Saturday, July 8, 2017

මීගමුවේ පාටි

 

මීගමුව රෝහලේ තරම් පාටි තිබූ රෝහලක් තිබුනේ නැති තරම් ය​. මසකට වරක් හෝ පාටියක් රෝහලේ පැවැත්වේ. මේ හැර වෛද්‍යවරුන් ගේ සහ හෙදියන් ගේ මගුල් උත්සවද තිබුනෙන් සාද මානසිකත්වය දෙගුණ තෙගුණ විය​. 

වරක් වාට්ටුවේ හෙදියකගේ මගුල් උත්සවයකට මට ආරාධනාවක් ලැබුනේය​. මා සමග ආරාධනා ලත් වෛද්‍යවරු දෙතුන් දෙනෙකු පැමිනි අතර අප වෛද්‍ය රාම් මනෝහර්වද ආරාධනා රහිතව ගෙන ගියෙමු. මෙම මගුල් උත්සවය තිබුනේ ඇත් ගාල ප්‍රදේශයේය​. ඉතා ජයට කෑම බීම තිබූ මෙම මගුල් උත්සවයේදී රාම් කරටි කැඩෙන තෙක් ගැසූ අතර පසුව මම ඔහුව සුරක්ශිතව රැගෙන රෝහල් නිල නිවාසයට ගෙන ගියෙමි. 

වෛද්‍ය සිරිවර්ධනයේ මංගල උත්සවය තිබුනේ ගම්පහය​. අප සියළුදෙනා ගම්පහ ගියේ නිවාඩු දමාය​. මේ මගුල් ගෙදරදී අප පීරා ( මාංජේෂ්ඨ පීරිස්ව ) බයිට් එකට ගත්තෙමු. ඒ මන්ද යත් අපගේ කට්ටියේ එතෙක් අවිවාහකව සිටියේ පීරා නිසාය​. මංගල උත්සවය වර්ණවත් කරමින් වෛද්‍ය එච් ජී සුභසිංහ වාදක මණ්ඩලය සමග ගීතයක්ද ගැයීය​. මේ හැර මම රෝහලේ ඇටෙන්ඩන්වරයෙක් කල ආරාධනාව මත ඔහුගේ නිවසේ සාදයකටද ගියෙමි. ඔවුන් ඉතා රසවත් ලෙස කහ බත් සහ මස් ද මාළු ඇඹුල්තියලක් ද උයා තිබුනේය​. 

වෛද්‍ය සෙනරත් බස්නායක හෙවත් බස්සාගේ විවහා උත්සවයේදී බියර් කේස් ගනන් තිබූ අතර කොල්ලෝ බියර් මත පීනූහ​. මේ මංගල උත්සවයේදී බියර් මෙන් ඕල්ඩ් ඇරක් පානය කල වෛද්‍ය ඤාණසුදම්ව පසුව අප කර තබාගෙන ගියෙමු. ඤාණසුදම් ඇස් ඇරියේ පසු දින දහවලේදීය​. 

වරක් මීගමුව රෝහලේදී වෛද්‍යවරු විසින් පාටියක් සංවිධානය කලෝය​.  මේ 1997 වසර විය යුතුය​. මෙම පාටිය සඳහා සංගීතය සැපයීමට මම බෆල්ස් සහිත සෙටප් එකක් ගෙනාවෙමි. වෛද්‍ය ගෝවි බියර් සහ බ්‍රැන්ඩි මුදල් එකතු කොට ගෙන ආවේය​. අතිරේකව විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය අජිත් සේමගේ මහතා ටීචර්ස් විස්කි බෝතලයක් ගෙන ආවේය​. වෛද්‍ය ලිලිත් ලියනගේ ආහාර සම්බන්ධීකරණය කලේය​. පාටියට වෛද්‍යවරියන් ද එන නිසා ඔවුනටද සොෆ්ට් ඩ්‍රින්ක් එකක් හෝ පන්ච් එකක් දිය යුතු බව  ළමා විශේෂඥ වෛද්‍ය වින්සන්ට් පෙරේරා මහතා අවසාන මොහොතේදී කීවෙන් සංවිධායකයෝ අසීරු අඩියකට පත් වූහ​. තව දෙපැයකින් පාටිය ඇරඹෙයි. මේ නිසා ගෝවි සහ ලිලිත් ලහි ලහියේ කටයුතු සම්පාදනය කලහ​. ෂැන්ඩි වලට ගෙන ආ ලීටර් තුනේ ඕස්ට්‍රේලියානු ඔරේන්ජ් යුෂ බෝතලයක් ගෙන එයට හැනපියර් බ්‍රැන්ඩි කාලේ බෝතලයක් මිශ්‍ර කොට අමුතු පන්ච් එකක් ඔවුන් සෑදූහ​. පාටිය ආරම්භයේදී මෙම පන්ච් එක තොලගෑ ළමා විශේෂඥ වෛද්‍ය වින්සන්ට් පෙරේරා මහතා " මයි ගෝඩ් මේක ගර්ල්ස්ලට දෙන්න එපා සැරයි " කීවේය​. අවසානයේදී කොල්ලෝ බියර් සහ අනෙකුත් බීමද , වෛද්‍ය අජිත් සේමගේ මහතාගේ ටීචර්ස්  විස්කි බෝතලද බී කෙල්ලන් සඳහා සෑදූ පන්ච් එකද බීවෝය​. පාටියෙන් පසු එලැඹුනු පසුදා කොල්ලෝ වෝඩ් රවුන්ඩ්ස් ගියේ උදෑසන දහයට පමණ රත් පැහැවූ දෙනෙත් වලිනි.  

තවත් වරෙක අප මීගමුව වෙරළ තීරයේ බාබිකිව් පාටියක් සිකුරාදා දිනෙක සවස සූදානම් කලෙමු. සීමාවාසික වෛද්‍ය එෆ් එම්. මෙන්ඩිස් ඔහුගේ බාබිකිව් සෙට් එක ගෙනාවේය​. මෙය සාදා තිබුනේ යකඩ බැරල් එකක් හරහට කපා  ඊට උඩින් යකඩ දැලක් එලීමෙනි. මෙම බාබිකිව් සෙට් එක මම මාගේ වාහනයෙන්  වැල්ලට ප්‍රවාහනය කලෙමි. බාබිකිව් සඳහා අවශ්‍ය මාළු  ගෙන ආවේ වෛද්‍ය සෝවිස් විසිනි. මමත් මෙන්ඩිසුත් කුකුල් මස් කෑලි මිලට ගෙන මිරිස් තුනපහ ඊට මිශ්‍ර කොට විනාකිරිද දමා මස් පදම් කලෙමු. ගින්දර පත්තු කිරීමට අවශ්‍ය පොල්කටු රෝහල් කුස්සියෙන් ගෙන ඒම අප වෛද්‍ය රාම් මනෝහර්ටත් වෛද්‍ය සුදර්ශන්ටත් පැවරුවෙමු. 

සවස හත වන විට අප වාහන   කවාකාරව වැල්ලේ පාක් කොට මැද බාබිකිව් සෙට් එක තබා  නමෝ විත්තියෙන් පොල්කටු වලට ගින්දර තැබුවෙමු. පොල් කටු ගිනි අරගෙන රත් පැහැ අඟුරු බවට පත් වන විට යකට දැල එලා මස් සහ මාළු ඒ මත තැබුවෙමු. රාත්‍රී අඳුර පහ වනු සඳහා වාහන වල හෙඩ් ලයිට් පත්තු කොට  මස් සහ මාළු හොඳින් පිලියෙල වන තෙක් ගීත ගැයුවෙමු. සුභසිංහ සහ ලිලිත් ගීත ගායනා කලෝය . ඒ අතරවාරයේ බියර් බෝතල් සමගින් ගෝවි සහ සිරිවර්ධන ආවෙන් කොල්ලෝ බියර් බෝතල් අතට ගෙන ගී ගැයීම තීව්‍ර කළහ​. 

කොල්ලන් ගේ පාටිය පිලිබඳ ඔත්තුව ලැබී රෝහලේ කන්සල්ටන්ට්ලාද රාත්‍රී දහය වන විට වෙරළ බලා ආවෙන් අප ඔවුනද පාටියට සම්බන්ධ කර ගත්තෙමු. සෑම කන්සල්ටන්ට් කෙනෙක්ම පාහේ විස්කි බෝතලයක් හෝ සොසේජස් පැකට් එකක් හෝ ගෙන ආ නිසා පාටියේ කෑම බීම හිඟයක් නොවීය​. එහෙත් ශල්‍ය වෛද්‍ය විශේෂඥ බදුර්ඩීන් මහතා ආවේ හිස් අතිනි. ඔහු මුස්ලිම් භක්තිකයෙකි. ඒ නිසා මත් පැන් නොබොයි. තවද පෝක් සොසේජස්ද කුකුල් මස් සහ මාළු සමග මිශ්‍ර වී බාබිකිව් වීම නිසා ඔහු කිසිදු මසක් මාළුවක් කට තිබ්බේ නැත​. එහෙත් වෛද්‍ය  බදුර්ඩීන් මහතා පාටිය අවසන් වන තෙක් අප සමග සිටියේය​. 

බාබිකිව් කිරීම පැවරුනේ මටත් මෙන්ඩිස්ටත් ය​. මස් මාළු සොසේජස් වලට අමතරව අප ගෙනවිත් තිබූ අර්තාපල් ද රත් වූ දැල මත එලා පදම් කෙරුවෙමු. රාත්‍රී වැල්ලේ මුර සංචාරයේ ගිය කොස්තාපල්ලා දෙදෙනෙකු පැමිණ ගින්නක් ගසාගන කරන ගෝසාව කුමක්ද කියා බැලීමට පැමිනි අතර අප මීගමු රෝහලේ වෛද්‍යවරු බව කීම නිසා ඔවුන් සිනහවක් පා යන්නට ගියෝය​. 

විජය කුමාරතුංග ගුණ සමරුව සඳහා සායනයක් සීදූවේ පැවැත්වූ අතර ඒ සඳහා අපට ආරාධනා කොට තිබුනි. මෙය සංවිධානය කොට තිබුනේ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ අමත්‍යවරයා විය​. මීගමුව රෝහලේ කොල්ලන් සෙට් එක මේ සායනයට ගොස් ලෙඩුන් බැලූහ​. මෙම සායනයට කොලඹින් වෛද්‍ය පත්මසිරිද ඇවිත් තිබුනේය​. වෛද්‍ය පත්මසිරි එකල සේවය කලේ කොලඹ බන්ධනාගාර රෝහලේය​. අපගේ කොල්ලන් සෙට් එකටම ගැලපුනු පද්මසිරි සායනයෙන් පසු දිවා ආහාරය සඳහා අප සමග ආවේය​. දිවා ආහාරය සකස් කොට තිබුනේ කොලඹ එයාපෝට් ගාඩ්න් හෝටලයේය​. එහෙත් මේ දිවා ආහාරය සඳහා අඩි පුඩි නොවූයෙන් කොල්ලන් ගේ මූණු ඇඹුල් විය​. වෛද්‍ය පත්මසිරි කොල්ලන්ට බියර් බෝතල් සහ බයිට් එකට ඉස්සෝ ගෙන එන ලෙස නියම කලේය​. ඉන්පසු අප සියළුදෙනා එලිමහනේ පුටු වල වාඩිවී සංවාදයේ යෙදුනෙමු. සංවාදය නිමවා දිවා ආහාරයද ගෙන අප හෝටලයෙන් එලියට එත්ම වේටර් කෙනෙක් පැමිණ බියර් සහ බයිට් වලට බිලක් අප අතට දුන්නේය​. මෙම බිල අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ බිලට එකතු කරන ලෙස දැණුම් දුන් කොල්ලෝ සිනහ සෙමින් පිට වූහ​. පසුව මෙම බිල අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ගෙවා තිබුනේය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

20 comments:

  1. ඒකනි සෑර් අපිත් කියන්නේ. ඔය හැන්දෑවට අතපය වෙවුලනවට අරක්කු ඩිංගක් බිව්වට මොකවත් වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. යකෝ බොට අතපය වෙවුලනව කියන්නේ Chronic Alcoholism තියනවා ඒ නිසා තැඹිලි බීපිය

      Delete
  2. මුරුගසං වරුෂාවේ ගල්ෆ් කලාපිය රටවල දිවා රාත්‍රී රියපදවන රියදුරු දෑතට අල්ලාහ් දෙවි පිහිටයි ! නුඩ්ල්ස් කමින්, කාන්සියට ගීත අසමින් පැය ගණනාවට වරක් වෙනත් වාහනයක් දකිමින්, ඔවුන් කරලා සේවයට අපගේ ආචාරය.

    -ගල්ෆ් කලාපිය රටවල ප්‍රයිම් මුවර් රියදුරන්ගේ ඥාතීන් සංගමය-

    ReplyDelete
  3. විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය අජිත් සේමගේද?? නැත්නම් අජිත් සේමසිංහද?

    ReplyDelete
    Replies
    1. sorry අජිත් සේමසිංහ

      Delete
    2. සේමසිංහ මහතා ගැන කියවූ මෙයත් පැරණි ලිපියකුත් අද මගේ මිතුරෙකුට පෙන්නුවෙමි. මිතුරා වෙනකෙකු නොව අජිත් සේමසිංහ මහතාගේ පුත්‍රයාය

      Delete
  4. හරක් මස් එක්ක බත් ඩිංගක් කෑවා නං බක්තිමත් මුශ්ලීම් දොක්ටර්රුත් ඩ්‍රින්ක් එක දායි.නැද්ද හොදයි සිරියාවට ගින්දර වගේ ඇවිලුනාට හදේ ආදරේ?

    ReplyDelete
  5. මීගමුවනෙ, පාටිනෙ,මස් මාළු කනවනෙ,බොනවනෙ...

    ReplyDelete
    Replies
    1. ජොලි පොරවල් ඉන්න ප්‍රදේශයක්

      Delete
  6. /* සුභසිංහ සහ ලිලිත් ගීත ගායනා කලෝය . ඒ අතරවාරයේ බියර් බෝතල් සමගින් ගෝවි සහ සිරිවර්ධන ආවෙන් කොල්ලෝ බියර් බෝතල් අතට ගෙන ගී ගැයීම තීව්‍ර කළහ​. */

    ඒ කොටස මෙලෙස නිවැරදි විය යුතුයි.

    වෛද්‍ය එච් ජී සුභසිංහ සුභසිංහ සහ වෛද්‍ය ලිලිත් ලියනගේ ගීත ගායනා කලෝය. ඒ අතරවාරයේ බියර් බෝතල් සමගින් වෛද්‍ය ගෝවි සහ වෛද්‍ය සිරිවර්ධන ආවෙන් වෛද්‍ය කොල්ලෝ බියර් බෝතල් අතට ගෙන ගී ගැයීම තීව්‍ර කළහ​.

    ;-)

    ReplyDelete
    Replies
    1. එහෙම නැති නම් පොදු ගුණාකාරය වරහනක් යොදා එයින් එළියට ගන්නත් පුළුවනි!

      Delete
  7. සොඳුරු මතකයන් හරි අගෙයි මිතුර

    ReplyDelete
  8. ඩොකාලා උනත් කන බොන බඩු ගහන මිනිස්සු බන්!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook