Saturday, December 12, 2015

කෘෂිකර්ම සර්ගේ විත්ති



කෘෂිකර්ම සර් අවුස්සා සංක්‍ෂෝභයක් ලබා ගැනීමට 8 - ඩී පන්තියේ ළමුන් පුරුදුව සිටියහ​. මමද 8 - ඩී පන්තියේ සාමාජිකයෙකු වූ නිසා මේ ක්‍රියාවට සතුටින් සම්මාදම් වූයෙමි.  කෘෂිකර්ම සර් කුකුල් කේන්ති කාරයෙකි. එම නිසා පන්තියේදී උගුර පෑදීම​, අමුතු හඞකින් එකවර ශබ්ද නැගීම ප්‍රමාණවත් වේ. එවිට සර් ළඟම සිටින කොල්ලෙකු අල්ලාගෙන ඌට තඩිබායි. අවශේෂ ළමෝ ස්පාඤ්ඤ  ජාතිකයන් ගොනෙකු කුලප්පු කොට ලබනා තුෂ්ටිය මෙන් සතුට , බිය හා සන්ත්‍රාසය පිරි තුෂ්ටියක් ලබති. 

කෘෂිකර්ම ගුරුතුමාට උපන් ගෙයි උච්චාරණ දෝෂයක් තිබුනේය​. එම නිසා සමහර වචන උච්චාරණ කලේ අමුතු විදියකටය​. ඒවාට සිනාසීමෙන් ද කොළුවන් සර්ව ප්‍රකෝප කලේය​. වරක් කෘෂිකර්ම ගුරුතුමා සෝගම් වගාවෙන් වැඩි එලදාවක් ලබා ගැනීමට නිකව් සහ සුපෆ් ෆොෆ්ෆේෆ් ගස් වලට දැමිය යුතු බව කීවේය​. නිකව් සහ සුපෆ් ෆොෆ්ෆේෆ් කුමන අන්දමේ රසායනිකයන් දැයි තේරුම් ගැනීමට අපහසු වූ අප ඒ පිළිබඳව දැනමුත්තන් ගෙන් විචාලෙමු. පසුව හෙලි වූයේ නිකව් යනු නිකල් සහ සුපෆ් ෆොෆ්ෆේෆ් යනු සුපර් ෆොස්ෆේට් බවයි. 

මේ නිසා කොල්ලන් පස් වන මහලේ තිබූ අට -ඩී පන්තියට එ්මට පඩි නගින  කෘෂිකර්ම සර්ට උඩ තට්ටුවේ සිට බොහොඞා හෝ නිකව් කියා හෝ සුපෆ් ෆොෆ්ෆේෆ් කියා කෑගසා සැඟවුනහ​. නමුත් ඊතලයක් සේ පන්තියට එන කෘෂිකර්ම සර් ඉගැන්වීම පටන් ගන්නේ සැකකරුවෙකුට නෙලීමෙනි.   

සමහර දින වලට අපට කෘෂිකර්ම පාඩමට ප්‍රායෝගික වැඩ තිබුනේය​. එවිට අප උදලු කරට ගෙන කොරටුවට ගියෙමු. මේ කොරටුව තිබුනේ නාලන්දාරාමයත්  ප්‍රභාත් කඩයත් අතරය​. අක්කර කාලක් පමණ වූ එම භූමිය ශුද්ධ කොට අප ලවා බටු, තක්කාලි වැනි භෝග වැවූ කෘෂිකර්ම ගුරුතුමා අස්වැන්න අපටම වික්කේය​. 

මෙය ශ්‍රමය සූරාකෑමක් බව කියූ සීවලී පෙරේරා වරක් බ්ලේඩ් තලයක් සඟවාගෙන විත් කෘෂිකර්ම ගුරුතුමාට  නොපෙනෙන සේ පීදුණු වම්බොටු වල සිරස් ඉරි කැපුවේය​. තම එලදාව විනාශ කල කොළුවා අල්ලා ගැනීමට කෘෂිකර්ම ගුරුතුමාට නොහැකි විය​. කෘෂිකර්ම ගුරුතුමාගේ පෝරියල් එකෙන් බේරුනු  සීවලී   ඉන් මාස අටකට පමණ පසු පවුලේ උදවිය සමග එංගලන්තයට සංක්‍රමණය කලේය​  

වම්බොටු කේස් එක නිසා උරණව සිටි කෘෂිකර්ම ගුරුතුමා තවත් ඇවිස්සීම සඳහා   හසිත කරුණාරත්න  ටිකි ටිකිස් ගාන කුඩා යකඩ සෙල්ලම්  භාන්ඩයක්   තම පාවහන් යට තබා සර් පන්තියේදී නිදි කිරන විට තම පාදය වරින් වර තද කොට ටිකි ටිකිස් හඞ නැංවූයේය​. නිදි කිරන ගුරුතුමා වරින් වර ටිකි ටිකිස් හඞට ගැස්සී ඇහැරෙයි මෙයින් කොල්ලන් අමුතුම වින්දනයක් ලබති.   

මෙවර ගුරුතුමා නිදන බවක් පෙන්වා එක ඇසක් ඇර සෝදිසිව සිට ටිකි ටිකිස් හඞ නංවන හසිත කරුණාරත්නව බෙල්ල මුලින් අල්ලා ගත්තේය​. හසිත කරුණාරත්නට එදා ගුටි මල් හතක් ලැබුණු අතර භයානක ක්‍රීඩාවක් නරඹන්නාක් මෙන් සෙසු ළමෝ මේ උද්වේගජනක ක්‍රියාදාමය වින්දනය කලෝය​.  (හසිත කරුණාරත්න දැන් එංගලන්තයේ ජීවත් වේ)   

වරක් කෘෂිකර්ම ගුරුතුමා පන්තියට ඒමට ප්‍රමාද විය​. මමත් ක්‍රිකට් ක්‍රීඩක කපිල විදාණරාළත් ඩෙස්ක් එකට ගසමින් සිංදු කීවෙමු. ඒ අතර දීපාල් ඔන්න බොහොඞා එනවෝ කියා කලබලයෙන් දිව විත් තම පුටුවේ වාඩිවී කෘෂිකර්ම පොත පෙරලාගෙන එදෙස නෙත් යොමාගෙන සිටියේය​. මෙවැනි බොරු බියවැද්දීම් දීපාල් නිතර කල හෙයින් එය ගනනකට නොගෙන අප දෙදෙනා තවත් හයියෙන් ගීතය කීවෙමු. ඒ අතරදී  කෘෂිකර්ම සර් පන්තියට පැමිණ මමත් කපිල විදාණරාළත් කළු ලෑල්ල ඉදිරියට ගෙන්වාගෙන පන්ති නායකයාට තිලකරත්න සර්ගේ වේවැල ගෙන එන ලෙස නියම කලේය​. 

තිලකරත්න සර්ගේ වේවැල දිගු මහත වේවැලකි. එය ඇසීමෙන් අප දෙදෙනාට හීන් දාඩිය දැමීය​. එදින අප තිලකරත්න සර්ගේ වේවැලේ රස එපා වන තුරු වින්දෙමු. මේ ගුටිකෑමෙන් වසර 26 කට පසුව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන්ට යුද ආතතිය ගැන දේශනයක් කිරීම සඳහා 2006 වසරේදී මම පනාගොඩ කඳවුරට ගියෙමි. දේශනය අවසානයේදී මේජර්වරයෙකු වූ කපිල විදාණරාළ මට හමු විය​. අප දෙදෙනාම එක වරම එකිනෙකාගෙන් ඇසුවේ මතකද එදා බොහොඞා ගෙන් අපි දෙන්නා කාපු කෑම කියාය​. වසර 26 පසු එය රසවත් කෑමක්  බවට පරිවර්තනයව තිබුනේය​.   

කෘෂිකර්ම ගුරුතුමා සබැඳිව තවත් යමක් මට මතක් වේ. වරක් කොල්ලන් වාර විභාගයට කෘෂිකර්ම විෂයට දුන් ලකුණු මදි බව කියා කෘෂිකර්ම සර් වෙත මැසිවිලි ඉදිරිපත් කළහ​. කොල්ලන් ගේ මැසිවිලි වලට සාවධානව සවන් දුන් කෘෂිකර්ම ගුරුතුමා කෘෂිකර්ම විශයට  ලකුණු අඩු ළමුන්ට කෘෂිකර්ම කාමරයට එන ලෙස කීවේය​. සතුටින් පිරී ගිය සිසුන් කෘෂිකර්ම උත්තර පත්තරද ගෙන තවත් වැඩිපුර ලකුණු ලබා ගැනීමට කෘෂිකර්ම කාමරයට රොක් වූහ​. කොල්ලන් ගෙන් කෘෂිකර්ම කාමරය පිරුණු විට කෘෂිකර්ම ගුරුතුමා කෙටි කොසු මිටකින් කොල්ලන්ට නොමසුරුව බෙදුවේය​. කොසු මිට පාරවල් කෑ කොල්ලලෝ හිස් ලුලූ අත දිව ගියහ.   

පාසල් ළමුන්ට පහර දීම හොඳ නැත​. නමුත් මේ පහරදීම් අපගේ ගතට විනා මනසට හාණියක් නොකරේ අප තුල තිබූ  ස්පාඤ්ඤ  ගොන් පොර මානසිකත්වය නිසා බව සිතමි.   

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

19 comments:

  1. Laughed so much. Nice.

    ReplyDelete
  2. ගුරුවරයාත් ඔබත් පිල් දෙකකට බෙදී 'ක්‍රීඩා' කළ නිසා පහරදීම් සහ රිටර්න් දීම කුමනාකාරයක උවත් ගැටලුවක් නැති බවයි ගස්ලබ්බාගේ හැඟීම.එය ගුරුවරයාගේ ගැටලුවක්.එයින් සිනාවකට වඩා යමක් ඉතිරි වන්නේ නෑ.
    කෙසේ වෙතත් පාසල් තුලදී ශාරීරික දඬුවම් හැලී යාමත් සමඟම (ආසන්න වශයෙන් 2000න් පසූ) ලාංකීය යොවුන් සමාජයේ ගුණාත්මක බව ඔබගේ නිරීක්ශනයට ලක්වී තිබේද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පාසල් තුලදී ශාරීරික දඬුවම් හැලී යාමත් සමඟම (ආසන්න වශයෙන් 2000න් පසූ) ලාංකීය යොවුන් සමාජයේ ගුණාත්මක බවක් තිබෙනවා විය හැකියි

      Delete
    2. නෑ ඩොක්.පාසල් විනය බොහෝදුරට පිරිහී ගොසින්.සිසුන් ගුරුවරුන්ව නොතකා හරින මට්ටමක් සහ ඕනෑම දඬුවමකට විරුද්ධව පැමිණිලි කිරීමේ විලාසිතාවක් වෙලා.

      Delete
    3. ගුරුවරුන් සිමා රහිතව ලමුන්ට පහර දීමේ විපාක , අපේ කාලේ ගුරුවරු ගහලා පොි ශේප් පාරක් දැම්මා ඒ නිසා පොලිසි ගියේ නැහැ

      Delete
  3. ආනේ ! අපි දැක්කමයි කොළඹ තියන ලබූ ගස්.
    කාලා තියනවාද ලබු කිරිබත් ?

    ReplyDelete
  4. / නමුත් මේ පහරදීම් අපගේ ගතට විනා මනසට හාණියක් නොකරේ අප තුල තිබූ  ස්පාඥ ගොන් පොර මානසිකත්වය නිසා බව සිතමි. /

    මේ කතාව නම් හරියටම හරි...ගොනා කුලප්පු කලාට පස්සෙ ඉතිං බඩවැල් එලියට එන්ට ඇන්නත් මට නෙවෙයි වගෙ ඉන්නයි තියෙන්නෙ....

    හිනා වෙලා පණගියා රුවන්...හෙහ්,හෙහ්, මම කැමතිම කොටස කෘෂිකර්මෙට ළකුණු අඩු එවුන්ට කොහු මිටෙං සබ්බුව දීපු එක...කාලෙකින් හිනාවුනේ නෑ එහෙම...මගෙ කැස්සක් තියනව මේ දවස්වල. ඒකත් අවුට් ඔෆ් කොන්ට්‍රෝල් ගියා හිනාවෙලාම.

    විෂය සහ ස්පාඤ්ඤ වෙන්න ඕන....

    ReplyDelete
  5. තනියම හිනා මේක කියවලා...
    ඉස්කෝලේ කාලේ මතක් වුණා...

    ReplyDelete
  6. ඒක නියම කාලයක්

    ReplyDelete
  7. තිලකරත්න සර්ට කිව්වේ ඌරුමීයා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් පස්සෙ ඔහු පුස්ථකාලයේ අධිපති වූවා

      Delete
  8. ඇත්තටම මේ වගේ කොලුකම් නොකරොත් පාසල් ජීවිතයෙන් වැඩක් නැහැ. සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනගනිද්දී සමාන්තර පන්ති 9 ක් තිබුණා. තිබුනා. නමුත් ඉස්කෝලේ මොන දඟ වැඩක් වුනත්, නියෝජ්‍ය විදුහල්පති වේවැලත් අරන් මුලින්ම එන්නේ, මාව හොයාගෙන.

    ReplyDelete
    Replies
    1. මම කවදාවත් පාසලේ ආදර්ශමත් සිසුවෙකු නොවුයෙමි. ආදර්ශමත් සිසුවා ලෙස අපේ කාලයේ ගුරුවරුන් නම් කලේ කෑ කෝ නොගසන, තැන්පත් , ගුරුවරයෙකු දුටු විට හිස නවාගෙන අනෙකුත් සිසුන් සමග ගැටුමට නොයන නිතරම පොතෙ පතේ වැඩවල යෙදෙන සිසුවෙකි. නමුත් මම මෙහි අනෙක් පැත්ත වූයෙමි.

      Delete
    2. විචාරක ඉගෙන ගත් පාසැලේ එහෙම දෙයක් අප කවර දිනක වත් දැක නැත. පට්ටපල් බොරුවකි. බොරුව සදා ජය නොගනී .
      අපහාසයක් නොවේ අකමැතිනම් මකා දමන්න

      Delete
  9. /* නමුත් මේ පහරදීම් අපගේ ගතට විනා මනසට හාණියක් නොකරේ අප තුල තිබූ ස්පාඤ්ඤ ගොන් පොර මානසිකත්වය නිසා බව සිතමි. */

    මේ ඔබ කරන්නේ තමන් ගැනම රෝග විනිශ්චයක් නොවේද? එසේ කිරීඟ නිවරැදිද රුවන්?

    එදා අමානුෂික ප්‍රහාරයන්ට ලක්වූ ඔබ ඇතුලු අන් සිසුන්ට එයින් හානියක් නොවී යැයි ඔබ පවසන්නේ කෙසේදැයි මට නම් නොතේරේ.

    ReplyDelete
    Replies
    1. මේන් මේ රසිකයා ටියුබ් ලයිට් වෙලා, හැක් ,හැක් .....!!!!!

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook