Monday, November 16, 2015

මාදවන් ඇවිල්ලා





මාදවන් ලංකාවට ඇවිල්ලා
එස්. කේ. එස්. සුදර්ශන් මුදලාලිගේ
පුතා මාදවන්, අපේ පරණ යාළුවා ඇවිල්ලා
උස ගිහිල්ලා – සුදු වෙලා
අපිත් එක්ක පොඩිකාලේ සෙල්ලම් කරපු
හැංගිමුත්තන් සෙල්ලන් කරපු මාදවන්
අපි එකට ඉස්කෝලේ ගිය හැටි මතකද?

අසූ තුනේ කලබල – හමුදාවේ දහතුනක් මරා දාලා
දෙමළුන්ට පාඩමක් උගන්වමු
පොඩිකඬේ මුදලාලි හා පිරිස
එකතුවෙලා කැඩුවා එස්. කේ. ස්ටෝර්ස්
මැරුවා කඬේ වැඩට හිටපු වේළු අයියාව
වේළු අයියාගේ සිරුර – ගිනිගත්තා දවස් බාගයක්
හවස ආපු හමුදා රථයක් අඟුරු අරගෙන ගියා

අපේ ගෙදර හංගාගෙන හිටියා මාදවන්ගේ මුළු පවුලම
කඩ වහලා, ගෙයි තිබුණේ මුං ඇට විතරයි
තිබ්බ හාල් කිලෝ එක උයලා දුන්නා මාදවන්ලාට
අපි කෑවේ මුං ඇට

ඊට පස්සේ නැවෙන් යාපනයට ගිය මාදවන්ලා
අපි ආපහු දැක්කේ නැහැ
සුදර්ශන් මුදලාලි අංශබාගේ හැදිලා මැරුණාලූ
මල්ලී ඇල්. ටී. ටීයට බැඳුනාලූ
මාදවන් ජර්මනියට ගියාලූ
අම්මා සහ අක්කා යාපනයේ සිටිමුත්
අක්කාව බිලිගත්තාලූ ඉන්දීය සාම හමුදාව
අක්කාගේ ඔලූව නරක්වෙලා, බයවෙලා
එහෙ මෙහෙ දුවනවාලූ
අම්මත් ලෙඩගානේ

අවුරුදු ගණනකට පස්සේ මාදවන් ජර්මනියේ සිට
ලංකාවට ඇවිල්ලා
ලෝකය වෙනස් වෙලා
පරදෙමළුන්ට පාඩමක් උගන්වමු කිව් පොඩිකඬේ මුදලාලි
එස්. කේ. ස්ටෝර්ස් කඩය
කුණුකොල්ලයට මිළට ගෙන දැන් ලොකු මුදලාලි කෙනෙක්
ආරංචියේ හැටියට නාදන් මුදලාලි එක්ක කුඩු බිස්නස් කරනවාලූ
බිස්නස් වලට ජාතිබේද නැහැ
දෙන්නා එකට විස්කි තොලගානවා
එ්ත් පරණ පුරුද්දට, සුදුවත් ඉදහිට ගන්නවාලූ
හෙට අනිද්දා කවුන්සලේට යන්න අදහසක් තියෙනවාලූ

එ්ත්… මාදවන්ලාගේ ලෝකය බිඳවැටිලා
තාමත් අපිත් එක්ක මාදවන් හිනාවෙනවා
උඹ අපිත් එක්ක තරහද මාදවන්?
ජර්මනිය සීතයි
කෑම  ඕන තරම් ඇතිමුත්
බර්ලිනය පාළුයි
ලංකාවට අපි කොයිතරම් ආදරේද
අපි ඉපදුනේ ලංකාවේ
ලංකාවෙන් ගිය දහස්ගණන් කුණු අදිනවා
ඩෙනිම් ඇඳගෙන සවලෙන් ගසා කුණු ලොරියට දානවා
හවසට කාමරයට ඇවිල්ලා බියර් එකක් බීලා
?ට කාලා ඇඳ උඩට වෙලා කල්පනා කරනවා

ජාතිවාදය නිසා අපි ලංකාවෙන් ආවා
එ්ත් අපි නිදහස් නැහැ
සවස හතෙන් පස්සේ අඳුරු වැටුණු වීදී භයංකරයි
නියෝනට්සි කණ්ඩායම් අපිව දැක්කොත් ගහනවා
බෝතල්, යකඩ දම්වැල්, චේන්, බෝල්ට් පිහි
අපේ කෙට්ටු ශරීරවලට ඔරොත්තු දෙන්නේ නැහැ
පොලිස් සයිරන් හඬ නිසා ජීවිතය බේරුණා
උන් අපට පහරදෙන්නේ අපි දෙමෙල්ලූ නිසා නොවෙයි
අපි කළු ආසියාතිකයන් නිසා
එ් කියන්නේ උඹටත් එ් සැලකිල්ලමයි
මාදවන් කියාගෙන යනවා

කැමල් සිගරැට් පැකට්ටුවෙන් සිගරටයක් පත්තුකරගෙන
දුම් එක්ක හදවතේ වේදනාව එළියට දානවා
එතකොට ජාතිවාදය තියෙන්නේ කොහේද?
ලංකාවේද? යුරෝපයේද?
මාදවන් අහනවා
අපි මොහොතක් ගොළු උනා

ඉස්සර වගේ ක‍්‍රිකට් ගහන්න, ඔට්ටු දුවන්න, මාබල් ගහන්න
ආසයි මාදවන්
අජිත්ලා, සඳුන්ලා, ජූඞ්ලා
රිස්විලා, සුරේෂ්ලා
එක්ක සෙල්ලම් කළ හැටි මතකද?

දවසක් කටුස්සෙක් මරලා
සුදර්ශන් මුදලාලි මට
බැන්නා මතකද?
ඊට පස්සේ වේලූ අයියා අපට සක්කර දුන්නා
කකා ගෙවල්වලට යන්න
දඟ කරන්නේ නැතුව

අපේ ලෝකය වෙනස් වෙලා මාදවන්
අපේ ලෝකය වෙනස් වෙලා


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

8 comments:

  1. පීන්තුරයේ ඉන්නේ මාදවන්ද , මාදවන් කෙනෙක්ද

    ReplyDelete
  2. හරිම සංවේදීයි, ලියල තියෙන විදිහත් අපූරුයි

    ReplyDelete
  3. මාදවන් කළු ආසියාතිකයන් නිසා වෙනුවෙන් දාමු ප්‍රංශ කොඩිය

    ReplyDelete
  4. අවස්ථාව එනතුරු සියලු දෙනා සාන්තුවරයින්.ප්‍රංශය එය ඔප්පු කළා.මේ පෝස්ට් එකෙන් ඒකම තහවුරු වෙනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අවස්ථාව එනතුරු සියලු දෙනා සාන්තුවරයින් ....................

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook