Tuesday, April 11, 2017

වාහන සෝදන තරුණයා

 

1994 සිට 1997 කාලය දක්වා මම සේවය කලේ මධ්‍යම පළාතේ රෝහල් වලය​. සති අන්තයේ කොලඹ පැමිනෙන මම සතියේ දින වල රෝහල් වල වැඩ කලෙමි. සමහර විට ඉඳහිට සඳුදා දින නිවාඩුවක් දමා ඉරිදා දිනයේද ගෙදර සිට සඳුදා උදෑසන කොලඹ සිට අදාල රෝහලට පැමිනීමද මම කලෙමි. 

මගේ ගමනාගමනයන් සිදු කෙරුනේ  සිදු කෙරුනේ මෝටර් රථයෙනි. සමහර විට පැය දෙක තුන නොනවත්වා මම වාහනය ධාවනය කරමි. කොලඹ නුවර පාරේ ගමනාගමනය අසීරුය​. බොහෝ වේලාවල් වලට  ගම්පහ සිට වේවැල්දෙනිය දක්වා වාහන තදබදය තිබේ. කෑගල්ල පසු කල විට වාහන තදබදය අඩු වූවද පුද්ගලික බස් සමහර විට වංගු වලදී ඇඟට එති. මේ නිසා වාහනය එලැවිය යුත්තේ පූර්ණ අවධානය යොදා ගනිමින් ය​.  

කොලඹ සිට ගමන් අරඹන මම කඩුගන්නාවේ වාහනය නවතා තේ බොමි. කඩුගන්නාවේ වාහන සෝදන ස්ථාන තිබේ. වාහන සෝදන්නෝ කඳු උඩ සිට ගලන උල්පත් වලට බට දමා ඒවා කන්ද පහළට ගලා ගෙන ඒමට සලසවන අතර බෑවුම නිසා ජල පහර බටය දිගේ වේගයෙන් ගලාගෙන එයි. මෙම වතුර පහර උපයෝගී කර ගෙන ඔවුන් වාහන සෝදති. තේ බීමට කඩුගන්නාවේ වාහනය නවතන මම වාහනයද සෝදා ගනිමි. ඒ කාලයේ වාහනයක් සේදීමට රුපියල් 30 - 50 අතර ගනනක් අය කරන ලදි. 

කඩුගන්නාවේ වාහන සෝදන්නන් අතර අවුරුදු 18 -19 පමණ තරුණයෙකු විය​. මම  නිතරම වාහනය සෝදා ගත්තේ මෙම තරුණයා මගිනි. රෙදි කැබැල්ලක් ගන්නා ඔහු ගලා එන දිය පහරින් එය තෙත් කොට ෂැම්පූ පැකට්ටුවක් කඩා දමා පෙන නංවමින් වාහනයේ බඳ සෝදයි. අසල කඩයෙන් තේ එකක් තොල ගාන මම ඔහුගෙන් නොයෙකුත් කරුණු අසමි. ඔහු තම ගෙදර ප්‍රශ්න ගැන කතා කරයි. එසේම ප්‍රාදේශීය සභාව වාහන සෝදන්නන්ට බදු ගැසීමට සැරගෙන බව කියයි. තවද ප්‍රාදේශීය දේශපාලකයන් මෙතැන වාහන සෝදන්නන් පළවා හැර ඔවුන් ගේ හෙන්චයියන්ට මෙම ස්ථාන දීමට උත්සහ කරන බව කියයි. 

මසකට වරක් දෙවරක් මේ පාරේ ගමන් ගන්නා මම බොහෝ අවස්ථාවලදී මෙම තරුණයා සිටින තැන වාහනය නවතා ඔහු මගින් වාහනය සෝදා ගත්තෙමි. කල් යත්ම ඈතින් එන මගේ වාහනය හඳුනාගෙන අත දමා එය නැවැත්වීමට ඔහු පුරුදුව සිටියේය​. මෙලෙස වාහනය සෝදන අවස්ථා වල ටිකක් වැඩිපුර ගනනක් ද මම ඔහුගේ අතේ තැබුවෙමි. තවත් අවස්ථාවක මම ඔහුට කමිස කීපයක් ද දුන්නෙමි. ඉතා තුති පූර්වකව ඔහු ඒවා භාර ගත්තේය​. 

වාහන සෝදන තරුණය ඉඳ හිට බුලත් සැපීම කලේය​. නමුත් ක්‍රමක් ක්‍රමයෙන් ඔහු මත්පැන් ( කසිප්පු) වලට ඇබ්බැහි වන බව මම නිරීක්‍ෂණය කලෙමි එසේම බීඩි බීමද ඔහු විසින් ආරම්භ කොට තිබුනේය​. මේ ගැන මම ඔහුට අවවාද කලෙමි. එවිට ඔහු වරදකාරී සිනහවක් පා ඔළුව කසයි. නමුත් ඔහු මත් පැන් බීම නොකඩවා කලේය​. 

දැන් ඔහු වාහනය සෝදන්නේ මත් පැන් සුවඳ පතුරවමිනි. මගේ අවවාද ගඟට කැපූ ඉණි මෙන් විය.ඔහුගේ ශරීරය දිරාපත් වී යයි. පෝෂ්‍යදායක ආහාර වේලක් නොලබන ඔහුගේ ශරීරය කසිප්පු සහ බීඩි නිසා අකලට මහළු වී යන සෙයකි. 

තවත් වසරක් ගෙවී ගියේය​. ඔහු තවමත් නරක පුරුදු වල එල්බ ගෙනය​. මා දුටු විට ඔහු වරදකාරී ලෙසින් සිනාසෙයි.  පාප මිත්‍රයන් ඔහු වටාය​. දහවල වාහන සෝදන ඔවුන් උපයන මුදල් හැලි අරක්කු කරුවන්ට පුද කරති. විශ රසායණිකයන් එකතු කොට පෙරන මෙකී විශ මත් පැන් ඔවුන් ගේ අක්මාව මෙන්ම වකුගඩු වැනි අභ්‍යන්තර ඉන් ද්‍රියන්ට හානි කරති. දිනපතා මත් පැන් බොන ඔවුන් දිරා ගිය උණ බට වැනිය​. 

1997 වසරේ අග භාගයේ මම මධ්‍යම පළාතේ සිට ගම්පහ ප්‍රදේශයට මාරුවක් ලබා ගත්තෙමි. ඉන් පසුව මට මෙම වාහන සෝදන තරුණයා හමු වූයේ නැත​. එහෙත් තවත් වසර තුනකට පමණ පසු මම මිතුරෙකු සමග නුවර ගියෙමි. ඒ යන විට කඩුගන්නාව අසලදී මෙම පුද්ගලයා මම යලිත් වරක් දුටුවෙමි. ඔහු ශාරීරිකව බොහෝ දුර්වළ වී ගොසිනි. හිසකේ ඉදිලාය​. සුරාධූර්ත්වයෙන් පෙලෙන්නන් ගේ සියළු බාහිර ලක්‍ෂණ මම ඔහු ගෙන් දුටුවෙමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

10 comments:

  1. ඒ තරුණ ජීවිතයට හරි මගපෙන්වීමක් ලැබී නැති හැඩයි.

    ReplyDelete
  2. //එසේම ප්‍රාදේශීය සභාව වාහන සෝදන්නන්ට බදු ගැසීමට සැරගෙන බව කියයි. තවද ප්‍රාදේශීය දේශපාලකයන් මෙතැන වාහන සෝදන්නන් පළවා හැර ඔවුන් ගේ හෙන්චයියන්ට මෙම ස්ථාන දීමට උත්සහ කරන බව කියයි. //
    මේ වාක්‍ය දෙක ප්‍රායෝගිකව ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ලොකු කතාවක් කියයි. මේ තරුණයා වාහන සෝදන්නට එන්නේ ඔහුට කළ හැකි වඩා "හොඳ" රැකියාවක් නැති බැවිනි. පහත වාක්‍යයේ සඳහන් පරිදි, ඔබ ඔහුගෙන් දිගටම සේවය ලබාගන්නේත් වැඩිපුර ගාණක් අතේ තබන්නේත් අය කරන මුදලට ඔහු කරන සේවය ගැන ඔබ සතුටුවන බැවිනි.

    //මසකට වරක් දෙවරක් මේ පාරේ ගමන් ගන්නා මම බොහෝ අවස්ථාවලදී මෙම තරුණයා සිටින තැන වාහනය නවතා ඔහු මගින් වාහනය සෝදා ගත්තෙමි. කල් යත්ම ඈතින් එන මගේ වාහනය හඳුනාගෙන අත දමා එය නැවැත්වීමට ඔහු පුරුදුව සිටියේය​. මෙලෙස වාහනය සෝදන අවස්ථා වල ටිකක් වැඩිපුර ගනනක් ද මම ඔහුගේ අතේ තැබුවෙමි.//

    ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිදුවන්නේ මෙවැනි අහිංසක තරුණයෙකු උපයා ගන්නා සුළු මුදලෙන්ද කොටසක් විධිමත් හා අවිධිමත් ලෙස උදුරා ගැනීමයි. මෙය ඔහුගේ මෙන්ම ඔබේද යහපතට හේතු නොවේ. ඔබ තරුණයා අත වැඩිපුර මුදලක් තබන ඔබ එයින් කොටසක් රජය විසින් බදු ලෙස උදුරා ගැනීමෙන් සතුටු වනු ඇතැයි මම නොසිතමි. එමෙන්ම, ප්‍රාදේශීය දේශපාලනඥයෙකු විසින් මේ තරුණයා වෙනුවට ඔහුගේ හෙන්චයියෙකු දැමූ විට මේ කාර්යය සතුටින් කරන පුද්ගලයෙකු වෙනුවට එහි පැමිණෙන්නේ කෙසේ හෝ ඔබෙන් මුදලක් කඩා ගැනීමේ අරමුණ හැර සතුටෙන් මේ සේවය කරන අයෙකු නොවේ. එවැනි තත්ත්වයකදී ඔබ තවදුරටත් ඔබේ වාහනය මේ ස්ථානයෙන් සෝදා නොගන්නට පුළුවන.

    එමෙන්ම, මෙසේ මෙවැනි අහිංසක තරුණයින්ගෙන් විධිමත් හෝ අවිධිමත් ලෙස පැහැර ගන්නා මුදල් ඔවුන්ට නැවත ආපසු ලැබෙන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ ඔහුට වඩා හොඳ (නිසි ප්‍රමිතියකට පෙරන ලද) මත්පැන් වර්ගයක් පානය කිරීමට ඇති අවස්ථාවද රාජ්‍ය යාන්ත්‍රණය මඟින් නැති කිරීමයි.

    ReplyDelete
  3. //නමුත් ක්‍රමක් ක්‍රමයෙන් ඔහු මත්පැන් ( කසිප්පු) වලට ඇබ්බැහි වන බව මම නිරීක්‍ෂණය කලෙමි// රස්සාව බේරගන්න පෙළපාලි වලට යන්නැති, හෙන්චයියෙක් වෙන්නැති,

    ReplyDelete
  4. //විශ රසායණිකයන් එකතු කොට පෙරන මෙකී විශ මත් පැන් //
    විසවෙන්නේ විස රසායනිකයන් යොදා ගැනීම නිසාද? නැත්නම් තාක්ෂණයේ වැරදි නිසා ඊතයිල් වලට මීතයිල් කලවන් වෙන නිසාද?

    ReplyDelete
    Replies
    1. ප්‍රා කසිප්පු පෙරන එකත් කලාවක් ලු නෙ
      හෙහ්.
      මේකයි වෙන්නෙ කසිය පෙරද්දි සැර වැඩි වෙන්න යූරිය දානව. නැත්තං කටු කම්බි කෙලිනව. ඒ එකක්

      විස කේස් එක මේකයි. ඔය කසිප්පු කාරයො දෙයියන්නෙ කොටහ කියල අයින් කරනව නේ. ඒව මෙතනෝල් ම තමයි. මුල හරිය එන්නෙ එහෙම. ඊට පස්සයි නියම ස්ප්‍රීට් එක එන්නෙ
      දැං උං කරන්නෙ වදිනව වැඩි වෙන්න අරව ටිකක් කලවං කරනව.
      වැඩි වුනොත් මැරෙනව.
      ඒකයි ඔය සමහර දවස් වලට නිව්ස් වලට කියන්නෙ විස මත්පැන් බීල වල කජ්ජ ගැහුව කියල

      Delete
    2. කසිප්පු කාරයො දෙයියන්නෙ කොටහ කියල අයින් කරනව////////////////// ha ha ha a

      Delete
    3. දෙයියන්ගේ කොටස කොහොම වුනත් සුරන්ගනාවියන්ගේ කොටසක්නම් අහල තියෙනවා.
      http://www.whiskydistilled.com/whisky-basics/angels-share/

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook