Saturday, August 19, 2017

අත්තම්මා පිලිබඳ මතක සටහනක්



මාගේ අත්තම්මා  පිලිබඳව ලිව යුතු බව මම බොහෝ කාලයක් පුරා සිතුවෙමි. ඇය පිලිබඳ විවිධ මතකයන් මා සතුව ඇත​. මාගේ මවගේ මව් වූ අත්තම්මාගේ නම ටිකිරි කුමාරිහාමිය​. ඇය ඉපදුනේ 1907 වසරේ විය යුතුය​. එකී කාලයට සාපේක්‍ෂව ධනවත් බොහෝ ඉඩකඩම් තිබූ හඞුරන්කෙත ප්‍රදේශයේ ප්‍රභූ පවුලක උපත ලබන ඇය තුල ස්වභාවයෙන් ලත් විවිධ ගුණාංග තිබුණාය​.  අත්තම්මා  අත් හැරීම හෙවත් Renunciation   ප්‍රගුණ කල තිබුණාය​. පරම්පරාවෙන් ලත් ධනය මෙන්ම ඉඩකඩම් කෙරෙහි තිබූ ආශාවන් අත් හල ඇය වසර අනූවක් පමණ ජීවත් වී මිය යන විට සියළු ධනය බෙදා දී තිබුණාය​. තන්හාව යන වචනය ඇයගේ ජීවිතයේ නොතිබූ වචනයකි. එසේම ආත්මාර්ථය අත් හැර  වචනයේ පරිසමාප්තියෙන්ම පරාර්ථකාමී පුද්ගලයෙකු වූ ඇය මෙන් Selfless චරිතයක් අද දක්වා මට හමුවී නැත​. ඇය තුල මමත්වය නොතිබුනු බව මට කිව හැකිය​. සාරියක් හෝ වෙන යම් දෙයක් තෑගි ලැබුණු විට පැය විසි හතරක් යාමට පෙර ඇය එය වෙනත් කෙනෙකුට තෑගි දෙන්නීය​. තවද ධර්මය ඇය තුල තිබුනේ භාවිතාවෙනි. ඇය නිතරම පන්සල් නොගිය අතර ප්‍රදර්ශනාත්මක ලෙස ආගම නොඇදහුවාය​. අත්තම්මා යනු මනුෂ්‍යත්වය තේරුම් ගත්  ගැඹුරු කාන්තාවක් බව අද දිනයේ මට සිතේ. සරල හා චාම් බව ඇය කෙරෙන් නිබඳවම දකින්නට හැකි වූවාය​. 

අත්තම්මා පාසල් ගියේ හත වසර දක්වාය​. ඒ කාලයේ ගැහැණු ළමයෙකු එතරම් දුර ඉගෙන ගත්තේ නැති වූවද පියාගේ ප්‍රියතම දියණිය වීම නිසා ඇය වැඩිපුර වසර ගනනක් පාසල් ගියාය​. ඇය තුල තිබූ සහජ බුද්ධිය ලැබුනේ පාසලෙන් නම් නොවේ.  ඇය සමාජය සහ මිනිසුන් ගැඹුරින් තේරුම් ගත්තාය​. එසේම ඔවුන් විනිශ්චයද නොකලාය​. සහකම්පනීය අවබෝධය ඇය තුල තිබුණාය​. 

ඇය ලඟ තම පියා සමග ගත් සුදු කළු චායාරූපයක් තිබූ බව මට මතකය​. තේජාන්විත පුරුෂයෙකු වූ ඔහුව පෙන්වා මේ මගේ අප්පොච්චා කියා ඇය කීවාය​. පාසල් සමයේදී ඇය කැපී පේන සිසුවියකි. වරක් එංගලන්තයේ මහ රජතුමාගේ උපන් දිනයට සුදු ජාතික ගුරුවරුන් පිරිසක් ඔවුන් ඉගෙන ගත් හඟරන්කෙත පාසලට පැමින ගීතයක් ගයන ලෙස සිසු සිසුවියන් ගෙන් ඉල්ලීමක් කළහ​. අනෙකුත්  සිසු සිසුවියන් කුලෑටිව පසු පසට යන විට ලාබාල ටිකිරි කුමාරිහාමි එංගලන්තයේ මහ රජතුමාගේ  නාමය අගයමින් ගීතයක් ගායනා කලාය​. මේ නිසා සතුටට පත් වූ අමුත්තෝ ඇයට දෝත පුරා තෑගි දුන්හ​. මේ සිදුවීම 1914 වැනි කාලයක සිදුවීමක් වන්නට ඇත​. 

ඇය කුඩා කාලයේ පියා සතුව කුඩා ඇත් පැටවෙකු සිටියේය​.  මෙම ඇත් පැටවා ඇයගේ සුරතලා වූ අතර හැලියක් පුරා පැනි කැවුම් උයා මේ ඇත් පැටවාට කැවීම ඇයගේ  විනෝදාංශය වූවාය​. පසුව මේ ඇත් පැටවා මුතියංගන රජ මහ විහාරය පූජා කරන ලදි. මේ නිසා ඇය දින ගනනක්ම ඇඞුවාය​. පසු කාලයක එනම්  1960 ගනන් වලදී මුතියංගන රජ මහ විහාරයට ගිය විටදී විශාල ඇතෙක් කලබල කරමින් අත්තම්මා දෙසට ඒමට තැත් කල බව මගේ පියා වරක් කීවේය​. මේ ඇතා ඉතා අසීරුවෙන් ඇත් ගොව්වන් විසින් මෙල්ල කර ගන්නා ලදි. මේ ඇතා අත්තම්මාගේ පියා විසින් මුතියංගන රජ මහ විහාරය පූජා කරන ලද ඇත් පැටවා විය හැකිය​. යම් කාලයක මුතියංගන රජ මහ විහාරයට ගොස් මේ පූජා කිරීම ගැන සඳහන් වන ලියකියවිලි පරික්‍ෂා කිරීමට මාගේ අපේක්‍ෂාවක් තිබේ. 

අත්තම්මාගේ ඉවීම් රසවත්‍ ය​. 1970 සමගි රජය කාලයේ දැඩි ආහාර හිඟයක් තිබුනද ඇය ඒකාලයේ ජනතාවට නිර්දේශ කල තිබූ  බතල , මයියොක්කා, කිරි අල , කඩල පරිප්පු විවිධ ආකාරයට පිසූ අයුරු මට මතක් වේ. පිටරට ගොස් ලංකාවට ආ විගස මා අත්තම්මාගේ මස් හොද්ද , අල කිරි හොද්ද , ආප්ප , පිට්ටු , ඉඳිආප්ප ආදිය කෑමට ප්‍රිය කලෙමි. අත්තම්මා විසින් උයන මස් කරිය ඉතා රසවත් වූ අතර මම තවමත් ඒ රසය සොයමි. 

අත්තම්මා සමග මා ගැටුණු අයුරුද මට මතකයට නැගේ. ඉංග්‍රීසි ආණ්ඩුව කාලයේ තම ළමා සහ තරුණ කාලයන් ගත කල ඇය ඉංග්‍රීසි ආණ්ඩුවට , ඉංග්‍රීසි  රජ පවුලට මහත් සේ ඇළුම් කලාය​. මීට වසර කීපයකට උඩදී  මාගේ වැඩිමහල් සොහොයුරා විසින් අත්තම්මා තුල බ්‍රිතාන්‍ය රජ පවුල කෙරෙහි තිබූ අචල භක්තිය විස්තර කරමින්   රැජිනගේ දියමන්ති ජුබිලියේදී ලිපියක් බ්‍රිතාන්‍ය රජ පවුලට ලියූ අතර ඔවුන් විසින් ඉතා ස්තූති පූර්වකව පිලිතුරු  ලිපියක් එවන ලදි. ඒ වන විට අත්තම්මා මිය පරළව ගොස් දශකයකටත් වඩා වැඩිය​.


බ්‍රිතාන්‍ය රජ පවුල විසින් එවන ලද පිලිතුරු  ලිපිය 

ඒ කාලයේ රටේ ඕනෑම ප්‍රශ්නයක් මතු වන විට අත්තම්මාගේ පිලිතුර වූයේ සුද්දාට යලි රට භාර දිය යුතු බවය​. එකල වයස එකොලහක දොළහක  ළමයෙකු වූ මට මේ කතාව අතිශයින්ම කෝප ගන්වන්නක් වූයේය​. දුටු ගැමුණු , වලගම්බා ,  විමලධර්මසූරිය යන රජවරුන් ගේ චරිත කතා කියවා කැප්පැටිපොළ , පුරන් අප්පු යන චරිත මනංකල්පිතව රඟමින් සුද්දන්ව කඩු ගානවා කියමින් මාතලේ තැන්නේ වලව්වේ  තිස්ස කුලතුංග අයියාගේ කෙසෙල් වත්තම කැත්තෙන් කොටා විනාශ කොට තිබූ මා හට අත්තම්මාගේ පරාධීන කතා ඉවසුම් නොදුන්නේය​. මේ කතාව කියන වාරයක් පාසා මම ඇය සමග නිර්දය ලෙස වාද කලෙමි. එහෙත් අද ජීවිතයේ පස් වන දශකය පසු කල මා නිදහසින් පසු අපගේ දේශීය ගං කබරයන් විසින් රට ප්‍රපාතයට ඇද දැමූ ආකාරය ගැන සිතන විට අත්තම්මා නිවැරදි බව සිතමි.  අපට වඩා පෘථුල දැක්මක් අත්තම්මාට තිබීම සමහරක් විට මා විමතියට පත් කරයි. 

අත්තම්මා විවිධ රසවත් කතා කියන්නීය. ඇය ඇමරිකාරයන් හඳට ගිය බව කිසි සේත්ම විශ්වාස නොකලාය​. 1969 හඳ තරණය ගුවන් විදුලියෙන් අසමින් අත්තම්මා මෙය බොරුවක් බව කීවාය​. හඳ තරණය ගැන ඇයගේ අවිද්‍යාත්මක දැණුමට  පාසල් දරුවෙකු ලෙස සිනාසුනු මා හට පසුකාලයක හඳ තරණය ගැන තර්කාණුකූල වාදයක් කියවීමට ලැබුණි. මෙය කියවීමෙන් පසු මටද හඳ තරණය ගැන යම් කුකුසක් හටගත්තේය​. එහෙත් සඳ තරණය බොරුවක් කියා මම නොකියමි. නමුත් බොහෝ සැක සහිත ස්ථාන මිනිසා හඳට ගිය කතාව තුල අඩංගු වෙයි. 

අත්තම්මා බුද්ධාගමේ මෙන්ම ක්‍රිස්තියානි බයිබලයේ කතාද දැන සිටියාය​. බයිබලයේ කතා ඒ කාලයේ පාසල් වලට ආ මිෂනාරීන් ගෙන් ඇය අසන්නට ඇත​. මේ කතන්දර චිත්ත රූප මවමින් කියා දීමට ඇය සමත් ය​. ජාතක කතා පොතේ එන බොහෝ කථන්තර ඇය විසින් අපට කියා දී තිබේ.  දෙව්දත් තෙර පොලවේ ගිලී අපායට ගිය කතාව අසන අපගේ සිත් තුල දෙව්දත් තෙර අපායට යන අයුරු මැවී පෙනුනි. එසේම නාලාගිරි අලියා මේඝයක් සේ ආ අයුරු කියන විට ඊට අනුකූලව චිත්ත රූප සිතේ මැවුනි. කුඩා දරුවෙකු ලෙස මගේ පරිකල්පන ශක්තිය වැඩුනේ අත්තම්මාගේ කථාන්තර ඇසීමෙනි. ගෝර්කිගේ මිත්තනිය වූ අකුලීනා ඔහුගේ නිර්මාණකරනයට බලපෑවා යන ප්‍රකාශය මා විශ්වාස කරන්නේ අත්තම්මා ගෙන් ද මට යම් බලපෑමක් ලැබීම නිසාය​. 

අත්තම්මා නිතරම වැඩක නිරතව සිටියාය​. ජීවිතයේ අවසාන කාලය දක්වාම ඇය මැහුම් ගෙතුම් කෙරූ බව මතකය​. වරක් දෙල්තොට වත්තකින් මෙහෙකරුවෙක් මව ගෙනාවාය​. අත්තම්මා මෙහෙකරුවාට වැඩ කිරීමට නොදී එම වැඩ ඇය කරන්නීය​. ඒ මන්ද කියා ඇසූ විට කියන්නේ වැඩ නොකර සිටින විට ඇඟ ලෙඩ වනවා කියාය​. ඇයගේ සමහරක්  ඥාතී සහෝදරියන් කුල මාන්නයෙන් හිස උදුම්මවාගෙන කුල හීන මිනිසුන්ට පුටුවක් පවා නොදී ක්‍රියා කරද්දී ඇය මිනිසුන්ට මානුෂිකව සැලකුවාය​. සමහර විට ඇය කෑමට පෙර මෙහෙකරුවනට කෑම පිඟානටම බෙදා ඇයගේ අතින්ම ඔවුනට දුන්නාය​.  

 මම මොන්ටිසෝරි යන කාලයේ පාරේ ගිය වෙලෙන්දෙකු ගෙන් ලස්සන රබානක් අත්තම්මා විසින් මට මිලට ගෙන දුන්නා මට මතකය​. එසේම ඇය වයස 60-70 කාලයේද නිතර තනිවම කොලඹ සිට මාතලේ, හඞුරන්කෙත , අම්පිටිය​, මාරස්සන වැනි  ප්‍රදේශ වලට ගොස් ඇයගේ ඥාතීන් හමුවීමට පුරුදුව සිටියාය​. එසේ නෑගම් ගොස් එන විට රස කැවිළි අපට ගෙන එන්නීය​.  වයස  60-70  සිටි ඇය ගතින් ශක්තිමත් ය​. වරක් නුවර කෝච්චිය කඩුගන්නාව ආසන්නයේදී  කැඩුණු විට සියළුම මගීන්ට බිමට බැස වෙනත් කෝච්චියක නැගීමට සිදු විය​. දුම්රිය  වේදිකාවක් නොතිබුනු නිසා මගීන් කෙලින්ම බැස්සේ රේල් පාරටය​. ඉක්බිති ඔවුන් අනෙක් දුම්රියේ එල්ලුනහ. බොහෝ කාන්තාවන් සහ මැදි වයසේ පුරුෂයන් අනෙක් අයගේ අත් වල එල්ලී දුම්රියට නගින විට අත්තම්මා තරුණ කෙල්ලෙකු මෙන් පටස් ගා  රේල් පාරේ සිට දුම්‍ රියට නැග්ගේ කෝච්චියේ ගාඩ්වද විමතියට පත් කරමිනි. 

ඇය ළමා කාලයේ සිට නව යොවුන් විය දක්වා ගස් නැගි බව පසු කාලයක ඇයගේ වැඩිමහල් සහෝදරයා අප සමග කියා තිබේ. මේ ගස් නැගීම ගෙදරට කෙතරම් හිසරදයක් වූයේද යත් වරක් පේර ගස ඇයගේ පියා විසින් කපන ලද්දේ ගස් බඩගා අණතුරක් කර ගනී යන බිය නිසාය​. 



ඉතා නීරෝගී ජීවිතයක් ගත කල ඇය වයසට යාම නිසා අසනීප වන්නට පටන් ගත්තාය​. මේ නිසා මම ඇයව මා සේවය කල කළුබෝවිල රෝහලේ  නවත්වා විශේෂඥ කායික වෛද්‍ය එස්.ඩී ෆොන්සේකා මහතා ගෙන් ප්‍රතිකාර ලබා දුන්නෙමි.  ඒ කාලයේ අත්තම්මාගේ මූලික ප්‍රතිකාර කලේ ඉන්ටර්න්වරයෙකු වූ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධනය​. ඔහු මගේ මිතුරෙකු විය . වර්තමානයේ ඔහු විශේෂඥ කායික වෛද්‍යවරයෙකි. මේ ප්‍රතිකාර නිසා ඇය සුවපත් වූවාය​. නමුත් ඉන් වසර කීපයකට පසුව යළි අසනීප වූවාය​.  අත්තම්මා මිය යන විට මම සේවය කලේ මීගමුව රෝහලේදී. අවසන් දින වල අසාධ්‍ය වීම නිසා ඇයව රෝහලෙන් නිදහස් කොට ගෙදර එවන ලදි. මම ඇයට සේලයින් ද දුන්නෙමි. තම මුණපුරන් ගේ දරුවන් ද දුටු අත්තම්මා 1997 වසරේදී මිය ගියාය​.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

21 comments:

  1. DR ප්‍රියංකර ජයවර්ධන මතුගම පැලවත්තේ ද ?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ. ඔහුගේ සොහොයුරා තමයි රවී ජයවර්ධන රූපාවාහිනී චෙයාමන්

      Delete
  2. ඔබගේ අත්තම්ම ගැන පොතක් ලිවීමට කරුණු ඇතියයි සිතමි කෙසේ වෙතත් ස්තූතිපූර්වක ලිපිය ඉතා වැදගත් යයි සිතමි. ඇය ජෙඑවථ්වූ කාල පරාසය එකල තිබුණු සමාජ දේශපාලන ආර්ථික රටාව තුල ය කැපී පෙනෙන චරිතයක් වන්නට ඇති යයි සිතමි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. අත්තම්මා ගැන පොතක් ලියන්නට පුලුවන්. ඇය ජීවිත අත්දැකීම් වලින් පොහොසත්

      Delete
  3. සොඳුරු මතකයක්.. 🙏

    ReplyDelete
  4. අත්තම්මා පිලිබඳ සිහිවටන සදා සුරක්ෂිත කොට තැබීම සඳහා ඔබ මෙය ලියන්නට ඇතැයි සිතමි. මේ සටහන ඔබේ පවුලේ අනාගත පරපුර බෙහවින් අගය කරනු ඇත

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රේමලාල් ඒ මතකය සදාතනිකයි

      Delete
  5. අපි සුද්දො එලෙව්වා නෙවෙයි...සුද්දො මේ කාලකන්ණි මිනිස්සුන්ගෙන් බේරිලා ගියා !

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත හිටියා නම් උන්ට මාර බර බරේ

      Delete
  6. විමලධර්මසූරිය යන රජවරුන් ගේ චරිත කතා කියවා කැප්පැටිපොළ , පුරන් අප්පු යන චරිත මනංකල්පිතව රඟමින් සුද්දන්ව කඩු ගානවා කියමින් මාතලේ තැන්නේ වලව්වේ තිස්ස කුලතුංග අයියාගේ කෙසෙල් වත්තම කැත්තෙන් කොටා විනාශ කොට තිබූ මා......

    සුද්දන් ගේ පරි පාලනය යටතේ සේවය කරමින් එවන් රජයකට බදු ගෙවමින් ලංකික අප හට දෙන ආදර්ශය මොකක්ද ?

    මෙය අප රැවටිම ක් නේද ඔබ කරන්නේ

    ReplyDelete
  7. 1) එවන් රජයකට බදු ගෙවමින් ලංකික අප හට දෙන ආදර්ශය මොකක්ද ?////////////// කිසිදු ආදර්ශයක් දෙන්නේ නැත

    2) මෙය අප රැවටිම ක් නේද ඔබ කරන්නේ ///////////// ඔව්

    ReplyDelete
    Replies
    1. ) මෙය අප රැවටිම ක් නේද ඔබ කරන්නේ ///////////// ඔව්.......

      Oh dear ...doctor ruwan what a shame ....the painful feeling arising from the consciousness of something dishonorable,

      Delete
    2. what to do I am a dishonorable person like you. But unlike you I come in my real identity

      Delete
  8. ආදරනීය අත්තම්මා........... සෙනෙහසේ නවාතැනයි

    ReplyDelete
  9. https://www.youtube.com/watch?v=n6EAs3wKbCc

    ReplyDelete
  10. Dr . රුවන්, මේ කතාව කියවද්දී මට මගේ ලොකු අම්මා [අත්තම්ම] මතක්වෙලා ඇඩුනා. මේ දෙන්නම එකම චරිතය. ඇය අමතකවූ දිනයක් 67ක් වූ මට නෑ . පිරිමි දරුවන් තිදෙනෙකුගේ වැඩිමලා වූ මට ඇය අම්මා වීම මගේ භාග්‍යයක්. ඔබට ස්තුතියි.

    ReplyDelete
  11. Great character. Will you be the same in your old days ??

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook