Sunday, August 27, 2017

කස්ටමර් කෙයා

 

කස්ටමර් කෙයා හෙවත් පාරිභෝගික සේවය යනු තම පාරිභෝගිකයන් ගේ අවශ්‍යතා පරිදි ඔවුන් ගේ උවමනා ප්‍රශස්ථ ලෙස ඉටු කර දීමයි.  කස්ටමර් කෙයා පිලිබඳව යම් අදහසක් මා ලබා ගන්නේ සය හැවිරිදි වියේදීය​. ඒ කාලයේ තිබුනේ සමගි පෙරමුණු රජයයි. පාරිභෝගික භාණ්ඩ කූපන් එකට ලබා ගැනීම සඳහා වැඩිහිටියෙකු සමග කෝපරේටිව් කියා හැඳින්වූ සමූපකාරයට ගිය විට කස්ටමර්කෙයා පිලිබඳව මුල්ම පාඩම මම අවබෝධ කර ගත්තෙමි. 

නාගරික ප්‍රදේශයක පිහිටා තිබූ මෙම සමූපකාරයේ බිල් ලිවීමට එක් සේවිකාවක්ද බඩු කිරා දීමට කම්කරුවන් දෙදෙනෙකුද වූහ​. බිල් ලියන තැනැත්තිය සමූපකාරයේ මැනේජර්ද කියා මම නොදනිමි. එහෙත් ඇය ඉතා බලවත් තැනැත්තියක් බවත් රිසි සේ පාරිභෝගිකයන්ට බැණ වදිමින් ඇය බිල් ලියූ බව මට මතකය​. ඇය පාරිභෝගිකයන්ට සැලකූයේ තම වත්තට පැන මයියොක්කා අල උගුල්ලවන ප්‍රවිෂ්ටයන්ට කතා කරන ලෙසටය​. ඇය කිසිවෙකුටත් බිය නොවූවාය​. තම ගෙදර දොරේ අසහනයද ඇය යවන්නට ඇත්තේ අසරණ ගැනුම්කරුවන් හරහා විය යුතුය​. ඒ කාලයේ පැවති රජයේ ආධාරකරුවෙකුගේ සබඳතා මත රැකියාව ලබා ගත් ඇය බිය වූයේ අගමැතිනියට පමණි.  තෙරක් නොමැතිව දොස් දෙවොල් තබන ඇයගේ වාග් ප්‍රහාරයන් විඳි පාරිභෝගිකයෝ නිහඞවම තමන් ගේ බඩු මිලදී ගෙන ගියහ​. අද මෙන්  වත් පොත වැනි සමාජ මාධ්‍ය තිබුනේ නම් මේ ඉතිරිය මිනිසුන්ට බනින අයුරු විඩියෝ කොට දමන්න හැකියාවක් තිබුණි.

විවෘත ආර්ථිකය පැමිනීමෙන් පසු සමුපකාරයේ ගෑස් බැස ගියේය​. පාරිභෝගිකයාට තරමක ගරුත්වයක් ලැබුනේය​. කස්ටමර් කෙයාපිලිබඳව මූලික වර්ධනයක් ලංකාවේ සිදු වූයේ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව බව මම සිතමි. ඒ කාලයේ  සමුපකාර වල මහගේලා  පාරිභෝගිකයන් බල්ලා මාක් එකට දමා කතා කරන විට සංචාරක කර්මාන්තයේ සේවය කල කාන්තාවෝ සංචාරකයන්ට විනීතව කතා කලහ​. 

සෝවියට් දේශයේදී පාරිභෝගික සේවය පිලිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමට මට හැකි විය​. සමාජවාදය පැවති සමයේ රජය විසින් සියළු ව්‍යාපාර පවත්වාගෙන යන ලදි. මේ නිසා සුපිරි වෙළඳසැල් වල සිට සාමාන්‍ය කඩ වල සිටි භාණ්ඩ අලෙවිකරුවන් පාරිභෝගිකයන්ට සැලකුවේ එපා වාහෙට හොදි බෙදන්නා සේය​. 

වරක් චීස් රාත්තල් භාගයක් සහ මස් කිලෝ දෙකක් ගැනීමට පෝලිමේ සිටි මට රජයේ සේවිකාවක වූ වෙලෙන්දිය ගෙන් ආඩම්බර කතා අසමින් බඩු මිලදී ගන්නට සිදු විය​.  ඇය මිනිසුන්ට බඩු වික්කේ අාඩපාලි කියමිනි. මාරු සල්ලි නොතිබුනේ නම් බැණුම් වැලකි.  

තවත් වරක් මොස්කව් හිදී සුපිරි වෙළඳ සැලකදී සෙනිත් කැමරාවක් මිලදී ගන්නට ගිය මට වෙළඳ සැලේ සේවකයාගේ අලසකම හොඳින්ම තේරුණි. ඔහුට ගැනුම්කරුවන් භාණ්ඩ මිලදී ගත්තද නොගත්තද කම් නැත​. මාසය අන්තිමට ඔහුට වේතනය ලැබේ. කැමරා වර්ග කීපයක් බලා සුදුසු එකක් තෝරා ගැනීමට මා අදහස් කොට තිබුනද ඔහුගේ එපා වාහේ හැසිරීම මාගේ උනන්දුව හීන කලේය​. ඔහු සෝවියට් ගනුදෙනුකරුවනට වඩාත් නරක ලෙසට සැලකීය​. මෙලෙස පැය එක හමාරක් පමණ රස්තියාදු වූ මා සෝවියට් කැමරාවක් මිලදී ගත්තෙමි. 

ඉන් මාස දෙකකට පමණ පසු මම බටහිර ජර්මනියට ගියෙමි. සෝනි වෝක්මන් එකක් මිලදී ගැනීමට මම බටහිර ජර්මනියේ වෙළඳ සැලකට ගිය අතර විනාඩි ගනනකදී උනුසුම් පිළිගැනීමක් සමග මම භාණ්ඩය මිලට ගත්තෙමි. මෙම වෙළඳ සැලෙන් එලියට ආ මා හට මොස්කව් හිදී කැමරාවක් මිලදී ගන්නට ගිය විට වූ රස්තියාදුව සිහියට ආවේය​. 

පෝලන්තයේද , බල්ගේරියාවේද , නැගෙනහිර ජර්මනියේද  කස්ටමර් කෙයා  මා විසින් අත් දැක තිබේ. මේ රටවලද ඒ කාලයේ පාරිභෝගිකයන්ට සලකන ලද්දේ ඇල් මැරුණු විලසිනි. වරක් පෝලන්තයේ ආණ්ඩුවේ ගෝස්තිනිත්සා හෙවත් අවන්හලකින් බැදපු කුකුලෙකු සහ අර්තාපල් ඉස්ටුවක් ලබා ගැනීමට විනාඩි හතලිස් පහක් ගත විය​. කාලය ගත වූයේ බිල් ලිවීමටය​. ඒ කාලයේ බටහිර ලෝකයේ ක්‍රියාත්මක වූ ෆාස්ට් ෆුඩ් සංකල්පය පිලිබඳව මොවුන් දැන නොසිටින්නට ඇත​. 

පැලමර්චුක් යනු අපගේ නේවාසිකාගාරයේ සිටි වඩුරාලය​. වරක් මම ඔහුට කියා බාර් එක්සසයිස් කිරීමට හරස් පොල්ලක් සාදවා ගැනීමට උත්සහ කලෙමි. 

" මොකටද ඕක "

එය ඔහුගේ ප්‍රථම ප්‍රශ්නය විය​. ප්‍රශ්න අනවශ්‍ය බවත් මම ඔහුගේ ශ්‍රමයට සහ අමු ද්‍රව්‍ය වලට ගෙවන බවත් කීවෙමි. එහෙත් යලිත් ඔහු මදෙස බලා " මොකටද ඕක "කියා ඇසුවේය​.  මුලින්ම පාරිභෝගිකයා තෘප්තිමත් කල යුතු බව ඔහු නොදත්තේය​. 

කැනඩාවේදී මගේ බල්ලාට අතිරේක ඩෝග් හවුස් එකක් වත්තේ සෑදීමට  මම අදහස් කලෙමි. මේ සඳහා මට පැරණි සෝවියට් දේශයේ සිට සංක්‍රමණය වූ වඩුවෙකු වූ ඇනතෝලි ගේ සහාය ලබා ගැනීමට සිදු විය​. සමාජවාදී රාජ්‍යක සිට ධනවාදී සමාජයකට සංක්‍රමණය වූ ඇනතෝලි කස්ටම කෙයා ගැන ඉගෙන ගෙන තිබේ. පැලමර්චුක් මෙන් ඔහු " මොකටද ඕක "කියා නොඇසුවේය​. 

වරක් ඕස්ට්‍රේලියාවේදී මම තැපැල් කන්තෝරුවකට ගියෙමි. එහි සිටි සුදු ජාතික සේවකයා ඉතා විනීතව මගේ අවශ්‍යතා ඉටු කරදී මට සුභ දිනයක්ද පැතුවේය​. ඉන් සතියකට පසුව මම ලංකාවට ආවෙමි. ලංකාවේදී මා තැපැල් කන්තෝරුවකට ගිය අතර එහි සිටි බාප්පලා  ඔවුන් ගේ සීල් එක බලෙන් පැහැර ගැනීමට ආ අයෙකු දෙස බලන්නක් මෙන් මා බැලූහ​. කවුන්ටරයේ සිටි පුද්ගලයා මට මුද්දරය සහ ඉතිරි සල්ලි විසි කලේ මුහුණ දෙසවත් නොබලාය​. ලියුම් කවරය සඳහා ගම් තිබේද කියා ඇසූ විට ඔහු නොසැලකිල්ලෙන් බිත්තියේ කොනක තිබූ මේසයක් පෙන්වීය​. මට ඕස්ට්‍රේලියාවේ තැපැල් සේවකයා මතක් විය​. "හැව නයිස් ඩේ" ඕස්ට්‍රේලියාවේ සුදු තැපැල් සේවකයා මට කී අයුරින් මම ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ  කවුන්ටරයේ සිටි සේවකයාට කීවෙමි. ඔහු තිගැස්සී මා දෙස බැලීය​. 

ඇමරිකාවේ කස්ටමර් කෙයා ඉහලින්ම තිබේ.  පාරිභෝගිකයා යනු ගරුත්වයෙන් සැලකිය යුතු පුද්ගලයෙකි. ඔවුනට අනුව සෑම විටම පාරිභෝගිකයා නිවැරදිය​. මේ මුක්තියට මුවාවී සමහරක් අලෙවිකරුවන්  හෙම්බත් කරවති.  වරක් එක් පුද්ගලයෙකු වෝල් මාට් වෙළඳ සැලකදී මේ මුක්තිය යොදාගෙන වෙළඳ සේවිකාවක් හෙම්බත් කරනවා මම දුටුවෙමි. වෙළඳ සේවිකාව මෙම පුද්ගලයාට සර් කියමින් ගරුත්වයකින් කතා කලද මේ පුද්ගලයා ඉතා නිහින වචන වලින් වෙළඳ සේවිකාවට බැණ වැදුනාය​. මෙයද  කස්ටමර් කෙයා හි එක්  එක් අන්තයකි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

37 comments:

  1. කස්ටමර් කෙයා ගැන නම් මටත් ලියන්න පුළුවන් පොස්ට් එකක් උනත්. ලංකාවේ නම් අන්තිමයි තවමත්. කඩේකට ගියත් මොකටද මිනිහෝ ආවේ තාලෙන් තමා කතා කරන්නේ. විශේෂයෙන් බොහොමයක් රජයේ ආයතන වල මිනිස්සුන්ට කතා කරන්නේ ගෙදර බල්ලට කතා කරනවා වගේ.හැමෝම නොවුනත් බහුතරය.
    මේකේ තව පැත්තක් තමා සෙල්ෆෝන් සර්විස් කොම්පැනි. මුන්ගේ කස්ටමර් සර්විස් ගැන කතා කරද්දී සුද්ධ සිංහල ලියවෙන නිසා මෙතින් එහාට ලියන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මුං තමන් ගේ ගෙවල් වල ඉන්න බල්ලන්ටවත් සලකන්නේනෑ

      Delete
  2. මට වයස 13 වගේ කාලයකදී රජයේ ප්‍රාදේශීය රෝහලක් වෙත ගියෙමි. බෙහෙත් විදින කාමරයේ බෙහෙත් විදපු මැදිවියේ නර්ස් ට මම අවසානයේ " Thank you very much " යනුවෙන් පැවසුවෙමි. ඇය තුස්නීම් භූත වී මා දෙස බලා සිටියාය. ලංකාවේ කස්ටමර් කෙයාර් අතීතයට වඩා අද හොඳ මට්ටමක පැවතියත් වෙනත් දියුණු රටවල් එක්ක සැසදීමේදී තවමත් අප සිටින්නේ ගොඩක් පිටු පසිනි.

    වර්ෂ 2008 දී ඇමරිකාවට ගිය මුල් දිනයේදීම මට වෙනස වැටහිණි. එහි මිනිසුන් ලංකාවට වඩා කරුණාවන්තය . උදේට ඉස්සරහට හමුවන සියලුම මිනිසුන් " Good Morning , Have a nice day " යනුවෙන් සුභ පතයි. එදවස මට ලංකාවේ මිනිසුන්ට වඩා ඇමරිකානුවන් කොපමණ හොඳදැයි කියා සිතුනි..

    ReplyDelete
    Replies
    1. අප සිටින්නේ ගොඩක් පිටු පසින්

      Delete
  3. එහෙම කියන්ඩ එපා. මෙහෙ කරන්නෙ කස්ටමර් ඩිලයිට්. ඒ කියන්නෙ පාරිභෝගිකයා අන්දමන්දානන්දයට පත් කරන එක. (අල් නයනු ටිකයි දයනු ටිකයි හරිද කියල දෙපාරක් බැලුව...)

    ReplyDelete
  4. ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම customer care නොදන්නා නිසා customers ලා කලබල වී ඇති බව සැලයි.

    ReplyDelete
  5. කස්ටම කෙයා වලදී පිටකොටුවේ පදික වෙළදුන්ගේ ඇති කපුටු කෙයා එක ඇඟකිළිපොලා යන සුලුය. ඒකාලයේ බෙල්ට් විකුණන වෙළඳුන් වීෂිපහයි..වීෂිපහයි කියමින් බෙල්ට් විකිණනු දුටු මගේ මලයෙකු එකී කපුටුකෙයා එකට මැදිවී තිබිණ. එවකට ඔහු නාලන්දා විදුහලේ 6 හෝ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබා නිවාඩුවට තනිවම බස්එකේ ගෙදර එන අතරවාරයේ අදාල බෙල්ට් වෙළදාගේ ලාබ බෙල්ට් එකක් ගන්නට ගොස් තිබෙනව. සාමාන්‍යයෙන් එවැනි බෙල්ට් එකක මිල රැ.125/-කි. වීෂි පහේ බෙල්ට් එකක් ගන්නට ගිය වනම වෙලෙන්දා බෙල්ට් එක ඉනට දමා සැනකින් හිල්ද විද ආ මල්ලිි කෝ සල්ලි කියා විමසා තිබෙනව. ආ..අයියෙ කියා අපේ මලයා අත තිබූ රැපියල් 25/-ක් ඔහු අතතබනව.
    කෝ තව සීයක් දෙනව..
    මොනවා තව සීයක්?...
    ඔව් ඕයි..
    මං හිතුවෙ රුපියල් 25යි කියලනෙ?අනේ අයියෙ මගෙ ලඟ වෙන සල්ලි නෑනෙ.බස් එක් යන්ඩවත් කීයක්වත් නෑ..
    රුපියල් 25ට කවුද ඕයි බෙල්ට් දෙන්නෙ.. තමුසෙල වගේ උන් හින්ද මට අතිනුත්පාඩුයි ඕයි..මේකෙ හිලුත් විද්ද..
    ඉතින් අයියෙ මං ඔයාට ඕක හිල් කරන්න කිව්වෙනෑනෙ..
    යනව ඕයි යන්න මෙතන පව් නොදී. තමුසෙ ගිහින් රැපියල් විසිපහකට ගෝනි ලණුවක් අරන් එල්ල ගන්නව පුගේ..

    මේවගේ පේමන්ට් වෙළදාමේ ගතිලක්ෂණ අඩුවැඩි වශයෙන් ලංකාවේ බොහෝ ආයතන වෙළඳසැල් ඇතුලු හැම තැනකම තියෙනව. ඒ වුනාට ලංකාව ආගන්තුක සත්කාරයට ලෝකෙන්ම එක කියල කවුදෝ ගෝතයෙක් අපිව අන්දල තියනව. අපි මේක ලෝකෙන්ම උතුම් රට කියලත් හිතාන ඉන්නව. ඒත් පේමන් එකේ සිට මහ එකා දක්වාම හොරු මංකොල්ලකාරයො රජවෙලා තියෙන්නෙ. සාරධර්ම බෙදන පූජ්‍ය පක්ෂයත් බණ කියමින් හොරුන්ටම පන්දම් අල්ලනව.... ඕව කවද වෙනස් වේවිදැයි හිතන්න අමාරුයි..


    ReplyDelete
  6. ලංකාවෙ ඔය මොන කෙයා එක උනත් කෙයා එක දෙන මනුස්සයගෙ මානසික තත්වය මත තමයි තීරණය වෙන්නෙ.

    ReplyDelete
  7. customer is king නෙමෙයි එයාලට නොදking

    ReplyDelete
  8. මගේ නිවස අසලට ලංකාවේ ප්‍රසිධ සුපිරි වෙළඳ සැලක් පැමිණියේ මීට වසර 10කට පමණ පෙරයි. මුලදී මට නෙය මහත් අස්වැසිල්ලක් වුයේ නිවසේ එදනෙදා අවශ්‍යතාවයන් සඳහාවු දේ ඉක්මනින් එක තැනකින් මිලදී ගැනිමට තිබු අචස්ඨාව නිසයි. එහෙත් දැන් එහි තත්වය සම්පුර්නයෙන් උඩු යටිකුරුවී ඇත. සුළු ලාභයක් තකා තම කාලය ඕනෑතරම් කා දැමිය හැකි සාමාන්‍ය ජනයා වැඩිපුර ඇදගැනීම එහි ප්‍රතිපත්තිය වී ඇත. පරිප්පු සීනී සහ සහල් වැනි දෑ ලංකාවේ අඩුම මිලට විකිණීමට එහි ඇත. එහෙත් එහි සිටින සේවකයන් එපාවාහෙට හොදිබෙදන තත්වයේ අයයි. බඩු කිරා ගැනීමට ඔවුන් පසුපස යාමට සිදුවී ඇත. කව්න්ටර්වල ඉන්න කාන්තාවෝ ඉතා අකාර්යක්‍ෂමයි. හරියට වැඩනොකරයි bar-code reader, credit card reader යන්ත්‍ර හර්යට නැත. ඒ මදිවට ලයිට් බිල් වතුරබිල් වගේ දේවලුත් මෙම කව්න්ටර් වලදීම ගෙවයෙ හැකිනිසා සමහර විට සෑහෙන වොලවක් පෝලිමේ රස්තියාදුවිමට සිදුවේ. දැන් මට මෙම සුපිරියයි කියන වෙළඳසැල පෙනෙන්නේ පිචං වෙළඳ සැලක් ලෙසිනි.

    ReplyDelete
  9. කස්ටමර් කෙයාර් කොච්චර හොඳද කියන්වානම් බොහෝමයක් කඩවල මුදලාලිලා අපි බඩු ගෙන මුදලක් දුන් විට එහි ඉතිරි මුදල් නැවත පාරිභූගිකයාගේ අතටවත් දෙන්නේ නැත. දියුනු ආකල්ප සහිත ආයතන වල මුදල බිල්පත් සමග අතට දෙමින් ස්තුති කරද්දී මේ කුම්මැහි මුදලාලිලා ඉතිරි මුදල මේසය මතට විසි කරති. අත දිගු කලත් අත මග හැර මේසය මතට දමති. කිසියම් හේතුවක් හෝ විශ්වාසයක් මත එසේ කරනවාදැයි මම නොදන්නා මුත් මට එසේ වරක් කල කඩයට නැවත මම කිසිදු හේතුවක් මත පය නොතබමි.

    මා හිඟන්නෙකුටවත් මුදල් විසි නොකරමි හිඟන්නාටත් මුදලක් දෙනවානම් එය ඔහුගේ අතටම දෙමි.

    ReplyDelete
  10. මම කරල තියෙන රැකියා දෙකම පාරිබෝගික සේවයට (customer service) සෘජුව සහ වක්‍රව සම්බන්ධ වෙන රැකියා දෙකක්. රැකියා දෙකේම නිරතුරුවම පාරිබෝගිකයා සමඟ සම්බන්ධ වීම සහ ගණුදෙනු කිරීම අනිවාර්‍ය අංගයක්.

    මේ නිසා පාරිබෝගිකයෙක් සමඟ කටයුතු කරන්න ඕන ආකාරය ගැන වගේම කිසියම් පාරිබෝගික සේවකයෙක්ගේ සේවය ගැන යම් තරමකට නිවැරදි ඇගයීමක් කරන්න මට සෑහෙන තරමක අත්දැකීමක් තියෙනවාය කියල මම හිතනවා.

    ලංකාවේ කොහේ කොතන ගියත් මම බලාපොරොත්තු වෙන මට්ටමක පාරිබෝගික සේවා තත්වයක් (standard) එකක් පවත්වාගෙන යන ආයතනයක් මට හමු වෙලා නැහැ. යම් ආයතනයක ඉතා විශිෂ්ඨ අන්දමින් පාරිබෝගිකයන්ට සිය සේවය සපයන සේවකයන් සිටිය හැකි මුත් ආයතනය නියෝජනය කරන සේවකයන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ඒ විශිෂ්ඨ සේවා මට්ටම පවත්වාගෙන යෑමක් සිදු නොවන බවයි මම කියන්නේ.

    ඕනම පාරිබෝගික සේවා ආයතනයක සැලකිය යුතු ගණනක "කුණු වෙච්චි ඇපල්" තියෙන බවයි පාරිබෝගිකයෙකු විදියට මගේ අත්දැකීම.

    එකම එක ආයතනයක හැර.

    ඒ ආයතනය තමා අපි සෑහෙන දෙනෙක් ආසා කරන Pizza Hut ආයතනය.

    මම ගොඩක් වෙලාවට Pizza මිලදී ගන්නේ දුරකථනයෙන් කරන ඇණවුම් මාර්ගයෙන්. මාසයකට අඩුම ගානේ දෙවතාවක්, තුන්වතාවක්වත් මම ඔවුන්ගේ සේවය ලබා ගන්නවා. එදා ඉඳලා අද දක්වාම ඔවුන් තමන්ගේ call center එකේ පවත්වාගෙන යන පාරිබෝගික සේවයේ ස්ටෑන්ඩර්ඩ් එක නම් අතිවිශිෂ්ඨයි. (මේ කතා කරන්නේ පාරිබෝගිකයා සමඟ කටයුතු කරන ආකාරය ගැන පමණි)

    ඔවුන්ගේ ඒ විශිෂ්ඨ සේවය call center එකෙන් නවතින්නේ නැහැ. ඇණවුම් කරනු ලැබූ Pizza එක නිවසට ගෙනවිත් දෙන සේවකයා පවා පාරිබෝගිකයා සමඟ කටයුතු කරන්නේ ඉතාම නිහතමානී වගේම වෘතීමය විදියට.

    මෙච්චර කාලයක් මේ සියලුම සේවකයන් කස්ටර්මර් සර්විස් එකේ ඉතාම ඉහල එකම ස්ටෑන්ඩඩ් එකක් කොහොම මේන්ටේන් කරනවද කියන එක ගැන මටම පුදුම හිතුන වාර ගණන අනන්තයි.

    මට හිතට එන්නේ එකම ප්‍රශ්නයයි.. "Pizza Hut එකෙන් මුංව කොහොම බ්‍රේන් වොෂ් කරලද මංදා මුං ඔක්කොම මෙච්චර කොලිටි සර්විස් එකක් දෙන්නේ?" කියල

    මොනව වුනත් කියන්න තියෙන්නේ

    "වෙල් ඩන් ගායිස්..

    ..උඹල ඒ අතින් ඉන්නේ සෑහෙන ඉස්සරහින් !"

    කියල තමයි

    මොකද මං දන්නවා ඔය වගේ ස්ටෑන්ඩර්ඩ් එකක් දිගින් දිගටම පවත්වාගෙන යන එක කොයිතරම් අමාරු වැඩක්ද කියල :)

    ReplyDelete
  11. ඕනම රටක රජයේ හෝ පෞද්ගලික සේවා ස්ථානයක හොඳම පාරිභෝගික සේවාව ලබා ගැනීමට කැමති නම් මේ ගැන හිතන්න. ඒවා සපයන්න ඉන්නෙත් මනුස්සයන්. ඔවුන්ට උදේ සිට සවස් වෙනකම්ම පාරිභෝගිකයන්ගෙන්, එම ස්ථාන හිමිකරුවන්ගෙන්, සහ ඔවුන්ගේ ප්‍රධානීන්ගෙන් සිදුවන විවිධ පීඩා දරාගෙන ඉන්න ඕන. ඒ අතර අපි ගිහින් හොඳම සේවය අපේ අයිතිවාසිකමක් ලෙස බලාපොරොත්තු වුණොත් ඔවුන්ගේ පුහුණුව මොකක් වුණත් සමහර විට අනික් අය කියල තියෙන විදිහේ සතුටුදායක නැති සේවයක් ලැබෙන්න ඉඩ තියෙනවා.

    පුළුවන් නම් මේ දේ අත්හදා බලන්න. පළමුව ඔවුන් සමඟ මුව පුරා සිනාසෙන්න. ඊලඟට ඔවුන්ගේ දවස කොහොමද කියා විමසන්න. "අද ඔයගොල්ලන්ට ගොඩක් වැඩ වැඩි දවසක් වගේ නේද?" කියල හෝ විමසන්න. ඔබට අවශ්‍ය දේ යමකුගෙන් උදව්වක් ඉල්ලන්නා සේ ඉල්ලා සිටින්න. ඔවුන්ගේ නම සහිත ටැග් එක ඇත්නම් ඔවුන්ගේ නමින් ඔවුන්ව අමතන්න. 99% ක් අවස්ථාවල ඔබ හිතුවාටත් වඩා හොඳින් ඔවුන් ඔබේ කාර්‍යය ඉටුකර දෙයි. ඔබට අවශ්‍ය සේවය ඉටුවුන පසු නැවත මුව පුරා සිනාසී ස්තූති කරන්න.

    හැමවිටම ඔවුනුත් ජීවත් වීම සඳහා රැකියාවක් කරන අපි වැනිම මිනිසුන් කොටසක් බව මතක තියාගත්තොත් හොඳම පාරිභෝගික සේවාව ඔබට හැමදාම ලැබෙයි.

    ReplyDelete
    Replies
    1. Exactly. Many in SL behave like a pigs and expect courteous service in return.

      Delete
  12. 1970-77 යුගයේ ලංකාවේ සමූපකාරය කියන්නෙ බලවත් ආයතනයක්.76 අවුරුද්දේ අපේ ගමේ සමූපෙන් රෙදි දෙනකොට පෝලිම මෙහයවන්න පොලීසියනුත් ආව.ගමේ රෝහලේ වයිද්‍ය වරයත්,පොලිසියේ ඕ අයි සී මහත්තයත් හා සමාන බලයක් සමූපෙ මැනේජර්ට මිනිස්සු අතර තිබුණා

    ReplyDelete
  13. රුවන් රුසියාවේ තවම අර වගේ බිල් ලියනවා කිව්වහම. මට නම් හිනා ගියා . ගිය සැරේ ගිය වෙලාවේ පිටර්ස්බර්ග් වල අර ෂිප් එකක් යන්න ටිකට් ගන්න. ලන්ඩන් වල වගේ කෙලින්ම එතනට ගියා . වෙන තැනකින් බිලක් ලියන එන්න කිව්වා. බිල ලියාගෙන ආවහම තව තැනක කට්ටිය බලල සීල් එකක් ගහනවා. ඊට පස්සේ වෙන එකෙක් සීල් එක චෙක් කරනවා. හතරවැනියා බෝට්ටුව ඇතුලට දාන්නේ . හැබැයි රස්සා 6 ක් විතර එතන හදල තියනව. කස්ටමර් ව මඩවනවා. සීන් එක එහමමයි පිටර්හොෆ් වල මාලිගාව බලන තැන. ඒ කියන්නේ ආණ්ඩුවේ ඒවා තවම වෙනස් වෙලා නැහැ අවුරුදු 26 කට පස්සෙත්. අනිත් තැන් ගැන නම් වරදක් කියන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. තාමත් අර කස්ටමව සාටර් කරන සිස්ටම් එකෙන් ගොඩ එන්න බැරි වෙලා වගේ

      Delete
  14. රජයේ අයිතියට් දෙන්නේ නැතිව පාරිභෝගිකයන් බඩු ගන්න ආකාරය අනුව උන්ටපඩි ගෙව්වා නම් හරි. පාරිභෝගිකයා නැත්නම් ඔහෙලත් නැහැ. අනික මෙහෙම දෙයක් මේ පැත්තේ (බටහිර - කැනඩාවේ කොහොමද දන්නේ නැහැ. ) දැකල තියනවද? ඒසියන් හෝ කළු ජාතිකයන් තමන්ගේ අයට අඩුවෙන් සලකන බව. මම මේක දැකල තියනවා සමහර ඉන්දියන් කඩවල , සුපර්මාකට් වල ඒසියන් සේවකයෝ තම පාට කෙනෙක් දැක්කම බොරු ආඩම්බරයක් පෙන්වනවා දැකල තියෙනවද

    ReplyDelete
    Replies
    1. ඉමිග්‍රන්ටස්ලාට සවුත්තු විදිහට සලකන්නේ තවත් ඉමිග්‍රන්ට් කෙනෙකි යන දෙය මම අත් දැකලා තියනවා

      Delete
  15. මෙම සිදුවීමට මමත් මාගේ මිතුරාත් මුහුණ දුන්නේ 2010 දී ජපානයේ ටෝකියෝහි අකියබරාහිදීය.අකියබරා ඉලෙක්ට්ට්‍රෝනික් පුරයකි. මගෙ මිතුරාට අවශ්‍ය වුයේ සීකෝ වර්ගයේ ඔර්ලොසුවක් මිලදි ගැනිමටය. ඔහු පාවිච්චි කරණ පැරණි සීකෝවර්ගයේම එකක් ගැනිම අභිලාෂය විය.සීකෝ වෙළධ සැලකට ගියෙමු. ඔර්ලෝසු පිරී ඇත.මගෙ මිතුරා තම පැරණි ඔර්ලොසුව පෙන්වා එම වර්ගයේ එකක් ගැනිමට අවශ්‍ය බව කිව්වේය.වෙළද සේවකයා පැරණි ඔර්ලෝසුව බලා එහි ප්‍රධානියා යයි සිතිය හැකි අයෙකුට ජපන් බසින් යමක් කිවේය.අපි දෙදෙනාට ලැබුනේ පුදුම පිලිගැනිමකි.ජපනා අපට කිව්වේ ඔබලා තවමත් මේ ඔර්ලෝසුව පාවිච්චි කරණවාද? අපිට හරි සතුටුයි.මේ වර්ගය දැන් නැහැ.ඊට සමාන වර්ගයක් තියෙනව. අපේ මේ සාප්පුවෙ නැහැ.හෙට ගෙනත් දිය හැකියි. ඔබ අපේ අවුරුදු 30කට වැඩි පරණ කස්ටමර් කෙනෙක්නෙ.(මෙම ඔර්ලෝසුව මගෙ මිතුරා එංගලන්තයෙන් මිලදි ගත් එකකි). ඔවුන් අපිට සිසිල් පැනින් සහ ආහාරවලින් සංග්‍රහ කර අපි සිටින හෝටලයේ විස්තර අසා ලියාගත් අතර අපි දෙදෙනා ආපසු ආවෙමු. පසුවදා දහවල් 10 යට පමණ හෝටලයට දුරකතන පණිවිඩයක් ලැබි තිබිණ. එය අපට ලැබුනේ හවස් භාගයේය. අපි සීකෝ සාප්පුවට ගියෙමු. මහත් පිලිගැනිමකි.අළුත්ම ඔර්ලෝසුවක් මගෙ මිතුරාට ලැබුණි. මුදල කියදැයි අපි ඇසුවෙමි. මුදල් ගන්නෙ නැහැ. මේ ඔබට තැග්ගක්.ඔබ අපේ වසර 30ක් පරණ කස්ටමර් කෙනෙක්. ජපනා එසේය.තමාගේ භාණ්ඩ වෙනත් රටකදි වුවත් ගත් පුද්ගලයාට සැලකුවේ එසේය.

    ReplyDelete
  16. බත්තරමුල්ලේ sensal එකට ගිහිං තියෙනවද?
    Customer care කිව්වම මට මුලිං ම මතක් වෙන්නෙ එතන. මුදලාලි ලගෙ customer care කොහොම උනත් සාමාන්‍යයෙන් නමක් තියෙන තැනක මං දැකල තියෙන වැඩකට නැතිම service එක තියෙන්නෙ එතන. සරලවම කියනවනං මං දැකපු මෝඩම අකාර්යක්ෂමම ක්‍රමයක් එතන තියෙන්නෙ. එක තැනක බිල් ලියල ඒක ආයි තව තැනකට දීල.... කොච්චර කෑම හොඳ උනත් order කරන්න කන්න වෙන කට්ට මතක් වෙනකොට යන්න හිතෙන්නෑ. එතන ඉන්න වගකිවයුතු කෙනෙක්ට මේක නෙතේරෙන එකයි පුදුම

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook