Thursday, September 22, 2016

ජයවර්ධන සර්





අට වසර සමත් වීමෙන් පසු 1981 දී අප නවය වසරට ගියෙමු. නවය වසර පන්ති තිබුනේ අපර්ස් ස්කූල් ලෙස හඳුන්වන ඉහල විද්‍යාල කොටසේ ස්කෝ බෝඩ් එක අසල දෙමහල් ගොඩනැගිල්ලේය​. මෙම  කොටස භාර ආචාර්‍යවරයා වූයේ පී.ඩී.ඩබ් ජයවර්ධන මහතාය​. 

නවය පන්ති වලට ආ මුල් සතියේදී අපගේ පන්තියේ ළමුන් විද්‍යාගාරයට පෝලිම් ගැසී ගියහ​. පෝලිම මැද සිටි මම නෝන්ජල් සහ අහිංසක සිසුවෙකු වූ ජනක පෙරේරාව තල්ලු කලෙමි. ජනක විසිවී ගොස් මාළු කටා හෙවත් ජයානන්ද ගේ ඇඟ  හැපුණි. ජයානන්ද තම මත්ස මුඛය ඇර කෑගැසූ හෙයින් ජයවර්ධන සර් තම කාර්‍යාලයෙන් පිටතට විත් නඩු ඇසුවේය​. එදින ජයවර්ධන මහතාගේ වේවැල මගේ පිට සිප ගත්තේය​. 

1981 වසරේ ජනවාරි මාසයේ සිට   1982  දෙසැම්බර් මාසය දක්වා අප  ජයවර්ධන මහතා යටතේ සිටි අතර මෙම කාලය තුලදී මම එතුමාගෙන් කෙටි කෑම , බත් පැකට් පමණක් නොව බුරියානි පවා සංග්‍රහ  වින්දෙමි. 

මම ජයවර්ධන  සර් ගේ විද්‍යාව ටියුෂන් පන්තියටද ගියෙමි එහෙත් ගුටි දීමේදී විශේෂත්වයක් නොලැබුණු බව කිව යුතුය​. ජයවර්ධන මහතා දක්‍ෂ විද්‍යා ගුරුවරයෙකි අප අපොස සාමාන්‍ය පෙළ විද්‍යාව ගොඩ ගියේ එතුමා නිසාය​. එසේම ඇඩ්‍රිනෝකෝර්ටිකෝට්‍රොපික් යන හෝමෝනයේ නම මුල් වරට මම උගත්තේ එතුමාගෙනි. 

වර්තමානයේ යෝක් විශ්ව විද්‍යාලයේ සහ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ පරියේෂකයන් සමග  පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය  සහ එහි බලපෑම පිලිබඳව ඉගෙනගන්නා අතර එම අක්‍රමතාවය නිසා සිදු වන හෝමෝන වෙනස්වීම් පිලිබඳවද අප අධ්‍යනය කරන්නෙමු. මෙම හෝමෝන අධ්‍යනයේ මගේ  තිඹිරි ගෙය වූයේ ජයවර්ධන සර් ගේ ටියුෂන් පන්තියයි. 

ජයවර්ධන මහතා පාසලේ පරිපාලන කටයුතු වලට මැදිවී සිටි නිසා පාසලේදී අපට විද්‍යාව ඉගැන්වීමට ආවේ වෙනත් ගුරුවරුන් ය​.  මෙම ගුරුවරුන් උගන්වන විට මම , ඩබල් එන් පී රත්නායක , සකලසූරිය , ලියනපතිරණ , කපිල ජාසිංහ යනාදී සිසුන් පන්තියේ කෑ ගසා ජයවර්ධන සර් ගෙන් තරවටුවක් ලැබුවෙමු. 

දහය වසරේදී අප  තක්‍ෂිලා ගොඩනැගිල්ල ආසන්නයේ අලුතින් විවෘත කරන ලද මහල් ගොඩනැගිල්ලට ගියෙමු. සියළු දහය වසර පන්ති තිබුනේ මෙම ගොඩනැගිල්ලේය​. එම අංශය භාර වූයේ ජයවර්ධන මහතාටය​. එම නිසා මෙම අංශය ජයවර්ධනපුරය ලෙස හඳුන්වන ලදි. මේ කාලයේ අප සිංහල විෂයට මනුතාපය ඉගෙන ගත් හෙයින් ජයවර්ධන සර්ට ජනවර්ජන සර් කියා කීවෙමු. 

අපගේ පන්තිය තිබුනේ තෙවන මහලේ කොනේය​. වරක් අමරබන්දු අයියා ඇතුළු ශිෂ්‍ය නායකයන් කිත්‍යාකාර පාරේ අසල ගේට්ටුව ලඟ සිටියදී මම මීයා හෙවත් රජිත් සමග ප්‍රමාද වී පැමිණි සිසුන්ට අපගේ පන්තියේ කොරිඩෝවේ සිට සූ සූ ගෑවෙමු. මින් නොනැවතුනු  මීයා තමාගේ දකුණු අතේ මැද ඇඟිල්ලත් දබර ඇඟිල්ලත් එකතු කොට යම් සංකේතයක් ශිෂ්‍ය නායකයන්ට පෙන්වූ  හෙයින් ශිෂ්‍ය නායකයන් ආවේගශීලීව අපගේ පන්තියට විත් මාවත් මීයාවත්  අත් අඩංගුවට ගෙන ජයවර්ධන සර් වෙත ගෙන යන ලදි.   

එදින ජයවර්ධන සර් අපගේ අත්ල වල් වලට වේවැල් පහර තුන බැගින් දුන්නේය​. අන්තිම වේවැල් පහර මගේ අත්ලට දී " තමුසෙට මාර ධන රේඛාවක් තියෙනවනේ ඕයි " කීවේය​. 

ජයවර්ධන මහතා ළමුන්ට පහර දෙන්නේ කෝපයෙන් නොවේ. එසේම සමහර ගුරුවරු මෙන් පරපීඩක ආශාවකින් ද නොවේ. දඞුවම දීමෙන් පසුව එතුමා ළමයා සමග සංවාදයේ  යෙදී කල වරද අවබෝධ කර දෙයි. 

මීයාට වේවැල් පාර දීමේදී මීයා වේවැල ඇල්ලූ හෙයින් ජයවර්ධන මහතා මීයා අතටම වේවැල දුන්නේය​. ඉන් තැතිගත් ඔහු වේවැල යළි ජයවර්ධන සර්ට දුන්නේය​. නැවත වේවැල් පහර දීමට යත්ම ඔහු වේවැල ඇල්ලුවේය​. යලිත් ජයවර්ධන මහතා මීයා අතටම වේවැල දුන්නේය. මෙලෙස කිහිප වාරයක්ම වේවැල දෙදෙනා අතින් අතට ගොස් අවසානයේදී ජයවර්ධන සර් සිනාසෙමින් මීයාව කාර්‍යාලයෙන් එලවා ගත්තේය​.  මීයා වර්තමානයේ ටෙලි නාට්‍ය නළුවෙකි. 

මෝටර් බයිසිකලයක නැගී ජයවර්ධන සර් පාසලට එන අතර සමහර දින වලදී මෝටර් බයිසිකලයෙන්ම ගොස් පාසලෙන් කට්ටි පැන්න කොල්ලන් රැගෙන එයි. වරක් අපගේ පන්තියේ බුද්ධික නානයක්කාර ස්කූල් කට් කොට මවුන්ට් මේරි පාරේ යමින් සිටියේය​. තම මෝටර් බයිසිකලයෙන් සද්ද බද්දයක් නැතිව නියුට්‍රල් එකේ කන්ද බසිමින් ආ ජයවර්ධන සර්  බුද්ධික නානයක්කාරගේ බෙල්ලෙන්ම අල්ලා ගත්තේය​. 

ජයවර්ධන සර් ගෙන් අවසන් වතාවට මම කෑවේ අපොස සාමාන්‍ය පෙළ අවසන් විභාගය දිනයේදීය​. විභාගය අවසානයේදී ලියනපතිරණ රතිඥාවක් පත්තු කල අතර එයට අසු වූයේ මාවය​. නමුත් පසුව මොරේ ඉදිරිපත් වී රතිඥාව දැමුවේ මා නොව ලියනපතිරණ බව කීවේය​. ඒ වන විට ලියනපතිරණ අහලකවත් නොවීය​. නඩුව ලබන වාරයේ අසන බව විදුහල්පතිතුමා කීවද එය සිදු වූයේ නැත​. 

විදේශගතවී අධ්‍යාපනය ලබන විට වරක් 1988 කාලයේ නිවාඩුවකදී මම නාලන්දාවට විත් ජයවර්ධන මහතාව හමු වූයෙමි. එතුමා මාව ආදි සිසුවෙකු ලෙස සාදරයෙන් පිළිගත්තේය​. 

මේ කාලයේ ජවිපෙ දෙවන කැරැල්ල ආරම්භව තිබූ අතර නාලන්දාවේ සමහර සිසුන් මෙම සිසු ව්‍යාපාරයට බැඳී පාසල තුල පෝස්ටර් ගැසීම බිත්ති වල තීන්තෙන් ලිවීම වැනි ක්‍රියා කරමින් තිබුනේය​. 

ජයවර්ධන මහතා පාසල පිරිසුදු කිරීමට මහත් වෑයමක් ගෙන තිබුනේය​. එසේම අධ්‍යාපනය අඩාල කරගෙන රැඩිකල් සිසු ව්‍යාපාර වෙත යොමුවී දේපළ ජීවිත විනාශ කරමින් අයාලේ ගිය සිසුන් කෙරෙහි කණගාටුවකින් යුතුව කතා කලේය​. අපගේ වානිජ සහ ගිනුම් ගුරුවරිය වූ කරුණාරත්න ටීචර් ගේ පුතාද මෙම සිසු ව්‍යාපාරයේ නායකයෙකු විය​. යම් දිනෙක මෙම සිසුන්ට අධ්‍යාපනය අඩාල කර ගැනීමේ පාඩුව අවබෝධ වනු ඇතැයි එදා එතුමා මා සමග කීවේය​. 

පසුකාලීනව මෙලෙස කපටීන්ට රැවටී අධ්‍යාපනය අඩාල කරගෙන අත් අඩංගුවේදී ලැබූ වද හිංසා නිසා මානසිකව රෝගීවී ඉච්චා භංගත්වයට පත්වූ පුද්ගලයන් ගනනාවකට පසුකාලකදී මම ප්‍රතිකාර කලෙමි. ඒ අවස්ථා වලදී 1988 වසරේදී මොවුන් සම්බන්ධයෙන් ජයවර්ධන මහතා කියූ අණාවැකිය මට සිහිපත් විය​. 



වෛද්‍ය රුවන් එම් ජයතුංග 

43 comments:

  1. අර ධන රේඛාවේ තියෙනවා ඇත්තේ කැනේඩියානු ඩොලර් විය යුතුයි නේද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ සත විය යුතුයි

      Delete
  2. ඔය වගේ අපිට හොඳට උගන්වපු සර් කෙනෙක් හිටියා.. එයාට සිංහල, ආගම, බුද්දාගම තුනම පුළුවන්.. තුනම ඉගැන්නුවා....අද අපි යම් සාර්තකත්වයක් ලබලා තියනවානම් ඒකේ ගෞරවයෙන් කොටසක් එතුමටත් අයිතියි.

    පෙරේදා මම දැක්කා සර් බුකියකට රිංගනවා.. අස්සයෙක් අල්ලගන්නද කොහෙද !

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අස්සයෙක් අල්ලගන්න ??????

      Delete
    3. ස්පෝටිං ස්ටාර්

      Delete
    4. ආගම, බුද්ධාගම කියන්නෙ එකමනෙ

      Delete
    5. මේ ඉයන් කියන එකානම් හරකෙක්. ආගම කියන්නේ ක්‍රිස්තියානි ආගමට

      Delete
    6. ඉයන්, අපේ පැත්තේ ව්‍යවහාරික භාෂාවෙන් ආගම කියලා හඳුන්වන්නේ ක‍තෝලික/ක්‍රිස්තියානි ආගමට.

      Delete
    7. samahara guruwaru saha wurthikayan amathara mudalak ipayeema sadaha accounts check kereema wani de raceboke wala karai

      Delete
  3. අර ළමයට මාළු කටා කියුවේ ඇයි ,

    ReplyDelete
    Replies
    1. උගේ කට මාළුවෙක්ගේ වගේ නිසා කොල්ලෝ මාළු කටා කිව්වා . මිනිහා දැන් ජේලර් කෙනෙක්

      Delete
  4. 73 වසරේ අපිට බයොලොජි කලේ ජයවර්ධන සර්.කොල්ලො සර්ව හැඳින්නුවේ බයෝ ජයවර්ධන කියලා. හොස්ටල් එකේ යට තිබුන බයෝ ලැබ් එකට යනවා පීරියඩ් දෙකක් තියනව නම්.අපේ පන්තිය ශිෂ්‍යත්ව පංතිය නිසා හැමෝම අලුත් ඉස්කෝලෙට. ඉති ඔය රුවන්ලා කරපු මැරෑටි වැඩ ජයවර්ධන සර් එක්ක කරන්න ගියේ නෑ. සර් හොඳ දක්ෂ ගුරුවර්යෙක් කියන එකට මමත් එකඟයි.

    ReplyDelete
    Replies
    1. ඔබලා හොඳ ළමයි (73 I was in G -1 )

      Delete
  5. රුවන් ඔයාගේ අවසන් අදහස මොකක්ද දොස්තර මහත්තුරු ළමයින්ට සුපිරි ඉස්කෝල ඉල්ලන එක ගැන , මට නිකං හිතුනට අහන්නේ

    ReplyDelete
    Replies
    1. හරිම අසාධාරනයි ; පාසල් දිය යුත්තේ නියම වශයෙන් මාරුවීම් ලැබූ අයට ඒ අදාල ප්‍රදේශයේ

      Delete
    2. ඒ උනාට ඔබේ දරුවාව රෝයල් දාගත්ත කියල සාරස කරන චෝදනාව ගැන මොකද කියන්නේ?

      Delete
  6. හයියෝ කොම්පියුටරේ නෑ කියන්නේ අනාතයි. අනේ රුවන් දෙකදෙක තියන එව්වා මකන්න

    ReplyDelete
    Replies
    1. ඔය දෙකක් වදින්නේ කමෙන්ට් එක දාලා බැක් බටන් එකෙන් ආපස්සට ගියාම. ඒ වෙනුවට ඒ ටැබ් එක ක්ලෝස් කරලා දාන්න.. එතකොට ඔය අවුල නෑ...

      Delete
  7. https://www.facebook.com/piyasena.jayawardena

    ReplyDelete
  8. අපිට නම් පස්ස පැත්ත රත්වෙන්න දුන්නේ අපෙ ඉස්කෝලේ හිටිය සියඹලාපිටිය (සිම්බා) සර්.

    ReplyDelete
    Replies
    1. අපිට එහෙම දුන්න අය ගනනාවක් හිටියා

      Delete
  9. අර මීය ජනක් කුඹුකගේද?

    ReplyDelete
    Replies
    1. නෑ මීයා රජිත් කුමාරසිරි

      Delete
  10. අපිනං ඒ ලෙවල් වලදි කාගෙන්වත් ගුටි කෑවෙ නෑ.
    පින්සිපලුත් හිටියෙ ලැබ් එකේ හිටිය අපේ යටත්වැසියෙක් වෙලා.

    ReplyDelete
  11. සිංහල බ්ලොග් අවකාශයට අනූපමේය සේවයක් සිදුකරන ඇනෝ වරුන්ගේ දායකත්වය අගැයීමට සුහද හමුවක් සංවිධානය කර ඇත. එය 25 ඉරිදා 6 සිට 11 දක්වා කොලඹ දිස්ත්‍රික්කය තුල ඇති හෝටලයකදී පැවැත්වේ. කිසිදු ප්‍රොෆයිල් කරුවකුට මේසඳහා ආරාධනා කර නැත. තවද ප්‍රොෆයිල් කරුවන් ඇනෝවරුන් කවුදැයි සොයාගැනීමට මෙම ස්ථානයට පැමිනීමේ ඉඩ කඩ අහුරනු වස් ස්ථානයේ නම ප්‍රසිද්ධියේ සටහන් නොකෙරේ. මේ සඳහා සහභාගීවීමට කැමති ඇනෝවරුන් වෙනත් ඇනෝවරයෙකුගෙන් අදාල ස්ථානය ගැන විස්තර ලබාගන්න. ඔබ ඇනෝ වරයෙකු ලෙස තහවුරුකිරීමට ඔබ දමන ලද ඇනෝ කමෙන්ට් කිහිපහයකවත් මුද්‍රිත පිටපත් රැගෙන එන ලෙසද කිසිලෙසක ජාතික හැඳුණුම්පත වෙන අනන්‍යතාව හෙළිවන දේවල් රැගෙන නො එන ලෙසද සංවිධායක මණ්ඩලය දන්වා සිටී. හමුවේදී ඡායාරූප ගැනීම සපුරා තහනම්ය. විදේශ වල සිට ස්කයිප් හරහා සහභාගී වීමට කැමති ඇනෝවරුන් ලංකාවේ ඉන්නා ඇනෝ කෙනෙකුගෙන් අදාල ස්කයිප් ලිපිනය ලබාගන්නා ලෙසද දන්වමු. මීට සංවිධායක මණ්ඩලය

    ReplyDelete
  12. He was in all white clothing! We still remember him with fondness. Only the sight of him is enough for the students to get a scare. our entire class has been punished by him. He punishes with a smile and that is to actually correct students.Such a stature!.

    ReplyDelete
  13. ජයවර්ධන සර්ගෙන ඉගෙනගෙන නැත. එහෙත් ඔහු පිළිබඳ බොහෝ රසබර තොරතුරු අසා ඇත....:)

    / දහය වසරේදී අප  තක්‍ෂිලා ගොඩනැගිල්ල ආසන්නයේ අලුතින් විවෘත කරන ලද මහල් ගොඩනැගිල්ලට ගියෙමු. /

    ඔතන ඔයිට කලින් තිබ්බෙ තහඩු වහපු පංති කාමර හතරක් නැත්නම් පහක්. මම නාලන්දෙට ඇවිල්ල මුලින්ම හිටියෙ ඒ පංතියක . 1977 අවුරුද්දෙ ඒ. හෙහ් දවල් එකොලහ වගෙ වෙනකොට මොන විදිහටවත් ඉන්ට බෑ පෝරණුවක් වගෙ. පස්සෙ ඒ ගොඩනැගිල්ල කඩනකොට අපිව දැම්ම තක්ෂිලා හෝල් එකට.

    රතිඥාවක් = රතිඤ්ඤාවක්

    හැමදාම වගෙ ඔබ බොහොම අපූරුවට ලියල තියනවා රුවන්...:)

    ReplyDelete
  14. සුන්දර පාසල් කාලයක් .ඔබ රසවත්ව ලියනවා .

    ReplyDelete
  15. Superb master and a visionary teacher! He has beaten me several times. As you say, he was never sadistic. We became great friends during my medical college days.

    ReplyDelete
  16. He is a wonderful teacher. I was lucky to have him as a lecturer when I was in Nursing school too. He asked me not to come for the lectures as they are too simple for me and go to library and study during his lecture and marked present for me during whole 1st two semesters.Others were so jealousy about that.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook