Thursday, March 16, 2017

අපේ කාලයේ ගුවන් විදුලිය




රූපාවාහිනිය ලංකාවට ආවේ 1979 දීය​. ඒ කාලයේ මම හත වසරේ පාසල් සිසුවෙකු වූයෙමි. එහෙත් ඊට පෙර කාලයක රූපාවාහිනී සුළු ප්‍රමාණයක් ලංකාවේ තිබුණි. ශ්‍රී ලංකා ගුවන් විදුළි සංස්ථාවේ ඉංජීනේරුවෙකු වූ බුවෙල් මහතාගේ නිවසේ රූපාවාහිනියක් තිබුණු බව මතකය​. 

රූපාවාහිනිය ඒමට ප්‍රථම අප ආශක්තව සිටියේ ගුවන් විදුලියටය​. ඒ කාලයේ මුවන් පැලැස්ස දිවයිනේ සුප්‍රකටම සෝප් ඔපෙරාව විය​. කටහඞ පමණක් ඇසුනු නමුදු අසන්නන් විවිධ චිත්‍ර රූප මවා ගෙන මුවන් පැලැස්ස වින්දනය කලහ​. මගේ සිතේ මැවුණු කදිරා, ඩිංගි ගුරුන්නාන්සේ, පිනා සහ කෝරලේ මහත්තයා මෙම ගුවන් විදුලි නාටකයට සවන් දුන් වෙනත් අයෙකුගේ සිතේ මැවුණු රූප වලට වඩා වෙනස් විය​. නමුත්  අසන්නන්  පොදු වින්දනයක් ලැබූහ​. මුවන් පැලැස්ස ඉදිරිපත් කලේ ලින්ටන්ස් ආයතනයයි.සඳුදා දින වල රාත්‍රී අටට පවුල් පිටින් එක්වී මුවන් පැලැස්ස ඇසීමට පුරුදුව තිබුණි.  කදිරා පොලිස් වෙඩි පහරින් මිය ගිය එපිසෝඩය මට මතකය​. කදිරා ගේ මරණයෙන් පසු ඔහුගේ සොයුරු වීරා මුවන් පැලැස්සට එයි. ඉන් පසු කතාව වඩාත් ඒකාකාරී ස්වභාවයක් ගත්තේය​. 

මුවන් පැලැස්සට අමතරව මොනරතැන්නටද  අසන්නන් ඇළුම් කලහ​. මේ ගුවන් විදුලි නාටකයෙන් ඉදිරිපත් කල රජ්ජුරුවෝ , බිසෝ , සඳා , පියසෝම මහත්තයා, හතා යන චරිත අපගේ පරම්පරාවේ පිරිසට තවමත් මතකය​. සඳාට වූ විපත නිසා රජ්ජුරුවෝ උමතු වන අතර පසුව ඔහු ඉබේම සුවය ලබයි. රජ්ජුරුවන්ට Acute and Transient Psychotic Disorder තත්වයක් ඇතිවූ බව මම සිතමි. හතා මහත්තයා ගෝරිකාරයාක නාලාගිරි මෙන් ඔහුට ගතු කියා කුපිත කොට ඉලක්කයක් වෙත එවිය හැකිය​. නමුත් අවසානයේදී හොඳ  ජයග්‍රහණය කරයි මෙය Dramatic judgement නම් වේ. 

ලන්දේසි දූපත ගුවන් විදුලි නාට්‍ය ප්‍රචාරය කෙරුනේ මා හය වසරේ සිටිදීය​. සිකුරාදා රාත්‍රී සහ සෙනසුරාදා උදෑසන ප්‍රචාරය කල ලන්දේසි දූපත අප නොකඩවා ඇසුවෙමු. රොන්ජන් , ටුටූ ,   දිල්ජෝන් , වැන්දබෝනා යන චරිත අපගේ සිත් වල දිගටම හොල්මන් කරන ලදි. රොන්ජන් ලන්දේසි දූපතේ උකු කිරි ෆැක්ටරියක් පවත්වාගෙන යයි. එහි උකු කිරි හදන මුවාවෙන් මත් ද්‍රව්‍ය නිශ්පාදනය කොට බෙදා හරින බව ව්‍යංගයෙන් පෙන්වා දෙයි. ටුටූ සහ අනෙකුත් ළමුන් ළමා රහස් පරීක්‍ෂකයන් වෙති. ඔවුන් ලන්දේසි දූපතේ අභිරහස සොයති. දිල් ජෝන් භක්තිමත් සේවකයෙකි එසේම ගීත ගායකයෙකි. කර්මාන්ත ශාලාවේ මිකැනික් සිරා හෙවත් සිරිනා කැලෑ ගොඩ පාගොඩ නුගේගොඩ ලිපිනයේය​. ඔහු රහස් පරීක්‍ෂකයෙකු හෝ වෙනත් මත් ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙකු විය යුතුය​. සිරා දිනක් රාත්‍රියක මුහුදේ නෑමට ගොස් අතුරුදහන් වේ. සිරා මළ බව දිල්ජෝන් සිතයි. සිරාගේ මරණය වැන්දබෝනා කියන්නේ මෙසේය​. "සිරා දියේ ගිලී මලේය​" . වැන්දබෝනා ද සිංදු කියයි. පොල් කිච්චී කියා තවත් ගැහැණු චරිතයක් වූ අතර ඇය වරින් වර රොන්ජන් හමු වීමට දූපතට එන්නීය​. එහෙත් මෙම ගුවන් විදුලි නාට්‍යය අවසන් වූයේ කෙසේද කියා මට මතක නැත​. බොහෝ විට අවසානයකින් තොරව එය හදිසියේම නතර වූවා කියා සිතමි. 

අඟහරුවාදා දින වල රාත්‍රියේ ගැමුණු විජේසූරියගේ කවට රේඩියෝ නාටකයක් ප්‍රචාරය විය​. මේ නාටකයේ විවිධ චරිත වලට හඞ කවන ලද්දේ ගැමුණු විජේසූරිය විසිනි. එහි නම මට අමතකය​. මේ හැර සැමුවෙල් ඩයස් බර්ටි ගුණතිලක සහ ඇනස්ලි ඩයස් ගේ විනෝද සමය අපව කුල්මත් කරන ලදි.

 සිකුරාදා දින වල රාත්‍රී අටට ප්‍රචාරය වූ හන්දියේ ගෙදර විනෝදය ගෙන ආ ගුවන් විදුලි නාටකයකි. ඩයස් මහත්තයා, බෝඩිමේ අයිතිකාරිය වූ මිසිස් ඩූ ලිට්ල් , ඇයගේ දියණිය​, මෙහෙකාරිය සිසී , ගමෙන් ආ බෝඩිංකාරයා වූ රංහොටී, මිස්ටර් නවරත්නම් , ඉන්දු මිස් , ගුරුතුමා , අංකූරා වූ ඩේවිඩ් මන් මෝහන් ලීන් , තෙල්මා මිස් යනාදී විවිධාකාර චරිත සිනහව ගෙන ආවේය​. මේ කාලයේ මම සිටියේ හතේ පන්තියේය​. අරෝෂ ගුණසේකර සහ ප්‍රභාත් පතිරණ නැවතී සිටි බෝඩිම හන්දියේ ගෙදර විය​. සිංහල ඉගැන්වූ විජේසේන ටීචට කොල්ලෝ සිසී කියා නමක් පට බැන්දහ​. වරක් වනිගතුංග ටීච පන්තියේ සිටියදී ලාල් රූපතුංග දෙමල ඇක්සන්ට් එකකින් මමයි නවරත්නම් කියා කෑ ගසා ටීච් ගෙන් ගුටි කෑවේය​. 

බදාදා දින වල රාත්‍රියේ ප්‍රචාරය වූ වජිරා නාට්‍යයට අනුග්‍රහය දැක්වූයේ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයයි. මෙම ගුවන් විදුලි නාට්‍යය ආරම්භ වීමට පෙරත් පසුත් ප්‍රීති සහ මිතුරී ගැන වෙළඳ දැන්වීම් කියවන ලද බැවින් අප වජිරා නාට්‍ය ඇසුවේ වැඩිහිටියන්ට හොරෙන් වොලියුම් අඩු කරගෙනය​. 
සිකුරාදා දින වල ප්‍රචාරය වූ ගුවන් විදුලි රඟමඩලට මම ප්‍රිය කලෙමි. එහි තේමා වාදන ගීතයද මට තවමත් මතකය​. ගුවන් විදුලි රඟමඩලබොහෝ විට රචනා කලේ පී වැලිකල විසිනි. මෙම  ගුවන් විදුලි රඟමඩල කතා අතර කපුරු කන්දේ කළු නම් අවතාර කතාව මේ දක්වා මගේ සිතේ තැන්පත් වී තිබේ. එසේම විශ්ව සාහිත්‍යයෙන් බිඳක් වැඩ සටහනද අපට බොහෝ දැණුම ලබා දුන්නේය​. 

අපගේ පාසල් සමය ගත වූයේ ගුවන් විදුලියත් ඉන් පසුව රූපාවාහිනියත් සමගය​. මේ මාධ්‍ය දෙකම අපට දැණුම මෙන්ම අපව බාහිර ලෝකයට සම්බන්ධ කලේය​. එහෙත් ගුවන් විදුලිය විසින් කරන ලද බලපෑම සුවිශේෂ යැයි කියා මම සිතමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

41 comments:

  1. රුවන් සර්,

    විචාරක මහතාට මානසික ව්‍යාධියක් වැලදී ඇත්ද? මා සිතුවේ රිය අනතුරක් සිදුවී ඇති බවයි. එතුමා ගැන වැඩි විස්තර දන්නවද? දැන් කොහොමද එතුමාට?

    මං වෛද්‍ය ශිෂ්‍යයෙක්. එතුමා මට කලින් ඊමේල් කර තිබුනා එතුමාගේ දියණිය සහ බෑනා වෛද්‍යවරු බව. දැන් එතුමා ඊමේල් වලට රිප්ලයි නැහැ. උදව්වක් හෝ අපෙන් කල යුතු දෙයක් ඇත්දැයි කියා සොයාබැලීය යුතුයි.
    විස්තර දන්නවා නම් කියන්න.

    ReplyDelete
    Replies
    1. මම හඳුනන කෙනෙකු මගින් සොයා බැලුවා, විචාරක අසනීප තත්වයෙන් තවම ප්‍රතිකාර ගන්නවා

      Delete
    2. "මං වෛද්‍ය ශිෂ්‍යයෙක්. "

      හෙහ් හෙහ් ඔයාලට විචාරකලා ගැන හොයන්න මේ දවස් වල වෙලා තියනව ද මෙයා.. ??? කොහොමද එදා හම්බුන කෑම වේල ? රස ඇති කියලා හිතනවා...

      Delete
    3. ශිෂ්‍ය පෙළපාලියට පහර දුන්නේ පොලීසියෙන් නේද? සිවිල් කටයුතු සඳහා හමුදාව කැඳවීම අවසන්වරට වුනේ රතුපස්වල දී යි!

      Delete
  2. Thanks for bringing our memories back doct5

    ReplyDelete
  3. මා කුඩා කල එනම් පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා ගෙදර රුපවාහිනී යන්ත්‍රයක් තිබ්බේ නැහැ. නමුත් ගමේ නිවෙස් කිහිපයක නම් තිබ්බා. ඒ දවස් වල රුපවාහිනිය නැරබීමට පවුල් පිටින් රුපවාහිනියක් ඇති නිවෙස් කරා ඇදෙයි. අපේ ගෙදර තිබ්බේ පිලිප් රේඩියෝවකි. එකල ගුවන් විදුලි සංස්ථාවේ මුවන් පැලෑස්සට අපේ ආච්චි ඉතා අසාවෙන් සවන් දුන්නාය. ඇය එහි යන විහිලු දෙබස් වලට සිනාසුන හැටි මට තවම මතකය. අපගේ නිවසේ තිබු Philip රේඩියෝවේ FM පහසුකම පවා නොතිබුණි. අපි සවන් දුන්නේ SW & AM චැනල සඳහාය. එම සංඛ්‍යාත පරාසයන් FM තරම් පැහැදිලි උනේ නැත. සැමදාම රාත්‍රියට අපේ ගෙදර අය CNN සහ BBC සේවාවන්ට SW තරංගමාල ඔස්සේ සවන් දුන්නා මතකය. එකල මා රාත්‍රියට SW ඔස්සේ නොතේරෙන අරාබි , ජර්මන් ප්‍රංශ බසින් ගුවන් ගතවන සේවාවන් මහා හයියෙන් ගෙදර වාදනය කෙරුවෙමු. නොත්රෙන චැනලයක් ටියුන් කර මහත් තෘප්තියක් ලැබුවෙමි.

    P.S. තවද අපි පිලිපීනයේ සිට විකාශනය කරන වෙරිටාස් ගුවන් විදුලි සේවාවට ද සවන් දුන්නා මතකය.

    ReplyDelete
  4. ලබන 25 වෙනිදා බත්තරමුල්ල වෝටර්ස්ඒජ් හීදී පැවැත්වීමට නියමිත සිංහල බ්ලොග් සම්මාන උළෙලේදී විශේෂ කාර්යයක් කිරීමට නියමිතව ඇත. එනම් මේ වන විට අසනීප තත්වයේ පත්වන විචාරක බ්ලොග් අඩවියේ රචක විචාරක නොහොත් විශ්‍රාමික හමුදා නිලධාරී මේජර් WMJ ගුණරත්න මහතාට සිංහල බ්ලොග් අවකාශය වෙනුවෙන් කල මෙහෙය වෙනුවෙන් විශේෂ කුසලතා සම්මානයක් සහ මුදල් ත්‍යාගයක් පිරිනැමීමයි. මේ සම්බන්දව කටයුතු කිරීම සම්බන්දයෙන් මෙම බ්ලොග් සම්මාන උළෙල සදහා වෙහෙසෙන සැමට අපගේ ප්‍රණාමය මෙසේ පල කරමු.

    ReplyDelete
  5. මුවන්පැලැස්ස කොටස් කිහිපයක් අහලා තිබුනාට දැන්නම් මතක නෑ. මොනර තැන්නත් එහෙමයි...තව කාලි දූපත කියලා හොල්මන් ටයිප් එකේ කතාවක් ගියා මතකයි.. ඊට අමතරව හැම ඉරිදම දවල් 12.45 ද කොහෙද ගියා උස්වත්ත අනුග්‍රහයෙන් පැය කාලක වැඩසටහනක්.. ඕකෙ අනිවාර්යයෙන් පාවෙන පීරියක් උඩ නැගලා ගීතය ගියා හැමදාම.. ඒක නොවරදවා ඇහුවා මතකයි.. වෙළද සේවේ තමා ඒ දවස් වල අපේ ගෙදර නිතර ඇසුනු නාලිකාව.

    ඊට් පස්සේ රූපවාහිනිය අපේ ගෙවල් ආක්‍රමණය කළා. අපි රේඩියෝවෙන් ඈත් වුනා.. ආයෙත් අපි රේඩියෝ එකට ලං වුනා 90දශකයේ මුල භාගයේ.. සිටි FM, FM 99 වගේ ඒවා කාලයක් ජනප්‍රිය වුනා. 1994 සිරස ලාංකීය රේඩියෝ සංස්කෘතිය උඩු යටි කුරු කළා. ඔවුන්ගේ ආගමනය කාළේ බොහොම හරවත් වැඩ සටහන් ගියා.. ෂර්ලොක් හෝම්ස් කතා මාලාව ගුවන් විදුලි නාටකයක් වශයෙන් හැම ඉරිදම රෑට ගියා.. ඒක බොහොම උසස් තත්ත්වයෙන් ඔවුන් ඉදිරිපත් කළා.. ඊට පස්සේ ඔවුන්ව අනුකරණය කරමින් තුට්‍ටු දෙකේ, ගිරව් කරව් කරණ චොකා බයිලා චැනල් රාශියක්ම ( ෂා, ශ්‍රී, හිරු, දෙරණ වගේ ඇහුවොත් සල්ලි තමයි ගනයේ ඒවා ) ආවා..සිරසත් ඒ ලෙවල් එකටම වැටිලා විනාශම වෙලා ගියා.. මිනිස්සුන්ට ආයෙත් රේඩියෝ තිත්ත වුනා...

    දැන් ආයෙත් සිත FM කියලා ටිකක් අහන් ඉන්න පුළුවන්, වැදගත් විදිහට ශ්‍රාවකයන්ට අමතන, හොඳ ගීත ප්‍රචාරය වෙන චැනල් එකක් තියනවා.. කොච්චර කල් ඔය ප්‍රමිතිය ‍රැක ගනියිද කියන එක විශාල ප්‍රශ්ණාර්තයක්...

    ReplyDelete
    Replies
    1. කාලි දූපත රේඩියෝ නාට්‍ය ගැන තව විස්තර දන්නේ කව්ද ?

      Delete
  6. ශ්‍රී එෆ් එම් නාලිකාවේ "මතු සම්බන්ධයි" කියලා නාට්‍යයක් ගියා.

    ReplyDelete
    Replies
    1. මල්ලි අපිට වඩා ගොඩක් ලාබාලයි වගේ.

      Delete
    2. දැන් කාලෙත් ගුවන් විදුලි නාට්‍ය තියෙනවා. ඒත් ඒවා එක දිගට පැය බාගයක් යන කතා නෙමෙයි.
      ඒ වෙනුවට විනාඩි දෙකක පමණ කොටස් 10-15 හැටියට පැය දෙක තුනක් ඇතුලත විකාශය කෙරෙනවා.

      පොඩි කාලෙ බලපු කාටුන් ගැනත් ලිපියක් ලියන්න

      Delete
  7. ගුවන් විදුලි රඟ මඩලේ ගියා හොඳ නාට්‍ය. සමහර ඒවා අනුවර්තන. මට මතකයි හෝඩි මිනී මැරුම, ධූලි යක්‍ෂයාගේ දේවාලය වගේ ඒවා.

    ළමා රංග පීඨයකුත් තිබුණා. සමන්, අශෝක අතාවුදහෙට්ටි, ගීතා කාන්ති ජයකොඩි, රත්නා ලාලනී, පේෂලා මෙන්ඩිස් වගේ අය හිටියා මතකයි.

    ReplyDelete
  8. අපිත් පොඩිකාලෙ මුවන්පැලැස්ස ආසාවෙන් ඇහුව. ඒ වගේම අම්බිගා ගීතයෙන් ගීතය වගේ වැඩසටහනුත් ජනප්‍රිය වෙලා තිබ්බ.

    ReplyDelete
  9. දැන් රටේ විද්‍යුත් නාලිකා වැහි වැහැලා තිබ්බට ඒවයෙන් ගන්න තරම් වටිනා දේවල් නැහැ.ඒ නිසා උන් දැන් ප්‍රසිද්දියේම අල්ලස් දෙන්න අරන් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. දැන් ඒවා කිසි ගතියක් නෑ

      Delete
  10. දිල්ජෝන් නෙවෙයි රුවන් ජිල්ජෝන්...ජිල් ජෝන් සහ වැන්දබෝනාට හඬ කැව්වෙ පරාක්‍රම පෙරේරා සහ කරුණාතිලක හඳුවල.

    ධර්ම ශ්‍රී මුණසිංහ ලියපු ගජමුතුත් අපූරු හඬනළුවක්.ඒකෙ මුතූට හඬ කැව්වෙ නිරංජලා සරෝජිනී. මොරපාතොට අප්පොට හිටියෙ කරුණාරත්න අමරසිංහ.

    ඊලඟට ඇස්දෙක කියලත් ඓතිහාසික කතාවක් ප්‍රචාරය වුනා. ඒක සෝමපාල රණතුංග ලිව්වෙ.

    කරුණාසේන ජයලත් කිව්ව ගිම්හාන ගීතයත් මම ඇහැව්ව. ඒත් ඒ ගැන කිසිම මතකයක් නෑ.

    ගීත කතන්දර කියල වැඩ සටහනකුත් ප්‍රචාරය වුනා අඟහරුවද රැ 8.30ට ඒකෙ කතාව කියවෙන්නෙ ජනප්‍රිය ගීතයක් ආශ්‍රයෙන්.

    ඊලඟට ගුවන් විදුලි රඟමඬල- නිෂ්පාදනය සුගතපාල ද සිල්වා....ඒකෙ මට තාම මතකයි විශ්වමිත්‍ර සංකීර්ණය 2100 කියල කතාවක් තිබ්බ. වසර 2100 දි ලුළු ලෝකෙම පාලනය කරන පරිගණකයක් ගැන ඒ කතාව ලියවිලා තිබ්බෙ. පරිගණක කියන වචනෙ මම මුලින්ම ඇහුවෙ ඒ කතාවෙන්...

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ නියම මතකයන්

      Delete
    2. රවී මොකක් හරි මතක් කරනකොට ලියන්න දාහක් දේවල් හිතට එනවා. ඒත් හෙට උදේ රාජකාරියක් තියෙනවා. කරුනාරත්න අමරසිංහ කියන්නේ කාටවත් මතක ඇති චරිතයක්ද මන්දා. ගුවන් විදුලි හඬ නාටක කතා ඉතිහාසයේ මහා පොරවල්. අද ටෝක් දෙන පොරවල් සහ කවදාවත් ටෝක් නොදුන් පොරවල් අතරේ ස්වර්ණමය චරිතයක්. ලියාගන්න බොහෝ දේ තියෙනවා. ඒත් කාලය පොඩි පොඩි සෙල්ලම් දානවා මේ දවස් ටිකේ. රුවන්ට ශ්‍රීලංකා ගුවන් විදුලිය තවමත් මතක තියෙන එක හරි වටිනවා.

      Delete
  11. සුන්දරයි අතීතකාමය
    රස වඩයි අතීතකාමය
    මන පිනයි අතීතකාමය
    හරි අගෙයි අතීතකාමය

    ReplyDelete
  12. මුවන්පැලැස්ස ගෙනාවෙ සිපෙට්කෝ මහත්මයා නෙමෙයිද?
    රේඩියෝ නාට්‍ය කලාව අදටත් සමාජයේ සෑහෙන පිරිසක් අතර ජනප්‍රියයි.ගස්ලබ්බා දික්වැල්ලෙ වැඩ කරපු කාලෙ නාහෙට නාහන සහයකයෙක් දමනය කරගන්න ලොකු සහයක් ගත්තා හිරු එෆ්.එම් එකේ අනුත්තරා නාට්‍යය.අනිත් ඔක්කොම සෙට් එක ඔව්වට බනිනවා.අපේ කොල්ලා කලාබර මනුස්සයෙක්.මිනිහා අනුත්ත්‍රා අහන්න ආසයි.ඒ නිසා ගස්ලබ්බත් අනිවාරයෙන්ම අනුත්තරා අහල ඒක ගැන කොලුවත් එක්ක කයිය පටන් ගත්තා.. අනේ පොර දැන් සෑහෙන්න කූල් වෙලා ගෙයක් හදාගෙන බඳින්නත් ලෑස්තිය.
    ගුවන්විදුලි නාට්‍ය පරිකල්පනය බොහොම අවදිකරනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගුවන්විදුලි නාට්‍ය පරිකල්පනය බොහොම අවදිකරනවා

      Delete
  13. රවියාන් කිව්වා වගෙ අර චරිතේ ජිල්ජෝන්.

    පවුල් සංවිධාන සංගමේ දැන්වීම් මතකද?

    නැණැති දනා
    පමණ දැනා
    දරු සුරතල්
    බලති මනා

    ඔබටත් වැඩි නැති
    රටටත් බර නැති
    දැරුවන්ගෙනි රට
    බබලන්නෙහ්!


    එතකොට

    මග හොඳට තිබේ නම්
    යන්ට දෑසත් පෙනේ නම්
    කිම බදිවල යන්නේ මංමුලා වූ එකෙකු සේ

    ඔබටත් වැඩි නැති
    රටටත් බර නැති
    දැරුවන්ගෙනි රට
    බබලන්නෙහ්!

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. මට හොදට මතකයි සදුදා -මුවන්පැලැස්ස , අගහරුවදා පහන්සිළුව , බදාදා ගිම්හාන ගීතය , බ්‍රහස්පතින්දා ගුවන්විදුලි රගමඩල , සිකුරාදා ළමා රංග පිඨය , සෙනසුරාදා හන්දියේ ගෙදර , ඉරිදා මොනර තැන්න . ඊට අමතරව ගුරු ගෙදර , සරස්වතී මණ්ඩපය, හද මාමා , රහස් පරීක්ෂක නාට්ටය , අපි දෙන්නයි පාළු ලොවයි ,

    ReplyDelete
    Replies
    1. ගිම්හාන ගීතය ගුවන් විදුලි නාට්‍ය තේමා වාදනය -ඒ බටනළා වාදනය හීනයක් වගේ -ආපහු අහන්න විදියක් නැත්ද?

      Delete
  16. දැන් නං අහන්න පුලුවන් fm නෑ මං හිතන්නෙ. Fm අහන එක අප්‍රසන්නයි. බාල ගුවන්විදුලි නාට්‍ය + අදෝනා සිංදු. හැබැයි මේ ලගදි අමුතු fm එකක් ඇහුව. චීන නිවේදනයො සිංහල භාශාවෙන් කරන්නෙ. සිංහල් සිංදුවයි චීන සිංදුවයි මාරුවෙන් මාරුවට යන්නෙ. ස්වදේශීය සේවයෙ වගේ බොහොම වැදගත් විදිහකට කතා කරනව. Fm චැනල් එකක් පටන් ගන්න තරං චීන්නු ලංකවෙ ඉන්නද නැත්තං වෙනත් දීර්ඝකාලීන අරමුණකින් පටං ගත්තු එකක් ද දන්නෑ

    ReplyDelete
  17. අතීත රේඩියෝ නාට්‍ය කොහේවත් සන්ර්ක්ශනය කර තිබේද? නැවතත් ඒවා අහන්න ආසය්

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook