Friday, December 4, 2015

මුණිදාසගේ මරණය

 

මුණිදාස මට හමු වූයේ 1993 වසරේදී ඔක්තෝබර් මාසයේදීය​. අවුරුදු 24 පමණ වූ මුණිදාස වයසට වඩා මහළු වූ ගිලන්ව සිටියි. පුරා වසර පහක  කාලයක් නොකඩවා කසිප්පු පානය කිරීම නිසා ඔහුගේ බඩ ඉදිමී තිබේ. කළුබෝවිල රෝහල හෙවත් දකුණු කොලඹ ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය අංශයේ වාට්ටුවක ඇඳක් මත ඔහු වැතිරී සිටියි. 

මුණිදාසට ප්‍රතිකාර කරන්නේ කායික රෝග විශේෂඥ වෛද්‍ය එස්. ඩී ෆොන්සේකා මහතා සහ කායික රෝග ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී ගාමිනී දිසානායක මහතාය​. තදබල ලෙස සිරෝසිස් රෝගයෙන් පෙලෙන මුණිදාස ගේ අක්මාව ක්‍රමක් ක්‍රමයෙන් අක්‍රියව යයි. විශ සහිත රසායණිකයන් ගෙන් පෙරණ  කසිප්පු පානය කිරීම නිසා ඔහුගේ ශරීරයේ අනෙකුත් ජීව ඉන්ද්‍රියන්ටද හාණි සිදුව තිබේ.  ඔහුට සිදු කොට තිබෙන රුධිර පාරවිළනය නිසා මඳක් සහන ගතියක් ඔහු කෙරෙන් දිස් වූවද ඔහුගේ ජීවිතය අවදානම් ය​. බීමත්කමට යොමුවූ තවත් යෞවනයෙකුගේ ජීවිතයක් මිළින වෙමින් පවතියි. 

මම මුණිදාසට කතා කලෙමි. කිරි හරක් ඇති කරන ඔහු  ගම්බද දුප්පත් තරුණයෙකි. මිතුරන් ගේ සමාගම නිසා ඉතා තරුණ වයසේ සිට ඔහු මත්පැන් පානයට යොමු වී තිබේ. මේ ඔහු රෝහල් ගත කොට තිබෙන තුන් වන අවස්ථාවයි. රෝහලෙන් ප්‍රතිකාර ගෙන නිවසට ගිය මුණිදාසට නොබී සිටීමට නොහැකි විය​. අත පය වෙව්ල ද්දීත් ඔහු අසීරුවෙන් නැගිට ගොස් කසිප්පු පානය කොට තිබේ. 

මුණිදාස පුරා මාස දෙකක් පමණ කළුබෝවිල රෝහලේ සිටියේය​. ඒ මුළු කාලය පුරා දිවා රෑ ඔහුගේ පියා ඔහුගේ ඇඳ අසල සිටියේය​. ඔහු ඉවතට ගියේ වැසිකිලි යාම සඳහා පමණි. සායම් ගිය කමිසයක් සහ සරමක් ඇඳ සිටි මැදි වියේ දුප්පත් මිනිසා තම පුතාගේ ඉරණම දැන සිටියේය​. එහෙත් එම ඉරණම ඉදිරියේ ඔහු අසරණ විය​. නමුත් සුසුමක් පවා නොහෙලමින් වාට්ටුවේ කොට බිත්තියට හේත්තුවී ඔහු තම පුතා දෙස බලා සිටියේය​. 

අක්මාව ක්‍රමක් ක්‍රමයෙන් අක්‍රිය වීම නිසා රුධිරයට එක් වන විශ සහිත ද්‍රව්‍ය වල බලපෑමෙන් ඔහුගේ සිහිය පවා ක්‍රමක් ක්‍රමයෙන් වෙනස් වන්නට විය​. ඔහු අසිහියෙන් දෙඩවූයේය​. මෙම තත්වය Hepatic Encephalopathy  ලෙස වෛද්‍යවරු අනුමාන කළහ​. 

දිනෙන් දින දුර්වළ වී යන සිය පුතු දෙස අසරණ දුගී පියා බලා සිටියේය​. එහෙත් ඔහු කඳුළු සැලුවේවත් සුසුම් හෙලුවේවත් නැත​. දරිද්‍රතාව නිසා ජීවන සටනට නිබඳව මුහුණ දීමෙන් ලත් පීඩන වලින් හෙම්බත්ව සිටි මේ මිනිසා දෛවයේ පහරදීම් වලට උපේක්ශා සහගතව මුහුණ දුන්නේය​. ඔහු අැඳ අසල තිබූ කෙටි බිත්තියට ශරීරයේ බර දී තම පුතු දෙස බලා සිටියේය​. ඔහුගේ දෙනෙත් වලින් ඉතා දුක්බර කතාවක් කියවීමට හැකි විය​. දශක එක හමාරකට පමණ පසුද ඔහුගේ වෙහෙසට පත් වූ දුක්බර දෙනෙත් මට අමතක නැත​. එම දෙනෙත් වලින් පියෙකුගේ හදවතේ තිබෙන  පුත්‍ර සෙනෙහස කියා පෑවේය​. 

ඔහු කෑම ගත්තේ අසල කඩයකින් විය හැක​. බනිස් ගෙඩියක් කා කහට කෝප්පයක් බී සාගිනි නිවාගෙන තම පුතාගේ ඇන අසල සිටීම ඔහුගේ දෛනික චර්‍යාව විය​. නමුත් වෛද්‍යවරු රෝගියා අසලට එන විට ඔහු වහා ඉවත් වෙයි. හෙදියන් ගේ සහ උපස්ථායකයන් ගේ කෑගසීම් සහ විධාන වලටද ඔහු අතිශයින් කීකරු විය​. එය බලය රහිත දුගී මිනිසෙකුගේ යටහත් පහත්කම සංකේතවත් කලේය​. 

දිනපතා මුණිදාසගේ සුව දුක් විමසීමට මම පුරුදුව සිටියෙමි. සිහිය ඇති අවස්ථා වලදී ඔහු ඉතා අහිංසක ලෙස අසන ප්‍රශ්න වලට පිළිතුරු දෙයි. ඔහුගේ දෙතොල් වියළිය​. මුහුණ සුදුමැළිය​. අතපය කෝටු දෙකකි. බඩ ඉදිරියටම නෙරා තිබේ. සුරාවට ධූර්තවීම කොතෙක් දුරට ඔහු තුලින් වර්ධනය වී තිබේද යත් දැන් ඇඳෙන් නැගිට යාමේ හැකියාව තිබුනහොත් ඔහු එලියට ගොස් කසිප්පු වඩියක් බී එනු ඇත​. සෞඛ්‍ය අධ්‍යාපනය නොව සාමන්‍ය අධ්‍යාපනයද ඉහලට ලැබීමේ වරම අහිමි වූ මුණිදාස මරණ ආශය කරා යොමු වීම අරුමයක් නොවීය​. එහෙත් ඔහුගේ පියාගේ හද තුල දැවෙන ගින්න ඔහු දැන සිටියේද යන්න ප්‍රශ්නාර්ථයකි. ආදරය සෙනෙහස කිසිදින නොපෙන්වූවත් පියා පුතා දෙස බලා සිටි අයුරින් ඔහු තුල තම පුතා කෙරෙහි තිබූ සෙනෙහස මහමෙරක් තරම් විය​. 

සිකුරාදා දිනෙක මම මුණිදාස සමග වචන කිහිපයක් කතා කලෙමි. ඔහුගේ තත්වය වඩාත් බරපතලය​. සති අන්තය නිවාඩු ගොස් සඳුදා මම යළි පැමිනියෙමි . මුණිදාස සිටි ඇඳේ වෙනත් රෝගියෙකි. අර දයාබර පියාද දකින්නට නැත​. 

"මුණිදාසට මොකද උනේ ? මම නේවාසික වෛද්‍ය සබේශන් ගෙන් ඇසුවෙමි. 

"මුණිදාස ඉරිදා රෑ මැරුනා "ඔහු මට පිළිතුරු දුන්නේය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

19 comments:

  1. මැරෙනවා කියලා දැන දැනත්,කිසි පලක් වෙන්නෙ නෑ කියල දැන දැනත්, රෝහලක ඇඳක්,කාර්යමණ්ඩලය,ඖෂධ සීමා රහිතව ලබාදෙන්නෙ ඇයි කියලා නොතේරෙන්නෙ ඇයි කියල ගස්ලබ්බට තේරෙන්නෙ නෑ.
    අර පියා තම පුතාට දැක්වූ සෙනෙහස මිනිසෙක් තවකෙකුට දක්වයි නම්.....
    ජීවිතය සුවඳ හමනු ඇත.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මැරෙනවා කියලා දැන දැනත්,කිසි පලක් වෙන්නෙ නෑ කියල දැන දැනත්, රෝහලක ඇඳක්,කාර්යමණ්ඩලය,ඖෂධ සීමා රහිතව ලබාදෙන්නෙ ඇයි - ජීවිතයක විනිශ්චය අප සතු නොවන නිසා

      Delete
    2. GL-Why do you ask stupid questions like this. Till someone dies, it is still a precious life. Imagine if this happens to someone in your family.

      Delete
    3. ඔන්න ඔය කාරණය නොතේරෙන්නෙ ඇයි කියලයි ඩොක් ගස්ලබ්බත් අහන්නෙ.මොකද මේවා ප්‍රයිවටයිස් උන දාට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මුනිදාසගෙ තාත්තට පුතාව ගෙදර ගෙනියන්න වෙනවා සල්ලි නැති නිසා.එතකොට තාත්තගෙ හිතට යන්නෙ 'තමා තම දරුවාගේ මිනීමරුවා' වගේ හැඟීමක්.ඔහු සමාජයට වයිර කරාවි. නමුත්..... අපි කැඳවන්නේ ඒ අඳුරු අනාගතය.මේක සල්ලි තියන ගොඩ දෙනෙකුට වැටහෙන්නෙ නෑ.

      Delete
    4. AnonymousDecember 4, 2015 at 10:33 PM
      Pls read my comment again,bt slowly. :)

      Delete
    5. GL-got it sorry I apologize.

      Delete
    6. AnonymousDecember 5, 2015 at 5:33 AM
      Take it easy mate. :)

      Delete
    7. ප්‍රයිවටයිස් වුනොත් විනාසයි. සල්ලි මදිවුනා කියල මිනිය ගෙනියන්න දීපු නැති අවස්ථාවකුත් මේ ලගදි දැක්ක. පෞද්ගලිකකරනය කියන්නෙ දුප්පතුන්ට මරනය කියන එක. නිදහස් සෞඛ්‍ය සේවය අවශ්‍යමයි හැබැයි අවශ්‍ය කෙනෙකුට පෞද්ගලික රෝහල් තිබීමෙ වරදක් නෑ. ඒවට යන්නෙ යහමින් සල්ලි තියන අයනෙ.

      Delete
    8. නිදහස් සෞඛ්‍ය සේවය අවශ්‍යමයි

      Delete
  2. apage jeewithaya watinne apita nowei api wata sitina company wlata ha palakayanta. minisun nathanm owunt kohenda laba. deshapalyakinta kohenda chanda.

    ReplyDelete
  3. හිතට හරිම දුකක් දැනෙන විධියේ අද්දැකීමක්. මට බේබද්දෙක් වන මගේම මල්ලි මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. සමරසේකර මහතානෙනි ප්‍රශ්නය අප මිතුරන් ඟාතීන් වටා ගෙතී තිබේ . මටත් අත්දැකීම් ඇත

      Delete
  4. ගල් බලකායේ අයටත් යමක් ගතහැකි සිදුවීමක්. විස්කි,බ්‍රැන්ඩි ,ටිකිලා බීවත් ප්‍රතිපලය සමානයි.නැද්ද ඩොක්ට?

    ReplyDelete
    Replies
    1. සියළු මත්පැන් අහිතකරයි නමුත් කස්සිප්පු ගහන ගැමියන් බලා සිටියදී ක්‍ෂය වී යන අයුරු මම දැක තිබේ

      Delete
  5. ගම් වල කසිප්පු පානය කරන ප්‍රමානය අනිත් පැතිවලට වඩා වැඩියි..
    සනිප වෙලා ගියත් ආපහු බොන එක නම් කරැමයක්

    ReplyDelete
    Replies
    1. ගම් වල කසිප්පු පානය කරන ප්‍රමානය අනිත් පැතිවලට වඩා වැඩියි..--- ඇත්ත

      Delete
  6. ඩොක්ටර් ඔබවැනි දොස්තර වරුන් ලොකු ආදර්ශයක්, ඔබ කියන කළුබෝවිල රෝහල හෙවත් දකුණු කොලඹ ශික්‍ෂණ රෝහලේ තමයි මගේ මව දශක ගණනකට පෙර සේවය කලේ. ඇයට ආරන්චිවී තිබෙනවා අපේ ගෙවල් ලග දුප්පත් කාන්තාවක් ඇතුලත් කර ඇතිබව. මගේ මව කෑම් පැයේදී මේ රෝගී කාන්තාව දැකීමට ගොස් තිබුන. ඇය සුදානම් ව සිටියේ ඇගේ කකුල කපා දැමීමේ ශල්‍ය කර්මයකට යාමට සුදානමිනුයි. අන්ත දිලිදු පුද්ගලයන් වන මොවුන් අධ්‍යාපනයෙනුත් එතරම් ඉගනගෙන නෑ. මගේ මව සිදුකර ඇත්තේ හැකි ඉක්මනින් අදාළ කාන්තාවගේ දුවට පැමිණෙන ලෙස උපදෙස්දී ඇය පැමිණි වහාම අදාළ රෝගී කාන්තාවගේ ටිකට් කප්පවා ජාතික රෝහලට ඇතුලත් කරවීමයි.

    අවසානයේ වසර 20 ට පසූ මෙම කාන්තව වයසට ගොස් මියයන විට ඇයට කකුල් දෙකම තිබුන බව කියන්න ඕන. ඇය ට තම කකුල බේරාගැනීමට උපකාර කලේ ජාතික රෝහලේ දොස්තර වරුන්. මේ අනුව ඔබට පෙනෙනවද සමහර දොස්තර වරුන් වගකීම් ඇතිව වැඩකරන අතර සමහර අය වගකීමෙන් තොරව හැසිරෙන විදිය.

    ReplyDelete
    Replies
    1. Lankika ඔබ කියන දේ ඇත්ත සමහර දොස්තර වරුන් වගකීම් ඇතිව වැඩකරන අතර සමහර අය වගකීමෙන් තොරව හැසිරෙනවා. මුදල් අවශ්‍යයි නමුත් මුදල් නිසා රෝගීන් පාවා දීම අනුමත කරන්න බැහැ.

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook