Monday, September 12, 2016

ඉතලියානු සින්ඩ්‍රෝමය



1999 - 2009 අතර කාලය තුලදී මම අධ්‍යාපන ප්‍රතිකාර විෂය පිළිබඳව විශේෂ උනන්දුවකින් ක්‍රියා කලෙමි. ළමුන් බොහෝ විට අධ්‍යාපන දුර්වළතා පෙන්වන්නේ කායික සහ මනෝ විද්‍යාත්මක හේතූන් නිසා බව මගේ උපකල්පනය විය. මේ අනුව අධ්‍යාපන ප්‍රතිකාර මගින් ළමුන් ගේ අධ්‍යාපන දුර්වළතා වලට පිළියම් යෙදිය හැකි බව මම පෙන්වා දුනිමි. මගේ අත්දැකීම් අළළා අධ්‍යාපන ප්‍රතිකාර නමින් පොතක් 2002 වසරේදී එළි දැක්වූයෙමි. 

අධ්‍යාපන ප්‍රතිකාර විෂය සම්බන්ධයෙන් කටයුතු කරන විට චර්‍යාත්මක  ආක්‍රමතා මෙන්ම මනෝ කායික ආබාධ සහ චිත්තාවේගීය ගැටළු තිබූ ළමුන් කාණ්ඩයක් මගේ අවධානයට යොමු විය​. මෙම ළමුන් කාණ්ඩය තුල එක් පොදු ලක්‍ෂණයක් මම දුටිමි. එය නම් මෙම ළමුන් ගේ අධ්‍යාපනික දුර්වළතා, චර්‍යාත්මක ගැටළු සහ මනෝ කායික ගැටළු ආරම්භවී තිබුනේ පියාගේ ස්ථිර හෝ තාවකාලික වියෝගය සමගය​. මෙම නියැඳියේ බහුතරයේ පියවරු ඉතාලි ගොස් තිබූ අතර ළමුන් බොහෝ විට සිටියේ මව සමගය​. 

ළමා මනෝ විද්‍යාවේ මාතෘ දුරස්ථකරණය (Maternal Deprivation ) පිළිබඳව ඔටෝ රෑන්ක් , ඇනා ෆ්‍රොයිඩ්, ජෝන් බෝල්බි ,  මේරි ඇනිස්වත් වැනි මනෝ විද්‍යාඥවරු / විද්‍යාඥවරියන් ගැඹුරු ලෙසින් අධ්‍යනය කර ඇති නමුදු පීතෘ වියෝග සහලක්‍ෂණය (Paternal deprivation Syndrome ) අධ්‍යනය කොට තිබෙන්නේ සාපේක්‍ෂව අඩු මට්ටමකටය​. එසේම  පීතෘ වියෝග සහලක්‍ෂණය ලංකා සමාජයේ   අධ්‍යනය කොට තිබෙන්නේ ඉතාම සීමිත පිරිසකි. 

පියාගේ ස්ථිර හෝ තාවකාලික වියෝගය සමග කායික සහ මනෝ විද්‍යාත්මක සිම්ප්ටෝමයන් පෙන්වන ලද ළමුන් මම වැඩිදුරටත් අධ්‍යනය කලෙමි. පියාගේ මරණය​, පවුල් ආරවුල් නිසා පියාගේ නික්මයාම ,  පියා ඉතාලියට යාම යන සංසිද්ධීන් නිසා මෙම ළමුන් තුල අධ්‍යාපන ගැටළු , චර්‍යාවේ ගැටළු  මෙන්ම සමහරක් විට හිටි හැටියේ ගොත ගැසීම​, ඇඳ තෙමීම වැති තත්වයන් නිරීක්‍ෂණය විය​. එසේම සමහර ළමුන් තුල මනෝ කායික ආබාධ ද හඳුනා ගැනුනි. මෙම තත්වය මම පොදුවේ ඉතලියානු සින්ඩ්‍රෝමය ලෙස නම් කලෙමි. 

ඉතලියානු සින්ඩ්‍රෝමය ද මාතෘ දුරස්ථකරණ සින්ඩ්‍රෝමය මෙන් ක්ලමථ-ජනකය​. පීතෘ වියෝග සහලක්‍ෂණය නිසා පසුකාලීනව වැඩිහිටි සමයේ විශාදය , කාංසාව වැනි අක්‍රමතා මතු වීම මෙන්ම සමාජ විරෝධී  පෞරුෂ ලක්‍ෂණ මතු වීමේ අවධානමක් තිබේ. මෙම සින්ඩ්‍රෝමයේ ලක්‍ෂණ පෙන්වන ළමුන්ට වෛද්‍ය විද්‍යාත්මක මෙන්ම මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර අවශ්‍ය කෙරේ. තවද මෙම තත්වය ගැන ලංකාවේ ළමා වෛද්‍යවරු මෙන්ම මනෝ චිකිත්සකයන් තව දුරටත් අධ්‍යනය කිරීම වැදගත් වේ. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

15 comments:

  1. මම ගුරුවරියක්.අපේ ඉස්කෝලෙ ගමක එකක්.එකෙ දරුවො 50%ගේම පව්ල් අවුල්..10 වසරෙත් ඉන්නව අකුරු අදුනන්නැති ළමයි. ඒ සඳහා කල හැකි ප්‍රතිකාර මේ පොතේ තියනවද?එහෙනම් මට මේ පොත තැපැල් මාර්ගිකව ගෙන්න ගන්න පුළුවන්ද?අවිස්සාවෙල්ල පැත්තෙ කිසිම බුක්ෂොප් එකක මං මේ පොත දැකල නෑ

    ReplyDelete
    Replies
    1. මේ පොත ගොඩගේ පොත් සාප්පුවේ බලන්න​. ඔබ කියන පරිදි ළමුන් මාතෘ වියෝග සාධකය / පීතෘ වියෝග සාධකය නිසා කාංසා ලක්‍ෂණ පෙන්වනවා ඔවුන්ට ගුරුවරියන් ගේ ආදරය අවශ්‍යයි

      Delete
  2. මගේ අදුනන පුතෙක් ඉන්නවා.පියා ඔහු කුඩා කාලයේ මවගෙන් වෙන් උනා.මව හා පියාගේ දෙමාපියන් සමග ජීවත් වෙන්නේ.ඉගෙන ගැනීමට දුර්වලයි .නමුත් විදුලි කාර්මික වැඩ උනන්දුවෙන් සිදු කරයි. සමග තරහ ගන්නවා.ඒත් පාසලේදී සාමකාමී දරුවෙක්.මනෝ වෛද්‍යවරයකුට යොමු කර ප්‍රතිකාර දුන්නා.බෙහෙත් ලබා ගන්නා කාලයේ තරහ පාලනය වූ බව පැවසුවා.දැන් බෙහෙත් ලබා ගැනීමටත් පැමිණෙන් නෑ .ඔහුට අපිට කල හැකි උපකාරය කුමක්ද.

    ReplyDelete
    Replies
    1. මේ පොත ගොඩගේ පොත් සාප්පුවේ බලන්න​. ඔහු සමග යහපත් සබඳතාවක් පවත්වාගෙන යන්න ඔහුට සවන් දෙන්න ඔහුව අගය කරන්න

      Delete
    2. http://www.godage.com/book-search.html
      it's not there.

      Delete
  3. මගේ දරු දෙදෙනාට අම්මා අහිමි වුනේ වයස 14 සහ 16 දී. දැන් ඔවුන්ට 17 සහ 19 වයසයි. මට ඇය නිතරම මතක් වුවත් ඔවුන් සමඟ ඒ ගැන කතා කරන්නේ නැත්නේ ඒකෙන් ඔවුන්ගේ මානසිකත්වය බිඳවැටේදෝ කියා සිතෙන නිසා. නමුත් මට මෙය ඉතා වේදනාකාරී දෙයක්. මම දන්නෑ ඔවුන්නුත් අම්මා ගැන කතානොකලාට හිතෙන් දුක්වෙනවාද කියා . ඇත්තටම මම කල යුත්තේ කුමක්ද ?

    ReplyDelete
    Replies
    1. රුවන් මේකට පිළිතුරු දෙයි. මට තේරෙන විධිහට නම් ඔබ ඔවුන් සමග කතා කල යුතුයි කියා. ඔවුන් සිතේ දරාගෙන ඉන්න එක ඔවුන්ටම කරදරයක් කියල මට හිතෙන්නේ.

      Delete
    2. ඔබ හරි අජිත් ; මේ පීඩන සිතේ යටපත් කරගෙන සිටීම මගින් වෙනත් කලමථ තත්ව ඇති වන්න පුලුවන්

      Delete
  4. මම දන්න පාසැලක් තියෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ. ඒ පාසලේ එක පන්තියක ඉගෙන ගන්නා දරුවන්ගේ අම්මලා සියයට 95 ටත් වැඩියෙන් විදේශ රැකියාවල.

    ReplyDelete
    Replies
    1. මෙම මාතෘ වියෝග සාධක නිසා ළමුන් ක්ලමථයට ලක් වනවා

      Delete
  5. තාත්ත ඉතාලියට ගිය ළමුන් දෙන්නෙකුට කාලයක් උපකාර කලා. තාත්තගේ මුදල් කාලෙකින් නැවතුන. ඔහු වෙන කෙනෙක් එක්ක ජිවත් වෙනවලු. ලොකු පුතා දැන් ඉබාගාතේ යනවලු.

    ReplyDelete
    Replies
    1. දෙමාපියන් නිසා වියලෙන ළමා ජීවිත

      Delete
  6. අහස් යන්තරයක හඬින්
    දොරට දුවනා පොඩි එවුන්
    හඳහාමි කිරිපැනි ගෙනා ලෙස
    බලා හිඳි කිරි ගෙනෙනා තුරා
    අම්මා හිනැහී එන තුරා

    අත්ත අත්තම්මා අතින්
    කවන බත්කට රස වුනත්
    අත්තගේ නොහොබින සෙනේහය
    ජීවිතේ අලුකර ගියත්
    නොදැනෙනා ඇය හඬාවිද හෙට
    බලයි කඩතුරාවට යටින්
    අම්ම ඒවිද සෙනෙහසින්

    තාත්තගෙ රහ මෙර බිලට
    අම්මගේ ගත රුහිර යටවී
    සින්නවෙන බිම බේරගන්නට
    පාසැලෙන් මිදිලා
    යන්නෙ බැලමෙහෙ කරන්නට
    රකින්නට රැකලා තියන්නට
    කිසිත් ඇය සතු නැති නිසා
    අම්මා නැවතත් එන තුරා

    මල් කැකුලු පුබුදන්න පියඹා
    පරවු කැකුල් සිඹින අම්මා
    තවම ගෙපැලේ බර දරාගෙන
    කඳුලු සයුරක ගිලෙයි නිම්මා


    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook