Thursday, May 17, 2018

යූතනේසියාව

 

මීගමුව රෝහලේදී මා හඳුනා ගත් එක් වෛද්‍යවරයෙක් සිටියේය​. ඔහු සේවය කලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ශාන්ති මාලා මහත්මියගේ වාට්ටුවේය​. වෛද්‍ය ශාන්ති මාලා මහත්මිය සහ ඇයගේ ජේෂ්ඨ වෛද්‍ය නිලධාරිනිය වාට්ටුවේ පොඩි පොඩි සාද තිබෙන විට මටද ආරාධනා කරති. වෛද්‍ය ශාන්ති මාලා මියට ප්‍රථම සිටි ළමා රෝග විශේෂඥ  වින්සන්ට් පෙරේරා මහතාද මා සමග කුළුපගව සිටි හෙයින් ළමා වාට්ටුව මට සුපුරුදු ස්ථානයක් විය​. එම නිසා මේ වාට්ටුවේ සිටි වෛද්‍යවරු සහ හෙදියෝ මා සමග මිතුරු වූහ 

මෙම වෛද්‍යවරයා ඉන්ටර්න්වරයෙකු ලෙස ළමා වාට්ටුවට ආවේය​. ඔහු ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබා තිබූ නිසාදෝ අප අතර සුහදතාව වර්ධනය විය​. අප සේවා මුරයෙන් පසු නිතර හමු වූයෙමු. යම් කාලයක් ගතව පසු ඔහු මට යම් රහසක් නිරාවරණය කලේය​. මෙය ඇසූ මගේ සියොලඟ සලිත විය​. ඔහු කියූ පරිදි ඔහු විසින් උපතේදී බරපතල විකලතාවන් තිබෙන බිළිඳුන් කිහිප දෙනෙකු ඔක්සිජන් සැපයුම නවතා ඔවුන් මරණයට පත් කොට තිබේ. මෙය ඉතා බරපතල ක්‍රියාවක් බව මම ඔහුට කීවෙමි. එහෙත් ඔහු මා සමග තර්ක කලේ මෙමගින් දෙමාපියන්ට මෙන්ම සමාජයට මතු වන අනවශ්‍ය බර ඉවත් කිරීම මගින් ඔහු කලේ සමාජ සේවයක් බවයි. කෙසේ නමුත් ඒ කාලයේ ජීවිතය පිලිබඳව මම ගැඹුරින් කියවා සිටියේ නැත​. එහෙත් මෙම ක්‍රියාව වැරදි බව මගේ හදවත කීවේය​. එම නිසා මෙම ක්‍රියාවේ වැරැද්ද මෙන්ම වෛද්‍යවරුන් ලෙස අපට ජීවයක් නසන්නට නොහැකි බව මම පුන පුනා කීවෙමි. නමුත් ඔහු මගේ තර්කය බිඳ හෙලමින් මවකගේ ජීවිතයට හාණි විය හැකි අවස්ථාවකදී වෛද්‍යවරයා කළළය ගබ්සා කරන බව කීවේය​. එසේම උපත් සංකූලතා නිසා ඇවිදගත නොහැකි උග්‍ර  කායික මානසික  පසුබෑම් වලට ලක්ව සිටින බිලිඳෙකු නිසා දෙමාපියන් අත් විඳින පීඩනය ගැන කීවේය​.  මෙවැනි බිලිඳුන් නිසා සෞඛ්‍යය සේවාවන් දරණ අනවශ්‍ය වියදම් ගැන කීවේය​. ඔහු තදින්ම තම මතයේ සිටිමින් තමා කරන්නේ සමාජ සේවාවක් බව කීවේය​. අවසානයේදී මෙම වාදය අපගේ මිතුදම පළුදු කිරීම දක්වා දුර දිග ගියේය​. පසු කාලයක් ඔහු මට නොදන්වා විදේශ ගත විය​. ඉන් පසු ඔහු මට ලිපියක්වත් නොඑවීය​. ඔහු මගෙන් දුරස්ව ගියේය​. 

කෙසේ නමුත් පසු කාලයක මම ඔහුගේ ක්‍රියාව විශලේෂණය කොට බැලුවෙමි. මේ කාලයේදී කැනඩාවේ සෙනෙකා පාසලේ කිං කැම්පස් හි යූතනේසියාව හෙවත් අනායාස මරණය පිලිබඳ සිසුන් ඉදිරියේ දේශනයක් කිරිමට මට අවකාශ ලැබුනි. මේ නිසා මම වඩ වඩාත් ගැඹුරින් අනායාස මරණය පිලිබඳව කියවූයෙමි. මෑත ඉතිහාසයේ උපත් සංකූලතා තිබෙන බිලිඳුන් ඝාතනය කිරීම බහුලව සිදු කරන ලද්දේ නට්සි ජර්මනිය විසිනි. ඔවුන් බිලිඳුන් පමණක් නොව ඩවුන්ස් සින්ඩ්‍රෝමයෙන් පෙළුණු ළමුන් පවා මරා දැමූහ​. එසේම  ශාරීරික ආබාධිත තිබූ ළමුන් ද මරා දැමූහ​. නට්සීන් ගේ මෙම ඝාතන ක්‍රියාවලිය කරන ලද්දේ ජර්මානු වෛද්‍යවරයෙකු වූ වික්ටර් බ්‍රැක් විසිනි. නට්සීන් යුද්දයෙන් පරාජය වීමෙන් පසුව වෛද්‍ය වික්ට බ්‍රැක්ට එදිරිව නඩු විභාගයක් පවත්වනු ලැබීය​. නඩුවේදී වෛද්‍ය වික්ට බ්‍රැක් ප්‍රකාශ කලේ තමන් විසින් සිදු කලේ දෙමාපියන්ට මෙන්ම සමාජයටද සේවයක් බවයි.

වෛද්‍යවරයෙකුට උපත් සංකූලතා තිබෙන බිලිඳෙකු දෙමාපියන්ට හෝ සමාජයට බරක්  යැයි කියා ඝාතනය කල හැකිද ?  මගේ අදහස නම් වෛද්‍යවරයාට ඒ සඳහා නෛතික මෙන්ම සදාචාරාත්මක හැකියාවක් නැති බවය​. ​සමහර විට දෙමාපියන්ටද එවැනි ළමුන් බරකි. එහෙත් එවැනි ආබාධිත ළමුන්ටද ජීවත් වීමේ අයිතියක් තිබේ. 

1995 වසරේ ග්‍රාමීය රෝහලක ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස සේවය කල කාලයේදී  ගම්බද තරුණ යුවලක් විසින් ඔවුන් ගේ අවුරුද්දක් පමණ වයසැති එකම දැරිය මවෙත ගෙන එන ලදි. මෙම කුඩා ළමයා හයිඩ්‍රෝකෙෆල්ස් තත්වයෙන් හෙවත් මෂ්තිෂ්කයේ මස්තිෂ්ක සුෂම්නා තරලය අධික ලෙසින් එකතු වීමේ සංකූලතාවයෙන් පෙළුනාය​. මේ නිසා මතු වන අධි පීඩනය නිසා ඇයගේ හිස් කබල කල ගෙඩියක් මෙන් විශාලව තිබුනාය​. දෙමාපියන් දරුවා ගේ හිස තුවායකින් වසාගෙන ආවෝය​. 

 ළමයාගේ තත්වය නිසා ඔවුන්  ආර්ථිකව මෙන්ම සමාජීය වශයෙන් පීඩා විඳින බව පෙනෙන්නට තිබුනේය​. මෙම ළදරුවාගේ  පෙනහළු ආසාදනය වී තිබෙන බව වෙද නලාව  තිබූ විගස මට ප්‍රත්‍යක්‍ෂ විය​. ළදරුවාව වහාම මහ නුවර රෝහලට ගෙන යා යුතු බව මම කීවෙමි. එහෙත් පියා ඊට දැක්වූයේ උකටලී ප්‍රතිචාරයකි. සමහරක් විට පෙනහළු ආසාදනය වැඩිවී ආබාධිත ළදරුවා ගේ මරණය ඔහු රහසින් අපේක්‍ෂා කලා විය හැක​. මම වෙද නලාව බිළිඳිය ගේ පපු ප්‍රදේශය මත තබත්ම ඇය විශාල හිස හරවා මදෙස බලා සුරතල් ස්වරයක් නිකුත් කලාය​.  දෙමාපියන් මෙන්ම  සමාජය විසින් ප්‍රත්ක්ශේප කරන මේ ආබාධිත ශරීරය තුල  අහිංසක බිලිඳෙකු සිටින බව මට වැටහිනි. මම මට හැකි පරිදි බිළිඳියට  විශේෂ ප්‍රතිකාර අවශ්‍ය බව දෙමාපියන් සමග කීවෙමි. එහෙත් ඔවුන් ප්‍රතිචාරයක් නොදක්වා යන්නට ගියහ​. ඉන් පසු මේ බිළිඳියට  කුමක් වූයේද කියා මා නොදත්තෙමි. 

වෛද්‍ය ඇන්ඩ්‍රේ බොර්කියූ අනායාස මරණයට එරෙහිව සටන් කල කැනේඩියානු වෛද්‍යවරයෙකි. ඔහු ජීවත් වූයේ කුබෙක් ප්‍රාන්තයේය​. මට වෛද්‍ය ඇන්ඩ්‍රේ බොර්කියූ හමු වීමේ අවශ්‍යතාවක් තිබුනේය.  මම මොන්ට්‍රියොල් වෙත කිහිප වතාවක් ගියද මට වෛද්‍ය ඇන්ඩ්‍රේ බොර්කියූ හමුවීම අතපසු විය​. ඔහු 2012 වසරේදී මිය ගියේය​.  වෛද්‍ය ඇන්ඩ්‍රේ බොර්කියූ  කියූ පරිදි වෛද්‍යවරුන් විසින් නැසිය යුත්තේ රෝගය මිස රෝගියා නොවේ. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

21 comments:

  1. Whatever you may say, wider acceptance of euthanasia is just around the corner. For many reasons, including ones I have commented previously in your blog, current model of human society will slowly accept and rapidly get used to the idea of euthanasia sooner than most of us imagine.
    It is not an ideal thing to happen, but it is inevitable. Best we can do is to campaign for better regulations so that people will not be pushed to accept untimely deaths.
    It is a little like private medical education in Sri Lanka. It is/will be there under whatever pretense. If you campaign to stop it, you are blocking opportunities to bring in proper regulations, and therefore a better education system.
    On the otherhand, such policies are not entirely dependent on medical professionals, but rather politicians and large corporates. In the near future, there will be not much space for old people who do not have money to spend. Cuts to pensions, cuts to old age care budgets and next thing at their door step will be much relaxed laws regarding euthanasia. Sad but true.
    PM me if you like to read really shocking studies done by western universities on this subject.

    ReplyDelete
  2. යාලුවා හරි ඔයා වැරදියි

    ReplyDelete
  3. මම දකින ආකාරයට මෙම වෛද්‍යවරයාගේ චේතනාව නිවැරදියි. නමුත් එය ඔහුට පමණක් තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ සදහා බලය දෙන නීතිමය රාමුවක් තිබිය යුතුයි. මෙවන් වෛද්‍යවරැන් නීතිමය වශයෙන් දුෂ්කර තත්වයකට පත් නොකළ යුතුයි.

    එලෙසම පුද්ගලිකව ජීවිතය වගේම මරණය තෝරා ගැනීමත් මානව අයිතිවාසිකමක් ලෙස මා සලකනව.

    ReplyDelete
  4. බිළිඳන් ගැන මං දන්නෙ නෑ. මට නම් ඉතා අවශ්‍ය වුනොත් අනායාස මරණය තියන එකට කැමතියි. දන්න අයට කියල තියෙන්නෙ. ඒත් ඒකාලය ආවාම සහ හෝ අවශ්‍යවුනාම ඒක කරගන්න පුලුවන් වෙයිද (නීති නිසා ) කියන එක ගැන බයයි.
    Personally, I have always thought that regulated euthanasia is a very good thing and, more importantly, for myself, I would love to have that option.

    ReplyDelete
  5. ඔයා අර දොස්තරගෙන් ඇහුවෙ නැද්ද රුවන්, එයාගේ වයිෆ්ට ඒ වගේ දරුවෙක් ලැබෙන්න ඉන්නවා කිය්ලා දැනගත්තොත් එයා ඒ දේම කරනවද කියලා...

    මගේ මතයනම් අපිට කිසිම ජීවිතයක් නසන්න අයිතියක් නෑ.. බැරි බැරි ගාතෙ හරි ඒ ජීවිතය කැමතියි ජීවත් වෙන්න. ඒක තමා ඇත්ත..

    අනිත් එක ඔහොම ඉන්න දරුවො පස්සේ අති දක්ෂයො වෙන අවස්තාත් තියනවා... මම හිතන්නේ ලෝක ඉතිහාසයේ ප්‍රකට උදාහරණ බොහොමයක් තියනවා ඒකට..

    අනිත් එක අඩුම ගානෙ දෙමාපියන්ගේ මතය විමසලා ඔවුන් කැමතිනම් එහෙම කළානම් එකක්. දොස්තර කෙනෙක් කොහොමද තමන්ගේ තනි මතයට එහෙම තීරනයක් අරන්, ජීවිතයක් නසන්නේ.. එයා මිනීමරුවෙක්..

    ReplyDelete
  6. //"වෛද්‍ය ඇන්ඩ්‍රේ බොර්කියූ කියූ පරිදි වෛද්‍යවරුන් විසින් නැසිය යුත්තේ රෝගය මිස රෝගියා නොවේ. "// ඇත්ත , නමුත් රෝගය නසන්නට වෛද්‍යවරුන්ට නොහැකිනම්, වෙනත් කිසිම අබාදයක් නොමැති වුනත් අතක් පයක් අහිමි වීම නිසාම ස්වාධීනව ජීවත් වීමේ අයිතිය අහිමි කරල තියෙන සමාජයක් මේක. අදටත් රජයේ ආයතන වලට පවා ඇතුළු වීමට ආබාධිත පුද්ගලයන්ට හැකියාවක් නැහැ ( NO disable Access) අඩුගානේ , ඔවුන්ට බස් රථයකට ගොඩවිය හැකි බස් නැවතුම්පලක් ලංකාවේ කොහෙවත් තියෙන්වද, ජීවත් වීමේ අයිතිය ඇතිය කියූ පමණින් ඔවුන්ට සමානාත්මතාවයෙන් යුතුව සලකන්නට සමාජය සුදානම්ද?
    මෙවැනි දරුවෙක් හදාවඩා ගන්නට යන වියදම දරන්නට හෝ හැකි උදව්වක් කරන්නට කැමති කීයෙන් කීදෙනාද? ඒ නිසා ඇතිවන සමාජයීය ප්‍රශ්න සහා මව පියා නොමැති කාලයක් ඔවුන්ගේ වගකීම දරන්නට ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව දෙන්නට ඔවුන් පෝෂණය කරන්නට සුදානම් රාජ්‍ය තබා රාජ්‍ය නොවන සංවිධානයක් වත් තිබේද?
    වුන්ටත් ජීවත් වීමේ අයිතිය තිබේ කියූ පමණින් සියල්ල විසදෙන්නේ නැහැ, ඔවුන්ට ජීවත් වීමේ අයිතිය තහවුරු කල යුතුයි . ඒ සඳහා අද රට සුදානම්ද, ඒ නිසා මට අනුවත් ඔබේ මිත්‍රයා නිවරදියී, සැබවින්ම ඔහු කර තිබෙන්නේ සේවයක්

    ReplyDelete
    Replies
    1. ඉවාන්, ප්‍රශ්නයක් අසන්නමි. යම් හෙයකින් ඔබ එවැනි අසරණ තත්ත්වයකට පත් වුනොත්ම, මම ඔබට කියනවා " ඉවාන් ලංකාවේ ඔයාලට ජීවත් වෙන්න අමාරුයි ඒක නිසා මම ඔයාව මරා දමනවා" කියලා. ඔයාගෙ උත්තරය මොකක් වෙයිද?

      Delete
    2. මම නම් එකඟයි , මොකද මම කොහොමත් කැමති නෑ , අනික් ය අයට වාතයක් වීලා ජීවත් වෙන්න, තමුන්ට තනියෙන් තමුන්ගේ වැඩ කරගෙන ජීවත් වෙන්න බැරිනම් තමන්ගේ ජීවිතෙන් යන්න අයිතියක් තියෙන්න ඕන (කැමති අයට)

      Delete
  7. මේ ලිපියට යූතනේසියාව ටයිටල් එක වැරදියි නේද? එය ළදරු මිනීමැරුම් ලෙස වෙනස් කරන්න.

    යූතනේසියාව යනු සුව කළ නොහැකි රෝගයකින් පෙළෙන අයෙකු නිරවුල් සිතින් යුතුව තමන් ගේ ජීවිතය නිසි පරිදි වෛද්‍යානුකූලව අවසන් කර ගැනීමට (හොරෙන් දිවි නසා ගැනීම නොව) තීරණය කිරීමයි.

    මෙහි සඳහන් (ආනන්දේ උගත් - නොදකින්) වෛද්‍යවරයා කර ඇත්තේ මිනීමැරුම් ය. ඒ බිළින්දන් කොයි ආකාරයකින් "නිරවුල් සිතින් යුතුව තමන් ගේ ජීවිතය නිසි පරිදි වෛද්‍යානුකූලව අවසන් කර ගැනීමට" තීරණ ගන්න ද?

    ReplyDelete
    Replies
    1. ඔබ කියනදේත් සත්‍යක් තියනවා

      Delete
  8. බොහෝ රටවල බල්ලන්, බලලුන් වැනි සුරතල් සතුන් ඔවුන් මහලු වූ විට, ලෙඩ රෝග වලට ගොදුරු වූ විට යුතනේසියා කරන නමුත් කිසිවෙකු ඒ ගැන විවාද නොකරති. ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය ගැන කතා නොකරති. එසේ නම් මිනිසුන්ට පමණක් මෙය නරක ඇයි? අපි හැමෝම සත්වයින් නොවෙමුද?

    ReplyDelete
  9. "මම වෙද නළාව බිළිඳියගේ පපු ප්‍රදේශය මත තබත්ම ඇය විශාල හිස හරවා මදෙස බලා සුරතල් ස්වරයක් නිකුත් කළාය.දෙමාපියන් මෙන්ම සමාජය විසින් ප්‍රතික්ශේප කරන මේ ආබාධිත ශරීරය තුල අහිංසක බිළිඳකු සිටින බව මට වැටහුනි." සමහර අත්දැකීම් වැඩිහිටි අප සිත් පවා සසල කරයි.

    ReplyDelete
  10. https://gadyanohothkavi.blogspot.com/2018/05/blog-post_33.html

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook