Friday, September 23, 2016

එස්.එච්.ඕ

 


එස්.එච්.ඕ යනු නේවාසික වෛද්‍යවරු හෙවත් ඉන්ටර්න්වරුන් ගේත්  විශේෂඥ වෛද්‍යවරයාගෙත් අතරමැදියාය​. එම නිසා ඔහු හෝ ඇය ඉන්ටර්න්වරුන් ගේත් විශේෂඥ වෛද්‍යවරයාගෙත් කුණු කොන්ත්‍රාත් වලට මැදිව තැලේ. 

මම නේවාසික වෛද්‍යවරයෙකු වූ සමයේ අපගේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන් වූයේ වෛද්‍ය ෆාහීම් , වෛද්‍ය වොලීඩ් සහ වෛද්‍ය ජිෆ්රිය​. මින් වෛද්‍ය ෆාහීම් තුල දක්‍ෂ ශල්‍ය හැකියාවන් තිබූ අතර ඔහු ශල්‍ය විශේෂඥවරයෙකු වූයේදැයි නොදනිමි. සමහර විට පීපී කිරීමේ අභිලාෂය නිසා ඔහු ශල්‍ය විශේෂඥවරයෙකු වීමේ අභිලාශය අත් හරින්නට ඇත​. වොලිඩ් නාරි හා ප්‍රසව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු වූ අතර බොහෝ විට ඩී ඇන්ඩ් සී හෙවත් Dilation and curettage (D&C)  කරන විට  curette එකෙන් ගර්භාෂය සිදුරු කරයි. මේ නිසා ඩී ඇන්ඩ් සී එක එසැනින් ලැපරටොමියක්  ( laparotomy) බවට පත්වේ. මේ නිසා වොලිඩ් සමග වැඩ කිරීමේදී ඉන්ටර්න්වරු කන් කෙඳිරි ගෑවෝය​. එහෙත්  වෛද්‍ය ජිෆ්රි ජොලි  එස්.එච්.ඕ කෙනෙකි. ඔහු සමග වැඩ කිරීම විනෝදජනකය.

මම  විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය අජිත් සේමසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වූයෙමි. මේ කාලය තුල ඉන්ටර්න්වරු පරම්පරා තුන හතරක්  සමග මම වැඩ කලෙමි. 

නාරි හා ප්‍රසව අංශය ඉතා කාර්‍ය බහුල ඒකකයකි. ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ලෙස මම සතියේ දවස් හයක් නොකඩවා දිවා රාත්‍රී වැඩ කලෙමි. එස් එච් ඕ කාලයේ හරි හැටි නින්දක් ලැබෙන්නේ නැත​. මේ කාලයේදී එක දිගට පැය හතරකට වඩා නිදා ගැනීමේ භාග්‍ය මම නොලද්දෙමි. මට නිවාඩුවක් තිබුනේ අඟහරුවාදා දිනවල සවස පහෙන් පසුව පමණි. එහෙත් බදාදා උදේ අට වන විට වාට්ටුවේ සිටිය යුතු විය​.  

එස්.එච්.ඕ ලෙස මට සීසර් ශල්‍යකර්ම  මෙන්ම අනෙකුත් සුළු සහ මධ්‍ය ප්‍රමාණයේ ශල්‍යකර්ම කිරීමට සිදු විය​. මේ කාලය තුලදී මම සීසර් ශල්‍යකර්ම 723 ආසන්න ප්‍රමාණයක් කලේ එකම මාතෘ මරණයක් නොමැතිවය​. මට පෙර මෙම එස් එච් ඕ තනතුරේ සිටි වෛද්‍ය  නිලධාරියාට මාතෘ මරණ දෙකක් සඳහා අමාත්‍යංශය විසින් විමර්ශන  සිදු කොට තිබුනි.  මේ නිසා අතුරේ යන්නක් මෙන් බොහෝ ප්‍රවේසමෙන් වැඩ කිරීමට අපට සිදු විය.  එබැවින් කම්මැලි ඉන්ටර්න්වරු සුරතල් කර කර සිටීමට වේලාවක් නොවීය​. 

ඒ කාලයේ වැඩ මග හරින මව්වරුන් ගේ ජීවිත අවදානමේ හෙලන නේවාසික වෛද්‍යවරුන්ට මම තදින් සිටියෙමි.  මව්වරුන් ගේ ජීවිත බේරාගනු වස් සමහරක් පුද්ගලයන්ට වාචික ඩෝස් දීමට සිදු විය මේ නිසා අද වූවද මාගේ පැරණි ඉන්ටර්න්වරු සමහර දෙනෙක් මා සමග හිත නොහොඳය​. එහෙත්  වාචික ඩෝස් නිසා තමන් ඉතා ඉක්මනින් නේවාසික වෛද්‍ය ක්‍රමයට අනුගත වූ බව කියමින් වරක් වෛද්‍ය බාස්කරන් පසු කාලයක උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේදී මා හමුවී මට ස්තූති කලේය​. 

 සමහර  එස්.එච්.ඕ ලා විශේෂඥ වෛද්‍යවරයාට ඉන්ටර්න්වරුන් ගේ වැරදි ගැන කේලම් කියති . සමහරක් විට ඔවුන් ගේ නේවාසික වෛද්‍ය කාලය දීර්ඝ කරවති. බොහෝ  එස්.එච්.ඕ ලා කරන දෙයක් වූ බොස්ට කේලාම් කීම මම කිසිදින නොකලෙමි.මගේ ප්‍රතිපත්තිය වූයේ වරදක් දුටු විට ඒ අවස්ථාවේදීම අදාල පුද්ගලයාට බැන වැදී වරද නිවැරදි කිරීමයි. මා නේවාසික වෛද්‍යවරුන් ගැන කේලම් නොකී බව නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය අජිත් සේමසිංහ මහතා අද දිනයේ වූවද සාක්‍ෂි දරනවා ඇත​. 

ඉන්ටර්න්ලා විවිධාකාරය සමහර ඉන්ටර්න්ලා දක්‍ෂය. සිද්දාන්ත මෙන්ම ප්‍රායෝගික දැණුමෙන් අනූනය​. එවැනි ඉන්ටර්න්ලා සමග වැඩ කිරීම තෘප්තකරය​. සමහර ඉන්ටර්න්ලා  තියරිකාරයන් වෙති. එහෙත් ප්‍රායෝගික දැණුම නැත​. වරක් මෙවැනි ඉන්ටර්න්වරයෙක් කැතීටරයකින් රෝගී කාන්තාවකගේ මුත්‍රා ඉවත් කිරීමට ගොස් එය කිරීමට නොහැකිව අසරණ හඞකින් මිඩ් වයිෆ් කෙනෙකුගෙන් උදව් ඉල්ලුවේය​. 

සමහර ඉන්ටර්න්ලා ගල් ආඳන්‍ ය​. හදිසියේ රාත්‍රියක ප්‍රසූතිය කරන මාතාවකට අසාධ්‍ය වී කෝල් පොත ආ විට එය ආපිටටම ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියාට එවති. වරක් කෝල් පොත ආ විට රෝගියා නොබලා කෝල් පොත ආපිට මට එවූ ඉන්ටර්න්වරියකට මම තරයේ අවවාද කලෙමි. 

සමහර ගල් ආඳන්‍ ඩියුටි වෙලාවේ අතුරුදහන් වී යයි. සමහරු යන්නේ පෙම්වතිය බැලීමටය​. සමහරු ගෙදර ගොස් දෙමාපියන් බලා කෑමට දෙයක් අරගෙන එයි.  මොවුන්ට ඇතැම් අවස්ථා වලදී මම උදව් කලෙමි. ඔවුන් එන තෙක් මම වාට්ටුව බලා ගත්තෙමි. මෙය කලේ විශේෂඥ වෛද්‍යවරයාට හොරෙනි. එහෙත් සමහර ගල් ආඳන් පනින්නේ නේවාසික වෛද්‍ය කාලයේ පීපී කිරීමටය​. මෙය නීති විරෝධී මෙන්ම සදාචාර විරෝධී ක්‍රියාවක් ද විය​. එවැනි පුද්ගලයෝ මගෙන් බුරුලක් ලද්දේ නැත​. 

සමහර විට කොන්ෆිඩන්ස් හෙවත් ප්‍රතිහානය අඩු ඉන්ටර්න්වරු සෑම දෙයකටම එස් එච් ඕ ට කතා කරති. රෝගියාගේ රුධිර පීඩනය යන්තම් අඩු වුවහොත් ඒ සඳහා සුදුසු ප්‍රතිකාරයක් නොදී කෙලින්ම එස් එච් ඕ ට දැණුම් දෙති. මෙවැනි  ප්‍රතිහානය අඩු ඉන්ටර්න්වරියක් පැය භාගයකට වරක් මා අමතා රෝගීන් ගැන වාර්තා කලාය​. ඇය රාත්‍රී ඩියුටි කරන විට මම නොනිඳා අපගේ නිල නිවාසයේ සිටි වෛද්‍ය ගෝවි , වෛද්‍ය මාංජේෂ්ඨ පීරිස් හෝ වෛද්‍ය විල්සන් පීරිස්ව රාත්‍රියේ කතාවට අල්ලාගෙන සිටින්නෙමි. 

තවත් සමහරක් ඉන්ටර්න්ලා  මහ ඇමති ඉවත් කොට තක්සේරු නිලධාරියා වූ දර කපන්නා වැනිය​. ඔවුන් රෝගියා ගැන විස්තර කරන විට අසන අසන ප්‍රශ්නයට කියන්නෙ ඉන්න මම බලලා කියන්නම් කියාය​. රෝගියාගේ තත්වය ගැන තුලනයක් කිරීමට ප්‍රශ්න සියයක් ඇසිය යුතුය​. අසන සෑම ප්‍රශ්නයකටම ඉන්න මම අහලා කියන්නම් නැතහොත් බලලා කියන්නම් කියයි. එසේම වැදගත් දත්ත කියන්නෙ නැත​. කියන්නේ වැල්වටාරම් ය​. 

වරක් රුහුණ වෛද්‍ය පීඨයේ  වසර ගනනාවක් ක්‍රොනික් වූ ඉන්ටර්න්වරයෙක් අපගේ අංශයට ආවේය​. මට ඔහු සමග යලිත් වරක් නේවාසික වෛද්‍ය  සමය ගත කරන්නට සිදු විය​.  එක්ව රක් ඔහු ඝර්භාශයේ ගෙල වසා ගැටයක් දමා තිබූ ගැබිනි මවකට සින්ටෝ දී ප්‍රසවයක් කිරීමට ගියේය​. එදින මා ලේබර් රූම් එකට නොගියේ නම් ශිරොද්කා ගැටය ලෙස හඳුන්වන ස්වභාවික ගබ්සා වීම වලක්වන ඝර්භාශයේ ගෙල වසා ගැටයක් දමා තිබූ ගැබිනි මවගේ ගර්භාෂය පුපුරා ඇය මිය යනු ඇත​. වේදනාවෙන් දඟලමින් සිටි ගැබිනියගේ ඝර්භාශයේ ගෙල වසා තිබූ ගැටය කපා වහාම ඇයව ශල්‍යකර්මයකට ලක් කොට ජීවිත දෙක මම බේරාගත්තෙමි. ඉන් පසුව ශ්‍යල්‍යාගාරයේ  පසෙකට ඔහුව කැඳවා බඩපුරා බැණුම් සංග්‍රහයක් දුන්නෙමි.  

තවත් වරක් ඔහු බ්‍රීච් හෙවත් හිස නොව තට්ටම්  ගැබ් ගෙල දෙසට යොමුවී ඇති සහ සක්‍රිය ප්‍රසවයකට සූදානම් වූ මවකට ඒආර් එම් හෙවත් artificial rupture of membrane කලේය​. මේ නිසා භෘණ මරණය වූවද සිදු විය හැකිය​. මෙම කාන්තාවද වහාම ශ්‍යල්‍යාගාරයට ගෙන ගොස් මවද දරුවාද බේරාගත්තෙමි.  එදිනද ඔහු මගෙන් බඩ පුරා බැණුම් ඇසීය​. නමුත් කම්මලේ බල්ලාට මෙන් බැණුම් ඔහුට වගක් නොවීය​. අවසානයේදී මම ඔහුගේ පසු පසින්ම සිටිමින්  ඔහුගේ වැඩද කලෙමි. මේ අනුව මට දෙවරක්ම ඉන්ටර්න් කාලයක් ලැබුනේය​. 

ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී තනතුර ඉතා පහසුවෙන් සතුරන් සදා ගත හැකි තනතුරකි. දුවමින් පනිමින් නිබඳව වැඩ කරන විට අලසයන් ඊට එදිරි වෙති. හදිසි සීසර් ශල්‍යකර්මයක් සිදු කිරීමට අවශ්‍ය වූ විට ශල්‍යාගාරය ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයාගෙන් ඉල්ලා ගැනීමට යන විට ඔහු බනින්නේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීයාටය​. ඒ කාලයේ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයා වූ වෛද්‍ය බදුර්ඩීන් මහතා මාව දකින විට ඉවත බලා ගනී. එසේම අවේලාවේ හදිසි සීසර් එකක් ශල්‍යාගාරයට ගෙන ගිය විට සමහර හෙදියෝ මුහුණ එල්ලා ගනිති. හරියට ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී තමන් ගේ අක්කා සීසර් කිරීමට ගෙදරින් ගෙනාවාක් මෙනි. 

වරක් රාත්‍රියක හෙදියන් සීසර් එකකට සහයෝගය දීමට අදිමදි කරමින් පස්ස ගසන විට මම මේ ගැබිනි මාතාව කුලියාපිටිය රෝහලේ හෙදියකගේ සෝයුරිය යැයි බොරුවක් කියා අවශ්‍ය උපකරණ ගෙන මම සීසර් එක කලෙමි. පසුව එම මාතාවගෙන් සත්‍ය හෙලිවූ පසු අලස හෙදියෝ මට දෙහි කැපුවෝය​. සද් භාවයෙන් බොරුව කියූ නිසා මම එම බැණුම් ගනනකට නොගත්තෙමි. 

අපගේ රටේ ක්‍රමය සැකසී තිබෙන්නේ  more work more trouble - less work less trouble කියාය​. මේ නිසා අධිකව වැඩ කරන එස් එච් ඕ පොදු සතුරෙකි. එහෙත් එස් එච් ඕ වැඩ කරන තාලයටම තෘප්තියකින් යුතුව වැඩ කල ඉන්ටන්වරු , හෙදියෝ , මිඩ් වයිෆ්ලා  සිටි අතර මම ඉතා සතුටින් විහිළුවෙන් විනෝදයෙන් ඔවුන් සමග වැඩ කලෙමි.  මේ නිසා  එස්.එච්.ඕ සමය තුල සතුටින් ආවර්ජනය කල හැකි මතක සටහන් බොහෝ වෙති. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

15 comments:

  1. ඔය කියපු ජාතියේ කට්ටිය හැම වෘත්තියකම ඉන්නවා. සමහර ඉංජිනේරුවෝ හොඳට තියරි දන්නවා උනාට වැඩක් කරන්න ගියාම අනාගන්නවා. ගල් ආඳොනම් ඕන තරම් ඉන්නවා. shift duty කරපු කාලේ මටත් හොඳ අත් දැකීම් තියෙනවා මේවා ගැන. හැබැයි ඔය හැම කෙනාටම විශේෂවු මොකක් හරි හැකියාවක් තියෙනවා.

    ReplyDelete
  2. නොසැලකිල්ලෙන් මරන සිදු කරන ජේෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයෙකුට "license to kill" කියා නමක් දමා තිබුනේ සිඩ්නි ෂෙල්ඩන්ගෙ නවකතාවක.

    මගේ මතය වැරදි සාදා ගන්නට උනන්දු නොවන පුද්ගලයන් වෛද්‍ය වෘත්තියට නුසුදුසු බව.

    ReplyDelete
    Replies
    1. වැරදි සාදා ගන්නට උනන්දු නොවන පුද්ගලයන් වෛද්‍ය වෘත්තියට නුසුදුසු බව.++++++++

      Delete
  3. මගේ අදහස නම් ලංකාව තුලත් වෛද්‍ය පශ්චාත් අධ්‍යාපනය අනිවාර්ය කල යුතු බව. එවිට සෞඛ්‍ය සේවයේ තිබෙන බොහෝ අඩු පාඩු අඩු වෙයි.

    නමුත් මේ රජයටත් කලින් රජයන්ට මෙන්ම වැරදි දේ කරන්න තිබෙන උනන්දුව, නිවැරදි දෙයක් කරන්න නෑ.

    ReplyDelete
  4. හෙහ් හෙහ්, ඉන්ටර්න් එකෙන් මිදී වෛද්‍ය වෘත්තියට පිවිසි මගේ දුවටත් බෑණාටත් මේ ලිපිය බලන්න කියා කියන්නම්.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. බලලා බයවෙයිද දන්නේ නෑ

      Delete
  5. /ඝර්භාශයේ ගෙල වසා ගැටයක් දමා තිබූ ගැබිනි මවකට සින්ටෝ දී ප්‍රසවයක් කිරීමට ගියේය/ අර බිරිඳ ගේ ප්‍රසව වේදනාව අත්විඳින්ට ඕන වූ හස්බන්ඩටත් කෙරුවය කියන්නේ ඕවගෙ ප්‍රතිකර්මයක් නේ.

    ReplyDelete
  6. Doc what is a procedure if a patient dies due to the negligence of an intern. As far as I know it will be covered up by the other doctors.

    ReplyDelete
    Replies
    1. there will be an investigation by the ministry ; if the relatives are not satisfy with it ; they can file a civil case against the Dr ; However the consultant is answerable

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook