Monday, May 21, 2018

වේගය මරුවා කැඳවයි


2018 වසරේදී මම නිව් යෝක් හි ස්ටැටන් අයිලන්ඩ් සිට කැනේඩියානු දේශසීමා මායිම වෙත රිය පදවමින් සිටියෙමි.  අධි වේගී මාර්ගයේ වේග සීමාව සටහන් වී තිබෙන්නේ පැයට සැතපුම් වලිනි. නමුත් මාගේ මෝටර් රථයේ වේගය සඳහන් වන්නේ පැයට කිලෝ මීටර වශයෙනි එම නිසා මෝටර් රථයේ වේගය පැයට සැතපුම් වලට පරිවර්ථනය කරමින් මම රිය ධාවනය කලෙමි. මේ නිසා සමහර විට මම වේග සීමාවන් ඉක්මවාද ගිය බව කිව යුතුය​. මාර්ගය අද්දර ස්ටේට් ටෘපර්ස්ලා අධික වේගයෙන් රිය පදවන්නන් ගැන විමසිලිමත්ව සිටිති. වාසනාවකට මෙන් ස්ටේට් ටෘපර්ස්ලා මට මුණ ගැසුනේ නැත​. 

2016 වසරේදී ටොරොන්ටෝ වලදී   පැ.කි.මි 60 උපරිම වේගයෙන් යුතු මාර්ගයක පැ.කි.මි 81 වේගයෙන් රිය පදවා සුදු පොලිස් නිලධාරියෙකුට හසු වූයෙමි. එය මාගේ ප්‍රථම රථවාහන වැරැද්ද විය​. මීට පෙර වැරදි නොමැති නිසා පොලිස් නිලධාරියා මට ඉතා විනීතව කතා කොට දඩ කොලයක් නොදී අවවාද සටහනක් පමණක් දෙන ලදි. මේ නිසා මම වේගය ගැන නිබඳවම විමසිලිමත් වෙමි. 

1995 වසරේදී මාතලේ නුවර පාරේදී මම වාහනය වේගයෙන් ධාවනය කලෙමි. වාහනයේ මා සමග මගේ මිත්‍ර වෛද්‍ය සුජීව දහනායකද සිටි අතර මේ වේගය අප දෙදෙනාට විනෝදයක් වූයේය​. එහෙත් අනපේක්‍ෂිත ලෙස මහනුවරට කිට්ටුවදී පොලිස් නිලධාරියෙක් මගේ රථය නැවැත්වීය​. දඩ කොලයක් ලැබීම අනිවාර්‍ය බව අපට පෙනුනි. කෙසේ නමුත් අවසන් උත්සහය ලෙස අප දෙදෙනා මාතලේ රෝහලේ වෛද්‍යවරුන් බවත් අසාධ්‍ය රෝගියෙකුට ලේ ගෙන ඒම සඳහා මහනුවර රෝහලට යන බවත් කීවෙමු. එවිට පොලිස් නිලධාරියා " මහත්තයෝ ඔහොම වාහන එලෙව්වොත් අපිටත් ලේ දෙන්න වෙයි " කියා අප දෙදෙනාට යන්නට දුන්නේය​. 

2001 වසරේදී හලාවත රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය බී.ජී.එන් රත්නසේන මහතා උතුරු කොලඹ මහ රෝහලට මාරු වී යන හෙයින් අප වෛද්‍ය රත්නසේන වෙනුවෙන් සමු ගැනීමේ සාදයක් සංවිධානය කලෙමු. ශල්‍ය වෛද්‍ය  රත්නසේන මහතා අප සමග ඉතා සහයෝගයෙන් වැඩ කලේය​. ඔහු ශල්‍යකර්ම කරන විට රස  කතා කියන්නෙකි.  ශල්‍යාගාරයේ සමහර හෙදියන්ට මම නම් තබා තිබුනි. පාසල් යුවතියක් බඳු කුඩා පෙනුමක් ඇති හෙදියකට මා ගැටමාන්න මිස් කියා නමක් දමා තිබූ අතර ශල්‍ය වෛද්‍ය  රත්නසේන එය ඇයගේ සත්‍ය නම යැයි සිතා " ගැටමාන්න මිස් මට ආටරි ෆෝසෙප් එකක් දෙන්න කියා කීවේය​. එවිට මේ කුඩා පෙනුමැති හෙදිය මදෙස බලා ඔරවමින් සර් මගේ නම xxxx කියා කීවාය​. තවත් කෙට්ටු පහේ හෙදියකට වෛද්‍ය රිස්වි විසින් කටුවපිටිය මිස් කියා නමක් තබා තිබූ අතර පසුව එම නම සහමුලින්ම රෙජිස්තර විය. වෛද්‍ය බී.ජී.එන් රත්නසේන මහතාද ඇයට සමහරක් විට කටුවපිටිය මිස් කියා කතා කලේය​. කෙසේ නමුත් උස බර ශරීර ප්‍රමාණය , හමේ වර්ණය පිලිබඳව පරිකථනය අශිෂ්ට ලෙස බටහිර ලෝකයේදී සැලකේ. මේ කාලයේදී අප ශිෂ්ටාචාරයට බොහෝ දුරස්ථ වූයෙමු. 

 අපෙන් වෙන්වී යන  වෛද්‍ය රත්නසේන මහතා වෙනුවෙන් උසස් ලෙස සාදය පිලියෙල කොට තිබුනි. අප අතර බොහෝ මතකයන් විය​. වරක් ශල්‍යාගාරයේදී වෛද්‍ය රත්නසේන තයිරොයිඩෙක්ටමි (තයිරියිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ ශල්‍යකර්මය​) එකකට සූදානම් වෙමින් රෝගියාගේ ගෙල ප්‍රදේශය ස්ප්‍රීතු වලින් ශුද්ධ කරන විට මම රෝගියාව නිර්වින්දනය කිරීමට ලක ලෑස්ති වූයෙමි. මේ සඳහා මුලින්ම ඇට්‍රොපීන් කුප්පියක් අරින විට එහි වීදුරු ගෙල කැඩී  ඇට්‍රොපීන් විසි විය​. ඉන් බිංදු කීපයක් විශේෂඥ ශල්‍ය වෛද්‍ය බී.ජී.එන් රත්නසේන මහතා ගේ වම් ඇසට විසි විය​. අප සේලයින් දියරයෙන් රත්නසේන මහතාගේ ඇස සේදුවද වම් ඇසේ කණිනිකාව විස්තාර්ණය විය​. දකුණු ඇසේ වෙනසක් නොවීය​. එක ඇසක කණිනිකාව තාවකාලිකව විස්තාර්ණය වීම නිසා දෑස් නාභිගත කිරීමට නොහැකි විය​. මේ නිසා ප්‍රධාන ශල්‍යකර්ම සියල්ල එදින නවත්වනු ලැබීය​.  මෙය මගේ අත්වැරදීමකින් සිදුවූ දෙයක් වූවද  රත්නසේන මහතා මට කිසිවක් කීවේ නැත​. 

වෛද්‍ය රත්නසේන මහතාගේ  සමු ගැනීමේ සාදය උදෑසන තුන දක්වා පැවතුනි. අවසානයේදී සංවිධායකයන් ද විසිර ගියෙන් මමත් වෛද්‍ය ප්‍රියාන් සෙනෙවිරත්නත් හලාවත සිට කොලඹ බලා ඒමට සූදානම් වූයෙමු. ප්‍රියාන් මට කලින් පිටත්ව ගියේය​. මම හලාවත රෝහලේ සිට පුත්තලම කොලඹ මාර්ගයට අවතීර්ණ වූයෙමි. එහෙත් ප්‍රියාන් ගේ රථය පෙනෙන්නටවත් නැත​. 

මහා මාර්ගය පාළුය. කිසිදු වාහනයක් නොමැත​. මා ඉදිරියේ  පෙනෙන්නට ඇත්තේ කෙලින් ඇදෙන පුත්තලම කොලඹ මාර්ගයයි. කාක්කපල්ලිය පසු කල විගස මම රථය වේගයෙන් ධාවනය කලෙමි. මා ධාවනය කලේ ටොයොටා ටර්සල් වර්ගයේ ඩීසල් රථයකි. වේගය 130 දක්වා අධික වූ විට එලාම් එකක් වදින්නට විය​. එහෙත් එය ගනනකට නොගත් මා ප්‍රියාන් ගේ වාහනය හමු වන තෙක් අධික වේගයෙන් රිය ධාවනය කලෙමි. ඔහුගේ වාහනය මට හමු වූයේ වෙන්නප්පුව ආසන්නයේදීය​. ඉන් පසුව අප දෙදෙනා වෙන්නප්පුවේ නයිට් කඩයකට ගොඩ වැදී  ඉගුරු ප්ලේන් ටී දෙකක් බී යලි කොලඹ බලා ගියමු. 

එදින රාත්‍රියේ අධි වේගයෙන් රිය ධාවනය කිරීමෙන් මා සිදු කලේ අවදානම් ක්‍රියාවකි. මම සීට් බෙල්ට් එකක් පැලඳ සිටියේ නැත​. එසේම වාහනයේ එයා බෑග් එකක්ද නොවීය​. යම් ලෙසකින් හරස් මාර්ගයකින් වැලි ලොරියක් හෝ ටිපර් එකක් දැම්මේ නම් එය මගේ  අවසානය වන්නට ඉඩ තිබුනේය​.  මෙම සිදු වීමෙන් සති කීපයකට පසුව අධි වේගයෙන් ත්‍රී වීල් එකක් කොලඹ පුත්තලම මාර්ගයේ ධාවනය කල තරුණයෙකු ලොරියක ගැටී හලාවත රෝහලට ගෙන එනු ලැබීය​. ඔහුගේ දකුණු කකුල දණහිසට උඩින් දරුණු ලෙස තුවාලවී තිබුනි. පසුව ඔහුගේ ජීවිතය බේරා ගනු වස් කකුල කපා දැමීමට සිදු විය​. 

අංගොඩ රෝහලේදී විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා යටතේ පුහුණුව ලබන කාලයේදී අපට එක් රෝගියෙකු පෙන්වනු ලැබීය​. ඔහු  මොලය තුවාල වීම මතකය අහිමි වී සිටි රෝගියෙකි. ඔහු තුවාල ලබන්නේ තමන් ගේ බිළිඳු දරුවා මුන්නේස්වරම් දේවාලයට ගෙන යන අතර මගදීය​. ඊට පෙර දිනයක මුළු රාත්‍රියම ඔහු තම මිතුරෙකු සමග මත් පැන් බීවේය​. නිදි විරහිත වූ ඔවුන් තමන් ගේ ත්‍රීවීලයේ නැගී බිරිඳ සහ දරුවා සමග උදෑසනම මුන්නේස්වරම් දේවාලය බලා පිටත් වූහ​. කාක්කපල්ලිය ආසන්නයේදී ත්‍රීවීල් රථය නවතා තිබූ ලොරියක ගැටුනු අතර බිලිඳා ත්‍රීවීලයෙන් විසිවී යන ලදි. බිලිඳා එම ස්ථානයේම මිය ගිය අතර ඔහුගේ හිස බරපතල ලෙස තුවාල විය​. බිරිඳගේ දෙපා වලට තුවාල සිදු විය​. මිතුරා තුවාල ලබා පසුව මිය ගියේය​. 

මීගමුව රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කල කාලයේදී එතරම් දැන උගත්කමක් නැති යුවලක් බිළිඳෙකු ගෙනා අතර එම බිළිඳා දුටු විගසම බිළිඳා මිය ගොස් බව මට වැටහුනේය​. පුරුෂයා මෝටර් සයිකලය පැදගෙන යන විට බිරිඳ පසුපස සිට බිලිඳා වඩාගෙන සිටියාය​. වේගයෙන් යන මෝටර් සයිකලය නිසා බිළිඳාට හුස්ම ගැනීම අවහිර විය​. එහි ප්‍රථිඑලය ලෙස  බිළිඳා මිය යන ලදි. 



වේගය මරුවා කැඳවයි යන ප්‍රකාශය සත්‍ය බව මම විශ්වාස කරමි. 



වෛද්‍ය රුවන් එම් ජයතුංග 

5 comments:

  1. ඔන්න අපි කාටත් නැවත නැවතත් කල්පනා කර බලන්න වටිනාම දෙයක්.අත් දැකීම් සහිතවම ලියලා තියෙනවා.

    ReplyDelete
  2. අනිවාර්යයෙන්ම...

    ReplyDelete
  3. Speed has never killed anyone. Suddenly becoming stationary, that's what get's you

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook