Friday, September 30, 2016

මෝල් ගුරුවරු

 



මට හොඳ දක්‍ෂ ගුරුවරු මෙන්ම මෝල් ගුරුවරුද හමුවී තිබේ. බොහෝ සාවද්‍ය දේවල් ඉගැන්වූ සිසුන් ගේ ආත්ම ශක්තිය මොට කල මෙම ව්‍යාජ ගුරුවරු අපගේ ජීවිත වලට ලොකු හානියක් නොකලේ ඔවුන් මෝල් ගුරුවරු මෙන්ම ජෝකර්ලා ලෙස වටහා ගැනීමේ ඉවක් කුඩා අපට තිබූ නිසාය​. එහෙත් මෙම මෝල් ගුරුවරු සෑම කාලයකම සිටිති. ඔවුන් සිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් නොමග යවති. එසේම ආත්ම විශ්වාසය , නිර්මාණශීලීතාව බිඳ දමා සිසුන් මොට කර දමති. 

මට හමුවූ මෝල් ගුරුවරු කීප දෙනෙකු මගේ මතකයේ සිටියි. මින් එක් මෝලෙක් පන්තියට පැමින නිතරම අසන්නේ අප උදේ නැගිට්ට වේලාවයි. උදේ හත හමාරට ඉස්කෝලේ ආරම්භ වන නිසා සිසුන් බොහෝ දෙනෙකු උදෑසන හය -හයාමාරට නැගිට පාසල් එති. සමහරු උදේ පහටත් අවදි වෙති. ඒ දුර සිට එන ළමුන් ය​. මේ ගුරුවරයාට අවශ්‍ය ළමුන් උදේ හතරට නැගිට්ට වීමටය​. ඔහු පන්තියට පැමින අද උදේ හතරට නැගිට්ට ළමයි අත උස්සන්න කියයි. ඔහුගේ  අපවාදයෙන් බේරීමට අප බොරුවට අත උස්සන්නෙමු. එක් ළමයෙක් ඔහු උදේ තුනට නැගිට්ට බව කීවේය​. මේ ගුරුවරයා එම ළමයාට ප්‍රශංසා කොට අපටද ඔහු අනුව හැදෙන්නට කීවේය​. 

එහෙත් මේ ගුරුවරයාගේ අවවාදය දෝෂ සහිත විය හැකි බව මගේ කුඩා සිත එදා කීවේය​. එම නිසා මම මේ වේලාවට අවදි නොවූයෙමි. එහෙත් අපගේ පන්තියේ සමහර ළමුන් උදේ තුනට හතරට නැගිටගත්හ​. 

පසු කාලයක මනෝ විද්‍යාඥ හෙදර් ජෝඩ්න් යටතේ ළමා මනෝ විද්‍යාව හදාරන විට මෙම මෝල් ගුරුවරයාගේ අවවාදයේ භයානක කම මට තේරුම් ගියේය​. නින්ද ළමුන්ට අත්‍යාවශ්‍යය​. ළමා කාලයේ නින්ද අඩු වන විට මොලයේ වැඩීම අඩාල වෙයි. මේ නිසා සංවර්ධිත රට වල සතියේ සමහර දින වල පන්ති ආරම්භ වන්නේ ප්‍රමාදවී ය​. මෙයට ලේට් ස්ටාර්ට් කියති. මෙම ලේට් ස්ටාර්ට් හි අරමුණ ළමුන්ට වැඩිපුර නිදා ගැනීමට ඉඩ දීමයි. 

තවත් ගුරුවරයෙකුට  ග්‍රස්තියක් ලෙස තිබුනේ ඉස්කෝලේ එන විට මවට හා පියාට වැඳීමයි. දෙමාපියන් දෙදෙනා රැකියා කරන උදෑසන කාර්‍ය බහුල නිවෙස් වල ළමුන්ට දිනපතා දෙමාපියන්ට වැඳ ඒමට අවකාශයක් තිබේද යන්න සිතීමට මෙම ගුරුවරයාට උවමනාවක් නොවීය​. ඔහු පන්තියට පැමින අද ඉස්කෝලේ එන විට අම්මටයි තාත්තටයි වැන්ද ළමයි අත උස්සන්න කියයි. අත නොඉස්සූ ළමුන් ගේ අල්ලට ඔහු වේවැල් පාරක් දෙයි. මේ නිසා ළමුන් වේවැල් පාරින් බේරීමට බොරුවට අත් ඔසවති. මේ අනුව ඔහු ළමුන්ට කියා දුන්නේ වංචා කරන අන්දමය.   

තවත් ගුරුවරයෙකු ළමුන් පන්තියේ කුඩා වැරැද්දක් කල විට තමුසේ අනාගතේ හිරේ යන කෙනෙක් ; එල්ලුංගස් යන කෙනෙක් කියා පන්තියේ අනෙක් ළමුන් ඉදිරිපිට කියා වැරැද්දක් කල ළමයාගේ ආත්ම අභිමානය පොඩි පට්ටම් කරයි. තමා අනාගත සිරකරුවෙක් කියා ළමුන්ව කුඩා කාලයේ සිටම තත්වාරෝපනය කල මෙම ගුරුවරයා වචනයේ පරිසමාප්තියෙන්ම මෝලෙකි. 

 නව යොවුන් වියේදී අප පොප් සංගීතය ප්‍රිය කලෙමු. එක් ගුරුවරයෙකුට මෙම ඉංග්‍රීසි පොප් සංගීතය වහ කදුරු මෙන් විය​. ඔහු නිතරම මෙසේ කීවේය​.

 " තමුසෙලා ඇබා බොනිඑම්ලා අහලා මොලේ කුරුවල් කරගත්ත අය නේ. තමුසෙලා අනාගතේ මරුසිරාලා වෙනවා" 

මොහු මෝලෙකු බව අපට එදත් තේරුණි. ඒ මන්ද යත් ඔහු සිතා ගෙන සිටි අයුරට ඇබා සහ බෝනි එම් යනු පුද්ගලයන් දෙදෙනෙකි. ඇබා සහ බෝනි එම් යනු සංගීත ගෘප් දෙකක් බවත් එම සංගීත කණ්ඩායම් වල සාමාජිකයන් ගේ නම් ද අප දැනගෙන සිටියෙමු.  එසේම මම ඒ කාලයේ ධර්මසිරි ගමගේ ලියූ මරුසිරාගේ ජීවිත කතාව කියවා තිබුනේය​. එහි කිසි තැනක සිරිපාල හෙවත් මරුසිරා පොප් සංගීතයට සවන් දුන් බවක් තිබුනේ නැත​. මේ අනුව ඒ කාලයේ සාමාජීය වශයෙන් අප මෙකී මෝල් ගුරුවරයාට වඩා ඉදිරියෙන් සිටි බව මට සිතේ. 

එක් ගුරුවරයෙකු නිතරම ජාතික  චින්තනය ගැන කීවේය​. එසේම   විදේශික දේ අප සහ මුලින්ම බැහැර කොට දේශීය දේවල් පමණක් ග්‍රහණය කල යුතු බව ඔහු කීවේය​. ඔහුට අනුව ඉංග්‍රීසිය පර භාෂාවකි. අප ඉගෙන ගත යුත්තේ පාලි හා සංස්කෘතය​.  

මේ ගුරුවරයා ගැන එක් දෙයක් කිව යුතුය​. ඔහු වර්තමානයේ ජාතික චින්තනය ගැන දේශනා කරමින් තම දරුවන් ඇමරිකාවේ ,ඕස්ටෙ‍්‍රලියාවේ උසස් අධ්‍යාපනයට යවන දෙබිඩ්ඩෙකු නොවීය​. ඉංග්‍රීසි නොදත් නිසා ඔහු ඉංග්‍රීසියට වෛර කල අතර තම හීනමානයෙන් මිදෙනු වස් ගෝලයන්ට පාලි හා සංස්කෘත ඉගෙන ගන්න කීවේය​. ඔහුගේ උපදෙස් අනුව පාලි හා සංස්කෘත පමණක් ඉගෙන ගත්තේ නම් ගෝලයන්ට උසස් අධ්‍යාපනය සිහිනයක් වනු නියතය​. 

මෝල් ගුරුවරු සෑම කාලයකම සෑම පාසලකම සිටිති. මෙම වියාජ ගුරුවරුන් ගේ මෝල් කතා සීරියස් ලෙස  භාර නොගැනීමට බාල පරපුරට මොලය තිබිය යුතුය​.  

41 comments:

  1. දැන් දැන් මෝල් කලන්තේ ඔළුවට ගහපු ගුරුවරුත් උගන්නන්න එනවනේ. ඒ මෝල්ලුත් රුවන් කියන ජාතියේ මෝල්ලුන්ට දෙවෙනි නැහැ.

    ReplyDelete
  2. //මෝල් ගුරුවරු සෑම කාලයකම සෑම පාසලකම සිටිති.//

    සහතික ඇත්ත. ආනන්දයේ මා ඉගෙන ගත කාලයේ එහි 10 ශ්‍රේණියට ගණිතය ඉගැන්වූ, 'දිවයිනේ දක්ෂතම ගණිත ගුරුවරයා' යයි විරුදාවලී ලත් ගුරුවරයෙකු මාව සැමදාම 'බයිට්' එකට ගැනීම නිසා මට ගණිතය වහ කදුරු වගේ වුනා. මගේ සරසවි ගමනටත් එයින් නැවතීම් ලකුණ තැබුන නිසා අන්තිමේදී මම නැවතුනේ හමුදාවකයි.

    ReplyDelete
    Replies
    1. කවුද බොලේ ඒ. මෑතක විය යුතුයි.

      Delete
    2. //මෑතක විය යුතුයි.//

      අපොයි නැහැ. හුඟක්ම ඈතදී - මා 10 ශ්‍රේණියේ සිටියේ 1968 දී. අනිත් පැත්තට බැලුවම වැඩි ඈතක් නැහැ. අවුරුදු 48ක් යන්තම් ගතවුනා විතරයි!

      රසික කියා ඇති හැටියට මෙවන් ගුරුවරුන් නම් කල යුතු වුනත්, ඔහු අද ජීවතුන් අතර නැති නිසා මා එය කරන්නේ නැහැ. ඔහු කවුරුන්ද කියා ඒ කාලයේ ආනන්දයේ සිටි සිසුන් හට නම් සිතා ගන්නට පුළුවන්.

      Delete
    3. දැන් බලාගෙන ගියාම බ්ලොග්ස් ඇතුලේ වැඩිපුර ගැවසෙන්නේ අපි වගේ වයසක ඩයල්නේ.

      Delete
    4. වයසක නෙවේ අරූ, ජ්‍යේෂ්ට!

      Delete
    5. @Aruna Perera

      වයසක ඩයල් නේන්නම්. මොනවා කරන්නද, අපේ කාලේ මේ බොලොග් අරවා මේවා තිබුනේ නැති එකේ, දැන්වත් ඉතින් 'catch up' කරන්න එපායැ!

      Delete
    6. ඔව්..ඔව්..ඇනෝ. ටෙක්නොලොජි එක මහ ලොකුවට දන්නේ නැතුවට...මාත් ඉතින් දන්න විදිහට කමෙන්ට් එකක් දාගෙන, කියවගෙන පොඩි රසයක් විඳිනවා.

      රාජ් කියන හැටියට අපි වයසක ඩයල් නෙමේ පුහ්...ජ්‍යේෂ්ඨ ඩයල්.....එහෙම වරෙන්-දැන් නාපන් කිව්වලු.

      Delete
    7. ඔය ගුරුවරයා සී එම් වීරරත්න්න මහත්තයා නෙවෙයි නේද ?

      Delete
  3. මෙවැන්නන් ගේ නම් ප්‍රසිද්ධියේ කිව යුතු නොවේ ද?

    ReplyDelete
  4. මෙවැන්නන් ගේ නම් ප්‍රසිද්ධියේ කිව යුතු නොවේ ද?

    ReplyDelete
  5. ඔය වැරදිලා ගුරුවරු වෙච්ච ගුරුහොරු.. හැබැයි උන්ට කරන්න පුලුවන් විනාශය හරි ඉහලයි, අති භයානකයි...

    ReplyDelete
    Replies
    1. උන්ට කරන්න පුලුවන් විනාශය හරි ඉහලයි, අති භයානකයි...

      Delete
  6. ගුරුවරුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් මෝල් ගණයට වැටෙන බව කියන්නෙ කණගා‍ටුවෙන්. ඒ වගෙම රුවන් ගුරුවරුන් ගැන අපි දකින් ආකාරයත් සාපේක්ෂයි. ඔය ගුරුවරුන්ව අපිට මතක තියෙන්නෙ අපිට උගන්නපු කෙටි කාලය තුල අපි ළමයින් වශයෙන් ඔවුන්ව දැකපු ආකාරයට. ඔවුන් සමග වැඩකරන සගයන් ඔවුන් ගැන දරන අදහස සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුලුවන්. රුවන්ගෙ සමහර ගුරු පෝස්ට් වලට මාම් කමෙන්ට් නොදැම්මෙත් අන්න ඒකයි.

    ReplyDelete
    Replies
    1. මමර මෝල්ලු ගැන තීන්දු ගන්න නං එයාල ගැන කියන කතන්දරය කිහිපයක් ඇසීම ප්‍රමාණවත්.
      මගේ කාර්යාලයට කිට්ටු ඉස්කෝලෙක විදුහල්පතිත් ඒ ජාතියෙ වගේ. ප්‍රේම සබඳතාවලට ඔහුගේ දඬුවම පාසලෙන් නෙරපීම. ගුරුදෙගුරු රැස්වීමට එන අම්මලගෙ ඇඳුම් ගැනත් සෑහෙන්න වධවෙනව.

      Delete
    2. ගුරුවරුන් ගැන අපි දකින් ආකාරයත් සාපේක්ෂයි./////////// agree

      Delete
  7. ගුරුවරයකු වශයෙන් මා ගතකල වසර තුන හතරක කෙටි කාලයේදී ලද අත්දැකීමක් මෙහෙමයි.

    ගුරු විවේකාගාරයේ කතාබහ කෙරෙන දේ නිහඬව අසා සිටියොත් වැටහෙනවා, සමහර ගුරුවරුන්ගේ චින්තනය, තවමත් 18 වැනි ශතවර්ෂයේ පමණ ඈතක තිබෙන බව. පාසල් ප්‍රේමය, එල්ලුම්ගස් යැවීමට සුදුසු වරදක් ලෙසයි සමහරු දකින්නේ.

    එක් දිනක්, මා උගන්වමින් සිටි පන්තියට අල්ලපු පන්තියේ ගුරුවරියක්, මෙහෙම කිව්වා. 'ඔන්න මම අද ඔය ළමයින්ට පාඩම ඉවර කළා පීරියඩ් එක ඉවරවෙන්න විනාඩි දහයකටත් කලින්. දැන් කෑ නොගහා පොත බලාගන්න. කෑගැහුවොත් මම ඊළඟ පාඩම පටන්ගන්නවා'

    ඒ කියන්නේ ඒ ගුරු මහත්මියගේ ඉගැන්වීම ළමයින්ට දඬුවමක් :D

    ReplyDelete
    Replies
    1. ඒ අන්තිමට කිව්ව එක විචාරක සාපේක්ෂ දෙයක්. Can you remember there was an age when we has to sit boy - girl - boy - girl was a punishment?

      Delete
    2. ye ye ye, I was unfortunate to get that sweet punishment, as I have studied in a Boys School during the appropriate age limit.

      Delete
    3. සමහර ගුරුවරුන්ගේ චින්තනය, තවමත් 18 වැනි ශතවර්ෂයේ පමණ ඈතක තිබෙන බව.////////// +++++++++++

      Delete
  8. I remember a teacher called 'Jadaya' in a Colombo school in the 70's.(won't name the school) He was appropriately named as such by the students.

    ReplyDelete
  9. මිනිස්සු එක්කෝ තමාම මවාගත්ත, එහෙම නැත්නම් සමාජීය වශයෙන් තියන විවිධ හිතලුවලින් ඔලුව පුරවාගත්ත අය. ස්වභාවයෙන්ම, තමන් නිවැරදි බවත්, තමා අනුව අනුන් හැඩගැසිය යුතු බවත් ඔවුන් බහුතරයක අදහස. ඉතිං ඒ වගේ අය ගුරුවරුන් වුනාම සිදුවෙන නස්පැත්තිය තමයි මේ.
    මගේ නං අදහස විවෘත මනසකින් සුන්දර විදියට අධ්‍යාපනය ලබාදෙන ගුරුවරුන් ඉන්නෙ සීයට පනහට වඩා අඩුවෙන් නිසා, පාසලෙන් කලයුතු විශය කරුණු ඉගැන්වීම පමණයි. ඉන් එහා නැඟිටින්නෙ කීයටද, කන්න බොන්න ඕන කොහොමද, සිරිත්විරිත් මොනවද ආදිය ඉගැන්වීම වෙනම කලයුතුයි.

    ReplyDelete
  10. මටත් මෑතක මෙහෙම මෝල් ගුරුවරයෙක් මුන ගැසුනා... මිනිහට වගේම මිනිහගේ අනුගාමිකයින්ටත් මෝල්... එයාට මෝල් කලන්තෙ කියලා කිව්වාම මලේ හොඳම එකෙන් අහගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. මෝල් ගුරුවරු ඉන්නවා

      Delete
  11. මාත් කරපු රස්සාව තමයි .එත් ඉතින් තිත්ත වුණත් කතාව ඇත්ත .එසේම බොහෝ කමෙන්ටුවල අදහස්වලටත් එකඟයි .

    ReplyDelete
    Replies
    1. ටීචර් සෑම පාසලකම පාහේ හොඳ ගුරුවරු අතර අප්සෙට් ගුරුවරු ඉන්නවා

      Delete
  12. මේ ලිපියේ මුල් පේළි ටික කියවන කොටම මට මතකය්ටා ආව එක ගුරුවරියක්.. ඇය හැමදාම මොකක් හරි බොරු හේතුවක් හොයාගෙන කාලේ කනවා මිසක් උගන්නේ නැ, O/L කාලේ අපිට සිංහල ඉගැන්නුවේ ඇය.. හැබැයි ඇය හරියට ළමයින්ගේන් වැඳුම් පිදුම් බලාපොරොත්තු වෙනවා.. මගේ ලොකු අම්ම ඉගැන්නුවෙත් මේ පාසැලේ.. ඇයගේ හොඳ යෙහෙලියක්..

    වාර අවසානයේ දිනක මේ ගුරුතුමිය ගිහින් ලොකු අම්මට කියලා මම ගුරු විවේකාගරයේ හිටි හැම ගුරුවරයෙකුටම වැන්ඳා, ඇයට වැන්ඳේ නැ කියල.. මට ඒ වෙලාවේම බුලත් අතක් හොයා ගෙන වඳින්න කියලා ලොකු අම්ම බල කලා.. මම ගිහින් ඇයටහ් එහි සිටි සෑම ගුරුවරයෙකුත් වැඳලා අව, හැබැයි ඇය ගැන මට කිසිම ගුරු ගෞරවයක් නැ.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ චරිත මම දැකලා තියනවා

      Delete
  13. ළමා මානසිකත්වයට දැඩි බලපෑමක් කරනාවායැයි එකල සිතූ සමහර සිදුවීම් නම් අද බොහොමත් ප්‍රියජනක කතා.එක් ගුරුවරයෙක් හිටියා අච්චු පොත ගෙනාවෙ නැති උනොත් එලියෙ දණගස්සනවා.ඊට පස්සෙ පාඩම කරනකොට අහන ප්‍රශ්ණ වලට උත්තර දන්නෙ නැති උනොත් ලොකු කෝට්ටකින් ගහනවා පාර හිටින්න.කොහොම හරි අවුරුද්දෙ මුල් මාසෙන් පස්සෙ කොල්ලො ඔක්කොම ටික අච්චු පොත ගෙනාවේ නෑ කියලා ඒළියෙ දණ ගහනවා.මිනිහට මුළු අවුරුද්දෙම ඒ ගැන ගානක්වත් නෑ.ඒ කාලෙනම් හිතුවෙ මිනිහ හිතා මතාම උගන්වන්න තියෙන කම්මැලි කමට එහෙම කරනවා කියලා

    ReplyDelete
    Replies
    1. උගනන්න දන්නැතිඋනාම එහෙම කරනවා

      Delete
  14. ළමා මානසිකත්වයට දැඩි බලපෑමක් කරනාවායැයි එකල සිතූ සමහර සිදුවීම් නම් අද බොහොමත් ප්‍රියජනක කතා.එක් ගුරුවරයෙක් හිටියා අච්චු පොත ගෙනාවෙ නැති උනොත් එලියෙ දණගස්සනවා.ඊට පස්සෙ පාඩම කරනකොට අහන ප්‍රශ්ණ වලට උත්තර දන්නෙ නැති උනොත් ලොකු කෝට්ටකින් ගහනවා පාර හිටින්න.කොහොම හරි අවුරුද්දෙ මුල් මාසෙන් පස්සෙ කොල්ලො ඔක්කොම ටික අච්චු පොත ගෙනාවේ නෑ කියලා ඒළියෙ දණ ගහනවා.මිනිහට මුළු අවුරුද්දෙම ඒ ගැන ගානක්වත් නෑ.ඒ කාලෙනම් හිතුවෙ මිනිහ හිතා මතාම උගන්වන්න තියෙන කම්මැලි කමට එහෙම කරනවා කියලා

    ReplyDelete
    Replies
    1. උගනන්න දන්නැතිඋනාම එහෙම කරනවා

      Delete
  15. ගාල්ල මහින්ද විද්‍යාලයේ "ඔටුවා" කියන ව්‍යාජ නමින් අමතන ගණිත ගුරුවරයා මම කල සුළු වැරැද්දකට මව පාසලට එක්කරගෙන එනකම් පන්තියට ගත්තේ නෑ සති තුනක්. ගෙදරින් ගුටි කන්ට වෙන බයටම සති තුනක් යනකම් හැංගි හැංගි ඉඳල අන්තිමට එක්කරගෙන ආව. එදා ඔටුව වැරදි අතින් පයිනුත් දාල කියල ගෙදරින් අම්බානක පෝරියල් එකක් හම්බුන. පස්සෙ නුවර සුමංගල විදුහලේ උසස්පෙළ කොරන්ට ගියහම (නම මතක නෑ 99 කණ්ඩායමේ එකවුන්ට් සර් ජයවර්දන ද කොහෙද) එතන හිටිය උඩගු රදල එකවුන්ට්ස් සර් (ඒ වගේම ඒකටම හරියන අනිත් උඩගු මිස්ල සර්ලා) මම දකුණු පළාතෙන් ආව නිසා පහත රට කියල හැමදාම පන්තියේ චාටර් කලා. ඒකට ඌටම හරියන උඩගු උඩරට පොෂ් කොල්ලොත් මට පහත රට විදිහටම සැලකුව.

    බලන්න පිංවතුනි. මටමමයි වෙන්නෙ 🙈🙉🙊

    ReplyDelete
    Replies
    1. මොවුන් ගුරුවරු නොවේ මොවුන් ළමා මනස හදාරා නොමැත

      Delete
  16. හපොය් අපේ රෙදි ලෙහල තියෙන්නෙ..යකෝ අපිත් ගුරුවරු..

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook