Monday, August 21, 2017

පරපීඩකත්වය මත පදනම් වූ ශ්‍රී ලාංකික සමාජය


ශ්‍රී ලාංකික සමාජය පදනම් වී තිබෙන්නේ පරපීඩකත්වය මතය​. මෙම  පරපීඩකත්වය මොන්ටිසෝරියෙන් ආරම්භ වන අතර පාසලේ කාර්‍යාලයේ වැඩබිමේ පොදු ප්‍රවාහනයේ යනාදී මේ සියළු තැන් වල පරපීඩකත්වය රජ කරයි. 

රටක උගතුන් බිහි කරන විශ්ව විද්‍යාල පද්දතිය තුලද පරපීඩකත්වය රජ කිරීම මගින් පෙන්වන්නේ එම රට විසින් බිහි කරන උගතුන් ගේ ගුණාත්මක භාවය මෙන්ම ඔවුන් ගේ ආකල්පමය ස්වභාවයයි. මේවා ගැන කතා කරන විට හිටපු නවක වධකයෝ උරණ වෙති. මෙන්න නිදහස් අධ්‍යාපනයට ගහනවෝ , සයිටම් එක නීති ගත කරනවෝ , පුද්ගලික විශ්ව විද්‍යාල ගේන්නට හදනවෝ කියමින් ට්‍රැක් පන්නති. එමගින් විශ්ව විද්‍යලීය ප්‍රචණ්ඩත්වය සාධාරණීකරනය කරති 

පහත ලිපිය උපුටා ගන්නා ලද්දේ  චමිතගේ සිහින කොදෙව්ව බ්ලොගයෙනි. එහි මෙසේ සඳහන් වෙයි 

............විශ්ව විද්‍යාලයට පිවිසීමට පෙර සිට ම කිසිවෙකුට හෝ මා අතවරයට/අපයෝජනයට ලක් කිරීමට ඉඩ නොදෙන බවට ප්‍රබල හැඟීමක් මා තුළ වූ අතර එය ක්‍රියාවට නැංවීමට ද මට කිසිදු බාධාවක් තිබුණේ නැත. සරසවිය තුළට පිවිස පැයක් යාමට මත්තෙන් තෙල බෙදීමේ ව්‍යාපාරය ඇරඹුණු අතර එක් එක් ශිෂ්‍යයාගේ කරට අත දමාගෙන අහු මුලු වලට ඇදගෙන ගොස් "කැම්පස් එකේ නියම fun එක ගන්න නම් අපිත් එක්ක එන්න" යන පණිවිඩය විවිධාකාරයෙන් සිසුන් වෙත ගෙන යෑමට ඇතැම් ජ්‍යෙෂ්ඨයන් කටයුතු කරන අයුරු දක්නට ලැබිණි......

...........නවක වදයට ලක් නොවන සිසුන් කොන් කිරීමට මේ දිනවල ජ්‍යේෂ්ඨ උත්තමයෝ අසීමිත වෙහෙසක් ගනිති. ඔවුනගේ ප්‍රධානතම තුරුම්පුව වන්නේ විශ්ව විද්‍යාල ආපන ශාලාව ය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය තුළ ආපන ශාලා තුනක් ඇත. එකක් විශ්ව විද්‍යාලයේ එක් අර්ධයක පිහිටා ඇති අතර එය බොහෝ දුරට අලයන්ට ම අයත් එකකි. මේ දින වල වාත කිරීමට ගෙන යන නවක ශිෂ්‍යයන්ට ඒ පැත්තට වත් ඒමට ජ්‍යෙෂ්ඨ උත්තමයන් ඉඩ නොදේ. ඔවුන්ට ඇති භීතිකාව නම් අප අත්විඳින නිදහස දැක දැනට වාත වන ශිෂ්‍යයන් ද නවක වදයට එරෙහි වනු ඇත ය යන්නයි. විශ්ව විද්‍යාලය තුළ නිදහස ගැන කතා කරන බක පණ්ඩිතයන්ගේ ක්‍රියාකාරීත්වය එසේ ය.  අනෙක් ආපන ශාලාව නම් ඉංජිනේරු පීඨ සිසුන්ට වෙන්ව ඇති අක්බාර් නේවාසිකාගාරයේ ආපන ශාලාවයි. මේ දින වල නවක වදයට එරෙහි වීමට හැකියාවක් නැති නවක සිසුන් දිගට හරහට අපයෝජනයට ලක් කරන්නේ මේ ස්ථානය තුළයි. මේ තුළට ගමන් කිරීම අනිවාර්යයෙන් ම ගැටුමකට මුලපුරන කරුණක් වන නිසාත්, දිගින් දිගටම අපයෝජනයට ලක් වීම හරහා ප්‍රබල මානසික ආතතියකින් පසුවන සිසුනට, වදයට ලක්වන අතරවාරයේ, විශ්ව විද්‍යාලය තුළ සැබෑ නිදහස භුක්ති විඳින අප දැකීම ලැජ්ජාවට හා කම්පනයට හේතු විය හැකි නිසාත් මේ ස්ථානය මඟහැරීමට අපි කටයුතු කරමු.........

....... පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ නවක වදයට එරෙහි වීම තරමක අභියෝගාත්මක කරුණක් බව කිව යුතු ය. මන්ද නවක වදයට එරෙහි වන්නන් තර්ජනයෙන්, කුණුහරුපයෙන් බියගැන්වීමට පිරිසක් නිරන්තරයෙන් ම කටයුතු කරන බැවිනි. ....

........සමස්ත ජ්‍යෙෂ්ඨ බැච් එක තුළ සිසුන් 415ක් පමණ සිටියත් රැග ක්‍රියාත්මක කිරීම සඳහා සක්‍රීයව දායක වන්නේ 50කටත් අඩු පිරිසකි. මෙය ඉතා හොඳ ප්‍රවණතාවක් බව කිව යුතු ය. මන්ද අති බහුතරයක් වූ සිසුන් තමන් ලද අමිහිරි අත්දැකීම තම මල්ලිලා නංගිලාට උරුම කර නොදීමට තීරණය කිරීම ඔවුන් තමන්ගේ හෘද සක්ෂිය සමඟ හෙට්ටු වී ඇතිකරගත් තීරණයක් බව පෙනෙන නිසා ය. නමුත් වාත සමය හරහා තමන් තුළ ජනිත වූ දැඩි හීන මානය දුරුකරගත නොහැකි වූ සුළුපිරිසක් අනෙක් අයගේ ද අඩුව පිරවීමට මෙන් වියරුවෙන් කටයුතු කරති. එහි අවාසනාවන්ත ගොදුරු වී ඇත්තේ දුර බැහැර පළාත් වලින් ආ, තමන්ට වන අසාධාරණය පිළිබඳ හඬක් නැගීමට අපහසු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ය. දැන් ඔවුන් ඔවුනගේ දුක කියන්නේ අපට ය. ඔවුන් අද මුහුණදී ඇති තත්ත්වය ඉතාම කණගාටුදායක වන අතර එම තත්ත්වය මඳකට හෝ දුරු කරවීමට අපි මේ දවස් වල මහත් සේ වෙහෙසෙමු......

.........ඔවුනගේ එක් අරමුණක් වන්නේ අප වලියකට ඇදගැනීම ය. නමුත් එය සාර්ථක නොවන බව දැනගත් විට ඇස් දෙක දෙස කෙළින් බලා, ඇඟිලි දෙකක් දික් කොට, කටහඬ ගැඹුරු කොට "උඹල ආයෙ මේ පැත්තෙ ආවෙ නැති වුණාට කමක් නෑ" කියන්නේ අප බිය වේ යැයි සිතාගෙන විය යුතුය. අවාසනාවකට මෙන් ඔවුනට වඩා මැර පෙනුමක් ඇති සිසුහු අපේ ඉස්කෝල වලත් සිටියෝ ය. අවසානයේ අප හැමදාමත් එතැන ය. නමුත් සද්දය දැමීමට එන්නෝ නැත.  තවදුරටත් සමීපව කතා කොට අධ්‍යයනය ලක් කරන කරන මොවුනගේ තවත් සුවිශේෂී ලක්ෂණ රැසක් හඳුනාගත හැක.  ඔවුන් හැමදාමත් විමසාගෙන එන්නේ අපේ නම, ගම හා පාසල ය. නමුත් අප ඊට පිළිතුරු දී පෙරළා "අයියගෙ නම මොකද්ද?" ඇසූ කළ ඔවුන් පිළිතුරු දෙන්නේ නැත. එපමණක් නොව තමා කොයි පළාතේ කෙනෙකු දැයි කියා වත් කීමට ඔවුන් නිර්භීත නොවේ. ඊට පෙරළා ලැබෙන පිළිතුර නම් "උඹලට ඒක වැඩක් නෑනෙ" යන්නයි. නමුත් අප එය අසන්නේ ඔවුන්ගේ ගෙදර යාමට නොවේ. හුදු දැන හඳුනාගැනීම පිණිස පමණි. නමුත් ඒ සැවොම තම අනන්‍යතාව හෙළි වේ යැයි මහා භීතියකින් පසු වන්නේ නවක වදය ආශ්‍රිත නීති වල පවත්වා බරපතළකම ඔවුන් ද දන්නා නිසා ය......

.......පාලම මතින් යන විට කුමන හෝ කුණුහරුපයක් කීම මොවුන්ගේ සතුටයි. තවද කෙල්ලෙක් දුටු විට "ආ නංගී, ෆෝන් නම්බර් එක දෙන්න බැරිද?" යනාදී දෑ කියමින්දුකාර ස්වභාවය මොවුන් මොනවට ප්‍රදර්ශනය කරති. ඉංජිනේරුවා වුවද දොස්තර වරයා වුවද රස්තියාදුකාරයා රස්තියාදුකාරයා ම බව කියන්නේ මේ හේතුව නිසා ය. ඒ කෙසේ වෙතත් අවසානයේ අප විසින් ඔවුනට දෙන්නේ රැග් එකක් බව එම ජ්‍යෙෂ්ඨයන්ට නොපෙනීම අනිවාර්යයෙන් ම ඔවුන්ගේ බුද්ධිමය හීනතාවයකි.  පිරිමි උතුමන් පැමිණ අපට කටින් ගැසීමට උත්සාහ කළ සෑම විටම අවසානයේ ඔවුන් ම බයිට් එක බවට පත්වූ බව වැටහීම නිසා දෝ මේ වන විට අලුත් අවියක් ඔවුන් කරළියට ගෙනැවිත් තිබේ. ඒ කාන්තා උතුමියන් ය! මේ කාන්තා උතුමියන්ගේ කර්තව්‍යය ඉතා සුවිශේෂී එකකි. ඔවුහු කිසිම විටෙක අපේ මුහුණට දෝෂාරෝපණය නොකරති. ඒ වෙනුවට රැග් නොවන කොල්ලෙකු විශ්ව විද්‍යාලය තුළ තනිවම ඇවිදිමින් සිටින විට ළඟට පැමිණ "මල්ලි ඔයා හරි හැන්ඩියානෙ, එන්නකො පොඩ්ඩක් ආශ්‍රය කරන්න" යනාදී ගණිකා කතා වටින් ගොඩින් කියති. මෙම අවිය මාරාන්තික අවියක් බව කිව යුතුය. මෙම ක්‍රියාවලිය පිටුපස ඇති අභිමතාර්ථය වන්නේ නවක වදයට එරෙහි සිසුන් මානසිකව වැට්ටීමයි. නමුත් මෙවන් අවර ගණයේ උපක්‍රම වලට අප ගොදුරු නොවන බව මම ඍජුවම ප්‍රකාශ කර සිටිමි..........

..........විශ්ව විද්‍යාලය ආරම්භ වී තවමත් ගතවී ඇත්තේ දින 9ක් තරම් සුළු කාලයක් වුවත් මේ ටික දිනට සිසුන් අත්විඳි මානසික වද වේදනාව අපමණ ය. උදේ 8ට දේශනයට ගිය විට 8.30 වන විට පන්තියෙන් බාගයක් පමණ සිසුන් මේසය මත නිදි ය. ඇතැම් විට සවස් කාලයේ මා ද මේසය මත නිදාගැනීමට කැමැත්තක් දැක්වුවත් ඒ, කරන කාර්යයේ ඒකාකාරී බව නිසා මිස වෙනත් හේතුවක් නිසා නොවේ. නමුත් අනෙක් සිසුනට ඇත්තේ වෙනත් ප්‍රශ්නයකි. ඔවුනට රෑට නිදාගැනීමට ලැබෙන්නේ පැය 3 කටත් අඩු කාලයකි. සවස 4ට විශ්ව විද්‍යාලයේ කටයුතු අවසන් වූ පසු වාත වන සියලුම සිසුන් පෝලිම් ගසා ගොනුන් මෙන් අක්බාර් ශාලාවට දක්කාගෙන යනු ලැබේ.  එසේ ගෙන ගොස් මේසය වටා වාඩි කරවන ලද අවස්ථාවේ සිට රාත්‍රී 10.15, 10.30 දක්වා එක දිගට, පැය 6කට අධික කාලයක් ඉතා වෙහෙසකර වදයකට මුහුණදීමට ඔවුනට සිදුවේ. මානසිකව කොතරම් ශක්තිමත් අයෙකු වුවත් ඇද වැටීමට මේ කාලය ප්‍රමාණවත් ය. අනතුරුව තම තමන්ගේ කාමර වලට යාමට ඔවුනට අවස්ථාව හිමි වේ. නැවතත් ජ්‍යෙෂ්ඨ උතුමන් විකෘති ආශාවන්ගෙන් මත් වී නවක සිසුනගේ කාමර වලට පැමිණෙනේ රාත්‍රී 12ට පමණ ය. එතැන් සිට රාත්‍රී 1.30 හෝ 2.30 දක්වා තවත් වටයක වදයකට ශිෂ්‍යයෝ ලක් වෙති. එතැන් සිට උදේ 5.30 පමණ දක්වා පැය 3ක පමණ කෙටි නින්දක් ඔවුනට හිමි වේ.  

මේ කාලය තුළ සිදුවන ක්‍රියාවලිය දැනගැනීමට දැන් ඔබට රිසි වනු ඇත.  පළමුව රාත්‍රී 12 සිට අලුයම දක්වා සිදුවන ක්‍රියාවලිය ගනිමු. මෙම කාලය තුළ නවක ශිෂ්‍යයා ලක්වන අපයෝජනයේ තරම තීරණය වන්නේ අපයෝජක ජ්‍යෙෂ්ඨ උතුමාගේ මානසික විකෘතිතාවයේ ප්‍රමාණය අනුව ය. තවමත් ලිංගික අපයෝජනයක් සිදු වූ බවට මට අසන්නට නොලැබුණත් මෙවන් ආකාරයේ හිංසනයන් සුලබ වේ. මේ දිනවල නේවාසිකාගාරයේ රැඳී සිටින සිසුන් හට ෂේවිං ක්‍රීම් භාවිතා කර රැවුළ කැපීමත් සපත්තු පොලිෂ් ආලේප කිරීමත් තහනම් ය. නමුත් සෑම සිසුවෙකු ම ඒවා නේවාසිකාගාරයට එද්දී ගෙන ආ යුතු ය. ඒ වියරු ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගේ පහත් ආශාවන් ඉටුකරගැනීම පිණිස ය.  රාත්‍රී 12ට පමණ කාමරයට පැමිණෙන ජ්‍යෙෂ්ඨයෝ සිසුනගේ උඩුකය ඇඳුම් සියල්ල ගැලවීමට නියෝග කරති. අනතුරුව ගෙන එනු ලැබූ සපත්තු පොලිෂ් සහ ෂේවිං ක්‍රීම් අනා ශරීරයේ ආලේප කර එම ආකාරයට පැය කිහිපයක් සිටීමට සළස්වනු ලැබේ. අවසානයේ රාත්‍රී 1.30ට පමණ ස්නානය කර පැමිණ නිදාගන්නට ඉඩ ලැබේ. මේ, මේ දින වල රැග කන සිසුනගේ මුවින් ම පිට වූ කතාවකි. නමුත් ආරංචි ලැබෙන ආකාරයට ඇතැම් සිදුවීම් මීටත් වඩා බෙහෙවින් බරපතළ ය. තමාට නිරුවතින් බිම බඩගෑමට අණ ලැබුණු බව නවක වදය දරාගැනීමට අපහසු වී අල වූ එක් ජ්‍යෙෂ්ඨ සොයුරෙක් මට සැළ කළේ ය. මීට අමතරව බෝංචි කැඩීම ආදී අනේකවිධ හිංසන ක්‍රම මේ ජ්‍යෙෂ්ඨ උතුමන් භාවිතා කරන බව මා කලින් කියවූ බ්ලොග් සටහනක තිබිණි. සමස්තයෙන් ඉතා ස්වල්පයක් වන මෙම වියරු ජ්‍යෙෂ්ඨ උතුමන් පිරිස නවතම ආකාරයේ හිංසන ක්‍රම පිළිබඳ පර්යේෂණ කරන්නේ ද මෙම කාලය භාවිතා කරමිනි.  බොහෝ දෙනෙකු සිතන්නේ නවක වදයේ වඩාත් දරුණු පැතිකඩ මෙම ශාරීරික හිංසනය බවයි. නමුත් සත්‍යය එය නොවේ. වඩාත් බරපතල ගණයේ හිංසාව නම් හවස හතරේ සිට රාත්‍රී 10.30 දක්වා අක්බාර් ශාලාවේ සිසුන් බලෙන් රඳවා තබාගනිමින් කරන දැඩි මානසික අපයෝජනයයි. මේ දින 9 තුළදී අප වයසේ සිටින වාත වන ශිෂ්‍යයන් මුහුණදී ඇති බරපතල මානසික ව්‍යසනය දැකගැනීමට විශ්ව විද්‍යාල තුළ මඳක් වටපිට ඇවිදීම ප්‍රමාණවත් ය. පළමු වසර සිසුන් අත්විඳින භීතිය, කම්පනය හා අසරණභාවය ඔවුන් ඇවිදින, කතා කරන ආකාරයෙන් ම තේරුම් ගත හැකි ය. යමෙකු මෙය සිදු වන්නේ ඉතා සුලු පිරිසකට පමණක් බව කිව හැක. නමුත් සැබැවින් ම එසේ නැත. වාතයට ලක් වන සෑම ශිෂ්‍යයෙකුම, ශිෂ්‍යාවක්ම අඩු වැඩි වශයෙන් මෙම මානසික සංකූලතාවයට ගොදුරු වී ඇත.......


.........නවක වදය තුළ කෙරෙන තවත් ක්‍රියාවලි බොහෝමයකි. සෑම ශිෂ්‍යයෙකුට ම කුණුහරුප නම් දැමීම ඉන් එකකි. විශ්ව විද්‍යාලය තුළ ඔහුගේ නම වන්නේ එයයි. ඔහුගේ සැබෑ නම මෙතැන් සිට හැඳින්වෙන්නේ "කාඩ් එක" යන නමිනි. "මචං උඹේ නම මොකද්ද?" කියා වැරදීමකින් මෙන් ඇසුණොත් ලැබෙන්නේ මහා කුණුහරුපයක් නැතහොත් කුණුහරුපයක අකුරු මාරු කළ ආකාරයකි. මට මේ වැරැද්ද පසුගිය දින කිහිපය තුළ කිහිප වරක් ම සිදු විය.  හිතන්න, එය කොතරම් ප්‍රබල මානසික අපයෝජනයක් ද?  

මෙවර රැගට හසුවන සිසුන් ගණන 261කි. ඔවුන් සෑම කෙනෙකුට ම අනෙකුත් 260 දෙනාගේම නම, කාඩ් එක, පුරය ආදී සෑම කරුණක් ම කටපාඩමේ තබාගත යුතු ය. එබැවින් වාත කන බොහෝ සිසුන් මේ දින වල දේශන ශාලාව තුළදී දේශකයා නොමැති විට කරන්නේ තමා වටා සිටිනා සිසුන්ගේ විස්තර කට පාඩම් කිරීම ය. වරක් එක් ජ්‍යෙෂ්ඨ උතුමෙකු මට මෙවන් ප්‍රශ්නයක් යොමු කළේ ය. "තමුසෙලා අඩු ගානෙ තමුසෙලගෙ සෙට් එකේ වත් උන්ගෙ නම් ටික දන්නවද?" මගේ පිළිතුර වූයේ "මට කාගෙවත් නම් ගම් ලියාගෙන කටපාඩම් කරන්න අවශ්‍යතාවක් නෑ. කාලයක් යද්දි ඒව ඉබේටම මතක හිටියි". සැබැවින්ම මට කාගේවත් විස්තර බලෙන් කටපාඩමේ තබාගැනීම අපහසු ය. නමුත් මේ අඳබාල ජ්‍යෙෂ්ඨ උතුමෝ නවකයන්ට තම සොයුරන්ගේ විස්තර ලියාගෙන බලෙන් කට පාඩක් කිරීමට සළස්වති. අහඹු ලෙස සිසුවෙකු තෝරාගෙන ඔහුගේ නම, ගම, කාඩ් එක, පුරය ඇසූ විට කියාගත නොහැකි වුවහොත් පැයක පමණ කුණුහරුප වර්ෂාවකට ලක් වීමට සිදුවේ. මට මේ සම්බන්ධයෙන් ත්තේ එක් ප්‍රශ්නයකි. ඔබට ඔබ වටා සිටින සියලුදෙනාගේ නම් අපහසුවෙන් කටපාඩම් කරගත හැකි විය හැක. නමුත් ඔබට ඒ සියලුදෙනාගේ සිතුම් පැතුම් දැනගැනීමට හැකි වේද?  මෙහි පවත්නා වඩාත්ම හාස්‍යජනය පැතිකඩ නම් අපයෝජනයට ලක්වන සිසුවාගේ බැච් එකේ සිටින සොයුරන්ගේ නම් කටපාඩම් කරගැනීමට දී ජ්‍යෙෂ්ඨ උතුමන් පමණක් තම නම් ගම් සියල්ල සඟවාගෙන සිටීම ය. "අරූගෙ නම මොකද්ද? මූගෙ කාඩ් එක මොකද්ද?" යනුවෙන් ප්‍රශ්න අසමින් එන ජ්‍යෙෂ්ඨයෙකුගෙන් වැරදීමකින් වත් "අයියගෙ නම මොකද්ද?" කියා ඇසුණහොත් එම නවකයාගේ දවස ඉතා අසහනකාරී එකක් වනු ඇත.....

.......මම ලිපිය ආරම්භයේදී සඳහන් කළ කරුණ දැන් නැවතත් මතක් කිරීම උචිත යැයි සිතමි. කෙනෙකු විශ්ව විද්‍යාලයකට පැමිණෙන්නේ මෙවන් මෝඩ ජෝක් දැමීමට නොවේ. කම්කරුවා, ගොවියාගේ සිට ඉහළම තානාන්තරය හොබවන පුද්ගලයා දක්වා වන රටේ සියලුම මහජනතාවගේ මුදලින් ඉගෙනගන්නා විශ්ව විද්‍යාල සිසුනට තම අධ්‍යාපනයේ වියදම දරන ඒ සියලු දෙනාට සාධාරණයක් ඉෂ්ට කිරීමට යුතුකමක් හා වගකීමක් ඇත. නමුත් තමන් දැන් කරන්නේ එයද නැද්ද යන වග වාත කරන සහ වාත වන සියලුම ශිෂ්‍යයන් නැවතත් සිතා බැලීම වටී.  (  චමිතගේ සිහින කොදෙව්ව :.  සරසවිය, මම සහ අපි  http://chamithar.blogspot.ca/2009/08/blog-post.html) 


16 comments:

  1. ස්තුතියි රුවන් මේ ලිපිය බෙදාගත්තාට. චමිතගේ බ්ලොග් එක ගැන දැනගත්තේ අද. අපරාදේ 2011 නවත්වලානේ. මම විශ්ව විද්‍යාලයේ රැග් වෙලා නැහැ. හැබැයි මේ වගේ සිදුවීම් සෑහෙන්න ඇසුවා. දැක්කා. නවක වදය නැවත්වීමට රජය ඉතා දැඩි ලෙස මැදිහත් විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. නවක වදය නැවත්වීමට රජය ඉතා දැඩි ලෙස මැදිහත් විය යුතුයි.///////////////////// 100 % true

      Delete
    2. චමිතව බලෙන් රැග් කරන්න බැරි වුනා මම දන්න විදියට. ඔහු බොහොම සාර්තක ලෙස අධ්‍යාපනය නිමා කරලා තියෙනවා. ඔහුට Blog එක ලියන්න වේලාවක් නැතිව ඇති. ඒකාලේ බ්ලොග් ලියපු බොහෝ දෙනා දැන් blog ලියන්නෑ.

      Delete
    3. චමිතගේ සම්පූර්ණ නම මොකක්ද ?

      Delete
  2. ඔය ජාතියේ අත්දැකීම් ගොඩක් අහන්න ලැබිලා තියෙනවා. ලිපියට ස්තූතියි.
    ටේබල් නම්බර් 21 කියලා හින්දි ෆිල්ම් එකක් තියෙනවා. මේ වගේ මාතෘකාවක් කතාකරන නියම ෆිල්ම් එකක්.

    ReplyDelete
    Replies
    1. අපේ කලාකාරයන් මේ වගේ සමාජ ප්‍රශ්නයක් ගැන කතා කරන්න උනන්දුවක් නෑනේ

      Delete
  3. විශ්වවිද්‍යාල නවක වදය කියන්නෙත් ලංකාවේ ගොං දේශපාලනය වගේම තමයි. ගොන්නු ටිකක් දියවන්නාවට යැව්වේ නැතිනම් කෑවේ නැහැ වගේ ඉන්න ජනතාවක් ඉන්න රටක ඉස්කෝලෙදි බල්ල මාර්ක් උන අවුන් කැම්පස් ගිහිල්ල චන්ඩි වෙන්න හදන එකයි අතරෙ වෙනසක් නැහැ ඩොක්ට.

    වෙලාවට මට ලංකාවේ කැම්පස් එකකට යන්න බැරි උනේ.. 🙏..

    මෙහේදි නම් මමයි මට හිටිය ලංකාවේ යාළුවයි ලස්සනට ඉගෙනගෙන විභාගත් පාස් කරගෙන සල්ලිත් හම්බකරගෙන ආතල් එකේ ඉගෙනගෙන වැඩටික ත් හරියට කරගත්ත.

    අපේ කැම්පස් එකටත් අවසාන වසරේදී ලංකාවේ කැම්පස් එකකින් ශිෂ්‍යත්ව හම්බවෙලා ආව කොල්ලො 3ක්. රියල් ශ්‍රී ලංකන් බලු බෙටි තුනක්. හැබැයි ඒ බෙටි පාගගන්නේ නැතුව අපි අපේ වැඩේ කරගත්ත. උං තුන්දෙනාගෙ හැටියෙන්ම හිතාගන්න පුළුවන් අනිත් අවුන්ගෙ තරම.

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලෙදි බල්ල මාර්ක් උන එවුන් කැම්පස් ගිහිල්ල චන්ඩි වෙන්න හදන එක විහිළුවක් . පාසල් කාලයේ පිස්සු කෙලපු අත්දැකීම් නැති නිසා තමයි මෙහෙම ගොම් පාර්ට්
      මම සෝවියට් විශ්ව විද්‍යාලයකට සහ උතුරු ඇමරිකානු විවි ගියා. වර්තමානයේ ඕස්ට්‍රියා විවි මගේ PhD කරනවා. මේ එකක වත් මෙහෙම වදක සෙට් දැක්කේ නෑ

      Delete
  4. //..සමස්ත ජ්‍යෙෂ්ඨ බැච් එක තුළ සිසුන් 415ක් පමණ සිටියත් රැග ක්‍රියාත්මක කිරීම සඳහා සක්‍රීයව දායක වන්නේ 50කටත් අඩු පිරිසකි.//

    ඉතිරි 365 දෙනා මෙයට විරුද්ධ වුණානම් මෙය වෙන්නේ නැහැ. අන් අයට කරදර කිරීමේදී කට පියාගෙන සිටීමත් ඊට උල්පන්දන් දීමක්.

    ReplyDelete
  5. //මෙවර රැගට හසුවන සිසුන් ගණන 261කි. ඔවුන් සෑම කෙනෙකුට ම අනෙකුත් 260 දෙනාගේම නම, කාඩ් එක, පුරය ආදී සෑම කරුණක් ම කටපාඩමේ තබාගත යුතු ය. එබැවින් වාත කන බොහෝ සිසුන් මේ දින වල දේශන ශාලාව තුළදී දේශකයා නොමැති විට කරන්නේ තමා වටා සිටිනා සිසුන්ගේ විස්තර කට පාඩම් කිරීම ය. වරක් එක් ජ්‍යෙෂ්ඨ උතුමෙකු මට මෙවන් ප්‍රශ්නයක් යොමු කළේ ය. "තමුසෙලා අඩු ගානෙ තමුසෙලගෙ සෙට් එකේ වත් උන්ගෙ නම් ටික දන්නවද?" මගේ පිළිතුර වූයේ "මට කාගෙවත් නම් ගම් ලියාගෙන කටපාඩම් කරන්න අවශ්‍යතාවක් නෑ. කාලයක් යද්දි ඒව ඉබේටම මතක හිටියි". සැබැවින්ම මට කාගේවත් විස්තර බලෙන් කටපාඩමේ තබාගැනීම අපහසු ය. නමුත් මේ අඳබාල ජ්‍යෙෂ්ඨ උතුමෝ නවකයන්ට තම සොයුරන්ගේ විස්තර ලියාගෙන බලෙන් කට පාඩක් කිරීමට සළස්වති. අහඹු ලෙස සිසුවෙකු තෝරාගෙන ඔහුගේ නම, ගම, කාඩ් එක, පුරය ඇසූ විට කියාගත නොහැකි වුවහොත් පැයක පමණ කුණුහරුප වර්ෂාවකට ලක් වීමට සිදුවේ. මට මේ සම්බන්ධයෙන් ත්තේ එක් ප්‍රශ්නයකි. ඔබට ඔබ වටා සිටින සියලුදෙනාගේ නම් අපහසුවෙන් කටපාඩම් කරගත හැකි විය හැක. නමුත් ඔබට ඒ සියලුදෙනාගේ සිතුම් පැතුම් දැනගැනීමට හැකි වේද? මෙහි පවත්නා වඩාත්ම හාස්‍යජනය පැතිකඩ නම් අපයෝජනයට ලක්වන සිසුවාගේ බැච් එකේ සිටින සොයුරන්ගේ නම් කටපාඩම් කරගැනීමට දී ජ්‍යෙෂ්ඨ උතුමන් පමණක් තම නම් ගම් සියල්ල සඟවාගෙන සිටීම ය. "අරූගෙ නම මොකද්ද? මූගෙ කාඩ් එක මොකද්ද?" යනුවෙන් ප්‍රශ්න අසමින් එන ජ්‍යෙෂ්ඨයෙකුගෙන් වැරදීමකින් වත් "අයියගෙ නම මොකද්ද?" කියා ඇසුණහොත් එම නවකයාගේ දවස ඉතා අසහනකාරී එකක් වනු ඇත.....//

    260 ? I know how it feels cause there were only 50 in our batch and i know how hard is it to do it and how did we fake it.

    ReplyDelete
  6. ගොඩක් පරක්කු වෙලා මේක කියෙව්වේ. ඒත් කමෙන්ට් නොකරම බැහැ.
    මම නම් විශ්ව විද්‍යාලයේ ගියේ නැහැ. ඇත්තටම යන්න පුළුවන් කම තිබුණා 1998 මිහින්තලේ විශ්ව විද්‍යාලයේ ආහාර තාක්ෂණය කරන්න මම තේරුණත් මෝඩකමටද, වාසනාවටද දන්නෑ මම ඒක අතහැරියා.

    මම නුවර නිසාත් මගේ හොඳම යාළුවා පැණිදෙනියේ නිසාත් නිතරම පේරාදෙනිය කැම්පස් එක ඇතුලේ ගැවසුනා. කීප දවසක් ඔය රැග් කරන අයියලා අපිටත් වාත වෙන්න ආවා. අපි එළියෙදි දුන්නා බීපු මව් කිරි මතක් වෙන්නම.

    හොඳම සිද්ධිය වුනේ අපි IDM ක්ලාස් එකේ ඉන්නකොට ඒ පන්තියේ හිටියා කැම්පස් එකේ ඇග්‍රි එකේ සෙට් එකකුයි, ආට්ස් සෙට් එකකුයි මම හිතන්නේ. උන් හැදුවා කැම්පස් රැග් එක මේක ඇතුලෙත් කරලා කෙල්ලෝ ඉස්සරහ වීරයෝ වෙන්න. අන්න එදා තමයි අපි උන්ට කියලා දුන්නේ රැග් එකෙන් මොන තරම් මානසික පීඩනයක් වෙනවද කියලා. අපි අනිත් පැත්තට උන්ට දුන්න රැග් එකට උන් දවස් කීපයකදී අපි ළඟ ඇඬුවා අනේ මචං අපිට ඉන්න දීපං කියලා. මම හිතන්නේ උන්ට අදටත් රැග් කියන වචනේ ඇහෙනකොටත් කලිසමේ චූ යනවා.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook