Friday, September 16, 2016

තුවාලේ පණුවෝ

 



දැන් ශල්‍යාගාරයට ගෙන එන රෝගියාගේ කකුලේ තිබෙන තුවාලයේ පණුවන් සිටින බව  ශල්‍ය ජ්‍යෙෂ්ඨ නිලධාරී වෛද්‍ය ෆාහිම් මට කීවේය​. මම ශල්‍ය මාස්ක් එක තද කර ගෙන අත් සෝදා  වූන්ඩ් ටොයිලට් එකට සූදානම් වූයෙමි. 

සෝමරත්න ලෙඩාව ගෙනාවේය​. ඇය මහළු කාන්තාවකි. ඇගේ මුහුණ කෝපයෙන් පිරිලාය​. බාබා යගා යකින්න මෙන් ඇය ශල්‍යාගාරයේ සියළු දෙනාට බැණ වැදුනාය​. ජීවිතය සැඳෑ සමයට එලඹ තිබුනද ජීවිත කාලයක් පුරා ඇයව දවන ලද කෝපය අවසන් වී නොමැත​. 

අහෝ නිතරම තරහින් සහ අසහනයෙන් ඉන්නා ආත්මයක්. ගෝර්කිගේ පොතක එන දුෂ්ඨ මැහැල්ල මත්‍රියෝනා මට සිහිපත් විය​. ඇය මටද නිර්වින්දන වෛද්‍ය සිරිවර්ධනටද බැන්නාය​. අපට ඌ මූ කියා බැනීම අප ගනනකටවත් ගත්තේ නැත​. මේ කාන්තාව අපගේ රෝගියෙකි. එම නිසා ඇයට ප්‍රතිකාර කල යුතුය​. 

වෛද්‍ය සිරිවර්ධන මහළු කතගේ රුධිර පීඩනය බැලුවේය​. ඉන්ටර්න් වෛද්‍යවරියක වූ මර්ශූකා වෛද්‍ය සිරිවර්ධනට කියන්නේ ඩොක්ටර් ශ්‍රී වර්ධන කියාය​. එම නිසා ඔහු අපටද ශ්‍රී වර්ධනය​. 

ශ්‍රී වර්ධන ගේ හැලොතේන් පාරෙන් මහළු කත නිසොල්මන් වූවාය​. දැන් බැනීම් සාප කිරීම් නැත. ඒ අතරවාරයේ ශල්‍යාගාර හෙදිය වූ නිල්මිණි මට සැව්ලෝන් සහ ස්ප්‍රීතු වලින් තෙමූ අඞු දෙකක් දුන්නාය​. ශ්‍රී වර්ධන ගේ සංඥාවත් සමග සෝමරත්න රෝගියාගේ වළලුකර බැඳ තිබූ කිලිටි රෙදිකඩ ඉවත් කලේය​. 

මම සෝමරත්නට කතා කරන්නේ සෝමරතන කියාය​. "කෝ මේ සෝමරතන " කියා මම අසන විට සෝමරත්න මෙන්ම හෙදියන් ද සිනාසෙති. 

පසුගිය සුමානේ විජය විද්‍යාලය ලඟදී  බයිසිකල්කරුවෙක් අපරික්‍ෂාකාරිව මගේ වාහනය ඉදිරියට ඔහුගේ සයිකලය දැමීය​. මාර්ගයේ ටයර් සලකුණ තිබෙන්නට මම බ්‍රේක් ගැසුවෙමි. බයිසිකල්කරුවාට මම බැණ වැදීමට සූදානම් වෙත්ම ඔහු වෙන අන් කවරෙක්වත් නොව තියටර් එකේ සෝමරතන බව දැක මම සිනාසුනෙමි. ඔහුද මා සමග සිනාසුනේය​. තව පොඩ්ඩෙන් මම මාතලේ පොලිසියේ රිමාන්ඩ්ගත වන අතර සෝමරතන මෝචරියට යනු ඇත​. කෙසේ නමුත් අප දෙදෙනාම වාසනාවන්ත වූයෙමු. 

මම කාන්තාවගේ තුවාලය ශුද්ද කලෙමි. එය පැතිරී ගිය මස් කුණුවූ තුවාලයකි. මම ශල්‍ය මාස්ක් එක තද කර ඇඳ සිටියද කුවිලය මගේ නාසයට වැදුනේය​. 

වෛද්‍ය ෆාහිම් ග්ලූකෝස් ද්‍රාවණයක් තුවාලයට හලත්ම තුවාලය යට සිටි පණුවෝ උඩට ආහ​. බත් ඇට වැනි පණුවන් මම ඩැහි අඬුවෙන් ඉවතට ගත්තෙමි. පණුවන් තිහක් පමණ ඇයගේ තුවාලය තුල සිටි අතර මම ඒ පණුවන් ඉවත් කොට තුවාලය ශුද්ද කලෙමි.  ඉන්පසුව සෝමරතන රෝගියාගේ තුවාලය පිරිසිදු ගෝස් පටියකින් වෙළුවේය​. 

ශ්‍රී වර්ධන හැලොතේන් නවත්වා ඇයට ඔක්සිජන් පමණක් දෙන ලදි. ක්‍රමක් ක්‍රමයෙන් ඇයට සිහිය ආ අතර සෝමරතන සහ තවත් හෙදියක් ඇයව රිකවරි කාමරය වෙත ගෙන යනු ලැබීය​. මහළු කාන්තාවට හොඳටම සිහිය ආ බව මට තේරුනේ ඇය යළිත් දොස් දෙවොල් තබමින් බැනීම නිසාය​. ඉක්බිති ඇයව වාට්ටුවට ගෙන යන ලදි. ඒ යන අතරතුරද ඇයගේ ගොරෝසු කටුක හඞ අපට ඇසුනේය​. 

මේ මැහැළියට අධික දියවැඩියාවය​. ඇයට ලබා දෙන ඉන්සියුලින් නිසා රුධිරයේ සීනි පාලනය වේ. එහෙත් ටිකට් කපාගෙන නිවෙසට ගිය වහාම ඇය සීනි කෑම අරඹනු ඇත​. එවිට තුවාලය යලිත් නරක් වේ. 

කාන්තාවගේ දියණිය ඇය අසල සිටිනු මම දකිමි. ඇය තමන්ට සාත්තු සප්පායම් කරන දියණියටද නිර්දය ලෙසින් බැණ වදින්නීය​. කටුගම්පොල මිස් මේ රෝගී කාන්තාවගේ බැණුම් ගනන් ගන්නේ නැති එක හොඳය​. සමහර විට මේ මැහැළියගේ බැණුම් හදවත දවයි. 

සුමාන දෙකක් ඇය වාට්ටුවේ සිටින්නීය​. ඇයගේ බැණුම් වලට කාර්‍ය මණ්ඩලය පමණක් නොව යාබද රෝගීන් පවා පදම් වී තිබෙන සෙයකි. ප්‍රතිජීවක දීම නිසා ඇයගේ තුවාලය යම් තරමකට හොඳය​. එහෙත් මේ සඑලත්වය දිගින් දිගටම තිබෙන්නේ නම් මැනවි. නැතහොත් ලබන වර ඇයගේ කකුල කැපීමට වෛද්‍ය ෆාහිම්ට සිදු වනු ඇත​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

37 comments:

  1. තුවාල වලට පනුවො ගහන්නෙ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. මැස්සෝ තුවාලෙ බිත්තර දැම්මම...එහෙම වෙන්නෙ පෙර කරුමෙනිසා...ඔය කියන්නෙ...ඕක මැරෙන්නේ කුණු පණුවො ගහල කියල !

      Delete
    2. ඔව් සිහියෙන් සිටින්නාට කර්මය කළමණාකරනය කල හැකියි.
      තුවාලය පිරිසිඳු කර නිවැරදි වෛද්‍ය උපදෙස් මත පැවතීමෙන් තුවාලය සුව කර ගැනීමත් එහි කායික වේදනාව සමනය කරගැනීමත් නිවැරදි සිහියෙන් කල යුතු දේවල්.
      නිවැරදි සිහිය නැති කමින් හෝ අධික ද්වේශය නිසා හෝ වෛද්‍ය ප්‍රතිකාර නොලබා දුක් විඳීම කියන්නේ කර්මය ගෙවා දැමීම. ඕනෙම මෝඩයෙකුට මේවගේ විඳවන්න හැකියි. බුද්ධ කාලයේ බලු වෘත ගෝ වෘත පිලිපැද්ද නිඝන්ටයෝ වගේ

      Delete
    3. මැස්සෝ තුවාලෙ බිත්තර දැම්මම... athha

      Delete
  2. අමු කුණුහරපෙන් බැන බැන යක්කු වගේ උන්න අයගෙ තුවාල වල පණුවො අරන්දාල පිරිසිදු කරල බෙහෙත් දාල ඉවර වෙනකොට මූණෙ තියන සැනසීම දැක්කම අහල පහල ඉන්න ලෙඩ්ඩුත් ඩොක්ටර්ට පින් දෙනවා.
    ජයව්වේවා..!!

    ReplyDelete
    Replies
    1. උපේක්‍ෂාවෙන් බලන්නේ ගස්

      Delete
  3. තමන් කළ කී යහපත් දේ සිහි කිරීමෙන් ලද හැකි සුවය අප්‍රමාණයි .

    ReplyDelete
    Replies
    1. ඔව්. හැමටම වඩා වටින්නේ හිතේ සතුට.

      ජයවේවා!!!

      Delete
  4. "කුවිලය" නොව එම වදන මා අසා ඇති පරිදි "කුයිලය" විය යුතුය.මගේ අත්තම්මා පැවසූ පරිදි කුයිලය යනුමස් කුණුවී හමනා ඔක්කාරයට එන සුළු, අප්‍රසන්න කටුක ගන්ධයයි. ඔබගේ එම වදන භාවිතය ඒ අනුව ඉතාම උචිතයි රුවන්...:)

    ReplyDelete
    Replies
    1. ඔය වචනේ ඉස්සර බේත් වතුරටත් අපේ ආච්චි පාවිච්චි කළා මට මතකයි...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. වැරදි කමෙන්ට් එකක්නෙ අලවල තියෙන්නෙ.

      මම අහල තියෙනව වන කතාවල අලින්ගෙ කුයිලෙ ගැන කියනවා. ඒක ඔය තරම් අප්‍රසන්න දෙයක් නෙවෙයිනෙ.

      And what on earth is would toilet?

      Delete
    4. Wound toilet= cleaning of wound right? I've seen this term used in medical documents by Docs.

      Delete
    5. Wound toilet= cleaning of wound right? I've seen this term used in medical documents by Docs.

      Delete
    6. ඔව් මමත් දන්න විදියට කුයිලය කියන්නේ නහය කඩාගෙන යන දැඩි ගඳකට. තිරිසන් සත්තුන්ගෙන් හමන ගඳටත් ඔය වචනය පාවිච්චි කරනවා. හං ලෙඩ හැදුනු බල්ලන්ගෙනුත් හරිම කුයිලයක් හමනවා කියලා භාවිතා වෙනවා.
      තුවාලය සම්බන්ධව වෛද්‍ය රුවන් භාවිතා කල වචනය නිවැරදියි.

      Delete
    7. කුයිලය කියන වචනය හරි මාතලේ ප්‍රදේශයේ බහුලව යෙදෙන වචනයක්

      Delete
  5. බොහෝ රෝගීන් වෛද්‍යවරයා බැහැ දැකීමට එන්නේ දෙවියෙකු මුණ ගැසීමට යන පරිද්දෙනි. නමුත් සුව වී ටිකට් කපාගෙන රෝහලෙන් පිටව යන්නේ වෛද්‍යවරුන්ට බැන වදිමිනි. එක ඩෙංගු රෝගියෙකු ( වයස 15 ක් පමණ දරුවෙකු ) අසාධ්‍ය වී රෝහල් ගතකල අතර ඔහුගේ ජීවිතය විශාල අනතුරු දායක මට්ටමක පැවතුනි. තරුණ වෛද්‍යවරුන් රාත්‍රිය පුරාවටම නිදිවර්ජිතව ඩෙංගු ආසාධිත දරුවා මැනේජ් කරමින් අවදානම් තත්වය පහව යනතුරු ප්‍රතිකාර කළේය. මේ කාලය තුල දරුවාගේ දෙමවුපියන් වැඳ වැටෙමින් දරුවා බේරා දෙන ලෙස ඉල්ලා සිටියේය. අවසානයේ සතියකට ආසන්න කාලයකදී සුවවූ අතර ඔහු ටිකට් කපාගෙන රෝහලෙන් පිටව යාමේදී ටිකට් කැපීමට පරක්කු වුයේයයි දෙමවුපියන් විසින් වෛද්‍යවරුන්ට බැන වදිමින් පිටව ගියේය.

    ReplyDelete
    Replies
    1. ඉතිං, ඒකත් පුදුමයක්ද? මේ සිරි ලංකාවනෙ!

      Delete
    2. මා ඇමරිකාවේ ස්ටන්ෆොර්ඩ් සරසවියේ වසන කාලයේ තත්ත්ව මෙසේ නොවේ. එහිදී දොස්තරවරු රෝගීන්ට වැඳ වැටෙන අතර discharge කිරීමෙන් පසු නිවසටම ඇරලවයි.

      Delete
    3. ඔහු ටිකට් කපාගෙන රෝහලෙන් පිටව යාමේදී ටිකට් කැපීමට පරක්කු වුයේයයි දෙමවුපියන් විසින් වෛද්‍යවරුන්ට බැන වදිමින් පිටව ගියේය.///// very common thing

      Delete
  6. කුයිලෙන් පිරිච්ච අවසානය සුවඳ කතාවක්

    ReplyDelete
  7. LTTE ප්‍රහාරයකින් තුවාල ලබා, දින කීපයක් වනයේ සැඟවී සිට දිවි බේරාගෙන පැමිණි සෙබළුන් දෙදෙනෙකුගේ, මේ ආකාරයට පණුවන් සහිත තුවාල තිබුණා. ඔවුන්ට නිසි ප්‍රතිකාර ලබාදී සුවපත් කරන්නට, වවුනියාව යුදහමුදා රෝහලේ සත්කාර ප්‍රමාණවත් වුණා.

    ReplyDelete
  8. සාමාන්‍ය ජීවිත ගතකරන බොහෝමයක් මහළු මව් වරුන් මෙවැනි දැඩි ද්වේශ සහගත තත්වයකට පත් වන්නේ කුමන හේතුවකින්ද?

    ReplyDelete
    Replies
    1. මහළු වන විට මනෝ රෝග ; විශාදය නිසා මේ වගේ තත්ව ඇතිවෙනවා.

      Delete
  9. ඔබ ඇතුලු මෙවන් වූ වෛද්‍යවරුන්ට මෙන්න මල් මිටක් !

    ReplyDelete
  10. Could the patients behaviour due to delirium?

    ReplyDelete
  11. ඔබේ ලිපිය කියවූ මට සිතුනේ , මා දන්නා කෙනෙකුන් ගැන ලියවී ඇති සැටියකි.
    ඒ මේ නිසාය. මාගේ නැගණිය දින 48ක් එක දිගටම කරාපිටිය රෝහලේ නැවතී ප්‍රතිකාර ලබන අතර තුර මා විටින් විට ඇය ළඟ නැවතී සිට ඇත්තෙමි. එම වාට්ටුවේ ද දියවැඩියාව නිසා කකුලේ ඉහළටම තුවාලය පැතිරී සිටි මැදිවියේ අවසන් හරියේ කාන්තාවක වූවාය.ඇය ළඟ උපස්ථානයට සිටියේ ඇගේ එකම දියණියයි. ඇය දියණියට අප්‍රමාණ කරදර දුන්නීය. කෑම රස නැතැයි පවසමින් නොකා සිටියාය. ඔපරේශන් තියටර් ගෙනයන්නට වතුර නොබී සිටින්නැයි පැවසූ විට ඇයට අධික වතුර පිපාසයක් දැනෙන්නට ගනී. එවිට ඇය “ මේ කෙල්ල මට වතුර පොදක් දෙන්නෑ “ කියමින් හඩා වැටෙන්නට ගනියි. ඇගේ කකුලේ තුවාල ය දිලීර යකට වාසභවනය වී තිබුනි. ඇගේ පෙනුම ඇගේ වයසට වඩා වියපත් වි තිබුනි. ඇය තමන්ගේ කැත කුණු අතගානා දියණියට බැන වදී. හෙදියන්ට දොස්තර වරුන්ට බැන වදියි. එහෙත් කිසිවෙකුත් එය ගනන් නොගත්තත් ඇගේ දියණිය විටෙක කණගාටුවෙන් සිටිනු දැකිය හැකි වේ. නැගණිය වාට්ටුවෙන් ඉවත් වී යන විටද මෙම රෝගියාට සුවයක් නොමැති වූ අතර හම බද්ද කිරීමට සිදු වන බැව් කීවා මගේ මතකයේ ඇත.මම මේ ලොවට යමක් පතන්නේ නම් ඒ “ මේ ලොව මාගේ හතුරන් ද ඇතුලුව සියලුම මිනිසුන් සහ සතුන්ට නිරෝගී සම්පත “ ම පමණි....

    ReplyDelete
    Replies
    1. මේ ලොව මාගේ හතුරන් ද ඇතුලුව සියලුම මිනිසුන් සහ සතුන්ට නිරෝගී සම්පත “ ම පමණි.... ///// ++++++

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook