Thursday, July 6, 2017

අපගේ ළමුන් අපට වඩා හොඳයි

 

වැඩිහිටියන් නිතරම කියන්නේ ඔවුන් ගේ පරම්පරාව හොඳින් හැසුරුණු බවත් වර්තමාන ළමා පරපුරේ හැසිරීම නරක බවත් ය​. එහෙත් මම මෙය පිළිනොගනිමි. මාගේ පුතා ඇතුළු මාගේ සමකාලිකයන් ගේ දරුවන් ගේ හැසිරීම අපගේ පාසල් සමයේ හැසිරීම සමග සංසංදනය කරන විට මට හැඟී යන්නේ අපගේ ළමුන් අපට වඩා හොඳ බවය​.

මගේ පුතා නාලන්දා විද්‍යාලයට දැමීමට ඇවසි වූවද මාගේ සමකාලීනයෙකු විසින් ව්‍යාපාරික අරමුණක් මුල් කරගෙන මාගේ දරුවාගේ  නම කපා දමා වෙනත් සල්ලිකාරයෙකුගේ ළමයෙකු ඒ සඳහා ඉදිරිපත් කරන ලදි. මෙසේ ආදි ශිෂ්‍ය මාෆියාව විසින් ඔහුට නාලන්දාවේ දොරටුව වසා දැමූ නිසා ඔහු ගියේ කොලඹ රාජකීය විද්‍යාලයටය​. එහි එක වසරේ සිට හත වසර දක්වා ඉගෙන ගෙන පසුව ටොරොන්ටෝහි එර්ල් හේග් පාසලට ගියේය​. වර්තමානයේ ඔහු යෝක් විශ්ව විද්‍යාලයේ උපාධියක් හදාරයි. 

අවංකව කියනවා නම් පාසල් කාලයේදී මම ඔහු මෙන් සන්සුන් මෙන්ම ශික්‍ෂණයක් තිබූ සිසුවෙකු නොවූයෙමි. ප්‍රාථමික පන්ති වල සිටම මාස හතර පහකට වරක් පාසලේ කේස් දමාගෙන මම ගුරුන් ගේ උදහසට ලක් වූයෙමි. මේ කේස් වනාහී පන්තියේදී කොල්ලන්ට පහර දීම​, පන්තියේ දඟ කිරීම​, ගුරුවරුන් උගන්වන විට බාධා කිරීම වැනි ක්‍රියාය​. මගේ වික්‍රමයන් ගුරු දෙගුරු පොතේ ලියා මව හෝ පියා පාසලට රැගෙන ලෙස ගුරුවරු මට ඒ කාලයේදී නියෝග කලෝය​. මේ නිසා මාස හයකට වරක් බොහෝ විට මාගේ මව නාලන්දාවට එන්නීය​. 

වරක් තුනේ පන්තියේදී මම කාන්දමක් සමන්ත කුමාරතුංගට රුපියලකට විකුනුවෙමි. කාන්දම සමග දින දෙක තුනක් සෙල්ලම් කොට එය එපා වූ පසු සමන්ත මට යලි කාන්දම දී රුපියල ඉල්ලුවේය​.  යලි හුවමාරුවට මම විරෝධය දැක්වූයෙමි. සමන්ත මෙය අබයකෝන් ටීචට පැමිනිලි කලේය​. මේ නඩුව දුර දිග ගිය අතර මට මව පාසලට රැගෙන එන ලෙස නියම විය. තවද කාන්දම මා ගලවාගෙන තිබුනේ අයියා විසින් හදන රේඩියෝවකින් බව එළි වූයෙන් මට අයියාගෙන් ද පෝරියල් එක ලැබුනි. 

හතර වසරේදී මා විසින් කොල්ලන්ට කරාටේ පහරවල් එල්ල කලේ මාගේ වැඩිමහල්  සොහොයුරන්  කරාටේ පුහුණු වනු බලාය​. ඔවුන් මාස්ටර් වෙල්ගම ගෙන් මෙන්ම ආනන්ද විද්‍යාලයේ ගලප්පත්ති සර් ගේ  කරාටේ පන්ති වලට ගිය අතර මම ඔවුන්ගේ පන්චස්,  කික්ස් අනුගමනය කලෙමි. කෙසේ නමුත් මගේ කරාටේ පහරවල් කෑ කොල්ලෝ සුමතිපාල ටීච වෙත පැමිණිලි කල හෙයින් යලිත් වරක් මට මව ඉස්කෝලයට ගෙන ඒමට සිදු විය​. 

හය වසරේදී මාත් සීවලිත් යසරත්න දිසානායකට කොලොප්පන් කල හෙයින් ඔහු ගෙදරින් ලිපියක් ලියාගෙන විත් අපගේ පන්ති භාර ගුරුවරිය වූ හිල්ඩා ගුනවර්ධන මහත්මියට දුන්නේය​. ඉන් පසු හිල්ඩා ගුනවර්ධන මහත්මිය මාගේ ගුරු දෙගුරු පොතේ සටහනක් දමා දෙමාපියන්ට පෙන්වා අත්සන් කරගෙන එන ලෙස කීවාය​. 

හත වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා පන්තියේ සිටි දඟකාර ළමුන් සමග එක්වී පන්ති දෙවනත් කල හෙයින් පන්ති භාර ගුරුවර ගුරුවරියන් ගෙන් පමණක් නොව අංශ භාර භවතුන් ගෙන් ද මට සිතාසි ලැබුනේය​. මෙම ගුරුවරුන් අතර යාපා සර් , තිලකරත්න සර් , ජයවර්ධන සර් යනාදීන් වූහ​. 

උසස් පෙළ අවධිය වන විට මම බොහෝ ලෙසින් තැන්පත් වූයෙමි. නමුත් වරක් උසස් පෙළ අධ්‍යනය ලබන කාලයේ පන්තියේදී විහිළුවට සෙනරත් විජේසූරියගේ අත ඇඹරූ හෙයින් එය ඔහුට රිදුනු බව කියා විදුහල්පති වූ ගුණසිංහ සර් වෙත පැමිණිලි කිරීමට ගියේය​. මම ඉතා අමාරුවෙන් යාප්පු වී කේස් එක ශේප් කර ගත්තෙමි. වර්තමානයේ සෙනරත් විජේසූරිය නාවික හමුදාවේ නිලධාරියෙකු ලෙස සේවය කරයි. 

විදුහල්පති වූ ගුණසිංහ සර් ගෙන් මම දෙපාරක් කා තිබේ. හේතුව  වරක් උදෑසන රෑස්වීමේදී කොල්ලන් සමග ඝෝෂා කරමින් සංවාදයේ යෙදීම නිසාය​. උදෑසන රෑස්වීමේදී කතා කරමින් සිටි ළමුන් ශිෂ්‍ය නායකයන් විසින් අත් අඩංගුවට ගෙන විදුහල්පතිතුමා වෙත ඉදිරිපත් කරන ලදි. විදුහල්පතිතුමා අපට අත්ලට වේවැල් පහර බැගින් දුන්නේය​. දෙවන වර මම ධර්ම ගුණසිංහ මහතා ගෙන් කෑවේ නොකල වරදකටය​. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනයේදී ලියනපතිරණ විසින් දැමූ රතිඤාවකට අසු වූයේ මාය​. එහෙත් මාගේ නීර්දෝෂී භාවය සනාත වන විට මා සිටියේ ධර්ම ගුණසිංහ සර් ගෙන් හොඳ ටොකු දෙක තුනක් වළඳාය​. 

පාසල් කාලයේ මගේ හැසිරීමට සාපේක්‍ෂව මගේ පුතා ඉතා හොඳ ළමයෙකු විය​. රාජකීය පාසලේ ගුරුවර ගුරුවරියන් ඔහු ඉතා හොඳ ළමයෙකු බව කීහ​. කිසි දවසක පාසලෙන් ඔහු ගැන පැමිණිලි නොආවේය​. වරක් හය වසරේදී ගණිතය වාර විභාගයට ඔහු 100 % ලකුණු ගත්තේය​. මම කිසිදා ගණිතයට මෙලෙස ඉහල ලකුණු ලබාගෙන නැත​. වරක් හය වසරේදී කෘෂිකර්මය විශයට මට 97% ලැබී තිබුනා නම්  මතකය​.  

එර්ල් හේග් විද්‍යාලයේ  ගුරු දෙගරු හමුවීම් නිතරම තිබේ. මම මේ ගුරු දෙගරු හමුවීම් වලට මම ගියේ චකිතයෙනි. ඒ මගේ අතීත වික්‍රමයන් මතක් වීම නිසාය. එහෙත් ඔහුගේ ගුරුවර ගුරුවරියන් ළමයා ඉතා විනීත ගති පැවතුම් ඇති හොඳ ළමයෙකු බව කීවෝය​. මා නම් පාසල් කාලයේදී මෙලෙස ප්‍රසාද වචන අසා නැති බව නම් කිව යුතුමය​. 

මා මෙන්ම මාගේ සමකාලීනයන් බොහෝ දෙනෙකු පාසල් කාලයේදී මැරෑටීන් වූහ​. ඊට හේතුව කුමක්ද කියා මම නොදනිමි. හැටේ දශකය මැද උපන් අපගේ ජීවිත ගලා ගියේ 1971 කැරැල්ල , 1973 ආංශික සාගතය​, 1977 දේශපාලන ප්‍රචණ්ඩත්වයන් , 1983 වාර්ගික කෝලහාල , 1988-89 ජවිපෙ දෙවන කැරැල්ල​, තිස් වසරක යුද්ධය වැනි ආකූල සමයන් හරහාය​.   සමහරක් විට මේ ආකූල සමයන් අපව යම් ආකාරයකට දරදඞු කලා විය හැකිය​. වාසනාවකට මෙන් අපගේ ළමුන් මේ ව්‍යසන දුටුවේ නැත​. කෙසේ නමුත් අපගේ ළමුන් අපට වඩා හොඳ වීම ප්‍රසාදජනක අත්දැකීමකි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 


30 comments:

  1. වෙනස තියෙන්නේ දාගන්න කේස් වල. ඒකාලෙ කේසුයි දැන් කාලෙ කේසුයි සෑහෙන්ට වෙනස්.

    ReplyDelete
    Replies
    1. දැන් කාලෙ කේස් ක්‍රිමිනල් ඒවා

      Delete
  2. ඇත්ත එයාල අපිට වඩා හුඟක් හොඳයි...එත් අපේ ළමයින්ට පාසැල් කාලය ගැන ලියන්න කතාවක් නෑ !!!

    ReplyDelete
    Replies
    1. ඇයි නැත්තෙ උන් ලියයි උන් පොඩි කාලෙ තිබුන ස්මාට් ෆෝන් ගැන, බ්ලොග් ගැන, ෆේස්බුක් ගැන එක එක නොස්ටැල්ජි කතා

      Delete
    2. අපේ ළමයින්ට පාසැල් කාලය ගැන ලියන්න කතාවක් නෑ /////බලාගෙන යන කොට ඇත්ත තමයි

      Delete
  3. මමත් ඉස්කෝලේ කාලේ හිටියේ 'ගණන්කාර' ලැයිස්තුවේ. අලකලංචියක් කොතනද, මම එතැන වර්ගයේ ඒවාය. ඒ කාලේ තැන්පත් යැයි සිටි ළමයින් පවා තාමත් මාව අඳුන්නන්නේ ඒ නිසාද කියා දන්නේ නැත. ලියන්නට කතා තියෙන්නේ ඒ නිසාද?

    හැබැයි, අපේ ගෙදරින් ගෙන්නුවේ නම් එකම එක වතාවක් විතරයි. අනිත්වා පොත්වලටවත් ගියේ නැහැ. ඒ ඇයිද මන්ද?

    ReplyDelete
  4. පොඩිකාලේ අමු මැරූටියන්ගේ දරුවන් තැම්පත්වෙද්දි උපාසකයින්ගේ දරුවන් අමු මැරූටියෝ වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. උපාසකයින්ගේ දරුවන් අමු මැරූටියෝ වෙන්න පුලුවන්

      Delete
  5. මා ඔබේ කතාවට සම්පූර්ණයෙන් එකඟ නොවෙමි. ඔබ අත් දැකීම් තුලින් උගෙන තිබේ. එම නිසා සමාජයට වැඩ දායක පුරවැසියකු බිහි වී තිබේ. නමුත් එම වාසිය අද කුඩා දරුවාට අහිමි වී ගොස් තිබේ. ආගම, කලාව, ඉතිහාසය තුලින් සංවේදී මිනිසා බිහි කරයි. කුඩා කල අප පෙරදින රේඩියෝවෙන්, රූපවාහිනියෙන් හෝ පත්තරයෙන් ලබා ගත් ප්‍රවුර්ති ලියාගෙන පාසල් යා යුතු වූයෙමු. එහෙත් අද ප්‍රවුර්ති වැඩිහිටියෙකු වූ ඔබ ඇසිය හැකිද? (මම කියන්නේ ලංකාවේ ඒවා). වර්තමානයේ කුඩා ළමුන් සමගින් සාලයේ සිට එකට හිඳ නිල් චිත්‍රපටයක් බැලූවද එතරම් හානියක් මනසට සිදු නොවේ යැයි සිතමි. වර්තමානයේ ළමුන් ඉතා සන්සුන්ය. ඔබ නිවැරදිය, එහෙත් ඒ පිටතිනි. ඇතුලතින් ඔවුන් දැවෙන්නොය.

    ReplyDelete
    Replies
    1. වර්තමානයේ ළමුන් ඉතා සන්සුන්ය. ඔබ නිවැරදිය, එහෙත් ඒ පිටතිනි. ඇතුලතින් ඔවුන් දැවෙන්නොය///// බොහෝ විට ඇත්ත

      Delete
  6. දොස්තර මහත්තයෝ මාගේ ළමා කාලය මතක් උනා ඔය ලිපිය කියවලා. මම පාසල් යන කාලේ අපේ පන්තියට යට පන්තියේ හිටිය ඔබ වගේම එපා කරපු කොල්ලෙක් . ඌ කරාටේ කලා කියලා පුදුමාකාර උනක් තිබුනේ. මට මතක හැටියට මේ කොල්ලා කලේ ජයකොඩි මාස්ටර් ගාව ගොජු රු ද කොහෙද. මූට පුදුමාකාර ඇම්මක් තිබුනා හෑන්ඩ් ෆයිට් දාන්න. ඉතින් හැම දාම ඌ අපේ පන්තියට දුවගෙන ඇවිත් මට හෑන්ඩ් ෆයිට් දානවා . ඌ දිනනවා මම පරදිනවා. මට මේ සීන් එක මාර වාතයක් උනා. මුගේ යාලුවෙක් හිටියා චින්තක කුඩලිගම කියලා. ඌ මගේ එකසිය ගානට ෆ්‍රෙන්තා. මම දවසක් චින්තකයව හමු වෙන්න මුගේ පන්තියට ගියා උදේ බෙල් එක ගහන්න ඉස්සෙල්ලා. මෙන්න අර නසරානියා දුවගෙන ආවා
    "මචං දාමු හෑන්ඩ් ෆයිට් එකක් කියාගෙන"
    ඇවිත් මම කැමති වෙන්නත් කලින් මූ මගේ අතිනුත් අල්ලගෙන. උන්ගේ මුළු පන්තියම අපි දෙන්නව වට කරගෙන.හරියට "ග්ලැඩියෙටර්" එකේ අර ඇරීන එකේ ඉඳන් බලනවා වගේ පොරවල් අනිත් උන්ගේ කරවල් වල එල්ලිලා , ඩෙස් උඩ නැගගෙන සීන් එක නරඹන්න සෙට් උනා
    . "හරි !' මම්ත් සෙට් උනා මුගේ මලවදෙන් බෙරෙන්නත් එපායැ
    මූ වගේ බම්බා වලින් බැහැපු පොරක් නෙවේනෙ මම. මම හද්ද ඩොටෙ ඉඳන් ශිෂ්ශ්යත්වයට පින්සිද්දවෙන්න් ගෙන්දගම් පොලොව පාගපු ඇඟේ හැම සෛලයක් සෛලයක් පාසා තිබුනේ කොස්, දෙල්, අල, බතල, කොස් ඇට , ගැට පොලොස් වගේ දේවල්.
    ඌට සිරා චියර් එක. මටත් ටික වෙන්න චියර් එකක් තිබුනා. නලීන්ලා , එස් ඩී ලා , ශාන්තලා වගේ තුන් හතර දෙනෙක් විතරයි මට හිටියෙ. වැඩේ පටන් ගත්තා
    . " මචං රිස්ට් එකෙන් කඩන්නබෑ !, අත පස්සෙ තියා ගනින්. අඹරන්න බෑ!" මුගෙ නීති කෝටියයි.
    මූ මාව භාගෙට පරද්දලා. ඒත් මගේ අත තවම ඩෙස්ක් එකෙන් උඩ.
    මම ඉස්කොලෙ හතරෙ පන්තියේ ඉන්දන් ගෙදර තිබුනු දරමඩුවේ දර පලල රාත්තල් 18 කුළුගෙඩියෙන් රබර් කඳන් පළු කරපු එකෙක් නේද කිය ඒක මට මතක් උනා.
    මේ සියළු මතකයන් තුලින් මා හට ; මාගේ දකුණු අතට ආවේ කිසිදු දිනෙක නො ඇවිත් තිබුනු ශක්තියකි. මා ටිකෙන් ටික නසරාණියාගී ග්‍රහනයෙන් මිදුනෙමි. යලිත් අපි දෙදෙනාගේම අත් ලම්බක විය.
    රජයේ රැකියාව අහිමි වුනු තාත්තා අපි වෙනුවෙන් ජීවිත බර කරට ගෙන ගේම ගහද්දි ඊකට මම සපෝට් එක දෙනවා දැක්කාම අපේ අම්මගේ ඇස්වල කඳුළු! අම්මා ඒ වෙලාවට කියනවා "මෙයා මගෙන් හිට ගෙනත් කිරි බිව්වා!" කියලා.
    ඒ මතකයත් සමගම අපේ පන්ති දාහයක එතෙක් අපරාජිතව සිටි මේ දඩබ්බර කොලුවාට පිටුදැකීමට අහිංසක මට හැකිවිය. එදායින් පසුව ඔහු කිසිදාක මාහට අභියෝග කිරීමෙන් වැලකී සීට්යේය.මේකොල්ලා දැන් පොරකි. මා ඉතාමත් සතුටින් ඒ දෙස බලා සිටිමි.

    මම මගේ ඉස් කෝලෙට මගේ කොල්ලාව දමා ගත්තෙමි. ඌ ක්‍රිකට් ගැසුවේය. මලළ ක්‍රීඩා කලේය. වසර 37 කට පසු මගේ පාසලට හර්මන් ලූස් පළිහ ගෙන ආ ශිෂ්ය භට කණ්ඩායමේ සාමාජිකයකු විය. පාසලී කණිෂ්ඨ උප ප්‍රධාන ශිෂ්ය නායකත්වය ඉසිලීය. මගේ කොල්ලා ඔබතුමාගේ දරුවා මෙන්ම උපාදියක් හදාරයි. ඒ කැන්ගරු දේශයේ ස්වින්බර්න් යුනියේය. ඌ රට ගිය එකෙන් වැඩියෙන්ම කෙළ උනේ මටය . මගේ කුඹුර මේවතාවෙත් වැඩ කරගන්නට බැරිවිය. මොකද කුඹුර අඳේට දීලා තිබුනත් ගොයම් කපන කාලෙට වී ටික ගෙදරට ගෙනවේ ඔය කොල්ලා නිසාය!
    ඇත්තටම අපේ දරුවන් අපට ඉදිරියෙනි!
    http://thattayagekolama.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සනයි. ඇහැට කඳුලක් ආව.

      Delete
    2. අම්මටඋඩු මේ උඹ නේද ? මචෝ මට උඹව හොඳට මතකයි. උඹේ ඊමේල් එක දාපං. උඹ ඔක්කොම හරියට මතකෙන් ලියලා. ෆේස් බුක් ඉන්නවද ?

      Delete
  7. අපේ දෙමව්පියන් කලාට බොහොම වැඩියෙන් දැන් දෙමව්පියන් ලමයින්ව උනන්දු කිරීම හා උදව් කිරීම (පීඩනය දීමත් ඇතුලුව ) කරනවා

    ReplyDelete
  8. මමත් පොල් ටොක්කා මහතා ගෙන් මම4/5 පාරක් ටොකු කා ඇත

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. ඔයා ඉගෙන ගත්තේ සිංහල බෞද්ධ පාසලක
    ඔයාගේ පුතා ලංකාවෙදි ගියේ බහුවාර්ගික පාසලක.
    ඊටත් වඩා
    කැනඩාවෙදි ඔහු සුළුජාතිකයෙක්. මහජාතියේ අය බහුතරයක් අතර ඉගෙන ගන්න සුළුජාතික ශිෂ්‍යයන් සාමාන්‍යයෙන් සාමකාමීයි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස වැරදියි. ඔබ පත්තර වලින් මිසක් පිටරට සමාජයක් දැකලා නැති හැඩයි. අලුත් පරපුර තුල මේ ජාතිවාදී අදහස් නැත​. ඔවුන් සියලු දෙනා එකට සිටිති.

      Delete
    2. සමහර පලාත් වල ඉස්කෝලවල වැඩිහරියක් ලමයි සංක්‍රමිකයන් හෝ ඔවුන්ගේ දෙවන පරම්පරාව. ඒත් ලමයින්ට පලවෙනි පුරවැසියද දෙවනි පුරවැසියද කියලා අදහස් නෑ. ඔක්කොම එකයි.

      Delete
    3. yes ; they have no petty issues

      Delete
  11. //1973 ආංශික සාගතය​//
    ඩොක්ටර්,

    1970 සමගි පෙරමුණ රජය ගැන ආර්ථික විද්‍යාව තුලින් සදහන් උනේ රටේ ණය බර බාවය අඩු වූ බවත් දේශීය වියාපාර සංවර්දනය උන බවත්ය මම මෙය මගේ පියාගෙන් ඇසුවේ මම එවක ඉපදී නොසිටි නිසයි මේගැන අහපුවහම ඔහු කෝපයෙන් කිව්වේ තව ටික කලක් එම රජය තිබුනානම් බොහෝදෙනේක් මියයන්න තිබුන බවයි.

    ඩොක්ටර් මේගැන ලිව්වනම් නරකද ?

    ReplyDelete
    Replies
    1. මම මේ ගැන ලියලා තියනවා ශ්‍රී ලංකාවේ ආංශික සාගතය කියා බලන්න

      https://transyl2014.blogspot.ca/2016/02/1973-1974.html

      Delete
  12. අපේ හැසිරීම්වලට පරිසර හේතු සහ ජානමය හේතු දෙකම බලපානවා. මගේ (6,7,8,9) පන්තියේත් දඟකාර සිසුන් හිටියා. ඉන් සමහරු ඉගෙන ගැනීමට එක්කෝ අකමැති නැතිනම් නොහැකි අය බවයි පෙනුනේ. සමහරු ආශ්‍රය නිසා එලෙස වෙනස් වූ අය බවත් පෙනුනා.

    ආනන්දයේ දී මට මතකයි හොඳින් ඉගෙනීමට උනන්දුවක් තිබුණු මිතුරෙකුට, ඔහු අප සමග අමතර පන්තිවලට පවා ගියා එකොළොස්වෙනි ශ්‍රේණියේ දී, පසුව ශිෂ්‍යනායක කමක් ලැබුණු පසු ශිෂ්‍යනායක කාමරයේ වල බසිමින් සිටියා මිස ඉගෙනීමේ වැඩවලට පෙර තිබුණු උනන්දුව හෝ කැපවීම පෙන්නුවේ නෑ.

    මා සමග ආශ්‍රයත් නැතුව ගියා.

    විභාගය යාන්තම් සමත් වූ ඔහු, දුම්කොල සමාගමේ රැකියාවකට ගිය බව ආරංචි වුනා!

    ReplyDelete
  13. අනේ ඔව් මේ මමම තමයි. ඔයාගෙ බ්ලොග් එක මම දිගටම කියෙව්වා පුරුද්දක් විදියටම. මම හර්දයාන්ගවම සතුටුවෙනවා ඔබ අද සිටින තැන ගැන. මිහිරි මතක බොහොමයි.මම ඒවා කොමෙන්ටු හැටියටම ලියන්නම්. බොහොමත්ම ස්තූතියි මගෙ බ්ලොග් එකට ගොඩ වැදුනාට. මට තවම ෆේස් බුක් ගිනුමක් නැහැ. ඔයාට මතකද අපි දෙන්නා මහජන පුස්තකාලේදි එකට පාඩම් කරණවා වගේ හිටියා. ඔයා ඒකාලේ ලියපු පොඩි පොඩි තුන්ඩු කෑලි මාළඟ තවම තියෙනවා ස්ක්‍රැප් බූක් එකක අලවලා! කොහොමත් ඒකාලෙත් පිස්සුනේ! manjulaperera79@gmail.com

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook