Thursday, August 31, 2017

කරාටේ සංගමය

 


මාගේ දත්ත නිවැරදි නම් නාලන්දා විද්‍යාලයේ කරාටේ සංගමය ඇති වූයේ 1982 වසරේදීය​. අප එහි ආරම්භක සාමාජිකයන් වූයෙමු. ඊට පෙර කාලයේ විද්‍යාලීය සිසුන් විවිධ කරාටේ සංගම් වලට බැඳී සිටි අතර සමහරෙකු රහසේ ආත්මාරක්‍ෂක සටන් හැදෑරූහ​. කරාටේ මාස්ටර් කෙනෙකු වූ එම්.බී.ඩී සිල්වාගේ පුත් ඔකඳ සිල්වා අපගේ පන්ති වල සිටි අතර ඔහු කළු පටිධාරියෙකු විය​. 

1982 වසරේ ගොජු කරාටේ උපදේශක මාස්ටර් අජිත් දමිත ජයකොඩි නාලන්දා විද්‍යාලයට පැමින පුහුණු කිරීම් ආරම් භ කරන ලදි. සිකුරාදා දින වල පාසල් කාලයෙන් පසු පැවති මෙම පුහුණුවීම් සඳහා විද්‍යාලීය සිසුන් බොහෝ දෙනෙකු ආවෝය​. මේ නිසා පුහුණුවීම් පවත්වන ලද්දේ තක්‍ෂිලා ශාලාවේය​. 

මම බොහෝ කාලයක් නාලන්දා විද්‍යාලීය කරාටේ සංගමයේ සිටි අතර කොලඹ සහ නුවර එළියේ පැවති තරඟාවලියන් දෙකකටද සහභාගි වී සහතික පත් දිනා ගත්තෙමි. පසු කාලයක නාලන්දා විද්‍යාලීය කරාටේ සංගමය ස්වභාවික මරණයකට ලක් විය​. වර්තමානයේ  නාලන්දා විද්‍යාලයේ කරාටේ සංගමයක් තිබෙනවාද කියා මම නොදනිමි. 

ඒ කාලයේ කරාටේ ප්‍රැක්ටිස් ආ කොල්ලෝ අතින් ගසා ගඩොල් , උළු කැඩීමට පටන් ගත්හ. මමද මේ ක්‍රියාවලියේ නායකයෙකු වූයෙමි. තක්‍ෂිලා ශාලාවේ පසුපස ගරා වැටුණු ගොඩනැගිල්ලක් තිබූ අතර එහි ඉවත් කරන ලද ගඩොල් සහ උළු කැට පන්ච් එකකින් හෝ කික් එකකින් අප කැඩුවෙමු. කොල්ලන් දෙදෙනෙකු විසින් දෙපසින් අල්ලාගෙන සිටින උළු කැටයට පා පහරක් දී එකවර කඩා දැමීමට මට හැකි විය​. බොහෝ විට උළු කැටය දෙපසින් අල්ලාගෙන සිටියේ රණසිංහ හෝ මොරේය​. ගඩොල් කැටයක් තවත් කැට දෙකක් උඩ ලම්භකව  තබා  එම කැටය දෙකට කැඩෙන ලෙසට අප පහර දුන්නෙමු. 

මේ හැර එම ස්ථානයේ කැඩී ගිය විශාල වීදුරු කෑලිද තිබුනේය​. මොරේ මෙම වීදුරු කෑල්ලක් අල්ලාගෙන සිටියදී අත තුවාල නොකර වීදුරු කෑල්ල කුඩා කෑලි වලට කැඩී යන ලෙස අතින් පහර දීමට මට හැකි විය​. මේ සඳහා බ්‍රේකිං සිස්ටම් ගැන මා උගත්තේ මාස්ටර් ජයකොඩි ගෙනි. වීදුරුවට පහර දුන් සැනින් අත වහාම ඉවත ගත යුතුය​. නැතහොත් අත කැපී යයි. වරක් අප තක්‍ෂිලා ශාලාව පසුපසට ගොස් ගඩොල් සහ උළු කැට කඩන විටදී විදුහල්පති කාර්‍යාලයේ ලක්ස්මන් ආවේය​. ඒසමගම කරාටේකාරයන් දිව ගියහ​. 

කරාටේ පුහුණුවට අමතරව අප නන්ච්කු තනා නන්ච්කු පුහුණු වූයෙමු. එසේම වැලි රත් කොට අතේ මුෂ්ටිය ආවරණය කරන සම පුළුස්සා ගත්තෙමු. එම සම රළු  වූ විට මුෂ්ටි පහර ප්‍රබල වන බව ජ්‍යෙෂ්ඨ සිසුවෙකු කීවේය​. මේ හැර බෘස්ලි ගේ බිග් බොස් , ෆිස්ට් ඔෆ් ෆියුරි , එන්ටර් ද ඩ්‍රැගන් වැනි චිත්‍රපටද ආශාවෙන් නැරඹුවෙමු. ඒ කාලයේ වීඩියෝ ඩෙක් තිබුනේ ඉතා සුළු ප්‍රමාණයකි. මේ නිසා ගෙවල් වල වීඩියෝ ඩෙක් තිබූ කොල්ලන් යාළු කරගෙන අප කරාටේ චිත්‍රපට නැරඹූවෙමු.  එම කරාටේ චිත්‍රපට වල පහර දෙන ආකාරයට ප්‍රතිවාදීන්ට පහර දීමට අප තැත් කලෙමු. ෆ්ලයිං කික් ගැසීමට පුරුදු වීම  අපගේ  ඉමහත් වෑයම විය​. කොතෙක් පුහුණු වූවද බෘස් ලී මෙන් අහසේ පියඹා ෆ්ලයිං කික් ගැසීමට අපට නොහැකි විය​. 

පාසැලෙන් ඉවත් වීමෙන් පසු මම අතරින් පතර කරාටේ පුහුණු වූයෙමි. ඒ කාලයේ සෝවියට් දේශයේ  කරාටේ තහනම් ය​. මේ නිසා බොහෝ දෙනෙකු පුහුණුවීම් කලේ රහසිනි. අපගේ වෛද්‍ය පීඨයේ  මොසැම්බික් ජාතික කළු පටිධාරියෙකු සිටියේය​. වෝල්ට්ස් නැටුම් පන්තියක් පවත්වන විලාශයෙන් සෝවියට් සිසුන් පිරිසක් මෙම මොසැම්බික් ජාතිකයාගෙන් කරාටේ ඉගෙන ගත්හ​.  මමද ඔහුගේ පන්ති කීපයකට ගියෙමි. ඔහු මසකට රූබල් පහක් අය කලේය​. පසුව එමෑණුවෙල් නම් මෙම මොසැම්බික් ජාතික කළු පටිධාරියා බටහිර ජර්මනියට ගොස් එහි කරාටේ පන්තියක් ආරම්භ කරන ලදි.   

ලංකාවට පැමිනි පසු යලිත් මාස්ටර් ජයකොඩි ගේ ඩෝජෝවට ගොස් මම කරාටේ පුහුණු වූයෙමි. මේ කාලයේදී මට මාස්‍ටර් බොනී රොබට්ස්ද හමු විය​. තවද  කළු පටිධාරි විශේෂඥ ශල්‍ය වෛද්‍ය වී.එස් රොද්‍රිගු මහතා සමගද මම හලාවත රෝහලේ වැඩ කල අතර ඔහුගෙන් ද යම් යම් ගුරුහරුකම් ලබා ගත්තෙමි. මෑතකදී මට කැනේඩියානු කරාටේ ක්‍රීඩක ග්‍රෙග් සැමුවෙල්සන් මුණ ගැසුනු අතර ඔහු ප්‍රගුණ කරන්නේ ගොජුරූ කරාටේ කලාව බව ග්‍රෙග් මට කීවේය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

4 comments:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook