Thursday, September 8, 2016

චන්ද කාලේ කතාවක්

            


                           

වත්තේ ගෝසාව නිසා රෑට හරියට නින්ද ගියේ නැහැ. පල්ලෙහා ගෙදර නෙවිල්කාරයා වැලිකඩින් මාස දහ අටකට පස්සේ ඇවිල්ල එතන මුළු රෑම බජව්ව. ඌ වැලිකඩ හිටපු කාලේ උගේ ගෑනිව තියාගෙන හිටියේ ලාසරස් අයියා. ලාසරස් අයියාගේ කුණු කොන්තරාත්තුවකට තමයි නෙවිල්කාරයාට කූරු ගණන් කරන්න උනේ. ඒත් ඌ වැලිකඩින් ආවාම සල්ලි විසි කරලා පාටිය දැම්මේ ලාසරස්. බෝතල් සූස්ති ගෙනල්ලා පාටිය නියමට නැගලා ගියා. මටත් එන්ඩ කියලා තිබ්බත් මහන්සිය නිසා මම ගියේ නැහැ. අනිත් එක මට ලාසරස්කාරයා දිරවන්නේ නැහැ. 


එහා වත්තේ රාම්දාස් තමයි සින්දු කිව්වේ. ඌ ගිරිය පුප්පගෙන දෙමළ සින්දු කිව්වා. ඩෝලේ ගැහුවේ මාකට් එකේ රන්ජි. රෑ දෙක පහු උනාම මුන්ගේ ගෝසාව වාතයක් උනා. නැගිටලා ගිහිල්ල පොඩි සද්දයක් දාලා බජව්ව බ්ලාස්ට් කරන්න හිතුනත් එතන සෙනෙවිගේ ගැන්සියත් හිටපු නිසා මම ගේමක් ඇද්දේ නැහැ. අනිත් එක නෙවිල්කාරයාගේ ගෑනිගේ කටත් හොඳ නැහැ. මම සයිලන්ස් එකේ කොට්ටෙට ඔලුව තදකර ගත්තා. බජව්වේ සද්දේ ලෑලි බිත්ති හිල් කර ගෙන එනවා වගේ. ඒ මදිවට වහලේ ටකරන් හිල් අස්සෙන් ලයිට් කණුවේ එලිය මූණට වැටෙනවා. මූණට තුවා කබලක් දාගෙන අමාරුවෙන් නිදාගත්තා. 

මට ඇහැරෙන කොට හොඳටම අව්ව පායලා. හරියට නින්දක් තිබ්බේ නැති නිසා ඔලුව බරයි වගේ. මම ගියා වතුර පයිප්පෙට මූණ හෝදගන්ඩ. ගෙදරින් එළියට බහින තැන කුණු කානුව උතුරලා ගිහිල්ලා. අඩිය තිබ්බේ ජරා වතුර උඩට. කළු පාට සෙවල වගේ දෙයක් සෙරෙප්පුවෙත් පැටලුනා. වත්තේ පොඩි එවුන් කක්ක කරන්නෙත් මේ කාණුවට. උන්ගේ ජරාවත් උතුරලා යනවා. මැස්සෝ විමානේ. නරකාදිය මීට හොඳ ඇති මගේ හිතේ. 

"වික්ටර් මල්ලි කාණුව උතුරලා වගේ " මට ගෑනු කටහඬක් ඇහුනා. ඔලුව උස්සල බලන කොට චින්තක්කා. රෑ පාරවල් ගානේ ගිහිල්ල ඇඟපත විකුනලා කීයක් හරි හොයා ගෙන උදෙන්ම ගෙදර යනවා. චින්තක්කාගේ අතේ පාන් වගයක්. එකත් එකටම පොඩි එවුන්ට කන්ඩ ගෙනියනවා ඇති. මට චින්තක්කා ගැන දුකක් ඇති උනා. ගෑනි නොවිදිනා දුක් විදින්නේ පොඩි එවුන් හතර දෙනෙක්ව ජිවත් කරවන්ඩ. 

"කොහොමද චින්තක්කේ ඊයේ වාසිද ?" මම ඇහුවා. 

"මොන වාසියක් ද මල්ලි, චන්ද කාලේ නිසා පාරවල් වල පොලිසියෙන් ඉන්නවා. පැය තුනක් විතර මදුරුවෝ කකා පැට්ටේරිය පාරේ හිටගෙන හිටියා. බල්ලෙක්වත් පාරේ ගියේ නැහැ. අන්තිමේදී උදේ හතරට විතර ඇස්වාට්ටුවේ පෝලිම අල්ලන්ඩ යන අන්කල් කෙනෙක්ව බාගත්තා. මෑන් ළඟ තිබ්බේ රුපියල් පනහක් විතරයි. එකත් හම්බුනේ නැත්තම් අද බඩේපාර තමයි " චින්තක්කා කිව්වේ අඬන්ඩ වගේ. 

"කරුම රස්සාවක් මල්ලි, ගාමන්ට් එකකටවත් පැනගන්න තියනව නම් හරි, බැරිද සැම්සන් මහත්තයටවත් කියල මොකුත්... " චින්තක්කා බැගෑපත් උනා. 

"මම සැම්සන් මහත්තයට වාක්යක් දාලා බලන්නම්" 

චින්තක්කාගේ හිත සැනසෙන්න එහෙම කිව්වට දැන් මම සැම්සන් මහත්තයා එක්ක නෝ- ගනුදෙනු. ගිය සැරේ ඉලෙක්ෂන් එකේ මම බැහැල වැඩ කළේ සැම්සන් මහත්තයට. සැම්සන් මහත්තය චන්දෙට හොඳට වියදම් කළා. වියදම් කරන්න සල්ලි වලින් අඩුවක්ද ? ගාමන්ට් කීයක් තියනවද මහත්තයට. 


මම සෙනෙවිගේ ගැන්සිය අල්ලගෙන පෝස්ටර් ගැහුවා. සැම්සන් මහත්තයගේ කොඩි කපපු පේමේගේ බජාර් එකට නෙළුවා. පේමේගේ ගෝලයා මස් කඩේ නිසාම් මගෙන් කෑවා කැවිල්ලක් මදියි නොකියන්ඩ. ඌට ගහලා ඔළුව එබුවා කාණුවේ. මුළු වත්තම බලා ගෙන හිටියා මම නිසාම්ට ගේම දෙනකොට. එකෙක් ආවේ නැහැ මට එගෙන්ස්ට්. පස්සේ මට ආරංචි උනා පේමේ මට කොටන්ඩ නිසාමුයි , ඉමිතියාසුයි එක්ක කඩු අරගෙන ආවා කියලා. මම නැති වෙලාවේ අපේ ගෙදර ළඟ කෑගහලා පොඩි මෝස්තරයක් දාලා තියනවා. මම ගෙදර හිටිය නම් අතාරින්නෙ නැහැ. මම ළඟත් තොටළඟ ගුනේගෙන් ඉල්ල ගත්ත කැපෙන කඩුවක් තියනවා. 

චන්ද කාලේ අපිට සැම්සන් මහත්තය රජ සැප දුන්නා. බාබත් ද බුරියනි ද ඕන දෙයක්. ඒ කාලේ අපේ කොල්ලෝ සෙට් එක ගැහුවේ සීල් අරක්කු. කසියා ළඟටවත් කිට්ටු කලේ නැහැ. ඉස්සර අපිව කෙයාර් කරපු නැති පොලිසියේ බුවාලත් අපිට පනාව දැම්මා. මඩකලපුවට ට්රාන්සර් හම්බුන රාළහාමි කෙනෙක් මාව පැත්තකට කරලා ඇහුවා සැම්සන් මහත්තයට කියලා මාරුව අවලංගු කරලා දෙන්ඩ පුලුවන්ද කියලා. කොහොම ද ඒකාලේ අපිට පොලිසියත් සරෙන්ඩර් උනා. මම තමයි අපේ කොල්ලෝ සෙට් එක ලීඩ් කළේ. සැම්සන් මහත්තයගේ පැජරෝ වලින් අපි ගිහිල්ල පනහේ වත්තේ එවුන්ට චන්දේ දාන්ඩ දුන්නේ නැහැ. පනහේ වත්ත කොහොමටත් සැම්සන් මහත්තයට එගෙන්ස්ට් හිටියේ. සැම්සන් මහත්තය චන්දෙට දවස් දෙකකට උඩදී මට රහසෙන් කිව්වා පනහේ වත්තට ගේමක් දෙන්ඩ කියලා. චන්දේ දවසේ උදේ අපි ගිහිල්ල අහසට වෙඩි තියලා පාර හරස් කරලා ටයර් ගිනි තිබ්බා. ටයර් වලට ගිනිගැහුවේ අපේ වත්තේ කළු අජිත්. 

ටී 56 අතේ තිබ්බ ආමි ලාල් අහසට වෙඩි වැලක් තිබ්බා. ආමි ලාල් ඉස්සර වැඩ කළේ හමුදාවේ. හමුදාවෙන් පැනලා සැම්සන් මහත්තය ළඟ වැඩකරා. මෙන්න නියම බුලට් බඩුව. අපේ වත්තේ හිටිය නම් මම මුළු වත්තම රිවට් කරනවා ලාල් එක්ක. 

මම පැජරෝ එකෙන් බැස්සා. මගේ අතේ තොටළඟ ගුනේගේ කඩුව. මම කඩුව වනලා කිව්වා " අඩෝව්, එක බැල්ලිගෙ පුතෙක් චන්දේ දාන්ඩ බැස්සොත් බඩවල් අදිනවා" කියලා. ළඟ හිටපු ගෑනු ටික ළමයි එහෙම පණ එපා කියලා දිව්වා. සමහරු බෝක්කු ඇතුලේ. වත්තේ හිටපු මෑන්ස්ලා කවුරුත් එලියට බැස්සේ නැහැ. මම හිතුවේ පේමේ එලියට එයි කියලා. එලියට ආවා නම් අම්මපා මම ඌව බාවනවා. ක්රිමිනල් කේස් එකක් දාගත්තත් සැම්සන් මහත්තය අපිව එලියට ගන්නවා කියලා මට විස්වාසයක් තිබුනා. 

සැම්සන් මහත්තයා චන්දේ දින්නා. දිනපු දවසේ අපි ඔක්කෝටම දුන්නා පාටියක් හොම්බෙන් යන්ඩ. විස්කි හිටන් තිබුනා උතුරන්ඩ . අපේ ගැන්සියේ බාගයක් විතර විස්කි ද අරව ද මේව ද බිලා කබරයෝ හිටන් ඇද්දා. උදේ අපි සමහර කොල්ලන්ව ගෙනිච්චේ කරේ තියාගෙන. සැම්සන් මහත්තය චන්දේ දින්නාම පස්සේ උනත් අපිට මහත්තයගේ බංගලාවට ඕන වෙලාවක යන්ඩ පුළුවන් උනා. ඒත් පස්සේ පස්සේ සෙකුරිටියෝ අපිට යන්ඩ දුන්නේ නැහැ. සැම්සන් මහත්තය හම්බ වෙන්ඩ හිතාන අපි ගේට්ටුව ළඟ හිටියා. ගේට්ටුව ඇරුණු ගමන් වාහන හත අටක් එලියට යනවා වේගයෙන්. සැම්සන් මහත්තයා යන මොන්ටෙරෝ එක රතු පාටයි, අලුත්පිට දිස්නෙට දිලිසෙනවා. විදුරු කළු නිසා අපිට මහත්තයාව පේන්නේ නැහැ. 

සැම්සන් මහත්තයා චන්දේ කාලේ අපේ වත්තට ඇවිල්ලා කිව්වා වත්තට යන පාර ලොකු කරනවා, පාරට තාර දානවා කියලා. අපේ ලෑලි ගෙවල් ගඩොලින් හදලා දෙනවා කිව්වා, ටැප් වතුර දෙනවා කිව්වා, වත්තේ කොල්ලන්ට නගර සබාවේ රස්සා අරගෙන දෙනවා කිව්වා. චන්දේ දිනලා මාස අටක් යනකන් කරපු මළදානයක් නැහැ. මම නිසා වත්තේ එවුන් සැම්සන් මහත්තයාට බැහැලා වැඩ කළා. සැම්සන් මහත්තයා අපේ වත්තට ආවාම මමයි රැස්වීම සංවිදානය කළේ. මහත්තයා කිරිකොකා වගේ නැසනල් එක ගහලා කුණු වතුර නොපාගා අමාරුවෙන් අවා. චින්තක්කාගේ පොඩි එකී තමයි සැම්සන් මහත්තයාට මල්මාලේ දැම්මේ. අපේ කොල්ලෝ ලයිට්වැල් ඇදලා කොඩි දාලා සරසලා තිබ්බා නියමෙට. 

චන්දේ දිනලා පොරොන්දු ඉටු නොකලහම වත්තේ එකාලා මගේ ඇඟටයි ආවේ. 

"වික්ටර් මල්ලි, කෝ බන් අපිට දෙනවා කිව්ව ගෙවල්? " නෙවිල්කාරයාගේ පවුල මගෙන් කින්ඩියට ඇහුවා. මොනවා කියන්ඩද සැම්සන් මහත්තයා අපිව මඟ අරිනවා කියලා කියන්ඩ පුලුවන්ද ? එලියට බැස්සම මාර වාතේ. වත්තේ එවුන් මගෙන් එක එක ඒවා අහනවා. මට කින්ඩියට කතා නොකළේ චින්තක්කා විතරයි. 

පොට්ට සිරිල් දවසක් මට සුවාරිස් අයියාගේ කඩේ ලඟදි හම්බවෙලා කතා කළා. 

"වික්ටර් මල්ලි නගර සබාවේ වැඩට අලුත් සෙට් එකක් අර ගෙන, අපේ නම් කැපිලාවත් ද? " පොට්ට සිරිල් මගෙන් ඇහුවා. උගේ ඇස් වපරයි. ඒ නිසා වත්තේ එවුන් ඌට කිව්වේ පොට්ට සිරිල් කියලා. මම ඇහුන නැති ගානට හිටියා. 

"වික්ටර් මල්ලි නගර සබාවේ රස්සා දෙන්නම් කිව්වා අපිත් මෝඩයෝ වගේ වැඩ කළා අන්තිමට හම්බ වෙච්ච හුණු බිජ්ජක්නැහැ " පොට්ට සිරිල් සුවාරිස් අයියාගේ කඩේ ලෑලි දිහා බලාන කිව්වා, ඒත් ඌට පෙනෙන්නේ කඩේ ලෑලි නෙවෙයි මගේ ඇස් දෙක බව මම දන්නවා. 

"මොනවා කරන්නද බන්, මහත්තයා කියලා රස්සා මවන්ඩද? අනික රස්සා වලට උඹලට සුදුසුකම් තියනවද? උඹල වැස්සකටවත් ඉස්කෝලේ ගිහිල්ල තියනවද ?"

මගේ කතාවට පොට්ට සිරිල්ට ඔරොප්පු වෙන්ඩ ඇති. 

"එහෙම නම් ඒක චන්දේ කාලේ කිව්ව නම් ඉවරනේ, අපිව බොරුවට රස්තියාදු නොකර, මේ එක එකාගේ බේගල් අහලා අපිත් වැටුණු අමාරුව. මම ඔය සැම්සන්කාරයට කොඩි අදින්ඩ හයිටෙන්සන් ලයිට් කණු උඩත් නැග්ගා. තව පොඩ්ඩෙන් මට වෝල්ට් තිස්තුන්දාහක් වැදිලා කරෝල වෙනවා. ඕකට වැඩකරාට වඩා හොඳයි ගුණරත්න මහත්තයාට වැඩ කරානම්. පැරදුනත් මනුස්සකම් තියන මිනිස්සු. කෝ මට පේමේ කීපාරක් කිව්වද ඒ පැත්තට වැඩකරන්ඩ එන්ඩ කියලා. අපිට ගහන්ඩ ඕනේ පොල්පිති වලින්. " 

මම පොට්ට සිරිල්ව මග ඇරලා ගියා. වෙන දවසක නම් ඒ වචන සෙට් එකට ඌ මගෙන් කන රත්කර ගන්නවා. 

එදා හවස වත්තට පොලිසියෙන් පැනලා කසිප්පු වලට කට්ටිය අල්ලගෙන ගිහිල්ලා. අපේ ගැන්සියේ හිටපු කළු අජිත්වත් අරගෙන ගිහිල්ලා. කළු අජිත්ගේ අම්මා අඬාගෙන මාව හොයා ගෙන ආවා. 

"අනේ විට්ටර පුතේ අපේ කොල්ලා පොලිසියට ගෙනිච්චා " තෙරෙස් නැන්දා ලතෝනි දෙනවා. මේ වෙලාවේ සැම්සන් මහත්තයා අහක බලන එකක් නැහැ කියලා මට හිතුනා. මම කළු අජිත්ගේ අයියයි ටකරන් කඩේ ආනමාලුවයි අරගෙන සැම්සන් මහත්තයාගේ බංගලාවට ගියා. සික්කෝ අපිට සැම්සන් මහත්තයා හම්මුවෙන්ඩ යන්ඩ දුන්නේ නැහැ. මන්ත්රිතුමා නැහැ කියලා කිව්වා. මම දැක්කා සැම්සන් මහත්තයාගේ රතු මොන්ටෙරෝ එක ගරාජ් එකේ පාක් කරලා. මට තේරුනා සික්කෝ කරන්නේ බොරුව කියලා. මට මල පැන්නා! මම කෑ ගහලා සැම්සන් මහත්තයට කතා කළා. 

"සැම්සන් මහත්තයා මම වික්ටර්, ඔබතුමාට චන්දෙට නිදි මරාගෙන වැඩ කරපු වික්ටර්, පනහේ වත්තට ගේම දීලා චන්ද කඩපු වික්ටර්, අපිට ඔබතුමා හම්බ වෙන්න ඕන කරලා තියනවා " 

ටික වෙලාවයි ගියේ මහත්තයා එලියට අවා. " ආ... වික්ටර්" කියා ගෙන. 

මම කිව්වා කළු අජිත් පොලිසියට අරගෙන ගිහිල්ල කියලා, ඔක්කොම කතාව කිව්වා අකුරක් නෑර. මහත්තයා මගේ කතාව අහගෙන ඉඳල අන්තිමට කිව්වා"වික්ටර් මේක කසිප්පු කේස් එකක් මට ඕඅයිසී හැමදාම කියනවා ඕගොල්ලන්ගේ වත්තේ මිනිස්සු මගේ නම විකුනලා කසිප්පු පෙරනවා කියලා, මට මේකට අත දාන්ඩ බැහැ, මීට පස්සේ මේ වගේ කුණු කේස් මම ලඟට ගේන්ඩත් එපා" කියලා. 

මට උනේ මාර නෝන්ඩිය. ටකරන් කඩේ ආනමාලුවා ඉස්සරහා මගේ හුලං ගියා. මොනවා කරන්ඩද මම අකුල ගෙන ආවා. ඊට පස්සේ මම කවදාවත් සැම්සන් මහත්තයා හම්බ වෙන්ඩ ගියේ නැහැ. පස්සේ අවුරුදු දෙකක් විතර ගියහම සැම්සන් මහත්තයා උප ඇමති කෙනෙක් උනා කියලා මට සුවාරිස් අයියා කඩේ දී කිව්වා. මම හාවත් හූවත් කිව්වේ නැහැ. මෙදා සැරේ චන්දේ මම කාටවත් වැඩ කරන්නේ නැහැ කියලා හිතාගත්තා. චන්දේ කට ලඟට එනකොට මට සැම්සන් මහත්තයා පණිවිඩ දෙක තුනක් ලාසරස් අයියා අතේ එවලා තිබ්බා ඇවිත් හම්බ වෙන්ඩ කියලා. ඒත් මම නෙවෙයි පැත්ත පළාතක ගියේ. 

මෙදා සැරෙත් චන්ද උණුසුම වත්තට ගහලා, ඒ කාලේ හොටු පෙරාගෙන ටයර් පැද පැද හිටපු අනිල්ලා, පොලිසියෙන් පපුවට බූට් දාලා පයින් ගහලා ලේ වමනේ දාලා මැරුණු පොකට් සොමේගේ ලොකු පුතා කොරළ නිස්සංක, වගේ අලුත් පරම්පරාවේ කොල්ලෝ සෙට් එක තමයි සැම්සන් මහත්තයාට බැහැලා වැඩ කළේ. 

මම පාරේ ටැප් එකට ඔළුව අල්ල ගෙන ඉන්න කොට කොඩි ගහපු වාහනයක නැගලා කොරළ නිස්සංකයා ගියා. වාහනයේ යන උන් කෑගහනවා"සැම්සන් මැතිතුමාට ජයවේවා, කාගේද මේ බලවේගේ, " අරවා මේවා කියා කියා. 

මම නාලා ඉවර වෙන කොට ටැප් එක ළඟ කළුඅජිත්. "මොකද උඹට කවදාවත් නැතුව නාගන්ඩවත් හිතුනද?" මම නක්කලේට කළුඅජියා ගෙන් ඇහුවා. 

"මොන නානවද වික්ටරයියා, මම වික්ටර් අයියා හම්බවෙන්ඩ ආවේ. මොකද කරන්නේ චන්දෙට?" කළු අජිත් මගෙන් ඇහුවා. 

"මොනා කරන්ඩද? ආපහු රෙදි ඇඳ ගෙන සැම්සන්කාරයට වැඩකරන්ඩ පුලුවන්ද අපිට " මම කිව්වේ තරහින්. 

"නෑ වික්ටර් අයියා, මගේ බල්ලවත් සැම්සන්කාරයාට වැඩ කරන්නේ නැහැ. මෙදා සැරේ අලුත් ඩයල් එකක් බැහැලා තියනවා. එළකිරි පොරක්, නළුවෙක් වගෙයි. මෙන්න බොඩිය..." කළු අජියා අත් දෙක පළල් කරලා පෙන්නුවා. 

"හරි හරි මම පෝස්ටර්වල දැක්කා, මෑන්ස් ගිය සුමානේ පනහේ වත්තට ත්රීවීල් බෙදුවා, හොඳ බරකාරයෙක් වගේ" 

"ඔව් වික්ටර් අයියා, පොර නහුතෙට වියදම් කරනවා මෙදා සැරේ පාර්ලිමේන්තුවට යන්ඩ, මෑන්ව පේමෙලගේ සෙට් එක අල්ල ගන්න ඉන්නවා, අපේ වත්තේ සපෝට් කරන්නේ දුන්කොළ පියාගේ බාල පුතා රත්නේ."

දුන් කොළ සංස්ථාවේ මුර වැඩක් කල පියදාසට වත්තේ එවුන් කිව්වේ දුන්කොළ පියා කියලා. රත්නේ ඉස්සර හොටු පෙරාගෙන හෙලුවැල්ලෙන් ටයර් ගහපු එකෙක්. උන් මාව දකිනකොට හැංගෙනවා. ආයිස් අප්පා මුන්ට ගිය කල! මේ හුජ්ජ කොල්ලෝ දැන් චන්ද වලටත් බැහැලා. 

"මචෝ මෙහෙම ගියොත් හෙට අනිද්දා මේ නාවර පෙරාගෙන හිටපු හොට්ටෝ අපේ ඔලුවටත් අත හෝදයි. වරෙන් අපිත් හොඳ බුවෙකුට සෙට් වෙමු" 

මට අමුතු චන්ද උද්දාමයක් ඇති උනා. 

" ඒකනේ වික්ටර් අයියා මම කිව්වේ, අපි සෙට් වෙන එකේ සුමින්ද මහත්තයට සෙට් වෙමු, මොකද ත්රීවීල් එකක් හම්බූ උනොත් එපා කියන්ඩද?" කළු අජියා සුදු දත් සෙට් එක පේන්ඩ හිනා වෙනවා. 

"හැබැයි අජියෝ මෙදා සැරේ පීචන් වෙන්ඩ බැහැ, මම බැහැලා වැඩ කරනවා හැබැයි යකඩයක්වත් ඕනේ, මගේ කඩුව දැන් මලකඩ කාලා"

"මොනාද කියන්නේ වික්ටරයියා, එක යකඩෙට දෙකක්ම දෙන්නම්, නියම බඩු මිනුවන්ගොඩ පැත්තේ කම්මල්කාරයෙක් හදන්නේ, ටී 56 පතුරම දාලා උනත් වෙඩි තියන්ඩ පුළුවන්" කළු අජිත් වැලිකඩ හිටපු කාලේ හොඳ හොඳ කන්ටැක්ස් පාරවල් හදාගෙන තියන බව මට තේරුනා. 

"හරි මම රෙඩි! උඹ අද හවස ගිහිල්ලා සුමින්ද මහත්තයට මම ගැන ටෝකක් දාපන්, කියපන් මම හෙට උදේම එනවා කියලා" මම කිව්වා. 

"වික්ටර් අයියා, ටෝකක් දෙන්ඩ දෙයක් නැහැ" කළු අජියා ඔලුව කැසුවා."සුමින්ද මහත්තය තමයි මට කිව්වේ වික්ටර් අයියාව සෙට් කරලා දෙන්ඩ කියලා. සුමින්ද මහත්තය වික්ටර් අයියා ගැන ෆුල් ස්ටඩියක් දාලා තියනවා, මහත්තයට ආරංචි වෙලා තියනවා ගිය සැරේ පනහේ වත්තට වික්ටර් අයියා දුන්න ගේම. මම දැන් උදේ ආවේ සුමින්ද මහත්තය හම්බු වෙලා". කළු අජියා කිව්වේ බයෙන් බයෙන් වගේ. 

මට කළු අජියා ගැන ආදරයක් ඇති උනා, මොනවා උනත් ඌ හිත හොඳ එකා. 

"උඹ නම් යකාගේ පොරක් අජියෝ " මම කිව්වේ අජියගේ බඩට විහිළුවට පාරක් ගහන ගමන්. 

"වික්ටර් අයියා මොකද කියන්නේ සුමින්ද මහත්තය දැන් ගෙස්ට් හවුස් එකේ ඉන්නවා, දැන් අපි යමුද ?" අජියා බඩ අල්ල ගෙන කිව්වා. 

"හිටින්, මම අර හොඳ ටී ෂර්ට් එක ඇඳගෙන එනකම් " මම ගෙදර පැත්තට දිව්වා. මම ගෙදර යන කොට චින්තක්කා ළමයින්ට කන්ඩ දීලා ආපහු එනවා පොට්ට සිරිල් එක්ක. දෙන්නා අතේ ලොකු වතුර බූලි දෙකක්. චින්තක්කා ගෙදෙට්ට වතුර ඇදගත්තේ පොට්ට සිරිල්ට කියලා. 

"අනේ මල්ලියේ මගේ වැඩේ සැම්සන් මහත්තයාට කියලා බලනවද?"චින්තක්කා ආපහු යාප්පු උනා. 

"මොන සැම්සන් මහත්තයෙක්ද චින්තක්කේ, සැම්සන් මහත්තයාගෙ කාලේ ඉවරයි, දැන් අලුත් මහත්තයෙක් ඇවිල්ල ඉන්නේ, නළුවෙක් වගෙයි, මෙන්න බොඩිය" මම කළු අජියා වගේ අත් දෙක පළල් කරලා පෙන්නුවා සුමින්ද මහත්තයගේ බොඩිය. " සුමින්ද මහත්තය කවුන්සිලේට ගියොත් අපි ඔක්කොම ගොඩ!" 

"ඔය මොන මහත්තයෙක් කවුන්සිලේට ගියත් අපි හැමදාම එතනමයි "පොට්ට සිරිල් ඔලුව මගේ පැත්තට හරවලා ඇස් අපේ ගෙදර ලෑලි දොර දිහාට පෝකස් කරලා කිව්වා. 

මම මොකුත් කිව්වේ නැහැ, උගේ කතාව මගේ බොක්කටම වැදුනා. බලාගෙන යනකොට ඌට පොට්ටය කිව්වට අපි තමයි නියම පොට්ටයෝ කියලා මට හිතුනා.


වෛද්‍ය රුවන් එම් ජයතුංග​

30 comments:

  1. සුමින්ද මහත්තයත් නොයන තැනැක් නෑනේ, කවුන්සිලේටත් ගිහින් ගසුත් නඟින පළමුවැනිය වෙන්නැති, ජේලර් මහත්තුරුන්ටත් ත්‍රීවීල්.

    ReplyDelete
    Replies
    1. ජේලර් මහත්තුරුන්ටත් ත්‍රීවීල්./////////// ela khatava

      Delete
  2. බොඩි බිල්ඩර් මහත්තය පව්....අද උදේ උසාවි ගෙනෙද්දිත් වයසක අම්මල වගයක් අත් දෙක අල්ලගෙන වඳිනව තිබ්බෙ පත්තරේ දාල...

    ReplyDelete
  3. මගේ යාලුවෙක් පෝස්ටර් ගහන්න ගිහින් වෙඩිකාල මළා.

    ReplyDelete
  4. හිතවත් වෛද්‍යතුමා preeclampsia යන්නට,කියන සිංහල වචනය මොකක්ද

    ReplyDelete
    Replies
    1. පූර්ව ගැබ් වලිප්පුව / පූර්ව එක්ලැම්ප්සියාව කිය්න්නත් පුලුවන්

      Delete
    2. පූර්ව ප්‍රසව වලිප්පුව

      Delete
  5. මේක නියමයි Dr. රුවන්. තව කොටස් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. කොටස් වශයෙන් ලියන්නත් අදහසක් තියනවා ; ඒත් තව පොත් 2-3 හිරවෙලා තියෙන්නේ

      Delete
  6. නියමයි..ඇයි අපිත් පොට්ටනෙ....

    ReplyDelete
  7. 'සුමින්ද' මහත්තයාට අද මරණ දඬුවම නියමවුනා. ඇති යන්තම් සාධාරණ නඩු තීන්දුවක් ලැබුනා.

    ReplyDelete
    Replies
    1. ඒත් ජනාධිපති සමාව දාගෙන එලියට එන්නත් පුලුවන්

      Delete
  8. Superb post. Brilliantly created based on the behaviour of Sri Lankan lumpen class communities during certain circumstances. Need to see more such creations from u doc. Well done.

    ReplyDelete
  9. මේ මෑතකදී මා අහම්බෙන් දැක්කා 1968 දී තිරතාවූ 'ඇමතිකම' නමැති සිංහල චිත්‍රපටියේ නැවත ප්‍රදර්ශනයක් රූපවාහිනියෙන්. ඒ චිත්‍රපටියෙත් මැතිවරණයක සූදානම්වීම සහ මැතිවරණයෙන් පසු දේශපාලකයන්ගේ හැසිරීම මේ හා සමානයි. වෙනස, අද කාලයේ මෙන් දරුණු මැතිවරණ අපරාධ නොකිරීම පමණයි.

    අවාසනාවන්ත තත්වය වන්නේ උගත් බුද්ධිමත් යයි හිතන අය පවා පාර්ලිමේන්තුවට ගියාම නිකම්ම නිකම් සාම්ප්‍රදායික පුහු දෙස්පාලුවෙක් වීමයි.

    ReplyDelete
    Replies
    1. සිවිල් ජනතා මැදිහත්වීමක් වන තෙක් දේසපාලුවෝ පිස්සු නටනවා

      Delete
  10. මේක කලින් කියෙව්වා කියෙව්වා වගේ මතකයි ඩොක්...
    අමූලික ඇත්ත රහට ගොතනවා.. සනීපෙට කියවතැහැකි..
    ජයවේවා..!!

    ReplyDelete
  11. නඩු තීන්දුවත් මතක නෑ කියයිද දන්නේ නෑ

    ReplyDelete
  12. පොත කියවා ඇත.නම මතක නැත.

    ReplyDelete
    Replies
    1. ජොනතන් හාකර් ගේ මරණය සහ වෙනත් කෙටි කතා

      Delete
  13. ඡන්ද කොලේ අතට ගන්න වෙලාවට හැම එකාම පොට්ටයෙක් වෙනව.

    ReplyDelete
  14. නියම කථාව. පත්තරේ දාන්න වටිනවා

    ReplyDelete
    Replies
    1. අපේ පත්තරකාරයන්ට වැදගත් මර්වින් සිල්වලාගේ කතා

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook