Saturday, April 29, 2017

මේජර් ගුණරත්න හෙවත් විචා තුමාගේ ක්‍රියාන්විත අත්දැකීම් ඇසුරෙන්



අභාවප්‍රාප්ත  මේජර් ගුණරත්න හෙවත් විචා තුමාට උපහාර පිණිස එතුමා විසින් ලියන ලද ලිපියක් පල කරමි. 

...මා ඇම්බුෂ් දෙකකින් අනූනවයෙන් බේරුනා, මගේ හමුදා සේවා කාලය තුළදී. පළමුවැන්න 1985 දී. එවකට මා සේවය කලේ පොළොන්නරුව – මඩකළපුව මාර්ගයේ පුනානි ප්‍රදේශයේ. මාස 4 කට පමණ පසුව මා ලද නිවාඩු දින පහ අවසන් වී, පාන්දරින්ම ආපසු පුනානි වෙත යන්න පිටත්වුනත්, බස් ප්‍රමාදය නිසා යන්නට නොහැකිවුනා. හවස්වනවිට මට පැහැදිළිව තේරුණා, ළඟම පිහිටි හමුදා කඳවුර වෙත යාම තමයි, වඩාත් ප්‍රඥාගෝචර වන්නේ කියා.
   ලොරි කබලක එල්ලුන මට, යන්තම් දිඹුලාගල මහා විහාරයේ පිහිටි කඳවුරට යාගත හැකිවුනා. එහි තිබුනේද මගේ රෙජිමේන්තුවේම කඳවුරක්. මා එහි සිට පුනානි අණදෙන නිලධාරි තුමාට ගුවන්විදුලි පණිවිඩයකින් දැන්වුවා, බස් නැති නිසා මා ප්‍රමාද වූ බවත්, ඒ නිසා දිඹුලාගල කඳවුරට පැමිණි බවත්, හෙට උදේම පුනානි වෙත එන බවත්. ඒ සඳහා අනුමැතිය ලැබුනා. (අනිවාර්යයෙන් අනුමැතිය දෙන්නට වෙනවා. මොකද, ඒ දිනවල ප්‍රධාන මාර්ගයේ මීටර් 500 න් 500 ට පමණ සෙබළුන් දෙතුන් දෙනා යොදවා මාර්ගයේ ආරක්ෂාව තහවුරු කරනවා. එයට කියන්නේ පිකට් picket කියලා. (මාර්ග ආරක්ෂක මුරය) (picquet නෙවෙයි) ඒ පිකට් එක සවස 5.00 ට පමණ ඉවත් කරනවා. මම ලොරියට නැග්ගේත් 5.30 ට විතර) පිකට් එක ඉවත් කල පසු ක්‍රියාන්විත රාජකාරි සඳහා යන විශාල සන්නද්ධ භට පිරිස් පමණක් පයින් යනවා හැර, හමුදා රථ ඒ මාර්ගයේ නොයවන්නේ, ඇම්බුෂ් වලට අසුවීමට හොඳටම ඉඩ තිබෙන නිසයි.  
   එදා රාත්‍රියේ පන්සලේ කඳවුරේ සහෝදර නිලධාරියාගෙන් ‘සියළු සත්කාර සංග්‍රහ’ විඳ, උදෙන්ම ගුවන් විදුලියෙන් කතාකර කිව්වා මාව රැගෙන යන්නට වාහනයක් එවන ලෙස. වාහනයක් එවන බව කිව්වත්, එය ප්‍රමාද වන බව පෙනී ගියා. මේ අතර, මගේ සහෝදර නිලධාරියා කිව්වා, ඔහුට රාජකාරි අවශ්‍යතාවක් තිබෙන නිසා, වැලිකන්ද කඳවුරට යන බැවින්, ඔහුගේ වාහනයෙන්, මා වැලිකන්ද දක්වා ගෙන යාහැකි බව. මම බොහොම කැමැත්තෙන් ඔහු සමග පිටත් වුනා. අපි වැලිකන්ද කඳවුරට ළඟා වෙමින් සිටියා. ඒ හරියේ පාර තනි කෙලින් පිහිටා තිබෙන්නේ.
  මේ වෙලාවේ අපි දුටුවා ඈතින් එන ජීප් රථයක්. මම අනුමාන කළා ඒ මා කැඳවාගෙන යන්නට එන ජීප් රථය කියා. මොහොතකින් මහා ‘බුම්ම්ම්ම්ම්ම්……’ හඬක් සමග ඒ ජීප් රථය පොළොවෙන් අඩි 10 ක් පමණ උඩට විසිවී ගිනි ගුලියක් වී පාරට වැටුනා. ඒ වනවිට අපේ රථයත් ඒ රථයත් අතර දුර මීටර් 500 ක් පමණ තිබුනේ. අපේ රථයේ රියදුරා ගැසූ බ්රේක් පාරට, මගේ ඔළුව රථයේ වා මුවාවේ වැදුණා. අපේ ආරක්ෂක මුරය වෙඩි තියාගෙනම එලියට පැන්නා. මමත් මගේ සහෝදර නිලධාරියාත් ආරක්ෂක මුරයේ හතර දෙනාව දෙදෙනා බැගින් යොදාගෙන, පාරේ දෙපස කැලය දිගේ වෙඩිතබමින් ඉදිරියට ගියා. නමුත් ඒ වනවිටත් ත්‍රස්තවාදීන් පැනගොස් තිබුණා.
  ඒ පැමිණ තිබුනේ මා රැගෙන යාමට පැමිණි රථයයි. එය සම්පුර්ණයෙන් කුඩුපට්ටම් වී තිබුණා. එහි සිටි සෙබළුන් පස්දෙනාගෙන් (රියැදුරු, ආරක්ෂක සෙබළු හතර දෙනා) තුන් දෙනෙකුගේ සිරුරු කැබලි වලට කැඩී තිබුණා. රියදුරු ගේ සිරුර කැඩී නොතිබුනත් මියගොස් සිටියා. එක සෙබළකු මරණාසන්න තත්වයේ සිටියා. අපි වහාම ගුවන්විදුලි මගින් තත්වය වාර්තා කල විගස, ඒ වනවිටත් සැක කටයුතු ශබ්දය ඇසුණු ආධාරක භට පිරිස් එහි ළඟා වෙමින් සිටියා.
  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් නියමුවකු එදා වීර ක්‍රියාවක් කළා. ඔබ දන්නවානේ පාර දෙපස සෙවන සඳහා වවා තිබෙන මාර ගස්. ඔහු මේ මාර ගස් දෙකක අතු වල යන්තමින් ගැටෙමින් (පුංචි රිකිලි හෙලිකොප්ටර් තලවල වැදී කැඩී වැටුනා) ඒ ගස් දෙකක් මැදින් හෙලිකොප්ටරය මහ පාරට බෑවා. ඒ නිසා අර මරණාසන්න සෙබළා පොළොන්නරුව රෝහල වෙත ගෙනගොස්, දිවි බේරාගන්නට හැකිවුණා.
  ඒ වෙලාවේ පැමිණි ආධාරක භට පිරිස් සමග අපි අවට පරීක්ෂා කළා. එහිදී හමුවුනා තවත් බිම්බෝම්බ වයරයක්. එය දිගේ පරීක්ෂා කිරීමේදී පෙනීගිය පුපුරා නොගිය තවත් බිම්බෝම්බයක් ඇති බව. පසුව බෝම්බ නිෂ්ක්‍රිය අංශයෙන් එය නිෂ්ක්‍රිය කළා. ඒ බෝම්බය සවි කර තිබුනේ පාරේ අපේ වාහනය ගමන් කළ තීරුවේ. ඒ කියන්නේ කොයි පැත්තෙන් හෝ එන හමුදා වාහනයකට පහර දෙන්නයි බෝම්බ දෙකක් යොදා තිබුනේ. අර වාහනය අපේ වාහනයට කලින් එතනට ආවා. තවදුරටත් පරීක්ෂා කරන විට මගේ කනට වතුර බින්දුවක් වැටුණා වගේ දැනුණා. උඩ බැලූවිට දැක්කේ, බෝම්බ පිපිරීමේදී, සිරුරෙන් වෙන්ව ගොස්, ගහක රැඳුණු, සොල්දාදුවකුගේ අතකින්, තවමත් ලේ බිඳු වැටෙන බවයි.
  දෙවැනි වතාවටත් මම ඇම්බුෂ් එකකින් ගැලවුනේ 1999 දී. එවකට ක්‍රියාත්මකව තිබුණු ජය සිකුරු ක්‍රියාන්විතයේදී(Operation Jayasikuru) වවුනියාවට උතුරෙන් පිහිටි අලුතෙන් අත්පත් කරගත් ප්‍රදේශයක ආරක්ෂාව තහවුරු කරගන්නට අපේ භට පිරිස් යොදවා තිබුනා. මා ඒ භටපිරිස් යෙදවීම පරීක්ෂාකර ආපසු පැමිණෙන්නට මගේ වාහනයට ගොඩ වෙද්දී මතක් වුනා එක්තරා ස්ථානයකට යොදවා සිටි භට පිරිස් ඊට වඩා මීටර් 100 ක් පමණ පසුපසින් සිටීම වඩාත් යෝග්‍ය බව. ඒ ප්‍රදේශයේ යොදවා සිටි කණ්ඩායම් භාර නිලධාරි වරයාට එය කියන්නට මා නැවතත් වාහනයෙන් බැස ගියා. මේ අවස්ථාවේදී හමුදා වාහනයක් යනවා මා දුටුවා. විනාඩි දෙකකින් පමණ මහා පිපිරුම් හඬක් ඇසුනා. අර වාහනය රැකසිට පහරදීමකට ලක්ව තිබුණා.
  අපේ ආරක්ෂක වළල්ල තුලට රිංගා ගත් තුන් දෙනෙකුගෙන් යුත් ත්‍රස්තවාදී කණ්ඩායමක් තමයි එය කර තිබුනේ. පැන යමින් සිටි ඔවුන්, එදාම සවස, වෙනත් ප්‍රදේශයකදී අපෙන් වෙඩිකා මියගියා.
  පහරදීමට හසුවූ වාහනයේ මා හඳුනන සොල්දාදුවකු සිටියා. මා එතනට යනවිට ඔහු පණ අදිමින් සිටියා. මම වහාම බිම වාඩිවී, ඔහුගේ හිස මගේ  මගේ  උකුලේ තබාගන්න විටයි දුටුවේ, ඔහුගේ ශරීරය දෙකට කැඩී ඇති බව. එළියට ඇවිත් තිබුණ ඔහුගේ හදවත, තවමත් ගැහෙමින් තිබුණා. ඔහු මා දෙසම බලා සිටියා. මාව හඳුනාගත් බවක් පෙනුණා. මා ඔහුට වතුර පොවන්නට උත්සාහ කළත්, ඔහු මඳ සිනහවක් පෙන්වමින්, මගෙන් සදහටම සමුගත්තා. එදා නම් මට හැඬුණා.

17 comments:

  1. මගේ ජීවිතය සැලකුවාම මම වෙනත් අයෙකුගේ මරණය අසා දැඩි ලෙස කම්පා වූ අවස්ථා හතරක් තිබෙනවා. පළමු වැන්න තමයි රවිරාජ් මන්ත්‍රීවරයාගේ මරණය. ඔහු මගේ ලගම නෑදෑයෙක්. දෙවැනි අවස්ථාව තමයි මේජර් ජෙනරාල් ජානක පෙරේරාගේ මරණය. ඊලග එක තමිල් සෙල්වම්ගේ මරණය. අන්තිම එක තමයි විචාරක මහත්මයා(මේජර් ගුණරත්න) ගේ මරණය.

    එතුමාගේ බ්ලොග් එකේ මම සෑහෙන්න ඇනෝ කොමෙන්ට් දාලා තියෙනවා. එතුමාව අවුස්සලා විනෝද වෙලත් තියෙනවා. විචාරක මහතා අසනීප උනාම පස්සේ මම එතුමාට ඊමේල් කරා. ටික දවසකට පස්සේ එතුමාගෙන් රිප්ලයි ආවේ නැහැ. ඒ රෝහල ගත කරලා හිටපු නිස. ඊට පස්සේ ඩොක්ටර් රුවන්ගේ වෙනත් බ්ලොග් අඩවි වල කොමෙන්ට් දදා ඇහැව්වා එතුමාගේ අසනීප තත්වය කොහොමද කියලා. මොකද ඇනෝවරයෙක් වන මට අනික් බ්ලොග්කරුවන් කිසිකෙනෙක් එක්ක සම්බන්දයක් තිබ්බේ නැහැ. ඊට පස්සේ හොයලා හොයලා එතුමාගේ දුරකථන අංකය හොයාගෙන කතා කලා. මට බ්ලොග් එකක් නැහැනි. කොමෙන්ට් දානවා විතරනි. ඉතිං මං කල්පනාකරා මම කවුරු කියලද විචාරක මහතාට හදුන්වලා දෙන්නේ කියලා. මං කිව්වා මම විචාරක මහත්මයාගේ පාඨකයෙක් කියලා.

    කොහොම හරි ඊට පස්සේ මම එතුමාව බලන්න ගියා කිහිප විටක්ම. දැන් දින කිහිපයකට උඩදී දවසක හැන්දෑවක එතුමාම මට කෝල් එකකුත් දීලා තිබ්බා. ඒත් මට ආන්ස්වර් කරන්න උනේ නැහැ. ආයේ කවදාවත් ඒ කෝල් එක එන එකකුත් නැහැ. මම හරියට පසුතැවිලි වෙනවා ඒකට. විචාරක මහත්මයා වගේ කෙනෙක් ආයේ බිහි වෙන්නේ නැහැ සිංහල බ්ලොග් වලට. කලින් ඔබා මාමා ගියා. ඒ අඩුව පුරවන්න පුළුවන් කෙනෙක් ආවද? නැහැ. විචාරක මහතාගේ අඩුවත් එහෙම තමයි. මැරුණ අය ආයේ එන්නේ නැහැ. වේදනාව ඉතිරි. මට ඊයේ නින්ද ගියෙත් නැහැ හිතේ දුකට. මොකක්දෝ හිස් කමක් දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ විචාරකගෙ මරණය ගැන මා දුටු ඉතාම සංවේදී සහ හෘදයාංගම සටහන බව කිව්වාට අනෙක් අය අමනාප වෙන එකක් නෑ. එහෙම උනත් එය නොකියාම බෑ.

      Delete
    2. විචා තුමා ගුරුවරයෙක් , හමුදා නිළදාරියෙක් , බ්ලොග් රචකයෙක් මෙන්ම හිත හොඳ මිතුරෙක්.

      Delete
  2. කවදාවත් දැක්කේ නෑ...හමු උනෙත් නෑ...ඔහු මගේ බ්ලොග්ස් වලට කැමති ඒවා කියවලා රසවින්ද කෙනෙක්...ඒවා ඔක්කොම කියවපු පොසිටිව් කමෙන්ට්ස් දාපු...නිහතමානී කෙනෙක් කියල විතරයි දන්නේ....Good Night විචා.

    ReplyDelete
  3. කිසිදා නොදුටුවෙමි එහි වරදක් නොමැත
    මතුදා හමුවේද එහි නියතයක් නැත
    හැරදා ගියද අප හිතවත් විචාරක
    සැමදා සිහිකරති සොයුරෝ බ්ලොග් ලොවක

    ReplyDelete
    Replies
    1. සැමදා සිහිකරති සොයුරෝ බ්ලොග් ලොවක

      Delete
  4. ඔබත් එක්ක එකඟ වෙනවා. විචාරකතුමාගේ මරණය මගේ හිත සසල කලා ඔබා මාමට පස්සෙ.

    ක්සැන්ඩර්.

    ReplyDelete
  5. අපිට පුළුවන් එතුමාට නිවන් සුව පතන්න විතරයි

    ReplyDelete
  6. ඔබට සුබ රාත්‍රියක් විචා!!!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook