Sunday, December 27, 2015

71 මහ නඩුවේ 16 වන විත්තිකරු : සුනිල් රත්නසිරි ද සිල්වා






71 මහ නඩුවේ 16 වන විත්තිකරුවූ සුනිල් රත්නසිරි ද සිල්වා මට හමු වූයේ ඔහුගෙ නිවසේදීය. සාදරයෙන් මා පිළිගත් ඔහු අතීත කථා පුවත දිග ඇරියේ මේ අයුරිනි. 

1968 දී මම විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ 2 වසරේ ශිෂ්‍යයෙකුව සිටියදී බොගා සමරේ   හා නිමල් මහරගේ නිතරම විශ්වවිද්‍යාලයට පැමිණියා මා හමුවීමට. මම ඔවුන් සමග සංවාදයේ යෙදෙනවා. ඔවුන්ගෙන් මට  දැනගැනීමට ලැබුණු වමට බර ව්‍යාපාරයක් පිළිබඳව. මේ සංවිධානය තුළ කථාබහට වඩා ප්‍රායෝගික ක්‍රමවේදයක් තිඛෙන බව මට වැටහුණා. ඒ නිසා 1968 අග වෙනකොට මම පූර්ණකාලීනයෙකු ලෙසට මයියංගන දිස්ත්‍රික්කයට ගියා.

කෙටි කාලයක් තුළදී විශ්විද්‍යාල අධ්‍යාපනය අත්හැර දමා පූර්ණකාලිකයකු වීමට නොයෙකුත් හේතුන් මට බලපවත්වන්නට ඇති. මට සමාජ විද්‍යාව උගැන්වූයේ ආචාර්ය නිවුටන් මුණසිංහ මහතා. එතුමා තුළ වාමාංශික අදහස් තිබුණා. වරක් මම එතුමාගේ මාර්ගෝපදේශය අනුව දෙමළ වතුකම්කරුවන් පිළිබඳව අධ්‍යයනයක් කළා. ඒ අධ්‍යයනයට මම දියතලාව, හපුතලේ ප්‍රදේශයේ වතුවලට ගියා. දෙමළ වතුජනයා ඉන්දියාවට යැවීම පිළිබඳව සිරිමා ශාස්ත්‍රී ගිවිසුම ඒ වෙන කොට මතුවෙලා තිබුණා. සමාජ විද්‍යාත්මකව එය ඔවුන්ට බලපෑ ආකාරය අධ්‍යයනය කිරීමටයි අපට අවශ්‍ය උනේ. මම කම්කරුවන් 100 කට අධික ප්‍රමාණයක් සමග දීර්ඝ වශයෙන් කථා කළා. ඔවුන්ගේ අදහස්
උදහස් දැනගත්තා. යළි ඉන්දියාවට යාම පිළිබඳව ඔවුන දැරූ අදහස් මම අධ්‍යයනයට එකතු කළා.

ඒ වගේම පන්ති පහ  මා තුළ යම් ආකර්ශණයක් ඇති කරන්නට ඇති බව මම අද හිතනවා. ප්‍රේමපාල තමයි අපට පන්ති කළේ. දෙල්මෑල්ල කියන ප්‍රදේශයේදී  රෙජිනෝල්ඩ් කුරේ, දෙනියායෙA දයාරත්න, එහෙම මේ පන්තියට පැමිණි බව මට මතකයි. රෝහණ විෙජ්වීරත් බෝගහපැලැස්සේ කතරගම, පන්ති කළා. මේ පන්තියේ දී විෙජ්වීර වතු කම්කරුන් ප්‍රතිගාමී බලවේගයක් ලෙසට තමයි හැදින්වූයේ. මම ඊට කලින් වතු කම්කරුවන් ගැන අධ්‍යයනයක් කර තිබූ නිසා මම යමක් ඔවුන් ගැන දැන හිටියා. ඒ නිසා මට විෙජ්වීර ගෙන් ඕනෑකමින්ම ඇසුවා වතු කම්කරුවන් පිළිබඳව ව්‍යාපාරය තුළ තිබූ ස්ථාවරය. එහිදී විෙජ්වීර මට කිව්වා ඉන්දීය මානසිකත්වය එක්ක ඉන්න අය සමග අපට ගමනක් යන්න බැරිබව. ඒ පිළිතුර සමග මම නිහ~ උනා.

පූර්ණකාලිනයෙකු ලෙස 1968 අගදී මයියංගනයට ගිහිල්ලා මම ඉඩම් සංවර්ධන වෘත්තීය සමිතියේ වැඩ කළා. එA කාලේ ගොයම් කැපූ පසු කානිවල්, තොරොම්බල්කාරයෝ මයියංගනයේ පිරිලා. ඒ කාලෙට අපි කුලී වැඩක් කරනවා. වරක් කානිවල් එකක් සඳහා ගොයම් කැපූ කුඹුරක වතුර ඉහින්න මම බාරගත්තා. මේ කුඹුරේ දණක් මට්ටමට වතුර. වතුර ඉහිනAන සුමාන දෙකක්වත් යනවා. මම ගණිත දැනුම භාවිතා කරලා ලියදි අතර කානු කපලා කුඹුරේ වතුර පිටතට ගලාගෙන යන්න සැලැස්සුවා. හවස වෙනකොට කුඹුරේ වතුර හිස්. සංවිධායකයින්ටත් පුදුමයි.

මම මයියංගනයේ හිටියා 1969 අප්‍රේල් දක්වා. ඊට පස්සේ පියතිලක හා පියසිරි කුලරත්න සමග ශිෂ්‍ය අංශයේ වැඩ කලා. මේ යුගයේදී මහින්ද විෙජ්සේකර ක්‍රියාශීලී ශිෂ්‍ය නායකයෙක්. වරක් ඔහු ප්‍රධාන ශිෂ්‍ය නායකයෝ තීරණය කළා මහාචාර්ය හෙට්ටිආරච්චි අඩස්සියට පත් කරලා ඉල්ලීම් ලබාගැනීමට. මේක මම අනුමත කළේ නැහැ. ශිෂ්‍යයන් එදා මහචාර්ය හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගන්න යන විට පොලිසිය රැකවල් දාලා ආපු අයට හොදටම පහර දුන්නා. මේ සිද්ධියෙන් පසු මහින්ද මා සමග හිත නොරොක් උනා.

අපි රැස්වීම් සංවිධානය කළා. සාමාජිකයෝ හඳුනාගන්නේ සාක්කුවේ නැත්නම් කොළර් එකේ ගහපු ඇල්පෙනෙත්තකින්. ඒ වගේම රහස් වචන තිබුණා. නොදන්නා සාමාජිකයෝ දෙදෙනෙක් හමුවුනාම එක් අයෙක් අහනවා zඅද පාරේ හරියට ට්‍රැෆික් නේද?Z කියලා. එතකොට අනෙක් කෙනා උත්තර දෙනවා zනියෙඟට ඔහොම තමයි කියලාZ දැන් දෙදෙනාටම තේරෙනවා තමුන් ව්‍යාපාරේ බව.

පහරදීම සඳහා සංඝාරාමයේ රැස්වීම තිබුණේ මිනිපේ සෝභිත හාමුදුරුවන්ගේ කාමරේ. මට පියතිලක මගින් ප්‍රහාරය ගැන ආරංචි උනා. ශිෂ්‍ය අංශය මගින් ප්‍රාහාර කීපයක් සංවිධානය කරලා තිබුණා. පනාගොඩ හමුදා කඳවුරට පහර දීමට, යාපනය හිරගෙදර කඩා විෙජ්වීර බේරා ගැනීමට. අගමැතිනිය (සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියව) අත් අඩංගුවට ගැනීමට යනාදී වශයෙන්.

සිරිමාවෝ මැතිණියගේ ආරක්ෂකයෙක් හිටියා සාජන්ට් පෙරේරා කියල ආමි එකේ. ඔහු අපට එකතුවෙලා හිටියේ. 1971 අප්‍රේල් 4 වෙනිදා රාත්‍රි වැඩ මුරයට ඔහු නම දාගෙන, ශිෂ්‍ය අංශයේ පිරිස බලාපොරොත්තුව ඉඳලා තියෙනවා. පනාගොඩ කෑම්ප් එකේ සැලැස්ම කැප්ට්න් කුලරත්න හරහා එයාගේ මල්ලී චන්ද්‍රනාත් ලබා දුන්නා. කැප්ටන් කුලරත්න අප්‍රේල් 4 කාර් එකක කිරුළපන පාලම ළඟ හිටියා. යාපනයට යාමට පියතිලක ප්‍රමුඛ කරාටේ සැම්සන්, පියසේන, වනිග බන්දු ක්‍රියා කළා.

මට පැවරී තිබුණේ තුම්මුල්ල හන්දියේ යුද හමුදාපති නිල නිවසට ගිහිල්ලා යුද හමුදාපති සේපාල ආටිගලව අත් අඩංගුවට ගැනීමට. මේ සඳහා 25 ක පමණ පිරිසක් හිටියා. අපට පිස්තෝල චීනච්චට්ටි බෝම්බ 20 තිබුණා. මේ ප්‍රහාරයට බමුණුසිංහ, කේ. ජයසේන, අනුරාධපුරයේ පොඩි සෙනෙවි, රුවන්වැල්ලේ විලියම්, එහෙම යාමට නියමිතව සිටියා.

අප්‍රේල් 5 වෙනිදා හවස 6 ට විතර මට මතක හැටියට ඔස්මන්ගෙන් පණිවිඩයක් ලැබුණා. ප්‍රහාරය නවත්වන්න කියලා. ඒ නිසා නියමිත ප්‍රහාරය සිදු කළේ නැහැ. කොළඹ හොඳට මුර. අපි සංඝාරාමයේ හිටියේ. කට්ටිය ආපසු යැවීමත් ප්‍රශ්නයක්. ඒ අයට දැනුම් දුන්නා තම තමන්ගේ ගම් වලට ගිහිල්ලා සටන්වලට සම්බන්ධ වෙන්න කියලා. ඒ අනුව පිරිස විසිරුනා. පොඩි සෙනෙවි අනුරාධපුරයට ගියා. මම සංඝාරාමයේ නතර උනා.

අප්‍රේල් 8 දින මුළු දවසම ඇදිරි නීතිය. එදා තමයි කටුනායකට ගුවන් මගින් ආයුධ ආවේ. මම ඇතුළු පාරවල්. ගුරුපාරවල් ඔස්සේ ඇඹුල්දෙණියට ගියා. මහරගම පැත්තේ ගෙදරක නැවතිලා ඉදලා 71 මැයි මාසයේ මුල් සතියේ දී දිවුලපිටියට ගියා. දිවුලපිටියේ මේ වෙනකොට රහසිගත කඳවුරක් තිබුණා. මේ කඳවුරේ අපගේ සාමාජිකයන් 50 විතර සන්නද්ධව හිටියා. චුකී ප්‍රේමරත්න, උයන්ගොඩ  ගාන්ධි, එහෙම හිටියා මතකයි. 

අපි සැලසුම් කළා දිවුලපිටිය පොලිසියට පහරදෙන්න. මේ අවස්ථාවේදී වයසක මිනිහෙක් ඔත්තු බලන්න ආවා. ගාන්ධි මේ මිනිහා අත් අඩංගුවට අරගෙන පහර දුන්නා. අපි මැදිහත් වෙලා ඔහුව නිදහස් කළා. පසුව මේ පුද්ගලයා පොලිසියට කඳවුර පිළිබඳ තතු කියලා තියෙනවා. 

මැයි 10 වෙනිදා විතර කඳවුර වටකරලා පොලිසිය, ගුවන් හමුදාව, පහර දුන්නා. අපේ පිරිස සී සී කඩ විසිරිලා ගියා. පලා යන සාමාජිකයන් ගම්මු අල්ලලා ගස් බැඳලා පොලිසියට බාර දෙනවා. මම පස්දෙනෙකු සමග පොල්වත්තක් හරහා දිව ගියා. එතකොට ගැමියන් අපිව අල්ලා ගැනීමට පැන්නා. මේ අවස්ථාවේ දී මගේ අතේ තුවක්කුවක් හා චීනච්චටිටි බෝම්බයක් තිබුණා. මම ඒක පෙන්නලා ගැමියන් බියට පත් කෙරෙව්වා.

ගම්මුන්ගෙන් මිදුණු අපි රෑ ගත කළේ පොල්වත්තක. උදේ තුවක්කුව සඟවලා හුණුමුල්ල සෙන්ට්‍රල් එක ළගට ඇවිත් බස් එකක නැගලා ජා ඇලට ගියා. මැයි 16 මම අම්බලන්ගොඩ මගේ නිවස බලා පිටත් උනා.
කඳවුරේ හිටපු අනිත් අය ගැන තොරතුරු ලැබුනේ පසුව. චූකී විල්පත්තු ගිහි්ල්ලා. ගාන්ධි කඳවුරේ හිටපු එකම කාන්තා සාමාජිකාව එක්ක වෙස්වෙළාගෙන ගිහිල්ලා තියෙනවා. ඔහුගේ බිරිඳගේ නිවසට. අතරමගදී තේ බොන්න කඩයකට ගොඩ වැදුණු විට කඩේ මුදලාලිට සැක හිතිලා තියෙනවා. ගෑණු සාමාජිකයා කලිසමක් ඇඳගෙන. ඊට උඩින් සාරිය ඇඳගන. ඉඳලා තියෙන්නේ. තේ බොන්න වාඩි උනාම සාරියට යටින් කලිසම මුදලාලි දැකලා තියෙනවා. මුදලාලිගේ ඔත්තුවට පොලිසිය ගාන්ධිව අත් අඩංගුවට අරගන මීගමුව පොලිසියට ගෙනල්ලා මරාදාලා තියෙනවා. 

(මෙම කාන්තා සාමාජිකාව මීගමු ප්‍රදේශයේ පුනරුත්ථාපන කඳවුරක 1971 දී සිටි බව චූකී ප්‍රේමරත්න මහතා මා සමග 9.2.09 දින දුරකතන සංවාදයේදී ප්‍රේමරත්න මහතා මා සමග පැවසීය  මේ අනුව ඇය තවමත් ජීවතුන් අතර සිටිනවා විය හැක. ඇයගේ නම ලීලාවතීය. පන්නල විසු ගාන්ධිගේ බිරිඳගේ නිවසේ ඇය නැවැත්වීමට යන විට ගාන්ධිව අත් අඩංගුවට ගෙන තිබේ. ගාන්ධි දිවුලපිටියේ පදිංචි රජයේ රැකියාවක් කළ අයෙකු බව චූකී ප්‍රේමරත්න මහතා පවසයි. ඇය පිළිබඳව පියසිරි කුලරත්න මහතාගේ zතක්සලාවක් වූ සිපිරිගෙයZ කෘතියේදී සඳහන්වන අතර පැපොල සැදී අසනීපයෙන් දිවුලපිටිය පොල්වත්තක තිබූ කඳවුරේ සිටි සාමාජිකයන්ට කොත්තමල්ලි තම්බා දීමෙන්ද, ආහාර පිසීමෙන්ද, ඇය සහය වූවාය. කත_ෘ )

මම අම්බලන්ගොඩ ගියේ 1971 අප්‍රේල් 16 දින. ඉන් දින දෙකකට පසුව අප්‍රේල් 18 දින මාව අත්අඩංගුවට ගත්තා. කෙලින්ම ගෙන ගියේ අම්බලන්ගොඩ පොලිසියට. කිසි පහර දීමක් කළේ නැහැ. අප්්‍රල් 20 දා මාව සී.අයි.ඩී. එකේ 4 වෙනි තට්ටුවට ගෙන යනු ලැබුවා. ප්‍රශ්න කළේ එච්, වයි. ද සිල්වා මහතා. ඔහු ධර්මාශෝක විදුහලේ හිටපු ගුරුවරයෙක්. නිසා තරුණයන්ගේ සිතිවිලි තේරුම්ගත් කෙනෙක්. 71 අපේ සාමාජිකයන් පොලීසිය හා සී අයි ඩී පහරදීම් පිළිබදව අතිශයෝක්තියෙන් කරුණු කියනවා. ඒ වගේ පහරදීම සිදුවුවානම්  මිනිසෙක් ජිවත් වෙයිද කියන එකක් සැකයක්. වීරත්වය ආරෝපණයට, ආරක්ෂක අංශවල කෘෘරත්වය හුවා දැක්වීමට, තමන් පරහදීම් වලදී බිඳ නොවැටුණු බව පෙන්වීමට, ඇතැමෙකු ප්‍රබන්ධ කරනයේ යෙදෙනවා. එහෙත් සත්‍ය මිසක ඇයි අපි ව්‍යාජය හුවා දක්වන්නේ.

මම රහස් පොලිසියට යනකොට මිනිපේ සෝභිත, භද්දිය සාදු. පොල්වත්තේ රාහුල, ප්‍රකාශ දීලා තිබුණේ. ඒ ප්‍රකාශවල මා ගැන හෙළි දරව් කරලා. ඒ නිසා සී අයි ඩී එක මගේ ක්‍රියා ගැන සම්පූර්ණයෙන්ම දන්නවා. මාව මාස 1 සීඅයිඩී එකේ රඳවාගන හිටියා. ඊට පස්සේ මැගසින් බන්ධනාගාරයට ගෙනාවා. නඩුවේදී මට අවුරුදු 7ක සිර දඩුවමක් ලැබුණා. මම නිදහස් උනේ 1977 දී. මම විවාහ උනේ හිරේ ඉන්න කොටදී. ඒ 1976 දෙසැම්බර් 30 මම පියසිරි කුලරත්න, නයනානන්ද විෙජ්තිලතිලක එක දවසේ බන්ධනාගාරයේදී විවාහ උනා. අපි හිරේ ඉන්නකොට අපගේ තරුණ වයස ගෙවී ගන යනවා. නිකමට වගේ අපි ඉල්ලීමක් කලා රජයෙන්, අපට විවාහ වීමට ඉඩදෙන්න කියලා. අපගේ පුනරුත්ථාපනය සාර්ථක බව පෙන්නන්නත් එක්ක රජය මීට එකඟතාව දෙන්න ඇති. විවාහය සීමා උනේ අත්සනට විතරයි. මධු සමයක් තිබුණේ නැහැ. කෙටි සංකේතාත්මක උත්සවයකින් පසු යලිත් අපි තිදෙනා සෙල්වලට ගියා.

1974 දෙසැම්බර් වෙනකොට මම ව්‍යාපාරයෙන් වෙන්වෙලා. ඒක සිදු උනේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් උඩ, විෙජ්වීර මට කිව්වේ පොඩි පුතා කියලා. ඔහු තුල විශ්වාසයක් තිබුණා යළි මම ඔහුට එකතු වෙයි කියලා. ඒත් එ දේ සිදු උනේ නෑ. නිදහස් වෙලා ඇවිල්ලා මම සර්වෝදයේ වැඩ කලා. අපි හිරේ ඉන්න කොට සර්වෝදය විසින් විවිධ වැඩ සටහන් කරනු ලැබුවා. මම හිරේ ඉන්න කොට මගේ උපාධියේ වැඩ අවසන් කරලයි තිබුණේ. ඒ නිසා මම අධ්‍යාත්මික වශයෙන් වැටුණේ නැහැ. 1980 මාර්තු දක්වා සර්වෝදයේ මම හිටියා. ඊට පස්සේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක වැඩ කළා. දැන් මහාහාර්ග අමාත්‍යාංශයේ සේවය කරනවා. 

71 අරගල අසාර්ථක වීමට විශේෂ හේතු බලපෑවා. මොරාල් එක විතරයි තිබ්බේ. වෘත්තීය පුහුණුවක් තිබුණේ නැහැ. සාමාජිකයන් තුළ තිබූ ඌන දැනුමත් එක හේතුවක්. උදාහරණයක් ලෙස ඛෙන්තර හෝටලය ඇමෙරිකානු යුද මධ්‍යස්ථානයක් කියල කියපු සාවද්‍ය අදහස සාමාජිකයෝ පැකිලීමක් නැතිව විශ්වාසය කළා. ඒ අනුව හිතන්න පුළුවන් ඔවුන්ගේ විචාර බුද්ධියේ සවභාවය. ව්‍යාපාරය තුළ ජාතිවාදී පැත්තක්, විදේශිකයන්ට බිය තත්වයන්ද, නොතිබුනා නොවේ. ඒ වගේම භද්දියලා වගේ අති ධාවනකාරි කෘෘර චරිතත් හිටියා. හිරේදී මතවාදයන්ට එකඟ නොවන චරිත 71 අරගලය දින්නා නම් උඩට ඒමේ සම්භාවිතාව තිබුණු බව අමතක නොකළ යුතුයි. ඒක හරියට සෝවියට් විප්ලවයේන් පසු බේර්යා වගේ බිහිසුණු වධකයන් ඉස්මතුවීම වගේ දෙයක්. මේ අනුව පොල්පොට්වාදී ක්‍රමයක් බිහිවෙන්න ඉඩ කඩ තිබුණා.

මම භද්දිය ගැන කිව්වේ ඔහුව හෙළා දකින්න නොවෙයි. ඔහු තුල හොඳ ගතිගුණත් තිබුණා. ඒ වගේම වධකයෙකුත් ඔහු තුළ හිටියා. මට මතකයි 1970 විතර සමගි පෙරමූණ ජය ලැබුවාහම මිනිස්සු ලේක් හවුස් එක වට කළා. භද්දිය සිවුර පිටින් ලේක් හවුස් ගොඩනැගිල්ලේ යකඩ බටයකින් බිමට බහිනවා. මේ වගේ දුර දිග නොබලා ආවේගයට මුල් තැන දීපු ක්‍රියා කරපු චරිත 71 දී ව්‍යාපාරය තුළ සිටියා. ඒ නිසා එවැනි පූද්ගලයන් සමග සන්නද්ධ අරගලයකට අවතීර්ණ වීමේදී පාළනයක් නැහැ. අයාලේ යාමක් තමයි දකින්නට තියෙන්නේ. එය විනාශයේ කෙළවර දක්වා දිග්ගැසිය හැකියි. ඒ වගේම අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ක්‍රියාත්මක වීමේදී ඇතිවන ගැටළු බලන්න. ඩලස් අලහප්පෙරුම යුක්ති ගරුක, සදාචාරාත්මක, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයකට බැස්සා. ඔහුගේ ක්‍රමය සමාජගත වීමට ඔහුගේ පක්ෂයේ නායකයන් පවා දිරිදුන්නේ නැහැ. මනාප ක්‍රමය තුල ආයුද, මුදල්, මැරබලය සංසරණය වෙනවා. මෙයට ප්‍රජාතන්ත්‍රවාදී කියාගන්නා දේශපාලකයන්ද ආශිර්වාද කරනවා. මේ නිසා වර්තමාන ශ්‍රී ලාංකීය දේශපාලනය මට විපරිතයක්.







8 comments:

  1. මීට පෙර ද මා සඳහන් කර ඇති පරිදි, තමන්ගේ සටන් පුහුණුව සහ ප්‍රහාරක ශක්තිය පිළිබඳව ජවිපෙ අධි තක්සේරුවක සිට ක්‍රියාකර ඇති බව පැහැදිලිව පෙනෙනවා. මෙහි සඳහන් පරිදි, හමුදාපති නිළ නිවසට ප්‍රහාරයක් එල්ලකොට් හමුදාපති අත්අඩංගුවට ගැනීමට සිතීම මුග්ධ ක්‍රියාවක්. මේ කාලය වනවිට ප්‍රහාරයක් එල්ලවේයයි යන සැකය නිසා හමුදාපති නිළ නිවසට විශාල සෙබල පිරිසකගේ ආරක්ෂාව යොදවා ඉතා හොඳ සූදානමකින් සිටි බව වාර්තා වෙනවා. එමෙන්ම ප්‍රහාරකයන් සතුව නැති වඩා හොඳ ගිනි අවි හමුදාව අතේ තිබුණා. මෙවැනි තැනකට ප්‍රහාරයක් එල්ලකිරීමට පෙර යටත්පිරිසෙයින් ඇතුලේ සිට උදව් කරන එක්කෙනෙක්වත් ඉන්න ඕනේ. ඒ වගේම තමන්ගේ උපාය දූතයකු එකවරක්වත් එම ස්ථානය තුලට යවා, එහි තත්වය තේරුම් ගෙන ප්‍රහාරක සැලැස්මක් හදන්න ඕනේ. වෙනත් ස්ථානයක එම සැලැස්ම එකවරක්වත් අත්හදා බලන්න ඕනේ.

    මේ පුද්ගලයා කියන අන්දමට එක ප්‍රතිපත්තියක් නොතිබීම, නායකයන් ආදර්ශවත් නොවීම නිසා කාඩරයන් තුල ඇතිවූ කළකිරීම ව්‍යාපාරයේ පීහෙඑමත හේතුවුණා.

    ReplyDelete
  2. ඔබගේ හේතු දැක්විම නිවැරදියි

    ReplyDelete
  3. 71 කැරැල්ල, හා 88/89 කැරැල්ල පැවතුණු රජයන් මර්ධනය කරපු ආකාරය කොතරම් වෙනස්ද?

    ReplyDelete
    Replies
    1. එතරම් ලොකු වෙනසක් නැහැ; දෙපාර්ශවයේම කෘරත්වය සාපේක්‍ෂයි යුග දෙකේදීම

      Delete
  4. රට පුරාම පොලිස් ස්ථානවලට එකම දවසෙ පහරදීල අල්ලගන්නව. අගමැතිනියව හිරකරගෙන ඇය ලවා දේශපාලන නායකයන්ට නියෝග නිකුත් කරනවා. හමුදාපති හිරකරගෙන ඔහු ලවා හමුදාවට නියෝග නිකුත් කරවනවා. මේ ප්ලෑන් හදල තියෙන්නෙ පුදුම මොළයකින් නෙ.

    බෙන්තර හෝටලේ ඇමරිකන් කදවුරක්ය වැල්ලවාය පාරපලල් කරන්නෙ ඇමරිකන් හමුදාව ගොඩබස්සන්නය කියා විශ්වාස කරන මහා බුද්ධිමත් සාමාජිකත්වයද පිරිවරාගෙන ගමන් කරන සුපිරි මොළයක් තිබුන නායකය මහදැනමුත්තා වගෙයි.

    ReplyDelete
    Replies
    1. ඔවුන් තුල වියාධිජනක ෆැන්ටසිකරණයක් තිබුනා

      Delete
  5. මා දැනට වසර කිහිපයකට පෙර කාම්බෝජයේ සති කිහිපයක් ගත කළා ..පොල්පොට්ගේ ප්‍රධාන වද කදවුර ඇතුළු ප්‍රාදේශීය වධකාගාර බලන්න ගියා...ඇත්තටම පොල්පොට්ට තිබී ඇත්තේ සමාජවාදී අදහස්. ඒත් ඒ ක්‍රයාත්මක කල ආකාරය තමයි ගැටලුව උනේ. නොම්පෙන් (phnom Penh) වල තිබු Tuol Svay Prey කියන උසස් පාසැල, පොල් පොට් විසින් වධකාගාරයක් ලෙස භාවිතා කර ඇති අතර දැනට කවුතුකාගාරයක් ලෙස පවත්වා ගෙන්යනවා. පස්චාත් යුධ අධිකරණයේදී නොයෙක් පුද්ගලයන් ලබාදුන් සාක්ෂිවල සත්‍ය පිට්පත්පවා මෙහිදී කෙනෙකුට නිදහසේ කියවීමට හැකිය. ප්‍රංශයේ විශ්ව විද්‍යාලයක උප කුලපති ලෙස සේවයකළ කාම්බෝජියානු ජාතික මහාචාර්ය ව්රයෙක්ගේ කට උත්තරයක කියාතිබෙනවා.මා කියෙව්වා polpot මානව හිතවාදී උග්‍ර සමාජවාදී අදහස් තිබු ක්‍රියා දරයෙක්ය, නුමුත් ඔහු එය ක්‍රයාත්මක කල ආකාරය වැරදියි කියා. 71 අඩුවෙනුත් 88/89 ඉතා බහුල වශයෙන් ලංකාව පුරා සමහර ජවිපෙ සාමජිකයන් කල ක්‍රියාකාරකම් බැලුවම අර පොල්පොට් කථාව ගැන කෙනෙක් මතක් කිරීම ගැලපෙනවද කියලාත් මට හිතෙනවා.(pbh)

    ReplyDelete
    Replies
    1. තුති ඔබට විස්තර වල​ට

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook