ මිතුරියකට කී පසු ඇය කීවේ දොස්‌තරවරයකුට පෙන්වන ලෙසය. චමිලා කටුනායක ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍යවරයකු වෙත ගොස්‌ රෝගී තත්ත්වය පිළිබඳ කියා සිටියාය.  වෛද්‍යවරයා චමිලාගේ රෝගය පරීක්‍ෂා කර බලා, මීගමුව රජයේ රෝහලට ගොස්‌ ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට නිර්දේශ කළේය.  චමිලාට තනිකම පුරුදුය. තනිවම ගමන් බිමන් ගොස්‌ පුරුදුය. චමිලාට පෙම්වතෙකුද විය. නමුත් ඒ පෙම්වතා සිටියේ ගමේය. 

චමිලා මීගමුව රෝහලට ගොස්‌ වෛද්‍ය පරීක්‍ෂණවලට භාජන කළ පසු ශල්‍යකර්මයක්‌ ද සිදු කෙරිණි. මේ ශල්‍යකර්මයෙන් පසු වරින්වර වෛද්‍ය සායනයට ගොස්‌ රෝගී තත්ත්වය පරීක්‍ෂා කරගන්නා ලෙසට නිර්දේශ කෙරිණි. ඇය වෙනුවෙන් රෝහලෙන් සායන පොතක්‌ ද ලබාදෙන ලදී.  2007 නොවැම්බර් 12 වැනිදා ද ඇය මීගමුව රෝහලේ සායනය වෙත පැමිණ සිටියාය.  එදින ඇය හමුවේ පෙනී සිටියේ ඉන්දික සුදර්ශන බාලගේ නමැති වෛද්‍යවරයා ය. ඔහු තරුණ වෛද්‍යවරයෙකි. විවාහකයකු වූ එම වෛද්‍යවරයා එවකට කෙළිලොල් දියණියකගේ පියකුව සිටියේය. බිරිඳ හෙදියකි. ඇය සේවය කළේ රාගම රෝහලේය.  

චමිලා දිසානායක නම් වන විසිදෙහැවිරිදි වියේ උන් තරුණියගේ පියයුරු සැත්කම පිළිබඳ වෛද්‍ය සායනයේදී රෝග තත්ත්වයන් නිරීක්‍ෂණය කරන්නට සූදානම් වුවද සායන පොත අස්‌ථානගත වී තිබිණි.  වෛද්‍යවරයා කළේ චමිලා ද කැඳවා ගෙන සායන පොත සෙවීම සඳහා යෑයි කියමින් මීගමුව රෝහලේ හත්වැනි මහලට යැමය. විදුලි සෝපානයේ නැඟී මොවුන් දෙදෙනා පස්‌වැනි මහලට ගිය පසු සිදුවූ දේවල් මීගමුව අධිකරණයේදී එකින් එක හෙළි වූයේ සාක්‍ෂිකරුවන්ගෙන් සාක්‍ෂි විමසීමේදීය.  මේ කියන වෛද්‍යවරයාට අයත් නේවාසිකාගාරය පිහිටා තිබුණේ රෝහලේ හයවැනි මහලේය. එම වෛද්‍යවරයාගේ, බිරිඳ ද, දියණිය ද, මේ නේවාසිකාගාරයට පැමිණෙති. මේ කියන දවසේ නේවාසිකාගාරයේ බිරිඳ සිට නැත.  සායන පොත සොයන්නට ගිය වෛද්‍යවරයා හා චමිලා විදුලි සෝපානයේ නැඟී ඉහළට යන අයුරු දුටු බව සාක්‍ෂිකරුවන් අධිකරණයේදී කියා සිටියහ.  මෙලෙස දෙදෙනා සෝපානයේ නැඟී ඉහළට ගොස්‌, පැයකට පමණ පසු සයවැනි මහලෙන් බිමට වැටී බරපතළ තුවාල සහිතව චමිලා මියගියේ කොයි කවුරුත් කම්පාවට පත් කරමිනි.  

මේ සිද්ධිය පිළිබඳ පොලිසිය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කළේ ඊට පසුවය.  වෛද්‍ය සායනයට ගිය ඇඟලුම් කම්හල් සේවිකාව, මීගමුව රෝහලේ හයවැනි මහලෙන් බිමට පැන්නේ මන්ද? සිද්ධිය පිළිබඳ විවිධ දේ කියෑවිණි.  පොලිසිය සාක්‍ෂි සටහන් කර ගනිද්දී, පොලිසියේ තවත් කණ්‌ඩායමක්‌ සයවැනි මහලේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම පරීක්‍ෂා කරන්නට විය. සෝදිසි කරන්නට විය.  ඒ අනුව ඇඟලුම් කම්හල් සේවිකාවගේ කුඩය, අත්බෑගය, ජාතික හැඳුනුම්පත, සායන පොත හා ලේ තැවරුන යට ඇඳුම් දෙකක්‌ද පොලිස්‌ බාරයට ගැනිණි. එම නඩු භාණ්‌ඩ සඟවා තිබුණේ.. චමිලා සමග සෝපානයේ නැඟී ඉහළ මහලට ගිය වෛද්‍යවරයාගේ නේවාසිකාගාරයට ඉදිරිපිට තිබූ පාළු ගබඩා කාමරයේය. 

මෙම මරණය සම්බන්ධයෙන් සැකකාර වෛද්‍යවරයා පොලිස්‌ අත්අඩංගුවට පත් විය.  මේ අතර හත්වැනි මහලේ සිට හයවැනි මහලට එමින් සිටි බියටි්‍රස්‌ නමැති රෝහල පිරිසිදු කරන (සමාගමකට සම්බන්ධ) සේවිකාවක්‌ සයවැනි මහලට එමින් සිටියාය.  සැකකාර වෛද්‍යවරයා කාඩ්බෝඩ් එකක යමක්‌ තබාගෙන ඇදගෙන යන අයුරු ඇය දැක ඇත.  “සර්… මොනවද? මගෙන් උදව්වක්‌ ඕනෙද? එම සේවිකාව වෛද්‍යවරයාගෙන් විමසුවේ වෛද්‍යවරයාට ගරු කරමිනි.  “ආ නෑ. අවශ්‍ය නෑ” වෛද්‍යවරයා සිනාසෙමින් කී බව එම සේවිකාව අධිකරණය හමුවේ කියා ඇත.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ගොනු කළ නඩුව මීගමුව අධිකරණය හමුවේ වසර හතක්‌ තිස්‌සේ විභාගයට ගැනිණි.  අධිකරණයේදී විමසා බැලූ සාක්‍ෂි අනුව මෙම වෛද්‍යවරයා චමිලා නමැති සායනයට පැමිණි තරුණිය ඉහළ මහලයට රැගෙන ගොස්‌ ඇත.  සයවැනි මහලේ වෛද්‍යවරයාට වෙන්ව තිබූ නේවාසිකාගාරයේදී ඇය දූෂණය කර, පසුව කාඩ්බෝඩ් මත තබා ඇය ඇදගෙන විත් ඉහළ මහලින් බිමට දමා ඇතැයි පරිවේශනීය සාක්‍ෂි මගින් සාධාරණ සැකයෙන් ඔබ්බට ගොස්‌ ඔප්පු වූ බව මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගµQර් මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.  

මෙම වෛද්‍යවරයා ඉතා අමාරුවෙන් අධ්‍යාපනය ලැබූ අයෙකි. ඔහුට සහෝදරියක හා සහෝදරයකු සිටී. මෙම වෛද්‍යවරයා මරදන්කඩවල ප්‍රදේශයේ සිට නිදහස්‌ අධ්‍යාපනය ලබා වෛද්‍ය විද්‍යාලයට පැමිණ වෛද්‍ය උපාධිය ලබාගත් අයෙකි. ඔහුගේ මව ගුරුවරියකි. ඒ ගුරු මව දැන් විශ්‍රාමිකය. පියා රියෑදුරෙකි.  මෙම වෛද්‍යවරයාගේ ඉරණම තීන්දු කෙරෙන නඩු තීන්දුව ප්‍රකාශ කරන්නට නියමිතව තිබුණේ පසුගිය බදාදා (03 වැනිදා) ය.  මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර සැකකාර වෛද්‍යවරයා බන්ධනාගාරයේ රඳවා සිටියදී දෙවරක්‌ම සියදිවි නසා ගැනීමට තැත් කර තිබිණි.  

මෙම වෛද්‍යවරයාට පෙර වැරදි සම්බන්ධ චෝදනා හෝ වෙනත් කිසිදු නඩුවක්‌ නැතැයි සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රී ලාල් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.  මෙම වෛද්‍යවරයා අතින් දූෂණය වූ තරුණිය. සයවැනි මහලින් බිමට දැමූ පසු චමිලාගේ සිරුරේ බරපතළ තුවාල හැට දෙකක්‌ පමණ සිදුව තිබී ඇත.  වෛද්‍යවරයකු, මෙලෙස ක්‍රියා කළේ මන්ද?  පියයුරු ප්‍රතිකාරයට ගිය චමිලා දිසානායක නම් වන විසිදෙහැවිරිදි තරුණිය සිය කන්‍යාභාවය පමණක්‌ නොව ජීවිතයද අහිමි කර ගත්තේ රජයේ පිළිගත් රෝහලක, පිළිගත් වෛද්‍යවරයකුගේ අතින් නම් එය මහා අවාසනාවන්ත තත්ත්වයක්‌ නොවේද?  මෙම වෛද්‍යවරයා ඒ වනවිට සහාය ශල්‍ය වෛද්‍යවරයකු හා සහාය නිර්වින්දන වෛද්‍යවරයකු ලෙස සේවය කරමින් සිටියේය. ඔහුටද වෛද්‍ය විද්‍යාව තවදුරටත් හදාරමින් ජීවිත දස දහස්‌ ගණන් බේරන්නට තිබූ වටිනා අවස්‌ථාව ඉරණම විසින් මහා අවාසනාවන්ත ලෙස ඔහු විසින්ම වනසාගෙන ඇත.  

මීගමුව රෝහල වෙත පැමිණි අවිවාහක රූමත් ඇඟලුම් සේවිකාවක අමානුෂික ලෙස දූෂණය කර හයවැනි මහලෙන් බිමට තල්ලු කර කෲර ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට වැරදිකරු වූ ඉන්දික සුදර්ශන බාලගේ (34) නමැති වෛද්‍යවරයාට, මරණ දඬුවම නියම කළ මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගµQර් මහතා නඩු තීන්දුව දෙමින් කළ ප්‍රකාශය හරි වැදගත්ය.  අධිකරණය හමුවේ ප්‍රකාශ වූ කාරණා හරි වැදගත්ය. එම සාක්‍ෂි හා ප්‍රකාශවලින් මේ සටහන නිමා කරනු කැමැත්තෙමු.   (ශිරාන් රණසිංහ)


වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ ප්‍රකාශය 

මම පදිංචි මරදන්කඩවල. අම්මා විශ්‍රාමික ගුරුවරියක්. පියා රියැදුරු මහතෙක්. මම 5 වැනි වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් පාස්වෙලා නුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළු වුණා. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත රාගම වෛද්‍ය පීඨයට ඇතුළු වී එම්.බී.බී.එස්. වෛද්‍ය උපාධිය ලබා ගත්තා. 2006.10.23 දා මීගමුව රෝහලේ සීමාවාසික වෛද්‍යවරයෙක් ලෙස වැඩ බාර ගත්තා. මීගමුව රෝහලේ 6 වැනි මහලේ කාමරයක මමත් බිරියත් සමඟ නේවාසිකව සිටියා. බිරිය හෙදියක් ලෙස රාගම රෝහලේ ‍රාජකාරි කළා. ඇය මීගමුව සිට රාගම රෝහලට රාජකාරියට ගියා. මගේ කාමරය අසල දුරකතන ක්‍රියාකරුගේ කාමරයත් තිබුණා. මට රෝහලේ සුළු සේවකයන්ගේ උදව් ලැබුණා. ප්‍රාථමික වෛද්‍ය ඒකකයේ මම වැඩ කරන විට ඇතැම් සුළු සේවකයන්ට මම අවවාද කර තිබෙනවා. 2007.11.08 දා බිරියත් සමඟ මම ගමට ගියා. නැවත 11 දා සවස 6.00 පමණ රෝහලේ කාමරයට ආවා. මට ගමේ අය අමතන්නේ ඉන්දික පුතා කියලා. ගමේ වැඩිහිටියෝ කියනවා මාව පෙන්වලා “ඉන්දික පුතාව” ආදර්ශයට ගෙන ගමේ තරුණයන්ට හැදෙන්න කියලා. 

ශල්‍ය වෛද්‍ය ඒකකය පිහිටා තිබෙන්නේ පළවැනි මහලේ. එහිදී රතු නොම්බර 20 ක් ද, නිල් නොම්බර 45 ක් ද දෙනවා. රතු කියන්නේ අලුත් රෝගීන්ට දෙන නොම්බර. නිල් කියන්නේ කලින් බෙහෙත් ගත්තු අය සඳහා දෙන නොම්බර. එදා මමත් සමඟ වෛද්‍ය ඉන්දිකත් හිටියා. රතු නොම්බර වෛද්‍ය ලසන්ත හා වෛද්‍ය ඉරේෂා කෙරුවා. විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට උදව්වට වෛද්‍ය පරාක්‍රම හා වෛද්‍ය බස්නායක හිටියා. මම එදා උදේ 8.00ට පමණ සායනයට ගියා. එවිට වෛද්‍ය ඉන්දික මහතා පැමිණ සිටියේ නැහැ. මෙම කාමරයට යන කොට බිරිය කාමරයේ හිටියා කම්මුල් ගාය හැදිලා. රාගම රෝහලේ ප්‍රේමලතා හෙදි නිලධාරිනියට බිරිය නිවාඩුව නිල වශයෙන් දැනුම් දුන්නා. සායනය වැඩ බහුල ස්ථානයක්. රෝගීන් පරීක්ෂාව බෙහෙත් අනුමත කිරීම, විශේෂඥ වෛද්‍යවරුන් වෙත රෝගීන් යොමු කිරීම, වෛද්‍ය සහතික ලබාදීම, පටක පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට කටයුතු කිරීම සිදුකරනවා. පෙ.ව.8.30ට පමණ වෛද්‍ය ඉන්දික ආවා. 9.30ට පමණ මම 6 වැනි මහලේ කාමරයේ වැසිකිළියට ගියා. බිරිය කාමරයේ හිටියා. මට කෝපි දෙන්ඩද කියලා බිරිය ඇසුවා. මම එපා කිව්වා. මම නැවත 10.30ට පමණ සායනයට ගොස් වෛද්‍ය ධම්මිකට උදව් කළා. ‍

මේ අවස්ථාවේ වෛද්‍ය ශිෂ්‍යයෙක් සිතාර කියන ගෑනු ළමයෙක්ව සායනයට (පරීක්ෂණය සඳහා) කැඳවාගෙන ආවා. මම කිව්වා රතු නොම්බරයක් ගන්න කියලා. ඊට පසු මම එම රෝගියාව පරීක්ෂා කළා. ඇය හයිප තයිරොක්ෂිඩ් රෝගයෙන් පෙළෙන අයෙක් බව පෙනුණා. ඇය මේ සඳහා මීට පෙර බෙහෙත් අරගෙන නවත්වන ලද අයෙක්.නැවත එම රෝග මතුවෙලා මම ඒ ගැන ඇගේ සායන පොතේ සටහන් කළා. විශේෂඥ වෛද්‍යවරයාට පෙන්වන තුරු එළියේ සිටින ලෙස ඇයට මම උපදෙස් දුන්නා. ටික වේලාවකින් මම බැලුවා ඇය එතන සිටියේ නැහැ. පහළ මහලයට ගිහිල්ලා බැලුවා. එහෙත් නැහැ. මම කැන්ටිමෙන් කෝපි කෝප්පයක් බීලා නැවත සායනයට ආවා. එවිට එම තරුණියව විශේෂඥ වෛද්‍යවරිය වෙත යවන ලද බව කිව්වා. සුළු සේවක කැමිලස් අප්පුහාමි සාක්ෂි දෙන විට කී පරිදි සායනයේ වැඩ කටයුතු ඉවර වුණාට පස්සේ විශේෂඥ වෛද්‍ය ධම්මික, මටත් තවත් කීපදෙනෙකුට සීමාවාසික වෛද්‍ය පුහුණුව ඉවර වෙලා නිසා එදා රෑ තිබුණ පාටියට ඒමට කිව්වා. එවිට බිරියත් කැඳවාගෙන ඒමට කිව්වා. විශේෂඥ වෛද්‍යවරයා බැලූ තරුණියට T.4 T.S.H. පරීක්ෂණය කරන්ඩ කියලා තුණ්ඩුවේ ලියලා තිබුණා. එයා මගෙන් ඇසුවා මේක කොහෙන්ද කරන්ඩ පුළුවන් කියලා. පිටින් කරන්ඩ පුළුවන්ද කියලා මගෙන් ඇසුවා. මම කිව්වා පිටින් කරනවා නම් රු.1700ක් විතර යයි කියලා. තුණ්ඩුව ඒ ළමයාට දුන්නා. පුළුවන්කමක් තියනවා නම් කරන්ඩ කියලා. මම දවල් කෑමට කැන්ටිමට ගියා. 

මම බිරියට ෂෝටිස් හා යෝගට් එකක් අරගෙන ආවා. බිරිය කාමරයේ හිටියේ නැහැ. බිරියගේ දුරකථනයට කතා කළා. ඇය බැංකුවට හා මගේ පශ්චාත් උපාධිය සම්බන්ධ ලියවිලි වගයක් සකස් කර ගැනීමට මීගමුව ටවුමට ගිය බව කිව්වා. බිරියට මේ වනවිට තරමක සුවයක් තිබුණා. ඇය ඉක්මනට එනවා කියලා මට කිව්වා. මම 6 බී වාට්ටුවට කතා කරලා අලුතෙන් ඇතුළු වීමට රෝගීන් ඉන්නවද කියලා ඇසුවා. 2.00ට පමණ එනවා කිව්වා. මම ශල්‍යාගාරයට එවන්ඩ කිව්වා. මම ශල්‍යාගාරයේ සිට කාමරයට ඇවිත් නැවත 2.30ට පමණ ශල්‍යාගාරයට ගියා. එහිදී ඔළුව තුවාල වුණු කාන්තාවක් කොළඹට යැවූ බව දැන ගත්තා. මම ශල්‍යාගාරයේ සිටින විට බිරිය දුරකථනයෙන් කතා කළා. මම එයාට එන්ඩ කියලා කාමරයේ යතුර දුන්නා. නැවත 3.30ට පමණ මම කාමරයට ගියා. මට දත්වල ආබාධයක් තිබුණා. මම දන්ත විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවීමට ගියා. 2007.11.16 වෛද්‍ය ධම්මික මහතාට පොළොන්නරුවට යාමට මාරුවක් ලැබ තිබුණා. ඔහුට සිහිවටනයක් දීමට මම ටවුමට ගියා. නැවත කාමරයට ආවා. 

කාමරය අසල පොලිසියෙන් සිටියා. ගෑනු කෙනෙක්ව වැටිලා මැරිලා කියලා පොලිසිය කිව්වා. පොලිසිය කිව්වා මගේ කාමරය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව. මම මේ සම්බන්ධව වෛද්‍ය අධිකාරි ඇන්ටන් තිසේරා මහතාගෙන් දුරකථනයෙන් විමසුවා. ඔහු කිව්වා පොලිස් පරීක්ෂණවලට සහාය දෙන්න කියලා. පොලිසිය කාමරය පරීක්ෂා කළා. මට රෝහල් පොලිසියට එන්ඩ කිව්වා. එහිදී මාව එම කාන්තාවගේ මරණය සම්බන්ධව සැක පිට අත්අඩංගුවට ගත්තා. මට මුකුත් අදහගන්න බැරිවුණා. මුළු රෝහලේම අය බලන් සිටිනවිට මාව ජීප් එකට දාගත්තා. මගේ බිරිය ජීප් එක ළඟට ඇවිත් කිව්වා” ඔයා වරදක් කරලා නැහැනේ හිත හදාගෙන ඉන්න කියලා.” මාව පොලිසියට ගෙනියලා අත්දෙක බැඳලා ඇඟිලිතුඩුවලින් එල්ලලා මට ගැහැව්වා. ඇත්ත කියපන් නැත්නම් මුහුදු වෙරළට ගෙනියලා වෙඩි තියලා මරනවා කිව්වා. අලුයම 4.00 වනතුරු ප්‍රශ්න කළා. අලුයම 5.00ට පමණ සිර කූඩුවට දැම්මා. අපේ තාත්තා මට කිව්වේ පුතේ ඔයා මගේ පන කියලයි. ගමේ අය මම විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස පාස්වෙලා ඇවිල්ලා ගමට එනකන් බලන් සිටියා. මම පටියකින් බෙල්ල තද කරගෙන මැරෙන්න හැදුවා. මැරුනේ නැහැ. මම ඇඳගෙන සිටි ටීෂර්ට් එකෙන් ඇදගෙන ගිහිල්ලා පොලිසිය මට ගැහැව්වා. පවිත්‍රතා අංශයේ බියට්‍රිස් ද එම ස්ථානයේ සිටියා. මාව හිර ගෙදරට දැම්මා. මම කිව්වා පොලිසියේ දී වුණ දෙයනම් මෙහි දී කරන්ඩ එපා කියලා. මාව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කළා. පවිත්‍රතා අංශයේ බ්‍රියටිස් නැමැත්තිය සාක්කිකාරිය වශයෙන් ඉදිරිපත් වුණා. මම කිව්වා බියට්‍රිස් මාව රෝහලේ දී දන්න නිසා මම එම පෙරෙට්ටුවට විරුද්ධ වුණා. මම කවදාවත් මිනියක් මරලා නැහැ. නොකළ වරදකටයි මට මේ චෝදනා කරන්නේ.  


ප්‍රධාන සාක්ෂිකාරිය වන බියට්‍රිස් ගේ ප්‍රකාශය 
මම , ලේකම් මොහොට්ටිගේ බ්‍රියට්ට්‍රිස් . කෙටියෙන් කියනවා නම් එල්. එම්.  බියට්‍රිස්.    මම වැඩකලේ මීගමුව තලාදුව ප්‍රදේශයේ පිහිටි — විල් ෂයින් ˜ කියන පවිත්‍රතා කම්කරුවන් සපයන ආයතනය යටතේ මීගමුව මහා රෝහලෙයි., මම විල් ෂයින් ආයතනය හරහා මීගමුව රෝහලට වැඩට ගියේ 2002 වසරේ. පලමුවෙන්ම මට මීගමුව රෝහලේ රෝගීන් භාර ගන්න ස්ථානයේ ඒ කියන්නේ පී.සී.යූ. (ප්‍රාථමික ප්‍රතිකාර අංශය) එක ලඟ වැඩ කරන්නයි ලැබුනේ. එතැන මම මාස 07 ක් විතර වැඩ කලා. ඊට පස්සේ මාව මීගමුව රෝහලේ අළුත් ගොඩනැගිල්ලේ පලමු වරට ආරම්භ කරපු තියටර් එකේ (ශල්‍යාගාරය) වැඩට දැම්මා., 

මම එතැන අවුරුදු 07 ක් විතර වැඩ කෙරුවා. එතැන වැඩකරමින් ඉන්න අතරතුරේ තමයි මේ සිද්ධිය සිදු වුනේ., ඔය දිනය වුනේ 2007 අවුරුද්දේ නොවැම්බර් මසේ 12 වැනිදා ( 2007/11/12 ) යි. සමාන්‍යයෙන් මට තියටර් එකේ වැඩ තියෙන්නේ උදේ 7.00 සිට සවස 5.00 වෙනකම් . මේ තියටර් එක තිබුනේ මීගමුව රෝහලේ අළුත් ගොඩනැගිල්ලේ 07 වැනි තට්ටුවේ. තියටර් එකේ වැඩකරන්නේ නැති වෙලාවට මට ඉන්න එතැන කොරිඩෝ එකේ පොඩි තැනක් තියෙනවා., එතැන පුටුවක් දාලා මම ඉඳගෙන ඉන්නවා. මට ඉඳගෙන ඉන්න තැනට දකුනු පැත්තෙන් තියෙනවා කොට බිචිචියක්.  අපි ඉන්නේ තියටර් එක තියෙන්නේ 07 වැනි තට්ටුවෙනේ.  ඒ කොට බිචිචියෙන් පහල බලපුවාහම අපිට පහලින් තියෙන තට්ටුවල කොරිඩෝ ටික හොදට පේනවා., අපිට පහලින් තියෙන 06 වැනි තට්ටුවේ තිබුනේ දොස්තරලාගේ හා නර්ස් නෝනලාගේ ක්වාටර්ස් රූම් (නේවාසික කාමර). එදත් දවසේ උදේ වරුවේ මගේ වැඩ ඉවර වෙලා කොරිඩෝ එකේ කොට බිච්චිය ගාව පුටුව තියාගෙන වාඩිවෙලා හිටියා. ඒ ඉන්න කොට මට ඇහුනා පල්ලෙහා තට්ටුවේ ඒ කියන්නේ 06 වැනි තට්ටුවේ කවුරුහරි කෝරිඩෝව දිගේ මොකක් හරි ඇදගෙන යන සද්දයක්., මම හිතුවේ අපේ ක්ලීනන් කරන කිහිපදෙනෙක් ඇවිල්ලා ඒ තට්ටුවේ තියෙන දොස්තරලාගේ කාමර අස්කරනවා කියලා. ඒත් කෝකටත් මම නැගිටලා ඒ වෙලාවේ කොට බිචිචියෙන් පහල බැලූවා . ඒ බලද්දි තමයි මම දැක්කේ ඔය දොස්තර මහත්තයා කාර්ඩ්බෝර්ඩ් එකක් කොරිඩෝව දිගේ ඇදගෙන යනවා, ඒ කාර්ඩ්බෝර්ඩ් එක උඩ ගැහැනු ළමයෙක් උඩබැලි අතට හිටියා . 

ඒ ගැණු ළමයාගේ ඇස් වැහිලයි තිබුනා. ඔය දොස්තර මහත්තයාව මම මීට කලින් දැකලා තියෙනවා. මොකද ඒ දොස්තර මහත්තයා මේ තියෙටර් එකටත් සමහර දාට එනවා., නම ගම කියන්න දන්නේ නැතිවට නිතරම මම මේ දොස්තර මහත්තයාව දැකලා තියෙනවා. එයා අපිත් එක්ක කථා කරන්නේවත් නැති එක්කෙනෙක්. වෙන දොස්තරලා නම් අපි එක්ක කතා කරනවා. නමුත් මෙයා එහෙම ලෙහෙසියෙන් කථා කරන එක්කෙනෙක් නෙමේ.  ඔය දොස්තර මහත්තයා කසාද බැඳලා කියලා ආරංචි වුනාට එයාගේ නෝනා කවුද කියලා අපි කවදාවත් දැකලා තිබුන්නේ නැහැ., ඉතින් මට එකපාරටම හිතුනා මේ දොස්තර මහත්තයාගේ නෝනාද දන්නේ නැහැ කියලා. ඒක නිසා මම ඒ වෙලාවේ දොස්තර මහත්තයාගෙන් ඇහුවා උදව්වක් ඕනේද ? කියලා. ඒ වෙලාවේ තමයි එයා මාව දැක්කේ. එයා කිව්වා උදව් අවශ්‍ය නැහැ කියලා., ඊට පස්සේ ටික වෙලාවකින් මම තියටර් එකේ ඉන්න මයුරානි කියන මිස්ට  මේ බව කිව්වා. එයා මගෙන් දොස්තරගේ නම ඇහුවා. මම නම දන්නේ නැහැ කියලා දොස්තරගේ හැඩ හුරුකම් කිව්වා. ඒ විස්තර කියද්දීම මයුරානි මිස් කිව්වා මේ නම් සුදර්ශනයාම තමයි කියලා.  බ්‍රියට්‍රිස්   ඔය විත්තිය වෙන කිසිම කෙනෙකුට කියන්න එපා. ඕවා කිව්වා කියලා ඔයාට වැඩකුත් මට වැඩකුත් නැහැ., ඒක හන්දා ඔය විත්තිය කාටවත් කියන්න එපා කියලා එයා මට කිව්වා. 

මමත් හා කියලා පල්ලෙහාට ඇවිත් එතකොට වෙලාව දවල් 12.45 විතර ඇති, මීගමු රෝහලේ ති්යෙන අපේ විල්ෂයින් ආයතනයේ ඔෆිස් එකට ඇවිත් අපේ සුපයිසර් මහත්තයා එක්කත් කතා කර කර හිටියා. හැබැයි මේ වගක් මම ඒ සුපයිසර් මහත්තයා එක්කවත් කිව්වේ නැහැ., ඊට පස්සේ ටික වෙලාවකින් සෙනග හරිම කලබලයකින් දුවන්න ගත්තා 06 වැනි තට්ටුවෙන් ගැණු ළමයෙක් බිමට වැටිලා කියලා. ටික වෙලාවකින් මමයි අපේ සුපයිසර් මහත්තයත් ඒක බලන්න හන්දා ඔෆිස් එකෙන් එලියට ඇවිත් පී.සී.යූ. එක පැත්තට ආවා. එතකොට එතැන සෙනග පිරිලා. සෙනග එක්ක ඇතුලට යන්න බැරි හන්දා මම එලියට වෙලා හිටියා. සුපයිසර් මහත්තයා නම් සෙනග එහාට මෙහාට කරලා ඇතුලට ගියා. පස්සේ මම සුපුරුදු විදිහට තියටර් එකේ වැඩට ආවා. එහෙම වැඩකරන අතරතුරේ ආරංචි වුනා ඒ ළමයාව කොළඹ අරන් ගියා කියලා. 

එහෙම වෙලා එදා දවසේ මම වැඩ ඉවර වෙලා ගෙදරත් ගිහින් ඉන්න කොට මීගමු පොලිසියෙන් මාව හොයා ගෙන අපේ ගෙදරටම ආවා. ඇවිත් මට කිව්වා ඔයාට කිසිම කරදරයක් වෙන්නේ නැහැ , ඔයා දවල් 07 තට්ටුවේ (තියටර් එක ළග)  ඉන්න කොට දැක්ක දේ හරියට බය නැතිව කියන්න කියලා. ඊට පස්සේ මම ඉතින් පොලිසියට මම එදා දැක්ක දේවල් සේරම කිව්වා. එහෙම වතා කීපයක්ම මම පොලිසියටත් ආවා. පස්සේ සති කිහිපයකින් මාව උසාවියේ මහේස්ත්‍රාත්තුමාගේ විශේෂ කාමරයකට අරන් ගිහින් එදා සිද්දීයට සම්බන්ධ දොස්තර මහත්තයාව හදුනාගන්න කියලා පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුවා. එතැන 20 ක් විතර හිටියා. එතකොට මේ දොස්තරත් ඒ අය අතර හිටියා. අර පෙර දකිද්දී වාගේ නෙමෙයි .එතකොට ඒ දොස්තරගේ රැවුල එහෙම ටිකක් වැවිලා තිබුනා. ඒත් මට ලෙහෙසියෙන්ම දොස්තර මහත්තයාව හදුනාගන්න පුළුවන් වුනා. මම එයාව හදුනාගෙන මහේස්ත්‍රාත් තුමාට පෙන්නුවා., මැරුණු චමිලාගේ ෆොටෝ දැක්කාහම මට මතක් වුනා එදා මේ දොස්තර කාඩ් බෝර්ඩ් එකේ තියාගෙන ඇදන් ගිය ගැණු ලමයා චමිලාම තමයි කියලා., මොකද එදා ඒ කාඩ් බෝර්ඩ් එකේ උඩුබැලි අතට ඇස් වැහිලා හිටපු ගෑණු ලමයාගේ කොන්ඩේ ක්‍රේල් , සුදුයි, ලස්සන ගැණු ළමයෙක්. ඒ ලක්ෂනම තමයි මැරුණු  චමිලාට තියෙන්නෙත්. ඒක හන්දා දැන් මට හොදටම විස්වාශයි, එදා මම දැක්කේ ස්ථීරයෙන්ම චමිලාවම තමයි කියලා.


ඝාතනය ගැන පරීක්‍ෂණ කල පොලිස්‌ නිලධාරියා කියන කතාව  

එවකට මෙම සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශන කටයුතු සිදු කළ මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කර දැන් රස්‌නායක පොලිසියේ ස්‌ථානාධිපති වශයෙන් කටයුතු කරන පොලිස්‌ පරීක්‍ෂක තිලක්‌ කුමාර සුබසිංහ මහතා එම විමර්ශනය පිළිබඳ පැහැදිලි කරමින්, මෙම ඝාතනයට ලක්‌වූ චමිලා දිසානායක (22) මෙනවියගේ මරණය සම්බන්ධයෙන් එය දිවි නසා ගැනීමක්‌ ලෙස සලකා 2007 නොවැම්බර් මස 12 දා උදේ වරුව සාමාන්‍ය ලෙස ගෙවී ගියා.  මට සවස්‌වරුවේ මීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරිතුමන්ගෙන් පණිවුඩයක්‌ ලැබුණා. ඒ මරණය සැකසහිතයි. ඒ ගැන බලන්න කියා. මම එදා 4.30 ට මීගමුව මහ රෝහලට ආවා. රාත්‍රි 9.00 වනතුරු පුළුල් ලෙස විමර්ශන කටයුතු කළත් මට කිසිම තොරතුරක්‌ ලැබුණේ නැහැ.  මම මෙහෙම කල්පනා කර කර ඉද්දි රෝහලේ සුළු සේවකයෙක්‌ මාව රහසිගතව පසෙකට කැඳවා මට කිව්වා “සර්ට වැදගත් තොරතුරක්‌ අපේ ක්‌ලීන් අංශයේ සේවය කරන බ්‍රියටි්‍රස්‌ගෙන් දැනගත හැකියි කියලා.  

මම රාත්‍රි 10 ට පමණ කිඹුලාපිටියේ පත්තෑයම් (පත්තෑයම් වත්තේ) පිහිටි බ්‍රියටි්‍රස්‌ගේ නිවස සොයා ගෙන ගියා. ඇගෙන් මා මේ පිළිබඳව තොරතුරු අසද්දී වැදගත්ම තොරතුරු ලැබුණේ බ්‍රියටි්‍රස්‌ගෙන්. ඇය කිව්වා. ඇය රෝහලේ සේවය කරන පෞද්ගලික පිරිසිදු කිරීම් සමාගමක සේවිකාවක්‌. ඇය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වුණේ 7 වන මහලේ පිහිටි ශල්‍යාගාරයේයි.  මෙම සිද්ධිය වූ දින ඇය ශල්‍යාගාර පිරිසිදු කිරීමේ කටයුතුවලින් මඳක්‌ බැහැරවී විවේක ගනිද්දී ශල්‍යාගාරයට පහලින් පිහිටි 6 වැනි තට්‌ටුවේ ශබ්දයක්‌ ඇසිලා ඇය විපරම් කළා කියලා. එවිට පෙරවරු 11.00 ට ආසන්නයි. 7 තට්‌ටුවේ සිට 6 තට්‌ටුවේ මැද කොටස පේනවා.  

ඇය දැකල තියෙනවා. වෛද්‍යවරයෙක්‌ විශාල කාඩ් එකක වැතිර සිටි තරුණියක්‌ ඇදගෙන යනවා. ඇය ඇයගෙන් උදව්වක්‌වත් අවශ්‍යවේදැයි සිතා “ඇයි ඩොක්‌ටර් කියලා ඇහැව්වම” ඩොක්‌ටර් ඇදගෙන ගිය දිහාව නවතා ආපසු හරෝගෙන ඇදගෙන ගොස්‌ තිබෙනවා. ඇය මේ පිළිබඳව ශල්‍යාගාරයේ සේවය කරන හෙදියකට දැන්වුවම මේ ගැන කාටවත් කියන්න එපා එයාගෙ වැඩ යයි කියලා තියෙනවා.  පසුව ඒ වෛද්‍යවරයා ගැන මම විස්‌තර අහද්දී බ්‍රියටි්‍රස්‌ මහත්මිය මට කිව්වා 6 වැනි තට්‌ටුවේ දෙවැනි කාමරයේ ඉන්න දොස්‌තර මහත්තයයි කිව්ව. නම මතක නැහැයි කිව්වා. මම නැවත රෝහලේ වෛද්‍ය අධිකාරිතුමාගෙන් අවසර ගෙන මෙම සිද්ධිය වූ 6 තට්‌ටුවේ කාමර විවෘත කරගත්තා. වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ මහත්තයගෙ කාමරයෙ ජනේලය ළඟ සිට සෘජුව බලද්දි තරුණිය වැටී තිබූ ස්‌ථානයට හරියට කෙලින්. පසුව වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේගේ කාමරය පරීක්‍ෂා කළා. එහි කෙස්‌ රොදවල් වගයක්‌ වැටී තිබුණා. එම ස්‌ථානය සැක කටයුතු නිසා මම ඒ කාමරය සීල් කළා.  පසුව මම වෛද්‍ය සුදර්ශන බාලගේව හෙව්වා. ඔහු ඔහුගේ නේවාසිකාගාරය පහළ 5 වෙනි තට්‌ටුවේ කාමරයක ඉන්න බව දැනගෙන එහි ගියා. ඒ අවස්‌ථාවේ ඔහු දැඩි ලෙස තැතිගෙන තිබුණා. ඔහු පොලිසිය මගහැර යන්න තැත් කළ නිසා ඔහුව රෝහලේදී අත්අඩංගුවට ගත්තා. ඊට පසුදා අපේ විමර්ශන පුළුල් කළා. එහිදී දැනගන්නට ලැබුණා මෙම වෛද්‍යවරයා තරුණිය රැගෙන විදුලි සෝපානයෙන් ඉහළ තට්‌ටුවකට ගිය බව. එය දැක තිබෙන්නේ රෝහලේ 3 වාට්‌ටුවේ ළමයකුට සාත්තු සප්පායම් කිරීමට (තනියට) සිටි මවක්‌.  ඇය දැක තිබෙනවා විදුලි සෝපානය 3 තට්‌ටුවේදී ඇරුණු වෙලාවේ සෝපානය තුළ දොස්‌තරයි ගැහැනු ළමයයි සිටිනවා. ඔවුන් ඉහළට ගියා. ගැහැණු ළමයා (චමිලා දිසානායක) වැටුණ වෙලාවේ ඇය පැමිණ හැඳුනාගෙන තිබෙනවා. දොස්‌තර එක්‌ක ලිµaට්‌ එකේ ගිය ගැහැණු ළමයා කියා. ඇය දකින වෙලාවේ ලිµaට්‌ එක තුළ සිට තියෙන්නේ දොස්‌තර මහත්තයයි ගැහැනු ළමයයි විතරයි.  පසුව එම කාන්තාව (අම්මව) කැඳවාගෙනවිත් වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේගේ කාමරයේ තිබූ ඔහුගේ මඟුල් පොටෝ එක පෙන්නුව වෙලාවේ එම වෛද්‍යවරයාව හඳුනාගත්තා. ඊට අමතරව රෝහලේ ආරක්‌ෂක නිලධාරියෙක්‌ හඳුනාගත්තා වැටී සිටි තරුණිය වෛද්‍යවරයා උඩට කැන්දාගෙන ගිය තරුණිය බව. පසුව සොකෝ අංශයේ (විශේෂ අපරාධ ස්‌ථාන නිලධාරී) පො.ප. සිරිවර්ධන මහතාගේ සහය ඇතුව සිදු කළ විමර්ශනයේදී වෛද්‍ය ඉන්දික ගැහැනු ළමයකු කාඩ්බෝඩයක දමා ඇදගෙන විත් බ්‍රියටි්‍රස්‌ මහත්මිය දැකීමෙන් පසුව ආපසු ඇදගෙන ගිය ස්‌ථානයේ තිබී කොණ්‌ඩ කටුවක්‌ සහ ක්‍රේල් කටු දෙකක්‌ එහි ටයිල් මත තිබී සොයා ගත්තා.  චමිලා දිසානායක මෙනවිය නැවතී සිටි නේවාසිකාගාරයේ මිතුරියන් දෙදෙනකු එම කොණ්‌ඩ කටු චමිලාගේ බවට හඳුනා ගත්තා.  වෛද්‍ය ඉන්දික සුදර්ශන සිටි කාමරයට ඉදිරියෙන් කාමරයක්‌ තිබුණා. එම කාමරය රෝහලේ සේලයින් බට ඇතුළු අබලි ද්‍රව්‍ය දමා තිබුණ පාළු කාමරයක්‌. එහි තිබුණා පරණ යකඩ අල්මාරියක්‌. ඒකෙ යට තට්‌ටුවේ තිබී චමිලා දිසානායකගෙ වෛද්‍ය සායන පොත, ලේ තැවැරුණු යට ඇඳුම් දෙකක්‌. හෑන්ඩ් බෑග් එක, ජාතික හැඳුනුම්පත, ඇය වැඩකළ ස්‌මාට්‌ ෂර්ට්‌ ආයතනයේ හැඳුනුම්පත, කුඩය, දුරකථන නාමාවලි ඇතුළු නඩු භාණ්‌ඩ 21 ක්‌ සොයා ගත්තා. ඒවා සියල්ලම ඇගේ මිතුරියන් චමිලා දිසානායකගේ බවට හඳුනා ගත්තා.  සොකෝ නිලධාරීන්ගේ සහය ඇතිව බ්‍රියටි්‍රස්‌ – දොස්‌තරවරයා සිටි ස්‌ථානය පේනවා දැයි ඡායරූපගත කළා. ඒ අනුව බ්‍රියටි්‍රස්‌ගේ ප්‍රකාශය හරි බවට ඔප්පු වුණා. මීට අමතරව දොස්‌තරගේ කාමරය තුළ තිබී ශක්‌ති ජනක “ව්‍යාඝ්‍රා” පෙති වගයක්‌ද සොයා ගත්තා.එහිදී විමර්ශනවලින් අනාවරණය වුණා දොස්‌තර ඇදගෙන යනවා බ්‍රියටි්‍රස්‌ දැක්‌කයින් පසුව ඔහු එම තරුණිය ආපසු ඇදගෙන ගිහින් ඔහුගේ කාමරයේ ජනේලයෙන් ඊට අඩි 2 ක්‌ පමණ පහළින් පිහිටි කොන්ක්‍රීට්‌ ස්‌ලැබ් එකට දමා පහතට තල්ලුකොට ඇති බව. තරුණිය වැටෙද්දී අසලවූ ගසක අතු දෙකක වැදි කොළ හැලී ඇති බවත් දුටුවා.  වෛද්‍යවරයා තරුණිය 6 වැනි මහලේ ඔහු ඇයව ඇදගෙන ගිය පැත්තෙන් දැම්මා නම් විමර්ශන අවුල් වෙනවා. ඇය වැටුණෙ කොයි තට්‌ටුවෙන්ද කියලා. වෛද්‍යවරයා චමිලා දිසානායකව බිම දිගේ ඇදගෙන යන්න පාවිච්චි කළ කාඩ් බෝඩ් එකත් ඔහුගේ ඇඳයට තිබී අත්අඩංගුවට ගත්තා. රෝහල් කාර්ය මණ්‌ඩලයෙන් මට විශාල සහයෝගයක්‌ ලැබුණා.  වෛද්‍ය පරීක්‍ෂණවලදී අනාවරණය වුණා. ඇය මිය යන්න ආසන්න අවස්‌ථාව දක්‌aවාම කන්‍යාවක්‌. ඇය දූෂණයට ලක්‌ව තිබෙනවා. ඇගේ ගෙල මිරිකාත් තිබෙනවා. අපේ විමර්ශනවලදී අනාවරණය වුණා තරුණිය බිමට දමා ඝාතනය කිරීමට පෙර ඇය අවසිහියෙන් සිටි බවයි. (සිහි නැතිව)  මෙම පරීක්‍ෂණයේදී එවකට අපරාධ විමර්ශන අංශයේ සේවය කළ පො. පරීක්‍ෂක ජනක බණ්‌ඩාර, පො. පරීක්‍ෂක සිරිවර්ධන, පො. සැ. (22192) සෙනවිරත්න, පො. සැ. (23152) සේනාරත්න, පො. සැ. (27801), සොකෝ නිලධාරී, පොලිස්‌ පරීක්‍ෂක සිරිවර්ධන හා ඇඟිලි සලකුණු නිලධාරීන් ද මට සහය වුණා. අවසන් වශයෙන් කිවයුත්තේ රෝහල් සේවිකා බ්‍රියටි්‍රස්‌ මහත්මිය නැතිනම් මෙම මරණයත් සිය දිවි හානි කර ගැනීමේ සිද්ධියක්‌ වෙනවා.  (ශිරාන් රණසිංහ)


පැමිණිල්ල මෙහෙයවූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නවරත්න මාරසිංහ  මහතා ගේ ප්‍රකාශය​  

වෛද්‍යවරයාගේ ප්‍රධාන කාර්යය විය යුත්තේ ජනතාව ජීවත් කරවීමයි. මෙම විත්තිකරු අතින් ඝාතනයට ලක්‌ වූයේ 22 හැවිරිදි අවිවාහක තරුණියකි. ඇය මොනරාගල තම්පලාව දඹුලුගල සිට කටුනායකට පැමිණෙන්නේ තම පවුල නඩත්තු කිරීම සඳහා යමක්‌ හරි හම්බ කිරීමටයි. වෛද්‍යවරයකු මෙවැනි තත්ත්වයකට පත්වේ නම් අසනීප වූ ලෙඩෙක්‌ ප්‍රතිකාර ලබා ගන්න යන්නේ කොහාටද? ඇය කටුනායක ආයතනයක සේවය කළේ ඇඟලුම් සේවිකාවක්‌ ලෙසයි. ඇය රෝහලට ආවේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ජීවත් වෙන්නයි. එහෙත් සිදු වුණේ ඊට හාත්පසින් වෙනස්‌ දෙයක්‌. මෙම තරුණිය දූෂණයට ලක්‌ව තිබුණා. ඝාතනය කිරීමට පෙර ඇගේ ගෙල මිරිකා තිබුණා. මියගිය තරුණියගේ බාහිර තුවාල 60 ක්‌ තිබුණා.  



ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස්‌  මහතා ගේ ප්‍රකාශය​

  "මෙම සිද්ධියේදී කෲර වධ බන්ධනවලට ලක්‌ව මියගිය චමිලා දිසානායක මෙනවිය මොනරාගල දඹුලුගල සිට කටුනායකට පැමිණියේ රැකියාවක්‌ කර යමක්‌ හරි හම්බ කර ගැනීමේ අහිංසක චේතනාවෙන්. රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අවස්‌ථාවේ ඇගේ කන්‍යාභාවයත් නැතිවී ජීවිතය පවා පුදන්න වුණා.




35 comments:

  1. කලින් චෝදනා විමර්ශනය නොකොට යටපත් කල රොහල් අධ්‍යක්ශක හා සෙසු වෛද්‍යවරු පිලිබන්දව පරික්ශනයක් සිදුවුවාද?

    ReplyDelete
  2. මෙයා කලින් රාගම රෝහලෙත් හිටියද

    ReplyDelete
    Replies
    1. ඔහුගේ බිරිඳ රාගම රෝහලේ වැඩ කලා

      Delete
  3. කෙල්ලන්ගෙන් හරි බවලත් උදවියගෙන් හරි විමසුවාම දැනගන්න පුළුවන් දේ තමයි ගොඩක් වෛද්‍යවරු ඩොක්ටර් තනබාලසිංහම්ලා බව. සාහර විට ඒ අය ඩොකටස්ලාද මනුස්සයෝය කියලා ඉවසනවා ඇති. මේක එතනින් එහාට ගිය කේස් එකක්.

    සමහර විට වෛද්‍ය වෘත්තියට අමතරව ස්කන්ධය පිළිබඳ පර්යේෂණවලත් නිරතව උන්නද දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. මේ හලෝ තනබාලසිංහම් කියන්නේ දෙමල නමක්. ඒ නම මේ විදිහට අගෞරවයට පත් කරන්නේ ඇයි? හේවගේ කියන එවුන් ඔක්කොම කුලියට මිනිස්සු මරණ එවුන් කියනවට ඔහේ කැමතිද ඔහේ කැමතිවෙන්න පුළුවන් නමුත් හැම හේවගේ කෙනෙක්ම කැමති වෙන්නේ නෑ. ඒක මතකතියාගන්නවා.

      Delete
    2. 'ගොඩක් වෛද්‍යවරු ඩොක්ටර් තනබාලසිංහම්ලා බව'. ඔව්. ඇත්තටම ඇයි ඒ. Is there any way to explain that kind of behaviour.

      Delete
    3. ඇයි ඔයත් තනබාලසිංහම් කෙනෙක්ද...?

      Delete
    4. තනබාලසිංහම්ලා ??????????????

      Delete
  4. අර උඩ ඇනෝ ගේ ප්‍රශ්නේ තමයි මටත් මුල ඉඳලම තියෙන්නේ..

    සේෆ්ටි අංශයේ අපේ ගෝල්ඩන් රූල් එකක් තියෙනවා ඕනෙම පොඩි සිදුවීමක් අනිවාර්යයෙන්ම වාර්තා කරන්න ඕනි කියලා.. ඊට පස්සේ එක ගැන විමර්ශනයක් කරලා නැවත ඒ දේ නොවෙන්න කටයුතු කල යුතුයි. හේතුව එම සිදුවීමම යම් දිනෙක මරණිය හෝ වෙනත් බරපතල අනතුරක් බවට පත් වෙන්න පුළුවන් නොසලකා හිටියොත්.
    වෛද්‍යවරු වගේ උගත් ඉහල මට්ටමේ නිලධාරීන් අතින් ඒ වගේ නොසැලකිලිමත් කමක් බලාපොරොත්තුවෙන්න බෑ.. වෘත්තීය ගරුත්වය රැකගන්න නම් මේ වගේ දේවල් යටගහන්නේ නැතුව උඩට අරන් හදා ගන්න තමයි අවශ්‍ය. දැන් බලන්න කි දෙනෙක් අසරණ වෙනවද කියලා..

    ReplyDelete
    Replies
    1. ඕවා මොනාද බං මේක කියවපන්කෝ සම හරක් දොස්තරලා ගැන දැන ගන්න.

      http://lankaenews.com/news/3521/si

      Delete
    2. සේෆ්ටි අංශයේ අපේ ගෝල්ඩන් රූල් එකක් තියෙනවා ඕනෙම පොඩි සිදුවීමක් අනිවාර්යයෙන්ම වාර්තා කරන්න ඕනි +++++++++ මෙහෙම දෙයක් තිබුනා නම් චමිලා ජීවතුන් අතර

      Delete
  5. ඩොක්ටර්,
    ඇත්තටම පසුගිය කාලයේ මෙවැනි මිනීමරුවන් ගැන වැඩසටහන් කීපයක් බැලුව https://www.youtube.com/watch?v=_jttAd4iMUk
    මිනිස් මනස කියන්නේ පුදුම දෙයක්

    ReplyDelete
    Replies
    1. අප සැම දෙනෙක් තුල ඉන්දික සුදර්ශන බාලගේ කෙනෙක් ඉන්න බව අමතක කර්න්න නරකයි

      Delete
  6. මේ ආකාරයට මනුෂ්‍ය ඝාතන කිරීමේදී ඝාතකයාගේ වෘත්තීය, තරාතිරම, කිසිදු බලපෑමක් කරන්නේ නැති බවයි පෙනෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෙකුටත් දැන් කාන්තා හිංසන චෝදනාවක් එල්ලවී තිබෙනවා.

    තමන්ගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගියකුට මෙලෙස සැලකීම අමානුෂිකයි. මේ චුදිත වෛද්‍යවරයා මෙවන් මානසික තත්වයකට වැටෙන්නට යම්කිසි අතීත හේතුවක් ඇති. ඔහුගේ ප්‍රථම ප්‍රේමය ඔහුව අවඥා සහගතව ප්‍රතික්ෂේප කිරීම වැනි දෙයක් සිදුවුනානම් මෙවැනි පලිගන්නා ආකාරයේ මානසික තත්වයකට පත්වීමට ඉඩ තිබෙනවා.

    මේ ගැන ඔබේ විග්‍රහය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. ඉන්දික සුදර්ශන බාලගේ ව සායනික පර්ක්‍ෂාවකට ලක් කලොත් කල්පිතයක් ගොඩ නගා ගන්න පුලුවන් .

      Delete
  7. දොස්තරලා සහ ඉහල තනතුරු දරණ අයගෙන් අමාරුවේ වැටෙන අය කීදෙනෙක් නඩු නැතිව ජීවිතේ විනාස කර ගන්නවා ඇතිද?

    ReplyDelete
  8. මගේ අදහස පරිදි ලංකාවේ සීරියල් දූෂකයෝ ඉතාම සුලභයි. මේ අය ගැන සේවය කරන තැන අය, මිතුරන් වගේ පිරිස් බොහෝ විට දන්නවා. මෙවැනි දෙයක් වන තුරු බොහෝ විට මෙය ප්‍රශ්නයක් ලෙස පිළිගැනෙන්නේ නැහැ. සමහර විට එවැනි අය වීරයෝ. මෙතැනදී සුදර්ශන බාලගේට ඔහුගේ වෘත්තිය හරහා අළුතින් හදාගත් සීමිත සිවිල් බලයක් පමණයි තියෙන්නේ. මරදන්කඩවල සිට අසීරුවෙන් දුර ගමනක් එන ඔහුගේ ළමා කාලය ඇතැම් විට කටුකූරමණ්‌ඩියේ සිට එන චමිලාගේ ළමාකාලයට වඩා ගොඩක් වෙනස් නැතුව ඇති. මීට වඩා විශාල සිවිල් බලයක් තිබුණු කෙනෙකුටනම් ඔය ඇඟිලි වලින් එල්ලා පහරදීම සිදුවන එකක් නැහැ. ඒ අය තව දුරටත් සීරියල් දූෂණ කරමින් යහතින් ඉන්නවා. සුදර්ශනගේ පරමාදර්ශී චරිත එවැනි අය වෙන්න ඇති. ඒ වගේම මිනීමැරුම සිදුනොවුනානම් සුදර්ශන කියන්නේ තවත් පිරිසකගේ පරමාදර්ශී චරිතයක්. මේවා සාමාන්‍ය දේවල් ලෙස සලකා නොසලකා සිටීම තමයි ලංකාවේ පවතින සමාජ ආකෘතිය. මෙය වෙනස් වීමට කලක් යයි. එතකම් තව චමිලලා ගොඩක් දූෂණය වෙයි. කිහිප දෙනෙක් මැරෙයි. "ඒ විස්තර කියද්දීම මයුරානි මිස් කිව්වා මේ නම් සුදර්ශනයාම තමයි කියලා. බ්‍රියට්‍රිස් ඔය විත්තිය වෙන කිසිම කෙනෙකුට කියන්න එපා. ඕවා කිව්වා කියලා ඔයාට වැඩකුත් මට වැඩකුත් නැහැ., ඒක හන්දා ඔය විත්තිය කාටවත් කියන්න එපා කියලා එයා මට කිව්වා." මේක තමයි සාමාන්‍යයෙන් වෙන දෙය. මෙතැනදී බියට්‍රිස් විසින් ඉටු කර ඇති පුරවැසි වගකීමේ වටිනාකම ඉතා විශාලයි. නමුත්, බාලගේ කියන්නේ බියට්‍රිස් කෙනෙක්ට සිවිල් බලයක් ඇති කෙනෙකුට එරෙහිව එවැනි සාක්ෂියක් දිය හැකි ආන්තික සීමාව.

    ReplyDelete
    Replies
    1. 100 % එකඟයි. හිතන්න බාලගේ ගේ පියා මීගමුවේ ලන්සා වගේ දේශපාලන බලය සහිත ධනවතෙක් වූවානම් මේ සිද්ධිය ලියවෙන්නේ වෙනස් ආකාරයකට නේද ? බාලගේ පියා ඩ්‍රයිවර් කෙනෙක් වීමත් බාලගේ පහළ පන්තියෙන් ආපු කෙනෙක් වීම නිසාත් නීතියේ දෙවඟන අපක්‍ෂඅපාතී වූවා

      Delete
    2. //මෙතැනදී බියට්‍රිස් විසින් ඉටු කර ඇති පුරවැසි වගකීමේ වටිනාකම ඉතා විශාලයි. නමුත්, බාලගේ කියන්නේ බියට්‍රිස් කෙනෙක්ට සිවිල් බලයක් ඇති කෙනෙකුට එරෙහිව එවැනි සාක්ෂියක් දිය හැකි ආන්තික සීමාව.//

      කොහොම වුනත් මේ නඩුවේ සාක්ෂි දීම හේතුවෙන්ම බ්‍රියටි්‍රස්‌ මහත්මියගේ රැකියාවත් නැති වුනු බව මතකයි.ඇයට විවිධ බලපෑම් තිබුණු නමුත් ඇය දිගටම සාක්ෂි දීම සඳහා පැමිණියා.

      Delete
    3. මේ නඩුවේ සාක්ෂි දීම හේතුවෙන්ම බ්‍රියටි්‍රස්‌ මහත්මියගේ රැකියාවත් නැතිවුනා

      Delete
  9. රුවන්, ඔබ මෙවැනි දෙයක් පිළිබඳව ලිවීම හරිම වැදගත්.

    අසන්න කාලයේදී GMOA එක හැසිරුනේ වෛද්‍යවරුන් සිත මත සිදුකල නොසැලකිල්ල නිසා සිදුවූ අඩුපාඩු සිතා මතා වසා දැමීමටයි. වෛද්‍යවරු නම් කිසිම අඩුප්දුවක් සිදු නොවන, පරිපූර්ණ ශාතුවරුන් කොටසක් ලෙස හුවාදැක්වීමට ඔවුන් උත්සහ කලේ.

    වෘත්තිකයෙක් ලෙස මගේ මතය නම්,
    මම මගේ වෘත්තීය වගකීම් සහගත ලෙස අවංකව ඉටු කිරීමට උත්සහ කරමි. එත් මගේ වෘත්තියේ නියෙලන සියල්ලෝම එසේ බව නොසිතමි. එසේ නොකරන අයද. මගේ වෘත්තියේ යෙදෙන යමෙකු එහි ගවුරවය කෙලෙසයි නම් එය හෙළිකොට, විමර්ශනය කර නීති ප්‍රකාරව ඔවුන්ට දඩුවම් කිරීමෙන් මගේ ගවුරවය රැකගත හැකි බව සිතමි. එසේ ගවුරවය කෙලෙසන්නට කටයුතු කරන අය වසන් කර ආරක්ෂා කිරීම එම වෘත්තියේ යෙදෙන අයෙක් තමාටම කරගන්න විශාලතම හානියකි.

    මා මෙය පැවසීමට ආසන්නම හේතුව ලංකාව මුල් කරගෙන සිදුවූ/සිදුවන මිනිස් අවයව ජාවාරමට සම්බන්ධ අය ආරක්ෂා කිරීම GMOA එක ක්‍රියා කල ආකාරය ඉතාමත්ම පිළිකුල් සහගත නිසා.

    ReplyDelete
    Replies
    1. GMOA සාමාජිකයෙකු ලෙස මට සාමූහික වගකීමක් තිබේ. නමුත් GMOA විසින් කරන සියළු ක්‍රියාවන් වලට අන්ධව මම අත උස්සන්නේ නැත​. සමහර විට GMOA එකේ සදොස් තැන් තිබෙන බව මම පිලිගනිමි

      Delete
    2. GMOA ව්‍යවස්ථාව අනුව ඔබට ඇති වගකීම කෙසේ වේ දැයි මම නොදනිමි. බාහිරින් අපට පෙනෙන ආකාරයට නම්, එවැනි දේ සිදුවී ඇති නම් ඒවා හෙළිකර අදාල අයට නීතිප්‍රකරව දඩුවම් පැමිණවීමට කටයුතු කර දැනට සේවයේ යෙදෙන අනෙකුත් වෛද්‍යවරුන්ගේත්, සේවය වෙනුවෙන් දිවි කැපකළ වියෝවූ වෛද්වරුන්ගේත්, අනාගතයට බිහි වීමට සිටින වෛද්‍යවරුන්ගේත් ගවුරවය බේරා ගැනීම GMOA සාමාජිකයන්ගේ සැබෑ වගකීම වේ.

      එවැනි දෙයක් සිදු නොවී නම්, එය තහවුරු කර වෛද්‍යවරයා වෙත රෝගියාගේ විශ්වාසය තරවුරු කිරීමත් එහි වගකීම වේ.

      පරඝනකයක් අලුත්වැඩියා කිරීම දුන් විට කොටස් ගලවා ගනී යයි ඇති බිය මෙන්ම, වෛද්‍ය වරයෙකුට අපගේ සිරුර අලුත්වැඩියා කිරීමට දුන් විට එහෙ කොටස් ගලවා ගනී යයි රෝගීන් බිය වන දිනය වැඩි අතක නොවෙන බව මට සිතේ. ඒ මිය ගිය ගැබිනියකගේ වකුගඩුව අනවසරයෙන් ගලවා විකුණා දැමීම පිළිබඳව රජයේ රෝහලක වෛද්‍යවරුන්ට එල්ලවන බරපතල චෝදනාවක් නිසාය.

      Delete
  10. බොහෝ වෛද්‍යවරුන් මේවා ගැන කතා කිරිම මග හැර යාමේදී ඔබ ඒ ගැන පර්යේෂණයක් කරලා.. ඔබ මතු කරපු වැදගත් කාරණාව ඔහු සීරියල් කිලර් කෛනෙක් යන්නයි. ලංකාවේ පොලීසියට තවත් ක්ලු කිහිපයක් ඔබ සපයනවා. ඔබට ගරු කරන්න වටින්නේ මේ හේතුව මතයි.. ඔබ නිතරම නිවරැදි යැයි කියන තැන සිටින නිසා. රෙස්පෙක්ට් යූ සර්..

    ReplyDelete
    Replies
    1. මම සුපිරි පරමාදර්ශී මිනිසෙකු නොවෙමි. සාමාන්‍ය පුද්ගලයෙකි. ඇත්ත ඇත්ත ලෙස දකිනටත් බොරුව බොරුව ලෙස දකින්නටත් මම උත්සහ කරමි.

      Delete
  11. ජයතුංග මහතා,
    ඔබ තුමා ඔබේ විෂයට අදාළ කරුණු ලිවීමේදී දක්වන පරිනත භාවය සහ අපක්ෂපාතිබව මම මහත්සේ අගය කරමි. ඔබ තුමා දක්වන මේ පරිනත භාවය අපටත් ආදර්ශයකි. ඔබතුමා ලියන අනෙක් කරුණු ගැනත් මේ පරිනත භාවයම දක්වන්නේ නම් එම ලිපි බලන අප කොපමණ වාසනාවන්තයෝද?

    සමරසේකර

    ReplyDelete
  12. ජයතුංග මහතා,
    ඔබ තුමා ඔබේ විෂයට අදාළ කරුණු ලිවීමේදී දක්වන පරිනත භාවය සහ අපක්ෂපාතිබව මම මහත්සේ අගය කරමි. ඔබ තුමා දක්වන මේ පරිනත භාවය අපටත් ආදර්ශයකි. ඔබතුමා ලියන අනෙක් කරුණු ගැනත් මේ පරිනත භාවයම දක්වන්නේ නම් එම ලිපි බලන අප කොපමණ වාසනාවන්තයෝද?

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. සමරසේකර මහතා, උත්සහ කරන්නම්

      Delete
  13. නීතිය ක්‍රියාත්මකවීම සාධාරණ වූ දාට සාක්ශි යට යෑම හෝ ගිල ගැනීම අවසන් වනු ඇත.මේක විශම චක්‍රයක් වගේ ඩොක්.
    ජයවේවා..!!

    ReplyDelete
  14. Just wondering, if I've recognized such symptoms in another doctor I know of. He abused (mentally after seducing for a long time as a lover)my best friend who is herself a doctor over about 2-3 years.He loves the feeling of overpowering and insulting. I always was anxious about the power entitled to him among patients. But we don't have any evidence against him at the moment about any such action except this particular incident with my friend. it would be mere speculations based on his character. Innocent until proven guilty. Nobody even his best friends or his new wife knows about his dual character. He acts like a saint.(that's the specialty of these people:too good to be true). Can't expose him as it may affect my friend. So probably some small misdeeds may go unnoticed by his close circle. Let's hope for the best. What else is there to be done?

    ReplyDelete
  15. මෙයා ඇප පිට ඉද්දි වෙන්න ඕන කුරණ ඉස්ටේශන් එක ලග ඩිස්පෙන්සරියේ බෙහෙත් දුන්නා. ඩොක්ටර් පනාවැන්නගේ සීල් එක ගහලා බෙහෙත් දුන්න නිසා කව්රුත් දැනන් උන්නෙ නෑ මේ හොස්පිටල් එකේ සිද්දියට අහු උන මනුස්සයා කියලා.බෝ පැලේ වගේ හිටපු තාලෙට හිතන්නවත් බෑ මෙහෙම දෙයක් කරයි කියලා. මිනිස්සු අතරේ ඒ දවස් වල හෙන ජනප්‍රියයි.පස්සෙ ඕක දැනගෙන ඩොක්ටර් රසික කේස් එක ඇදලා ගමේ වැඩේ පත්තු උනාම මිනිස්සු යන එක නතර උනා. ඒ ගමන්ම වගේ මිනිහව ආයේ ඇතුලට ගත්තා. ඒ කාලෙ අපේ අයියත් මීගමුවෙ වැඩ නිසා එයා දැනන් හිටියා මම සිද්දිය දන්න බව. මගෙත් එක්කත් ගොඩක් හිතවත්. හැබැයි මිනිහා මට කිව්වෙත් ඒක කරේම නෑම කියලා. එයා එක්ක අවුල් ඩොක්ටර්ලා ඒකට එයාව පැටලෙව්වා කියලා.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook